Saturday, June 28, 2014

බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් ...

ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ  කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න.

" හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? "

" අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ටිකක් නිදිමෙතේ හිටියේ හැක හැක .. ඒ දේශක තුමා. " 

" හරි හරි ... එහෙනම් හැමෝම මේ බැලුම් ටික ගන්න.. අරගෙන පුම්බලා තමන්ගේ නම ලියන්න. " 

ඔන්න ඉතින් කට්ටිය බැලුම් ටික පුම්බලා මාකර් පෙන් එකකින් තමන්ගේ නම් ලිව්වලු මැකෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා එතන තිබුන කාමරයක් පෙන්නලා, බැලුම් සේරම ඒ කාමරේට දාන්න කියලා කිව්වලු. 

හරි... එහෙනම් ජය වේවා !! විදානේ මුලින්ම බැලුමත් අරගෙන ගියාලු.. 

" අරූ, සහෝදර, විදානේ,දිනේෂ්, සඳුමල්, හැලප, දේශක, කකා කෝ ඔයාලගේ ඒවා.. දෙන්න මම ගෙනියන්නම් " කියලා නලීන් අයියා ඒ කට්ටියගේ බැලුම් ටික එකතු කරගෙන ගියාලු..

මධුරංග, අපි නම් "ම" යනු කියලා මනෝෂ්ගෙයි, මහේෂ්ගෙයි, මනෝජ්ගෙයි, මැලේගෙයි බැලුම් ටික එකතු කරගෙන ආවලු.

" මෙන්න අපේ බැලුම් ටික.... " කියලා අපූර්වි , ශානුගෙයි, දිලිනිගෙයි, රෙහානිගෙයි, මොණරිගෙයි, චාම්ස්ගෙයි, බස්සිගෙයි බැලුම් ටික අරගෙන ආවලු. 

කුරු‍ටු ගෑ ගී පවුරේ අයත් එයාලා කට්ටියගේ බැලුම් ටික අරගෙන ආවලු. 

ඉවාන් අයියයි, සිරා අයියයි, චතුරංග අයියයි, කොහොමත් පොදු වැඩ වලට කැමති නිසා ස්වේචාවෙන්ම ඉදිරිපත් වෙලා අනිත් අපේ බ්ලොග් ලියන යාලුවො හැමෝගෙම  බැලුම් බෝල ගෙනැල්ලා, බැලුම් බෝල ටික කාමරේ අසුරණ වැඩේ  බාර අරගෙන කලාලු.



කාමරේ පිරින්න බැලුම් බෝල ඇසුරුවහම මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ...  ( නම ඈතට පේන්නේ නෑලු හොඳේ...  :) )

ඊට පස්සේ මහාචාර්යතුමා කට්ටියටම කතා කරලා මෙන්න මෙහෙම කිව්වලු 

" හැමෝටම මම විනාඩි 3 ගානේ දෙනවා... ගිහිල්ලා තමන්ගේ නම ගහලා තියෙන බැලුම හොයාගෙන එන්න ඕනේ.. "


ඔන්න ඉතින් එක එක්කෙනා ගිහින් උත්සාහ කලත් කාටවත් විනාඩි 3 කදි නම් තමන්ගේ නම ගහපු බැලුම හොයා ගන්න බැරි වුනාලු. 

ආපහු කට්ටියටම කතා කරපු මහාචාර්යතුමා 

" හරි ... එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. ඔයාලා හැම කෙනෙක්ම දැන් ගිහින් අහඹු විදිහට බැලුමක් හොයාගෙන ඒ බැලුම අයිති කාරයා හොයලා ඒයාට දෙන්න. හැබැයි මේකටත් මම දෙන්නේ විනාඩි 3 යි. "

 ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය දුවලා ගිහින් තමන්ට හම්බවෙච්චි බැලුමේ අයිතිකාරයා හොයාගෙන එයාට දෙන්න පටන් ගත්තාලු. විනාඩියක් වගේ බොහොම සුළු  කාලේකදි හැමෝටම පුළුවන් වුනාලු තමන්ට අයිති බැලුම ලබා  ගන්න. 


හැමෝටම හරිම සතු‍ටුයි.. ඉතින් එහෙම සතුටින් හිටිය කට්ටිය ගාවට ආපු මහාචාර්යතුමා මෙන්න මේ විදිහට තමන් කරන්න උත්සාහ කරපු කණ්ඩායම් ක්‍රියාකාරකම ගැන විස්තර කලාලු..

"මේ දේමයි අපිට අපේ ජීවිත වලදිත් වෙන්නේ.. අපි අනිත් අය ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව හැමතිස්සේම අපේ සතුට හොයනවා. ඒත් එහෙම කොච්චර හෙව්වත් ඒ සතුට අපිට හොයා ගන්න බැරි වෙනවා එහෙමත් නැත්තම් සතුට හොයාගන්න හුඟක් කල් ගත කරන්න සිද්ධ වෙනවා.

අපිට ටික
ක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා.  එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

මම හිතනවා බ්ලොග් ලියන අය විදිහට ඔයාලට මේ පුංචි ක්‍රියාකාරකම ආදර්ශයට අරෙගෙන ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් ආයෙමත් දවසක හමුවෙමුකෝ.. " කියලා මහාචාර්යතුමා කට්ටියට සමුදුන්නලු. 

ප.ලි - මේ කතාව තුශානිට දේශනයකදි අහන්න ලැබුන කතාවක් කට්ටියටම සතු‍ටු හිතෙයි කියලා හිතුන නිසයි මේ විදිහට ලියන්න හිතුවේ.

Thursday, June 19, 2014

අමුත්තෙක් ඇවිත් ...


ඔන්න අද තුශානි කියන්න යන්නේ, පහුගිය දවසක තුශානිගේ ගෙදරට ආපු අමුත්තෙක් ගැන. බලන්නකො ඔයාලත් අඳුරණවද කියලා....  මේ තියෙන්නේ එයාගේ පින්තූරයක්.

 හරියටම හරි....  ඩ්‍රැගන් ෆෘට් යාළුවෙක් තමයි ආවේ. ඩ්‍රැගන් ෆෘට් යාළුවා තුශානිගේ ගෙවත්තට ආවේ පහුගිය දවසක වුනත් තුශානි ඩ්‍රැගන් ෆෘට් පැලේ හිටෙව්වෙ නම් හුඟක් කාලෙකට කලින්.  ඉතින් ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක් එනවා දකිනකොටම තුශානිගේ ඉහෙත් මලක් පිපුණා වගේ සතුටක් දැනුන නිසාම ඩ්‍රැගන් ෆෘට් කතාව කට්ටියටම කියන්න දවසින් දවස පින්තූර ටිකකුත් එකතු කරගත්තා. 

ඩ්‍රැගන් ෆෘට් කියන්නේ කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයක්. පලතුරු ශාකයක් විදිහට වගේම විසිතුරු ශාකයක් විදිහටත් ඩ්‍රැගන් ෆෘට්  අද ජනප්‍රිය වෙලා තියෙනවා.


ඔය පින්තූරේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක්.  ඩ්‍රැගන් ෆෘට් මල් පිපෙන්නේ නම් රෑට.


මේ තියෙන්නේ උදේක ගත්ත පින්තූරයක්. සුදු පාටට හුරු ක්‍රීම් පාටක් තමයි ඩ්‍රැගන් ෆෘට් මලට තියෙන්නේ. පෙනුමෙන් නම් ටිකක් කඩුපුල් මලක් වගේ.



ඩ්‍රැගන් ෆෘට් මලේ තියෙන සුන්දරත්වය නිසාම Queen of night, Moon flower, Nobal Woman වගේ නම් වලිනුත් මේ
ඩ්‍රැගන් ෆෘට් මල හඳුන්වනවලු. 
 
 
ඩ්‍රැගන් ෆෘට්  මල පරවෙලා ගිහින් එතනින් ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය ඇතිවෙනවා. මුලින්ම කොල පාටට තිබිලා ඊට පස්සේ ටිකෙන් ටික රතු පාටට හැරෙනවා.


ඩ්‍රැගන් ෆෘට් විශේෂ කීපයක් තියෙනවා.

Hylocereus undatus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිට පොත්ත රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.

Hylocereus Polyrhizus කියන්නේ ඇතුලත සහ පිට පොත්ත යන දෙකම රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.

Selenicereus megalanthus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිටත පොත්ත කහ පාටක් ගන්නා විශේෂය.



මල් පොහොට්‍ටුව ඇතිවෙලා දවස් 30-35 වගේ කාලයක් ගතවෙනවා ඉදුණු ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් ඇතිවෙන්න.



මේ පින්තූරේ තියෙන්නෙ තුශානිගේ ඩ්‍රැගන් ෆෘට්  පැලේ හා හා පුරා කියල අපු මුල්ම ඩ්‍රැගන් ෆෘට්  ගෙඩිය කැපුවහම පෙනුන විදිහ. 

කෙලින්ම පලතුරක් විදිහට වගේම බීම, ජෑම්, අයිස් ක්‍රීම්, ජෙලි, වයින් විදිහටත් ඩ්‍රැගන් ෆෘට් රස බලන්න පුළුවන්. 

ඩ්‍රැගන් ෆෘට් වලින් ආහාර දිර වීමේ හැකියාව වැඩි කරනව වගේම පිළිකා මර්ධනය, දියවැඩියාව , රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනයටත් , රුධිර පීඩනය පාලනයටත් ඔසුවක් විදිහට යොදා ගන්නවා කියලත් දැන ගන්න ලැබුනා.

රස වගේම ගුණත් නිසා ඔයාලත් ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක රස බලන්න වගේම ඉඩ කඩක් තියෙනව නම් පැලයක් හිටවන්නත් අමතක කරන්න එපා. 
 

Thursday, June 12, 2014

දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ...

අද පොසොන් පෝය නිසාමද මන්දා වටපිටාවේ තියෙන්නේ හරිම අමුතු ලස්සනක්.  සුදට සුදේ සුදු ඇඳගෙන සිල් ගන්න යන සිල් ඇත්තො පාර දිගේ පේලියට පන්සල් යනවා. වත්තේ තියෙන සමන් පිච්ච වැල සුදු මල් චීත්තයක් ඇඳලා වගේ මල් වලින් පිරිලා. ගහෙන් ගහට පියඹලා යන කුල්ලොත් , අත්තෙන් අත්තට පැන පැන යන ලේන් පැංචනුත් වෙනදට වඩා ටිකක් එයාලගේ දඟ වැඩ අඩු කරලද මන්දා... හිතට ලොකු සැහැලුවක් දැනෙන නිසා පොසොන් පෝයත් මතක් කරලා පොසොන් දවස නිසාම පුංචි බණ කතාවක් කට්ටියට දැන ගන්න ලියන්න ඕනේ කියලා හිතලා තමයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ. 

මේක පුංචි හාමුදුරු කෙනෙක් ගැන කියවෙන  ලස්සන බණ කතාවක්. ඔන්න ඉතින් ඉස්සර එක පන්සලක පුංචි හාමුදුරු කෙනෙකුයි ලොකු හාමුදුරු කෙනෙකුයි හිටියලු. මේ පුංචි හාමුදුරුවෝ පුංචි වුනත් හරිම දක්ෂ විදිහට ලොකු හාමුදුරුවන්ගෙන් ධර්ම කරුණු ඉගෙන ගනිමින් බණ භාවනා කරමින් හැමෝගෙම හිත් දිනාගෙන හිටියලු.



දවසක් ලොකු හාමුදුරුවො කල්පනා කලාලු මේ පොඩි හාමුදුරුවන්ගේ අනාගතේ ගැන පොඩ්ඩක හොයලා බලන ඕනේ කියලා. ජොතිෂය ශාස්තරය හොඳට ප්‍රගුණ කරලා හිටිය ලොකු හාමුදුරුවො මේ පොඩි හාමුදුරුවන්ගේ උපන් වෙලාවට අනුව අනාගතේ ගැන බැලුවලු.

" මේ මොන විපතක් ද ... පොඩි නම ජීවත් වෙන්නේ තව එක දවසයි.. " 

ලොකු හාමුදුරුවන් තමන්ටම කියාගත්තා .. මොකක් හරි වැරදීමක් වත් වුනාද කියලා තවත් කීප වතාවක් බලාලා වැ‍රැද්දක් නැති නිසාත් මේ විපතින් පොඩි හාමුදුරුවන් බේර ගන්න විදිහක් නැති නිසාත් හෙට දවසෙ පොඩි හාමුදුරුවො කැමති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලා අන්තිමට ලොකු හාමුදුරුවෝ කල්පනා කලා. 

" පොඩි නම ඔබ වහන්සේට ගම් පලාතේ ගිහින් මව්පියො එහෙම බලලා එන්න ඕනේ නම් හෙට දිහාට ගිහින් එන්න පුලුවන් "

" අවසර ලොකු හාමුදුරුවනේ... මම ඔබ වහන්සේගෙන් අහන්නම කියලයි හිටියේ.. " 

"හොඳයි හොඳයි.. හෙට පාන්දරම සිරිපාලත් එක්ක ගමට වඩින්නකෝ " 

පහුවදා පාන්දර පොඩි හාමුදුරුවො පන්සලේ වැඩ කරන සිරිපාලත් එක්ක ගමට වඩින්න පිටත් වුනා.. මග දිගට හොඳටෝම වැස්ස.  (ම්.. මේ දවස වල වහින මොරසූරන වැස්ස වගේ වෙන්න ඇති.. ) ඉතින් මෙහෙම වැස්සේ යනකොට පොඩි හාමුදුරුවො දැක්කා වතුර පාරක කොටයක් පාවෙලා යනවා. ඒ කොටේ උඩ පුංචි සත්තු ගොඩයි.. හැක‍රැල්ලෝ, කූඹි, දිමියෝ, පණුවෝ, වගේ පුංචි සත්තු සීයක් විතර. පුංචි දියපාර දිගේ ගහගෙන යන කොටේ, ගඟට වැටෙන්න තියෙන්නේ තව චුට්ට දුරයි. 

සිරිපාල එපා කියද්දි පොඩි හාමුදුරුවො වතුර පාරට බැස්සා.. වතුර පාර හුඟක් සැර නිසා පොඩි හාමුදුරුවොත් වතුර පාරට ගහගෙන යන්න පටන් ගත්තා. ඒත්  මේ පොඩි හාමුදුරුවො තමන්ගේ උත්සාහය නම් අත ඇරියේ නෑ.. අමාරුවෙන් හරි වතුර පාරත් එක්ක ගිහින් අර කොටේ ගාවට කොහොමහරි ලං වුනා. වතුර පාර ගඟට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩි හාමුදුරුවො අර කොටේ අතට අරෙගෙන ඉවුර පැත්තට පිනුවා. 

පොඩි හාමුදුරුවන්ට හරිම සතු‍ටුයි... සත්තු සිය දෙනෙකුගේ විතර ජීව්ත බේරුනානේ.. ඒ සතුටත් එක්ක පොඩි හාමුදුරුවෝ ගමට වැඩියා. 

ඔන්න ඉතින් ඊලඟ දවස උදා වුනා. ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවො ගැන හරිම කම්පාවන් තොරතුරක් දැනගන්න තුරු ආවාසේ ඇතුලේ එහාට මෙහාට සක්මන් කරමිනුයි හිටියේ.

ඒ අතරේ ලොකු හාමුදුරුවෝ දැක්කා සිරිපාල බොහොම ඉක්මන් ගමනින්  ආවාසේ ඇතුලට එනවා..

" සමා අවසර ලොකු හාමුදුරුවනේ "

" කලබල වෙන්න එපා සිරිපාල මම හැම දේම දන්නවා. පොඩි නම ගෙනාපු ආයුෂ ඔච්චරයි ගිහින් ඝන්ඨාරේ ගහලා ගමේ අයට මේක දැනුම් දෙන්න."  

"අනේ අපේ හාමුදුරුවනේ .. සමාවෙන්න.... ඔබ වහන්සේ කියන දේ මට පැහැදිලි නෑ.. අපේ පොඩි හාමුදුරුවෝ අන්න  බෝ මලුව අමදිනවා.. මට ඉක්මනටම ගිහින් ඔබ වහසේට දානේ පිලියල කරන්නයි කිව්වා... " 

ඒ කතාව අහලා ලොකු හාමුදුරුවො ඉක්මන් ගමනින් බො මළුව පැත්තට වැඩියා.  පොඩි හාමුදුරුවො පුංචි රාහුල හාමුදුරුවො වගේ බෝ මළුවේ රන් වන් වැලි කැට රටා හිටින්න අමදිනවා.  

" අවසර අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ පන්සලේ තනිවම වැඩ ඉන්න නිසා අපි උදේ ‍රැයින්ම ගමින් පිටත් වුනා.  " 

" බොහොම හොඳයි පොඩි නම.. ගමනේදි විශේෂ යමක් සිද්ධ වුනාද ? " 

" එහෙමයි අපෙ හාමුදුරුවනේ " කියපු පොඩි හාමුදුරුවො තමන් වහන්සේ වතුරට ගහගෙන ගිහින් මැරෙන්න හිටිය සත්තු බේර ගත්ත විදිහ ලොකු හාමුදුරුවන්ට කිව්වා. 

"පොඩි නම හිත කලබල කරගන්ට එහෙම එපා. පොඩි නමගේ වේල පත්කඩේට අනුව පොඩි නම ඊයෙ වෙනකන් විතරයි අයුෂ අරගෙන ඇවිත් තිබුනේ. සත්ව ජීවිත හුඟක් බේර ගත්ත මහා පිනෙන් පොඩි නම තවත් ආයුෂ ලබලා තියෙනවා. මට ඒ ගැන බොහෝම සතු‍ටුයි.. ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනවා පොඩි නම  .. වඩිමු.... බුදුමැදුරට ගිහින් බුදු හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් බුද්ධ පූජාව පවත්වමු.  "

බුදු හාමුදුරුවෝ පිටිපස්සෙන් වඩින රාහුල හාමුදුරුවො වගේ පොඩි හාමුදුරුවොත් ලොකු හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් බුදු මැදුරට වැඩියා. 


Friday, June 6, 2014

සයුරු තරණය ....




පරතෙරක් නොපෙනෙනා සයුරක
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...

යකඩ බඳ ලෙස ජීව ලද මුත්
ප්‍රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටෙන්නට
නැකැත් මොහොතින්  පිටවෙමින් ...

පහන් තරුවෙන් එළිය ලැබගෙන
මින් රැලෙන් මං ලකුණු අසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු පසු කර ගොසින්...

තනි වුනත් මහ සමුදුරේ මැද
පාළු සීතල රාත්‍රියේ
නිමාවක් දකිනා තුරාවට
හැරවුමක ඉඟි නොම වුනේ...

ජීවිතේ මෙය මැයි පසක් කර
දුක සතුට රළ පෙළ දිගේ
ගමන අවසන නැංගුරමලා 
 නැවත ගමනක මතු දිනේ...

Related Posts Plugin for WordPress, Blogger...