Tuesday, January 20, 2015

පෑනේ මිතුරෝ...

පෑනේ මිතුරෝ ගැන එකපාරටම මතක් වුනේ පහුගිය දවසක පොත් රාක්කේ තිබිලා හම්බවුනු ලියූම් ගොන්නක් දැක්කහමයි. ඒ අතරේ තිබ්බ ලස්සන ලස්සන පොස්ට් කාඩ්, මුද්දර, පුංචි සමරු තිලිණ, අතරේ හිරවෙලා තුශානි අවුරුදු කීපයක් ආපස්සට ගියා හරියට කාල තරණ බලයක් ලැබිලා වගේ..


පෑනේ මිතුරෝ කිව්වහම අපේ හිතට එන්නේ ලියුම් ගනුදෙනුවකින් හඳුනගත්ත නොදු‍ටු මිතුරෝ කියන හැඟීම. මේ නොදු‍ටු මිතුරුකම තමන්ගේ රට ඇතුලේ වගේම මුහුදෙන් එහා ඈත රටවල මිතුරු මිතුරියෝ එක්ක වෙන්නත් පුළුවන්. බ්ලොග් අවකාශය තුල වුනත් හුඟක් වෙලාවට අපි එක එක්කෙනා හැබැහින් දැකලා කතාබහ කරලා නැති නිසා ඒ මිතුරුකම වුනත් පෑනේ මිතුරුකමක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

පුංචි කාලේදී නම් තුශානි පෑනේ මිතුරෝ කියලා හිතාගෙන හිටියේ, මුහුදෙන් එහා රටක ජීවත් වෙන, ඉංගීරීසි පන්නෙට හැදුනු, අපිට වඩා වෙනස්ම විදිහකට ජීවත් වෙන කට්ටියක් කියලා. ඒ හිතපු විදිහට පෑනේ මිතුරියක් හොයාගන්න ඕනේ කියන අදහස තුශානි ආවේ  6 පන්තියේ ඉගෙන ගනිද්දී. තුශානිගේ හොඳම යාළුවගෙන් ලැබුනු ලියුමක තිබුනු හෝඩුවාවක් තමයි ඒකට මූල බීජය වුනේ. 5 වසරේ ශිෂ්‍යත්වෙන් පස්සේ තුශානිට කොළඹ ඉස්කෝලේකට යන්න සිද්වුන නිසා එකේ පන්තියේ ඉඳලා ලඟින්ම හිටිය හොඳම යාළුවට නිතර ලියුමක් ලියලා විස්තර අහන්න තුශානි ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. අද වගේ තාක්ෂණය  එදා පුංචි ළමයි විදිහට අපි පාවිච්චි නොකරපු නිසා ලියුම් තමයි තොරතුරු අහන්න තිබුනු එකම මාධ්‍ය වුනේ. 

ඉතින් ඒ විදිහට පෑනේ මිතුරන් හොයලා දෙන ජාත්‍යන්තර ආයතනයක විස්තර තමයි යාළුවගෙන් ලැබුනේ. ඒ විස්තර බලලා තුශානිත් ඒ ආයතනේට ලියුමක් දැම්මා. මාසෙකට විතර පස්සේ මෙන්න ඒ ආයතනයෙන් තුශානිට ලියුමක් ඇවිත් තිබුනා පෑනේ මිතුරියකගේ විස්තරත් එක්ක. සතුට වැඩිකමටම තුශානි එවෙලෙම පෑනේ මිතුරියට ලියුමක් ලියන්න ඕනේ කියලා ලෑස්තිවුනත් කොහොම පටන්ගන්නද, ඉස්සෙල්ලාම මොනව ලියන්නද කියලා හිතාගන්න බැරුව කොළ හත අටක් නාස්ති කරලා අන්තිමේදී යාන්තම් ඉංගිරීසි අකුරු ටිකක් ගැට ගහලා ලියුමක් ලියා ගත්තා. ඒත් ඉතින් මගේ මේ  ඉංගිරීසි ඒ සුදු ළමයට තේරෙයිද දන්නේ  නෑනේ. ඒ නිසා තුශානිගේ සීයාට ලියුම පෙන්නලා අඩුපාඩු ටික හදාගෙන ලියුම තැපැල් කරන්න ගිය හැටි තුශානිට අද වගේ මතකයි.



ඒ ලියුමේ මුලින්ම මම ලිව්වේ මං ගැන. නම, ගම, වයස, ඉස්කෝලේ විනෝදාංශ, ගෙදර විස්තර ලියලා එයාගේ විස්තරත් අහුවා කියලාත් හොඳට මතකයි. මොකද එකම ලියුම දහ පාරක් විතර ලිව්වනේ.. හි..හි..  ඊට පස්සේ ඒ ලියුම රට ලියුම් කවරෙක දාගෙන මල් වට්ටියක් ගෙනියනව වගේ බොහොම පරිස්සමින් අරගෙන සීයාත් එක්ක තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම තැපැල් කලා.

පිට රටකට ලියුමක් ගිහින් ඒකට උත්තරයක් එන්න සෑහෙන කල් යනව කියලා දැන ගෙන හිටියත් ලියුම තැපැල් කරපු දවසට පහුවෙනිදා ඉඳලාම තුශානි ඉස්කෝලේ ඇරිලා ගෙදරට ගොඩවුනේ අම්මගෙන ලියුමක් ආවද කියලා අහගෙනමයි.  එහෙම ඇඟිලි ගැන ගැන දවස් පහුකරලා මාසෙකට විතර පස්සේ මෙන්න තුශානිගේ නමට රට ලියුමක් ඇවිත් තිබුනා. එදා හරියට තුශානිගේ ඉහේ මලක් පිපුනා වගේ. ලියුම කරකව කරකව තුන් හතර සැරයක් බලලා බොහොම පරිස්සමට තමයි ලියුම කඩලා බැලුවේ.

 
මුතු කැට වගේ ඉංගිරීසි අකුරෙන් රෝස පාට කොලේක ලියපු ලියුමක් ඒක ඇතුලේ පොඩියට නවලා පින්තූරයක් එක්ක තිබුන හැටි තුශානිට තාමත් මතකයි.

යුක්රේන රටේ ජීවත් වුන එයාගේ නම ඉරිනා. එයාගේ විස්තර, විනෝදාංශ වගේම රටේ විස්තරත් කෝලේ දෙපැත්තම පිරෙන්න ලියලා, ලංකාව ගැනත් විස්තර ලියලා එවන්න කියලා තමයි ලියුමේ ලියලා තිබුනේ. ම්... කීපාරක් ඒ ලියුම කියෙව්වද කියනව නම් හරියට අර කතාවක් කට පාඩම් කලා වගේ කෝලේ බලන්නේ නැතුව මුළු ලියුමම කතාවක් වගේ කියන්න තුශානිට පුළුවන්කම තිබුනා. හි..හි.. 

ඒ විදිහට පටන් ගත්ත මිතුරුකම අවුරුදු තුනක් විතර බොහොම හොඳින් දෙරටේම තොරතුරු, පෝස්ට් කාඩ්, පුංචි පුංචි සමරු සටහන් හුවමාරු කරගනිමින් අලුත් අත්දැකීමත් තුශානිගේ ජීවිතේට අරගෙන ආවා. ඒ වගේම ඒ මිතුරුකම නිසා තුශානිට හුඟක් දේවල් ඉගෙන ගන්නත් ලැබුනා. යාළුවා ලියලා එවන විස්තර වගේම යාළුවට ලියලා යවන්න අලුත් දේවල් හොයන්නත්, ඒ දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්නත්, ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන, උපමා උපමේයන් ඉගෙන ගන්නත්, හැකියාව ලැබුනා. කොටින්ම කියනව නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව වැඩි වුනේ මේ යාළුකම නිසා.


 ඔය අතරේ තමයි ඉරිනාට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට යන්න සිද්ද වුනේ.  නිවාඩුවක් ලැබිලා යුක්රේනයට ආව කාල වල ඊට පස්සේත් ලියුම් කීපයක් තුශානිට ලැබුනා. ඒත් තුශානිටත් සාමාන්‍ය පෙල විභාගය තිබුන නිසා  ලියුම් හුවමාරුව ටිකක් බිඳ වැටිලා ගියා.  ලංකාවේ තියෙන තරඟකාරී අධ්‍යාපනය එක්ක සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලා හරිම අවිවේකී කාලනේ. තුශානි ඊට අමතරව පාසලේ විෂය බාහිර වැඩ ගොඩකුත් කල නිසා හරිම කාර්යබහුලව තමයි ඒ කාල ගෙවුනේ. දිගටම ලිව්වේ නැති වුනත් ඉඳලා හිටලා හරි කොහොමහරි ලියුමක් එයාට යැව්වා. ඉරිනා ඉතාලියේ නේවාසිකව හිටිය නිසා ගෙදර ආපු වෙලාව තමයි ඒ ලියුම් එයාගේ අතට පත් වුනේ.
 
මේ වෙනකොට ලියුම් ගනුදෙනු නොවුනත් ඒ සොඳුරු මතකය තුශානිගේ හිතේ තාමත් ඒ විදිහටම තියෙනවා.  එදාට වඩා අද සන්නිවේදන ක්ෂේත්‍රයේ තියෙන දියුනුවත් එක්ක ලෝකේ ඕනම තැනක් ඉන්න කෙනෙක් හොයාගන්න ඒ තරම්ම අමාරු නෑනේ. ඉතින් ඒ මිතුරුකම ආපහු පටන් ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නම් තුශානිට තියෙනවා. ඒ නිසාම මුහුණු පොතෙන් හරි ඉරිනාව හොයා ගන්න ටිකක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා තමයි තුශානි හිතාගෙන ඉන්නේ.

ඉතින් මට වගේම ඔයාලටත් පෑනේ මිතුරු මිතුරියේ ගැන මේ වගේ සොඳුරු මතකයන් ඇති. ඒ ගැනත් පුංචි සටහනක් මේකට එකතු කරන්නකෝ එහෙනම්. 



Monday, January 5, 2015

චුට්ටක් නැවතිලා බලමුද ?

බලන්න ... 2015 අවුරුද්ද උදා වෙලා අද වෙනකොට දවස් 5 ක් ගතවෙලා ගිහින්. ඒ කියන්නේ අපිටත් නොදැනීම කාලය බොහොම ඉක්මනින් ගිවීගෙන ගිහින්. ඉක්මනින්ම ගෙවීගෙන යන මේ කාලයත් එක්ක අපි යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරනවා මිසක්, චුට්ටක් නැවතිලා හිතන්න එක විනාඩි පහක හරි කාලයක් අරගෙන තියෙනවද කියලා අහලා බැලුවොත් හුඟ දෙනෙක් ගෙන් ඒකට ලැබෙන්නේ " නැහැ" කියන පිළිතුර. 


අපි කවුරුත් ඒ ගැන නොසලකා හැරියට චුට්ටක් නැවතිලා හිතලා බලන්න ගන්න විනාඩි පහ අපේ ජීවිතයට කොයි තරම් වටිනවද කියලා දැනෙන්නේ අපිටම ප්‍රශ්නයක් ඇවිත් නැවතිලා ටිකක් හිතන්න සිද්ද වුන වෙලාවට.

 ඒ නිසා අද තුශානි හිතුවා මේ අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදිහට හිතන්න යමක් ඉතිරි කරන දෙයක් ගැන ලියන්න ඕනේ කියලා. ඉතින් බෝතල් අඩි තියෙන ලොකූ කණ්නාඩි දෙකකුත් දාගෙන, පොත් ගොඩකුත් වටේට තියාගෙන පොත් ඇතුලේ වගේම ලෝකය එහා මෙහා යාකරගෙන දැල් බැඳගෙන ඉන්න අන්තර්ජාලයටත් ගොඩ වෙලා බැලුවා ජීවිතය ජය ගත්ත මිනිස්සු ප්‍රශ්ණ වලට මුහුණ දීපු විදිහ, එයාලගේ සිතුම් පැතුම් මොනවගේද , එයාලා මොනවගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා.



අන්න එහම හොයාගෙන යද්දී සෑහෙන කියන්න දේවල් හම්බවුනා. ඒ අතරින් එකක් තමයි මේ.   

Coca - Cola  සමාගමේ හිටපු විධායක නිලධාරී බ්‍රයන් ඩයිසන් මහත්තයා ජීවිතේ හිතන්න ඕනේ දේවල් පහක් ගැන තත්පර තිහක කෙටි දේශනයකින් විස්තර කරලා තියෙනවා. සමහරවිට ඔයාලා මේ ගැන දැනටමත් දන්නවා වෙන්නත් පුළුවන්. දන්න අයට ආපහු මතක් වෙන්නයි නොදන්න අයට දැන ගන්නයි තමයි මේ සටහන තියන්නේ. 

බ්‍රයන් මහත්තයා කියන විදිහට ජීවිතය කියන්නේ, හරියට බෝල පහක් අහසට විසිකරමින් ආපහු ඒවා අල්ල ගනිමින් රන ක්‍රීඩාවක් වගේලු හැබැයි මේ හැම බෝලයක්ම බිම වැටෙන්න නොදී අල්ල ගන්නත් ඕනේලු.  එයා ඒ බෝල පහ හිතන්න කියලා කියන්නේ ‍රැකියාව, සෞඛ්‍ය, පවුල, මිතුරන් හා විනෝදාංශ විදිහටයි.  

මේ ක්‍රීඩාවේදී ටික කාලයක් යද්දී අපිටම ඉක්මනින්ම තේරේනවලු අර ‍රැකියාව කියන බෝලය අනික් බෝල වලට වඩා ටිකක් වෙනස් කියලා. හරියම මෙන්න මේ වගේ; අනික් බෝල හතර වීදුරු බෝල හතරක් කියලා හිතුවොත් ‍රැකියාව ඊට වෙනස් රබර් බෝලයක් වගේලු. 
.

ඒ කියන්නේ ‍රැකියාව කියන බෝලය අපේ අත්වැ‍රැද්දකින් හරි පුංචි අතපසුවීමකින් හරි මේ ක්‍රීඩාවේදි අපේ අතින් අත ඇරිලා බිමට වැ‍ටුනොත් නැවතත් ඒක ආපහු අපි වෙතට එනවලු හරියට රබර් බෝලයක් බිම වැටිලා ආපහු එනවා වගේ. ඒත් සෞඛ්‍ය, පවුල, මිතුරන් විනෝදාංශ  කියන බෝල එක පාරක් හරි අපේ අත්වැ‍රැද්දකින් හරි අතපසුවීමකින් හරි බිම වැ‍ටුනොත් ඒවා වීදුරු බෝල වගේ නිසා පලුදු වෙලා ආපහු තිබුන තත්වෙට පත්වෙන්නේ නෑලු. 

ඒ නිසා ජීවිතය කියන මේ ක්‍රීඩාවේදි අපි අර බිම වැ‍ටුනත් නැවත අපි වෙත එන රබර් බෝලයට වඩා, බිම වැ‍ටුනොත් පලුදු වෙලා යන වීදුරු බෝල හතර ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්න ඕනේ කියලා තමයි බ්‍රයන් මහත්තයා පෙන්නලා දෙන්නේ.



ඇත්තටම අපි අපේ ජීවිත ගැන කල්පනා කරලා බැලුවහම අපි වැඩි අවධානයක් දීලා තියෙන්නේ වීදුරු බෝල වලට වඩා රබර් බෝලයෙන් කියවෙන ‍රැකියාවට. රාජකාරිය දේව කාරිය විදිහට සලකන එකේ වරදක් නෑ. ඒත් ඒ නිසා ජීවිතයේ අනිකුත් වටිනා දේවල් නැති කරගත යුතු වෙන්නේ නෑ. අන්න ඒ නිසා මේ අවුරුද්දේදීවත් රාජකාරිය වගේම තමන්ගේ සෞඛ්‍යය, පවුල ගැන, දුක සැපේදී ලඟ ඉන්න යාළුවෝ ගැන, හිත නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න පුළුවන් විනෝදාංශ ගැන ටිකක් වැඩිපුර අවදානය යොමු කරමින් කටයුතු කරන්න උත්සාහ කරමු නේද...

ම්.. ඔයාලම චුට්ටක් නැවතිලා හිතලා බලන්නකෝ...  :)

 

නැවතිලා හිතලා බලන්න තුශානි ලියපු තවත් ඒවා ..  

බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් .. 

දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ...

මාලිගාවට යනවද ? ආපහු එනවද ?






Thursday, January 1, 2015

සුබ නව වසරක් වේවා !




දෙදහස් දාහතරේ සීතල දුරුත්තේ       දී
නව වසරකට පා තැබුවා තුටින්       බැඳී
කාලය ගත වුනා නොදැනිම දවස්    සතී
සමගින් අලුත් වසරේ නව පැතුම්  පොදී


නවම් මැදින් දින පසුකර ඉන්     පස්සේ 
ඉක්මන් ගමනකින් ආවා බක්      මාසේ
රබන් සුරල් ඔන්චිලි වාරම්         අස්සේ
අවුරුදු සැමරුවා එනතුරු මැයි     මාසේ

තෙමගුල සිහි කරලා හැම දෙන වෙසක් මහේ
ආමිස ප්‍රතිපත්ති පූජා අතර                     තුරේ
දන් සැල් තොරණ ඉදි වුවා සතර          දෙසේ
පොසොන් ලබන තුරු පසුකර වෙසක්   දිනේ


ඇහැළ මල් පිපී සුන්දර ඇහැළ         ගෙවී
නිකිණි බිනර වප් ලැබුවා පෙළට       සැදී
රාජකාරී බෝ වුවත් එකට                 බැඳී
බ්ලොග් එක වෙතට ආවා හැකි හැම විටදී

පළවෙනි උපන්දිනේ සැමරුවා වප් මාසේ
පෝස්‍ටු පනහකුත් ලිව්වා ඒ           අස්සේ
කවි පද බඳින්නට හිත ආවා         බෝසේ
කවි පද වැල් බැඳුනා ඉල් උඳුවප්     මාසේ

හිතුනා නැවත ආ මග දෙස       බලන්නට 

කැටිකර එයත් කවියෙන් මෙහි තබන්නට
එළබෙන වසර කිරියෙන් ඉතිරී    යන්න

තිරණ සරණ පතනවා මා ඔබ         හැමට





Related Posts Plugin for WordPress, Blogger...