Thursday, February 11, 2016

97. අද පෙබරවාරි 11 ...


උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...

අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන දේවල් හරියටම ඔයා දැනගෙන හිටියා වගේ... 


අසනීප වෙලා ඔයා ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ආවේ වීදුරුවෙන් එබිලා ඔයාගේ කකුල් දෙක දිහා හරි ටිකක් වෙලා බලාගෙන ඉඳලා යන්න උනත්, අමාරු කම් ඔක්කොම අමතක කරලා ඔයා ඇතුලේ ඉඳලා ඔළුව උස්සලා අපි දිහා බලලා හිනා උනේ එහෙම නැති වුනොත් අපිට දුක හිතෙ බව  හරියට දැනිලා වගේ... 

දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා. ඉතින් ඒ වගේම ඔයා තමයි මගේ ලෝකෙත් පලවෙනිම වීරයා.. කවදාවත් මම එහෙම කියලා නැති වුනත් හැම දේම තෙරුම් ගන්න ඔයා ඒක කොහොමටවත්ම නොදැන ඉන්න  විදිහක් නෑ කියලා කියලා මම හොඳටම දන්නවා...  


හැමදාම අපි කරන හැමදේම දැනුන ඔයාට නොදැනෙන්න, ඔන්න අම්මයි, මල්ලියි, මායි අද හවසට ඔයා කැමතිම දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.. අලුත්ම පහන් 60 ක් ඔයා වෙනුවෙන්ම අපි ලෑස්ති කලා ඔයාගේ අතින්ම පත්තු කරන්න. නීරෝගීව අපිත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඒ පහන් ආලෝකයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අපිට ලැබෙයි.





සුබම සුබ උපන්දියනක් වේවා තාත්තේ !




Tuesday, February 9, 2016

96. මේ අවුරුද්ද කාගේද ?

2016 අවුරුද්ද උදා වෙලා සති 5කටත් වැඩිය වැඩි කාලයක් ගත වෙලා ගිහින් වුනත් බ්ලොග් එක පැත්තට එන්නවත්, මොනාහරි කුරුටු ගාන්නවත් පහුගිය දවස් වල තුශානිට පොඩි හරි වෙලාවක් හොයා ගන්න බැරි වුනා. 

ඉතින් එහෙම වැඩ ගොඩක් එක්ක කාලේ ගෙවිලා යන අතරතුරේ අපේ බ්ලොග් යාළුවෝ එක්කෙනා දෙන්නා තුශානි කෝ කියලා හොයලා බලනවා කියල දැනුනහම, තුශානිගෙ හිතට හරිම පුදුමාකාර සතුටක් දැනුනා.

ඒ නිසාම තුශානි හිතුවා චීන අවුරුද්දට පිං සිද්ද වෙන්න හුස්මක් ගන්න පුළුවන් වුනු මේ දවස් දෙක තුනේ ඊයේ උදාවුනු චීන අවුරුද්ද ගැන විස්තර ටිකක් කියන්න.



දන්නවද... මේ අවුරුද්ද වඳුරගේ අවුරුද්දලු.. ඔන්න මම නම් නෙවෙයි චීනේ උදවිය තමයි එහෙම කියන්නේ.  ඉතින් මේ දවස් වල චීනේ උදවිය බොහොම ජයටම, තමන්ගේ වැඩ රාජකාරිත් නවත්තලා මේ වඳුරගේ අවුරුද්ද සමරනවා කියලා තමයි ආරංචිය. වසන්තයේ උදාව සැමරීමයි මේ අවුරුදු සැමරීමෙන් සිද්ද කරන්නේ. ඒ නිසා, චීනයේ වසන්තෝත්සවය කියලත් මේක සැලකෙනවා.



චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන... රාශි වලට පිලිවෙලින් ගමන් කරනවා වගේ.

චීන කැලැන්ඩරේ හැම අවුරුද්දම හඳුන්වන්නේ ඒ අවුරුද්ද අයිති සතාගේ නමින්. අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා කියන සත්තු මේ විදිහට අවුරුද්දෙන් අවුරුද්ද අවුරුදු සමරන්න යොදාගෙන තියෙනවා.



චීන දින දසුන සූර්යයා මත පමණක්‌ ම පදනම් වෙලා කාලය මනින්නක්‌ නෙවෙයි. එහි වඩාත් වැදගත් තැනක්‌ ලැබෙන්නේ හඳට. ඒ නිසා, චීනයේ භාවිත වෙන්නේ චන්ද්‍ර දින දර්ශනයක්‌ කියලා බොහෝ අය හඳුන්වනවා. ඍතු භේදය තදින් තියෙන රටකට සූර්යයා අමතක කරලා කටයුතු කරන්න බෑනේ . ඒ නිසා ම, චීන දින දසුනේ කාලය තීරණය කරද්දී සූර්යයාටත් වැදගත් තැනක්‌ හිමිවෙනවා.



එහෙමනම් ඉතින් ඊයේ උදාවුනු මේ චීන අවුරුද්ද චීනෙට විතරක් නෙවෙයි මුළු ලෝකයටම වසන්තය උදාවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. 

සුබ අලුත් අවුරුද්දක් වේවා ! 

GONG XI FA CAI !




Related Posts Plugin for WordPress, Blogger...