Wednesday, April 27, 2016

104. පාට පාට හීන ...


අපි හැමෝම ආසයි හීන දකින්න. ඒ හීන වලට ලස්සන ලස්සන පාට තවරන්න, ඒ හීන වල නිදහසේ සැරිසරමින් ඒ හීන වල ජීවත් වෙන්න, දවසක ඒ හීන හැබෑ කරගන්න, අපි කවුරුත් ආසයි.

හීනයක් කියන්නේ පාට ගොඩක එකතුවක්.
අපි ආසම පාට වලින්, අපි ආස විදිහට අපේ හීන පාට කරලා, ලස්සන කරලා ඒ හීනේ හැබෑවක් කරගෙන ජීවත් වෙන්න අපි කැමති වුනත්, එහෙම තමන් කැමති විදිහටම හීනයක් හැබෑ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. මොකද.. හීන අපි කැමති ලස්සන පාට වලින් වගේම අපි අකමැති කැත පාට වලිනුත් හැබෑ වෙන නිසාවෙන්.  සමහර වෙලාවට
අපි අකමැති පාටවලුයි කැමති පාටවලුයි එකට එකතු වෙලා අලුත්ම පාටකින් අපේ හීන හැබෑ වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අන්තිමට ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට නම් පේන්න තියෙන්නේ ජීවිතේ පාට පාට හීනයක් විදිහටයි. 

 
පුංචි කාලේ ඉඳලාම තුශානිටත් තිබුනා එක එක විදිහේ හීන. ආගිය තොරුතුරු කියන අරුම පුදුම සත්තු, හිනා වෙවී එහාට මෙහාට පැද්දෙන ගහ කොළ, අහසේ ඉඳන් හැමෝගෙම
ඕප දූප හොයන තරු කැට, ඒ හීන ඇතුලට බලෙන්ම ඇතුල් වෙලා ඒ හීන, ඒ කාලේ අරුම පුදුම හීන බවට පත් කරලයි තිබුනේ. ඇයි එතකොට බෝනික්කෝ, කාටුන් වල, සුරංගනා කතා වල හිටිය කට්ටිය තුශානිගේ හීන වලට පණ පොවලා හැබෑ ලෝකෙයි හීන ලෝකෙයි දෙකම එකක් කලාද කියලත් අද ඒ ගැන කල්පනා කරලා බලනකොට හිතෙනවා.




හැබැයි ඉතින් එක අතකට බැලුවහම අද කියලාත් ලොකු වෙනසක් නෑ.. හැබෑවක් නෙවෙයි කියලා පෙනී පෙනී තියෙන හීන එක්ක වුනත් හැබෑවක් කියලා හිතාගෙන එක්ක ජීවත් වෙන වෙලාවල් ඕන තරම්... හි.. හි.. 

හීනත් එක්ක හුස්ම ගන්න එක, හීන වලට පණ දෙන්න උත්සාහ කරන එක, හීන වලට අසීමිතව ආදරේ කරලා ඒ හීන වලට ලෝබ කම් කරන එක තුශානි දකින විදිහට නම් වැරැද්දක් නෙවෙයි. 

ඒත්  හීන හැම වෙලාවෙම හැබෑවක් නොවෙන වග ඔළුවෙ තියාගෙන ජීවිතේ හීන දකින්නත්, ඒ හීන හැබෑ කරගන්නත් උත්සාහ කරන එකයි, හැම කෙනෙක්ම කල යුතු වෙන්නේ. මොකද හැම කෙනෙකුටම ජීවිතේ හීනයක් තිබිය යුතුම නිසාවෙන්. හීන ජීවිත ජීවත් කරවනවා වගේම ජීවිතේට අරමුණක් ලබා දෙනවා ඉස්සරහට ගමන් කරන්න.  ඒ නිසා ජීවිතේ ඉස්සරහට යන්න නම්, හීනය කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්.

ඉතින් හැම වෙලාවෙම ලස්සන පාට ගොඩකින් අමුතුම අලුත් විදිහේ හීනයක් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ හීනෙම නොවුනත් ඊට ටිකක් හරි සමාන හැබෑ යතාර්ථයක් දකින්න, අත්විදින්න ඒ හීනේ අනිවාර්යෙන්ම පාර කියාවි.



Tuesday, April 12, 2016

103. සුබ අලුත් අවුරුද්දක් වේවා !


අලුත් අවුරුද්ද කියන්නේ පරණ වැරදි හදා ගන්න, අඩු පාඩු හරි ගස්ස ගන්න, ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ දවසක්. 

සමහර අය කියන්න පුළුවන් අවුරුද්දක්ම එන්න ඕනේද එහෙම ජීවිතේ වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න කියලා. ඔව්... කෙනෙක්ට එහෙම ඕනම දවසක අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. එත් තුශානි විශ්වාස කරන විදිහට නම් අලුත් අවුරුදු දවස ඒකට අනිත් හැම දවසකටම වඩා හොඳම දවසක්.

ඒකට හේතුව, අවුරුද්ද එක්ක බැඳිලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර වලින් ගත වාගේම හිතටත් අලුත් බවක් ලබා ලබාදීමයි. ටිකක් හිතලා බලන්න, එකම වෙලාවක හැමෝම එකට එකම දෙයක් කරනකොට හිතට කොයි තරම් නම් සතුටක්, අලුත් උත්තේජනයක් ඇති වෙනවද. 

කට්ටියම එකට පන්සල් යනකොට,  කිරි ඉතිරෙනකන් කට්ටිය එක්ක වට වෙලා බලාගෙන ඉන්නකොට, අම්මගේ තාත්තගෙ අතින් කිරිබත් කෑල්ලක් කවා ගන්නකොට, බුලත් අතක් දීලා වඳිනකොට ඕනම කෙනෙක්ට ජීවිතේ ගැන හිතෙන එක අරුමයක් නෙවෙයි. එතකොට වැරදි අඩුපාඩු හදා ගන්න ඕනේ කියලා හිතෙන එකත් තුශානි විශ්වාස කරන විදිහට අරුමයක් නෙවෙයි.

ඉතින් ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න පුළුවන් වෙන සාමය, සතුට, සෞභාග්‍ය , වාසනාව සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තුශානි හදවතින්ම ප්‍රර්ථනා කරනවා. 



Friday, April 8, 2016

102. අවුරුදු එනවා කියනව වගේම බොහොම වටිනවා ...

මීට ටික දවසකට කලින් උදේක තුශානි ඔපීසියට එන්න ඔපීසි බස් එක එනකන්  පාර අයිනට වෙලා ටිකක් වට පිට බල බල ඉන්නකොට, හදිස්සියෙම වෙනදට නැති රතු මල් පිරුණු ගහක් ඈත තියෙනවා දැක්කා.  

" ම්... මම මේ ගහ කලින් දැක්කේ නෑනේ... හැමදාම බස් එක එනකන් වට පිට බල බල  ඉන්න මම ඕනොදැක්කේ කොහොමද..... " කියලා තුශානිටම කියා ගන්න ගමන් ටිකක් ඕනෙ කමින් ගහ දිහා විපරම් කරලා බැලුවා. 

ගහ දිහාවට තුශානිගේ හිත කොයි තරම් ඇදිලා ගියාද කියනව ම් හරියට අර පාරේ යන බස් එකකට දුවලා දුවලා ගිහින් නගින තරම් වේගෙන් ගහ ලඟට දුවගෙන ගිහින්ම ඒ ගහ මොකද්ද කියලා බලන්න තරමට තුශානිට ඒ ගැන දැනගන්න ඕන කමක් ඇති වුනා. ඒත් ඉතින් එහෙම කරන්න පුළුවන්ද මේ උදේපාන්දර, ඊටත් සාරියක් පටලවගෙන. ඒ නිසා ගහ පැත්තට මහ කෝණයක් වගේ නැවිලා, ටිකක් එහෙට මෙහෙට වෙලා දෘෂ්ඨි පථය ගහට කේන්ද්‍ර කරලා හොඳට බැලුවා මොකද්ද ඒ ගහ කියලා. හි.. හි..  

අන්න එතකොට තමයි තුශානිට පෙනුනේ ඒ ගහ වෙන මොකක්වත් නෙවෙයි එරබදු ගහක් කියලා. දන්නේම නැතුව අවුරුද්දත් කිට්ටුවටම ඇවිත් නිසා එරබදු ගහත් මල් වලින් පිරිලා දෙවනි දවසට සැරසුණු මනමාලියෙක් වගේ තමයි පෙනුනේ.
 

 ඉතින් ඒ ලස්සනට තුශානි ආස කලා නිසා, එරබදු ගහ ගැන විස්තර ටිකක් හොයලා බලන්න ඕනේ කියන අදහස තුශානිට ආවා. 

 

ඔන්න බලන්නකෝ තුශානි හොයා ගත්ත දේවල්.

 

එරබදු ග උද්භිද විද්‍යාත්මකව හදුන්වන්නේ එරිත්‍රිනා ඉන්ඩිකා (Erythrina indica) කියන නමින්. දන්නවද එරබදු මල් එරබදු කියන නමින් විතරක් නෙවෙයි රක්ත පුෂ්ප, පාරිභද්‍ර වගේ නම් වලිනුත් හදුන්වලු. 

 

ශ්‍රී ල‍ංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ වැවෙන එරබදු ගහ ඉන්දියාව, බුරුමය, මලක්කාව ආදී රටවලත් ව්‍යාප්ත වෙලා පවතිනවා. අපේ රටෙත් පහතරට ප්‍රදේශවල හා වෙරළාසන්න ප්‍රදේශවල අනිත් පැති වලට වඩා සුලබව එරබදු ගස් දකින්න පුළුවන් කියලා තමයි තුශානිට දැන ගන්න ලැබුනේ.

 

එරබදු ගහ ගැන කතා කරනවා නම් සාමානයයෙන් අඩි 10-11 ක් පමණ උසට තමයි එරබදු ගස් දකින්න ලැබෙන්නේ. ගහේ කදේ, අතුවල  සියුම් කටු ගතියකුත් දකින්න පුළුවන්.

 

පෙබරවාරි මාසයේ අග වෙනකොට එරබදු ගස්වල කොළ හැලිලා . මාර්තු මාස‍ය වෙනකොට මල් හට ගන්න පටන් ගන්නවලු.  

 

 

එරබදු විශේෂ 2 ක් දකින්න තියෙනවා කියලත් තුශානිට දැන ගන්න ලැබුනා.

 

ඒ යක් එරබදු හා වල් එරබදු ලෙස. යක් එරබදු වියළි ප්‍රදේශවල ග‍‍ං ඉවුරු අසබඩ බහුලව දකින්න ලබෙනවා වගේම ඒවායේ මල් පිපෙන්නේ ජනවාරි මාසයේ දිලූ. 

 

මේ තමයි වටිනාම කාරනේ. ඒ එරබදු ගහේ හැම කොටසක්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි කියන එක.

එරබදු කොළ මැල්ලුම කිරිපණු රෝගයට බොහොම හොඳ ඔසුවක්ලු. රාත්‍රියට එරබදු දලු ව්‍යංජනයක් ආහාරයට ගැනීමෙන් සුව නින්දක් ලැබෙන බවත් අපේ පැරණි මුතුන් මිත්තෝ විශ්වාස කරනවා. 

 

එරබදු කොළ පොල් සමග කොටලා කබලේ රත්කර බැන්දහම හන්දි ඉදිමුම සමනය වෙනවා කියලත්, එරබදු ගහේ පොතු තැම්බූ වතුර තුවාල සෝදන්නත් ගන්නවා කියලා පරණ පොත පතේ සඳහන් වෙනවා.


 

ඉතින් එරබදු ගහ අවුරුදු අරගෙන එනවා වගේම ගහක් විදිහට බොහොම වටික ගහක් කියලත් මේ කාරණා ගැන හිතුවහම පැහැදිලි වෙනවා. එහෙම බැලුවහම ගෙදරක එරබදු පැලය හිටවා ගන්න එකත් හරි වටිනවා කියලයි තුශානිට හිතෙන්නේ. එහෙම නේද ? 


ප.ලි. - පින්තූර අන්තර්ජාලයෙන් ~

 

තුශානි ලියපු අවුරුදු පෝස්ට්
 -------------------------------

කිටි කිටි ගවුම

අවුරුද්දට කලින් බොහොම වැදගත් අවුරුදු පණිවිඩයක්... 

අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්...

 

Related Posts Plugin for WordPress, Blogger...