Thursday, May 12, 2016

106. ටෙඩී මමී ...

මතකනෙ මම ටෙඩී ඩැඩී ගැන කිව්වා...  අමතක කට්ටිය ඉන්නව නම් මෙතනින් ගිහින් බලලා එන්නකෝ... ඔන්න අද කියන්න යන්නේ ටෙඩී මමී ගැන. පහුගිය අට වෙනිදා මව්වරුගේ දිනයත් සමරපු නිසා මම හිතුවා ඒ ගැනත් කියන එක හොඳයි කියලා. 


එහෙනම් ඔන්න අහගන්නකෝ... ලෝකයේ ටෙඩී බබාලා වැඩිගානකගේ අම්මා, එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම ටෙඩී බබාලා ඉන්න අම්මා වෙන්නේ ජැකී මයිලි. මේ ඉන්නේ එයා...


ජැකී මයිලි කියන්නේ කුඩා කාලයේ ළමා නිවාසයක හැදුණු වැඩුණු ගැහැනු ළමයෙක්. හුඟක් අග හිඟකම් එක්ක ගෙවුනු එයාගේ ජීවිතේ පුංචි  කාලේදී, එයා   සෙල්ලම් කරන්න අඩු තරමේ එකම එක ටෙඩී කෙනෙක් වත් ඉඳලා නෑලු... ඒත් ඉතින් ටෙඩීලට හුඟක් ආදරය කරපු මෙයා හිතලා තියෙනවා කවදා හරි දවසක එයාටම සල්ලි හම්බකරන්න පුළුවන් වුනා ලෝකයේ වැඩිම ටෙඩීලා ගානක් ඉන්න කෙනා වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයා ටිකෙන් ටික ටෙඩීලා එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. 


ඉතීන් එහෙම ටෙඩී බෙයාලා එකතු කරන්න පටන් ගත්තු ජැකී මයිලිට මේ වෙනකො ටෙඩීලා 8000 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචි වුනේ...

වයස අවුරුදු 70 විතර වෙන එයාට 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ගයේ ටෙඩීලා 8026 ක් ඉඳලා තියෙනවා. 



ඉතින් ඒ තරම් ටෙඩීලා ගොඩක් ලෝකේ කිසිම කෙනෙකුට ඒ වෙනකොට ඉඳලා නැති නිසා ටෙඩී බෙයාලා වැඩිම ගානක් ඉන්න කෙනා හැටියට ජැකී මයිලිට ගිනස් ලෝක වාර්තා පොතටත් යන්න අවස්තාව ලැබිලා තියෙනවා. කොහොමින් කොහොමහරි අද වෙනකොටත්  ගිනස් වාර්තා පොතට ගියපු ලෝකයේ වැඩිම ටෙඩී බෙයා හිමිකාරිනිය විදිහට තමයි ජැකී මයිලි සැලකෙන්නේ.


ඒ වගේම ජැකී මයිලි එයාගේ මේ ටෙඩී එකතුව  ටෙඩීලට ආදරය කරන අය වෙනුවෙන් විවෘත කරලත් තියෙනවා. ඉතින් ඔයාලත් ආසද දවසක ගිහින් මේ ටෙඩී එකතුව බලන්න ? 

හරි එහෙනම් මෙන්න ලිපිනය

Teddy bear town
No - 108
main street
Hill City, S.D. 
USA


ටෙඩි බෙයාර් කර්මාන්තයේ ආරම්භය ඇමෙරිකාවේ සහ ජර්මනියේ සිදු වුනත් වර්තමානය වෙන කොට විශාල වශයෙන් ටෙඩි බෙයාර් නිපදවීම චීනය හා ඉන්දුනීසියාව වගේ රටවල සිදු කෙරෙනවා. 

වසර සීයකට අදික ටෙඩි බෙයා අතීතයේ එදා මෙදා තුර මසා නිම කරපු පුංචිම ටෙඩී බෙයා ගැන දන්නවද ?  එයාගේ ප්‍රමාණය මිලි මීටර් 9ක්. මේ ඉන්නේ එයා. 




දකුණු අප්‍රිකාවේ චෙරිල් මොස් තමයි මෙම කුඩා ටෙඩි බෙයා (Micro bears) නිෂ්පාදනය කරන තැනැත්තා විදියට වාර්තා වෙන්නේ. මේ පුංචි ටෙඩී බෙයාලා වසර 6ක පමණ කාලයක ඉඳලා විශේෂ ටෙඩි බෙයාර් අලෙවි සල්වල දකින්න ලැබෙනවා.


එතකොට ලෝකයේ ලොකුම ටෙඩි බෙයා ? ඔව් ඔව් එයා ගැනත් කියනවා. මෙයා ගෙදර තියා ගන්නවත් බැරි තරම් ලොකු ටෙඩී කෙනෙක්. එයා අඩි 55 යි අඟල් 4ක් (16.86 සෙ. මී.) උස ටෙඩී කෙනෙක්. මේ ඉන්නේ
ටෙඩී.

මේ යෝධ ටෙඩි බෙයාව හදල තියෙන්නෙ ඩානා වොරන් කියන ඇමෙරිකානු ජාතිකයා. 2008 ජුනි 6 වැනිදා හදලා ඉවර කරපු මේ ටෙඩියාගේ නම Connect The Dreams හෙවත් C.T.Dreams කියලා තමයි නම් කරලා තියෙන්නේ. 


මේ ඉන්නේ තවත් ප්‍රසිද්ද ටෙඩී කෙනෙක්. අදුරනවනේ සුප්‍රකට චිත්‍රපට නළු ටෙඩ්. හොලිවුඩ් චිත්‍රපටි තරුවක් වන මෙයත් අද බොහොම ප්‍රසිද්ද කෙනෙක්.  


එතකොට මෙයා.. මෙයාවත් දන්නවනේ.. අපි හැමෝම බොහොම ආසාවෙන් නරඹපු Winnie the Pooh එකේ Pooh ත් බොහොම ප්‍රසිද්ධ ටෙඩී කෙනෙක්.

එදා අද වගේම හෙටත් ටෙඩීලා හැමෝගෙම ආදරය දිනන්ගන්න සමත් කට්ටියක් බවට පත් වෙලා තියෙන වග ටෙඩීලා ආපු මේ ගමන් මග දිහා බැලුවහම බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් එදා හිටිය අද ඉන්න වගේම හෙට ඉපදෙ පුංචි ළමයිනුත් මේ ටෙඩීලාව බොහොම ආදරෙයන්  වැලඳ ගනීවී.  





Thursday, May 5, 2016

105. ටෙඩී ඩැඩී...

ටෙඩීලා කියන්නේ දුක හිතෙන වැඩ කරන්නේ නැති, කෑ ගහලා බනින්නේ නැති, එයාලාව බලා ගන්න කෙනාට හුඟාක් ආදරේ කරන, සතුටකදී නම් මුක්කන් නහයෙන් එයාව බලාගන්න කෙනාට උම්මා ගොඩක් දීලා එයත් එක්ක සතු සමරණ, එතකොට දුකකදී නම් එයාව බලාගන්න කෙනාව පුළුන් අතින් තුරුල් කරගෙන එයාගේ දුක හිතුන කතාව බොහොම සාවධානව අහගෙන ඉඳලා වැටෙන කඳුළු ටික එයාගේ ඇඟට උරාගෙන නින්ද යනකම්ම තනිකම මකන බොහොම ආදරණීය කට්ටියක්.


ඒ නිසාම මේ එක එක පාටින්, එක එක ප්‍රමාණ වලින් වගේම  එක එක විදිහේ මූණු වලින් ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ටෙඩී බෙයාලට ලොකු, පොඩි, ගැහැණු, පිරිමි බේදයකින් තොරව හැමෝම ආස කරනවා වගේම ආදරය කරනවා.

ඕනම රටක ඕනම පුංචි බබෙක් කොයිම විදිහක හරි ටෙඩී කෙනෙක් එක්ක සෙල්ලම කරලා ඇති කියලා කෙනෙක් කිව්වොත් ඔයාල ඒකට 99% ක්ම එකඟ වෙයි. මොකද කොයිතරම් අගහිඟකම් තියෙන අම්මෙක් තාත්තෙක් වුනත් තමන්ගේ දරුවට පුංචිම පුංචි හරි ටෙඩී කෙනෙක් අතේ මිටේ තියෙන හැටියට අරන් දෙන්න පසු බට වෙන්නේ නෑනේ. 

කොයි හැටි වුනත් විශේෂයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑණු ළමයි ටෙඩීලට ආදරේ කරන්න, ටෙඩී බෙයාලගේ ආදරේ දිනාගන්න සමත් වෙලා තියෙන බව නම් නොරහසක්. මොකද ටෙඩීලා සහ ගෑණු ළමයි අතර සම්බන්දය හරියට ගෑණු ළමයයි රෝස පාටයි අතර සම්බන්දය වගේ නේ... හැබැයි ඉතින් ඔය අතරේ ටෙඩීලාට චුට්ටක්වත් කැමති නැති අයත් නැතුවම නෙවෙයි... 


ඒ කොහොම වුනත් තුශානි සහ ටෙඩීලා අතර සම්බන්දයට නම්, ඈතට අතීතයට දිව යන දිග ඉතිහාසයක් තියෙනවා. පළවෙනි උපන්දිනෙන් ආරම්හ වුනු තුශානිගෙ ටෙඩී හිමිකාරීත්වය මේ වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ණවල, එක එක විදිහේ ටෙඩීලා නිසා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා.. හි.. හි...   

" කවුද දන්නේ නෑ මේ ටෙඩීලාව හොයා ගත්තේ... ටිකක් හොයලා බලන්න ඕනේ... " දවසක්, තුශානිට ඉන්න ලොකුම ලොකු ටෙඩී බෙයාගේ බණ්ඩියට හේත්තු වෙලා ඉන්නකොට හොයලා බලන්න අදහසක් හිතට ආවා.. ඉතින් ඔක්කොම වැඩ පැත්තක තියලා එයාවත් වඩාගෙන අන්තර්ජාලේ පැත්තට එබිලා බැලුවා මේ ටෙඩීලා ගැන මොනාද කට්ටිය කියලා තියෙන්නේ කියලා. අන්න එතකොට තමයි මෙන්න මේ අපූරු විස්තර ටික හොයා ගන් පුළුවන් වුනේ...  

ඔන්න අහගන්නකෝ විස්තරේ.. ඇමරිකා එකසත් ජනපදයේ ජනාධිපතිවරයෙක් ඉඳලා තියෙනවා තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් (Theodore Teddy Rousevelt)  කියලා. මේ ඉන්නේ එයා...




එක දවසක් ඒ කියන්නේ 1902 වසරේ දවසක මේ තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමා ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පලාත් ආණ්ඩුකාරතුමාගෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා සත්තු දඩයම් කිරීමේ තරඟයකට සහභාගී වෙන්න. ඉතින් ජනාධිපතිතුමාත් ඒකට සහභාගීවෙලා තියෙනවා. තරගෙදී අනිත් හැම කෙනෙක්ටම වලහෙක් දඩයම් කරගෙන එන්න පුළුවන් වෙලා තිබුනත් ජනාධිපතිතුමාට නම් වලහෙක් දඩයම් කරගෙන එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක දැකපු මාර්ගෝපදේශකතුමා ජනධිපතිවරයව සතුටු කරන අදහසින් දඩයම් බල්ලන්ගේ සහයෝගය ඇතුව වලස් පැටියෙක් හොයාගෙන ඇවිත් විලෝ ගහක ගැට ගහලා ජනාධිපතිතුමාට වෙඩි තියෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් ඉතින් ජනාධිපතිතුමා නම් ඒකට කැමති වෙලා නෑ. ඒක සදාචාර සම්පන්න නෑ කියලා ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 

කොහොම වුනත් අන්තිමට ඇමරිකානු පුවත් පත්වලත් මේ සිද්ධිය වාර්තා වෙලා තියෙනවා. ඒ කාලේ දේශපාලනික කාටුන් චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරපු ‘ක්ලිෆර්ඩ් බෙරීමන්’ නම් දේශපාලනික කාටුන් ශිල්පියා විසින් ‘ද වොෂින්ටන් පෝස්ට්’ වෙත අපූරු කාටූනයක් මගින් මේ පුවත වාර්තා කරලා තිබුනා... මේ තියෙන්න ඒක..


මේ ඉන්නේ ක්ලිෆර්ඩ් බෙරීමන් මහත්තයා...

1902 නොවැම්බර් මාසේ 16 වෙනිදා පලවුන මේ මුල්ම කාටුනයේ ජනාධිපතිතුමා, මාර්ගෝපදේශක සහ වලහා ටිකක් එක ප්‍රමාණයට වගේ ඇඳලා තිබුනත් පස්සේ ඔහු ඔහුගේ වෘත්තිය ජිවිතය පුරාවටම ඇඳපු කාටුන් වල ඒ වලහා ටිකක් පුංචි බයෙන් වෙව්ලන වලස් පැටියෙක් විදිහට ජනාධිපතිතුමා සමග අඳින්න කටයුතු කරලා තියෙනවා. 

මේ තියෙන්න ජනාධිපතිතුමා එක්ක වලස් පැංචා ඉන්නවා ඇඳපු කාටුන්...








මේ කාලේ නිව්යොක් වල රස කැවිලි කඩයක හිමිකරුවෙක් වෙච්ච මොරිස් මිච්ටොම් කියන පුද්ගලයා ක්ලිෆර්ඩ්ගේ කාටුන්වල හිටිය අර පුංචි වලස් පැංචාව දැකලා හරි අපූරු අදහසක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ එයා ඒ අදහස නෝනා මහත්තයටත් කියලා පුළුන් පුරවලා, අර කාටුනයේ විදිහටම පුංචි වලස් පැංචො දෙන්නෙක් හදලා එයාගේ කඩේ විකුනන්න තියලා තියෙනවා. 




ඒවාට හොඳ ඉල්ලුමක් ලැබිලා වැඩේ සාර්ථක වෙන්න පටන් ගත්ත නිසා අන්තිමට එයාලා ජනාධිපතිතුමාගෙනුත් ඒකට අවසරත් අරගෙන වැඩේ ලොකුවටම කරන්න පටන් අරන් තියෙනවා..  ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට තමයි Ideal Novelty and Toy සමාගම ඔහු ආරම්භ කරලා තියෙන්නේ.. 
ඉතින් මේ සෙල්ලම් වලස්සු ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතාගේ වලස්සු එහෙමත් නැත්තම් ටෙඩීස් බෙයාස් විදිහට තමයි කට්ටිය හඳුන්වලා තියෙන්නේ. ඔය ටෙඩීස් බෙයාස් කියන එක තමයි පස්සේ කාලේදී ටෙඩීබෙයා කියලා භාවිතයට ඇවිත් තියෙන්නේ.. 

ඉතින් ටෙඩී බෙයා නිර්මාණය වෙන්න හේතු වුනේ ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතා මහත්තයා නිසා ටෙඩීගේ ඩැඩී හෙවත් ටෙඩී පියා වෙන්නේ ඔහුයි. 

දන්නවද ටෙඩීලා ගැන කියන්න නම් විස්තර ගොඩයි. ආපහු දවසක තවත් විස්තර ටිකක් කියන්නම්කෝ..  



Related Posts Plugin for WordPress, Blogger...