Wednesday, September 6, 2017

124. පපඩම් ...




     

පපඩම් කියන්නේ ලොකු පොඩි  අපි කවුරුත් කන්න කැමති කෑමක්. බත් එක්ක පපඩම් කෑල්ලක් තියෙනවා නම් කන්න අකමැති දේවල් එක්ක උනත් බත් කටවල් දෙක තුනක් කන්න අපි බෑ කියන්නෙ නෑනෙ.. එහෙම නේද ?


පපඩම් ගැන කියනකොට එකපාරටම තුශානිගේ මතකෙට එන්නෙ පුංචි කාලේදි අම්මා, හොඳට පිපිච්ච පපඩම් වලට රසට අනපු බත් පුරවලා කන්න දීපු හැටි. බත් පුරෝපු පපඩම් දෙකක් පිඟානේ තියාගෙන හරි බරි ගැහිලා වාඩි වෙලා අම්මා කියලා දුන්න කවියකුත් කිය කියමයි තුශානි ඒක රස කර කර කන්නේ. හි.. හි...
       

හොඳට පිපුණු පපඩමක්

ගැහුවා කරනමක්

අනේ කුඩු වෙල ගියා
ඉතින් නෑ දඟක්...


පපඩම් වලට අප්පාලම්, පොපඩම් කියලාත් කියනවා. පපඩම් වල ආරම්භය සිද්ධ වුනා කියලා විශ්වාස කරන්නෙ නම් ඉන්දියාවේ. උඳු, කඩල, වගේ රනිල බෝග පිටි වර්ග මේ පපඩම් හදන්න යොදා ගන්නවා.

පපඩම් කන්න කැමති උනත් වෙළඳපොලේ තියෙන පපඩම් වල ගුණාත්මක භාවය ගැන සමහර වෙලාවට අපේ හිතට සැකයක් ඇතිවෙන අවස්ථාත් නැතුවම නෙවෙයිනෙ. ඉතින් ඒ නිසාම අද තුශානි හිතුවා ගෙදරදීම පපඩම් හදා ගන්න විදිහ ඔයාලට කියලා දෙන්න.


ඔන්න  එහෙනම් කොළයක් පෑනක් අරගෙන ලියාගන්න මුලින්ම ඕන කරන දේවල්.

උඳු පිටි 500g ( උඳු පිටි වෙනුවට හාල් පිටි , උඳු පිටි මිශ්‍රණයක් හරි කඩල පිටි, හාල් පිටි, උඳු පිටි මිශ්‍රණයක් හරි උනත් යොදා ගන්න පුළුවන් .)
සූදුරු තේ හැදි 1
අසමෝදගම් ඇට තේ හැදි 1
බේකින් සෝඩා තේ හැදි 1/4
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
තෙල් ටිකක්



හරි... දැන් කියන්න යන්නේ හදන හැටි.

භාජනයක් අරගෙන තෙල් ඇර  අනෙක් හැමදේම ඒ භාජනේට දාලා හොඳට මිශ්‍ර කර ගන්න ඕනෙ. ඊට පස්සේ ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.

අනා ගත්ත මිශ්‍රණය  ( පිටි මෝලිය /පිටි ගුලිය) පැය 2ක් විතර පොලිතීන් ඉටි කවරයකින් (Cling film) වහලා තියලා තියන්න ඕනේ.

ඊට පස්සේ පිටි මෝලිය අරගෙන ඒකේ තෙල් ටිකක් ගාලා බරින් වැඩි රෝලින් පින් එකකින් මිටියකින් ගහන  විදිහට ටිකක් මෘදු වෙනකන් පිටි මෝලිය තලා ගන්න.

ඊලඟට පිටි මෝලිය පොඩි බෝල වලට කඩා ගන්න. රෝලින් පින් එක ආදාරයෙන් ඊට පස්සේ ඒවා හීනියට තුනී කර ගන්න.

තුනී කරගත්තට පස්සේත් ඇලෙන සුළු ගතියක්  තියෙනවා නම් රෝලින් පින් එකේ සහ පපඩම් තුනී කර ගැනීමට ගන්නා පෘෂ්ඨයේ මතුපිට තෙල් ස්වල්පයක් තවරා ගන්න ඕනේ.

හදා ගත්ත පපඩම් ටික දවසක් හෝ දෙකක් තද අව්වේ හොඳින් වේලෙන්න තියලා තෙතමනය, සුළං නොවදින්න අසුරා ගන්න. දැන් ඉතිං ඕන උනහම බැදගෙන කන්න තමයි තියෙන්නෙ.

මේ විදියට හදා ගත්ත පපඩම් සති 2 සිට මාසයක් දක්වා වගේ කාලයක් කල් තියා ගන්න පුළුවන්.

කැමති නම් මේකට හොඳින් අඹරා ගත් සුදු ලූණු ටිකක්, වේලලා කුඩු කර ගත් කරපිංචා ටිකක්, කෑලි මිරිස් ටිකක් වගේ තම තමන්ගේ රස අනුව එකතු කර ගන්න පුළුවන්.

හරිනෙ එහෙනම්, මේ සති අන්තේ පපඩම් ගෙදරදිම හදලා හොඳට පිපිච්ච පපඩම් දෙක තුනකට බත් ටිකකුත් පුරෝලා කාලාම කියන්නකෝ කොහොමද කියලා...



~*~







Tuesday, June 27, 2017

123. මොනාද ... ගෙනාවේ...

ඔපීසියෙයි ගෙදර දොරේයි වැඩ රාජකාරී එක්ක පහුගිය ටිකේ නිකම්ම කාලේ ගතවලා ගිය නිසා බ්ලොග් එක පැත්තට වැඩිය එන්නවත් තුශානිට අවස්ථාවක්  ලැබුනෙ නෑ. ඉතින් අදවත් මොනාහරි ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් ගොඩ දවසකින් මුකුත් ලිව්වේ නැති ලියන්න දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තමයි ඔන්න මගේ අලුත් යාළුවා මාව හොයාගෙන දුවගෙන ආවේ... 

" පුංචි... හෙට මට මුකුත් ගේන්න එපා ... "


හවසට ගෙදර ගිහින් ගේට්ටුව අරින සද්දෙට කොහේ හරි ඉඳලා එක පාරට මතුවෙලා " ගෙනාවෙ... මොනාද... මොනාද ... ගෙනාවේ... " කිය කිය තාලෙට අහන එයා ටිකක් බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා.

" ඒ මොකද ඒ ... පුංචිත් එක්ක තරහ වෙලාද ? " 


" නෑ නෑ... තරහ නෑ පුංචී... ඒත් මට හැමදාම මුකුත් එපා... "  

" අහ් ඒක හොඳයි... එහෙනම් හෙට ඉඳලා මොනාවත් ගේන්නේ නෑ.. මටත් ලේසියි. එක එක දේවල් ගන්න කඩවල් වලට යන්න ඕනෙත්. නෑ සල්ලිත් ඉතුරුයි... "


" අයියෝ... මම කිව්වේ මුකුත් ගේන්න එපා කියලා නෙවෙයි... හෑමදාම, ඒ කියන්නේ හැම දවසකම නැතුව... දවසක් දෙකක් මුකුත් ගෙනාවේ නැති උනාට කමක් නෑ කියලා .. "



තුශානිට මේ පුංචි කියන තනතුර ලැබිලා දැන් මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා. මුලින් නම් වැඩි කතා බහක් නැතුව ලැජ්ජාවෙන් හිටිය තුශානිගේ යාළුවා මේ වෙනකොට නම් කතා පෙට්ටියක් වෙලා. ඉතින් හවසට ගෙදර ගෙදරට ගොඩ වෙනකොටම  එයා කොහේ හිටියත් දුවගෙන එන්නේ ගෙනාවේ මොනාද කියලා අහන ගමන් දවස පුරා එකතු කරගෙන හිටිය එයාගේ කතා මල්ල මගෙත් එක්ක හිස් කරගන්න තියෙන උනන්දුවෙන්.


අහ්... කතාවෙන් කතාවෙන් යාළුවගෙ නම කියන්න බැරි උනානේ. එයාගේ නම ඩිනෙල්. ඉගෙන ගන්නේ ඉස්කෝලේ එක වසරේ. කඩල පැකට්, මුරුක්කු පැකට්, චොකලට් බෝල, ස්මාටීස් වගේ කෑමක් හරි, පොඩි කතා පොතක්, චිත්‍ර අදින පොතක්, පැන්සල් , මකන වගේ එයා ආස කරන දෙයක් හරි හැමදාම තුශානි පුරුද්දක් විදිහට අරගෙන ගිහින් ඩිනෙල්ගෙ අතට දෙනකොට එයාගේ මූණට එන හිනාවට, තුශානිගෙ මහන්සිය නිකන්ම නැතිවෙලා යනවා. 


ඒත් ඉතින් මේ ලඟදී දවසක ඉස්කෝලේ ටීච ළමයින්ට කියලා තියෙනවා එහෙම හැමදාම දේවල් ඉල්ලන එක හරිම නරක පුරුද්දක් කියලා. ඒ නිසා තමයි ඩිනෙල් කියලා තියෙන්නේ හැමදාම මුකුත් එපා කියලා..


ඉතින් ඔය කතාව තුශානිගේ ඔපීසියෙ හොඳම යාළුවෙක්ට කිව්වහම එයා ඒ ගැන බොහොම වටින දේවල් ටිකක් තුශානිට කිව්වා.


ඇත්තටම ටිකක් කල්පනා කරලා බැලුවොත් වැඩිහිටි අය විදිහට අපි නොහිතන පැත්තක් මේකෙ තියෙනවා. 

අපි ළමයෙක්ට හැමදාම දෙයක් ගෙනත් දෙන එක පුරුද්දක් විදිහට කරගෙන යනවා කියන්නේ ඒ ළමයා හැමදාම ඒ දේ බලාපොරොත්තු වෙනවා කියන එක. ඒත් හදිස්සියෙ වත් අපිට එක දවසක ඒ දේ කරන්න බැරි උනොත් එදාට ඒ ළමයගෙ හිතට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒකට හේතුව අහලා ඒ දේ ගනන් නොගෙන ඉන්න ළමයෙක් ඉන්න පුළුවන් ඒත් බලාපොරොත්තු කඩ වීමක් සුළුවෙන් හරි නොදැනී තියෙන්නෙ නෑ. 

මේ නිසා පුරුද්දක් විදිහට පුංචි ළමයි සම්බන්ද දේවල් කරද්දී ඉඳලා හිටලා හරි ඒ දේ වෙනසකුත් කරන්න වැඩිහිටි අය විදිහට අපි හිතන එක වැදගත් කියලයි  ඒ ගැන ටිකක් කල්පනා කලහම තුශානිට හිතුනෙ.



අනිත් දේ තමයි කියන කියන දේ කරන, ඉල්ලන ඉල්ලන දේ දෙන එකට වඩා ළමයින්ටත් දාරා ගැනීම , ඉවසීම , බෙදා හදා ගැනීම වගේ දේවල් ටිකක් හුරු කරන්නත් වැඩිහිටියො විදිහට අපි කටයුතු කරන්න ඕනේ කියන එක. මොකද අද රටේ තියෙනෙ ප්‍රශ්ණ දිහා බැලුවහම පුංචි කාලේ මේ දේවල් වලට හුරු නොවීම නිසා ජීවිත වලින් පවා වන්දි ගෙවන අවස්ථා ඕනෑ තරම් තියෙනවනේ..


මතුපිටින් බොහොම සරලව පෙනෙන සිදුවීමක උනත් ගැඹුරු යමක් තියෙන්න පුළුවන් කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ නිසා ළමයි එක්ක වැඩ කරද්දී එයාලගේ හිත් ගැන වැඩිහිටිය අය විදිහට අපිට ටිකක් හිතලා වැඩ කටයුතු කරන්න වෙනවා. හෙට දවස භාර ගන්න ඉන්නේ ඔවුන් නිසා ඔවුන්ට ඊට හුරුවක් පුංචි කාලේම ලබා දෙන එක ගොඩක් වටිනවා කියලයි තුශානි විශ්වාස කරන්නේ...


ඔයාලටත් මේ ගැන කියන්න දේවල් ඇති.. ඒ ගැනත් පහලින් ලියලම යන්නකෝ...

Saturday, April 29, 2017

ඔබට සුබ ගමන් විචාරක මාමේ...




බ්ලොග් ලෝකයේ හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මට බොහොම සුවිශේෂි පුද්ගලයෙක්.

එක් වරක් පමණක් ඔහුව මා සියැසින් දුටුවත් , වචන දහයකට පහලවකට වඩා ඔහු සමග මා කතා නොකර තිබුනත් ඔහුගේ අකුරු අතරින් හරි පුදුමාකාර බැදීමක් අපි අතර ගොඩනැගිලා තිබුනා. 

ඒ නිසා මේ ආරංචිය තුශානිට දැනුනෙ බොහොම සමීපතමයෙකුගේ නික්මයාමක් විදිහට.
 
ඒත් එක්කම සමහර අවස්ථාවලිදි විචාරකතුමා  කියපු දේවල් තුශානිගේ හිට එකින් එක එන්න පටන් ගත්තා.  බ්ලොග් පිටු අතරට ගිහින් ආපහු ඒ දේවල් බලන්න ලොකු ඕන කමත් තුශානිට තිබුනත් ටික වෙලාවකින් නොදැනීම අකුරු ටිකෙන් ටික බොඳ වෙන්න පටන් ගත්තා. 

-----------------------------------------

මේ කතා නම් මීට කලින් අහලා තිබුනේ නෑ. ශෝක් කතා ටික...

  1. විචාරක - WicharakaMay 12, 2015 at 12:34 PM
    දුවනවා යන්ඩ. මෙව්වා කියවලා නරක් වෙන්නේ නැතුව.
----------------------------------------

ලිපිය හුඟක් සංවේදීව දැනුනා. මහේෂා - ගවීශ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.


  1. බොහොම ස්තුතියි දුවේ. ඔබට ජය!

 ----------------------------------------



ටිකක් හොයලා බලන්න. අපිට ඉතින් මෙහෙම කියෙව්වොත් තමයි මේවා කියවන්න ලැබෙන්නේ.


  1. හොයනවා හොයනවා ළමයෝ. හම්බවුනොත් ටක් ගාල දාන්නම්.
 ------------------------------------------
ෂෝක් නේ තුශානී. ඔයා දන්නවද, 'වක්කඩ ළඟ දිය වැටෙන තාලයට' ගීතයේ, 'තිත්ත පැටව් උඩ පැන නැටුවා' කියන කොටස, 1960 දශකයේ පොතක මුද්‍රණය කර තිබුනේ, අකුරු උඩ ගිහින් යටට එන විදිහට.

  1. අහ්.. එහෙමද ...
    බොහොම ස්තූතියි විචාරකතුමා...
------------------------------------------

විචාරක WicharakaMarch 29, 2016 at 11:57 AM
වචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි. ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!

  1. මම තරහයි විචාරක අන්කල් එක්ක..
    මම ඔයාගේ ලඟට ඇවිත් කතා කරලත් මාව මතක නෑනේද... : ( 
--------------------------------------------------------
සාධු, සාධු, සාධු! අවබෝධය ඇත්නම්, පරිත්‍යාගය කියන වචනේ තේරුම දන්නවනම්, 'ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි' කියලා හිතනවානම්, විවාහ ජීවිත කොයිතරම් සාර්ථක වෙයිද දරුවෝ.

  1. ඔව් විචාරකතුමා.. ඒ කතාව නම් හරියටම හරි..



ලියන්න බොහෝදේ තිබුනත් හිතට ශක්තියක් නෑ ඒ දේවල් අකුරු කරන්න්න. ඔබට සුබ ගමන් විචාරක මාමේ ...
 

~*~


Monday, March 27, 2017

121. නෙළුම් යායේ නෙළුම් පොහොට්ටුව ...

ලස්සනට පිපිලා ලෝකයම සුවඳවත් කරන නෙළුම් මල් යායක පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, එක කොයි තරම් භාග්‍යයක්ද..

ඉතින් පහුගිය 25 වෙනිදා තුශානිටත් ඒ නෙළුම් යායේ පරිනත නෙළුම් මල් අතරේ පුංචි නෙළුම් කැකුලක් වෙන්න අවස්ථාව උදා වුනා ...

" පුංචි කැකුළු මල්"  එහෙමත් නැත්තම්  " Little Flower Buds " රූපයෙන් නෙළුම් පොහොට්ටුවක් විදිහට අහම්බෙන් බ්ලොග් අවකාශයට ආව තුශානි මේ වගේ ගමනක් එන්න ලැබෙයි කියලා නම් කොහොමටවත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් ආපහු හැරිලා බලනකොට හරිම සතුටුයි. 




හරි අපූරුවට සංවිධානය වුන දැවැන්ත වේදීකාවක පරිනත බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් අතරේ සම්මානයක් ගන්න ලැබීම සැබවින්ම ජීවිතයේ අමරණීය අවස්ථාවක්. 

කාලීන සංවාද අංශය යටතේ තුශානි ලියපු පොත් කියවීම සහ පොත් ඇහීම -  http://littleflowerbuds.blogspot.com/2016/09/115.html  පෝස්ට් එක වෙනුවෙන් තෙවන ස්ථානය ලබා ගන්න නෙළුම් යාය සම්මාන උළෙලෙදී තුශානිට අවස්ථාව උදා වුනා.




ඉතින් ඒ සම්මානයේ කොටස්කරුවො තමයි, පුංචි කැකුළු මල් ගොමුව වෙත ආගිය, අදහස් දීලා අඩු පාඩු පෙන්නපු, දිරිමත් කරපු ඔයාලා හැමෝම. එවැනි අදහස් දිරි ගැන්වීම් නොවන්නට මේ තරම් දුර බ්ලොග් අවකාශයේ තුශානි නොරැදෙන්නට තිබුනා. ඉතින් තුශානිත් එක්ක මේ තාක් දුර ආපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුති කරන්න තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා. බොහොම ස්තූතියි !

ඒ වගේම ලියපු දෙයක් අගය කිරීමකට ලක් කරලා බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් මේ වගේ උත්ප්‍රේරණය කරන්න ලොකු මෙහෙයක් ඉටු කරපු, ඒ වගේම අති උත්කර්ශවත් සම්මාන උළෙලක් සංවිධානය කරපු නෙළුම් යායේ හැමෝටම ප්‍රණාමය පුද කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.   අති සාර්ථක සම්මාන උළෙලේ නිමාව පසු පස ඔවුන්ගේ දැඩි කැපවීම මුසුව තිබූ බව එතැන සිටි හැම කෙනෙක්ම සාක්ෂි දරනු ඇතැයි තුශානි විශ්වාස කරනවා.

බ්ලොග් අවකාශයේ නොදුටු සහෘදයින් රැසක් සියැසින් දැකලා කතා බහ කරන්න ලැබීම ගැනත් තුශානි හරිම සතුටුයි. මුහුණු වල තිබුනු ලෙන්ගතු හිනාවල් සුහද කතා බහ බ්ලොග් අවකාශයේ බැදීම තව තවත් වැඩි කලා කිව්වොත් මම නිවැරදියි. 

සම්මාන ලබපු හැම කෙනෙක්ටමත් , තම සහෘදයින් සම්මාන ලබනවා බලන්න, ඔවුන්න සුබ පතන්න ආපු සියළුම බ්ලොග්කරුවන් කාරිනියන්ටත් තුශානි සුබ පතන්න අමතක කරන්නේ නෑ. 

ඉතින් ලබන වසරේත් අති උත්කර්ශවත් බ්ලොග් සම්මාන උළෙලක් පවත්වන්නට සංවිධායක මණ්ඩලයට අවැසි ශක්තිය ලැබේවා කියලා පතන ගමන් බ්ලොග් අවකාශයේදී තව තවත් අපූර්ව නිර්මාණකරණයේ යෙදෙන්නට සහෘද බ්ලොග් රචකයින්ටත් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 

                                ~* ~


Wednesday, January 4, 2017

120. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ...



" අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... "
 

හපොයි... මේ දවස්වල තුශානිගෙන් වැඩිපුරම කට්ටිය ඉල්ලන්නේ ඩයරි. හරියට තුශානි ඩයරි ප්‍රින්ට් කරලා බෙදනවා වගේ හැමෝම ඉල්ලන්නේ ඩයරියක්. හි.. හි.. කොහොම වුනත් තුශානිට ලැබුනු එක එක විදිහේ එක එක ප්‍රමාණයේ ඩයරි ගොඩක් කට්ටියට අලුත් අවුරුදු තෑගි විදිහට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුන එක සතුටක්.

හැබෑටම කට්ටිය මෙච්චර ඩයරි ඉල්ලුවට ඉල්ලන්නෙ ඩයරි පාවිච්චි කරන්නමද ?

ඒ ගැන හොයලා බැලුවොත් නම් උත්තරය ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ගොඩ දෙනක් ඩයරියක් ලඟ තියාගෙන හිටියට බොහොම අතලොස්සක් දෙනෙක් තමයි ඩයරියක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා ඩයරි පාවිච්චි කරන එක ගැන ඔයාලත් එක්ක තොරතුරු ටිකක් බෙදා ගන්න. 

එදිනෙදා ජීවිතේදී අපි හැම කෙනෙක්ටම වැඩ කටයුතු, වගකීම් ගොඩක් පැවරිලා තියෙනවා ඉටු කරන්න. ඉතින් ඒ පැවරෙන හැම වගකීමක්ම, වැඩ කටයුත්තක්ම හොඳින් සමබරව, අතපසු වීමකින් තොරව කරගෙන යන්න නම් දිනපොතක් එහෙමත් නැත්තම් ඩයරියක් අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. 

එතකොට කොහොමද ඩයරියක් පාවිච්චි කරන්නේ ? 


මේකට උත්තර ගොඩක් තියෙන්න පුලුවන්. මොකද ඩයරි පාවිච්චි කරන විදිහ ඒ කෙනා අනුව තීරණය වෙන දෙයක් නිසා. 

ඩයරියක් පාවිච්චි කරනකොට ඒ ඒ දවසේ කරන්න තියෙන වැඩ වෙලාවල් එක්ක සටහන් කරගෙන තියා ගන්න පුලුවන්. ඒ වගේම ඒවා ඉවර කරගන්න පුළුවන් උනා නම් "හරි" සලකුණක් දාලා සටහන් කරගෙන තියා ගත්තොත් දවස අවසානයේ අපිටම අපේ දවස ගැන තෘප්තියක් ඇතිකර ගන්න පුළුවන්. කරපු දේවල් වලින් අතපසු වෙච්ච දේවල් වෙන් කරගෙන ඊලඟ දවස සැලසුම් කරගන්නත් පුළුවන්.

උපන්දින , සංවත්සර, මගුල් ගෙවල්, දාන , පිංකම් වගේ දේවල් වලට ආරාධනා ලබුනු සැනින් සටහන් කරගෙන තියා ගත්තොත් ඒවා අමතක වෙලා වෙන අකරතැබ්බ වලක්ව න්නත් පුළුවන්. විශේෂයෙන් උපන්දින සංවත්සර අමතක උනොත් වෙන දේ ඉතින් කියන්න ඕනෙ නෑනේ. හි.. හි.. ඒ නිසා විශේෂ දවස්, විශේෂ වැඩ වෙනමම පාටකින් ටිකක් හයිලයිට් කරලා හරි ලියලා තියා ගන්න එක වැදගත්. 

ඒත් එක්කම සෞඛ්‍ය තොරතුරු, පවුලේ අයගෙ තොරතුරු, ලේ වර්ග, අත්‍යාවශ්‍යම දුරකථන අංක කිහිපයක්, බැංකු ගිනුම් විස්තර රහස්‍ය භාවය රැකෙන විදිහට සංඛේත එක්ක සටහන් ඩයරියෙ ලියලා තියා ගැනීමත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා. 

ලයිට් බිල්, වතුර බිල් වගේ වියදම් වෙනමම සටහන් කරගෙන ආදායම් වියදම් පුංචි සටහනක් උනත් පවත්වගෙන යන්න පුළුවන්. 

ඒ වගේම ඉදිරි සැලසුම්, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන මාර්ග, කාලයන් සටහන් කරගෙන තියා ගැනීමෙනුත් ඒ දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුළුවන්. ඒක සැලසුම් සාර්ථක කරගන්න හොඳ උත්තේජනයක් වෙනවා. 

හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් තරමේ පුංචි ඩයරියක් පාවිච්චියට නම් හරිම පහසුයි. කාර්යාලයක ටිකක් වැඩ බහුල කෙනෙකුට කාර්යාලය සඳහා වෙනමම ඩයරියක් පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂනේ දියුණුවත් එක්ක ගොඩ දෙනෙක් අද  ඉලෙක්ට්‍රොනික් ඩයරි භාවිතයට හුරු වෙලා ඉන්න බවක් දකින්න තියෙනවා. කාර්යාල වැඩකටයුතු වලට නම් මේ ඉලෙක්ට්‍රොකිනික ඩයරි භාවිතය ගොඩක් සාර්ථක ක්‍රියාවලියක්. 

මේ කොයි විදිහට හරි තමන්ගෙ වැඩ සැලසුමකට අනුව කරගෙන යන්න පුළුවන් නම් අතපසු වීම් ගොඩක් වලක්වගෙන සාර්ථක දවසක් , මාසයක්, අවුරුද්දක් ගතකරන්න පුළුවන් කියන පණිවිඩය අද තුශානි අවුරුද්දේ ලියන පලවෙනිම පොස්ට් එකෙන් ඔයාලට මතක් කරනවා. 

ඉතින් ඔයාලටත් ඩයරි ලියන එක ගැන කියන්න බොහෝමයක් දේවල්
ඇති. ඒ අදහසුත් එකතු කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට තුශානි නවතිනවා. 


~*~



Related Posts Plugin for WordPress, Blogger...