Tuesday, February 12, 2019

127. තාත්... තත්තත් තා....

" තාත්... තත්තත් තා.... " මේ බලන්නකෝ.. බබා තාත්තා කියනවා... මම ගෙට ගොඩ වෙනකොටම තොටිල්ලට වෙලා කියව කියව ඉන්න බබා දිහා බලාගෙන අම්මා කිව්වා... " ඒ තාත්තා කියනවද ? " මම අහුවෙ හිතා ගන්න බැරි පුදුමෙන්.. ඔව් මෙයත් පොඩි කාලේ ඔහොමම තමයි නේද කිව්වේ.. අම්මා තාත්තා දිහාවට හැරුනා. එතකොට තාත්තගෙ මූණෙත් තිබුනෙ වචනෙන් විස්තර කරන්න බැරි සතුටක්.


මේ වෙනකොට තුශානි නිවාඩු ඉවර වෙලා ඔපීසියට යන්න පටන් අරගෙන නිසා දෝනිව බලාගන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ ආදී දවල් කලේ සියළුදේ සිද්ද වෙන්නේ තුශානිගෙ අම්මගෙයි තාත්තගෙයි අතින්. ඉතින් අම්මයි තාත්තයිත් දෝනි එක්ක දැන් ආපහු තුශානිගේ පුංචි කාලෙට ගිහින් දෝ කියලත් වෙලාවකට තුශානිට හිතෙනවා.

" ඔයා පොඩි කාලේ තාත්තා වැඩට ගියානේ.. ඒ හින්දා ඔයාගේ වැඩ වලට තාත්තට උදව් වෙන්න වැඩිය කාලයක් තිබුනෙ නෑ.. බලන්නකෝ දෝනිගෙ වැඩ වලට නම් සීයා හරියට මහන්සි වෙනවා."

අපේ අම්මා කියන විදිහට මම පොඩි කාලේ තාත්තා වැඩට ගිය නිසා මගේ වැඩ කරගන්න අම්මට ලොකු සහයෝගයක් දෙන්න තාත්තට වෙලාවක් තිබිලා නෑ. අම්මත් රැකියාවක් කරපු නැති නිසාත් ආච්චි ඒ කියන්නෙ අම්මගෙ අම්මා හිටිය නිසාත් මගේ වැඩ වලට තාත්තාගෙ සහයෝගය නොතිබ්බා කියන එක ලොකු ගැටලුවක් වෙලත් නෑ. ඒත් අද අපේ තාත්තා විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න නිසා මගේ දෝනිගේ හැමදේටම අම්මට තාත්තා ලොකු සහයෝගයක් හරි සතුටින් ලබා දෙනවා.

" දුවලා වැඩිපුර ආදරේ තාත්තලාටලු.. " ඒ නිසාද දන්නෙ නෑ අපේ දෝනිත් ඉස්ස ඉස්සෙල්ලාම තාත්තා කියලා බහතොරන්න ගත්තේ.. හපොයි හපොයි එහෙම හිතනොකොට නම් ටිකක් හිතට දුකයි. ඒත් හිතට එකඟවම ගත්තොත් තුශානිත් වැඩිපුරම ආදරේ තාත්තට කියන එක පිලිගන්නම වෙනවා. 

කොහොම වුනත් ඊයෙ දවස මගේ තාත්තටත් දෝනිගේ තාත්තටත් ගොඩක් විශේෂ දවසක් උනා. ඒ මගේ තාත්තගෙ උපන්දිනේත් ඊයෙට යෙදිලා තිබුන නිසා...




තුශානිගෙ ජීවිතේ තාත්තා කියන්නේ වීරයෙක්. බොහොම සරලව ජීවත් වෙන්න, ජීවිතේ බාදක කම්කටොලු වලට හිනාවකින් සැහැල්ලුවෙන් මුහුණදෙන්න තාත්තට තියෙන හැකියාව ඇත්තටම හරි පුදුමාකාරයි.


ඒ හැම දේ එක්කම මගේ දෝනිටත් ආදරණීය සීයා කෙනෙක් විදිහට බොහොම සුන්දර වට පිටාවක් ගොඩ නගන්න අදටත් මගේ තාත්තා ඇප කැප වෙලා ඉන්නවා කියලා හිතෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.


ඉතින් ඊයෙ දවසට විතරක් නෙවෙයි හැමදාටම සතුට, වාසනාව, නිදුක් නීරෝගී බව මුලු හදවතින්ම අපි  තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බව දැන ගෙන හිටියත් තාත්තා ඒ කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු නෙවෙන බව නම් තුශානි හොඳාකාරවම දන්නවා...








Friday, February 1, 2019

126. 2019 ට අලුත් ආරම්භයක් ...


කාලෙකින් මොනාහරි ලියන්න හිතුවත් කොහෙන් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...

හ්ම්.. ඔව් ඔව්... අවුරුද්දකට විතර පස්සෙ තමයි. 2018 අවුරුද්දට මුකුත්ම ලියන්න බැරි උනා. ඉන්නකො ඉතින් බනින්න පටන් ගන්නෙ නැතුව නිදහසට කාරනා ටික කියනකල්...

2018 අවුරුද්ද තුශානිගෙ ජීවිතේ විශේෂ අවුරුද්දක්. රෝස කැලෙන් පුංචි දෝණියෙක් ගෙදරට ගේන්න පෙරුම් පුරා ගෙන ඉදලා ඒ හීනෙ හැබෑ කර ගත්ත අවුරුද්ද තමයි 2018 අවුරුද්ද කියන්නෙ. ඉතින් එකතු වුනු අලුත් අමුත්ති එක්ක කාලෙ ගෙවිලා ගියා දැනුනෙවත් නැති තරම්.

2018 එහෙම ගෙවිලා ගිහින් 2019 උදා වුනේ අභියෝග ගොඩක් එක්ක.

උදේ පාන්දර සුරංගනාවියෝ එක්ක හිනා වෙවී සැපට නිදාගෙන ඉන්න දෝණිගෙ මූණ ඉඹලා කදුළු පුරෝගෙන ඔපිස් යන එක කොයි තරම් නම් අමාරු වැඩක්ද කියල හිතා ගන්න පුළුවන් ඇතිනෙ. ඉතින් නිවාඩු ඉවර වෙලා ඔපීසියටත් දුවන්නත් ඔපීසියෙ වැඩ ටික ඉක්මනට ඉවර කරලා අලුත් රාජකාරි ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න ගෙදර දුවගෙන එන්නත් කාලෙත් එක්ක ලොකු සටනක් කරගෙන යනවා. ටිකක් මහන්සියි තමයි. ඒත් දෝණිගෙ හිනා මූණ දකින කොට ඒ මහන්සිය නිකම්ම නැතිවෙලා යනවා.  

ඉතින් ඔන්න ඔය කාරණා නිසා පුරුදු විදිහට බ්ලොග් අවකාශෙ සැරිසරන්න කාලා වේලා වෙන් කරගන්න එක දැන් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි..

කොහොම වුනත් පොඩි හරි වෙලාවක්  අරගෙන මේ පැත්තට ඇවිත් යන්න ඕනෙ කියලා හිතුන නිසයි 2019 අවුරුද්දට ආරම්භයක් විදිහට අද මේ post එක ලිව්වේ. 

ඉතින් තොරතුරු බෙදා ගන්න ඉස්සර වගේම මේ පැත්තට කට්ට්ය ගොඩ වෙලා යයි කියලා තුශානි විශ්වාස කරනවා...






Related Posts Plugin for WordPress, Blogger...