Saturday, August 20, 2016

111. ඉයන්ගේ අභියෝගට තුශානිගෙනුත් ගී 16 ක් ...

මේ දවස් වල කට්ටියම තරඟෙට තමන් කැමති ගීත  තෝරණ එකේ ඔන්න තුශානිත් හිතුවා ඉයන්ගේ ඒ සොඳුරු අභියෝගයට මුහුණදෙන්න.

ගීත 16ක් කිව්වට ගීත 16ක් තෝරගන්න එක තමයි තිබුනු ලොකුම අමාරුව. කොහොමින්කොහොමහරි අන්තිමට තුශානි ගීත 16ක් තෝර ගත්තා. 


ඔන්න බලන්නකෝ...

1) මිදුලේ වැලි මාලිගාවේ  -පේෂලා මෙන්ඩිස්
 
මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැදනොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙනසිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ....

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මගහිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

මේක මම පුංචි කාලේ ඉඳලම ආස කරන ගීතයක්. පුංචි කාලේ මම මේ ගීතයට කොයිතරම් ආසයිද කියනවා නම් ඒ කෙලේ  කවුරුහරි සින්දුවක් කියන්න කිව්වහම මම මේ සින්දුව නට නට කියනව කියලා අපේ අම්ම නිතරම මේ ගීතය ඇහෙනකොට මතක් කරනවා. හි.. හි...
ඒ කාලේ වචන ගැන ඒ තරම් තේරුමක් නොතිබුනත් අද වෙනකොට මේ ගීතයෙ වචන වලටත් මම ගොඩක් ආස කරනවා. 


2) කිරි අම්මාවරු  - චන්ද්‍රලේඛා පෙරේරා -  


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා


මේ සින්දුවෙ තේරුම මුලින්ම මට කියලා දුන්නේ අපේ අම්මා.. ඒත් මම හුඟක් පුංචි කාලේ. මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා මේ සින්දුවේ කියවෙන ඒ අම්ම ගැන හිතට හරි පුදුමාකාර දුකක් ඇති වෙනවා. ඉතින් හිතට හුඟක් තදින් කාවැදිලා තියෙන ගීතයක් නිසා මම මේ ගීතයට හුඟක් කැමතියි. 


3) වක්කඩ ලග  පණ්ඩිත් අමරදේවයන් 

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා 
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....


මේ ගීතයේ වචන වලට වගේම සංගීතයටත් මම හූඟක් ආස කරනවා. පාසල් කාලේ මේ සින්දුව අපි එක එක උත්සව අවස්තාවලට නර්ථන නිර්මාණයන්ට යොදා ගන්න බොහොම ජනප්‍රිය සින්දුවක් විදිහටයි තිබුනේ. ඉතින් අදටත් මේ ගීතය ඇහෙනකොට සොඳුරු මතකයන් ගොඩක් හිතට ගලාගෙන එන නිසා තාමත් මේ ගීතයට හුඟක් කැමතියි. 


4) සිතින් මා නොසැලී   ටී.එම් . ජයරත්න

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

සිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

සිතින් මා නොසැලී...



හුඟක් දුක හිතුන වෙලාවක මම අහන්න ආසම ගීතයක් තමයි මේක. එතකොට හිතට හරි පුදුමාකාර ශක්තියක් එනවා දුක නැති කර ගන්න. 

කොයිතරම් කඳුළු හංගගෙන දරාගෙන ඉන්න උත්සාහ කරත් ඒ උත්සාහයන් පරාජය කරගෙන කඳුළු දිනන හැටි ගැන මටමද මේ කියනෙ කියලත් මේ ගීතය ඇහෙද්දී මට හිතිලා තියෙනවා.


5) සිහින ලොවක්  - ක්ලැරන්ස් විජේවර්ධන 

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන දැනෙන සුව
ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි //



ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ හැම ගීතයකටම තුශානි ගොඩක් කැමතියි ඒ අතරින් මේ ගීතය මුල් තැන ගන්නවා. 

ආදරයේ සුන්දරත්වය ඒ ගීතයෙන් අපූරුවට කියවෙනවා වගේම ගීතයට යොදලා තියෙන සංගීතයටත් තුශානි ගොඩක් ආස කරනවා. 


6) ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ  

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...

කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්..

ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …


අපි සමාජයේ බොහෝ දෙනෙක් දැන හඳුනගෙන හිටියට සමහර පුද්ගලයින් ඒ අතරින් විශේෂ වෙනවා.  ඒ සමහර හැඟීම ඇයි එහෙම ඇති වුනේ කියලා ආපහු හිතලා බලන වෙලාවල් අපි හැම කෙනෙක්ගෙන ජීවිත වල තියෙනවා. ඉතින් ඒ ගැන හරි අපූරුවට කියවුනු ගීයක් නිසා මේ ගීතයත්මම කැමතිම ගීත අතරින් එකක්.    

7) සුවඳ මල් රේණු පිස එන ඉමාන් පෙරේරා 
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//


ඉමාන්ට තියෙන කටහඬ හරි විශේෂයි. සරළ පද වැල් ටිකක් වුනත් මියුරු හඬකටත්, සංගීතයකටත්, මුසු වුනු ලස්සන ආදර ගීයක්. ඒ නිසා මේ ගීතයටත් මම හුඟක් කැමතියි.


8) දියවෙන්නට පෙර  - අප්සරා ද සිල්වා


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...


නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....


හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


මේ ගීතය "යාත්‍රා" වැඩසටහන ඔස්සේ හුඟක් මිනිස්සු අතරට ගිය ගීතයක්.  මේ ගීතය ආපු මුල් කාලයේ ඒක රූපවාහිනියේ විකාශය වෙනකොට ඒ රූප පෙළ දකින්න හරිම ආසාවෙන් තමයි හිටියේ. ඒ කියන්නේ මේකෙ රූප රචනාවට තමයි මම හුඟක්ම කැමති. ඒ රූප රචනාව ඔස්සේ තමයි ගීතයට ආස කරන්න පටන්ගත්තේ.  

 9) අසුරු සැණින්  - යමුනා විනෝදනී


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...


යමුනා විනෝදනී මහත්මිය යටතේ තුශානිටත් සංගීතය හදාරන්න හැකියාව ලැබුන නිසා මේ ගීතය සජීවීව කිහිපවරක්ම තුශානි අහලාතියෙනවා. ඉතින් ඒ සජීවී රස වින්දනයත් එක්කයි මේ ගීතයට මම ආස කරන්නේ. 

නිතර දෙවේලේ මේ ගීතය ප්‍රචාරණය නොවුනත් වෙනස් තේමාවක් ඔස්සේ නිර්මාණය වුනු හරිම ලස්සන ගීතයක්. 

පසු කාලේ මම මේ ගීතයේ වචන වලටත් , ඒ වචන වලින් තුශානිගෙම ජීවිතයට බැඳුනු සිදුවීම් නිසාත් මේ ගීතය මම කැමති ගීත ගොන්නේ විශේෂ තැනක තියෙනවා. 

10) හන්තානට පායන් සඳ - අමරසිරි පීරිස්
 
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හෑකිය දකින්න //

අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න

හන්තානට පායන...//
 


මේ ගීතයට තුශානි ආස කරන්නේ ඒ වටා ගෙතුනු කතාව නිසයි. ගීතය අහන හැම වාරයක් පාසාම ඒ කතාව තුශානිගේ හිතේ රූප පෙලක් විදිහට මැවෙනවා. 

අමරසිරි පීරිස් මහත්මයගේ හඬින් හැඩවුනු ගීත ගොන්නේ මගේ මුල් තැන හිමිවෙන්නේ මේ ගීතයට.. 


 11) සිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..//

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..//
මිරිඟුව දක්වා - නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..//
සිතගිණි අවුලා - පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..

සිනාපොදක් වී...


මේ ගීතයේ එන සිදුවීම තුශානිගෙ හිතට හුඟක් සංවේදීව දැනෙන සිදුවීමක්. මේ විදිහම නොවුනත් මීට සමාන අද්දැකීමක් තුශානිටත් තියෙන නිසා මේ ගීතය හිතට තදින්ම ගීතයක්. 

12) බිම්බරක් සෙනග - ගුණදාස කපුගේ 


බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි..විලාපය නඟයි..!

බිම්බරක් සෙනග...
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

බිම්බරක් සෙනග...


මේ ගීතයට කැමති මේ ගීතයේ තියෙන උත්තේජනාත්මක පද වැල් හා සංගීත රටාවත් එක්කයි.  ඒකට ගුණදාක කපුගේ මහත්තයාගේ හඬ හොඳ සාදාරයක් කරලා තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. 

හුඟක්ම මේ ගීතය මගේ හිතට දැනුනේ මනෝෂ් සඳරුවන් කියන අපේ බ්ලොග් සගයා ලියලා තිබුනු මෙන්න මේ පොස්ටුව නිසා.  


13) වස්සානයට අත වනලා - උමාරා සිංහවංශ 


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //


හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


ආදරේ එක් පැතිකඩක් ගැන කියවෙන ලස්සන ගීතයක්. ගීතය සඳහා යොදාගෙන තියෙන වචන හරිම සරල වුනත් හිතට දැනෙන වචන ටිකක්. සංගීතයත් හරියට ආදරය මුසු වෙච්ච සංගීතයක් වගේ. උමාරියාගේ කට හඬටත් තුශානි ගොඩක් ආස කරන නිසා මේ ගීතයට හුඟක් ආසයි. 


14) එක මොහොතක් ඔබ සෙවණේ- මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි


එක මොහොතක්...//


පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා


එක මොහොතක්...//


බොහොම සරල ගීතයක් විදිහට පෙනුනත් ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන ගීතයක්..  ප්‍රවීන ගායන චරිත ද්විත්වයත් එක්ක ගීතයට හොඳ සාදාරයනක් ඉෂ්ට වෙලා තියෙනවා.


15) ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ 

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලග ...

 
මේ ගීතයත් තුශානිගේ ජීවිතයට බොහොම සමීප ගීතයක්. හිනාවක් ලඟ, කතාවක් ලඟ අපි හැම කෙනෙකුගෙම හිත් එක පාරක් හරි නැවතිලා ඇති. සමහර විට කෙනෙක් ආදරයක් හඳුන ගන්නේ ඒ හිනාවෙන් හරි කතාවෙන් හරි වෙන්නත් පුළුවන්. හිනාවෙන් හරි, කතාවෙන් හරි මිනිස්සු මනින්න බැරි වුනත්, කෙනෙකුගෙ හිනාවකට, කතාවකට තමයි අපි ආදරය මුලින්ම ආදරය කරන්නේ. 


16) දුරු ඈත රටක තනිවී.  -  රොෂාන් ප්‍රනාන්දු

දුරු ඈත රටක තනිවී.
සිහිවෙන හැම මොහොතක් ගානේ
නෙතගට කඳුළු පිරේ

එන්න හිතයි පියඹා ඔබෙ කුටියට
මාගේ කිරිල්ලියේ... //


සෙනේහයක් දැනුනා මට ඔබ ගැන
දුරස්ව ඉන්නා ටික කාලේදී ... //

නිවාඩුවක් ලද විගසම එන්නම්
ඔබ හා දොඩ මළු වන්න්නට රහසින්  


සිහිවෙන හැම ...

දුරකථනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුනෙ අපමන සතුටක් ... //

ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරාවට මගෙ කර ගන්නට ...
 


සිහිවෙන හැම ...

මේ ගීතය මේ තරම් දැනන ගීයක් බවට පත් වෙයි කියලා ගීතය මුලින්ම අහනකොට නම් හිතුනෙ නෑ. 

ඒත් මේ අත්දැකීමම තුශානිට ජීවිතේ මුහුණ දෙන්න සිදුවීම හරිම පුදුමාකාරයි. මීට මාස කීපයකට කලින් පෙම්වතියක් විදිහටත් අද වෙනකොට බිරිඳ විදිහටත් මේ ගීය ඔහුගේ හඬින් අහන්න ලැබීම නිසා මේ ගීය තුශානිට බොහොම විශේෂ ගීතයක්.

***  

මට හිතෙන්නේ මේ පොස්ට් එක තමයි තුශානි වැඩිම කාලයක් ගත කරලා ලියපු පොස්ට් එක. ගීත අතරේ අතරමං වෙලා ඒ ගතකරපු කාලය ඇත්තටම හරිම සුන්දරයි. 


  

Thursday, August 11, 2016

110. වෙඩින් කතා - 2


 

පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ රාජකාරි ගොඩත් එක්ක වෙඩින් කතා කියන්න තුශානි මේ පැත්තට එන්නත් බැරිවුනා. කොහොම වුනත් පොරොන්දු කඩ කරන්න බෑනේ ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා කෙටියෙන් හරි තවත් විස්තර ටිකක් කියන්න. 

කලින් දවසේ කියපු බණ කතාව කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියවලාම එන්නකෝ. හි..හි.. 

වෙඩින් එකකට සූදානම් වෙන්නෙ කොහොමත් මාස කීපයක ඉඳලනේ. ඉතින්  ඔය මාස කීපෙකට කලින් කරන්න තියෙන වැඩ අතරේ උත්සවේ ගන්න තැන හොයලා බලන්න, ඕනෙ කරන දේවල් ලෑස්ති කරන්න, ඇදුම් ලෑස්ති කරගන් වගේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. ඒ නිසා ඒ කාලේට ඉතින් සෑහෙන කටු තමයි.. කොහොම වුනත් ලොකුම කට්ටක් කන්න වෙන්නෙ වෙඩින් එක දවසට. 

අද කාලේ කාන්තා පාර්ශවයේ කෙනෙක් වෙඩින් එකකට යනකොට මූණ පාට කරගන්න, සාරි අඳින්න කොන්ඩෙ හදා ගන්න පැය ගානක්  ගත වෙන හැටි ඔය නෝනා මහත්තුරුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතින් එහෙම බැලුවහම මනමාලියෙක් අන්දලා ඔලුවෙ මල් ගහන්න කොයිතරම් වෙලාවක් යනවද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති.  


ඉතින් ඔන්න වෙච්චි අකරතැබ්බ අතරේ මුල්ම එක තමයි මහ පාන්දර ඉඳලා කිලෝ ගානක් බර සාරියක් ඇඳගෙන ඉන්න වෙච්චි එක. ඒ මදිවට හෙල්මට එකක දැම්මා වගේ හෙයා ස්පෙරේ වලට ගල් ගැහුනු කොන්ඩෙයි මල් ගොඩයි එක්ක ඉන්න එකත් ලේසි පහසු නෑනේ. 

අද කාලේ මනමාලියන්ට හැඩ ගන්වන එක ලොකු ව්‍යාපාරයක් වෙලා නිසා සැලුන් වල අය හැඩ ගන්වන්න ඉන්න ප්‍රමාණය අනුව තමයි වෙලාවල් උනත් දෙන්නේ. ඒ කියන්නෙ මනමාලියන් 4 දෙනෙක් හැඩ ගන්වන්න ඉන්නව නම් පැය දෙකෙන් දෙකට තමයි ගන්නේ. මුල් එක්කෙනා 12.00 ට ඊලඟ එක්කෙනා 2.00ට ඊලඟ එක්කෙනා 4.00 ට අනිත් එක්කෙනා 6.00 ට විදිහට. 

සමහර සැලුන් වල නම් එකපාර 25 කට 30 කට උනත් අන්දන අය ඉන්නවා. ඔය හුඟක් ප්‍රසිද්ද අය කරන්නේ සහායකයින්ට කියලා ඔක්කොම ටික කරලා එයා ඇවිත් තැල්ල පොඩ්ඩක් හදලා ෆොටෝ එකට ඉන්න එක විතරයි.  

අනේ ඉතින් තුශානිටත් සිද්ද වුනා 6.00 වෙනකොට ෆොටෝ ගන්න තැනට යන්න ඕනෙ නිසා පාන්දර 2.00 ට සාරි පටලව ගන්න පටන් න්න. 

කොච්චර කලින් දේවල් කරලා තිබ්බත් වෙඩින් එකට කලින් දවස කියන්නේ කොහොමත් ටිකක් වැඩ තියෙන දවසක්. ගොඩක් පැතිවල තියෙන සම්ප්‍රදායක් තමයි මනමාලයත් එක්ක දෙවනි මනමාලයෝ රෑ කෑමට එන එක. කොහොමත් කට්ටිය ඇවිත් යනකොට රෑ වෙනවනේ. ඒ දෙපැත්තටම අපහසුවක් නිසා අපි නම් කලින්ම කතාවෙලා කෑම වේල වෙනමම දවසකට දාගෙන එදාට රෑ කෑමක් වෙනුවට තේ පැන් සංග්‍රහයක් තමයි ලෑස්ති කලේ.  මට හිතෙන්නේ ඒක අපිට ලොකු පිටිවහලක් වුනා තෙහෙටුව ටිකක් අඩු කර ගන්න. 

ඉස්සර කාලේ වගේ අද කාලේ මනාලියන්ට ගෙවල් වල හැඩ වෙන්න අවස්තාවක් නෑනේ. ඒසි ඕනේ , ලයිට් ඕනේ විදිහට නැතිවෙයි, මේකප් බඩු ඔක්කොම ගේන එක කරදරයි වගේ කතා ගොඩක් හැම සැලුන් එකකින්ම අද කාලේ අහන්න ලැබෙන කතා ටිකක්. එක අතකට බැලුවහම ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. කොහොම වුනත් අනිත්මට තුශනිටත් සිද්ද වුනා සැලුන් එකට ගිහින් ලෑස්ති වෙලා  ගෙදරට එන්න.

ඉතින් ඔන්න අපි කට්ටිය පාන්දර 2.00 වෙනකොටම සැලුන් එකට ගියා. මෙන්න එතකොට මනමාලියෙක් ඉන්නවා වාඩි වෙලා නිදි කිර කිර. කොයිතරම් ලස්සනට අන්දලා තිබුනත් මූණෙ තිබුනෙ හරිම තෙහෙට්ටු පාටක්. ඒ නිසා ඔන්න ලඟදි බඳින කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ වෙලාවල් කලමනාකරණය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා වැඩ ටික කර ගන්නවා නම් ගොඩක් හොඳයි කියන දේ ඒ සිදුවීමත් එක්ක තුශානිට දෙන්න පුළුවන් උපදෙසක්. අනිත් දේ තමයි පුංචි ළමයි මල් කුමාරියන් විදිහට ගන්නවා නම් එයාලා අන්දන්න ගත වෙන වෙලාව අනුව පස්සේ ගෙන්න්න ගන්න කටයුතු කිරීමත් හරිම වැදගත්. 

කොහොමින් කොහොමහරි පාන්දර 5.00 වෙනකොට මූණු පාට කරලා සාරි අන්දලා මල් ගහලා ඉවර වෙලා ගෙදරට යාගන්න ලැබුනා. උඩරට විදිහට සැරසුනු අය දන්නවා ඇතිනේ මාල හතේ බර. ඒ මදිවට ඒ ටික එකට පැටලෙනකොට හදා ගන්න තියෙන අමාරුව. සාරියෙ බරයි, කොන්ඩ මෝස්තරේ බරයි, කිලෝ ගානක් බර මල් බොකියයි අතට ගත්තහම රොබෝ වගේ තමයි ඇවිදින්න වෙන්නේ හි.. හි... 

කියන්න ඕනේ තව කාරණා ටිකක් තියෙනවා. ඇහැල්ලු සාරියක් තෝර ගන්නවා නම් ඒක ලොකු පහසුවක්. බොරුවට ලොකු ගනන් දීලා සාරි ගන්න එකත් තුශානි විශ්වාස කරන හැටියට බොරු වැඩක්. මාල හත දාන්න හිතාගෙන ඉන්නව නම් මූණට සුදුසු තැල්ලක් තෝර ගන්න එකත් හරිම වැදගත්. එතකොට සෙරප්පු දෙක ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් වෙලා දාගෙන එහාට මෙහාට යන්න ඕනෙ නිසා කකුලට අපහසුවක් නොවෙන සෙරප්පු දෙකක් තෝර ගන්න එක වැදගත්. ඒ වගේම පැනඩෝල්, ප්ලාස්ටර්, කිරි පැකට් , පැකට් කරපු බනිස් වගේ දේවල් පොඩි බෑග් එකකට දාලා වෙනමම කෙනෙක්ට දීලා තියන එකත් වැදගත්. මොකද හදිස්සියකදි ඕනේ උනාම හැම තැනම හොය හොය දුවන්න ඕනේ නෑනේ එතකොට. 

ඔන්න ඉතින් ගෙදර චාරිත්‍ර වාරිත්‍ර ටික ඉවර වෙලා 6.00 වෙනකොට ෆොටෝ ගෙන්න තැනට ගියා. සාමාන්‍යයෙන් 7.30 පහුවෙනකොට අව්ව වැටෙන්න ගන්න නිසා ෆොටෝ ගන්නව නම් සුදුසුම වෙලාව 6.00ත් 7.30 ත් අතර වෙලාව. ඊටත් අව්වට දාඩිය දාලා මේකප් දියවෙලා ගිහින් වෙන අකරතැබ්බෙන් බේරෙන්නත් පුළුවන්නේ හි... හි.... 

ෆොටෝ ගන්නවා කියන එකත් ලේසි නෑ.. ෆොටෝ ගන්නවට වඩා ෆොටෝ වලට පෙනී හිටින එක ලේසි නෑ. ඇයි ඉතින් එයාලා කියන කියන විදිහට හිනාවෙන්න, එක එක දේවල් කරන්න නම් දවසකට හරි නළුවෙක් හරි නිළියක් හරි වෙලා රඟ පාන්න පුළුවන් වෙලා තියෙන්න ඕනෙ. හි.. හි...   

කොහොම වුනත් බොහොම සුහදශීලී කැමරාමන් කෙනෙක් තොරගන්න එක නම් ගොඩක් වටිනවා. මොකද එතකොට අනවශ්‍ය පීඩනයකින් තොරව ස්වභාවික, ලස්සන පින්තූර ටිකක් ඒකෙ අවසාන ප්‍රතිඵලය විදිහට ලබා ගන්න පුළුවන්. 

ඒ වගේම යහළු යෙහෙලියන් මල් කුමර කුමරියන් තෝර ගන්නකොටත් හුඟක්ම පොඩි අය නැතුව ටිකක් තේරෙන අය ගත්තහමත් මේ ෆොටෝ වැඩේ ලේසි වෙනවා. එතකොට කාලය අපතේ යන එක ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. එත් එක්කම ටිකක් විනෝදෙට බර වගේ කට්ටියක් ඉන්නව නම් ගොඩක් තාත්වික ලස්සන ෆොටෝ ටිකක් ගන්නත් පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඔන්න බඳින්න එහෙම ඉන්න අය ඒ ගැනත් ටිකක් හිතලා බලන්න.

ඔන්න ඉතින් ෆොටෝ එහෙම අරගෙන ආපහු අපි වෙඩින් එක තිබුනු හෝටලයට ආවා. කොහොම වුනත් ඒ වෙලාව ටිකක් මහන්සි, බඩගිනි වෙලාව ඉතින් මොනාහරි කාලා බීලා පොරුවෙ චාරිත්‍ර වලට ලෑස්ති වෙන එක තමයි සුදුසුම දේ. මොකද පොරුවේ චාරිත්‍ර සාමාන්‍යයෙන් පැය බාගයක් වත් අඩුම තරමේ තියෙනවනේ. ඊටත් ඒ වෙලාවට මහන්සි වැඩි කමට හදිස්සියෙ වත් කලන්තයක් වත් හැදුනොත් එක එක කතා අහන්නත්වෙන එක අපේ රටේ හැටිනේ හි..හි.. 

ඔය පෝරුවේ නැගලා තියෙන කට්ටිය දන්නව ඇතිනේ පැය බාගයක් විතර පොරුව උඩට වෙලා ඉන්නෙ එකේ තියෙන අමාරුව.. හැබැයි ඉතින් අෂ්ටක කියන කෙනාගේ අතේ තමයි ගොඩක් වෙලාවට ඒ චාරිත්‍ර හරියට සිද්ධ වීම රැඳිලා තියෙන්නෙ. සමහර අය නම් ඒ අවස්ථාව හුඟක් සංවේදී අවස්තාවක් කරලා හැමෝම අඬවන වෙලාවලුත් තියෙනවා. මම නම් විශ්වාස කරන හැටියට ඒක ඒ තරම් සුදුසු නෑ කියලා. 

වෙඩින් එකකදී හුඟක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාව තමයි කාල කලමනකරණය. මොකද ෆොටෝ ගන්න, කට්ටිය එක්ක කතා කරන්න ගියහම නිකම්ම කාලේ ගත වෙලා යනවා. ඒ නිසා කවුරුහරි කෙනෙක්ට නිතර වෙලාව මතක් කරන්න කියලා කියලා තිබ්බොත් එක ලොකු පහසුවක්. 

අනිත් දේ තමයි වෙලාවට ප්‍රධාන කෑම වේල ලබාදෙන එක. මොකද ඒක ප්‍රමාද කරනවා කියන්නේ මිනිස්සු බඩ ගින්නේ ඉන්නවා කියන එකනේ. ඒ නිසාත් එක එක ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්.  ඒ නිසා වෙලාවට කට්ටියට කන්න දෙන එක හරිම වැදගත්. 

අනිත් විශේෂම කාරණාව තමයි කොච්චර මහන්සි වුනත් කොච්චර අපහසුතා තිබුනත් මූඩ් එක ගානට තියා ගන්න එක. මොකද හැමෝගෙන අවදානය තියෙන්නෙ මනාලා යුවල වෙතටනේ. ඉතින් මහන්සි අපහසුතා අමතක කරලා කට්ටිය එක්ක සතුටින් විනෝදයෙන් ඒ පැය කීපය ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. 

ඉතින් මේ වෙලාවේ ඔළුවට ආපු තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන පැති ටිකක් ගැන තමයි ඔය කිව්වේ.

ඔය බැඳපු ඈයොත් තව කාරණා ටිකක් මේකට එකතු කලොත් අපේ බඳින්න ඉන්න ඈයොන්ට තවත් ප්‍රයෝජනවත් වෙයි. හි.. හි...

එහෙනම් ඉතින් තුශනිගේ සුපුරුදු කතා එක්ක ඉක්මනින් හමුවෙමු..


Monday, July 25, 2016

109. වෙඩින් කතා - 01

හැලපතුමා කරපු ඉල්ලීමක් කොහොමත්ම අහක දාන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔන්න වෙඩින් කතා ටිකකුත් කියන්න ඕනේ කියලා තුශානි කල්පනා කලා.

ඒත් ඉතින් පටන් ගන්නේ කොහෙන්ද කියන එක තමයි ප්‍රශ්ණේ. හොඳයි අද හෙට බඳින්න ඉන්න අයත් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් මම කියන්නම්.  


විවාහ වෙනවා කියලා කියන්නේ ජීවිතේ බොහොම තීරණාත්මක කඩයිමක්. මොකද විවාහය කියන්නේ, කෙනෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ප්‍රබලම සන්ධිස්ථානයක්නෙ. ඒ නිසා හරිම පරිස්සමින් හිතලා තමයි තිරණයක් ගන්න වෙන්නෙ. ඒ වගේම අපි කවුරුත් හොඳට මතක තියාගන්න ඕනේ ආදරයෙන් අන්ධ නොවී හොඳ තීරණයක් ගන්න. මොකද, කෙනෙක්ට හරි යන්නත් වරදින්නත් ඒ තීරණය හේතු වෙන නිසා. කොහොම වුනත් දෙමව්පිය ආශිර්වාදයත් එක්ක විවාහ ජීවිතයකට ඇතුලත් වෙන්න පුළුවන් නම් තුශානි හිතන විදිහට ඒක තමයි හුඟක්ම හොඳ තීරණය වෙන්නෙ.

ඉතින් ඔන්න වෙඩින් එකට දවස් කීපයකට කලින් තුශානිලගෙ ගෙදර වරු පිරිතක් කියවන්න සූදානම් කරලා තිබුනා. වරු පිරිත අවසානයේ කෙටි ධර්මානුශාසනාවකුත් තියෙනවානේ. අන්න ඒ ධර්මානුශාසනාවෙදි විවාහය ගැන, බුදු දහමෙ කියලා තියෙන බොහොම අපූරු කාරණා ටිකකුත් තුශානිට දැන ගන්න ලැබුනා.

මුලින්ම ඒ ගැන කියන්නම්. හගන්නකෝ බුදු දහමේ විවාහය ගැන කියලා තියෙන දේවල්...

"බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සංවාස කියන සූත්‍රයෙ, විවාහ ජීවිත ගත කරන අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන මෙහෙම කියලා තියෙනවා".  ඔන්න ඉතින් අපේ පන්සලේ නායක හාමුදුරුවො ධර්මානුශාසනාව පටන් ගත්තේ ඒ විදිහට. අපි දෙන්නත් ඉතින් ටිකක් හරි බරි ගැහිලා අහගෙන හිටියා, මොනාද බුදු දහමේ අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන කියලා තියෙන්නෙ කියලා.  

"භාර්යාවක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙව්දුවක් වෙන්නත් පුළුවන්."  ඔන්න එතකොටම තුශානිගෙ දකුණු ඇහේ කොණට පේනවා කෙනෙක් හිනා වෙනවා.  " ඒ වගේම ස්වාමිපුරුෂයෙක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙවියෙක් වෙන්නත් පුළුවන්" " හි.. හි.. ඇයි අපි විතරද ඔය එයාලටත් තියෙන්නෙ"කියලා තුශානිගෙ හිතටත් පොඩි සතුටක් ආවේ නෑ කියන්නම බෑ ඉතින්. හරි හරි.. අහගන්නකෝ කාරණා ටික.

1. මළ මිනියක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
2. මළ මිනියක් දෙව් දුවක සමඟ වාසය කිරීම.
3. දෙව් පුතෙක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
4. දෙව් පුතෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම.


ඉතින් බුදු දහමේ කියන විදිහට විවාහ ජීවිතේ ගත කරන අඹු සැමියන් දෙව් පුතෙක් එක්ක දෙව්දුවක් ජිවත් වෙන විදිහට ජිවත් වෙන්න කටයුතු කරන්න ඕනෙ කියලා හාමුදුරුවො අපි දෙන්න දිහා බලල කිව්වහම අපිත් ඉතින් බොහොම අමාරුවෙන් හිනා නොවී ඔළුව වැනුව හැටි නම් තුශානිට කවදාවත් අමතක වෙන්නෙ නෑ.  :)

ඒ වගේම තවත් ලස්සන කතාවක් තුශානිට අහන්න ලැබුනා නකුලා මාතා සහ නකුල පිතා ගැන. ඒ ගැන දන්නෙ නැති කෙනෙක් උනත් ඉන්න පුළුවන් නිසා මම ඒ ගැනත් කෙටියෙන් කියන්නම්. නකුල මාතා සහ නකුල පිතා කියන්නේ විවාහ ජීවිතේ බොහොම සාර්ථකව ගත කරපු දෙන්නෙක්ලු. ඉතින් බොහොම ධාර්මිකව, සාර්ථකව ජීවිතේ ගතකරපු මේ දෙන්නව බුදු හාමුදුරුවෝ අගය කරලා, අනිත් අයටත් එයාලව  ආදර්ක් විදිහට ගන්න කියලත් දේශනා කරලා තියෙනවා.

“යම් අඹුසැමි යුවළක් මෙලොවදී මෙන්ම පරලොවදීත් ඔවුනොවුන් දැකීමට කැමැතිවන්නේ නම්, දෙදෙනාම ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා කියන අංගවලින් සමාන වන්නේ නම්, ඒ දෙදෙනා මෙලොවදීත් පරලොවදීත් එකිනෙකා දකිති.”යි කියල
ත් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.

ඒ වගේම සිඟාලෝවාද සූත්‍රයේ එන අඹු සැමි යුතුකම්, සප්ත භාර්යාවන් ගැන එහෙමත් අහන්න ලැබුනා ඒත් තුශානිගේ හිතට වැඩිපුරම කාවැදුනේ ඇයි ස්වාමි පුරුයන් බිරිඳ ගැන විශේෂයෙන් සලකා බලන්න ඕනෙ කියපු කාරණා ටිකට. ඒ කියන්නේ බිරිඳට විශේෂ තැනක් සැමියෙක් දෙන්න ඕනේ ඇයි කියලා. 

ඔන්න අහගන්නකෝ.. බිරින්දෑවරු මේක දැන ගෙන ඉන්නම ඕනෙ කාරණාවක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට ස්වාමිපුරුෂයෙක් කාරණා 5 ක් නිසා බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ ලු.

සරලව කියනවා නම් ගැහැණියකට විඳින්න වෙන ඒත් පිරිමියෙක්ට විඳින්න නොවෙන දුක් 5 ක් නිසා ගැහැණිය ගැන මානුෂිකව පිරිමියෙක් බලන්න ඕනේ කියලා තමයි දේශනා කරලා තියෙන්නෙ. 

 මෙන්න ඒ කරුණු 5

1.විවාහයෙන් පසු දෙමාපියන් ඇතහැරලා සැමියෙක් සමග යාමට සිදුවීම.
2.මාස් ශුද්ධිය ඇතිවිම./ ඔසප් චක්‍රයක් පැවතීම.
3.ගැබ් ගැනිම.
4.දරුවන් බිහි කිරිම.
5.සැමියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සිදුවීම.  

ඉතින් මේ කාරණා 5 ගැහැණියෙක් විසින් දරාගෙන ඉන්න නිසා ඊට ගරු කිරීමක් වශයෙන් ස්වාමි පුරුෂයන් බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ කියලා තමයි බුදු දහමේ කියලා තියෙන්නේ.  බලන්න ඒක කොයි තරම් නම් ප්‍රායෝගික කාරණාවක්ද කියලා.

කාන්තාවක් විදිහට ඒ කරුණු පහ ගැන හිතලා බලනවා නම් ඇත්තටම ඒවා දරාගන්න අපහසු ඒත් ඒ අපහසුතාවයන් මැද වුනත් කාන්තාවන් දරාගන්නා කරුණු 5 ක්.  

ඉපදුනු දවසේ ඉඳලා ලඟ හිටිය අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වෙලා අලුත් ගෙදරකට යන එක කවුරු කොහොම කිව්වත් දුකක්. ආපහු එන්න පුළුවන්නෙ, ගිහින් ඉන්නෙ තනියම නෙවෙයිනේ වගේ එක එක දේවල් කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මනමාලියෙක් වෙලා පිට වෙලා යන දුවෙක් දිහා හිනා මූණකින් වුනත් ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් දිහා ආපහු හැරිලා බලන දුවෙක්ගෙ හිතට ඇතිවෙන වේදනාව ඇත්තටම දරාගන්න හරිම අමාරු වේදනාවක්. ඉතින් ඒ වේදනාව සැමියෙක්ට තේරුම් ගන්න පුළුවන් නම්, ඒ ගැන මානුෂිකව හිතලා බිරිඳක් සනසවන්න පුළුවන්නම් ඇත්තටම ඒක ගොඩක් වටිනවා වගේම දෙන්නා අතර තියෙන ආදරය, බැඳීම තවත් ශක්තිමත් වෙන කාරණාවක්. 

ඔසප් චක්‍රය කියන්නේ නිරෝගී කාන්තාවකගේ දින 28 කට වරක් ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්. සරළව කියනවා නම් දින දෙක තුනක් ශරීරයෙන් රුධිරය පිටවීමක් මෙතනදි සිද් වෙනවා. ඉතින් ඒක පහසු කාරණයක්ද ? නෑ. අපහසු වුනත් බොහෝවිට කාන්තාවන් මේ තත්වය දරාගෙන සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කරයුතු සිද් කරනවා. ඒ නිසා සැමියෙක් විදිහට බිරිඳගේ මේ අපහසුතාවන් ගැන මානුෂිකව හිතලා කටයුතු කරන්න පුළුවන් නම් සාර්ථක පවුල ජීවිතයකට ඒක හුඟක් වටිනවා.

ඒ වගේම ගර්භනී භාවයට පත් වෙන එකත් ඒ දරුවා මාස 10ක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කර එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.  ඒ වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ලඟින් ඉඳලා ඇයට ශක්තියක් වෙන්න , ඇයව තේරුම් ගන්න, පවුල් ජීවිතයකට ඒක ඉතාමත් හොඳ පිටිවහලක් වෙයි වගේම දෙන්නා අතර තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙන්නත් අනිවාර්යයෙන්ම හේතු කාරණාවක් වෙයි. 

විවාහයෙන් පස්සේ සෑම කාන්තාවකටම තමන්ගේ වැඩ වලට අමතරව ස්වාමියාගේ වැඩ කටයුතුත් කරන්න සිද්ද වෙනවා. ඉතින් ඒ දේවල් කරනකොට බිරිඳක් අතින් අඩු පාඩු උනත් සිද්දවෙන්න පුළුවන්. සමහර විට සැමියා අපේක්ෂා කරන මට්ටමටම ඒ වැඩේ කෙරිලා නොතිබෙන්නත් පුළුවන්. එහෙම වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ගැන මානුෂිකව හිතලා හොඳින් ඒ වැරැද්ද පෙන්නලා දෙන්න, බිරිඳ සමග සහයෝගයෙන් ඒ වැඩේ කරන්න, එතකොට ඒ පවුල් ජීවිතය සාර්ථක වෙයි වගේම පවුල් ජීවිතය ලස්සන පවුල් ජීවිතයක් බවටත් අනිවාර්යයෙන්ම පත්වෙයි.

ඉතින් ඔන්න ඔය විදිහට බුදු දහමේ විවාහය ගැන කියලා තියන ගොඩක් දේවල් තුශානිට දැනගන්න ලැබුන නිසා ඒ දේවල් ඔයාලටත් කියන්න හිතාගෙනයි මේ පොස්ට් එක ලිව්වේ..  

වෙඩින් කතා ගොඩක් තියෙනවා කියන්න, එකින් එක කියන්නම්කෝ...




****

Friday, July 15, 2016

108. ආෆ්ට වෙඩින් ඔපීසි කතා ...

ඔන්න ඉතින් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ තුශානි පුරුදු විදිහට උදේ පාන්දරම ඔපීසියට ගොඩවුනා.. ඔව් ඔව්.. අර කලින් කිව්ව ඔපීසීයම තමයි. හි..හි.. 

කලින් ඔපීසියම කිව්වට මොකද, සති දෙක තුනට ඒකත් සෑහෙන විදිහට වෙනස් වෙලා..   හප්පේ... මොනා වෙනස් වුනත් පුටුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි කියලා හිත හදාගෙන ඔන්න ඉතින් වැඩ පටන් ගත්තට, පුටුවෙ ඇලවිලා ඉන්න වෙන ගානට මේසෙ උඩ වැඩ සෑහෙන ගොඩ ගැහිලා තිබුනා. 

" මිස්.. මිස්.. " හුරු නැති පිරිමි කටහඩක් 

හපොයි... තේ ගේන කෙනාත් වෙනස් වෙලා...

මේස උඩ තිබුනු ෆයිල් කන්දේ උඩම ෆයිල් එකේ Report කියන වචනෙට උඩින් මෙන්න අවුරුදු විස්සක විතර කොලුවෙක් දත් තිස් දෙකම පේන්න හිනා වේගෙන තේ එකත් අතේ තියාගෙන ඉන්නවා.. 

"ඔයා අලුතෙන්ද ආවේ ? " Report කියන වචනෙ ඔළුව ඇතුලට කිඳා බස්ස ගන්න ගමන්ම මම ඇහුවා.. 

" ඔව්... " බ්ලා.. බ්ලා.. බ්ලා... කියලා මොනාද ටිකක් එයා කිව්වත් මගේ ඔළුව තිබුනේ හදලා යවන්න තිබුනු Report එකේ. 

" හරි තැන්ක්යු. තේ එක තියන්න. ඔයා තව විනාඩි 15 කින් එන්න. මට හදිස්සි ෆයිල් එකක් තියෙනවා Head office එකට යවා ගන්න.  

අපි එයාට මලිත් කියමුකෝ. මලිත් කිව්වට මොකද ඒ වෙලාවේ නම්, කියපු නම ගම විස්තර ටික මගේ කණ් බෙරේට වදින්නේ නැතුව අර ෆයිල් එකේ පැටලිලයි තිබුනේ. 

ඔන්න ඉතින් මලිත් හා කියලා ඔළුව වනලා ගියා. 

ගෙවිලා ගියේ හරියටම විනාඩි දා හතරයි තත්පර පනස් පහයි මෙන්න මලිත් ඇවිත් මේසේ ගාව. 

" මිස් ෆයිල් එක දැන් ගෙනියන්නද ? " 

"අහ්.. වෙලාවටම ඇවිත් නේද ? මේක ඉක්මනට ගිහින් xxx ට  දීලා ඉඳලා අරගෙනම එන්න. "

හා කියලා ඔන්න මලිතුත් ෆයිල් එක අරගෙන ගියා..  

මෙන්න ටික වෙලාවක් යනකොට වම් ඇහේ කෙලවරේම ඇහි පිහාට්ට ගාවින් පේනවා මලිත් ඉන්නවා ඔපීසියෙ කෙනෙක් එක්ක කතා කර කර.

"බලන්නකෝ හදිස්සියි කියලා දීලත් ගිහින් නෑනේ.. කිසි ගානක් නැතුව අරයත් එක්ක කතාව. දැන් විනාඩි විස්සකටත් වැඩියි. ම්... ගිහින් එන්න නම් වෙලාවක් නෑ. එතනට යන්නම යනවනේ විනාඩි පහළවක් විතර. " 

රතු කට්ට පනින්න ඔන්න මෙන්න ගානට එක එක ඒවා ඔළුවට එන්න ගත්තා. කෝකටත් කතා කරලා අහනවා මොකද යන්නෙ නැතුව කරන්නෙ කියලා.

ඒත් ඉතින් කතා කරන්නෙ මොකක් කියලද.. නම වත් අහගත්තෙ නෑ නේ.. කමක් නෑ චුට්ටක් එතනට ගිහින් බලන්න ඕනෙ. කියලා හිතලා වැඩ ටික පැත්තක තියලා එතනට ගිහින්ම බැලුවා. 

"අනේ මිස්..  තාම යන්න බැරි වුනා මේ දැන් යනවා කියලා කියන්න ඇති කියලා නේද හිතුනේ.. 

ම්හු.. එයාට කිසි ගානක් නෑ. ලඟට යනකොටත් හොඳට දත් තිස් දෙක පේන්න හිනා වේගන ඉන්නවා. 

" තාම ගියෙ නෑ නේද .. යන්න යන්න ඉක්මනට ෆයිල් එක ගෙනියන්න..   "

"නෑ.. මිස් මම.. මම... "  කියලා මෙන්න මෙයා අත දික් කර කර මොකක්ද කියන්න හදනවා. 

"හරි හරි කමක් නෑ දැන් යන්න. ඕක හදිසි ෆයිල් එකක්. " 

ඔන්න දැන් එතකොටම මට පේනවා ඔපීසියේ එතන වටේ හිටිය දෙතුන් දෙනෙක් ටිකක් අමුතු විදිහට හිනා වෙනවා. 

"ම්.. ඇයි මෙයාලා හිනා වෙන්නේ... මොකද....."  ඔන්න ආපහු ප්‍රශ්ණ ටිකක් මගේ ඔළුවට එක, දෙක ගානේ එන්න පටන් ගත්තා..

" මිස්... මම මේ ඔෆිස් එකේ නෙවෙයි..  අයියා තමයි මේ ඔෆිස් එකේ ඉන්නේ.
අපි නිවුන්නු. මට මගදි හම්බුනා අයියා යනවා. මිස්ගේ ෆයිල් එක වෙන්න ඇති අරගෙන ගියා. " 

ප.ලි. - මීට වඩා අකර තැබ්බ අවස්ථාවන්ට ඔපීසියේ එකෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනිත්  හැමදෙනාම මුහුණ දී ඇති බැවින් මෙය නොගිහින හැකි තරම් සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.  හි.. හි.. 



Friday, July 8, 2016

107. සුබම සුබ උපන්දිනයක් අම්මා ....

රන් තෝඩු මා කණ පලන්දා
හැඩ බලන කොට එදා අම්මා
ඇයි අම්මේ මේ ඇහුවා මතකයි
ඇහේ සීතල කඳුළු පිහලා ...

රන් මාලයක් ගෙල පලන්දා
දෙ අත් වල රන් වලලු පලදා
සිර කරන් නෙත් අගේ කඳුලක්
දූ මගේ දැන් ලොකුයි කීවා ...

රන් තැල්ල සීරුවෙන් තියලා
දෙකොපුලේ මුදු හාදු තියලා
කඳුළු රහසේ හංග ගත්තා
සතුට එක්කම දුකක් දැනිලා ... 





මම ගෙදර නැති අඩුව වෙනදටත් වඩා අද අම්මට දැනෙනවා ඇති. කොයි තරම ඈතක හිටියත් හැමදාම වගේම මේ සැරෙත් මම සුබම සුබ උපන්දිනයකට සුබ පතන බව අම්මට දැනෙනවා කියලා මම දන්නවා.  

සුබ උපන්දිනයක් අම්මා .... 


Thursday, May 12, 2016

106. ටෙඩී මමී ...

මතකනෙ මම ටෙඩී ඩැඩී ගැන කිව්වා...  අමතක කට්ටිය ඉන්නව නම් මෙතනින් ගිහින් බලලා එන්නකෝ... ඔන්න අද කියන්න යන්නේ ටෙඩී මමී ගැන. පහුගිය අට වෙනිදා මව්වරුගේ දිනයත් සමරපු නිසා මම හිතුවා ඒ ගැනත් කියන එක හොඳයි කියලා. 


එහෙනම් ඔන්න අහගන්නකෝ... ලෝකයේ ටෙඩී බබාලා වැඩිගානකගේ අම්මා, එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම ටෙඩී බබාලා ඉන්න අම්මා වෙන්නේ ජැකී මයිලි. මේ ඉන්නේ එයා...


ජැකී මයිලි කියන්නේ කුඩා කාලයේ ළමා නිවාසයක හැදුණු වැඩුණු ගැහැනු ළමයෙක්. හුඟක් අග හිඟකම් එක්ක ගෙවුනු එයාගේ ජීවිතේ පුංචි  කාලේදී, එයා   සෙල්ලම් කරන්න අඩු තරමේ එකම එක ටෙඩී කෙනෙක් වත් ඉඳලා නෑලු... ඒත් ඉතින් ටෙඩීලට හුඟක් ආදරය කරපු මෙයා හිතලා තියෙනවා කවදා හරි දවසක එයාටම සල්ලි හම්බකරන්න පුළුවන් වුනා ලෝකයේ වැඩිම ටෙඩීලා ගානක් ඉන්න කෙනා වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ එයා ටිකෙන් ටික ටෙඩීලා එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. 


ඉතීන් එහෙම ටෙඩී බෙයාලා එකතු කරන්න පටන් ගත්තු ජැකී මයිලිට මේ වෙනකො ටෙඩීලා 8000 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි ආරංචි වුනේ...

වයස අවුරුදු 70 විතර වෙන එයාට 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ගයේ ටෙඩීලා 8026 ක් ඉඳලා තියෙනවා. 



ඉතින් ඒ තරම් ටෙඩීලා ගොඩක් ලෝකේ කිසිම කෙනෙකුට ඒ වෙනකොට ඉඳලා නැති නිසා ටෙඩී බෙයාලා වැඩිම ගානක් ඉන්න කෙනා හැටියට ජැකී මයිලිට ගිනස් ලෝක වාර්තා පොතටත් යන්න අවස්තාව ලැබිලා තියෙනවා. කොහොමින් කොහොමහරි අද වෙනකොටත්  ගිනස් වාර්තා පොතට ගියපු ලෝකයේ වැඩිම ටෙඩී බෙයා හිමිකාරිනිය විදිහට තමයි ජැකී මයිලි සැලකෙන්නේ.


ඒ වගේම ජැකී මයිලි එයාගේ මේ ටෙඩී එකතුව  ටෙඩීලට ආදරය කරන අය වෙනුවෙන් විවෘත කරලත් තියෙනවා. ඉතින් ඔයාලත් ආසද දවසක ගිහින් මේ ටෙඩී එකතුව බලන්න ? 

හරි එහෙනම් මෙන්න ලිපිනය

Teddy bear town
No - 108
main street
Hill City, S.D. 
USA


ටෙඩි බෙයාර් කර්මාන්තයේ ආරම්භය ඇමෙරිකාවේ සහ ජර්මනියේ සිදු වුනත් වර්තමානය වෙන කොට විශාල වශයෙන් ටෙඩි බෙයාර් නිපදවීම චීනය හා ඉන්දුනීසියාව වගේ රටවල සිදු කෙරෙනවා. 

වසර සීයකට අදික ටෙඩි බෙයා අතීතයේ එදා මෙදා තුර මසා නිම කරපු පුංචිම ටෙඩී බෙයා ගැන දන්නවද ?  එයාගේ ප්‍රමාණය මිලි මීටර් 9ක්. මේ ඉන්නේ එයා. 




දකුණු අප්‍රිකාවේ චෙරිල් මොස් තමයි මෙම කුඩා ටෙඩි බෙයා (Micro bears) නිෂ්පාදනය කරන තැනැත්තා විදියට වාර්තා වෙන්නේ. මේ පුංචි ටෙඩී බෙයාලා වසර 6ක පමණ කාලයක ඉඳලා විශේෂ ටෙඩි බෙයාර් අලෙවි සල්වල දකින්න ලැබෙනවා.


එතකොට ලෝකයේ ලොකුම ටෙඩි බෙයා ? ඔව් ඔව් එයා ගැනත් කියනවා. මෙයා ගෙදර තියා ගන්නවත් බැරි තරම් ලොකු ටෙඩී කෙනෙක්. එයා අඩි 55 යි අඟල් 4ක් (16.86 සෙ. මී.) උස ටෙඩී කෙනෙක්. මේ ඉන්නේ
ටෙඩී.

මේ යෝධ ටෙඩි බෙයාව හදල තියෙන්නෙ ඩානා වොරන් කියන ඇමෙරිකානු ජාතිකයා. 2008 ජුනි 6 වැනිදා හදලා ඉවර කරපු මේ ටෙඩියාගේ නම Connect The Dreams හෙවත් C.T.Dreams කියලා තමයි නම් කරලා තියෙන්නේ. 


මේ ඉන්නේ තවත් ප්‍රසිද්ද ටෙඩී කෙනෙක්. අදුරනවනේ සුප්‍රකට චිත්‍රපට නළු ටෙඩ්. හොලිවුඩ් චිත්‍රපටි තරුවක් වන මෙයත් අද බොහොම ප්‍රසිද්ද කෙනෙක්.  


එතකොට මෙයා.. මෙයාවත් දන්නවනේ.. අපි හැමෝම බොහොම ආසාවෙන් නරඹපු Winnie the Pooh එකේ Pooh ත් බොහොම ප්‍රසිද්ධ ටෙඩී කෙනෙක්.

එදා අද වගේම හෙටත් ටෙඩීලා හැමෝගෙම ආදරය දිනන්ගන්න සමත් කට්ටියක් බවට පත් වෙලා තියෙන වග ටෙඩීලා ආපු මේ ගමන් මග දිහා බැලුවහම බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් එදා හිටිය අද ඉන්න වගේම හෙට ඉපදෙ පුංචි ළමයිනුත් මේ ටෙඩීලාව බොහොම ආදරෙයන්  වැලඳ ගනීවී.  





Thursday, May 5, 2016

105. ටෙඩී ඩැඩී...

ටෙඩීලා කියන්නේ දුක හිතෙන වැඩ කරන්නේ නැති, කෑ ගහලා බනින්නේ නැති, එයාලාව බලා ගන්න කෙනාට හුඟාක් ආදරේ කරන, සතුටකදී නම් මුක්කන් නහයෙන් එයාව බලාගන්න කෙනාට උම්මා ගොඩක් දීලා එයත් එක්ක සතු සමරණ, එතකොට දුකකදී නම් එයාව බලාගන්න කෙනාව පුළුන් අතින් තුරුල් කරගෙන එයාගේ දුක හිතුන කතාව බොහොම සාවධානව අහගෙන ඉඳලා වැටෙන කඳුළු ටික එයාගේ ඇඟට උරාගෙන නින්ද යනකම්ම තනිකම මකන බොහොම ආදරණීය කට්ටියක්.


ඒ නිසාම මේ එක එක පාටින්, එක එක ප්‍රමාණ වලින් වගේම  එක එක විදිහේ මූණු වලින් ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ටෙඩී බෙයාලට ලොකු, පොඩි, ගැහැණු, පිරිමි බේදයකින් තොරව හැමෝම ආස කරනවා වගේම ආදරය කරනවා.

ඕනම රටක ඕනම පුංචි බබෙක් කොයිම විදිහක හරි ටෙඩී කෙනෙක් එක්ක සෙල්ලම කරලා ඇති කියලා කෙනෙක් කිව්වොත් ඔයාල ඒකට 99% ක්ම එකඟ වෙයි. මොකද කොයිතරම් අගහිඟකම් තියෙන අම්මෙක් තාත්තෙක් වුනත් තමන්ගේ දරුවට පුංචිම පුංචි හරි ටෙඩී කෙනෙක් අතේ මිටේ තියෙන හැටියට අරන් දෙන්න පසු බට වෙන්නේ නෑනේ. 

කොයි හැටි වුනත් විශේෂයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑණු ළමයි ටෙඩීලට ආදරේ කරන්න, ටෙඩී බෙයාලගේ ආදරේ දිනාගන්න සමත් වෙලා තියෙන බව නම් නොරහසක්. මොකද ටෙඩීලා සහ ගෑණු ළමයි අතර සම්බන්දය හරියට ගෑණු ළමයයි රෝස පාටයි අතර සම්බන්දය වගේ නේ... හැබැයි ඉතින් ඔය අතරේ ටෙඩීලාට චුට්ටක්වත් කැමති නැති අයත් නැතුවම නෙවෙයි... 


ඒ කොහොම වුනත් තුශානි සහ ටෙඩීලා අතර සම්බන්දයට නම්, ඈතට අතීතයට දිව යන දිග ඉතිහාසයක් තියෙනවා. පළවෙනි උපන්දිනෙන් ආරම්හ වුනු තුශානිගෙ ටෙඩී හිමිකාරීත්වය මේ වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ණවල, එක එක විදිහේ ටෙඩීලා නිසා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා.. හි.. හි...   

" කවුද දන්නේ නෑ මේ ටෙඩීලාව හොයා ගත්තේ... ටිකක් හොයලා බලන්න ඕනේ... " දවසක්, තුශානිට ඉන්න ලොකුම ලොකු ටෙඩී බෙයාගේ බණ්ඩියට හේත්තු වෙලා ඉන්නකොට හොයලා බලන්න අදහසක් හිතට ආවා.. ඉතින් ඔක්කොම වැඩ පැත්තක තියලා එයාවත් වඩාගෙන අන්තර්ජාලේ පැත්තට එබිලා බැලුවා මේ ටෙඩීලා ගැන මොනාද කට්ටිය කියලා තියෙන්නේ කියලා. අන්න එතකොට තමයි මෙන්න මේ අපූරු විස්තර ටික හොයා ගන් පුළුවන් වුනේ...  

ඔන්න අහගන්නකෝ විස්තරේ.. ඇමරිකා එකසත් ජනපදයේ ජනාධිපතිවරයෙක් ඉඳලා තියෙනවා තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් (Theodore Teddy Rousevelt)  කියලා. මේ ඉන්නේ එයා...




එක දවසක් ඒ කියන්නේ 1902 වසරේ දවසක මේ තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමා ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පලාත් ආණ්ඩුකාරතුමාගෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා සත්තු දඩයම් කිරීමේ තරඟයකට සහභාගී වෙන්න. ඉතින් ජනාධිපතිතුමාත් ඒකට සහභාගීවෙලා තියෙනවා. තරගෙදී අනිත් හැම කෙනෙක්ටම වලහෙක් දඩයම් කරගෙන එන්න පුළුවන් වෙලා තිබුනත් ජනාධිපතිතුමාට නම් වලහෙක් දඩයම් කරගෙන එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක දැකපු මාර්ගෝපදේශකතුමා ජනධිපතිවරයව සතුටු කරන අදහසින් දඩයම් බල්ලන්ගේ සහයෝගය ඇතුව වලස් පැටියෙක් හොයාගෙන ඇවිත් විලෝ ගහක ගැට ගහලා ජනාධිපතිතුමාට වෙඩි තියෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් ඉතින් ජනාධිපතිතුමා නම් ඒකට කැමති වෙලා නෑ. ඒක සදාචාර සම්පන්න නෑ කියලා ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 

කොහොම වුනත් අන්තිමට ඇමරිකානු පුවත් පත්වලත් මේ සිද්ධිය වාර්තා වෙලා තියෙනවා. ඒ කාලේ දේශපාලනික කාටුන් චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරපු ‘ක්ලිෆර්ඩ් බෙරීමන්’ නම් දේශපාලනික කාටුන් ශිල්පියා විසින් ‘ද වොෂින්ටන් පෝස්ට්’ වෙත අපූරු කාටූනයක් මගින් මේ පුවත වාර්තා කරලා තිබුනා... මේ තියෙන්න ඒක..


මේ ඉන්නේ ක්ලිෆර්ඩ් බෙරීමන් මහත්තයා...

1902 නොවැම්බර් මාසේ 16 වෙනිදා පලවුන මේ මුල්ම කාටුනයේ ජනාධිපතිතුමා, මාර්ගෝපදේශක සහ වලහා ටිකක් එක ප්‍රමාණයට වගේ ඇඳලා තිබුනත් පස්සේ ඔහු ඔහුගේ වෘත්තිය ජිවිතය පුරාවටම ඇඳපු කාටුන් වල ඒ වලහා ටිකක් පුංචි බයෙන් වෙව්ලන වලස් පැටියෙක් විදිහට ජනාධිපතිතුමා සමග අඳින්න කටයුතු කරලා තියෙනවා. 

මේ තියෙන්න ජනාධිපතිතුමා එක්ක වලස් පැංචා ඉන්නවා ඇඳපු කාටුන්...








මේ කාලේ නිව්යොක් වල රස කැවිලි කඩයක හිමිකරුවෙක් වෙච්ච මොරිස් මිච්ටොම් කියන පුද්ගලයා ක්ලිෆර්ඩ්ගේ කාටුන්වල හිටිය අර පුංචි වලස් පැංචාව දැකලා හරි අපූරු අදහසක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ එයා ඒ අදහස නෝනා මහත්තයටත් කියලා පුළුන් පුරවලා, අර කාටුනයේ විදිහටම පුංචි වලස් පැංචො දෙන්නෙක් හදලා එයාගේ කඩේ විකුනන්න තියලා තියෙනවා. 




ඒවාට හොඳ ඉල්ලුමක් ලැබිලා වැඩේ සාර්ථක වෙන්න පටන් ගත්ත නිසා අන්තිමට එයාලා ජනාධිපතිතුමාගෙනුත් ඒකට අවසරත් අරගෙන වැඩේ ලොකුවටම කරන්න පටන් අරන් තියෙනවා..  ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට තමයි Ideal Novelty and Toy සමාගම ඔහු ආරම්භ කරලා තියෙන්නේ.. 
ඉතින් මේ සෙල්ලම් වලස්සු ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතාගේ වලස්සු එහෙමත් නැත්තම් ටෙඩීස් බෙයාස් විදිහට තමයි කට්ටිය හඳුන්වලා තියෙන්නේ. ඔය ටෙඩීස් බෙයාස් කියන එක තමයි පස්සේ කාලේදී ටෙඩීබෙයා කියලා භාවිතයට ඇවිත් තියෙන්නේ.. 

ඉතින් ටෙඩී බෙයා නිර්මාණය වෙන්න හේතු වුනේ ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතා මහත්තයා නිසා ටෙඩීගේ ඩැඩී හෙවත් ටෙඩී පියා වෙන්නේ ඔහුයි. 

දන්නවද ටෙඩීලා ගැන කියන්න නම් විස්තර ගොඩයි. ආපහු දවසක තවත් විස්තර ටිකක් කියන්නම්කෝ..  



Related Posts Plugin for WordPress, Blogger...