Monday, July 25, 2016

109. වෙඩින් කතා - 01

හැලපතුමා කරපු ඉල්ලීමක් කොහොමත්ම අහක දාන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔන්න වෙඩින් කතා ටිකකුත් කියන්න ඕනේ කියලා තුශානි කල්පනා කලා.

ඒත් ඉතින් පටන් ගන්නේ කොහෙන්ද කියන එක තමයි ප්‍රශ්ණේ. හොඳයි අද හෙට බඳින්න ඉන්න අයත් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් මම කියන්නම්.  


විවාහ වෙනවා කියලා කියන්නේ ජීවිතේ බොහොම තීරණාත්මක කඩයිමක්. මොකද විවාහය කියන්නේ, කෙනෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ප්‍රබලම සන්ධිස්ථානයක්නෙ. ඒ නිසා හරිම පරිස්සමින් හිතලා තමයි තිරණයක් ගන්න වෙන්නෙ. ඒ වගේම අපි කවුරුත් හොඳට මතක තියාගන්න ඕනේ ආදරයෙන් අන්ධ නොවී හොඳ තීරණයක් ගන්න. මොකද, කෙනෙක්ට හරි යන්නත් වරදින්නත් ඒ තීරණය හේතු වෙන නිසා. කොහොම වුනත් දෙමව්පිය ආශිර්වාදයත් එක්ක විවාහ ජීවිතයකට ඇතුලත් වෙන්න පුළුවන් නම් තුශානි හිතන විදිහට ඒක තමයි හුඟක්ම හොඳ තීරණය වෙන්නෙ.

ඉතින් ඔන්න වෙඩින් එකට දවස් කීපයකට කලින් තුශානිලගෙ ගෙදර වරු පිරිතක් කියවන්න සූදානම් කරලා තිබුනා. වරු පිරිත අවසානයේ කෙටි ධර්මානුශාසනාවකුත් තියෙනවානේ. අන්න ඒ ධර්මානුශාසනාවෙදි විවාහය ගැන, බුදු දහමෙ කියලා තියෙන බොහොම අපූරු කාරණා ටිකකුත් තුශානිට දැන ගන්න ලැබුනා.

මුලින්ම ඒ ගැන කියන්නම්. හගන්නකෝ බුදු දහමේ විවාහය ගැන කියලා තියෙන දේවල්...

"බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සංවාස කියන සූත්‍රයෙ, විවාහ ජීවිත ගත කරන අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන මෙහෙම කියලා තියෙනවා".  ඔන්න ඉතින් අපේ පන්සලේ නායක හාමුදුරුවො ධර්මානුශාසනාව පටන් ගත්තේ ඒ විදිහට. අපි දෙන්නත් ඉතින් ටිකක් හරි බරි ගැහිලා අහගෙන හිටියා, මොනාද බුදු දහමේ අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන කියලා තියෙන්නෙ කියලා.  

"භාර්යාවක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙව්දුවක් වෙන්නත් පුළුවන්."  ඔන්න එතකොටම තුශානිගෙ දකුණු ඇහේ කොණට පේනවා කෙනෙක් හිනා වෙනවා.  " ඒ වගේම ස්වාමිපුරුෂයෙක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙවියෙක් වෙන්නත් පුළුවන්" " හි.. හි.. ඇයි අපි විතරද ඔය එයාලටත් තියෙන්නෙ"කියලා තුශානිගෙ හිතටත් පොඩි සතුටක් ආවේ නෑ කියන්නම බෑ ඉතින්. හරි හරි.. අහගන්නකෝ කාරණා ටික.

1. මළ මිනියක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
2. මළ මිනියක් දෙව් දුවක සමඟ වාසය කිරීම.
3. දෙව් පුතෙක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
4. දෙව් පුතෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම.


ඉතින් බුදු දහමේ කියන විදිහට විවාහ ජීවිතේ ගත කරන අඹු සැමියන් දෙව් පුතෙක් එක්ක දෙව්දුවක් ජිවත් වෙන විදිහට ජිවත් වෙන්න කටයුතු කරන්න ඕනෙ කියලා හාමුදුරුවො අපි දෙන්න දිහා බලල කිව්වහම අපිත් ඉතින් බොහොම අමාරුවෙන් හිනා නොවී ඔළුව වැනුව හැටි නම් තුශානිට කවදාවත් අමතක වෙන්නෙ නෑ.  :)

ඒ වගේම තවත් ලස්සන කතාවක් තුශානිට අහන්න ලැබුනා නකුලා මාතා සහ නකුල පිතා ගැන. ඒ ගැන දන්නෙ නැති කෙනෙක් උනත් ඉන්න පුළුවන් නිසා මම ඒ ගැනත් කෙටියෙන් කියන්නම්. නකුල මාතා සහ නකුල පිතා කියන්නේ විවාහ ජීවිතේ බොහොම සාර්ථකව ගත කරපු දෙන්නෙක්ලු. ඉතින් බොහොම ධාර්මිකව, සාර්ථකව ජීවිතේ ගතකරපු මේ දෙන්නව බුදු හාමුදුරුවෝ අගය කරලා, අනිත් අයටත් එයාලව  ආදර්ක් විදිහට ගන්න කියලත් දේශනා කරලා තියෙනවා.

“යම් අඹුසැමි යුවළක් මෙලොවදී මෙන්ම පරලොවදීත් ඔවුනොවුන් දැකීමට කැමැතිවන්නේ නම්, දෙදෙනාම ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා කියන අංගවලින් සමාන වන්නේ නම්, ඒ දෙදෙනා මෙලොවදීත් පරලොවදීත් එකිනෙකා දකිති.”යි කියල
ත් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.

ඒ වගේම සිඟාලෝවාද සූත්‍රයේ එන අඹු සැමි යුතුකම්, සප්ත භාර්යාවන් ගැන එහෙමත් අහන්න ලැබුනා ඒත් තුශානිගේ හිතට වැඩිපුරම කාවැදුනේ ඇයි ස්වාමි පුරුයන් බිරිඳ ගැන විශේෂයෙන් සලකා බලන්න ඕනෙ කියපු කාරණා ටිකට. ඒ කියන්නේ බිරිඳට විශේෂ තැනක් සැමියෙක් දෙන්න ඕනේ ඇයි කියලා. 

ඔන්න අහගන්නකෝ.. බිරින්දෑවරු මේක දැන ගෙන ඉන්නම ඕනෙ කාරණාවක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට ස්වාමිපුරුෂයෙක් කාරණා 5 ක් නිසා බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ ලු.

සරලව කියනවා නම් ගැහැණියකට විඳින්න වෙන ඒත් පිරිමියෙක්ට විඳින්න නොවෙන දුක් 5 ක් නිසා ගැහැණිය ගැන මානුෂිකව පිරිමියෙක් බලන්න ඕනේ කියලා තමයි දේශනා කරලා තියෙන්නෙ. 

 මෙන්න ඒ කරුණු 5

1.විවාහයෙන් පසු දෙමාපියන් ඇතහැරලා සැමියෙක් සමග යාමට සිදුවීම.
2.මාස් ශුද්ධිය ඇතිවිම./ ඔසප් චක්‍රයක් පැවතීම.
3.ගැබ් ගැනිම.
4.දරුවන් බිහි කිරිම.
5.සැමියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සිදුවීම.  

ඉතින් මේ කාරණා 5 ගැහැණියෙක් විසින් දරාගෙන ඉන්න නිසා ඊට ගරු කිරීමක් වශයෙන් ස්වාමි පුරුෂයන් බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ කියලා තමයි බුදු දහමේ කියලා තියෙන්නේ.  බලන්න ඒක කොයි තරම් නම් ප්‍රායෝගික කාරණාවක්ද කියලා.

කාන්තාවක් විදිහට ඒ කරුණු පහ ගැන හිතලා බලනවා නම් ඇත්තටම ඒවා දරාගන්න අපහසු ඒත් ඒ අපහසුතාවයන් මැද වුනත් කාන්තාවන් දරාගන්නා කරුණු 5 ක්.  

ඉපදුනු දවසේ ඉඳලා ලඟ හිටිය අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වෙලා අලුත් ගෙදරකට යන එක කවුරු කොහොම කිව්වත් දුකක්. ආපහු එන්න පුළුවන්නෙ, ගිහින් ඉන්නෙ තනියම නෙවෙයිනේ වගේ එක එක දේවල් කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මනමාලියෙක් වෙලා පිට වෙලා යන දුවෙක් දිහා හිනා මූණකින් වුනත් ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් දිහා ආපහු හැරිලා බලන දුවෙක්ගෙ හිතට ඇතිවෙන වේදනාව ඇත්තටම දරාගන්න හරිම අමාරු වේදනාවක්. ඉතින් ඒ වේදනාව සැමියෙක්ට තේරුම් ගන්න පුළුවන් නම්, ඒ ගැන මානුෂිකව හිතලා බිරිඳක් සනසවන්න පුළුවන්නම් ඇත්තටම ඒක ගොඩක් වටිනවා වගේම දෙන්නා අතර තියෙන ආදරය, බැඳීම තවත් ශක්තිමත් වෙන කාරණාවක්. 

ඔසප් චක්‍රය කියන්නේ නිරෝගී කාන්තාවකගේ දින 28 කට වරක් ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්. සරළව කියනවා නම් දින දෙක තුනක් ශරීරයෙන් රුධිරය පිටවීමක් මෙතනදි සිද් වෙනවා. ඉතින් ඒක පහසු කාරණයක්ද ? නෑ. අපහසු වුනත් බොහෝවිට කාන්තාවන් මේ තත්වය දරාගෙන සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කරයුතු සිද් කරනවා. ඒ නිසා සැමියෙක් විදිහට බිරිඳගේ මේ අපහසුතාවන් ගැන මානුෂිකව හිතලා කටයුතු කරන්න පුළුවන් නම් සාර්ථක පවුල ජීවිතයකට ඒක හුඟක් වටිනවා.

ඒ වගේම ගර්භනී භාවයට පත් වෙන එකත් ඒ දරුවා මාස 10ක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කර එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.  ඒ වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ලඟින් ඉඳලා ඇයට ශක්තියක් වෙන්න , ඇයව තේරුම් ගන්න, පවුල් ජීවිතයකට ඒක ඉතාමත් හොඳ පිටිවහලක් වෙයි වගේම දෙන්නා අතර තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙන්නත් අනිවාර්යයෙන්ම හේතු කාරණාවක් වෙයි. 

විවාහයෙන් පස්සේ සෑම කාන්තාවකටම තමන්ගේ වැඩ වලට අමතරව ස්වාමියාගේ වැඩ කටයුතුත් කරන්න සිද්ද වෙනවා. ඉතින් ඒ දේවල් කරනකොට බිරිඳක් අතින් අඩු පාඩු උනත් සිද්දවෙන්න පුළුවන්. සමහර විට සැමියා අපේක්ෂා කරන මට්ටමටම ඒ වැඩේ කෙරිලා නොතිබෙන්නත් පුළුවන්. එහෙම වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ගැන මානුෂිකව හිතලා හොඳින් ඒ වැරැද්ද පෙන්නලා දෙන්න, බිරිඳ සමග සහයෝගයෙන් ඒ වැඩේ කරන්න, එතකොට ඒ පවුල් ජීවිතය සාර්ථක වෙයි වගේම පවුල් ජීවිතය ලස්සන පවුල් ජීවිතයක් බවටත් අනිවාර්යයෙන්ම පත්වෙයි.

ඉතින් ඔන්න ඔය විදිහට බුදු දහමේ විවාහය ගැන කියලා තියන ගොඩක් දේවල් තුශානිට දැනගන්න ලැබුන නිසා ඒ දේවල් ඔයාලටත් කියන්න හිතාගෙනයි මේ පොස්ට් එක ලිව්වේ..  

වෙඩින් කතා ගොඩක් තියෙනවා කියන්න, එකින් එක කියන්නම්කෝ...




****

Friday, July 15, 2016

108. ආෆ්ට වෙඩින් ඔපීසි කතා ...

ඔන්න ඉතින් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ තුශානි පුරුදු විදිහට උදේ පාන්දරම ඔපීසියට ගොඩවුනා.. ඔව් ඔව්.. අර කලින් කිව්ව ඔපීසීයම තමයි. හි..හි.. 

කලින් ඔපීසියම කිව්වට මොකද, සති දෙක තුනට ඒකත් සෑහෙන විදිහට වෙනස් වෙලා..   හප්පේ... මොනා වෙනස් වුනත් පුටුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි කියලා හිත හදාගෙන ඔන්න ඉතින් වැඩ පටන් ගත්තට, පුටුවෙ ඇලවිලා ඉන්න වෙන ගානට මේසෙ උඩ වැඩ සෑහෙන ගොඩ ගැහිලා තිබුනා. 

" මිස්.. මිස්.. " හුරු නැති පිරිමි කටහඩක් 

හපොයි... තේ ගේන කෙනාත් වෙනස් වෙලා...

මේස උඩ තිබුනු ෆයිල් කන්දේ උඩම ෆයිල් එකේ Report කියන වචනෙට උඩින් මෙන්න අවුරුදු විස්සක විතර කොලුවෙක් දත් තිස් දෙකම පේන්න හිනා වේගෙන තේ එකත් අතේ තියාගෙන ඉන්නවා.. 

"ඔයා අලුතෙන්ද ආවේ ? " Report කියන වචනෙ ඔළුව ඇතුලට කිඳා බස්ස ගන්න ගමන්ම මම ඇහුවා.. 

" ඔව්... " බ්ලා.. බ්ලා.. බ්ලා... කියලා මොනාද ටිකක් එයා කිව්වත් මගේ ඔළුව තිබුනේ හදලා යවන්න තිබුනු Report එකේ. 

" හරි තැන්ක්යු. තේ එක තියන්න. ඔයා තව විනාඩි 15 කින් එන්න. මට හදිස්සි ෆයිල් එකක් තියෙනවා Head office එකට යවා ගන්න.  

අපි එයාට මලිත් කියමුකෝ. මලිත් කිව්වට මොකද ඒ වෙලාවේ නම්, කියපු නම ගම විස්තර ටික මගේ කණ් බෙරේට වදින්නේ නැතුව අර ෆයිල් එකේ පැටලිලයි තිබුනේ. 

ඔන්න ඉතින් මලිත් හා කියලා ඔළුව වනලා ගියා. 

ගෙවිලා ගියේ හරියටම විනාඩි දා හතරයි තත්පර පනස් පහයි මෙන්න මලිත් ඇවිත් මේසේ ගාව. 

" මිස් ෆයිල් එක දැන් ගෙනියන්නද ? " 

"අහ්.. වෙලාවටම ඇවිත් නේද ? මේක ඉක්මනට ගිහින් xxx ට  දීලා ඉඳලා අරගෙනම එන්න. "

හා කියලා ඔන්න මලිතුත් ෆයිල් එක අරගෙන ගියා..  

මෙන්න ටික වෙලාවක් යනකොට වම් ඇහේ කෙලවරේම ඇහි පිහාට්ට ගාවින් පේනවා මලිත් ඉන්නවා ඔපීසියෙ කෙනෙක් එක්ක කතා කර කර.

"බලන්නකෝ හදිස්සියි කියලා දීලත් ගිහින් නෑනේ.. කිසි ගානක් නැතුව අරයත් එක්ක කතාව. දැන් විනාඩි විස්සකටත් වැඩියි. ම්... ගිහින් එන්න නම් වෙලාවක් නෑ. එතනට යන්නම යනවනේ විනාඩි පහළවක් විතර. " 

රතු කට්ට පනින්න ඔන්න මෙන්න ගානට එක එක ඒවා ඔළුවට එන්න ගත්තා. කෝකටත් කතා කරලා අහනවා මොකද යන්නෙ නැතුව කරන්නෙ කියලා.

ඒත් ඉතින් කතා කරන්නෙ මොකක් කියලද.. නම වත් අහගත්තෙ නෑ නේ.. කමක් නෑ චුට්ටක් එතනට ගිහින් බලන්න ඕනෙ. කියලා හිතලා වැඩ ටික පැත්තක තියලා එතනට ගිහින්ම බැලුවා. 

"අනේ මිස්..  තාම යන්න බැරි වුනා මේ දැන් යනවා කියලා කියන්න ඇති කියලා නේද හිතුනේ.. 

ම්හු.. එයාට කිසි ගානක් නෑ. ලඟට යනකොටත් හොඳට දත් තිස් දෙක පේන්න හිනා වේගන ඉන්නවා. 

" තාම ගියෙ නෑ නේද .. යන්න යන්න ඉක්මනට ෆයිල් එක ගෙනියන්න..   "

"නෑ.. මිස් මම.. මම... "  කියලා මෙන්න මෙයා අත දික් කර කර මොකක්ද කියන්න හදනවා. 

"හරි හරි කමක් නෑ දැන් යන්න. ඕක හදිසි ෆයිල් එකක්. " 

ඔන්න දැන් එතකොටම මට පේනවා ඔපීසියේ එතන වටේ හිටිය දෙතුන් දෙනෙක් ටිකක් අමුතු විදිහට හිනා වෙනවා. 

"ම්.. ඇයි මෙයාලා හිනා වෙන්නේ... මොකද....."  ඔන්න ආපහු ප්‍රශ්ණ ටිකක් මගේ ඔළුවට එක, දෙක ගානේ එන්න පටන් ගත්තා..

" මිස්... මම මේ ඔෆිස් එකේ නෙවෙයි..  අයියා තමයි මේ ඔෆිස් එකේ ඉන්නේ.
අපි නිවුන්නු. මට මගදි හම්බුනා අයියා යනවා. මිස්ගේ ෆයිල් එක වෙන්න ඇති අරගෙන ගියා. " 

ප.ලි. - මීට වඩා අකර තැබ්බ අවස්ථාවන්ට ඔපීසියේ එකෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනිත්  හැමදෙනාම මුහුණ දී ඇති බැවින් මෙය නොගිහින හැකි තරම් සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.  හි.. හි.. 



Friday, July 8, 2016

107. සුබම සුබ උපන්දිනයක් අම්මා ....

රන් තෝඩු මා කණ පලන්දා
හැඩ බලන කොට එදා අම්මා
ඇයි අම්මේ මේ ඇහුවා මතකයි
ඇහේ සීතල කඳුළු පිහලා ...

රන් මාලයක් ගෙල පලන්දා
දෙ අත් වල රන් වලලු පලදා
සිර කරන් නෙත් අගේ කඳුලක්
දූ මගේ දැන් ලොකුයි කීවා ...

රන් තැල්ල සීරුවෙන් තියලා
දෙකොපුලේ මුදු හාදු තියලා
කඳුළු රහසේ හංග ගත්තා
සතුට එක්කම දුකක් දැනිලා ... 





මම ගෙදර නැති අඩුව වෙනදටත් වඩා අද අම්මට දැනෙනවා ඇති. කොයි තරම ඈතක හිටියත් හැමදාම වගේම මේ සැරෙත් මම සුබම සුබ උපන්දිනයකට සුබ පතන බව අම්මට දැනෙනවා කියලා මම දන්නවා.  

සුබ උපන්දිනයක් අම්මා .... 


Related Posts Plugin for WordPress, Blogger...