Friday, September 30, 2016

115. පොත් කියවීම සහ පොත් ඇහීම ...

ගෙවීගෙන යන්නේ සාහිත්‍ය මාසේ නිසා මේ කාලය අපි කවුරුත් පොත් පත් ගැන වැඩි උනන්දුවක් දක්වන කාලයක්. බොහෝමයක් දෙනා මේ වෙනකොට සෑහෙන පොත් ප්‍රමාණයක් මිලදී ගෙනත් ඇති කියවන්න. ඒ නිසා අද තුශානි හිතුවා මේ පොත් කියවීම ගැන වෙනස්ම විදිහෙ දෙයක් කියන්න.

හොඳයි... මම ඔයාලගෙන් ඇහුවොත් "පොතක් කියෙව්වහම මොන වගේ දෙයක් හිතට එනවද කියලා" ගොඩ දෙනෙක් කියයි, ඒක විස්තර කරන්න බැරි හැඟීමක් කියලා. ඒ කියන්නේ පොතක් කියවලා ලබන රසවින්දනය, දැනුම වචනයෙන් විස්තර කරන්න අමාරුයි කියලා ඔයාලා කියයි.  ඔව් එකම පොතක් උනත් එක එක්කෙනාට ඒ පොත දැනෙන, රසවිඳින විදි, ඒ පොතෙන් ලබා ගන්න දැනුම වෙනස්. 

ඒත් ඔයාලා කවදහරි දවසක හිතලා තියෙනවද අපි වගේ මේ විදිහට පොත් කියව කියව රස විඳින්න බැරි පිරිසකුත් අපි අතරෙම ඉන්නවා කියලා. හ්ම්.. හිතලා නැතුව ඇති සමහර විට. ඒත් අපි වගේ දෑසින් මේ පොත් රසවිඳින්න අපහසු පිරිසකුත් අපි අතරේ ඉන්නවා.  එයාලත් අපි වගේම පොත් වලට ආදරය කරන, පොත් කියවන්න බොහොම ආසාවෙන් ඉන්න පිරිසක්. 

එතකොට එයාලා කොහොමද මේ පොත් අපි වගේම රස විඳින්නේ ? හරි... ඒ ප්‍රශ්ණෙට බොහොම පැහැදිලි උත්තරයක් කසුන් මෙන්න මේ පොස්ට් එකේ දී කියලා තියෙනවා.

දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් නිර්මාණය වුනු මේ “DAISY” (Digital accessible Information System) තාක්ෂනය ගැන තුශානිත් මුල් වරට විස්තර දැන ගත්තේ කසුන්ගේ මේ ලිපිය හරහායි. 



තුශානිටත් ලොකු ආසාවක් තිබුනා මේ තාක්ෂය ඔස්සේ පුලුවන් විදිහකට යමක් අපේම යාළුවන් වෙනුවෙන් කරන්න. ඉතින් කසුන් හරහා සම්බන්ද වෙලා තුශානිත් මේ වැඩේට පුංචි දායකත්වයක් ලබා දුන්නා. 

මුලින් ටිකක් අමාරුයි වගේ හිතුනත් ටිකක් පහු වෙනකොට නම් ඒක ඒ තරම් අමාරු කාරියක් වුනේ නෑ. අපිට කරන්න තිබුනේ මේ ඩේසි තාක්ෂණය ඔස්සේ අපිට ලබා දීලා තිබ්බ පොත කියවලා පටිගත කරන එකයි. හැබැයි හැම පිටුවකම තියෙන හැම දෙයක්ම අපිට පුළුවන් උපරිමයෙන් විස්තර කරන්න කියලා අපිට උපදෙස් ලැබුනා. 

උදාහරණයක් විදිහට කියනවා නම් පිට කවරය ගත්තොත්, ඒකේ තියෙන හැම වචනයක්ම කියවිය යුතුව තිබුනා. ඒ වගේම පින්තූරයක් නම් ඒ පින්තූරය කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කලයුතු වුනා. පටුන , පෙරවදන වගේ දේවල් විතරක් නෙවෙයි පිටු අංක, පරිච්චේද , වරහන් වගේ තැන් පවා විශේෂයෙන් සඳහන් කල යුතුව තිබුනා.  කොටින්ම කියනවා නම් සම්පූර්ණ පොතම ගැන හඬ පටයේ ඇතුලත් වුනා. 

සමහර විට ඔයාලට මේ ගැන හිතාගන්නවත් බැරුව ඇති. ඇත්තම කියනවා නම් තුශානිටත් පුදුම හිතුනා මේ වෙනකොට පටිගත වෙලා තියෙන පොත් වල හඬ පට අහන්න ලැබුනහම.

ඉතින් කොහොමහරි පුළුවන් විදිහට තුශානිත් ඒ වැඩේට දායක වුනා. ඒ වගේම අපේ සහෝදර බ්ලොග් කරුවන් , කාරිනියන් කිහිපදෙනෙකුත් මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්නවත් දකින්න ලැබුනා. 


අන්තිමට වැඩේ ඉවර වෙනකොට නම් හිතට  දැනුනේ හරිම පුදුමාකාර සතුටක්.  මොකද තව කෙනෙක් අපේ කට හඬක් හරහා පොතක් කියවනවා කියලා හිතට දැනෙනකොට ඒ සතුට කොයිතරම් වෙන්න ඇතිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. 

ඉතින් මේ පොත් කියවන මාසේ අපි අපිට හිතෙන හිතෙන පොත් ගොඩ ගොඩ අරගෙන කියවනකොට, ඒ පොත්ම කියවන්න ආසාවෙන් ඒත් ඒ හැකියාව නැති අයත් අපි අතරම ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නෑ. 

ඒ නිසා ඒ වෙනුවෙන් යමක් ඔයාලටත් කරන්න පුළුවන් නම් මම හිතනවා කසුන් ඔයාලටත් ඊට අවශ්‍ය මග පෙන්වීම අනිවාර්යයෙන්ම කරයි කියලා. අදින් අවසන් වෙන මේ සාහිත්‍ය මාසේ ඒ අදහසත් හිතට අරගෙනම මේ සාහිත්‍ය මාසෙ සමු දෙන්න කියලා තුශානි මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරනවා.



~ * ~


Friday, September 23, 2016

114. බෑ නෙවෙයි කොහොමවත්ම බෑ ...




තුශානි ලියපු උදව්වක් ඕනේ මට, සුළඟ මේ අහනවද ... පොස්ට් එක වෙනුවෙන් ගීත රචනා කරන්න දායක වුනු අය වෙනුවෙනුයි අද මේ පොස්ට් එක විශේෂයෙන්ම ලියන්න තුශානි කල්පනා කලේ... 

ඒ වගේම පොස්ට් එක කියවලා අදහස් දක්වපු, අගය කරපු හැම කෙනෙක්ටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තූතියි.... 

පොස්ට් එක කියවලා අදහස් දක්වපු අය අතරේ ඉයන් බොහොම අපූරු අදහසක් තුශානිට දුන්නා. ඉතින් ඒ අනුව තමයි ගී පද රචනා කිරීමත් කජ්ජක්ද? කියන පෝස්ට් එක හරහා ගීත රචනාවන් රැසක් නිර්මාණය වුනේ.. ඒ නිසා ඉයන්ටත් විශේෂ ස්තූතියක් තුශානි පිරිනමනවා.  

ඉතින් කුළුදුල්ම පද රචනාව ලියවුනේ ශානි ශෂි අතින්.. මේ එයාගේ පද රචනාව 

නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

ආදර අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ....

ඊලඟ පද රචනාව ලියවුනේ අපේ ඉන්දික උපශාන්ත අයියගෙ අතින් මේ තියෙන්නෙ ඒ පද රචනාව ...

ඈත ඉඳන් ආදරයෙන් බලා ඉන්න
අප්පච්චී වගෙ හිනැහෙන සිහිල් සඳේ
මගෙ පණිවුඩය අම්මට කියලා එන්න
ඇගෙ දුක නිවන්නට පසළොස්වක වෙන්න

මගෙ ඇඳ ගාව හිඳ රෙදිවල සුවඳ බලා
අඬනා අම්ම සනසන්නට ලඟට වෙලා
බෝනික්කන්ට කියනවාද ඇයට හොරා
එනතුරු පුතෙක් එක්කන් කිරි සුවඳ පුරා

හවහට වතුර හැමදාකම නොලැබුනට
රෝස ගහේ එපා ඇයට රිද්දන්න
මම එනතුරා කටු අතු දුක් සඟවාන
මල් පිපියන් ඇගෙ තනියට හැමදාම


බෑ බෑ කිව්වට මේ බලන්නකෝ ඉවාන් ලියපු ගී පද ටික... 

මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
ඔබේ කෙහෙරැල් අතර රඳවා සිහිල් කරවන්න
මේඝ දූතිය මෑණියන්ගේ කනට කොඳුරන්න.
ලඟදි දවසක තුරුල් වෙන්නට ඒවි පවසන්න

රෝස පඳුරට හෙමින් කොඳුරා මගෙ සෙනෙහෙ දෙන්න
දොරකඩටවී මග බලන බෝනික්කො නලවන්න
මගෙ කුටිය ලඟ සින්දු කියනා මාල ගිරවුන්ට
තුති කියන්නට ලඟදීම මම එනවමයි ඔන්න

සෙනෙහෙ පිරි නව කැදැල්ලට වී තුටින් හිටියාට
යන්න ආසයි තාත්තගෙ සුලැඟිල්ල අල්ලාන
මේඝ දූතිය මගේ හසුන් පත අරන් යනවාද
ආයෙමත් සුදු දෝණි එනවා කියා කියන්වද

මේ තියෙන්නේ අපේ ඉකොනොමැට්ටාගේ ගී පද රචනාව

සුළඟේ... සුළඟේ...
හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

බෝනික්කෝ අඬනවාද ඇඳ යට හැංගිලා
ටෙඩිය මගේ හීතලෙන්ද කොට්ටෙට ගුලි වෙලා
රෝස කැකුළු ජනේලයෙන් මා කොහිදැයි බලා
එබෙනවනම් සනසවපන් සිහිල් පවන් සලා

හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

පති කුලයට ගිය දුව ගැන විස්සෝපෙන් හිතේ
මඟුල් දොහේ තිබුණු හිනා අම්මාගේ වතේ
මැකී ගිහින් කඳුළු බිංදු උනා ඇතොත් නෙතේ
ඇහේ වැදී ඇයට දියන් සිහිල මගේ අතේ

සුළඟේ... සුළඟේ...
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...


දුමින්ද අබේසේකරගේ ගී පද රචනාව තමයි මේ තියෙන්නේ...

මල් පෙති දග කරමින්නේ
තුරු දලු පත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝනිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ ඇද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්ත ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩ පිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ



නිර්මාණිගේ නිර්මාණ ගැනත් ඔයාලා දන්නවනේ.. මේ තියෙන්නේ එයාගේ ගී පද නිර්මාණය 

කොඳ කුසුමන් පිපී සුවඳ
බෙදන නිසල රාත්‍රියක
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

කිරි පැණි ඉල්ලන්න නොවේ,
සාවිය ඉල්ලන්න නොවේ
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

මනාලියක් වී පෙර දා
කැදලි තනා ඉගිලුනාට
ඒ නිවසේ උණුසුම මට
සිහි වන වා හැම මොහොතෙම

සිත ඉගිලෙන මුත් නිවසට
යා නො හැකිය හනික එලෙස
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

දුවේ කියා අමතන හඬ
ඇහෙනව මට හැම මොහොතෙම
පුරුද්දකට මෙන් හැමතැන
හොයනවා ඇති මාව තාම

එහි රජයන පාලු ගතිය
මකා දමණු හැකිය නුඹට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
සමන් පිච්ච කඩොපුල් මල්

පිපිලා ඇති මේ වෙනකොට
මා එනතුරු ඉන්නව ඇති
බුදු පාමුල සැනහෙන්නට

ලඟදිම එන බව පවසා
පනිවිඩයක් ගිහින් දෙන්න
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

අම්ම තාත්තාගෙ දෑසෙ
සතුටු සිනා පුබුදුවන්න
සිතේ තියන  පාලු ගතිය
ගිහින් දමණු දුර ඈතක

සෙනෙහස උතුරණ කැදැල්ලෙ
මා සතුටින් බව කියන්න
ඒ ගැන දුක් නො වී තුටින්
ඉදිණු මැනවි කියා දෙන්න

සමන් පිච්ච මල් සුවඳක
මා ඔතනා හාදු පේලි
ගිහින් දෙන්න මා වෙනුවට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
 

ඉතින් එකකට එකක් නොදෙවෙනි මේ පද රචනා ලියන්න දායක වුනු හැම කෙනෙක්ටම තුශානි හද පිරි ප්‍රණාමය පුද කරනවා. බොහොම ස්තූතියි තුශානි වෙනුවෙන් මේ අභියෝගය භාර ගත්තට... 

ඔන්න හැමොටම මම මෙයාගේ අතේ මල් එකක් ගෙදරටම එව්වා..  

හැබැයි ඉයන් කලින් කියලා තිබුන විදිහට මේ පද රචනා වලින් කිහිපයක් තෝරන්න නම් තුශානිට බෑ නෙවෙයි කොහොමත්ම බෑ... තුශානිට මේ හැම එකක්ම හරිම සුවිශේෂියි.. ඉතින් කොහොමද එකක් තෝරන්නේ.

ඒ නිසා මම ඉයන්ටම ආරාධනා කරනවා අපේ මේ ගී පද රචකයින්/ රචිකාවන් එක්ක එකතුවෙලා මේ අපූරු ගීත රචනාවන් ටික මියුරු සංගීතයකට මුසු කරලා ලස්සන කට හඬකින් අපිට ඇහෙන්නත් සලස්වන්න කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා. 

එතකොට බ්ලොග් අවකාශයට විතරක් නෙවෙයි.. මුළු ලෝකයටම අපේ මේ බ්ලොග් හිතවතුගේ හැකියාවන් දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දවස ඉක්මනින්ම උදා වේවා කියලා තුශානි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 


~ * ~


Friday, September 9, 2016

113. උදව්වක් ඕනේ මට, සුළඟ මේ අහනවද ...



උදව්වක් ඕනේ මට
සුළඟ මේ අහනවද
අපේ ගෙදරට හොරෙන්
ගිහින් එන්නට බැරිද ...

අම්මා තාත්තා එහේ
සනීපෙන් ඉන්නවද
මම නැතුව පාළුවෙන්
ඉන්නවද කියනවද ... 

මගුල්ගේ දා වගේ
අම්මගෙ මූණ
සතුටින්ද
කඳුළු හෙම තිබුනොතින්
පිසදාලා එනවාද  ...

මගෙ කාමරේ තාම
කලින් තිබුනා වගෙද
බෝනික්කෝ තරහා වෙලා
නම් යාළු කරනවද ...

කාමරේ ලඟ රෝස
පඳුරේ මල් තියෙනවද
මල් පිපිලා මම කොහෙද
එබි එබී බලනවද ...

මාලා ගිරවුන් තාම
පාන්දර එනවාද
මම නිදියි හිතාගෙන
ගී කියනවද තාම ...

සුදු පුළුන් ටෙඩී මගේ
හොර ගෙඩියා වගේ නිදිද
ගෙනියන්න එයාවත් 
එනවාමයි කියනවද ...

මම ගෙදර නැති අඩුව 
පා කරලා යවනවද 
හැමදෙනත් හැම දෙයත්
තිබුනා වගේ හදනවද ... 

එහෙම නැතිවුනොත් මට
දුක හිතෙයි
දන්වද
ඇවිත් යන්නට හනික 
එන බවත් කියනවද ... 



~ * ~



Related Posts Plugin for WordPress, Blogger...