Tuesday, August 30, 2016

112. කෝ බලන්න වම් අත උස්සන්න...

මේ පොස්ට් එක මීට ටික දවසකට කලින් ලියලා ඉවර කරන්න හිතාගෙන හිටියට තුශනිත් සොළොස් මහා ගීත වැස්සට තෙමිලා හිටිය නිසා ලියලා ඉවර කර ගන්න බැරිවුනා. කට්ටියම ගීත වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට තුශානි කොහොම නොතෙමී ඉන්නද නේද හි.. හි... කොහොමින් කොහොමහරි අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් මේ පෝස්ට් එක දාන්න ඕනෙ නිසයි වැඩ ගොඩක් මැද්දේ වුනත් අද පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ...

හොඳයි , අද තුශානි කියන්න යන්නේ මේ මාසේ පහුවුනු වැදගත් දවසක් ගැන. කෝ බලන්න දන්න කෙනෙක් ඉන්නව නම් වම් අත උස්සන්න. 


ඔව්... ඔයාලා හිතුවා හරි.. පහුගිය අගෝස්තු 13 වෙනිදාට යෙදුනු ලෝක වමත් කරුවන්ගේ දවස වෙනුවෙන් තමයි අද පොස්ට් එක වෙන් වෙන්නේ.

තුශානි විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හිතුවේ තුෂානිත් ඒ පක්ෂෙ කෙනෙක් නිසා. හෝව් හෝව් පක්ෂෙ කිව්වේ දේශපාලනේ පැත්තෙන් නෙවෙයි හරිද. තුශානිත් වමත්කාරිනියක් නිසයි. 

පුංචි කාලේ කෑම කනකොට, පාටකූරු වලින් ලියන්න පටන් ගන්නකොට, එක එක දේවල් න කොට තුශානි වම් අතෙන් තමයි ඒවා කරලා තියෙන්නෙ. ඉතින් ඒ දේවල් වලින් අම්මලා මට හුරු වම් අත කියලා අඳුරගෙන තියෙනවා. පහු වෙන කොට කෑම කන එක නම් දකුණු අතට හුරු කරන්න එයාලා කටයුතු කරලා තිබුනත් අනිත් දේවල් වලට මුකුත් බලපෑමක් කරලා තිබුනෙ නෑ. කොහොමින් කොහොමහරි අද වෙනකොට කෑම කන එක ඇ අනිත් හැම වැඩකටම තුශානිට හුරු වම් අත. 

හැබැයි ඉතින් වමත් කාරියක් වෙච්ච නිසා අකර තැබ්බ වලට මුහුණ දෙන්න වුනු අවස්තාත් නැතුව නෙවෙයි. ඉස්කෝලෙ යන කාලේ ලියන කොට එහා පැත්තේ ඉන්න ළමයගේ  අතේ වදින ප්‍රශ්ණෙ මුහුණ දෙන්න වුනු ප්‍රධාන ගැටලුවක්. ඉතින් තුශානි ගොඩක් වෙලාවට ඩෙස්ක් එකක හරි මේසෙක හරි අයිනක තමයි වාඩි වුනේ.  ඒ නිසා ගුරුවරුගේ උකුසු ඇස් තුශානිගෙ පොතට නිතරම යොමු වෙලා ඇදුනු සුවිප් ටිකට් නම් හිසේ කෙස් ගානට.. හි.. හි... 

කවි , ගාථා වගේ දේවල් පාඩම් දෙන්න, ගණන් බෝඩ් එකේ හදන්න. එක එක දේවල් ඉදිරිපත් කරන්න ඇයි මේ අයිනෙන්ම පටන් ගන්නේ කියන දැවැන්ත ප්‍රශ්නේ ඒකාලේ තුශානිට බොහොම බරපතල විදිහට දැනිලා තිබ්බ ප්‍රශ්යක්. 

හැබැයි අනිත් අය යනකන් ඉන්නෙ නැතුව ඉක්මනින්ම පන්තියෙන් එලියට යන්න, පන්තිය පටන් ගන්න අන්තිම තප්පරෙ හරි ඇවිත් වාඩි වෙන්න වගේ අමතර වාසිත් නොතිබ්බා නෙවෙයි. 

ඇයි නොට් එකක් ලියා ගන්න හරි , දීපු වැඩක් කරගෙන එන්න හරි බැරි වුන වෙලාවක ලන්ට් ටයිම් එකේ කන ගමන් වුනත් නොට් , ගෙදර වැඩ ලියාගන්න පුළුවන් වෙච්චි එකත් පුදුමාකාර වාසියක් වුනා. කෑම කන අතර තුරේ මොකක් හරි දෙයක් හැන්දකින් බෙදා ගන්න, මූඩියක් අරින්න වගේ වෙන වැඩත් කරන්න පුළුවන් වීමත් වාසියක්.

සංගීතය හදාරන්න ගිහිල්ලත් පුංචි පුංචි අකරතැබ්බ වලට මුහුණ දෙන්න තුශානිට සිද්ද වුනා. වයලින් , ගිටාර්, බටනලා, සිතාර් ගහන්න පුරුදු වෙනකොට සංගීත මිස් ගෙන් වෙනමම මට හුරු විදිහට එගෙන ගන්න වෙච්චි එක සමහර වෙලාවට කරදරක් කියල හිතුනු අවස්ථාත් තිබුනා. 

ගොඩක් වෙලාවට පාවිච්චි කරන උපකරණ හදලා තියෙන්න දකුණ හුරු අයටනේ. උදාහරණ විදිහට කියනවා නම් මහණ මැෂිම, හිරමණය, පරිගණක වගේ දේවල් පාව්ච්චි කරනකොට වමත හුරු වුනත් දකුනෙනුත් ඒ දේවල් කරන්න සිද්ද වෙලා තියෙනවා. 

උසස් අධ්‍යාපනය හදාරද්දී දේශන වලට සහභාගීවෙන කොට දේශන ශාලා වල තියෙන පුටු නිසාත් අකරතැබ්බ ගොඩ කට මුහුණ දෙන්න වුනා. වමත් කරුවන් සඳා නිර්මාණය වුනු පුටු තිබුනත් තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක් නිසා ඒ පුටුවක් හොයා ගන්න එක ලේසි පහසු වුනේ නෑ.  


දන්නවද... ලොක ජන ගහනයෙන් 10% ක ප්‍රමාණයක් වමත් කරුවොලු. මේ අතරින් සමහර අය නම් පහු කාලීනව දකුණට හුරු වුනු අය ඉන්නවලු. කොහොමවුනත් ලොව පුරා විසිරිලා ඉන්න වමත් කරුවො එකට එකතු වෙන්න හිතාගෙන තමයි අගෝස්තු 13 වෙනිදා ජාත්‍යන්තර වමත් කරුවෙන්ගේ දවස ලෙස නම් කරලා තියෙන්නෙ. මුලින්ම 1976 තමයි මේ විදිහට දිනයක් වමත් කරුවන් වෙනුවෙන් සමරන්න පටන් අරගෙන තියෙන්නෙ.  ඒ කියන්නේ මීට වසර 40 කට කලින්. 

ලෝකය පුරා විසිරිලා ඉන්න වමත් කරුවො ගැන ටිකක් හොයලා බලනකොට ඒ අයගෙන් බොහොමයක් විවිධ අංශ වලින් ජනප්‍රියත්වයට පත් වෙච්ච අය බව පැහැදිලි වෙනවා. 

මේ බලන්නකෝ...  


* ඇල්බට් අයින්ස්ටයින්


* ඇරිස්ටෝටල්


* මාරි කියුරි 


* ලියනාඩෝ ඩාවින්චි


* නැපොලියන් බොනපාට්


* බිල් ගෙට්ස්


* බැරැක් ඔබාමා


* චාල්ස් කුමරා


* බිල් ක්ලින්ටන්


* ඇන්ජලීනා ජෝලී


* විලියම් කුමරා


* ටොම් කෘස්





ඔය අන්තිම එක හිස් තිබ්බෙ පස්සෙ තුශානිගෙත් ෆොටෝ එකක් අලවගන්න ;) 


එහෙමනම් ඉතින් අගෝස්තු 13 වෙනිදා පහු වුනත් ලෝක වාසී සියලුම වමත් කරුවන්ට සුබ වමත්කරුවන්ගේ දියක් කියලා  ප්‍රර්ථනා කරන්න තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා...

 



Saturday, August 20, 2016

111. ඉයන්ගේ අභියෝගට තුශානිගෙනුත් ගී 16 ක් ...

මේ දවස් වල කට්ටියම තරඟෙට තමන් කැමති ගීත  තෝරණ එකේ ඔන්න තුශානිත් හිතුවා ඉයන්ගේ ඒ සොඳුරු අභියෝගයට මුහුණදෙන්න.

ගීත 16ක් කිව්වට ගීත 16ක් තෝරගන්න එක තමයි තිබුනු ලොකුම අමාරුව. කොහොමින්කොහොමහරි අන්තිමට තුශානි ගීත 16ක් තෝර ගත්තා. 


ඔන්න බලන්නකෝ...

1) මිදුලේ වැලි මාලිගාවේ  -පේෂලා මෙන්ඩිස්
 
මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැදනොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙනසිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ....

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මගහිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ

මේක මම පුංචි කාලේ ඉඳලම ආස කරන ගීතයක්. පුංචි කාලේ මම මේ ගීතයට කොයිතරම් ආසයිද කියනවා නම් ඒ කෙලේ  කවුරුහරි සින්දුවක් කියන්න කිව්වහම මම මේ සින්දුව නට නට කියනව කියලා අපේ අම්ම නිතරම මේ ගීතය ඇහෙනකොට මතක් කරනවා. හි.. හි...
ඒ කාලේ වචන ගැන ඒ තරම් තේරුමක් නොතිබුනත් අද වෙනකොට මේ ගීතයෙ වචන වලටත් මම ගොඩක් ආස කරනවා. 


2) කිරි අම්මාවරු  - චන්ද්‍රලේඛා පෙරේරා -  


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා


මේ සින්දුවෙ තේරුම මුලින්ම මට කියලා දුන්නේ අපේ අම්මා.. ඒත් මම හුඟක් පුංචි කාලේ. මේ සින්දුව අහන වාරයක් වාරයක් පාසා මේ සින්දුවේ කියවෙන ඒ අම්ම ගැන හිතට හරි පුදුමාකාර දුකක් ඇති වෙනවා. ඉතින් හිතට හුඟක් තදින් කාවැදිලා තියෙන ගීතයක් නිසා මම මේ ගීතයට හුඟක් කැමතියි. 


3) වක්කඩ ලග  පණ්ඩිත් අමරදේවයන් 

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා 
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....


මේ ගීතයේ වචන වලට වගේම සංගීතයටත් මම හූඟක් ආස කරනවා. පාසල් කාලේ මේ සින්දුව අපි එක එක උත්සව අවස්තාවලට නර්ථන නිර්මාණයන්ට යොදා ගන්න බොහොම ජනප්‍රිය සින්දුවක් විදිහටයි තිබුනේ. ඉතින් අදටත් මේ ගීතය ඇහෙනකොට සොඳුරු මතකයන් ගොඩක් හිතට ගලාගෙන එන නිසා තාමත් මේ ගීතයට හුඟක් කැමතියි. 


4) සිතින් මා නොසැලී   ටී.එම් . ජයරත්න

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..

සිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...

සිතින් මා නොසැලී...



හුඟක් දුක හිතුන වෙලාවක මම අහන්න ආසම ගීතයක් තමයි මේක. එතකොට හිතට හරි පුදුමාකාර ශක්තියක් එනවා දුක නැති කර ගන්න. 

කොයිතරම් කඳුළු හංගගෙන දරාගෙන ඉන්න උත්සාහ කරත් ඒ උත්සාහයන් පරාජය කරගෙන කඳුළු දිනන හැටි ගැන මටමද මේ කියනෙ කියලත් මේ ගීතය ඇහෙද්දී මට හිතිලා තියෙනවා.


5) සිහින ලොවක්  - ක්ලැරන්ස් විජේවර්ධන 

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන දැනෙන සුව
ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි //



ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයගේ හැම ගීතයකටම තුශානි ගොඩක් කැමතියි ඒ අතරින් මේ ගීතය මුල් තැන ගන්නවා. 

ආදරයේ සුන්දරත්වය ඒ ගීතයෙන් අපූරුවට කියවෙනවා වගේම ගීතයට යොදලා තියෙන සංගීතයටත් තුශානි ගොඩක් ආස කරනවා. 


6) ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ  

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි...

කතරෙ වැලි කැට හිරුට පෙම්
බැඳ ඇතත් ලෝ දහමෙන්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්..

ගහක මල් පිපිලා …
සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්
ගහක මල් පිපිලා …


අපි සමාජයේ බොහෝ දෙනෙක් දැන හඳුනගෙන හිටියට සමහර පුද්ගලයින් ඒ අතරින් විශේෂ වෙනවා.  ඒ සමහර හැඟීම ඇයි එහෙම ඇති වුනේ කියලා ආපහු හිතලා බලන වෙලාවල් අපි හැම කෙනෙක්ගෙන ජීවිත වල තියෙනවා. ඉතින් ඒ ගැන හරි අපූරුවට කියවුනු ගීයක් නිසා මේ ගීතයත්මම කැමතිම ගීත අතරින් එකක්.    

7) සුවඳ මල් රේණු පිස එන ඉමාන් පෙරේරා 
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//


ඉමාන්ට තියෙන කටහඬ හරි විශේෂයි. සරළ පද වැල් ටිකක් වුනත් මියුරු හඬකටත්, සංගීතයකටත්, මුසු වුනු ලස්සන ආදර ගීයක්. ඒ නිසා මේ ගීතයටත් මම හුඟක් කැමතියි.


8) දියවෙන්නට පෙර  - අප්සරා ද සිල්වා


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...


නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....


හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


මේ ගීතය "යාත්‍රා" වැඩසටහන ඔස්සේ හුඟක් මිනිස්සු අතරට ගිය ගීතයක්.  මේ ගීතය ආපු මුල් කාලයේ ඒක රූපවාහිනියේ විකාශය වෙනකොට ඒ රූප පෙළ දකින්න හරිම ආසාවෙන් තමයි හිටියේ. ඒ කියන්නේ මේකෙ රූප රචනාවට තමයි මම හුඟක්ම කැමති. ඒ රූප රචනාව ඔස්සේ තමයි ගීතයට ආස කරන්න පටන්ගත්තේ.  

 9) අසුරු සැණින්  - යමුනා විනෝදනී


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...


යමුනා විනෝදනී මහත්මිය යටතේ තුශානිටත් සංගීතය හදාරන්න හැකියාව ලැබුන නිසා මේ ගීතය සජීවීව කිහිපවරක්ම තුශානි අහලාතියෙනවා. ඉතින් ඒ සජීවී රස වින්දනයත් එක්කයි මේ ගීතයට මම ආස කරන්නේ. 

නිතර දෙවේලේ මේ ගීතය ප්‍රචාරණය නොවුනත් වෙනස් තේමාවක් ඔස්සේ නිර්මාණය වුනු හරිම ලස්සන ගීතයක්. 

පසු කාලේ මම මේ ගීතයේ වචන වලටත් , ඒ වචන වලින් තුශානිගෙම ජීවිතයට බැඳුනු සිදුවීම් නිසාත් මේ ගීතය මම කැමති ගීත ගොන්නේ විශේෂ තැනක තියෙනවා. 

10) හන්තානට පායන් සඳ - අමරසිරි පීරිස්
 
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හෑකිය දකින්න //

අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දෑනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න

හන්තානට පායන...//
 


මේ ගීතයට තුශානි ආස කරන්නේ ඒ වටා ගෙතුනු කතාව නිසයි. ගීතය අහන හැම වාරයක් පාසාම ඒ කතාව තුශානිගේ හිතේ රූප පෙලක් විදිහට මැවෙනවා. 

අමරසිරි පීරිස් මහත්මයගේ හඬින් හැඩවුනු ගීත ගොන්නේ මගේ මුල් තැන හිමිවෙන්නේ මේ ගීතයට.. 


 11) සිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..//

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..//
මිරිඟුව දක්වා - නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..//
සිතගිණි අවුලා - පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..

සිනාපොදක් වී...


මේ ගීතයේ එන සිදුවීම තුශානිගෙ හිතට හුඟක් සංවේදීව දැනෙන සිදුවීමක්. මේ විදිහම නොවුනත් මීට සමාන අද්දැකීමක් තුශානිටත් තියෙන නිසා මේ ගීතය හිතට තදින්ම ගීතයක්. 

12) බිම්බරක් සෙනග - ගුණදාස කපුගේ 


බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි..විලාපය නඟයි..!

බිම්බරක් සෙනග...
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

බිම්බරක් සෙනග...


මේ ගීතයට කැමති මේ ගීතයේ තියෙන උත්තේජනාත්මක පද වැල් හා සංගීත රටාවත් එක්කයි.  ඒකට ගුණදාක කපුගේ මහත්තයාගේ හඬ හොඳ සාදාරයක් කරලා තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. 

හුඟක්ම මේ ගීතය මගේ හිතට දැනුනේ මනෝෂ් සඳරුවන් කියන අපේ බ්ලොග් සගයා ලියලා තිබුනු මෙන්න මේ පොස්ටුව නිසා.  


13) වස්සානයට අත වනලා - උමාරා සිංහවංශ 


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //


හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී


ආදරේ එක් පැතිකඩක් ගැන කියවෙන ලස්සන ගීතයක්. ගීතය සඳහා යොදාගෙන තියෙන වචන හරිම සරල වුනත් හිතට දැනෙන වචන ටිකක්. සංගීතයත් හරියට ආදරය මුසු වෙච්ච සංගීතයක් වගේ. උමාරියාගේ කට හඬටත් තුශානි ගොඩක් ආස කරන නිසා මේ ගීතයට හුඟක් ආසයි. 


14) එක මොහොතක් ඔබ සෙවණේ- මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි


එක මොහොතක්...//


පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා


එක මොහොතක්...//


බොහොම සරල ගීතයක් විදිහට පෙනුනත් ගැඹුරු අර්ථයක් තියෙන ලස්සන ගීතයක්..  ප්‍රවීන ගායන චරිත ද්විත්වයත් එක්ක ගීතයට හොඳ සාදාරයනක් ඉෂ්ට වෙලා තියෙනවා.


15) ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ 

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ලග ...

 
මේ ගීතයත් තුශානිගේ ජීවිතයට බොහොම සමීප ගීතයක්. හිනාවක් ලඟ, කතාවක් ලඟ අපි හැම කෙනෙකුගෙම හිත් එක පාරක් හරි නැවතිලා ඇති. සමහර විට කෙනෙක් ආදරයක් හඳුන ගන්නේ ඒ හිනාවෙන් හරි කතාවෙන් හරි වෙන්නත් පුළුවන්. හිනාවෙන් හරි, කතාවෙන් හරි මිනිස්සු මනින්න බැරි වුනත්, කෙනෙකුගෙ හිනාවකට, කතාවකට තමයි අපි ආදරය මුලින්ම ආදරය කරන්නේ. 


16) දුරු ඈත රටක තනිවී.  -  රොෂාන් ප්‍රනාන්දු

දුරු ඈත රටක තනිවී.
සිහිවෙන හැම මොහොතක් ගානේ
නෙතගට කඳුළු පිරේ

එන්න හිතයි පියඹා ඔබෙ කුටියට
මාගේ කිරිල්ලියේ... //


සෙනේහයක් දැනුනා මට ඔබ ගැන
දුරස්ව ඉන්නා ටික කාලේදී ... //

නිවාඩුවක් ලද විගසම එන්නම්
ඔබ හා දොඩ මළු වන්න්නට රහසින්  


සිහිවෙන හැම ...

දුරකථනෙන් ඔබ අමතන විටදී
හිතට දැනුනෙ අපමන සතුටක් ... //

ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට
දිවිය පුරාවට මගෙ කර ගන්නට ...
 


සිහිවෙන හැම ...

මේ ගීතය මේ තරම් දැනන ගීයක් බවට පත් වෙයි කියලා ගීතය මුලින්ම අහනකොට නම් හිතුනෙ නෑ. 

ඒත් මේ අත්දැකීමම තුශානිට ජීවිතේ මුහුණ දෙන්න සිදුවීම හරිම පුදුමාකාරයි. මීට මාස කීපයකට කලින් පෙම්වතියක් විදිහටත් අද වෙනකොට බිරිඳ විදිහටත් මේ ගීය ඔහුගේ හඬින් අහන්න ලැබීම නිසා මේ ගීය තුශානිට බොහොම විශේෂ ගීතයක්.

***  

මට හිතෙන්නේ මේ පොස්ට් එක තමයි තුශානි වැඩිම කාලයක් ගත කරලා ලියපු පොස්ට් එක. ගීත අතරේ අතරමං වෙලා ඒ ගතකරපු කාලය ඇත්තටම හරිම සුන්දරයි. 


  

Thursday, August 11, 2016

110. වෙඩින් කතා - 2


 

පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ රාජකාරි ගොඩත් එක්ක වෙඩින් කතා කියන්න තුශානි මේ පැත්තට එන්නත් බැරිවුනා. කොහොම වුනත් පොරොන්දු කඩ කරන්න බෑනේ ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා කෙටියෙන් හරි තවත් විස්තර ටිකක් කියන්න. 

කලින් දවසේ කියපු බණ කතාව කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියවලාම එන්නකෝ. හි..හි.. 

වෙඩින් එකකට සූදානම් වෙන්නෙ කොහොමත් මාස කීපයක ඉඳලනේ. ඉතින්  ඔය මාස කීපෙකට කලින් කරන්න තියෙන වැඩ අතරේ උත්සවේ ගන්න තැන හොයලා බලන්න, ඕනෙ කරන දේවල් ලෑස්ති කරන්න, ඇදුම් ලෑස්ති කරගන් වගේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. ඒ නිසා ඒ කාලේට ඉතින් සෑහෙන කටු තමයි.. කොහොම වුනත් ලොකුම කට්ටක් කන්න වෙන්නෙ වෙඩින් එක දවසට. 

අද කාලේ කාන්තා පාර්ශවයේ කෙනෙක් වෙඩින් එකකට යනකොට මූණ පාට කරගන්න, සාරි අඳින්න කොන්ඩෙ හදා ගන්න පැය ගානක්  ගත වෙන හැටි ඔය නෝනා මහත්තුරුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතින් එහෙම බැලුවහම මනමාලියෙක් අන්දලා ඔලුවෙ මල් ගහන්න කොයිතරම් වෙලාවක් යනවද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති.  


ඉතින් ඔන්න වෙච්චි අකරතැබ්බ අතරේ මුල්ම එක තමයි මහ පාන්දර ඉඳලා කිලෝ ගානක් බර සාරියක් ඇඳගෙන ඉන්න වෙච්චි එක. ඒ මදිවට හෙල්මට එකක දැම්මා වගේ හෙයා ස්පෙරේ වලට ගල් ගැහුනු කොන්ඩෙයි මල් ගොඩයි එක්ක ඉන්න එකත් ලේසි පහසු නෑනේ. 

අද කාලේ මනමාලියන්ට හැඩ ගන්වන එක ලොකු ව්‍යාපාරයක් වෙලා නිසා සැලුන් වල අය හැඩ ගන්වන්න ඉන්න ප්‍රමාණය අනුව තමයි වෙලාවල් උනත් දෙන්නේ. ඒ කියන්නෙ මනමාලියන් 4 දෙනෙක් හැඩ ගන්වන්න ඉන්නව නම් පැය දෙකෙන් දෙකට තමයි ගන්නේ. මුල් එක්කෙනා 12.00 ට ඊලඟ එක්කෙනා 2.00ට ඊලඟ එක්කෙනා 4.00 ට අනිත් එක්කෙනා 6.00 ට විදිහට. 

සමහර සැලුන් වල නම් එකපාර 25 කට 30 කට උනත් අන්දන අය ඉන්නවා. ඔය හුඟක් ප්‍රසිද්ද අය කරන්නේ සහායකයින්ට කියලා ඔක්කොම ටික කරලා එයා ඇවිත් තැල්ල පොඩ්ඩක් හදලා ෆොටෝ එකට ඉන්න එක විතරයි.  

අනේ ඉතින් තුශානිටත් සිද්ද වුනා 6.00 වෙනකොට ෆොටෝ ගන්න තැනට යන්න ඕනෙ නිසා පාන්දර 2.00 ට සාරි පටලව ගන්න පටන් න්න. 

කොච්චර කලින් දේවල් කරලා තිබ්බත් වෙඩින් එකට කලින් දවස කියන්නේ කොහොමත් ටිකක් වැඩ තියෙන දවසක්. ගොඩක් පැතිවල තියෙන සම්ප්‍රදායක් තමයි මනමාලයත් එක්ක දෙවනි මනමාලයෝ රෑ කෑමට එන එක. කොහොමත් කට්ටිය ඇවිත් යනකොට රෑ වෙනවනේ. ඒ දෙපැත්තටම අපහසුවක් නිසා අපි නම් කලින්ම කතාවෙලා කෑම වේල වෙනමම දවසකට දාගෙන එදාට රෑ කෑමක් වෙනුවට තේ පැන් සංග්‍රහයක් තමයි ලෑස්ති කලේ.  මට හිතෙන්නේ ඒක අපිට ලොකු පිටිවහලක් වුනා තෙහෙටුව ටිකක් අඩු කර ගන්න. 

ඉස්සර කාලේ වගේ අද කාලේ මනාලියන්ට ගෙවල් වල හැඩ වෙන්න අවස්තාවක් නෑනේ. ඒසි ඕනේ , ලයිට් ඕනේ විදිහට නැතිවෙයි, මේකප් බඩු ඔක්කොම ගේන එක කරදරයි වගේ කතා ගොඩක් හැම සැලුන් එකකින්ම අද කාලේ අහන්න ලැබෙන කතා ටිකක්. එක අතකට බැලුවහම ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. කොහොම වුනත් අනිත්මට තුශනිටත් සිද්ද වුනා සැලුන් එකට ගිහින් ලෑස්ති වෙලා  ගෙදරට එන්න.

ඉතින් ඔන්න අපි කට්ටිය පාන්දර 2.00 වෙනකොටම සැලුන් එකට ගියා. මෙන්න එතකොට මනමාලියෙක් ඉන්නවා වාඩි වෙලා නිදි කිර කිර. කොයිතරම් ලස්සනට අන්දලා තිබුනත් මූණෙ තිබුනෙ හරිම තෙහෙට්ටු පාටක්. ඒ නිසා ඔන්න ලඟදි බඳින කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ වෙලාවල් කලමනාකරණය ගැන ගොඩක් සැලකිලිමත් වෙලා වැඩ ටික කර ගන්නවා නම් ගොඩක් හොඳයි කියන දේ ඒ සිදුවීමත් එක්ක තුශානිට දෙන්න පුළුවන් උපදෙසක්. අනිත් දේ තමයි පුංචි ළමයි මල් කුමාරියන් විදිහට ගන්නවා නම් එයාලා අන්දන්න ගත වෙන වෙලාව අනුව පස්සේ ගෙන්න්න ගන්න කටයුතු කිරීමත් හරිම වැදගත්. 

කොහොමින් කොහොමහරි පාන්දර 5.00 වෙනකොට මූණු පාට කරලා සාරි අන්දලා මල් ගහලා ඉවර වෙලා ගෙදරට යාගන්න ලැබුනා. උඩරට විදිහට සැරසුනු අය දන්නවා ඇතිනේ මාල හතේ බර. ඒ මදිවට ඒ ටික එකට පැටලෙනකොට හදා ගන්න තියෙන අමාරුව. සාරියෙ බරයි, කොන්ඩ මෝස්තරේ බරයි, කිලෝ ගානක් බර මල් බොකියයි අතට ගත්තහම රොබෝ වගේ තමයි ඇවිදින්න වෙන්නේ හි.. හි... 

කියන්න ඕනේ තව කාරණා ටිකක් තියෙනවා. ඇහැල්ලු සාරියක් තෝර ගන්නවා නම් ඒක ලොකු පහසුවක්. බොරුවට ලොකු ගනන් දීලා සාරි ගන්න එකත් තුශානි විශ්වාස කරන හැටියට බොරු වැඩක්. මාල හත දාන්න හිතාගෙන ඉන්නව නම් මූණට සුදුසු තැල්ලක් තෝර ගන්න එකත් හරිම වැදගත්. එතකොට සෙරප්පු දෙක ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් වෙලා දාගෙන එහාට මෙහාට යන්න ඕනෙ නිසා කකුලට අපහසුවක් නොවෙන සෙරප්පු දෙකක් තෝර ගන්න එක වැදගත්. ඒ වගේම පැනඩෝල්, ප්ලාස්ටර්, කිරි පැකට් , පැකට් කරපු බනිස් වගේ දේවල් පොඩි බෑග් එකකට දාලා වෙනමම කෙනෙක්ට දීලා තියන එකත් වැදගත්. මොකද හදිස්සියකදි ඕනේ උනාම හැම තැනම හොය හොය දුවන්න ඕනේ නෑනේ එතකොට. 

ඔන්න ඉතින් ගෙදර චාරිත්‍ර වාරිත්‍ර ටික ඉවර වෙලා 6.00 වෙනකොට ෆොටෝ ගෙන්න තැනට ගියා. සාමාන්‍යයෙන් 7.30 පහුවෙනකොට අව්ව වැටෙන්න ගන්න නිසා ෆොටෝ ගන්නව නම් සුදුසුම වෙලාව 6.00ත් 7.30 ත් අතර වෙලාව. ඊටත් අව්වට දාඩිය දාලා මේකප් දියවෙලා ගිහින් වෙන අකරතැබ්බෙන් බේරෙන්නත් පුළුවන්නේ හි... හි.... 

ෆොටෝ ගන්නවා කියන එකත් ලේසි නෑ.. ෆොටෝ ගන්නවට වඩා ෆොටෝ වලට පෙනී හිටින එක ලේසි නෑ. ඇයි ඉතින් එයාලා කියන කියන විදිහට හිනාවෙන්න, එක එක දේවල් කරන්න නම් දවසකට හරි නළුවෙක් හරි නිළියක් හරි වෙලා රඟ පාන්න පුළුවන් වෙලා තියෙන්න ඕනෙ. හි.. හි...   

කොහොම වුනත් බොහොම සුහදශීලී කැමරාමන් කෙනෙක් තොරගන්න එක නම් ගොඩක් වටිනවා. මොකද එතකොට අනවශ්‍ය පීඩනයකින් තොරව ස්වභාවික, ලස්සන පින්තූර ටිකක් ඒකෙ අවසාන ප්‍රතිඵලය විදිහට ලබා ගන්න පුළුවන්. 

ඒ වගේම යහළු යෙහෙලියන් මල් කුමර කුමරියන් තෝර ගන්නකොටත් හුඟක්ම පොඩි අය නැතුව ටිකක් තේරෙන අය ගත්තහමත් මේ ෆොටෝ වැඩේ ලේසි වෙනවා. එතකොට කාලය අපතේ යන එක ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. එත් එක්කම ටිකක් විනෝදෙට බර වගේ කට්ටියක් ඉන්නව නම් ගොඩක් තාත්වික ලස්සන ෆොටෝ ටිකක් ගන්නත් පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඔන්න බඳින්න එහෙම ඉන්න අය ඒ ගැනත් ටිකක් හිතලා බලන්න.

ඔන්න ඉතින් ෆොටෝ එහෙම අරගෙන ආපහු අපි වෙඩින් එක තිබුනු හෝටලයට ආවා. කොහොම වුනත් ඒ වෙලාව ටිකක් මහන්සි, බඩගිනි වෙලාව ඉතින් මොනාහරි කාලා බීලා පොරුවෙ චාරිත්‍ර වලට ලෑස්ති වෙන එක තමයි සුදුසුම දේ. මොකද පොරුවේ චාරිත්‍ර සාමාන්‍යයෙන් පැය බාගයක් වත් අඩුම තරමේ තියෙනවනේ. ඊටත් ඒ වෙලාවට මහන්සි වැඩි කමට හදිස්සියෙ වත් කලන්තයක් වත් හැදුනොත් එක එක කතා අහන්නත්වෙන එක අපේ රටේ හැටිනේ හි..හි.. 

ඔය පෝරුවේ නැගලා තියෙන කට්ටිය දන්නව ඇතිනේ පැය බාගයක් විතර පොරුව උඩට වෙලා ඉන්නෙ එකේ තියෙන අමාරුව.. හැබැයි ඉතින් අෂ්ටක කියන කෙනාගේ අතේ තමයි ගොඩක් වෙලාවට ඒ චාරිත්‍ර හරියට සිද්ධ වීම රැඳිලා තියෙන්නෙ. සමහර අය නම් ඒ අවස්ථාව හුඟක් සංවේදී අවස්තාවක් කරලා හැමෝම අඬවන වෙලාවලුත් තියෙනවා. මම නම් විශ්වාස කරන හැටියට ඒක ඒ තරම් සුදුසු නෑ කියලා. 

වෙඩින් එකකදී හුඟක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරනාව තමයි කාල කලමනකරණය. මොකද ෆොටෝ ගන්න, කට්ටිය එක්ක කතා කරන්න ගියහම නිකම්ම කාලේ ගත වෙලා යනවා. ඒ නිසා කවුරුහරි කෙනෙක්ට නිතර වෙලාව මතක් කරන්න කියලා කියලා තිබ්බොත් එක ලොකු පහසුවක්. 

අනිත් දේ තමයි වෙලාවට ප්‍රධාන කෑම වේල ලබාදෙන එක. මොකද ඒක ප්‍රමාද කරනවා කියන්නේ මිනිස්සු බඩ ගින්නේ ඉන්නවා කියන එකනේ. ඒ නිසාත් එක එක ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්.  ඒ නිසා වෙලාවට කට්ටියට කන්න දෙන එක හරිම වැදගත්. 

අනිත් විශේෂම කාරණාව තමයි කොච්චර මහන්සි වුනත් කොච්චර අපහසුතා තිබුනත් මූඩ් එක ගානට තියා ගන්න එක. මොකද හැමෝගෙන අවදානය තියෙන්නෙ මනාලා යුවල වෙතටනේ. ඉතින් මහන්සි අපහසුතා අමතක කරලා කට්ටිය එක්ක සතුටින් විනෝදයෙන් ඒ පැය කීපය ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. 

ඉතින් මේ වෙලාවේ ඔළුවට ආපු තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන පැති ටිකක් ගැන තමයි ඔය කිව්වේ.

ඔය බැඳපු ඈයොත් තව කාරණා ටිකක් මේකට එකතු කලොත් අපේ බඳින්න ඉන්න ඈයොන්ට තවත් ප්‍රයෝජනවත් වෙයි. හි.. හි...

එහෙනම් ඉතින් තුශනිගේ සුපුරුදු කතා එක්ක ඉක්මනින් හමුවෙමු..


Related Posts Plugin for WordPress, Blogger...