Tuesday, October 21, 2014

අපේ ගමේ කඨින පෙරහැර ...

මතකයිනේද තුශානි පොරොන්දු වුනා ගමේ පන්සලේ කඨින පෙරහැර ගැනත් විස්තර ටිකක් කියනවා කියලා. පොරොන්දුව ඉෂ්ට කරන්න නම් ටිකක් ප්‍රමාද වුනා. ඒත් කොහොමහරි  ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම පෙරහැර ගැන විස්තර ටිකක් කියන්න තමයි අද මේ පෝස්ට් එක ලියන්නේ.


සාමාන්‍යයෙන් කඨින පෙරහැරවල් තියෙන්නේ පාන්දර වුනත් අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලයේ. කඨින චීවරය ගම වෙටේම අරගෙන ගිහින් ආපහු කඨිනය භාර ගත්ත ගෙදරට වැඩම කරවලා ඊට පස්සේ උදේට ඒ ගෙදර ඉඳලා චීවරය පන්සලට වැඩම කරවන එක තමයි අපේ පන්සලේ සිද්ධ වෙන්නේ. ඉතින් පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලේ හින්දා පෙරහැරේ බර කරටම අරන් කටයුතු කරන්නේ දහම් පාසලේ ළමයි.

පෙරහැරට සති තුනකට හතරකට කලින්, දහම් පාසලේ උදේ රැස්වීමේදි පෙරහැර ගැන ළමයින්ව දැනුවත් කරලා, එක එක වැඩ කොටස් භාර දෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පන්ති මට්ටමෙන් කට්ටිය එකට එකතු වෙලා පෙරහැර ලස්සන කරන්න ඕන කරන හේවිසි, නැටුම්, වගේ විශේෂාංග පුරුදු පුහුණු වෙනවා. දන්නවද ... ඒ කාලේට තමයි වැඩිපුරම ළමයි දහම් පාසල් එන්නේ. මොකද දවසෙම කෙරෙන්නේ පුරුදු පුහුණු වීම්නේ. ඒ නිසා කවුරුත් කැමතියි දහම් පාසල් එන්න.

වෙස් නැටුම්, කලගෙඩි , කුළු, පන්තේරු, රබන්, උණ බට බෙර, ලී කෙලි, පතුරු වගේ නැටුම් ඒ අතර ප්‍රධාන වෙනවා. නැටුම් වලට අමතරව මල් බයිසිකල්, කොඩි ගෙනියන අය, මල් ගෙනියන අය, නිලමෙවරුත් පෙරහැර ලස්සන කරන්න දායක වෙනවා.

ඒ විදිහට සති තුන හතරක ඉඳලා පුරුදු පුහුණු වෙලා හවස තුනට විතර පෙරහැර ආරම්භ වෙනවා. ගස්ලබු ගෙඩියකට හීනියට තීරු කපපු සව් කොළ අලවලා ඇල්බීසියා කෝට්ටක හයි කරලා හරි පොල් කොලේක  අගිස්සක් ඉරටු ඉතුරු වෙන්න සුද්ද කරලා බයිසිකල් වල ගැටගහලා හරි හදන මල් බයිසිකල් තමයි පෙරහැරේ මුලින්ම යන්නේ. පෙරහැර එන සද්දේ හැමෝටම කියන්නේ දහම් පාසලේ හේවිසි කණ්ඩායම . ඊටත් පස්සේ බෞද්ධ කොඩි වගේම දහම් පාසල් කොඩි අරගත්ත ළමයි පෙළින් පෙළට පෙරහැරේ යනවා. එකකට එකක් නොදෙවෙනි විදිහට පුරුදු පුහුණු වෙච්ච නැ‍ටුම් කණ්ඩායම් තමයි ඊලඟට දකින්න පුළුවන් වෙන්නේ. සිලම්බු, ගෙජ්ජි සද්ද අතර බෙර පද තාලෙට කියවෙන කවි, නැ‍ටුම් වලට තවත් ජීවයක් ලබා දෙනවා. ඒ අතරේ බොහොම ගාම්බීර විදියට තේජස් ගමනින් යන නිළමෙවරුත් පෙරහැරට අමුතුම ගෞරවාන්විත බවක් ලබා දෙනවා. 

නිළමෙලා ගැන කිව්වහමයි මතක් වුනේ, තුශානිගේ මල්ලිත් ඒ විදිහට කීප සැරයක්ම නිළමෙ කෙනෙක් වගේ පෙරහැරේ ගිහින් තියෙනවා. මුතු කුඩයක් යටින් වට පිට බල බල යන එක ලේසි දෙයක් වගේ පෙනුනත් ඒක ලේසි පහසු කාරියක් එහෙම නෙවෙයි. මොකද ඔය නිළමෙ ඇඳුම් ඇඳගෙන හුඟක් වෙලා ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්ලුනේ. ඇඳගෙන යන එක විතරක් නෙවෙයිනේ බොහොම ගාම්භීර විදිහට පෙරහැර ඉවර වෙනකන් යන්නත් ඕනේනේ. අමාරුයි කියලා හරි, කකුල් රිදෙනවා කියලා හරි මග නවතින්න කියලායැ. කොච්චර අමාරු වුනත් අන්තිම වෙනකන්ම එකම විදිහට ගාම්බීර ගමනින් යන්න ඕනේ. නිළමේ වගේ මුළු ගම වටේම ගියත් පෙරහැර ඉවර වෙලා පන්සලේ ඉඳලා ගෙදරට එන පුංචි දුර වත් ඒ ගන්න බැරුව තාත්තා මල්ලිව වඩාගෙන ආපු හැටි අදටත් නිළමෙවරු පෙරහැරේ යනකොට තාත්තා මතක් කරනවා. හි.. හි.. පෙරහැර පුරාම හිනා වෙවී ගාම්බීර විදියට ගියත් පෙරහැර ඉවර වෙලා ගෙදර ඇවිත්  මූණත් ඇඹුල් කරගෙන ඉන්නකොට අම්මයි තාත්තයි කකුල් දෙක උණුවතුරෙන් තවලා නිළමෙට කරණ සත්කාර දැක්කහම "ඒයාට නම් රජ සැප" කියලා ඉස්සර තුශානිට හිතිලා තියෙනවා. . :D

නැ‍ටුම් කණ්ඩායම් ඔක්කොටම පස්සේ තමයි කඨින චීවරය වඩම්මන එක සිද්ධ වෙන්නේ.  වියනක් යටින් එක එක්කෙනා මාරුවෙන් මාරුවට හිස මත තියාගෙන සාධු කාර මැද්දේ චීවරය වඩම්මනවා. අත්තම්මලා, සීයලා වගේම වැඩිහිටි තරුණ බේදයකින් තොරව පුංචි දුරක් හරි හිස මතින් චීවරය වඩම්මන්න හැම කෙනෙක්ම එක පෙළට යනවිදිහ හරියට එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන කූඹි ‍රැලක් වගේ.
 
එකේ පන්තියේ ඉඳලා පහේ පන්තිය වෙනකම් ළමයින්ට පෙරහැරේ යන එක අනිවාර්ය නොවුනත්, පහේ පන්තියේ ඉඳලා ඉහළට යනකම් ළමයින් හැම කෙනෙක්ටම නම් පෙරහැරේ යන එක අනිවාර්ය දෙයක්. ඉතින් තුශානිත් පහේ පන්තියේ ඉඳලා දහම් පාසල් ගිහින් ඉවර වෙනකන්ම හැම අවුරුද්දකම කඨින පෙරහැරට සහභාගී වෙලා තියෙනවා. මල් ගෙනියන්න, කොඩි ගෙනියන්න නැටුම් නටන්න වගේම පස්සේ කාලේක යකඩ බැජ් එකකුත් ලැබිලා පෙරහැරේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙන්නත් අන්තිම අවුරුද්දේදී අර යකඩ බැජ් එක ටිකක් ලොකු බැජ් එකක් වුන නිසා සම්පූර්ණ පෙරහැරේම කටයුතු හොයලා බලන්නත් සිද්ධ වුන එක දීහා ආපහු හැරිලා බලනකොට බොහොම නිහතමානී සතුටක් දැනෙනවා. ඒ කාලේදී ඒ දේවල් ලොකු බරක් විදිහට හිතට දැනුනත් ඒ දේවල් වලට සහභාගි වීම නිසා ජීවිතයට හුඟක් දේවල් ලැබුනු බව නම්  අද වෙනකොට හොඳින්ම තේරුම් ගිහින් තියෙනවා.

පෙරහැර ගැන කියද්දි කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි කිසිම දවසක කිසිම කෙනෙකුට පෙරහැරේදි මොන විදිහේ හරි අනතුරක් නොවෙන එක. චුට්ටක් කකුල් රිදෙන්න ගත්තත් පෙරහැර ඉවර වෙලා රෑ පිරිත් අහන්නත් හැම කෙනෙක්ම සහභාගි වෙන්නේ මහන්සියක් නොදැනෙන ගානට. ඒ පින්කමේ තියෙන අනුහස් බලෙන් වෙන්න ඇති කියලා තමයි තුශානි විශ්වාස කරන්නේ.

 ඉතින් අවුරුද්දකට සැරයක් ගමේම අය එකට එකතු කරන කඨින පිංකම ගමට වගේම අපි හැම කෙනෙක්ගේම ජීවිත වලටත් ලොකූ ආශිර්වාදයක්.


~ පින්තූරය ගූගල් ගෙන් ~


Sunday, October 12, 2014

මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ...

අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා  බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා.  හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද කියලා ඇස් ඇරලා බලනව වගේ.. :-)

ඒත් හේවිසි සද්දේ එක දිගටම ඇහෙනවා... මේ සද්දේ මොකද්ද කියලා දැන ගන්න තියෙන වුවමනාව නිසා කෝකටත් නැගිටලා ගිහින්ම බලනවා කියලා හිතාගෙන ඉතින් තුශානි ඔක්කොම ලයි‍ටුත් දාලා පඩිපෙල දිගේ පල්ලෙහට බැස්සා.. ඔන්න බයෙන් බයෙන් එහෙම නෙවෙයි හරිද.  

"පුතේ ඔයාටත් ඇහැරුනාද.. එහා ගමේ පන්සලේ කඨින පෙරහැර මේ සැරේ අපේ පාරෙනුත් යනවා. ඉක්මනට මුණ ටිකක් හෝදගෙන එන්න පඬුරක් පූජා කරන්න. " 

 සාලේ දොර අරින ගමන් තාත්ත කිව්වහම මාත් ඉතින් ඉක්මනටම ලැස්තිවෙලා පාර ගාවට දුවගෙන ගියා. ඒ වෙනකොටත් පෙරහැරේ මුලින්ම ගිය හේවිසි කන්ඩායම අපේ ගෙවල් පහු කරලා. හරිම විචිත්‍රවත් පෙරහැරකින් කඨින චීවරය පෙරහැරේ වඩම්මගෙන යන විදිහ පැයකට ආසන්න කාලයක් තාත්තත් අම්මත් මමත් මල්ලිත් පාර අයිනට වෙලා බලන් හිටියා.

අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර නම් පවත්වන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ හවස් වරුවේ කඨින චීවරය මුළු ගම පුරාම වඩම්මලා ආපහු කඨිනය බාර ගත්ත ගෙදර තැන්පත් කරලා පාන්දර කෙලින්ම ඒ ගෙදර ඉඳන් පන්සලට චීවරය වඩම්මනවා. කඨින පෙරහැර සංවිධානය කරන්නේ දහම් පාසලේ ළමයි නිසා තුශානිත් පුංචි කාලේ ඉඳලා සෑහෙන වතාවක් ඒ කඨින පෙරහැරේ ගිහින් තියෙනවා. 

ඉස්සර දහම් පාසලේදී හාමුදුරුවෝ අපිට කඨින පිංකම් ගැන කියලා දුන්නේ කඨින පිංකම අනික් පිංකම් වලට වඩා බොහොම සුවිශේෂී පිංකමක් කියලා. අර අට මහා කුසල් වලින් පලවෙනිම එක තමයි කඨින චීවර පූජාව. අට මහා කුසල් දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නව නම් මේ තමයි ඒ අට මහා කුසල්.
 
1. කඨින චීවර පූජාව
2. අට පිරිකර පූජාව
3. ආවාස ගෙවල් පූජාව
4.  බුදු පාමොක් මහ සඟරුවනට දන් දීම
5. බුද්ධ ධර්මය ලිවීම, ලියවීම, දහම් පොත් බෙදා දීම
6. කෙත් වතු සඟ සතුකොට පූජා කිරීම
7. බුදු පිලිම, චෛත්‍ය, විහාර ගෙවල් සෑදීම
8. වැසිකිලි තනවා පූජා කිරීම 

දන්නවද , කවුරුහරි කෙනෙක් පංචානන්තරීය පාප කර්ම කරලා නැත්නම් මේ අට මහා කුසල් කිරීමෙන් පුලුවන්ලු  ඒ අනික් අකුසල විපාක යටපත් කරලා මේ අට මහා කුසල් වල කුසල විපාක ලබා දෙන්න. ඒ නිසාම ලොකු වුනාම කොහොම හරි මේ අට මහා කුසල් වලින් කීපයක් හරි කරන්න ඕනේ කියන සිතිවිල්ල නම් එදා අපේ පන්තියේ හිටිය කාගේත් හිත්වල තිබුනා. :-)
 
කඨින පිංකම් මේ අනිත් පිංකම් වලින් සුවිශේෂී වෙන්නේ කඨින පිංකමක් කරන්න පුළුවන් එක් විහාරස්ථානයක් අවුරුද්දකට එක වතාවක් විතරක් නිසා . අනිත් පිංකම් නම් අවුරුද්දේ ඕනම කාලේක, ඕනම වෙලාවක, ඕනම තැනක කරන්න පුළුවන්නේ. ඒ වගේම කඨින පිංකමක් කරන්න නම් විශේෂයෙන් උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා ඇසළ පොහොය කිරීම කියන විනය කර්මය කරලා වස් වසන්න සුදුසු ස්ථානයක පෙර වස් සමාදන් වෙන්න ඕනේලු. ඒ විතරක් නෙවෙයි මේ වස් තුන් මාසය පුරාවටම වස් ශික්ෂා පද කඩ කරන්නේ නැතුව භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන්නත් ඕනේ. අවම වශයෙන් කඨින චීවරයක් පූජා කරන්න උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් ඊට සම්බන්ද කරගන්න ඕනේ කියලා තමයි අපිට එදා හාමුදුරුවෝ කියලා දුන්නේ. 

කඨින කියන වචනෙට ස්ථිරසාර බව, නොසැලෙන බව, කම්පා නොවන බව වගේ තේරුම් තියෙනවා. කඨින පිංකමත් මහ පොළව මෙන් කම්පා නොවෙන, මහමෙර මෙන් සුළගින් නොසෙල්වෙන නොබි‍ඳෙන බල සම්පන්න පිංකමක් නිසා කඨින කියන වචනේ ව්‍යවහාර කෙරෙනවා කියලා තමයි එදා කඨිනය කියන වචනේ තේරුම අහපු අපිට හාමුදුරුවෝ කියලා දුන්නේ.  

කඨින පූජා පිංකමේ ආනිසංස ගැනත් හාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක් අපිට කියලා දුන්නා.  පිරිසිඳු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් හදලා පූජා කරත් ඒ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවර පූජා කිරීමේ කුසලයෙන් දහසයෙන් පංගුවක් වත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම මහමෙර තරම් උසට තුන් සිවුරු පූජා කලත් ඒ කරන පූජාවත් කඨින චීවර පූජාවෙන් දහසයෙන් පංගුවක් තරම් වත් වෙන්නේ නෑලු.  කඨින චීවරය මහන්න ගහන එක ඉඳි ක‍ටු පාරක් වුනත් සක්විති රජ කම ලබන්න තරම් හේතුවන කුසලයක් කියලත්, මනුස්ස ලෝකේදි නම් උත්තම පුරුෂයෙක් විදිහට උපත ලබන්නත්, උසස් කුලේක ඉපදිලා යස ඉසුරින් පිරිච්ච ජීවිතයක් ගත් කරන්නත්, සමාජයේ කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක් වෙලා තේජස්, කීර්තිය ඇතුව ජීවත් වෙන්නත් මේ පිංකම හේතු වෙනවා කියලත්,   එදා අපි ඉගෙන ගත්තා. 

කඨින පිංකම් ගැන කිව්වත් කඨින පෙරහැර ගැන නම් මුකුත්ම කියන්න බැරි වුනානේ..  ම්... කමක් නෑ. අපේ ගමේ කඨින පෙරහැර තියෙන්නේනේ ලබන සෙනසුරාදා.  ඒ නිසා ඒ කිට්‍ටු වෙලාම තුශානි පුංචි කාලේ දහම් පාසල් යනකොට කඨින පෙරහැරේ ගියපු විස්තරයි වෙනමම පොස්ට් එකකින් කියන්නම්කෝ..

Tuesday, October 7, 2014

එකේ පන්තියේ මුල්ම දවස.. ( 1st Blog Anniversary )




මතකද අපි මුලින්ම ඉස්කෝලේ ගියපු දවස ? සමහර අයට නම් මතක නැතුව ඇති. ඒත් හුඟ දෙනෙක් කියයි ඔව් මතකයි කියලා. මොකද ඒ දවස අපි හැම කෙනෙක්ගේම ජීවිත වල හරිම සුවිශේෂී දවසක් නිසා. 

අලුතෙන්ම මහපු සුදුම සුදු ගවුමක් ඇඳලා අලුත් සපත්තු දෙකක් දාලා ලස්සන රෝස පාට අලුත් බෑග් එකකුත් පිටේ එල්ලගෙන අම්මයි තාත්තයි එක්ක ලොකු ඉස්කෝලේ ගියපු හැටි නම් තුශානිටත් තාමත් මතකයි. එක වසරේ ඉඳලා දෙක වසරට ගිය චූටි අක්කලා නෙළුම් මල් අලුත් නංගිලාගේ අතට දීලා, ඉස්කෝලේ  ඇතුලට එක්කරගෙන යනකොට, තුශානිට වඩා චුට්ටක් ලොකු අක්කෙක් නෙළුම් මලක් දීලා අම්මගේ අතේ එල්ලිලා හිටිය තුශානිව එකේ පන්තියට එක්කගෙන ගිය හැටි හරිම සුන්දර මතකයක්.  

හදිස්සියේම එකේ පන්තියට ගිය මුල් දවස ගැන ලියන්න හිතුනේ අද දවසත් එදා ඒ එකේ පන්තියට ගිය දවසත් එකම විදිහට තුශානිට දැනුන නිසා.   එදා තුශානිගේ අතින් අල්ලගෙන ආදරෙන් , පරිස්සමින් එකේ පන්තියට එක්කගෙන ගියා වගේම බ්ලොග් ලෝකය තුලත් වසරක් කාලයක් ගතකරලා වසරක් සම්පූර්ණ කරන්න, ඒ කියන්නේ එකේ පන්තියේ වාඩි වෙන්න ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ වගේම තුශානිට ශක්තිමත් අත්වැලක් ලැබුනා. 

බ්ලොග් එකක් හදා ගන්න, බ්ලොග් ලියන්න, අඩුපාඩු කම් හදා ගන්න වගේම, ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න,  බෑ කියලා නැවතුනාම කොහොම හරි එක්කරගෙන යන්න ඒ ලැබුන අත්වැල නිසා නොවෙන්න සමහර විට අද මේ පෝස්ට් එක වුනත් නොලියවෙන්න ඉඩ තිබුනා. ඉතින් ස්තූති කරන්න වචන නැති වුනත් හුඟක් ආදරෙන් වගේම ගෞරවයෙන් ඒ හැම දිරිගැන්වීමක්ම තුශානි මතක් කරනවා.

ගෙවුනු අවුරුද්ද ජීවිතේට අලුත් දේවල් එකතු වුනු ජීවිතේ ගත කරපු ලස්සනම අවුරුද්දක් කිව්වොත් මම හිතන්නේ එකේ වැ‍රැද්දක් නෑ. මොකද කලින් තුශානි  බ්ලොග් එකක් පටන් ගන්නව තියා බ්ලොග් ගැන වත් ඒ තරම් දැනීමක් ඇතුව හිටියේ නැති නිසා. "අ" යනු "ආ" යනු වත් නොදැන හිටිය බ්ලොග් කලාව ගැන දැන ගත්ත මුල් කාලේ කලේ, රෑ දවල් නැතුව බ්ලොග් වල පොස්ට් කියවපු එක. ඊට පස්සේ තමයි හිතුනේ ඒවට කමෙන්ට් එකක් දාන්න ප්‍රොෆයිල් එකක් වත් හදා ගන්න ඕනේ කියලා. අන්තිමට කොහොමින් කොහොම හරි ප්‍රොෆයිල් එකක් වෙනුවට බ්ලොග් පි‍ටුවක්ම නිර්මාණය වුනා. 

බ්ලොග් එකක් හදා ගත්තට ලියන්න කොහෙද වෙලාව, ඔපීසියේ වැඩයි අමතර අධ්‍යාපන වැඩ කටයුතුයි එක්ක වෙලාවක් හොයා ගන්න එක ලේසි පහසු නෑනේ. ඒත් ඉතින් පුළුවන් විදිහට පෝස්‍ටු 55 ක් ලියලා ඉවර කරගත්ත එක ගැන නම් හිතනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.  කිසි දවසක නොදැක්ක අය වුනත් දවසින් දවස එකතු වුනු බ්ලොග් යාළුවන් ගෙන් ලැබුනු අදහස්, දිරි ගැන්වීම්, අඩුපාඩු හදා ගන්න ලොකු පිටිවහලක් වුනා. ඉතින් කැකුළු ගොමුවට ගොඩවැදුනු හැම කෙනෙක්ටම ස්තූති කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා.

ඉතින් පුළුවන් විදියට, ඉඩ කඩ ලැබෙන විදියට ඉදිරියේදිත් මොන මොනාහරි කුරු‍ටු ගාන්න උත්සාහ කරන්නම්කෝ

තුශානි ලියපු පෝස්‍ටු අතරේ ඔයාලා කැමතිම එකක් තියෙනව නම් කියලා යන්න කියලාත් ඔන්න පුංචි ඉල්ලීමක් කරනවා..

Wednesday, October 1, 2014

එදා ළමා දිනය සමරපු පුංචි ඔයා අද තරුණයෙක්...

තනියම මං අයිතිකරගෙන හිටිය හැමෝගෙම ආදරයෙන් ටිකක්
ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා...
අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක්
ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා... 

මං අඬනකොට මාව නලවන්න, මාව වඩාගෙන කතා කියන්න
ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...
තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්
ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ...  

මේ ඔක්කෝම ඔයාට දෙන්න බෑ කියලා පුංචි හිතට එදා හිතුනත්
සුදු පාටට හිනාවෙන ඔයාගේ ලස්සන මුණ දැකලා ...
හුඟක් ආදරේ හිතුන නිසාම  ලැබුනු හැම දෙයක්ම 
ඔයත් එක්ක බෙදා හදා ගන්න පුරුදු වුනා ...


එක අම්මගේ කුසෙන් බිහිවෙලා
සොයුරු පෙම ලියලලා ගිහින්...
කාල කඩයිම් පහුකරන් යනකොට
අපිට අපි නැතුවම බැරිවුනා ...

වෙලාවකට යාළුවෙක් වගේ
මං කියන දේවල් අහගෙන හිටියත්...
තවත් වෙලාවක හුඟක් පරිස්සමින් මාව බලාගෙන
අයියෙක් වගේ දැනමුතුකම් දෙනවා ...

 මට නම් බෑ ලොකු මිහිහෙක් වෙන්න
ඉස්සර වගේම අදටත් කියන ඔයා ...
ජීවිතේ කඩයිම් පහු කරගෙන ඉස්සරහට යනකොට
අම්මා තාත්තාත් එක්ක මාත් හුඟක් සතු‍ටු වෙනවා ...


එදා පොඩි ළමයෙක් වගේ ඉඳගෙන
ලෝක ළමා දිනේ තමයි මගේ උපන් දිනේ...
කියලා හැමෝටම කියපු ඔයා අද
ළමා කාලය පහු කරපු තරුණයෙක් වෙලා...

ඔයා දකින ඒ ඔයාගේ ලෝකේ දිනන්න
දිරිය ශක්තිය ආශිර්වාදයත් එක්ක...
සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා
මුළු හදවතින්ම මට ඉන්නේ ඔයා විතරක් නිසා...

Related Posts Plugin for WordPress, Blogger...