Wednesday, April 30, 2014

මැයි පළවෙනිදාවේ මගේ මතකය...



හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ..  ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා ‍රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ඒ කම්කරු පන්තියේ තවත් එක සාමාජිකයෙක්, සාමාජිකාවක් විදිහට කම්කරු දිනය දිහා ඉස්සර බලපු විදිහට බලන්න අපිට දැන් පුළුවන් කමක් නෑ... 

ඒ නිසාම කායික ශ්‍රමය වගේම මානසික ශ්‍රමයත් යොදවල අවු වැසි, බාදක කම්කටොළු මැද ජීවන සටනට උරදෙන සියළුම කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ට ජීවන ගමන සාර්ථකව ඉදිරියට පියමනින්න ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන්න තුශානි මේක අවස්ථාව කරගන්නවා...

මැයි පළවෙනිදාව කිව්වහම තුශානිට අමතක නොවන තවත් එක සිදුවීමත් තියනවා..  මම විතරක් නෙවෙයි ඒ මැයි පළවෙනිදාවේ අඳුරු මතකය අත්විඳින්නට ලැබුනු අය තවත් බොහෝමයක් ඇති.

එදත් දැන් වගේම කම්කරු දිනය සමරන්න කට්ටිය ලක ලැහැස්තිවුන දවසක්..  තුශානි ඒ වෙනකොට හුඟක් පුංචි නිසා ඒ ගැන ලොකූ මතකයක් නෑ. ටීවී එකෙන් රේඩියෝ එකෙන් එහෙම මොකද්දෝ තියනව කියලා අහල තිබුනත් ඒ ගැන තේරුමක් නම්  තිබුනේ නෑ.. අම්මගේ සාරියකුත් ඇඳගෙන, අඩි උස සෙරප්පු දෙකකුත් දාගෙන පෙර පාසලේ ටීච වගේ බෝනික්කොන්ට අකුරු උගන්නපු එක තමයි තුශානි ඒ දවස්වල වැඩිපුරම කලේ..  ඔන්න ඔය අතරේ එක පාරටම අපේ  මාමා කෙනෙක් කියාගෙන ආවා "අන්න බෝම්බයක් පුපුරලා.. කට්ටිය හුඟක් මැරිලාලු කියලා... තවත් මොන මොනවදෝ විස්තර ටිකකුත් කිව්වා.

ඒක අහල අපේ අම්මයි තාත්තයිත් හුඟක් කලබල වුනා... අම්මා මාවයි මල්ලිවයිත් තුරුළු කරගෙන හොඳටම අඬන්න ගත්තා.. හිනා වෙවී ලස්සන හීන දැක දැක නිදාගෙන හිටිය මල්ලි අම්ම අඬන සද්දෙට ඇහැරිලා අඬන්න පටන්ගත්තා. "බෝම්බයක් පිපිරුන එකට ඇයි අම්ම මෙච්චර අඬන්නේ" ඒ විදිහට අම්ම අඬනවා මීට කලින් දැකල නොතිබ්බ නිසා මම පුදුම වෙලා අම්මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය මට අදටත් මතකයි..  තවත් අම්මා අඬන විදිහ බලාගෙන ඉන්න බැරුව මමත්  අම්මට තුරුළුවෙලා හොඳටම ඇඬුවා.. ඒ අතරේ තාත්තා අපිට ඉන්න කියලා ඉක්මනට ලෑස්තිවෙලා කොහේදෝ ගියා. 

ටික වෙලාවකින් තාත්තා ආවේ උදේ ගමක් ගියපු අපේ ආච්චියි සීයයිත් එක්ක..  අපි පාර දිහා බලාගෙන උන්නු නිසා ඒ ගොල්ලෝ එනවා  ඈත තියාම දැක්කා. අම්ම ඉක්මනටම කඳුළු පිහිදගෙන ලොකූ හුස්මක් ගත්ත විදිහ කඳුළු වලින බොඳ වෙච්ච ඇස් වලින් වුනත් මම දැක්ක විදිහ තාමත් මැවිලා පේනව වගේ.. 

"අපි බේරුනේ අනූ නමයෙන්... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුන නිසා අපි පෙල පාලිය පටන් ගන්න කලින් ආවා.. " කියාගෙන සීයා ගෙට ගොඩ වුනා ...   ආච්චිත් සීයත් එදා ගිහින් තිබුනේ ඒ බෝම්බය පූපුරපු තැන ආසන්නයේ පිහිටි තැනක සීයගේ යාළුවෙක් හම්බවෙන්න. 

එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා .. 

පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත්  හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ.  ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..

Wednesday, April 23, 2014

ගීයේ හිමිකරුවා ඔබයි ...



  ජීවිතයේ සොඳුරු කවියේ
 විසිරුණු පද වැල් එක් කොට
පද වැල් එකිනෙක ඇමිනූ
මනහර රන් පන්හිඳ ඔබ

වයලීනයේ සුසර තතට
අතැඟිලි ගැටෙනා තාලේට
මැවුනු සප්ත ස්වර රටාවේ
සොඳුරු මියුරු තනුවකි ඔබ

හඬ ගා ගී රාව දෙන්න
 පද වැල් තනුවට ගයන්න
ආදරයෙන් හුස්ම පෙවු
  මධුර ගීත ස්වරයයි ඔබ 

මිණි කිංකිණි හඬ අතරේ
පා තබනා හැටි තාලෙට
කියාදෙමින් වාරු දුන්නු
යෝධ බලැති ශක්තිය ඔබ
 
වෙයි නම් සුමිහිරි ගීයක්
පද වැල් තනු පදමට මුසු

ඒ සැමටම මුල් ගල වු
ගීයේ හිමිකරුවා ඔබයි ...

Monday, April 14, 2014

අලුත් අවුරුද්දේ රබන් පදයක් කියන්න එමුද මේ පැත්තට ....



මුලින්ම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද 
සාමය සතුට සෞභාග්‍ය පිරි 
සුබම සුබ නව වසරක් වේවා !!!
කියලා අපේ බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ට වගේම 
සමස්ථ ශ්‍රී ලංකාවාසී හැම කෙනෙක්ටම සුබ පතනවා ...
                                       

                                                        
අවුරුදු කෑම වල රස බලලා නෑ හිතවතුන් එක්ක ගම් මැද්දේ අවුරුදු සමරන්න ලෑස්තිවෙන මේ වෙලේ රබන් පදයක් දෙකක් අහන්න තියෙනව නම් කොයිතරම් නම් අපූරුයිද .... 

මෙන්න ඒකට අවස්ථාව... ඔයාලත් දන්න දන්න රබන් පද තියෙනවනම් පහලින් එකතු කරන්න...

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත්  රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්


....................................
රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගේ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි

..................................

දොන්ත බබක්කට
දෙන්ට දෙයක් නැත
පෙට්ටගමක් උඩ
තුට්‍ටු දෙකක් ඇත 

.............................

වත්ත කතත් කතත්තා
කුඹුර කතත් කතත්තා
වත්ත කතත් කුඹුර කතත්
දෙකම කතත් කතත්තා 

........................................

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමිම් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

..................................................

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
පුංචි පැටවු මුහුදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා

........................................

ඉහළ ගෙදර තුන්දෙනයි
පහළ ගෙදර තුන්දෙනයි
අපේ ගෙදර තුන්දෙනයි
තුන් පලේම නව දෙනයි

.....................................

තිත්ත කැකිරි ගෙඩි මාමට දීපන්
තෙලං කැකිරි ගෙඩි නැන්දට දීපන්
පුංචි රබානට ගින්දර දාපන්
ගහන රබන් පද හරියට කියපන් 


Saturday, April 12, 2014

අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්...







සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නෙ දවස් දෙකකටත් අඩු කාලයක්. කොහෝ හඬත් එක්ක එරබදු ගස් රතු මල් චීත්තයක් ඇඳගෙන හැඩවෙලා ඉන්න අතරේ පැණි පිරිච්ච ඉදුණු කජු පුහුලන්, අඹ පොකුරු ගස් වල පිරිලා දකින්න තියෙනවා. ඒ අතරේ ගෙවල් වලිනුත් කැවුම් කොකිස් බැදෙන සුවඳ ටිකෙන් ටික පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. 

ඉතින් ඊයේ තුශානිත් ගෙදර නැවතුනේ අම්මයි, අත්තම්මයි එක්ක එකතුවෙලා අවුරුද්දට කැවිලි හදන්න. අවුරුදු කෑම කිව්වහම එකපාරටම අපිට මතක් වෙන්නේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියන කෑම ටිකක්නේ ඒ නිසා අවුරුදු කෑම ගැන පුංචි තොරතුරු  ටිකක් මේ විදිහට ලියන්න ඕනේ කියලා තුශානි හිතුවා.  

අවුරුදු කෑම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කොන්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස්, ආස්මි, අතිරස වගේ කැවිලි  අනිත් දේ තමයි බත් එක්ක කෑමට ගන්න සිංහල අච්චාරු, හත්මාළුව, ඇඹුල්තියල්, කජු මාළුව වගේ ව්‍යාංජන. මේ වර්ග දෙකේම කෑම හැම  දුප්පත් පොහොසත් ගෙදරකම වගේ අවුරුදු කෑම මේස වල දකින්න තියෙනවා.  


අවුරුදු කෑම මේසේ මුලසුන හොබවන්නේ කිරිබත්නේ. ඉතින් කිරිබත් කියන්නේ ඇඟ සිසිල් කරන ශක්තිය තියෙන කෑමක්. හැබැයි සුදු හාල් වෙනුවට රතු කැකුළු හාලෙන් හදපු කිරිබතක් කෑම මේසෙට තියන්න පුළුවන් නම් තමයි කිරිබතේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. කැවිලි හදද්දිත් පාන් පිටි වෙනුවට හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්නම් ඒකත් සෞඛය පැත්තෙන් හිතකරයි. 

ඊලඟට කැවිලි හදන්න ගන්න ප්‍රධාන දේ තමයි සීනි. අද අපි පාවිච්චි කරන සුදු සීනි වෙනුවට ඉස්සර අපේ පැ‍රැන්නො පාවිච්චි කලා වගේ පැණි යොදා ගන්න පුළුවන්නම් වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.  ඒ වගේම කැවිලි බදින්න ගන්න තෙල් ගැනත් අවදානය යොමු කරන්නම ඕනේ. සත්ව තෙල් වෙනුවට පිරිසිඳු පොල් තෙල් පාවිච්චියට ගැනීමෙනුත් එක් වරක් බැදිම් සඳහා පාවිච්චි කරපු තෙල් නැවත නැවත භාවිතයට නොගැනීමෙනුත් කැවිලි වල වැඩිපුර ඇති තෙල් හොඳි ඉවත් වෙන ආකාරයට තියලා ආහාරයට ගැනීමෙනුත් සෞඛය ගැටලු හුඟක් මහ හරවාගන්න පුළුවන්. 

කැවිලි හදන්න ගන්න අනිත් දේවල් ගැනත් ටිකක හොයලා බැලුවොත් ඒ දේවල වලත් වටිනාකම් ගොඩක් තියෙනවා.  ආස්මි වලට ගන්න දවල් කුරුඳු, බඩ වැල් වල ක්‍රියාකාරිත්වයටත්, ආහාර දිරවීම පහසු කරවන්නත් උදව් වෙනවා. මුං ඇට ශරීරය සිසිල් කරන්න උදව් වෙනවා වගේම කහ කුඩු ශරීරයේ විස නසනවා.  

කොහොමවුනත් සාමාන්‍ය කාල වලට වඩා අවුරුදු කාල වල තෙල් කෑම ටිකක් වැඩිපුර කැවෙන නිසා ඒ තෙල් පුච්ච්චන ප්‍රධාන කාර්යය කරන්නේ අපේ සිංහල අච්චාරුව. රතු ළූණු, අමු මිරිස්, ගස් ලබු කෑලි එක්ක පදමට වැ‍ටුනු අබ, දෙහි, විනාකිරි නැවුම් මැටි මුට්ටියක අවුරුද්දට දින දෙක තුනකට කලින් හදලා තියන්නත් අපේ පැ‍රැන්නො අමතක කලේ නැත්තේ ආහාර වල රසය වගේම ගුණය ගැන හිතලා බලපු නිසයි.


ඉතින් මේ තොරතුරු ගැන හිතලා, ලබන්නාවු අවුරුද්දේ කැවිලි පෙවිලි වල රස බලද්දි ගුණය ගැනත් ශරීර සෞඛ්‍යය ගැනත් අවදානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ එක්කම කැවිලි පෙවිලි කාල ගම්මැද්දට ගිහින් කොට්ටපොර හගල, චග්ගුඩු පැනලා, කඹ එහෙම ඇද්දොත් තෙල් පුච්චන්න අමුතු දෙයක් කරන්න ඕනේ වෙන්නේ නෑ කියලත් මතක් කරනවා.


Tuesday, April 1, 2014

බක් මහේ සිරි ඉඟි කරයි...


කිණිති අග පිපි කැකුළු සුවඳින්
අම රසය දෙන ඵලද   සමඟින්
කොවුල් ගී නද දසත රැඳෙමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ගොයම් කෙත්වතු සාර       කරමින්
නිවෙස් අටු කොටු සිනා ගෙනෙමින්
සොබා දම් මව් එකළු         කරමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ජාති ආගම් බේද                 මකමින්
කිරෙන් පැණියෙන් තුටෙන් පිරෙමින්
නැවුම් පැතුමන් දෝත           දරමි
න්
බක් මහේ සිරි ඉඟි කරයි...


හෙළ සිරිත් යලි මතක් කරමින්
නෑ මිතුරු බැමි සවිය    අතරින්
වසත් කාලය උදා       කරමින්

බක් මහේ සිරි ඉඟි කරයි...


අප්‍රේල් පළවෙනිදාව ඇරඹුනේ භාග්‍යවන්ත මාසයක ඇරඹුමේ ඉඟි ලබාදෙමින්.. ඒ ඉතින් ඉඟි තුශානිට දැනුනේ මේ විදිහට ... 



Related Posts Plugin for WordPress, Blogger...