Tuesday, March 29, 2016

101. නෙළුම් යායේ මෝදු වුන නෙළුම් පොහොට්ටුව ...



පහුගිය මාර්තු 26 වෙනි ශනිදාව තුශානිගේ ජීවිතේ මතකයේ රැඳුණු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුණු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර අත්දැකීමක් අත්විඳින්න විඳින්න්න ලැබෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ...

මීට අවුරුදු දෙකහමාරකට කලින් අහම්බෙන් තුශානිට බොහොම අපූරු බ්ලොග් එකක් කියවන්න අවස්ථාව ලැබුනා. ඉතින් ඊට පස්සේ තුශානි රැයක් දවාලක් නැතුව  බ්ලොග් වලට ඇබ්බැහි වෙලා වගේ එක දිගට බ්ලොග් කියෙව්ව හැටි හරිම අපූරු මතකයක්. 

පස්සේ තුශානිට ඕනේ වුනා ඒවාට කමෙන්ට් කරන්න. කොහොමහරි කමෙන්ට් කරන්න ප්‍රොෆයිල් එකක් හදාගැනීමේ අන්තිම ප්‍රතිපලේ වුනේ ඉතින් බ්ලොග් ලියන්න පටන් ගත්තු එක.   

බ්ලොග් ලෝකේ ආසාවෙන් කියවපු, කිසි දවසක සියැසින් දැකලා නොතිබුනු,  බ්ලොග් වල හිමිකරුවන්, හිමිකාරිනියන් දැන හඳුනගන්න, එයාලත් එක්ක කතා බහ කරන්න තුශානිගෙ හිතේ ලොකු හීනයක් තිබුනා.

බ්ලොග් සම්බන්ද කිසිම දේකට එන්න කලින් අවස්ථාවක් නොලැබුන නිසා තුශානි හැබැහින් දැකලා අඳුරගෙන හිටියේ බ්ලොග් කරුවන් කීප දෙනෙක් විතරයි. ඒ නිසා ටිකක් චකිතයකින් තමයි එතනට ආවේ. ඒත් ආවට පස්සේ නම් හරිම හුරු පුරුදු, කාලේක ඉඳන් දන්න කට්ටිය ඉන්න තැනකට ආවා වගේ තමයි දැනුනේ. ඒ තරමටම හැම කෙනෙක්ම හරිම සුහදශීලි , හූරු පුරුදු අය වුනා.

බොහොම ආදරණීය පිලිගැනීමක් එතන තිබුණා. ඒ වගේම කළණයි, ඉවානුයි එතන හිටිය අනිත් අය හඳුනවලා දීපු නිසා ඉක්මනින්ම කට්ට්ය අඳුර ගන්නත් ලොකු පහසුවක් වුනා. 

ශාලාව ඇතුලට යනකොට මුලින්ම තුශානිගේ ඇහැ ගියේ නෙළුම් යායක් වගේ සරසලා තිබුණු වේදිකාවට.  කඩිසර කූඹි ටිකක් වගේ එහෙට මෙහෙට දුව දුව වැඩේ සාර්ථක කරගන්න කට්ටිය ලොකු කැපවීමක් කරලා තිබුන බවත් ප්‍රේක්ෂකාගාරේ හිටිය අපිට පේන්න තිබුනා. 

ගීත , අදහස් විමසුම් , නාට්‍ය එක්ක නොදැනීම සොඳුරු හෝරා කීපයක් ගෙවිලා ගියා වගේම සහෝදර බ්ලොග් කරුවන්, බ්ලොග් කාරියන් සම්මා ලබනකොට ඒ ජයග්‍රාහී හිනා මුණු එලිය කරන්න දෑත් එකට එක් කරනන් අවස්ථාව ලැබුනු එකත් ලොකු සතුටක්. 

 " දමනය " පෝස්ට් එක වෙනුවෙන් බස්සී , ඉවාන්, අශාන් සමග තුශානිටත් ලැබුනු අගයකිරීම ගැනත් දැනෙන්නෙ කියාගන්න බැරි නිහතමානී සතුටක්. බ්ලොග් ලෝවේ සොඳුරු සිතැත්තන් සිතැත්තියන්ගේ අත්පොසසන් හඬින් වේදීකාවට ගොඩ වීමම තුශානිට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. විසාල නෙළුම් ‍යායක පුංචි නෙළුම් පොහොට්ටුවක් වෙන්න ලැබීම හරියට හීනයක් වගේ. 

තුශානි පසු පස හිඳිමින් තුශානිව ධෛර්යමත් කල හැම කෙනෙක්මත් , පුංචි කැකුළු මල් ගොමුවට ගොඩ වැදිලා අදහස් දීලා, අගය කරලා , අඩුපාඩු පෙන්නපු හැම කෙනෙක්මත් තුශානිගේ ඒ ජයග්‍රාහනයේ කොටස් කරුවෝ කියලයි තුශානි විශ්වාස කරන්නේ. බොහොම ස්තූතියි හැමෝටම.

ඉතින් හැම දෙනා එක්කම නොවුනත් පුළුවන් වුන විදිහට ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න ලැබීමත් , ඒ අයට සුබ පතන්න ලැබීමත් එදා තුශානි අත්විඳපු ලොකු භාග්‍යක් විදිහටයි තුශානි සලකන්නේ.

හුඟක් කැපවෙලා නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙල සංවිධානය කරපු හැමෝටමත්, සම්මා ලබපු , හමුවෙලා කතා කරපු , කතා කරන්න බැරි වුනු හැමෝටමත් ආයෙත් සුබ පතන්න මේක අවස්ථාවක් කරගන්නවා. 

වර්මානයේ බ්ලොග් ලියන අපේ කට්ට්යට වගේම , කලින් බ්ලොග් ලියලා පොඩ්ඩක් මහන්සි ඇරපු කට්ටියටත් මේ සම්මාන උලෙල හොඳ උද්දීපනයක් ඇති කරලා තියෙනවා කියලාත් මට හිතෙනවා ආපහු ලියන්න පටන් ගන්න. ඒ නිසා ඉක්මනින්ම පරණ අයගේ අලුත් පොස්ට් කීපයකුත් දකින්න ලැබෙයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉමු නේද ..:)

සාර්ථක නිමාවක් වගේම තවත් ඉදිරියට මේ වගේ කටයුත් සංවිධානය කරන්න අවශ්‍ය ශක්තිය,  ධෛර්යය ලැබෙන්න කියලත් තුශානි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. 



එහෙමනම් ආයේමත් මෙවන් සොඳුරු තැනකදී හමුවෙමු.. 


 



Wednesday, March 23, 2016

100. කෝපි කෝප්පයක් බීලම සමරමු...

දන්නවද ... අද තුශානි ලියන්නේ කැකුළු ගොමුවේ 100 වෙනි පොස්ට් එක. බ්ලොග් කියවන්න තිබුනු ආසාවටයි, ඒවාට කමෙන්ට් කරන්න තිබුනු ආසාවටයි බ්ලොග් එකක් හදා ගන්න ඕනෙ කියලා හිතුවට පොස්ට් 100 ක් ලියාගන්න පුළුවන් වෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ .

කොහොම වුනත් අද හුඟක් සතුටු දවසක් නිසා තුශානි හිතුවා, ඔයාලාටත් කෝපි කෝප්පෙක රස විඳින්න අවස්ථාව දීලාම ඒ සතුට සමරන්න.



හරි... ඔන්න එහෙනම් කෝපි කෝප්පේ රස විඳින ගමන් මේ ටිකත් අහන්න්කෝ....

ජීවිතේ අපිට එක එක අවස්ථා වලදී නොයෙක් විදිහේ ප්‍රශ් වටට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් එහෙම ප්‍රශ් වලට මුහුණ දෙද්දී, අපි ඒවට ප්‍රතික්‍රියා කරන විදි ගැන ඔයාලා ටිකක් හිතලා බලලා තියෙනවද ?  

සමහර විට නැතුව ඇති. කමක් නෑ... අපි දැන් කෝපි එකක් බිබී ඉන්න නිසා, දන්න අයට ආපහු මතක් කර ගන්නයි , නොදන්න අයට දැන ගන්නයිත් එක්ක කෝපි උදාහරණෙකින්ම මම ඒ ගැන කියන්නම්. 

හොඳයි, මේක පුංචි පරික්ෂණයක්. හිතන්න අපි ගන්නවා කියලා කැරට් අලේකුයි, බිත්තරේකුයි, කෝපි ඇට ටිකකුයි. 

අපි මේ ජාති තුන වෙන වෙනම වතුර භාජන 3 කට දාලා ලිපේ තියලා විනාඩි පහලවක් විස්සක් විතර රත් වෙන්න ඇරලා ලිපෙන් බාගන්නවා කියලත් හිතන්නකෝ. මොනවගේ දෙයක් දකින්න පුළුවන් වෙයිද ?  

හරියටම හරි, කැරට් අලේ වතුරට දාලා තම්බන්න කලින් බොහොම තදට තිබුනත් දැන් අතින් පොඩි කරන්න පුළුවන් තරමට ඒක මෙලෙක් වෙලා තියෙනවා දකින්න පුළුවන්.

බිත්තරේ ගැන හිතලා බලනවා නම්, බිත්තරේ වතුරේ දාලා තම්බන්න කලින් බැරිවෙලාවත් කැඩුනොතින් බිත්තර සාරු අත පුරා ගෑවෙන්න පුළුවන් වුනත් දැන් බිත්තරේ තැම්බිලා හොඳට ඝන වෙලා තියෙනවා දකින්න පුළුවන් ආපහු නොවෙනස් වෙන විදිහට.

එතකොට කෝපි ඇට ටික ? ඔව් කෝපි ඇට ටිකේ නම් කිසිම වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් කෝපි ඇට වල පාට, රසය අර උණූ වතුරට මිශ්‍ර වෙලා තම්බපු වතුර ටිකත්  සුවඳ හමන්න පටන් අරගෙන තියෙනවා.

අපි ප්‍රශ්න වලට මුහුණ දීලා ඒවට ප්‍රතික්‍රියා කරන  විදිහත් හරියට ඔන්න ඔය වගේම තමයි. 

සමහරු කැරට් අල වගේ. ඒ කියන්නේ හිත් හරිම තදයි. ඒත් ප්‍රශ්නයක් ආවහම උණු වතුරේ තැම්බුනු කැරට් අලයක් වගේ ඒ ප්‍රශ්න දරා ගන්න බැරුව හිත් මොලොක් කර ගන්නවා. තේරෙන බාසාවෙන් කියනවා  නම් මොකක් හරි ප්‍රශ්නයක් ආවහම  කඳුළු පෙරාගෙන, හොටු පෙරාගෙන අඬ අඬ ඉන්නවා වගේ  මුකුත්ම විසඳුමක් හොයන්න යන්නේ නැතුව.

තවත් සමහරුන්ගෙ හිත් ගොඩාක් මොළොක්. ඒ වුනාට  ප්‍රශ්නෙකට මූණ දෙන්න වුන දවසට එයාලගෙ හිත් පුදුම විදිහට දැඩි වෙනවා. ඒ හිතක් ආපහු මොනම දේකින්වත් උණු වෙන්නෙ නෑ. හරියට අර තම්බපු බිත්තරේ වගේ. 

ඒත් කෝපි ඇට තැම්බුනා කියලා කෝපි ඇට වල සැකැස්ම කොයිම විදිහකින් වත් වෙනසක් සිද්ද  වෙන්නෙ නෑ. ඒ වගේ සමහර මිනිස්සුත් ප්‍රශ්න ආව කියල තමන්ව වෙනස් කරගන්නෙ නෑ. ඒ ප්‍රශ්න වලට බොහොම හොඳින් මුහුණදෙනවා. සංවේදී වෙලාවත් දැඩි වෙලාවත් තීරණ ගන්න යන්නේත් නෑ. කෝපි ඇට තැම්බුවට පස්සේ ඒ තම්බපු  වතුර ටික සුවඳ හමන්න, වතුරට රසයක් පාටක් ලැබෙන්න ගන්නවා වගේ මිනිස්සු තමන් වෙනස් නොවී, තමන් ඉන්න පරිසරය හොඳ පැත්තට වෙනස් කරගන්නවා. තමන්ට පීඩා කරපු රත් වෙච්ච වතුර ටිකට වුනත් තමන්ගේ රසය ගුණය ලබා දෙන්න කෝපි ඇට පසු බට වෙන්නේ නෑ. 

අන්න ඒ වගේ කොයි තරම් ප්‍රශ්න ජීවිතේට ආවත් ඒ දේවල් වලට නොසැලී මුහුණ දෙන්න අපිටත් පුළුවන් නම්, ඒ ප්‍රශ්න ගේන අයටත් යහපතක් කරන්න අපිට පුළුවන් නම්, ප්‍රශ්න සාර්ථකව විසඳගන්න අපිට පුළුවන් වේවි වගේම හැම දෙනා එක්කම හොඳින් ජීවිතේ ගත කරන්නත් අපිට හැකියාව ලැබේවි. 

ඒ නිසා කැරට් අලයක් වත්, බිත්තරයක්වත් නොවී කෝපි ඇට ටිකක් වෙන්න අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ කියලයි අද තුශානිට කියන්න ඕනේ වුනේ. 





ප.ලි. - කෝපි පාඩම තුශානි කාලේකට කලින් කැරට් අලයක් වෙලා  ඉන්නකොට ඉගෙන ගත්ත පාඩමක්. හි..හි.. ඉතින් අද පෝස්ට් 100 සම්පූර්ණ වෙන විශේෂ දවසක් නිසා ඒ  පාඩම කියලා දුන්න කෙනාට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා ~



Tuesday, March 8, 2016

99. ඈ ...



බිළිදියයි ඇය        ළදැරියයි
දෙව් ලොවින් බට සුරඟනයි
සතුට මතු කල     උල්පතයි
සිඟිති දූ කුමරිය         ඇයයි


කිංකිණි සිනා දුන්නී ඇයයි
පුන් සඳයි       හැඩකාරියයි
සිඟිති හුරතල්       කතාවයි
ආදරය මැව් රන්       රුවයි 




මල්වරව වැඩි       දෝණියයි
සොයුරියයි ඇය යෙහෙළියයි
පතිකුලයේ යන     පතිණියයි
ගෙදර සිරිකත දෙව්       දුවයි


දස මස් ගැබක් උසුලන්නියයි
හුරතලෙක්     කැන්දන්නියයි
කිරි සුවඳ ගෙන     එන්නියයි
උතුම් මව් පදවිය         ඇයයි





සෙනෙහෙබර බිරිඳත් ඇයයි
දරු කැලේ අම්මා       ඇයයි
වැඩ බිමේ දිරි ලිය      ඇයයි
ලොවක් තනවන  ශක්තියයි


සතුට දුක සම     ගන්නියයි
දිවි ගමනේ රන් ටැඹ ඇයයි
පරපුරට ජීවය    දෙන්නියයි
අවසනේ ඈ  මිත්තනියකුයි







~ අදට යෙදෙන ලෝක කාන්තා දින වෙනුවෙනි ~



Wednesday, March 2, 2016

98. හිනා වෙන මිනිස්සු ...




කෙනෙක් හිනා වෙන විදි ගොඩක් තියෙනවා.

ඇස් වලින් හිනා වෙනවා
දත් පේන්න හිනා වෙනවා
දත් නොපෙනෙන්න හිනා වෙනවා
කෑ ගහලා හිනා වෙනවා
කිසිම සද්දයක් කරන්නේ නැතුව හිනා වෙනවා

ලැජ්ජාවෙන් මුණ රතු කරගෙන හිනා වෙනවා
අතින් කට වහගෙන හිනා වෙනවා

ඇස් දෙකේ කඳුලු පුරෝගෙන හිනා වෙනවා
බඩ අල්ලගෙන හිනා වෙනවා

එහෙම නේද ?  


ඒ වගේම කෙකෙන් ඇයි හිනා වෙන්නේ කියලා ඇහුවොත් හිනා වෙන්නේ ඇයි කියන්න හේතු ගොඩකුත් තියෙනවා

හිතේ සතුටට හිනා වෙනවා
අපහාසෙට හිනා වෙනවා
තරහ ගස්සන්න හිනා වෙනවා
හිතින් වට්ටන්න හිනා වෙනවා
දුක වහ ගන්න හිනා වෙනවා
බොරුවට
හිනා වෙනවා

මූනිච්චාවට හිනා වෙනවා

එහෙම නේද ?  
 
එකම කෙනෙක් එකම අවස්ථාවකදී මේ කිව්ව විදි කීපයකින් වුනත් හිනා වෙන්න පුළුවන්.

ඔව්..  ලස්සන හිනාවක් දකින්න අපි කවුරුත් කැමතියි. හැම තිස්සෙම මූණේ හිනාවක් තියෙන එකත් බොහොම හොඳයි. ඒත් ඒ හිනාව තව කෙනෙක්ට වේදනාවක් දෙන හිනාවක් නොවෙනවා නම් තමයි ඒ හිනාව හුඟක් වටින්නේ. මොකද හිනාවකට පුළුවන් කෙනෙක්ව සතුටු කරන්න වගේම තවත් කෙනෙක් අඬවන්න. 

ඒ නිසා හැම තිස්සෙම හැම දේටම හිනා වෙනවට වඩා හදවතින්ම හිනා වෙන්න පුළුවන් නම් විතරක් හිනා වෙන එක නේද හොඳ. 

ටිකක් හිතලා බලන්නකෝ...

Related Posts Plugin for WordPress, Blogger...