Monday, February 23, 2015

මහින්ද අල්ගම මාමත් එක්ක අපි ගුවන් විදුලි නාට්‍ය කරපු හැටි...

පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස අනුපමේය සේවයක් කල මහින්ද අල්ගම මාමා අපිට නොකියාම නො එන ගමනක් ගිහින් පහුගිය 15 වෙනිදාවට වසරක් ගත වුනා. රූපයෙන් ඔහු බොහෝ දෙනෙක් නොහදුනන කෙනෙක් වුනත් ඔහුගේ නිර්මාණයන් රස නොවිඳි කෙනෙකු නැති තරම්. මතකයිනේ මම මිට කලින් ඔහු ගැන ලිව්වා. ඒ පොස්ට් එක කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් ඒක කියවලම එන්නකෝ.      

වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ තවත් එක් අංගයක් විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කල, ඔහුගේ ගුරුහරුකම් යටතේ වැඩසටහන් මෙහෙයවූ ළමා ශිල්පී ශිල්පිණියන්ගේ එකමුතුවෙන් ගෝතම තපෝවනය ආශ්‍රිතව පිහිටි කුමාර කාශ්‍යප ළමා නිවාසයේ දානමය පිංකමකුත් පහුගිය දිනක පැවැත්වුනා. මහින්ද මාමා මුළු ජීවිත කාලයම ළමයින් වෙනුවෙන් කැප කල කෙනෙක් නිසා වසරක් පිරෙන මේ මොහොතේදී ළමයින් වෙනුවෙනුත් යමක් කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ කටයුත්ත සංවිධානය වුනේ. 

ඉතින් තුශානිටත් අවස්ථාවක් ලැබුනා මේ කටයුත්තට සහභාගී වෙන්න. එදා පුංචි ළමයි විදිහට මහින්ද මාමා වටා එකතු වුනු අපි, අද  ලොකු මහත් වෙලා සමාජයේ නොයෙක් තැන්වල ඉඳලා එකට එකතු වුනත් අපි පසුපස හිඳිමින් අපිට මගපෙන්වන්න, ගුරුහරුකම් දෙන්න ඔහු අපි අතර අද නොසිටීම නොපිරිමැසිය හැකි අඩුවක් බව ඒ අවස්ථාවට සම්බන්ද වුනු හැම කෙනෙක්ටම බොහොම තදින් දැනුන කරුණක්.

ඇත්තටම ඒ හෝරා කිහිපය, තුශානිවත් අතීත මතක ගොඩකට අරගෙන යන්න සමත් වුනා. ඒ නිසාම අද තුශානි හිතුවා ඒ අතීත මතකය ඔහු වෙනුවෙන් අවදිකරලා ඔහු වෙතින් අපි උගත් දෑ ගැන පුංචි සටහනක් තියන්න. මේ මහින්ද මාමාත් එක්ක අපි ගුවන් විදුලියේ ළමා නට්‍ය කරපු හැටි. 
තුශානිට මහින්ද මාමා මුලින්ම හමුවුනේ ළමා පිටිය වැඩසටහනකට සහභාගී වුන අවස්ථාවක. මහින්ද මාමා ටිකක් සැර කෙනෙක් කියන මතය ඒ වෙනකොට තුශානිගේ හිතේ තිබුන නිසා ඔහු යටතේ නට්‍යකට සම්බන්ද  වෙන්න වැඩි කැමැත්තක් ඒ කාලේ තුශානිට තිබුනේ නෑ. මොකද තුශානි ඉතින් පොඩ්ඩක් වත් බය නැති එක්කෙනානේ. :). ඒත් දවසක් මහින්ද මාමා වෙනත් වැඩසටහනකදී හම්බ වෙලා "එන්න පුළුවන්ද නාට්‍යයකට" කියලා ඇහුවා තුශානිට අද වගේ මතකයි. මොකද බෑ කියන්න බැරිකමටමයි තුශානි එදා හා කිව්වේ. වරදවා හිතන්න එපා. ඇත්තම කිව්වොත් ඒ තරමට තුශානි මහින්ද මාමත් එක්ක වැඩ කරන එක අහියෝගයක් කියලයි හිතාගෙන හිටියේ. දැන් ඒ ගැන හිතෙනකොට ඒ කොයිතරම් නම් වැරදි වැටහිමක්ද කියලා හිතෙනවා. ඇත්තටම ඔහු යටතේ ගුරුහරුකම් ලබන්න තුශානිත් පිං කරලා තිබීම ගැන අද හිතේ නිහතමානී සතුටක් තියෙනවා. මොකද අපි හැම කෙනෙක්ගේම පදනම ඔහු ශක්තිමත් කල නිසා. 

ඉතින් ඔන්න ඔය විදිහට තුශානි ළමා නාට්‍ය වලට සම්බන්ද වුනා. මහින්ද මාමා කියන්නේ හුඟක් හොඳ මතකයක් තිබුන කෙනෙක්. මොකක්හරි වැඩසටහනක් සඳහා දිනයක්, වෙලාවක් වෙන්කර ගත්තොත් ඒ දවසේ ඒ දේ හරියටම කරන කෙනෙක්. තුශානි ගියේ ගුවන් විදුලිය අවට තිබුනු බාලිකා පාසලකට නිසා පාසල නිමා වෙලා බොහොම ඉක්මනින් ගුවන්විදුලියට ඒමේ හැකියාව තුශානිට තිබුනා. මහින්ද මාමත් එක්ක කොහොමත් කලට වෙලාවට වැඩ තියෙන්න ඕනේ නිසා කිසි දවසක පරක්කුවලා දුවගෙන නො එන්න හැම තිස්සෙම තුශානි වගබලා ගත්තා. ඒ දවස්වල තිබුනු ආරක්ෂක හේතු නිසා ගුවන් විදුලිය ඇතුලට යන්න ලේසියෙන් හැකියාව තිබුනේ නෑ. රිසෙප්ශන් එක ගාව අපිට ඉන්න සිද්ද වුනා මහින්ද මාමා ඇවිත් කට්ටියම ඇතුලට එක්කගෙන යනකන්. ඔන්න ඉතින් එන්න කියපු වෙලාවට මහින්ද මාමා පිටපත් ටිකකුයි, තැටි ටිකකුයි උස්සගෙන එනවා දකින්න පුළුවන්. " කට්ටිය කාලාද ඉන්නේ " ඒ මහින්ද මාමාගේ පලවෙනි ප්‍රශ්නය. "නැති කට්ටිය  ඉක්මනට කාලා එන්න අපි රියසල් එකට ලෑස්ති වෙන්කන්" කියලා මහින්ද මාමා රියසල් කරන තැන කියලා ඉතුරු කට්ටියව එතනට එක්කගෙන යනවා. 

මහින්ද මාමා මුල් පිටපත අතේ තියාගෙන අනිත් පිටපත් ටික අපි අතරේ බෙදලා දීලා එක එක් එක්කෙනාට නාට්‍යයේ චරිතත් බෙදලා දෙනවා. රියසල් එක තමයි අපිට ඕන දෙයක් අහගන්න තියෙන එකම අවස්ථාව. පිටපතේ අපැහැදිලි තැන්, වෙනස් කරගන්න ඕනේ තැන්, හඬ උස් පහත් කරන විදි, හඬ වෙනස් කරන විදි වගේ හැම දෙයක්ම ඒ වෙලාවේදී අහගන්න පුළුවන්. පිටපතේ දෙබස් නාට්‍යයේ විදිහට නාට්‍යාකාරයෙන් හසුරවමින් තමයි පුරුදු පුහුණුවීම් සිද්ධවෙන්නේ. එතකොට මහින්ද මාමා පිටපත දිහා බලාගෙන අපේ  වැරදි අඩුපාඩු හදනවා. කට හඬ හැසිරවිය යුතු සියුම් තැන් පවා ඔහු කියාදෙන ආකාරය නවකයින් වුනු අපිට අපේ අඩුපාඩු හදා ගන්න ලොකු පිටිවහලක් වුනා. සිංහල භාෂාව ගැන වුනත් මහින්ද මාමාට තිබුනේ පුළුල් දැනුමක් නිසා ඕනෑම දෙයක් ඔහුගෙන් අහලා දැන ගැනීමේ හැකියාව අපිට තිබුනා. හරියටම කියනව නම් ඔහු ඇවිදින පුස්තකාලයක් වගේ. ඒ කාලේ තුශානිට වගේම හැම කෙනෙක්ටම තිබුනු ලොකු ප්‍රශ්යක් වුනේ කොහොමද මාමා මේ හැම දෙයක්ම දන්නේ කියන එක. ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු ගැන වුනත් මාමා නිතරම අහලා ඒවට උදව් කරපු අවස්ථා බොහෝමයි.

ඊලඟට මහින්ද මාමා කට්ටියම පටිගත කිරීම සිද්ද වෙන මැදිරියට / ස්‍ටුඩියෝ එකට එක්කගෙන යනවා. හුඟක් වෙලාවට නාට්‍යය පටිගත කිරීම සිද්ද වෙන්නේ 10 වෙනි මැදිරියේයි. මහින්ද මාමාගේ නාට්‍ය පටිගත කිරීම් මාමාම සිද්ද කරන නිසා මාමා ඉන්නේ පටිගත කිරීම සිද්දවෙන කොටසේ. මැදිරියේ තියෙන විශාල වීදුරුවකින් තමයි මාමාව එතකොට අපිට පේන්නේ. එතන ඉඳලා මාමා අතින් දෙන සිග්නල් එක්ක තමයි අපි ඉතුරු වැඩ ටික කරන්න ඕනේ. 


අහගන්න තියෙන දෙයක් කලින් අහගන්න ඕනේ මෙන්න මේ හේතුව නිසයි. සාමාන්‍යයෙන් පටිගත කරන කොටසින් අපි ඉන්න පැත්තට නාට්‍ය අතරතුරේදී මාමා එනව නම් එන්නේ මාමගේ ඉවසීමේ සීමාව ටිකක් ඉක්මවා ගියහම කියන එක අපි කවුරුත් දන්න නිසා හැමෝම බොහොම උනන්දුවෙන් නාට්‍යට සම්බන්ද වෙන්න නම් අමතක කරන්නේ නෑ. මොකද එකම වැ‍රැද්ද දිගින් දිගටම කරන එක මාමා අකමැති දෙයක් නිසා. අවධානයෙන්, කරන වැඩේ නිවැරදිව කරන්න මාමා හැම තිස්සේම අපිට උපදෙස් දුන්නා. ඒ නිසාම පුහුණුවෙන අවස්ථාවේදී හොඳ අවධානයකින් පුහුණුවීම් කරන්නත්, පටිගත කිරීම සිද්ධ වෙන අවස්ථාවේදීත් වැරදීම් අවම කරගනිමින් හරියටම කරන්නත් හැම කෙනෙක්ම උත්සාහ ගත්තා.



මෙන්න මේ විදිහට මැදිරියේ තියෙන මයික් එක දෙපැත්තේ කට්ටිය වටේට හිටගෙන නාට්‍යයට හඬ මුසු කිරීම සිද්ද කරනවා. ගුවන් විදුලි නාට්‍යකදී සෑහෙන පිරිසක් ඒකට සහභාගී වෙන නිසා අන්‍යෝන්‍ය සහයෝගීතාවය නාට්‍යයේ සාර්ථකත්වයට එක එල්ලේම බලපානු ලබනවා. අනිත් කාරනාව තමයි දෙබස් එකින් එක දම්වැලක් පුරුක් වගේ බැඳි පවතින නිසා දෙබස් හසුරවනකොට තවත් කෙනෙකුගෙන් ලැබෙන සහය ඉතුරු දෙබස් ගලා යාම වලට හොඳ රුකුලක් සපයනවා.  එකමුතුකම, සහයෝගය එක්ක සාර්ථක නිර්මාණයක් පැය එකහමාරක් වගේ කාලයක් ඇතුලත නිම කරගන්න අන්තිමට හැකියාව ලැබෙනවා. 

මේ විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කරපු නාට්‍ය වලට සම්බන්ද වුනු බොහෝදෙනෙක් එදා ළමා නිවාසයට ඔහු වෙනුවෙන් ඇවිත් හිටියා. ඒත් පිටපත් ටිකත්, පටිගත කරන තැටි ටිකත් අරගෙන මහින්ද මාමා එදා නම් අපි අතරට ආවේ නෑ.  මාමා අපිට, අපේ ජීවිත වලට සාර්ථක අඩිතාලමක් දාලා අපිට නොකියම යන්න ගිහින්.

ඒත් ඔබ ඇසුරෙන් අපි ලැබු බොහෝදේ සමග හැමදාමත් ඔබ අපි අතර අමරණීයව ජීවත් වේවි. 

ආදරණීය මහින්ද මාමේ ඔබට නිවන් සුව ලැබේවා ! 

  
ප.ලි - සියළු ඡයාරූප අන්තර්ජාලයෙන්  


Saturday, February 14, 2015

ආදරයට ආදරයෙන් ...




ආදරය දකින්න, ආදරය විඳින්න, කියලා දුන්නේ 
ආදරය ...

ආදරය දෙන්න, ආදරය කරන්න, පුරුදු කලේ 
ආදරය ...

උණුහුමට තුරුල්වෙන්න, ලං වෙලා හාදු දෙන්න, තරවටු කලේ 
ආදරය...

බෑ කියලා හිතෙන දේ කරන්න, අලුත් දේ හිතන්න, ධෛර්යය දුන්නේ ආදරය... 

දුක හිතුනම තරහ වෙන්න, තරහ වෙලා යාළුවෙන්න, හිතත් එක්ක චන්ඩිකම් කලේ ආදරය...

අඬනකොට සනසන්න, මොනවහරි කියලා හිනස්සන්න, වචන දුන්නේ ආදරය...

වැටි වැටී නැගිටින්න, නොවැටී හිටගන්න, ශක්තිය දුන්නේ 
ආදරය...

හුස්මක් වගේ ලඟ ඉඳන්, මල් කැකුලක් තරමට පරිස්සම් කලේ 
ආදරය... 

ජීවිතය තේරුම් ගන්න, ජීවිතය දිනන්න පාර පෙන්නුවේ 
ආදරය ... 

ප.ලි. - ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ. හැම දවසකම හැම තත්පරයකම ආදරයෙන් ඉන්න පුළුවන් නම් ඒකයි සැබෑ ආදරය.. සැබෑ ආදරයක් වෙනුවෙන් හැම කෙනෙක්ටම සුබ පතන්න අද දවසේ මේක අවස්ථාවක් කරගන්නවා.

ප.ප.ලි. - වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක  :)


Wednesday, February 4, 2015

නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී..





හදේ ඉතිරෙන සෝ තැවුල් හැම පිටට එන්නට ඉඩ   නොදී 
නේක දොම්නස් සයුරේ ගිලුනා සුසුම් වෙන්නට ඉඩ  නොදී
හිතින් හැඬුවත් වතින් හිනැහී ඉකි බිඳින්නට ඉඩ       නොදී
නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී

ජීවිතේ රඟමඩකලකි යි අපි නේක ‍රැඟුමන් රඟ             දෙනා
පිරිස් අභියස චරිත අතරේ එකින් එක පැන පැන             යනා
නිම්වලලු නොපෙනෙනා සසරක කර්ම කර පින්නා     ගෙනා
යන මගේ නැවතුමක් කොතැනද හිතට සැනසුම ගෙන  දෙනා

හැඟුම් දැනුමන් නොමැති ලෙසකට සිටිය හැකිවේ නම් ලොවේ
දුකක් නෑ නොලැබුනත් සතුටක් තැවෙන්නට හදවත්   කොනේ
සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි               මාවතේ
එයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව            ජීවිතේ





Related Posts Plugin for WordPress, Blogger...