Thursday, July 30, 2015

85. ඔපීසියේ රස කතා - (5)

නව නිංගිරාව

කාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරසිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි... 

හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව යනු කියන එකට මේක හොඳම හොඳ උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ ඒක හරියටම ගැලපෙනවා.

තුශානි වැඩ කරන්නේ විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන සාමගමක කියලා කලින් කියලා තියෙනවනේ. ඉතින් පිටරටවල් වලින් අපේ ආයතනයට ඕනේ කරන දේවල් අපි ගෙන්නනවා. මෙහෙම ඒ දේවල් ලංකාවට ගේද්දී භාන්ඩ වර්ග මොනවද, කොච්ච ප්‍රමාණයක් එනවද, කොච්චර මිලක් වෙනවද එහෙම කියලා ලිපි ලේඛන ටිකක් තියෙනවා අපිට හදන්න. ඉතින් එදත් සුපුරුදු විදිහට ඒ ලිපි ලේඛන ටික අපි හදාගෙන යනකොට මෙන්න එක්කෙනෙක් කියනවා ආපු ඉන්වොයිස් එකක් වැරදියි කියලා.

" මේ.. හොඳටම ෂුවර් ද ? "

අපේ අයගේ හැටි දන්න නිසා කෝකටත් කියලා මම ආපහු සැරයක් ඇහුවා.  

"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "

"අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්....   ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්..  

දැන් ඉතින් මොනවා කරන්නද. කාටද අප්පේ ඔය පිටු දහයක් විතර තියෙන ඉන්වොයිස් එක ආපහු චෙක් කර කර ඉන්න පුළුවන් මේ ගෙදර දුවන්න ලෑස්තිවෙලා ඉන්න වෙලේ. ඒ නිසා කොම්පීතරේට ටිකක් එබිලා හරි එක එවන්න කියලා ඊ මේල් එකක් දාලා මාත් ඉතින් ගෙදර ගියා.  

ඊලඟ දවසේ ඉතින් සුපුරුදු විදිහට පිණිබර හිමිදිරියේම ඔපීසියට ඇවිත් වැඩ පටන් අරගෙන විනාඩි කීපයයි ගියේ.. මෙන්න කවුදෝ ඇවිත් මගේ ලඟ ඔළුව නව නව ඉන්නවා මගේ ඇහි පිල්ලමේ කොනේම ඇහි පිහාට්ට අතරින් පේන්න පටන් ගත්තා. 

"ගුඩ් මෝනිං තුශානි.. බ්ලා බ්ලා.. බ්ලා....  " කියලා දෙතුන් සැරයක් නැවිලා ජපන් මහත්තයෙක් විස්තරයක් කියන්න පටන් ගත්තා.  

බැලින්නම් මෙයා අර මම ඉන්වොයිස් එක වැරදියි කියලා යවපු කොම්පැනියෙම එක්කෙනෙක්. වෙන වැඩ වගේකට මේ දවස් වල අපේ කොම්පැනියට ඇවිත් ඉඳලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අර කොම්පැනියෙන් එයාට කතා කරලා කියලා, ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.
  

ඉන්වොයිස් එක ඉතින් වැරදියිනේ මාත් ඉතින් බය නැතුව වාඩි වෙන්න කියලා  ඩොකියුමන්ට්ස් ටික අතට දුන්නා බලන්න කියලා.  

ඉන්වොයිස් එක වැරදියි කියලා දීපු එක්කෙනාටත් මම ඒ අතර තුරේ කෝල් එකක් දීලා වෙච්චි සිද්දිය කියනකොට මෙන්න ඒ පාර එයා කියනවා " බලන්නකෝ හරි වැඩේනේ මට කොළයක් මිස් වෙලා ඒකත් ආවහම නම් ටෝට්ල් එක හරි වගේලු.
  

ඔන්න එතකොට තමයි මටත් තරු එකක් දෙකක් පේන්න පටන් ගත්තේ. මේල් එකක් දැම්මට මම ආපහු චෙක් කලේ නෑනේද කියලා මගේ ටිකිරි මෝලේට කල්පනා වෙන්න පටන් ගත්තා. එතකොටම හීන් දාඩිය දාන්න පටන් අරෙගෙන ඇඳගෙන හිටිය රතු පාට සාරියේ පාට ගෑවිලා වගේ අත පය රතු පාට වෙලා තමයි පේන්න පටන් ගත්තේ.  

තක්කාලි ගෙඩියක් මූණේ හයි කරගෙන වගේ  ඊට පස්සේ මම අර මනුස්සයා දිහා බලනකොට ඒ මනුස්සයා බොහොම සැහැල්ලුවෙන් ඩොකියුමන්ට්ස් ටික චෙක් කරනවා... චුට්ටක් නවත්තනවා... ගෙනත් දීපු තේ එක බොනවා... ආපහු කැල්කියුලේටර් එක අරෙගෙන ටොක් ටොක් ගාලා ඔබනවා ... ලැප්ටොප් එක දිහා ටිකක් බලාගෙන ඉන්නවා... වට පිට බලනවා... බොහොම සැහැල්ලුවෙන් වැඩ. 

දැන් ඉතින් මොකද කරන්නේ... විනාසයි... අනිවාර්යයෙන් බැනුම් කෝටියක් අහන්නම වෙනවා. වක්කඩේ කැඩුවා වගේ එක තප්පරයට එක්දාස් පන්සීයක් විතර දේවල් හිතට එන්න පටන් ගත්තා.  

මොනවා කරන්නද ඉතින් වෙච්චි දේ වුනානේ. එන විදිහට ෆේස් කරනවා කියලා හිත හදාගෙන පුටුවේ වාඩි වෙලා අරකේ තව කොපි එකක් අරගෙන මාත් චෙක් කරන්න පටන් ගත්තා. මොකද මමම චෙක් කරන්නේ නැතුව මට මුකුත් කියන්න බෑනේ.

බැලුවහම ඩොකියුමන්ට්ස් වල වැරැද්දක් නෑ.  

දැන් අපේ බොස් එනවා. ජපන් මහත්තයත් එක්ක කතා කරලා මොකද්ද ප්‍රශ්ණේ අහනවා. ඊට පස්සේ මම බැනුම් අහනවා... ඒ රූප පේලිය මගේ ඉස්සරහ මැවිලා පේනවා වගේ... 

ඒ වෙලාවෙම මට තව වචනයක් මතක් වෙනවා.. ඒ තමයි නව නිංගිරාව.. ඔන්න මට තේරුම් යනවා ඒ වචනේ හරිම තේරුම ඒ වෙලාවෙම... 

ගිරවියෙක් වගේ කියව මම ඒ වෙලේ ඉබ්බියෙක් වගේ ගොළු වෙලා. ආසාවට එක වචනයක් කටට එන්නේ නෑ.. ඉබි කට්ටක් ඇතුලේ හැංගිලා ඉන්නමයි හිතට ආවේ.

මගේ මේ අමුතු හැසිරීම දැකලාද මන්දා ඔන්න ඒ පාර අර මනුස්සයා ඔළුව උස්සලා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා...

" සොරි.... " එක පාරටම මගේ ඔළුවට ආවේ ඒ වචනේ...

ඒත් එක්කම ඔළුව නවලා මමත් ආචාර කරලා අපේ අතින් වෙච්චි වැරැද්ද, වචන ටික අමාරුවෙන් ගැට ගහලා කිව්වා...  


නපුරු මූණක් එක්ක බැණුම් වරුසාවක් බලාපොරෝත්තුවෙන් එයාගේ මූණ දිහා බැලුවට ඒ වෙනුවට ඒ මූණේ තිබුනේ හරිම අහිංසක හිනාවක්.

"ඕ... ඉට්ස් ඔකේ.. ඉට්ස් ඕකේ... නෙවෙර් මයින්ඩ්" 

"හදිස්සියට ඔහොම වෙනවා තමයි... ගනන් ගන්න එපා. ඒකට කමක් නෑ.. අපි හිතුවේ අපි ඩොකියුමන්ට්ස් හදලා එවලා තියෙනවා වැරදි ඇති කියලා. අපේ අතින් වුනත් එහෙම වැරැද්දක් වෙන්න පුළුවන්නේ. " තියුණු කඩු භාෂාවෙන් වුනත් බොහොම කරුණාවන්ත විදිහට ඒ මනුස්සයා කියාගෙන ගියා. 

ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.

ඊට පස්සේ එයා "මම එහෙනම් ගිහින් එන්නම්" කියලා ඔළුව නමලා මටත් ආචාර කරලා එයාගේ බඩු භාණ්ඩ ටිකත් අරගෙන මම කරපු පෙර පිනක් නිසාද කොහෙද බොස් එන්න කලින් යන්න ගියා.

නව නිංගිරාව නිසා වෙච්චි හිතේ අමාරුව මදිවට පනස් පාරක් විතර නැවිලා හැදිච්ච කොන්දේ අමාරුවත් නිසා එහෙම්මම පුටුව උඩට වෙලා මේසේ උඩ තිබුනු වතුර වීදුරුවම එක හුස්මෙට බීලා විනාඩි විස්සක් විතර ඉඳලා තමයි අන්තිමට පුටුවෙන් නැගිට්ටේත්. 

" මේ වැඩේ ශේප් නේද ...අපි බලාගෙන හිටියේ...  " අර ඩොකියුමන්ට් එක වැරදියි කියපු එක්කෙනා හිමීට මගේ ලඟට ඇවිත් අහනවා. 

" මොකක් කිව්වා අපි ???? " මම අහුවා

" ඔව්.. මේ... මේ... මමයි xxxxයි, xxxxxයි, xxxxයි xxxxයි, xxxයි."

අරයා ඔෆිස් එකේ තව කීප දෙනෙක්ටත් විස්තරේ කියලා. එතකොටම මට අර නව නිංගිරාව කියන වචනේ තව තව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා.. 

මොනවා කරන්නද මගේත් වැරැද්දනේ... ඔයින් ගියා මදැයි කියලා මම ඉතින් හිත හදා ගත්තා.  


Thursday, July 16, 2015

84. එක එක කාලෙට හැදෙන ලෙඩ ...

දන්නවනේ ඉතින්... එක එක කාලෙට අපිට එක එක ලෙඩ හැදනවානේ. ඉතින් මේ දවස් වල තුශානිටත් බොහොම දරුණු ලෙඩක් බෝ වෙලා. 
"අනේ  පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)

මොකද එහෙමත් වටිනා අදහස් මම කියන ඒවා නිසා වෙනස් කර ගන්න එක හොඳ නෑනේ. හි..හි...

ඉතින් මේ දවස්වල පැතිරිලා යන ඉන්ෆ්ලුවෙන්සා A1 H1,  ඩෙංගු,  සාස් වගේ ලෙඩ එක්ක පේපර් ක්වීලිං කියලා ලෙඩකුත් පැතිරිලා තිබුන නිසා ඔන්න තුශානිට එක පාරටම ඒ ලෙඩේ බෝ වුනා. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා නේද. 

හ්ම්... පේපර් කවීලිං තමයි ඒකේ නම. මේ ලෙඩේ සමහර විට ඔයාලටත් මේ වෙනකොට හැදිලා තියෙන්න පුළුවන්. නැත්තම් කලින් හැදිලා තිබිලා මේ වෙනකොට හොඳ වෙලා තියෙන්නත් පුළුවන්. 

රෝග ලක්ෂණ තමයි A4 කොළ හීනි තීරු වලට කපලා රෝල් කරලා එක එක විදිහේ නිර්මාණ කරන්න හිතෙන එක. දන්නවද... මේ ලෙඩේ හැදුනහම පාට පාට A4 කොළ මයි හැම තැනම පේන්න පටන් ගන්නේ.

ම්.... මේ ලෙඩේ තුශානි බෝ වුනේ අපේ පුංචි සිත්තරාවිගෙන්.. එයාලාටත් ඉස්කෝලේ ටීච තමයි කියලා දීලා තිබුනේ. මම ඉතින් ඒ ටීචගෙන් ඉගෙන ගත්ත පුංචි ටීචගෙන් වැඩේ ඉගෙන ගත්තා. කොහොමින් කොහොමහරි ලෙඩේ උග්‍ර තත්වයකට පත්වුනා.  

අන්තිම්දී ඉතින් පාට පාට A4 කොළ ටිකකුයි, කාඩ් බෝඩ්, කතුරු, පැන්සල්, අඩිරූල් ටිකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා.  

ඔන්න එහෙනම් බලන්නකෝ...

































හැබැයි තුශානි තාම ඉන්නේ පේපර් ක්වීලිං වල හෝඩියේ පන්තියේ. ඉගෙන ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. බලමුකෝ.... ඉඩ ලැබෙන විදිහට. තව කරන්න පුළුවන් දේවල් මොනාද කියලත් හොයලා බලන්න ඕනේ. 

අහ්.... වැදගත්මදේ කියන්න අමතක වුනා. මේ ලෙඩේ බෝ වෙනවලු..... සමහර විට මේ වෙනකොට ඔයාලටත් මේ ලෙඩේ ටිකක් බෝ වෙලා තියෙන පුළුවන් මගෙන්.  :O

හෝව් හෝව් කලබල වෙන්න එපා. ලෙඩක් වුනාට මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. කොහොම වුනත් එහෙමෙහෙ දුවන හිත ටිකක් එක තැනක තියා ගන්න, කම්මැලිකමක්, පාළුවක් දැනුන වෙලාවට ඒක නැති කරගන්න, අලුත් අලුත් දේවල් හිතන්න, නිර්මාණයක් කරලා අවසාන කලාම ලැබෙන අමුතුම සතුට අත් විඳින්න මේ නිසා හැකියාව තියෙනවා කියලා නම් කියන්නම ඕනේ.  


කාල වේලාව තියෙනවා නම් ස්වයං රැකියාවක් විදිහට ආදායමක් උපයා ගන්න එක එක විදිහේ නිර්මාණ කරන්නත් පුළුවන්. සුබ පැතුම් පත්, එහෙමත් නැත්තම් බිත්ති සැරසිලි ( වෝල් හැන්ගිංස් ) , එක ඒක රූප වගේ දේවල් කරන්න පුළුවන්.
 

විශේෂ කෙනෙක්ට විශේෂ සුබ පැතුමක් කරන්නත්, පුංචි තෑග්ගක් දෙන්න දෙයක් නිර්මාණය කරගන්නත් පුළුවන්. මොකද කඩෙන් දෙයක් ගන්නවට වඩා තමන්ගේ අතින්ම දෙයක් හදලා දෙන්න පුළුවන්නම් ඒකේ වටිනාකම වැඩියිනේ.  ඒ නිසා ලෙඩේ බෝ වෙලා නම් ඒ ගැන බය හිතන්න එපා.


Tuesday, July 7, 2015

83. සල්ලියි සතුටයි... - Money Vs Happiness

කලින් පෝස්ට් එකකදී සල්ලි ගැන කිව්ව නිසා අද තුශානි හිතුවා සල්ලියි සතුටයි අතර තියෙන සම්බන්දය ගැන කියන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ... 

සල්ලියි සතුටයි අනුලෝමව සමානුපාතිකයිද ? එහෙමත් නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයිද ?

හි..හි... ඒ වචන හර බර වැඩියි නේද ... අපි මෙහෙම කියමුකෝ. සල්ලි වැඩි වෙනකොට සතුට වැඩි වෙනවද ? එහෙමත් නැත්තම් සල්ලි වැඩි වෙනකොට සතුට අඩු වෙනවද ? ඒ ගැන මොනවද හිතෙන්නේ ?  

සල්ලි කියන්නේ ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක් වුනත් ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි කියලා වැඩි දෙනෙක් උත්තර දෙයි.


ඔව්.. ඒ උත්තරය හරියටම හරි. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. සල්ලි ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් මේ කියන්න යන්නේ තමන්ගේ අතට ලැබෙන මුදලයි සතුටයි අතර තියෙන එක සම්බන්දයක් ගැන. සරලව කිව්වොත් පඩියයි සතුටයි අතර එක සම්බන්දයක් ගැන.

ටිකක් හිතලා බලන්නකෝ අපේ වැටුප / පඩිය වැඩි වෙනකොට අපි ඒ වැඩි වෙන කොටස මොන වගේ දේකටද යොදවන්නේ කියලා. ඔව්.. අපේ අවශ්‍යතා, උවමනා ටික සපුර ගන්නම තමයි. සමහර විට කෙනෙක්ට පඩිය වැඩි වෙනකොට තවත් උවමනා ටිකක් වැඩි වෙන්න පුළුවන්. මතකනේ ඉස්කෝලේදී උගන්නනවා අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි කියලා.  

ඉතින් උවමනා අසීමිත නිසා ඒ ගැන කතා කරන්න නම් එක පොස්ට් එකක් කොහොමටවත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ. අද තුශානි කියන්නේ අවශ්‍යතා ගැන විතරයි. 

හැබැයි මේකත් මුලින්ම කියන්න වෙනවා. ඒ මම මේ කියන දේවල් හැම කෙනෙකුටම අදාල නොවෙන්නත් පුළුවන් කියන එක. සමස්ථයක් විදිහට මෙහෙම වෙනවා කියලයි මම කියන්න උත්සාහ කරන්නේ. 

අවශ්‍යතා සීමිතයි නේ. ඒ කියන්නේ මිනිසාට මූලික අවශ්‍යතා 3 ක් තියෙනවා. ඒ තමයි ආහාර, ඇඳුම්, නිවාස. මෙතනදී ආහාර කිව්වේ ජලයත් ඇතුළුව.  


අතට ලැබෙන මුදලත් ඒක්ක අහාර අවශ්‍යතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි මුලින්ම බලමු. මම ඒක උදාහරණයකින්ම විස්තර කරන්නම්. 

අපි කෑම එකක් කනවා කියලා හිතමු. වෙනදට පාර අයිනේ තියෙන ඕනම කඩේ කින් කෑම එකක් අරගෙන කෑවට අතේ සල්ලි තියෙනවා නම් ටිකක් හොඳ තෑනකින්, පිරිසිදුකම, ගුණාත්මක බව, ප්‍රමිතිය වගේ දේවල් ගැන කලින්ට වඩා වැඩිපුර හිතලා කෑම එකක් කන්න ඕනේ කියලා හිතෙනවානේ. එහෙම නේද ?

ම්... මට යාන්තමට වගේ ඇහෙනවා. "නෑ... නෑ.. අපි නම් සල්ලි ටිකක් වැඩිපුර ලැබුනට ඉස්සර විදිහටමයි කන්නේ ... " කියලා කට්ටියක් කියනවා . තවත් කෙනෙක් කියයි සල්ලි තිබුනත් නැතත් අපි කන්නේ එහෙමයි කියලා.  හි..හි... කමක් නෑ.. කොහොම වුනත් බොහෝදෙනෙක් අතට කීයක් හරි වැඩිපුර ලැබෙනකොට තමන්ගේ ආහාර අවශ්‍යතාවයේ පුංචි හරි වෙනසක් ඇති කරගන්නවා. අතට සල්ලි ලැබෙනකොට වෙනස් වෙන්න ඕනේ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. එදා බඩගින්නට කෑම කාලා සතුටු වුන අපි,  විශේෂ කෑමක් නිසා දැන් සතුටු වෙනවා. මුලික අවශ්‍යතාවය වුනත් අපි සපුරාගෙන සතුටු වෙන්නෙ කලින්ට වඩා ටික් වෙනස් විදිහකට.

ඇඳුම් ගැන කතා කලොත්, එදාට වඩා branded ඇඳුම් මිල  දී ගන්න යොමු වෙනවා. සුව පහසුව, සෞඛ්‍යාරක්ෂිත බව, කල් පැවත්ම වගේ දේවල් ගැන කලින්ට වඩා ටිකක් වැඩිපුර අවදානය යොමු කරනවා. ඔයාලම ටිකක් කල්පනා කරලා බලන්නකෝ රැකියාවට ගිය මුල් කාලේ ගත්ත දේවලුයි අද මිල දී ගන්න්න දේවලුයි අතර තියෙන වෙනස ගැන. එදා ඒ දේවල් වලින් සතුටු වුනත් අද වෙනකොට අපි සතුටු වෙන්නේ ඊට එහා ගිය දේකින්.

නිවාස ගැන කිව්වොත් නම්, ගෙයක් නැති කෙකෙන් අලුතෙන් ගෙයක් හදන්නත්, ගෙයක් තියෙන කෙනෙක් ගෙදරට තව පුංචි පුංචි දේවල් එකතු කරන්නත් උත්සාහකරනවා. ඒ වගේම ගෙදර හදන්න හොඳම දේවල් යොදා ගන්නත්, වැඩි ප්‍රමිතියක් ගැන සැලකිලිමත් වෙන්නත් අමතක කරන්නේ නෑ. හිසට වහලකට වඩා වැඩි යමක් කරන්න උත්සාහ ගන්නවා. 

ගොඩක් වෙලාවට මේ දේවල් අපි හිතලා කරන දේවල් නෙවෙයි. ඒත් අපි අපිට ලැබෙන මුදලත් ඒක්ක අපේ ජීවන තත්වයේ වැඩි දියුණු කරගන්න ක්‍රියා කරනවා. ටිකක් නැවතිලා හිතලා බැලුවොත් ඔයාලටත් පැහැදිලිවෙයි. 

හ්ම්... දැන් කියන්න බලන්න මේ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා.



තුශානි ලියපු හර බර කතා

* මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...

* චුට්ටක් නැවතිලා බලමුද ? 

* මාලිගාවට යනවද ? ආපහු එනවද ? 

 


Related Posts Plugin for WordPress, Blogger...