Monday, October 26, 2015

94. මේ එයාමද ? ( 2 වන කොටස )

මේ එයාමද ? ( 1 වන කොටස ) මෙතනින්



" ම්.... කොහෙන්ද ඒ කට හඬ එන්නේ ? "
 
එක පිට එක නැගී එන මුහුදු රළ පෙළ ගැන හිතන්නේ වත් නැතුව දියඹට පීනන කැස්බෑවෙක් වගේ, මේ අතොරක් නැති මුහුදු ඝෝෂාව අතරින් ඒ හඬ ආපු ඉසව්ව හොයන්න රයන් උත්සාහ කලා.

" අහ්... කවුද අර දූපතේ වෙරලේ තියෙන ගල් තලාව උඩ වාඩි වෙලා ඉන්නේ ? මේක මේ ඇස්බැන්දුමක්ද ? සමහර විට කවුරු හරි ඉන්නවා වෙන්න පුළුවන්ද ? එතකොට ඒ කට හඬ එයාගේද ? දිය වැලකට අහුවෙච්ච මාළු රැලක් වගේ එක එක ප්‍රශ්ණ ගොඩක් රයන්ගේ හිතට ඇදිලා එන්න පටන් ගත්තා.

කුඹ ගහ ලඟ නැව් තට්ටුවේ වැටට හේත්තු වෙලා හිටිය රයන්, නැවේ එහා කොනට ඇදිලා ගියේ ගොදුරක් පස්සේ යන මෝරෙකුගේ වේගෙන්. 

ඒත් එක්කම රයන් පැහදිලිවම දැක්කා, ගල් තලාව උඩ ලස්සන ගෑණු ළමයෙක් රයන් දිහා ඇහිපිය නොහෙලා බලාගන ඉන්න වග.

මුතු ඇටයක පාට ගත්ත එයාගේ මූණ, හඳ එලියට දිලිසෙන තරු කැට දෙකක් වගේ එයාගේ ඇස්දෙක, බැහැගෙන යන ඉරේ පාටට රතුවුනු හීන් තොල් දෙක,
වම් උරෙන් ඉස්සරහට වැටිලා දෙදණ වැහෙනතරමටම දිගට තිබුනු තඹ පාට කොන්ඩය දකිනකොට රයන්ට මතක් වුනේ මරියාව. 


" ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි මරියා... මට මේ ලෝකේ ලස්සනම කෙනා ඔයා... " කියලා ඉස්සර රයන් මරියා දිහා ඇහිපිය ගහන්නේ නැතුව වි
නාඩි දෙක තුනක් බලාගෙන ඉඳලා කියනකොට මරියා ලැජ්ජාවෙන් රතුපාට වෙන හැටි රයන්ට මතක් වුනා.

"මේ ... ඔය ඔතන කවුද ඉන්නේ ? කවුද ඔයා ?"

කියපු දේ නෑහුනා වගේ එයා හිටියේ රයන් දිහා බලාගන හිටිය විදිහටමයි.  

අහපු එක ප්‍රශ්ණෙකටවත් පිලිතුරු නොලැබුන නිසා රයන් නැව් තට්ටුවේ ගැට ගහලා තිබ්බ පොඩි බෝට්ටුව පහළට ගත්තේ දූපතට පැත්තට යන්න හිතාගෙන . ඒ වෙනකොටත් එයා හිටියේ රයන් දිහා බලා ගත්ත ගමන්ම බව ඇස් කොනින් එයා දිහා බලනකොට රයන් දැක්කා. 

පහළට ගත්ත බෝට්ටුව පදවගෙන රයන් දූපතට කිට්ටු වෙනවත් එක්කම  වලාකුළු පුර හඳ අතරින් එහාට මෙහාට යමින්, මේ කේලම හඳකියමිනුයි ඒ වෙනකොට හිටියේ.

" මෙයා නම් මරියා වගේමයි... ඒ මූණ, ඒ ඇස්, ඒ තොල්... " ටික ටික දූපතට ලං වෙනවත් එක්කම දැක්ක දේ රයන්ට අදහා ගන්නත් බැරුව ගියා.

 
" ඔයා කවුද ? කියන්න මට... මේ දූපතේ තනියමද ඉන්නේ ? තවත් කවුරුහරි ඉන්නවද ඔයත් එක්ක ? මේ මහ මුහුද මැද අතරමං වෙලාද ඔයාලා ඉන්නේ ? " 

රයන් බෝට්ටුව ගල් තලාවට කිට්ටු කරන අතර තුරේ ඇහුවා.  

මෙච්චර වෙලා ඇහිපිය නොහෙලා රයන් දිහා බලාගෙන හිටිය එයා, ඇස් ඉවතට ගත්තේ ඇස් වල කඳුළු බිංදුවක් හංගගන්න ගමන්. ඒත් ඒ කඳුලු පිරුණු ඇස් දෙක හඳ එලියෙන් වහන් කරගන්න එයාට පුළුවන් කමක් කොහෙත්ම තිබුනේ නෑ. 

" මම ඔයා එනකන් බලාගෙන හිටියා... ඔව් හුඟක් කල් බලාගෙන හිටියා... "   

අතේ තිබුනු බෙල්ලන්ගෙන් හදපු රෝස පාට වලල්ල දිහා බලාගන එයා කිව්වා.  

" එතකොට ඔයා මගේ... ඒත් නෑ.. නෑ.. ඒ ඔයා නෙවෙයි... එයා මාව දාලා ගියා... මාව දාලා යන්නම යන්න ගියා. " 

"හ්ම්.... ඒක දිග කතාවක්... ඔයා මුහුදු ගිහින් එනකනුයි මම එදා බලාගෙන හිටියේ... ඒත් ඔයා එන්න කලින් මේ මුහුදු රළ පේලි ගොඩක් ඇවිත් මාව ඔයාගෙන් ඈතට ඈතට අරගෙන ගියා.. ඒත් මට ඕනේ වුනා ඔයා ලඟට එන්න... ඒ නිසාම මට මතක් වුනේ ඔයාම විතරයි... මම මෙහෙට ආපු දා ඉඳලම ඔයා කවදාහරි මේ මහ මුහුදෙදි දකින්න ආසාවෙන් බලාගෙන හිටියා. ඔව්... මේ ඇත්තමයි.. " 

" ඔයා දන්නවද මම ඔයා නැතුව කොච්චර නම් දුක් වුනාද කියලා. මේ ගෙවුනු පහුගිය කාලය මම ගතකරපු වේදනාකාරිම කාලය."

" අපි යමු ... අපි දුක් විඳපු කාලේ දැන් ඉවරයි. රයන් ලංවෙලා එයාගේ අතින් තද කරලා අල්ලගත්තා.  " 

කියලා රයන් කොයි තරම් තදින් එයා අල්ල ගත්තාද කියනවනම් අත්වල තිබුනු ශක්තියට එයා රයන් ඉන්න පැත්තව ඇදිලා ආවේ බූවල්ලෙකුගේ අඩුවකට අහුවුනු පුංචි මාළු පැටියෙක් වගේ.


පුර හඳ රාජ කාරි හමාර කරලා මුහුදු පතුලේ විසාල බෙලි කට්ටක් ඇතුලට ගිහින් ටිකක් නිදා ගන්න සැරසෙනකොට ඉර කම්මැලි කමින් ඉරු රැස් එක දෙක විහිදවලා හිරි අරින්න පටන් ගනිද්දියි රයන්ට දැනුනේ හෝරා හතර පහකට වැඩි කාලයක් නොදැනීම  ගතවෙලා ගිහින් බව. 

" මට දැන් යන්න වෙලාව හරි...  "
 
" නගින්න බෝට්ටුවට.. අපි යමු නැවට.. මීට පස්සේ මම ඔයාව දාලා කොහේවත් යන්නේ නෑ. ම්... ? හා නේද ? 

මට ඔයත් එක්ක යන්න එන්න විදිහක් නෑ. මම දැන් අයිති මෙහාට.බොහොම ඉක්මනින් මම හැදුනා වැඩුනා වගේම මට තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි කාලයක්. කොහොම වුනත් මට දැන් හුඟාක් සතුටුයි... මොකද මගේ එකම බලාපොරොත්තුව වුනේ ඔයාව දකින එකයි. ඒක දැන් ඉෂ්ට වුනානේ.. පරිස්සමින් ආපහු නැවට යන්න. මම දැන් යන්න ඕනේ..
 

" බෑ.. බෑ.. ඔයා නැතුව මට යන්න බෑ.... "


" මාව අතාරින්න දැන් ඉර එළිය වැටෙන්නයි යන්නේ.."  
 
" නැහැ ඔයා මාත් එක්ක යන්න එන්නම ඕනේ... මට තේරෙන් නෑ මේ ඔයා කියන දේවල්. ඔයාට මෙහෙන් යන්න බැරි කිසිම හේතුවක් නෑ..."

රයන් ඇයට යන්න නොදී පපුවට තුරුළුකරගනිද්දී ඒ දිහාවට ඉර හොරෙන් එබිකම් කරන්න පටන් ගත්තා. ඒත් ඒක්කම ඇගේ මුතුපාට සියුමැලි දෙපා එකපාරටම කොළ පැහැ ගැන්විලා විසාල වරලක් බවට පත්වෙන හැටි රයන්ට අදහා ගන්නවත් බැරි වුනා. 

" දැන් ඔයාට තේරෙනවදා මට ඔයත් එක්ක එන්න බැරි ඇයි කියලා ? " රයන්ගේ විශාල වුනු ඇස් දෙක දිහා බලාගෙන එයා කිව්වා.

" තවත් වෙලා මෙහෙම ගොඩබිම ඉන්න බෑ මට... මම ගිහින් එන්නම්... " ආපහු කවදම හරි දවසක අපි හම්බවෙයි." 

කියලා මුහුදු පතුලේ තිබුනු කිඳුරු විමානේට එයා යන්න යන හැටි රයන් බොඳ වුනු ඇස් වලින් බලාගෙන හිටියා.



Thursday, October 15, 2015

93. මේ එයාමද ?

" රයන්... ඔයා ගියහම මට හරිම පාළුයි... පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න... මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා...  "

ගියපාර මුහුදු ගමන පිටත් වෙන්න නැවට නගින්න කලින් මරියා
රයන්ගේ පපුවට තුරුළු වෙලා මුමුණනකොට රයන් හිටියේ, හඳ ගාවින්ම දීප්තිමත්ව අහසේ පායලා තිබුණු පහන් තරුව දිහා බලාගෙන. හුලඟේ දඟ කරන මරියාගේ තඹ පාට කෙහෙ රැළි විටින් විට රයන්ගේ මූණ පුරා දැවටෙමින් ඊට බාදා කලත් රයන් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ.



එදත් අද වගේම කළු පාට රෙද්දකට පොරි ඉහලා වගේ පුංචි පුංචි තරු කැට පිරිවරාගෙන පහන් තරුව හඳට විතරක් දෙවෙනිව කළුවර අහස එළිය කලා. පුංචි පුංචි වතුර කැටිති බරටම උස්සගෙන, ඒ හුලඟම අදත් ඒ මේ අත හැමුවත් ඒ හුලඟ එක්ක දඟ කරන තඹපාට කෙහෙ රැලි අද රයන් දකින්න තිබුනේ නෑ. පපුවට තුරුළුවෙලා මුමුණපු ඒ ආදර වදන්, දෙසවනේ ගැටෙන්න අද රයන්ව හොයාගෙන ආවේ නෑ.

නැවේ කුඹ ගහ ලඟ නැව් තට්ටුවේ වැටට හේත්තුවෙලා ඈත අහස දිහා බලනකොට දැකපු පහන් තරුව නිසා, රයන් මීට අවුරුදු ගානකට ඉස්සර අතීතෙ, ඒ ලස්සන දවසට ගියේ නොදැනුවත්වමයි.

හ්ම්...  ඒ මරියා ජීවතුන් අතර ඉන්දෙද්දී ආපු අන්තිම මුහුදු ගමන.

රයන් මුහුදු ගිහින් මහ රළ පෙල එක්ක හැප්පිලා දිනලා ආපහු ගොඩට එනකොට, රයන්ට පැරදුනු මහ රළ පෙල මරියා එක්ක රයන්ගේ පුංචි පැල් කෝටේ  අරන් ගිහින් ඒකේ වාඩු ගනියි කියලා රයන් නිකමට වත් හිතාගෙන  හිටියේ නෑ.

ඒත් එදා ඒ මහ රළ පෙල,
රයන් මුළු ලෝකෙටම වඩා ආදරය කරපු මරියාව, ආපහු දකින්නවත් නොලැබෙන විදිහට පස් අතරේ හංගන්න සමත් වෙලා තිබුනා.

" සුනාමියට අහුවුනු හැමෝම රජයෙන් ආදාහනය කලා
රයන්... මුහුදු ගිය ඔයාලා ගැනත් තොරතුරක් තිබ්බේ නෑනේ පණිවිඩයක් දෙන්නවත්.... ඔහොම තමයි ජීවිතේ කියන්නේ... අපි බලාපොරොත්තු නොවෙන දේවල් නේ වෙන්නේ. හිත හදා ගන්න බලන්න ... " 

පල්ලියේ පූජක තුමා රයන්ව අස්වසපු විදිහ තාමත් රයන්ගේ කන් වල රැව පිලි රැව් දෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා.

 ***

අදත් වෙනදා වගේ වැඩ ටික හමාර කරලා බටනලාවත් අතට අරගෙන මුහුදු හුලං වදින්න රයන් ටිකක් එලියට ආවේ, ගොඩබිමක සේයාවක් වත් පේන්න නැති මේ මහ මුහුදත්, හඳත් එක්ක තරු කැට පිරි වරාගෙන ඉන්න ආකාසෙත් දිහා බලාගෙන හෝරාවක් දෙකක් තනි වෙන්න ඕනේ වුන නිසයි. 

උදේ ඉඳලා එකම යකඩ ගොඩක් වෙච්ච මේ නැවේ ඉහළ පහළ ගිහින් එක දිගට වැඩ කරලා ඒ වෙනකොට රයන් හිටියේ තැලිච්ච යකඩයක් තරමටම මහන්සියෙන් මිරිකෙමින්. ඒ මහන්සිය ටිකකට හරි නිවාගනිමින් දුකටත් සැපටත් මෙතුවක් කල් ලඟ හිටිය මහ මුහුදට තමන්ගේ දුක කියන්නයි, රයන් බටනලාවත් අරගෙන හැමදාම නැවේ කුඹ ගහ යටට ආවේ.

පෙඳ පාසි වල සුවඳත් තවරගෙන හමාගෙන ආව සීතල හුලඟට ඇඟ හිරිගඩු පිපිලා, ඇඟලි හිරි වැටුනත් පුරුද්දට වගේ බට නලාවට ඇඟිලි යනකොට මරියා ආස
කරපු ගීයක් මුහුදු හුලඟට එකතු වුනා.



" ඔව්... මරියා ඒ ගීතෙට හුඟක් ආස කලා. ... "

එක අතක් එයාගේ කම්මුලට තියාගෙන අනිත් අතේ ඇඟලි ගීතයේ තාලයට නටව නටව එයාගේ ලස්සන කට හඬින් ඒ ගීය මුමුණපු හැටි හරියට සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වර්ණ ගන්වපු චිත්‍රයක් වගේ මගේ ඉස්සරහ පේන්න තිබුනත් ඒ හැම දෙයක්ම එක ඇහිපිල්ලමක් ගහන පරක්කුවට බොඳ වෙලා ගියා.


*** 

" මොනවා.... මේ එයාගේ කට හඬ.. ඔව්.. මේ නම් එයාමයි... "

බට නලා සද්දෙත් එක්ක අහුනු ඒ හඬ නිසා
රයන් ටිකක් නොසන්සුන් වුනා. 

" මරියා ... මරියා... ඔයා කොහෙද .... එන්න මරියා.. ඉන්න තැනකින් ඉක්මනටම මගේ ලඟට එන්න... "

රයන් එක දිගට මුහුදු ඝෝසාව පරද්දවමින් පිස්සුවෙන් වගේ කෑ ගැහුවා...

" නෑ... ඒත් එහෙම වෙන්න බෑ... මරියා මාව දාලා ගියා... ඔව්... එයා මාව දාලා යනම යන්න ගියා..."  
 

රයන් නැව් තට්ටුවේ වැටට පිට දීලා වාඩි වෙලා ආපහු බට නලාව අතට ගත්තා. හිතේ ඇතිවුනු කැලඹිල්ලත් එක්ක ඒ වෙලාවේ ගීයක් වයන්න කොහෙත්ම උවමනාව නොතිබ්බත් මරියගේ කටහඬ ආපහු ආපහු හීනයක් විදිහට හරි අහන්න ඕනේ කියලා රයන්ගේ හිත දිගින් දිගටම කියන්න පටන් ගත්තා.

ඒ නිසාම රයන් ආපහු මරියා ආසම කරපු ගීතයට හිතේ තිබුනු දුකත් මුසු කරලා මුහුදු හුලඟට එකතු කලා.

ගතවුනේ යෝධ තල්මහෙක් වතුරෙන් උඩට පැනලා ආපහු මුහුදු පතුලට යන්න ගතවෙන කාලයටත් වඩා අඩු කාලයක්. ආයෙමත් අර ගී මිමුනුම රයන්ගේ දෙසවන් අතරින් රිංගලා හිත ඇතුලට එබිකම් කරන්න පටන් ගත්තා.  

" මේ නම් එයාමයි... "

 රයන් එකපාරටම නැගිටලා ඒ හඬ එන ඉසව්ව විපරම් කරන්න ගත්තා. 

සාගෙරේ මැද තනිවුනු නව්කාවේ මුහුදු හුලඟ පෙම් බැන්ද එකම කෙනා වුනේ රයන් විතරයි... ඒ නිසාම ඔහු හැර රෑ අහස යට නැව් තට්ටුවේ වෙන කෙනෙක් නොඉන්න බව රයන් හොඳාකාරවම දැනගෙන හිටියා.  කැබින් ඇතුලට වෙලා සුව නින්දේ පසුවන තම සගයන් මේ වෙනකොටත් ඔවුන්ගේ බිරින්දෑවරු දරු මල්ලෝ ලඟට හීන පාර දිගේ ගිහින් ඉන්න වෙලාව.

නැව හැර, මේ නිම්වල්ලු නොපෙනෙන මහ සාගරය මැද පේන්න තිබුනු එකම දේ වුනේ නැවට ටිකක් එපිටින් තිබුනු එකම එක පුංචි දූපතක් විතරයි. 


~ මතු සම්බන්ධයි ~

 

Wednesday, October 7, 2015

92. අවුරුදු දෙකයි... (2nd Blog anniversary)

බ්ලොග් කියවන එක හරිම ශෝක් වැඩක් නේද ?

හ්ම්.. ඔව්.. හැබැයි කියවන ඒවා ටිකක් තෝරලා බේරලා කියවන්න ඕනේ..

ඒ මොකද ?

ගොඩක් වෙලාවට බ්ලොග් වල ලියවෙන්නේ තමන් දකින විදිහ, එහෙමත් නැත්නම් තමන්ගේ අදහස්. ඉතින් ඒ  දේවල් හැම වෙලාවෙම හරි නොවෙන්නත් පුළුවන්නේ... ඒ වගේම තියෙන හොඳ නරක දේවල් තෝරා බේරගෙන කියවන්නත් ඕනේ. 

මට හිතෙනවා දවස් දෙක තුනක් නිවාඩු දාලා බ්ලොග් කියවන්න. ආර්ටිකල්ස් ගොඩක් තියෙනවා
කියවන්න ...

මුල් කාලේ මමත් ඔහොමයි.. හරියට ඇබ්බැහි වෙලා වගේ තමයි බ්ලොග් කියෙව්වේ. ඒ නිසා සමහර වෙලාවට මගේ වැඩත් පාඩු වෙලා තියෙනවා. ඔන්න වැඩ පාඩු කරගෙන නම් බ්ලොග් කියවන්න ලෑස්ති වෙන්න එපා හොඳද.

මේ...  මට පොඩි උදව්වක් කරනවද ? කට්ටිය ලියපු ඒවට කමෙන්ට් කරන්න පුළුවන් විදිහට මට බ්ලොග් ප්‍රොෆයිල් එකක් හදලා දෙන්න පුළුවන්ද ?

අයියෝ... ඒක සුළු දෙයක්නේ.. මම හදලා දෙන්නම්. අපි මොකද්ද දාන නම ?

ම්... කැමති නමක් කමක් නෑ..

හා.. හරි මම එහෙනම් එකක් හදලා දෙන්නම්. 


***
 
ඔන්න හරි.. ඔයා කැමති විදිහ ඕන වෙනස්කමක් කරගන්න පුළුවන්.

තැන්ක්යූ සෝ මච්... හැබයි මම බ්ලොග් ගැන නම් මුකුත් දන්නේ නෑ.

මොනාහරි ප්‍රශ්ණයක් තිබුනොත් මට කියන්න. දැන් ඔයාට  බ්ලොග් කියවන්න, කමෙන්ට් කරන්න විතරක් නෙවෙයි බ්ලොග් ලියන්නත් පුළුවන් මොනාහරි ලියමු හොදේ.

අපෝ... මට වැඩිය ලියන්න බෑනේ ....

හරි.. හරි.. පුළුවන් ටික ලියන්නකෝ...
 

***

අද තුශානි ලියන්නේ වෙනදා වගේ කතාවක් නෙවෙයි... මීට හරියටම අවුරුදු දෙකකට කලින් සිද්ද වෙච්ච සත්‍ය කතාවක්.  ඔව්.. ඔයාලා හිතුවා හරියටම හරි.. ඒ තුශානි බ්ලොග් ලියන්න පටන් ගත්ත විදිහ. ඇත්තම කියනවා නම් ඒක තුශානි කවමදාකවත් හීනෙකින් වත් නොහිතපු දෙයක්.



ඉතින් එහෙම හීනෙකින් වත් නොහිතපු දෙයක් අවුරුදු දෙකක් පුරාවට ඉබි ගමනකින් හරි ඉස්සරහට අරගෙන ඉන්න පුළුවන් වුන එක ගැන නම් තුශානිට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි සතුටක්. 
 
අපි සයිබර අවකාශයේ නොදුටු මිතුරු මිතුරියන් වුනත්, බොහොම ලෙන්ගතු ආදරණීය බැඳීමක් බ්ලොග් පිටු හරහා අපි අතර ඇතිවෙලා තියෙනවා කියලා මම කිව්වොත් මම හිතන්නේ හැම දෙනාම මාත් එක්ක එකඟ වෙයි.  

අකුරු කරන දේ එක්ක, හිතන පතන විදිහත් එක්ක අපි එක එක්කෙනා හඳුනා ගත්තා වගේම ඒ ඔස්සේ මිතුරු කමක් ගොඩ නගා ගත්තා. ඒ නිසාම අද තුශානි මේක අවස්ථාවක් කරගන්නවා තුශානිට මේ ගමන එන්න අත හිත දුන්නු හැමෝටම මුළු හදවතින්ම ස්තූති කරන්න.  

ඉතින් මේ අවුරුදු දෙක පුරාවටම තුශානි ලඟ ඉඳලා තුශානිට ශක්තියක් වුනු, හදා ගන්න ඕන තැන් පෙන්නලා දුන්නු, ලියන දේවල් වලට කමෙන්ට් කරපු, සුබ පතපු, ලියපු දේවල් කියවන්න ආපු හැම කෙනෙක්ටම  

බොහොමත්ම ස්තූතියි !

 


Thursday, October 1, 2015

91. ෂයිනී ... ( ලෝක ළමා දිනය වෙනුවෙන් )

ක්.. ටු.... ටක්.. ටු... ටක් ටු... ටක් ටු...




එලාම් ඔරලෝසුව ඇතුලට වෙලා නිදාගෙන හිටිය "Yellowhammer" වර්ගයේ කහ කුරුල්ලා උදේ හත වෙනකොටම නැගිටලා ෂයිනිව ඇහැරවන්න එක දිගට සද්ද කලත් එදා ෂයිනි ඒ සද්දේට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න ගියේ නෑ. 

" හරි.. හරි... බර්ඩී... ඔන්න බබා ඇහැරුනා... මේ බලන්න මම ගුඩ් බබෙක්... " 

වෙනදාට ෂයිනි එලාම් ඔරලෝසුවෙන් එලියට ඇවිත් කෑගහන කහ කුරුල්ලාට එහෙම කියලා, පොරවගෙන ඉන්න බාබි ඩෝල්ස්ලාගේ රෝස පාට පොරොනය පැත්තකට කරලා එයාගේ ලොකුම ලොකු ටෙඩීත් තුරුළු කරගෙන අම්ම ඉන්න දිහාවට යන්නේ අම්මගේ රසම රස කිරි එක බොන්න.


 
වෙනදාට ජනේලෙන් එන ලා කහ පාට ඉර එලියට දිලිසෙන ෂයිනිගේ සුදු පාට මූණ අද හරියට මැලවුනු ගාඩිනියා මලක් වගේ මැලවිලා ගිහින්. එතකොට ගේ පුරාම දෝංකාර දෙන ෂයිනිගේ කිංකිණි හිනාව, හුරතල් කතා පෙට්ටිය හරියට නපුරු මන්තර කාරියක් අරගෙන ගිහින් වගේ.

" අහ්... මගේ දූ පැටියා ඇහැරිලානේ.. කෝ එන්න අපි දැන් නැගිටලා,  ඔයාගේ කිරි එක බීලා, වොශ් දාලා, ලස්සන ඇඳූමක් අඳිමු. " 

"අම්මා... මට අද ඉස්කෝලේ යන්නම ඕනේ.. " ෂයිනි අම්මගේ බෙල්ල වටේ එක අතක් යවලා අනිත් අතින් අම්මගේ මූණ එයාගේ චූටි ඇඟිලි වලින්  තද කරන ගමන්  කිව්වා.   

 ***
 
" මිසිස් සිල්වියා.. බබා හොස්පිට්ල් එකේ ඉන්න බෑ කියලා අඬන නිසාමයි මේ ඩිස්චාජ් කරන්නේ. ගෙදර ගිහින් එයාව හුඟක් පරිස්සමින් බලාගන්නවෙයි...  එයාගේ හිත රිදෙන දේවල් සිද්ද වෙන්න නොදී සතුටින් තියන්න බලන්න  "


" තැන්ක් යූ වෙරි මච් ඩොක්ටර්... අපි බබාව හොඳට බලා ගන්නම්.  මාසෙක විතර ඉඳලානේ අපි දැන් හොස්පිට්ල් එකේ. ඒ නිසයි බබා තව ඉන්න බෑම කියන්නේ. "

" ඔකේ.. මට තේරෙනවා.. ට්‍රීට්මන්ට්ස් වලට වරද්දන්නේ නැතුව එන්න.

***

" ඇයි අම්මා මේ ඇස් වල කඳුළු.. මාව ඉස්කෝලේ යවන්න බෑ ද?  "  

හොස්පිට්ල් එකෙන් එද්දී ඩොක්ටර් කියපු දේවල් සිල්වියාට මතක් වෙලා ඇස් වලට කඳුළු ඇවිත් තිබුනේ ඉබේටමයි.

" බලමුකෝ තාත්තාගෙන් අහලා. අද ටිරීට්මන්ට්ස් වලටත් යන්න තියෙනවනේ.. " සිල්වියා එක පාර ඇහි පිය දෙක තුනක් ගහලා ඇස් වලින් පිටට පනින්න හදපු කඳුළු ආපහු ඇස් දෙක ඇතුලටම ගත්තා. 



 

" අම්මා බලන්න අර කැලෙන්ඩර් එක දිහා අද ඔක්ටෝබර් ෆස්ට්... චිල්රන්ස් ඩේ.. ඒ නිසා මට අද ඉස්කෝලේ යන්න ඕනෙමයි.. " නිල් පාට ඇස්වල පුංචි තරහක් මවාගන ෂයිනි අම්මගේ මූණට ඇඟිලි වලින් තට්ටු කරන ගමන් කිව්වා.

චිල්රන්ස් ඩේ එකට හැම අවුරුද්දකදීම මොන්ටිසෝරියෙන් හොඳම් ළමයාට දුන්නු විශේෂ තෑග්ග මේ අවුරුදු දෙකේදීම ෂයිනි ගෙදර අරගෙන ආවේ කොයි තරම් සතුටින්ද කියලා සිල්වියාට මතක් වුනේ ෂයිනි කැලැන්ඩරේ දිහා බලාගෙන ගිරවියෙක් වගේ කියවද්දියි.  

ෂයිනි තෑග්ග අරගෙන ගෙට දුවගෙන එනකොට එයාගේ බලු පැටියා ස්කිපීත් ෂයිනි පිටිපස්සෙන්ම දුවගෙන එන්නේ හරියට එයත් තෑග්ග බලන්න වගේ. ඊට පස්සේ ෂයිනි තෑගි පෙට්ටිය ඔතලා තියෙන කොළ ටික සිරුවට ගලවලා තෑග්ග අතට ගන්නකොට එයාගේ හිනාවෙන ඇස් තරු කැට දෙකක් වගේ දිලිසෙනවා. ගිය අවුරුද්දේ එයාට මොන්ටිසෝරියෙන් තෑගි ලැබුනේ තම්බලීනාගේ මූණ තියෙන ඇපල් කොළ පාට ගවුමක් ඇඳ ගත්ත කතා කරන බෝනික්කෙක්.
 
  
***

" ආයම්මා.. ඉක්මනට මහත්තයට කතා කරන්න බබාගේ නහයෙන් එක දිගට ලේ එනවා... " බාත් රූම් එකේ ඉඳලා සිල්වියා කෑ ගහපු විදිහ තාමත් දෝංකාර දිදී ඇහෙන එක නැවතුනේ තියටර් එකේ රතු කුරුස ලකුණ ගහපු වීදුරු දොර ඇරෙන ඇරෙනවත් එක්කයි.

සුදු පාට ඇඳුමක් අන්දලා සුදු පාට තොප්පියක් දාලා අත්වලට කකුල් වලට මේස් දාලා ට්‍රොලියේ තියාගන එලියට ගෙනාව ෂයිනිගේ මූණ හරියට නපුරු හීනයක් දකිනවා වගේ. වේලිලා ගියපු කඳුළු බේරුණු පාරවල්  මූණෙන් මතුවෙලා පැහැදිලිවම පේන්න තිබුනා. 

පල්ලියේ ඝාන්ටාර සද්දේ දහවල් දොළහේ කණිසමට එළඹුනා කියලා හඬ ගාලා කිව්වත් ගෙවුනු පැය දෙක පුරාවටම පුංචි හරි හෙලවීමක් වත් නැතුව නිදාගෙන හිටිය ෂයිනි ඊට කන් දුන්න බවක් නම් පේන්න තිබුනේ නෑ.  

ටක්.. ටක් .. ටක් ... 

දොරට තට්ටු කරන සද්දෙත් එක්ක  ෂයිනිගේ තාත්තා කාමරේ දොර අරින්න ගියේ ඩොක්ටර් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්.

ඒත් ඩොක්ටර් වෙනුවට දොර ගාව හිටියේ ලස්සනම ලස්සන ඇඳුම් ඇඳ ගත්ත බෝනික්කෝ ගොඩක්..

" අංකල්... මේ අවුරුද්දේ
ත් ෂයිනි තමයි අපේ ස්කූල් එකේ හොඳම ළමයා. අපි එයාගේ තෑග්ග අරගෙන ආවා... "
 

ෂයිනිගේ හොඳම යාළුවා වුන සින්නි කතා කරන බෝනික්කෙක් වගේ කියනකොට ෂයිනිගේ අම්මගෙයි තාත්තගෙයි ඇස් වල කඳුළු පිරිලා එක දෙක පහලට එන්න පටන් ගත්තා. 

නිදාගෙන හිටිය ෂයිනිගේ ඇඳ වටේට වට වෙලා කට්ටියම එයා දිහා බලාගෙන ඉන්න අතරේ ෂයිනිව බලන්න ආපු ඩොක්ටර් දඹර ඇඟල්ල තොල් දෙකට තියලා අනිත් අයට සංඥාවක් දීලා බලාගෙන හිටියේ පොඩිත්තො කරන්න යන දේ මොකද්ද කියලා එයාටත් බලන්න තිබුනු ඕනකම නිසයි.

" අපි දැන් යමු... ෂයිනි නැගිටහම එයාගේ තෑග්ග දෙන්න කියලා අපි ආන්ටිට දීලා යමු.. " විනාඩි පහලවක් විතර ගෙවුනට පස්සේ ෂයිනිගේ ටීච ළමයින්ගේ ඔළුව අතගාලා කරුණාවන්ත හඬකින් කිව්වා.

" ඉන්න ටීචර්.. මේ තෑග්ග බලනන්න ෂයිනි දැන් නැගිටියි.. අපේ මේ ඔතලා තියෙන කොලේ අයින් කරලා ඒක එයාගේ අතේ තියමු.. "

සින්නි තෑග්ග ඔතලා තිබුනු කොලේ අයින් කරලා ඇතුලේ තිබුණු ලස්සනම ලස්සන දෙව් දුවකගේ පිලිමය ෂයිනිගේ අත් දෙක උඩින් තිබ්බා. 

එහෙම කරලා පුංචි සින්නි වගේම එයාගේ යාළුවෝ ඔක්කෝමත් අත් එකට එකතු කරලා මුළු හදවතින්ම  දෙව් දුවගෙන් ඉල්ලුවේ එයාලගේ ෂයිනිව ඉක්මනට සනීප කරලා දෙන්න කියලා විතරයි.  

ඊට පස්සේ ගතවුන විනාඩි කීපය ගෙවිලා ගියේ හැමදෙනාම දෙනෙත් පියාගෙන දෙව් දුව දිහා බලාගෙන කරපු ප්‍රාර්ථනාවත් එක්කයි. 

" අම්මා... මේ බලන් ඒන්ජල් කෙනෙක්... "
 


Monday, September 28, 2015

90. දමනය 4


පෙ.ලි. - මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ නම් ඊට සමාව ඉල්ලන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. 




******* 


මෙලීසා යතුරු පුවරුවේ පාලයන තමන් අතට අරගත්තට පස්සේ මට වුනේ එයාට ඕන ඕන විදිහට නැටවෙන ලී රූකඩයක් වෙන්න. හරියටම කියනව නම් අර ස්ටෙප්ස් කඳු කඳු මුදුනේ තියෙන හුදකලා පොප්ලර් ගහක් හුලඟ හමන හමන පැත්තට නැමි නැමි ඉන්නවා වගේ මෙලීසා කියන කියන දේ කරන්න. 

හ්ම්.... ඒක මට කොහොමටවත්ම දරා ගන්න පුළුවන් දෙයක් වුනේ නෑ.  ඊටත් අර ඕප දූප මල්ලක් වෙච්ච රිබේකා විලියම්ස් ලඟින් මාවත් වාඩි කරවලා මගේ රසායන විද්‍යා පොතේ අන්තිම පිටුවේ මගේම පොල් අකුරෙන් " මෙලීසටත් එයාගේ ආදරවන්ත ගිල්බට්ටත් මම මුළු හදවතින්ම සුබ පතනවා " කියලා ලියෙව්ව එකත්, ඊට පස්සේ රිබේකා ඒකත් මුළු ඉස්කෝලේ පුරාම කලින්ටත් වඩා ඉක්මනින් පතුරවලා මාව කට්ටිය ඉස්සරහ ලැජ්ජ කරපු හැටිත් මතක් වෙනකොට මගේ මූණ ආම්ලික මාධ්‍යකට දාපු ලිට්මස් කෑල්ලක් වගේ රතු පාට වෙන හැටි කණ්නාඩියකින් නොබැලුවත් මට දැනෙන පටන් ගත්තා. 

කොහොම වුනත්  ඒ කිසි දේකට මගේ හිතේ මෙලීසා ගැන තිබුනු ආදරේ මකලා දාන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒක ඒ තරමටම හදවතේ කර්ණිකා කෝෂිකා වලට උරාගෙනයි තිබුනේ.

*******

"
හහ්.. හහ්.. හා...  ජෝෂුවා... ඔයා මාව පාලනය කරලා කරපු දේවල් හැම එකකටම දැන් ඔයාට වන්දි ගෙවන්න වෙයි....
 
මෙලීසා එයාගේ මූණට වැටුනු රන් වන් පාට කෙහෙරැල් දිගට වැවුණු රෝස පාට නියපොතු වල රෝල් කර කර කියද්දී මම හිටියේ තරහින් පුපුරන එයාගේ බීට් වයින් පාට ඇස් දෙක දිහා බලාගෙන.

" මේ අහන්න මෙලීසා... මට ඔයාට වරදක් කරන්න ඕනේ වුනේ නෑ.. මේ විදිහට ඔයා මට සැලකුවා වුනත් ඇත්තටම මම ඔයාට තාමත් ගොඩක් ආදරෙයි..  "

" නවත්ත ගන්නවා ජෝෂුවා ඔය කතාව.. ආපහු ඔය දේවල් මට ඇහෙන්න කියන්න එපා. මට දැන් ඕවයි
න් වැඩක් නෑ. "

" හ්ම්..... මගේ දැන් එකම හීනේ... මිස්ටය් හන්ටර්ගේ හිත දිනාගෙන මේ පාර රසායන විද්‍යා ව්‍යාපෘතියට හම්බෙන බ්‍රයන් වොට්සන් සම්මනේ ගන්නේ කොහොමද කියලා බලන එක. "  

" ම්...... කොහෙද මේ මිස්ටර් හන්ටර් ඉන්නේ... "

"අහ්...  මේ ඉන්නේ මෙගා මාර්ට් එකේ ගොල්ඩන් බාර් එකට වෙලා ෂැම්පේන් වීදුරුවක් බිබී, දුම් දාන ගෙඹිමස් ඩෙවල් එකක රස බල බල...  "

මෙලීසා ෆයිනස් ලීයෙන් හදපු කකුල් තුනේ උස ස්ටූල් එකේ තනි කකුලකින් යතුරු පුවරුවට බර වෙලා මිස්ට හන්ටර් දිහාවටම ඇස් යොමු කරගෙනයි හිටියේ.

" ඔන්න මම දැන් හැපල් හේගන් විද්‍යාලයේ හන්ටර් ඇලිවියේටර් මහතා මගේ මේ යතුරු පුවරුවේ ග්‍රහනයට හසු කර ගන්නවා... හහ්. හහ්.. හා.....  "

මෙලීසා පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දී මිස්ටර් හන්ටර්ව එයාට හිතෙන හිතෙන විදිහට පාලනය කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට එයාට තත්පර කාලෙන් දහයෙන් එකක තරම් කාලයක් වත් තිබුනේ නෑ එයා වාඩි වෙලා ඉන්න විදිහ ගැන ටික
ක් හිතලා බලන්න.

ගෙවිලා ගියේ වේලිච්ච ඔලිව් කොළයක් ගහෙන් බිමට වැටෙන්න යන තරම් කාලයකටත් අඩු කාලයක්.


" දඩ බඩාස් ඩොහ් ඩෝ... "

එකපාරට ඇහුනු මහ විසාල සද්දෙ නිසා වැහුනු ඇස් බාගෙට ඇරෙන්කොටයි මම දැක්කේ මෙලීසා දෙකට මැදින් කැඩුනු යතුරු පුවරුව උඩ වැටිලා ඉන්නවා.

"මෙලීසා.... ඔයා හොඳින් නේද ... මම එක පාරටම මෙලීසා ගාවට දුවගෙන ගියේ ආලෝකේ වේගෙ හා සමාන වේ
ගෙකින්."

ඒ වෙනකොටත් යතුරු පුවරුවේ නිල් පාට ලොකු බොත්තමක් මෙලීසගේ නලල පසාරු කරගෙන ගිහින් ලේ විදිමිනුයි තිබුනේ.  


මෙලීසාගේ සුදු පාට මූණ, රෝස පාට තොල්, රතු පාට පින්සලකින් ඕනවට එපාවට පාට කරලා වගේ ලේ වලින් නෑ විලා දුඹුරු පාට ඇස් පියවිලා තිබුනා.

වැටිලා හිටිය මෙලීසාව මම අත්දෙකට උස්සලා ගත්තේ දෙපාරක් හිතන්නේ නැතුවයි. ඊට පස්සේ ගේ ඉස්සරහ මිදුලේ නවත්තල තිබුන තාත්තගේ මොරිස් මයිනර් කාර් එකට මෙලීසාව දාගෙන පැයට කිලෝමීටර 80 කටත් වැඩි වේගෙකින් ලඟම තිබුනු හෙල්දි ලයිෆ් හොස්පිට්ල් එකට වාහනේ අරගෙන ගියේ  උඩට ගත්ත හුස්ම පහලට දාන්නේ වත් නැතුවයි.


*******

" තැන්ක්ස් ජෝෂුවා... මට සමාවෙන්න මම ඔයාට හුඟක් වැරදි විදිහට සැලකුවේ.. ඒත් ඔයා මාව බේර ගත්තනේ....  ඔයා මට උදව් නොකරන්න මම මේ වෙනකොට මේ ලෝකේ නොහිටින්නත් ඉඩ තිබුනා. "

" ඔයාට සිහිය ආව එක ගැන මට හුඟක් සතුටුයි.. ගෙවුනු දවස් දෙකේ ඔයා හෙලවෙන්නේ වත් නැතුව මේ ඇඳ උඩ ඉන්නවා මම බලාගෙන හිටියේ කොයි තරම අමාරුවෙන් ද කියලා මට විස්තර කරන්න බෑ
මෙලීසා... ඒ දවස් දෙක මට කල්පයක් වගේ. " 

මෙලීසා එයාගේ නලල බැන්ඩේජ් කරලා තිබුනු තැන ඇඟිලි වලින් පිරිමැද්දේ මොකක්දෝ දෙයක් ගැන විමසිල්ලෙන් බව මම කාමරේ ජනේලෙන් එලීයේ තිබුනු පයින් ගහ දිහා බලනකොට ඇස් කොනින් දැක්කා.

" ජෝෂුවා.. මොනාද ඔයා ඔය අත්දෙකෙන් පිටිපස්සට කරගෙන හංගගෙන ඉන්නේ ? කෝ පෙන්නන්න මට ? ම්...... මට දෙන්න ගෙනාපු තැඹිලි පාටයි සුදු පාටයි ජුලියට් රෝස් මල් පොකුරක් වත්ද ?  " මෙලීසා පුංචි ළමයෙක් වගේ ඇහුවේ හරිම හුරතල් විදිහකට.

" මෙලීසා මට පොරොන්දු වෙන්න ඔයා දුක හිතන්නේ නෑ කියලා.. " 

" හ්ම් okay ... කෝ බලමු " 

දෙකට කැඩුනු යතුරු පුවරුවේ කෑලි දෙකත් අටට කපපු පීට්සා එකක් වගේ පේන කණ්නාඩි කුට්ටමත් ජෝෂුවා මෙලීසගේ අත උඩ තියෙද්දී ඒ සුදු පාට අතේ රස්නේ ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. 

ඒ දුඹුරු පාට ඇස් වලින් ඇතුලට ගියේ දුකක්ද ? නැත්නම් සිද්ද වෙච්ච දේවල් ගැන කලකිරීමක්ද ? එහෙමත් නැත්නම් ?

ගතවුනේ විනාඩියක්ද, දෙකක්ද, පැයක්ද කියලා නොතේරුනේ මම මෙලීසගේ හිත කියවන්න උත්සාහ කරමින් හිටිය නිසයි.  

සිවිලිමේ ඈත කෙළවරක් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටිය මෙලිසා එකපාරටම මගේ දිහාට හැරුනේ මොකක් හරි අහන්න කියලා මට දැනුනේ තරු කැට දෙකක් වගේ දිලිසෙමින් එයාගේ ඇස් වල තිබුනු කුතුහලයත් එක්ක.

 " මිස්ටර් හන්ටර් ? "

" හ්ම්... එයා ICU එකේ.. "


***




Monday, September 21, 2015

89. පාර අයිනේ තියෙන වෙල්වට් කඳු..

කවුරුහරි තුශානිගෙන් අහුවොත් වැඩිපුරුම කන්න ආස පලතුරු පහක් කියන්න කියලා ඒ පලතුරු පහ අතර ගල් සියඹලා කියන නමත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තරමට තුශානි ගල් සියඹලා කන්න ආසයි. ඉතින් මේ දවස් වල පාරේ තොටේ යනකොට පාර අයිනේ තියෙන කරත්ත වල, පුංචි පුංචි කඩ වල ගල් සියඹලා කඳු නිතර දකින්න ලැබෙන නිසා කාන්දමකට ඇදෙන යකඩ කෑල්ලක් වගේ ඒ තැන් පහුකරගෙන යනකොට තුශානිත් නිකම්ම එතනට  ඇදිලා යනවා.  කොටින්ම කියනවා නම් ඔපීසියට එන මහ පාන්දර වුනත්, ධාරානිපාත වරුසා වෙලාවක වුනත්, මහ රෑ වුනත් වෙලාව නම් ඒකට කොහෙත්ම බලපාන්නේ නෑ..


ගල් සියඹලා එහෙමත් නැත්නම් Velvet Tamarind වල විද්‍යාත්මක නාමDialium indum

පිට පොත්ත හරියට වෙල්වට් එකක් වගේ නිසා පිට පොත්තෙ තියෙන්න හරි අමුතු ලස්සනක්. හැබැයි ඉතින් පිට පොත්ත හොඳ ලස්සනට තිබුනට ඇතුලේ පණුවෝ එහෙම ඉන්නවද කියලා බලලම තමයි කන්න නම් ගන්න ඕනේ. ගල් සියඹලා සාමන්‍යයෙන් ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් තමයි යුක්තවෙන්නේ. සි‍යඹලා වලට සාපේක්ෂව නම් ටිකක් පැණි රසින් වැඩියි.

ගල් සියඹලා දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැඩිපුර හැදෙන පළතුරු වර්‍ගයක්. ලංකාවේ නම් මොනරාගල දිස්‌ත්‍රික්‌කය තුළ හා නැගෙනහිර පළාතට අයත් හුලන් නුගේ, පානම, ලාහුගල, යන ප්‍රදේශවල ගල් සියඹලා සරු අස්‌වැන්නක්‌ ලැබෙනවා.

මුලින්ම තුශානි ගල් සියඹලා කාපු දවස හරි හැටි මතක නොතිබුනත් අවුරුදු 6 දී විතර ගල් සියඹලා ඉල්ලලා කරපු උපවායක් නම් තාමත් හොඳට මතකයි හි.. හි.. 

ගෙදර අයත් එක්ක අනුරාධපුරේ ගිය වෙලාවක බිම වැටිලා තිබුනු ගල් සියඹලා පොතු ටිකක් දැකලා ගල් සියඹලා අරගෙන දෙනකන්ම එදා කුරු කුරු ගාපු හැටි අම්මා මේ ලඟදී දවසකත් මම ගල් සියඹලා කන වෙලාවක මතක් කලා. සාමාන්‍යයෙන් මම පුංචි කාලේ එක එක දේවල් ඉල්ලලා කරදර කරන කෙනෙක් නොවුනත් එදා එහෙම කලේ ඇයි කියන එක අම්මට තාම හිතා ගන්න බෑලු. 

කොහොමින් කොහොමහරි එදා ඒ අවට කිසිම තැනක ගල් සියඹලා නොතිබුන බවත් තාත්තා හැම තැනම ඇවිදලා සෑහෙන දුරක් ගිහින් අන්තිමට ගල් සියඹලා බෑග් එකක් අරගෙන ඇවිත් මට දීලා මාව උකුල උඩ තියාගෙන ඒවා පොතු ඇරලා, පණුවෝ එහෙම ඉන්නවද කියලා හොඳට බලලා මට කන්න දීපු හැටිත් තාමත් මට අද ඊයේ වගේ මතකයි.  




" ඕවායේ හරියට පණුවෝ ඉන්නවා... හොඳට බලලා දෙන්න.. " ඔය වචන පේලිය රෙකෝඩ් කරපු වාක්‍ය ඛන්ඩයක් වගේ අම්මා සැරින් සැරේ කියන හැටිත්, අන්තිමට අම්මත් ඇවිත් එතනට වෙලා ගල් සියඹලා පොතු ඇරලා දුන්න හැටිත් හරිම සුන්දර මතකයක්. 

අදටත් ඉතින් ගල් සියඹලා බෑග් එකක් ගෙදර අරගෙන ගියාම එයිනුත් වැඩි ප්‍රමාණයක් කන්නේ මමම තමයි. ඒ වගේම මගේ මේ ගල් සියඹලා කෑමේ ලෙඩේ ලඟදී දවසක මාත් එක්ක ඉන්න තවත් කෙනෙක්ටත් බෝ කරලා, පණුවෝ  කිය කිය ගල් සියඹලා නොකා හිටිය කෙනෙක්ට පණුවොත් එක්කම ගල් සියඹලා කවපු සිද්දියකුත් මේ ගල් සියඹලා කතා අතරේ තියෙනවා. 

" මේ ඒවා හරිම කිරි රසයි නේද ? " කියලා එයා කියන කොටම මට මතක් වුනේ අනිවාර්යයෙන්ම මෙයා නම් පණුවොත් එක්ක කන්න ඇති කියලා. මොනව කරන්නද ඉතින් මුකුත් කියන්නත් බැරි නිසා මම කිව්වා " හැබැයි ඇඹුල් රසකුත් තියෙනවා... "  කියලා. හි..හි.. ඇයි ඉතින් දෙනකොටම කියලනේ දුන්නේ පණුවෝ ඇති බලල කන්න කියලා. බලලා කන්න එපැයි. කොහොම වුනත් එයා මගේ ගල් සියඹලා සංගමයේ සාමාජිකත්වය අරගත්ත එක ගැන නම් මට සතුටුයි.



ඉතින් මම වගේම මේ විදිහට ගල් සියඹලා වලට කැමති, අපේ බ්ලොග් ලියන අයත් ඕනෑ තරම් ඇති. දැන් කියන්න බලන්න මෙහෙත් සාමාජිකත්වය ගත්ත කට්ටිය ඉන්නවද කියලා.

Monday, September 7, 2015

88. මතකද කියලා කියන්න ...


රෑ අහසෙන් තරු කැටයක්
අරන් ඇවිත් සීරුවකට
හදේ කොන එල්ලාලා
මතකද ඔබ එලිය කලා

මුහුදු පතුලේ සැඟවී ඇති
මුතු අහුරක් අරන් ඇවිත්
අමිල මුතු පොටක් බැන්දා
මතකද ඔබ ආදරයේ 

මල් ගොමුවක සුවඳ අරන්
කැටි කරලා හරි පදමට
ජීවිතයට මිහිරි සුවඳ
මතකද ඔබ එක්කල හැටි

වැහි බිඳු පිරි වලාකුලක්
විලස ඇවිත් මා අසලට
දහසක් පැතුමන් පොදිකර
මතකද ඔබ දුන්නා මට
 
හිරු එලියට බයේ දුවන
අඳුර වගේ මගේ ලොවට
එලිය වෙලා අඳුර මකා
මතකද ඔබ එකලු කලා
 
හඳේ තියෙන සොමි ගුණයට
නොදෙවෙනි ඔබෙ කරුණා ගුණ
නොඅඩුව මා වෙතට දීලා
මතකද හිටියා නිහඬව

මුවෙන් නැගෙන සිනා අහුරු
නෙතින් ගලා හැලෙනායුරු
මා දුටුවේ ඔබෙන්ම බව
මතකද කී හැටි ලඟ හිඳ

~~ *** ~~

Monday, August 17, 2015

87. බෝම සැලකිලි අද මට ...


කළුවරේ පාළුවේ තනියම
දූවිල්ලේ කාමරේ මුල්ලක
හිටි කාලේ විරාමය ලැබ ගෙන
බෝම  සැලකිලි අද මට  

මකුළු දැල් පිස දාගෙන
අළුත් පැහැ තවරා ගෙන
දෝතින්ම තුරුළු කර මා ගත
ගෙන ගියා පුරුදු ගම්මානේට

පිරුවටය එළු මේසේ මත
තබා බෝ ගරු සරුව හැම දෙන
හතේ කණිසම වෙනකොට
වැඳ මනාපය දුන්නා මට  

පෝලිමේ පෙළ ගැහී හැම දෙන
මනාපය ම' වෙත දෙනවිට
ඇමති වරු මා අසල හිඳගෙන
ඡායා රූප හරි හරියට

මා දෙසම නෙත් යොමා අවසන
හතරේ කණිසම වන විට
යලිත් දෝතින්ම ගෙන මම
යයි පැතුම් පොදි බැඳගෙන

අයෙක් ජය පැන් බොන විට
කෙනෙකු පරදියි අද දින
රාජකාරිය නිම කර
මා නැවත යනවා අඳුරු කුටියට
 


Tuesday, August 11, 2015

86. ඉරිදට කරන්න හොඳ වැඩක් ...


ඉරිදා දවස කියන්නේ හුඟ දෙනෙක්ට නිවාඩු දවසක්. ඒත් මම එහෙම කිව්වට, සමහර අය නම් කියයි  "අපොයි නෑ... ඉරිදට තමයි අපිට වැඩ වැඩිම කියලා".  රස්සාවට ගිහින් කරන වැඩ වගේ දෙතුන් ගුණයක වැඩ ප්‍රමාණයක් අපිට ඉරිදට කරන්න තියෙනවා කියලත් කියයි. ගෙදර දොර අස්පස් කරන්න, වත්තේ පිටියේ වැඩ, කඩේ/පොලේ ගිහින් ගෙදරට ඕනේ දේවල් ගේන්න, රෙදි සෝදන්න, වගේ වැඩ ගොඩක් ඉරිදට කරන්න තියෙනවා කියලා අනිවාර්යයෙන් කියයි... 

ඉතින් ඔන්න අද තුශානි හදන්නේ ඒ වැඩ ගොඩට තවත් එක වැඩක් එකතු කරන්න.  "මේ තියෙන වැඩ ටිකත් බොහොම අමාරුවෙන් කර ගන්න එකේ මෙයා මේ තවත් වැඩ කියනවා" කියලා දැන් මට බනි
න්න පට ගන්න එහෙම එපා ඔන්න.
 

නොඑන ගමනක දුක්බර මතකය .... පොස්ට් එකේදී මතකයි නේද තුශානි, තුශානිගේ සීයා ගැන කිව්වා.  සීයා, සීයාගේ කාලයෙන් වැඩි කොටසක්ම යෙදෙව්වේ ගහ කොලත් එක්ක ගතකරන්න . ඒ නිසාම ගෙවතු වගාවටත් සීයා ගොඩක් ආස කලා. වැටකොළු, පතෝල, බණ්ඩක්කා, වම්බටු, කරවිල, රාබු වගේ එළවළු වර්ගත් පලතුරු වර්ගත් වලින් මුළු වත්තම ඒ දවස්වල පිරිලයි තිබුනේ.

වත්ත විතරක් නෙවෙයි ඒ දවස් වල අපේ ගෙදර උඩ තට්ටුව හදලා නොතිබ්බ නිසා ඒ ඉඩ කඩත් සීයා සීයාගේ වගාවන් වලට යොදා ගත්තා. ස්ලැබ් එක උඩ පස් පුරවපු පෝර උර තියලා ඒ පොර උර වල තමයි සමහර එළවළු පැල හිටෙව්වේ. ඒ විතරක් නෙවෙයි සීයා තුශානිටත් පෝර උර හදලා දෙනවා පැල හිටවන්න. ඉතින් ඒවායේ පැල ලොකු වෙලා ඵලදාව ලැබෙනකොට
තුශානි අත්විඳපු සතුට අදටත් ජීවිතේ හරිම සුන්දර මතකයක්.

ඉතින් පහුගිය දවස් වල ඒ අතිත මතකයන් එක්ක ඉන්න වෙලාවක තුශානිට අයෙමත් හිතුනා පුංචි වගාවක් පටන් ගන්න.

වගාව පටන් අරගෙන ටිකෙන් ටික දවස් ගෙවිලා ඵලදාව නෙලා ගන්න කාලෙත් ඉක්මනම ලං වුනා. මේ තියෙන්නේ ඒ ඵලදාවේ පින්තුර ටිකක්. බලන්නකෝ කොහොමද කියලා.












කලින් පෝස්ට් එකක කියපු අමුත්තගේ වර්තමාන තත්වෙත් බලන්නකෝ.. මේ සැරේ අමුත්තෝ ගොඩයි... 









ඉතින් ඔයාලත් තියෙන වැඩ රාජකරිත් එක්ක පුංචි වෙලාවක් වෙන්කරගෙන පුළුවන් විදිහකට මේ වගේ එළවළු පැලයක් දෙකක් හිටවන්න. ඒකෙන් වස විසෙන් තොර කෑමක් කන්න පුළුවන් වෙනවා වගේම හිතටත් ලොකු සතුටක් ලබන්න පුළුවන්. එළවළු මිලදී ගන්න යන වියදමත් ඒකේන් අඩු වෙන නිසා ඒක සාක්කුවටත් වාසියක්නේ. 
 

Related Posts Plugin for WordPress, Blogger...