Wednesday, September 6, 2017

124. පපඩම් ...




     

පපඩම් කියන්නේ ලොකු පොඩි  අපි කවුරුත් කන්න කැමති කෑමක්. බත් එක්ක පපඩම් කෑල්ලක් තියෙනවා නම් කන්න අකමැති දේවල් එක්ක උනත් බත් කටවල් දෙක තුනක් කන්න අපි බෑ කියන්නෙ නෑනෙ.. එහෙම නේද ?


පපඩම් ගැන කියනකොට එකපාරටම තුශානිගේ මතකෙට එන්නෙ පුංචි කාලේදි අම්මා, හොඳට පිපිච්ච පපඩම් වලට රසට අනපු බත් පුරවලා කන්න දීපු හැටි. බත් පුරෝපු පපඩම් දෙකක් පිඟානේ තියාගෙන හරි බරි ගැහිලා වාඩි වෙලා අම්මා කියලා දුන්න කවියකුත් කිය කියමයි තුශානි ඒක රස කර කර කන්නේ. හි.. හි...
       

හොඳට පිපුණු පපඩමක්

ගැහුවා කරනමක්

අනේ කුඩු වෙල ගියා
ඉතින් නෑ දඟක්...


පපඩම් වලට අප්පාලම්, පොපඩම් කියලාත් කියනවා. පපඩම් වල ආරම්භය සිද්ධ වුනා කියලා විශ්වාස කරන්නෙ නම් ඉන්දියාවේ. උඳු, කඩල, වගේ රනිල බෝග පිටි වර්ග මේ පපඩම් හදන්න යොදා ගන්නවා.

පපඩම් කන්න කැමති උනත් වෙළඳපොලේ තියෙන පපඩම් වල ගුණාත්මක භාවය ගැන සමහර වෙලාවට අපේ හිතට සැකයක් ඇතිවෙන අවස්ථාත් නැතුවම නෙවෙයිනෙ. ඉතින් ඒ නිසාම අද තුශානි හිතුවා ගෙදරදීම පපඩම් හදා ගන්න විදිහ ඔයාලට කියලා දෙන්න.


ඔන්න  එහෙනම් කොළයක් පෑනක් අරගෙන ලියාගන්න මුලින්ම ඕන කරන දේවල්.

උඳු පිටි 500g ( උඳු පිටි වෙනුවට හාල් පිටි , උඳු පිටි මිශ්‍රණයක් හරි කඩල පිටි, හාල් පිටි, උඳු පිටි මිශ්‍රණයක් හරි උනත් යොදා ගන්න පුළුවන් .)
සූදුරු තේ හැදි 1
අසමෝදගම් ඇට තේ හැදි 1
බේකින් සෝඩා තේ හැදි 1/4
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
තෙල් ටිකක්



හරි... දැන් කියන්න යන්නේ හදන හැටි.

භාජනයක් අරගෙන තෙල් ඇර  අනෙක් හැමදේම ඒ භාජනේට දාලා හොඳට මිශ්‍ර කර ගන්න ඕනෙ. ඊට පස්සේ ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.

අනා ගත්ත මිශ්‍රණය  ( පිටි මෝලිය /පිටි ගුලිය) පැය 2ක් විතර පොලිතීන් ඉටි කවරයකින් (Cling film) වහලා තියලා තියන්න ඕනේ.

ඊට පස්සේ පිටි මෝලිය අරගෙන ඒකේ තෙල් ටිකක් ගාලා බරින් වැඩි රෝලින් පින් එකකින් මිටියකින් ගහන  විදිහට ටිකක් මෘදු වෙනකන් පිටි මෝලිය තලා ගන්න.

ඊලඟට පිටි මෝලිය පොඩි බෝල වලට කඩා ගන්න. රෝලින් පින් එක ආදාරයෙන් ඊට පස්සේ ඒවා හීනියට තුනී කර ගන්න.

තුනී කරගත්තට පස්සේත් ඇලෙන සුළු ගතියක්  තියෙනවා නම් රෝලින් පින් එකේ සහ පපඩම් තුනී කර ගැනීමට ගන්නා පෘෂ්ඨයේ මතුපිට තෙල් ස්වල්පයක් තවරා ගන්න ඕනේ.

හදා ගත්ත පපඩම් ටික දවසක් හෝ දෙකක් තද අව්වේ හොඳින් වේලෙන්න තියලා තෙතමනය, සුළං නොවදින්න අසුරා ගන්න. දැන් ඉතිං ඕන උනහම බැදගෙන කන්න තමයි තියෙන්නෙ.

මේ විදියට හදා ගත්ත පපඩම් සති 2 සිට මාසයක් දක්වා වගේ කාලයක් කල් තියා ගන්න පුළුවන්.

කැමති නම් මේකට හොඳින් අඹරා ගත් සුදු ලූණු ටිකක්, වේලලා කුඩු කර ගත් කරපිංචා ටිකක්, කෑලි මිරිස් ටිකක් වගේ තම තමන්ගේ රස අනුව එකතු කර ගන්න පුළුවන්.

හරිනෙ එහෙනම්, මේ සති අන්තේ පපඩම් ගෙදරදිම හදලා හොඳට පිපිච්ච පපඩම් දෙක තුනකට බත් ටිකකුත් පුරෝලා කාලාම කියන්නකෝ කොහොමද කියලා...



~*~







Related Posts Plugin for WordPress, Blogger...