Friday, April 12, 2019

129. අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් ...




ලස්සන වටපිටාවක් ගැන කතා කරද්දි අලුත් අවුරුද්දට නෑගම එන පොලිතින් බෑග් ගැනත් කතා නොකරම බෑනෙ. ඉතින් අවුරුද්දට ඉස්සෙල්ලා මේ කියන්න යන පුංචි පුංචි දේවල් ටික ගැන ඔයාලගේ අවදානය යොමු කරන්න පුලුවන් නම් මේ අවුරුද්ද වෙනදටත් වඩා ලස්සන අවුරුද්දක් වෙයි කියලා තුශානි විශ්වාස කරනවා.

මුල්ම දේ තමයි ගෙදරට පොලිතින් බෑග් එන ප්‍රමාණය අඩු කරගන්න එක. පොළට , කඩේට එහෙමත් නැත්තම් සුපිරි වෙළඳසැලකට යනකොට රෙදි හරි, වේවල් හරි, පන් හරි බෑග් එකක් මතක ඇතුව ගෙනියන්න පුළුවන් නම් ගෙදරට එන පොලිතින් බෑග් ප්‍රමාණයක් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. .

එහෙම අපහසු නම් අඩුම බෑග් ගානක් පාවිච්චි කරලා මිලදී ගන්න දේවල් දාගෙන එන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනව නම් එක ඒක එළවලු වර්ගයට එක එක බෑග් ගන්නේ නැතුව එකම බෑග් එකක එළවලු කීපයක් දාගෙන එන්න පුළුවන් නම් ගෙදරට ගේන බෑග් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා.

ඒ  වගේම ගෙදරට ගෙනාපු බෑග් කෙලින්ම කුණු කූඩෙට දාන්නෙ නැතුව ආපහු පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියනවා නම් පාවිච්චි කරන එකෙනුත් ගෙදරට එන බෑග් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම පාවිච්චි කරන්න බැරුව ඉවත දාන ඒවා ගෙදර අනෙක් අපද්‍රව්‍ය එක්ක එකට දාන්නෙ නැතුව වෙනමම වෙන් කරලා ඉවත් කරන්න කටයුතු කරනවා නම් දිරන දේවල් එක්ක පොළවට පොලිතින් එකතුවෙලා වෙන හානිය වලක්වගන්න පුළුවන්.

ඒත් එක්කම අවුරුදු කාලේ ගෙවෙල් වලට ගෙනියන කැවිළි පෙවිලි, තෑගි බෝග පොලිතින් උර වල දාගෙන යනවා වෙනුවට ලස්සන කඩදාසි බෑග්, රෙදි බෑග් වල වගේ දාගෙන යන්න පුලුවන්නම් පුංචි වෙනසක් එක්කම අමුතු ලස්සනකුත් තියෙයි.

ම් ... කඩදාසි පිඟානක් උඩ කැවිලි තියලා කඩදාසි පෙට්ටියක දාලා කැවිලි පෙට්ටියක් අරන් ගියොත් ලස්සනයි වගේම  කට්ටිය අකමැති වෙන එකක් නෑ නේද.

නිර්මාණශීලීව හිතලා බැලුවොත් තව ගොඩක් දේවල් තියෙයි පොලිතින් බෑග් වෙනුවට පාවිච්චි කරන්න. ඉතින් ලබන්නාවු අවුරුද්ද පරිසරයට හිතකාමී විදිහට ගතකරන්න හිත් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තුශානි අදට නවතිනවා.  අලුත් අමුත්තිගෙ පළවෙනි අවුරුද්ද නිසා තුශානිටත් වැඩ ගොඩක් තියෙනවා කරන්න.


හැමෝටම සාමය, සතුට, සෞභාග්‍ය පිරිණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 





Friday, March 8, 2019

128. ජීවන ගමනේ චරිත මවන්නිය ඇයයි ...


දියණිය විලස පැමිනෙයි ඇය               කැදැල්ලට
වෙයි සොයුරියක් සොහොයුර සොහොයුරියන්  හට
යෙහෙලිය ලෙසින් මිතු දම් රකිමින්             සැමට
වෙයි තරුණියක් ළදැරිය දින ගෙවෙන            විට


පෙම්වතියක් වෙමින් ඇය බිරිඳක්              ලෙසට
පතිකුලයට පිය නගයි නව දිවියක්             වෙතට
මව් පදවියක් දරමින් ඇය                       දරුවනට
මිත්තනියක් වෙයි මුණුපුරු              මිණිපිරියන්ට



ජීවන ගමනේ විවිධ වු භූමිකාවන් නිරූපනය කරමින්
පවුලට , රටට , ලෝකයට
වැඩදායි වූ මෙහෙයක් ඉටු කරන
සියළු කතුන්ට
උපහාරයක් වේවා !


 

Tuesday, February 12, 2019

127. තාත්... තත්තත් තා....

" තාත්... තත්තත් තා.... " මේ බලන්නකෝ.. බබා තාත්තා කියනවා... මම ගෙට ගොඩ වෙනකොටම තොටිල්ලට වෙලා කියව කියව ඉන්න බබා දිහා බලාගෙන අම්මා කිව්වා... " ඒ තාත්තා කියනවද ? " මම අහුවෙ හිතා ගන්න බැරි පුදුමෙන්.. ඔව් මෙයත් පොඩි කාලේ ඔහොමම තමයි නේද කිව්වේ.. අම්මා තාත්තා දිහාවට හැරුනා. එතකොට තාත්තගෙ මූණෙත් තිබුනෙ වචනෙන් විස්තර කරන්න බැරි සතුටක්.


මේ වෙනකොට තුශානි නිවාඩු ඉවර වෙලා ඔපීසියට යන්න පටන් අරගෙන නිසා දෝනිව බලාගන්නේ, කවන්නේ, පොවන්නේ, නාවන්නේ ආදී දවල් කලේ සියළුදේ සිද්ද වෙන්නේ තුශානිගෙ අම්මගෙයි තාත්තගෙයි අතින්. ඉතින් අම්මයි තාත්තයිත් දෝනි එක්ක දැන් ආපහු තුශානිගේ පුංචි කාලෙට ගිහින් දෝ කියලත් වෙලාවකට තුශානිට හිතෙනවා.

" ඔයා පොඩි කාලේ තාත්තා වැඩට ගියානේ.. ඒ හින්දා ඔයාගේ වැඩ වලට තාත්තට උදව් වෙන්න වැඩිය කාලයක් තිබුනෙ නෑ.. බලන්නකෝ දෝනිගෙ වැඩ වලට නම් සීයා හරියට මහන්සි වෙනවා."

අපේ අම්මා කියන විදිහට මම පොඩි කාලේ තාත්තා වැඩට ගිය නිසා මගේ වැඩ කරගන්න අම්මට ලොකු සහයෝගයක් දෙන්න තාත්තට වෙලාවක් තිබිලා නෑ. අම්මත් රැකියාවක් කරපු නැති නිසාත් ආච්චි ඒ කියන්නෙ අම්මගෙ අම්මා හිටිය නිසාත් මගේ වැඩ වලට තාත්තාගෙ සහයෝගය නොතිබ්බා කියන එක ලොකු ගැටලුවක් වෙලත් නෑ. ඒත් අද අපේ තාත්තා විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න නිසා මගේ දෝනිගේ හැමදේටම අම්මට තාත්තා ලොකු සහයෝගයක් හරි සතුටින් ලබා දෙනවා.

" දුවලා වැඩිපුර ආදරේ තාත්තලාටලු.. " ඒ නිසාද දන්නෙ නෑ අපේ දෝනිත් ඉස්ස ඉස්සෙල්ලාම තාත්තා කියලා බහතොරන්න ගත්තේ.. හපොයි හපොයි එහෙම හිතනොකොට නම් ටිකක් හිතට දුකයි. ඒත් හිතට එකඟවම ගත්තොත් තුශානිත් වැඩිපුරම ආදරේ තාත්තට කියන එක පිලිගන්නම වෙනවා. 

කොහොම වුනත් ඊයෙ දවස මගේ තාත්තටත් දෝනිගේ තාත්තටත් ගොඩක් විශේෂ දවසක් උනා. ඒ මගේ තාත්තගෙ උපන්දිනේත් ඊයෙට යෙදිලා තිබුන නිසා...




තුශානිගෙ ජීවිතේ තාත්තා කියන්නේ වීරයෙක්. බොහොම සරලව ජීවත් වෙන්න, ජීවිතේ බාදක කම්කටොලු වලට හිනාවකින් සැහැල්ලුවෙන් මුහුණදෙන්න තාත්තට තියෙන හැකියාව ඇත්තටම හරි පුදුමාකාරයි.


ඒ හැම දේ එක්කම මගේ දෝනිටත් ආදරණීය සීයා කෙනෙක් විදිහට බොහොම සුන්දර වට පිටාවක් ගොඩ නගන්න අදටත් මගේ තාත්තා ඇප කැප වෙලා ඉන්නවා කියලා හිතෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.


ඉතින් ඊයෙ දවසට විතරක් නෙවෙයි හැමදාටම සතුට, වාසනාව, නිදුක් නීරෝගී බව මුලු හදවතින්ම අපි  තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බව දැන ගෙන හිටියත් තාත්තා ඒ කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු නෙවෙන බව නම් තුශානි හොඳාකාරවම දන්නවා...








Friday, February 1, 2019

126. 2019 ට අලුත් ආරම්භයක් ...


කාලෙකින් මොනාහරි ලියන්න හිතුවත් කොහෙන් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...

හ්ම්.. ඔව් ඔව්... අවුරුද්දකට විතර පස්සෙ තමයි. 2018 අවුරුද්දට මුකුත්ම ලියන්න බැරි උනා. ඉන්නකො ඉතින් බනින්න පටන් ගන්නෙ නැතුව නිදහසට කාරනා ටික කියනකල්...

2018 අවුරුද්ද තුශානිගෙ ජීවිතේ විශේෂ අවුරුද්දක්. රෝස කැලෙන් පුංචි දෝණියෙක් ගෙදරට ගේන්න පෙරුම් පුරා ගෙන ඉදලා ඒ හීනෙ හැබෑ කර ගත්ත අවුරුද්ද තමයි 2018 අවුරුද්ද කියන්නෙ. ඉතින් එකතු වුනු අලුත් අමුත්ති එක්ක කාලෙ ගෙවිලා ගියා දැනුනෙවත් නැති තරම්.

2018 එහෙම ගෙවිලා ගිහින් 2019 උදා වුනේ අභියෝග ගොඩක් එක්ක.

උදේ පාන්දර සුරංගනාවියෝ එක්ක හිනා වෙවී සැපට නිදාගෙන ඉන්න දෝණිගෙ මූණ ඉඹලා කදුළු පුරෝගෙන ඔපිස් යන එක කොයි තරම් නම් අමාරු වැඩක්ද කියල හිතා ගන්න පුළුවන් ඇතිනෙ. ඉතින් නිවාඩු ඉවර වෙලා ඔපීසියටත් දුවන්නත් ඔපීසියෙ වැඩ ටික ඉක්මනට ඉවර කරලා අලුත් රාජකාරි ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න ගෙදර දුවගෙන එන්නත් කාලෙත් එක්ක ලොකු සටනක් කරගෙන යනවා. ටිකක් මහන්සියි තමයි. ඒත් දෝණිගෙ හිනා මූණ දකින කොට ඒ මහන්සිය නිකම්ම නැතිවෙලා යනවා.  

ඉතින් ඔන්න ඔය කාරණා නිසා පුරුදු විදිහට බ්ලොග් අවකාශෙ සැරිසරන්න කාලා වේලා වෙන් කරගන්න එක දැන් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි..

කොහොම වුනත් පොඩි හරි වෙලාවක්  අරගෙන මේ පැත්තට ඇවිත් යන්න ඕනෙ කියලා හිතුන නිසයි 2019 අවුරුද්දට ආරම්භයක් විදිහට අද මේ post එක ලිව්වේ. 

ඉතින් තොරතුරු බෙදා ගන්න ඉස්සර වගේම මේ පැත්තට කට්ට්ය ගොඩ වෙලා යයි කියලා තුශානි විශ්වාස කරනවා...






Wednesday, November 1, 2017

125. නෞකාව හා බැඳි ජීවන නෞකාව ..




පරතෙරක් නොපෙනෙනා සයුරක
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...

    
 
පහන් තරුවෙන් එළිය ලැබගෙන
මින් රැලෙන් මග විමසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු
දක්නා රිසින්...


යකඩ බඳ ලෙස ජීව ලද මුත්
ප්‍රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටීගෙන
පසු නොබා පෙරටම යමින්...
   

ජීවිතෙත් මෙය මැයි පසක් කර
දුක සතුට රළ පසුකරන්
ගමන අවසන නැංගුරමලා
නැවත ගමනක මතු දිනේ...  

 ~*~


Wednesday, September 6, 2017

124. පපඩම් ...




     

පපඩම් කියන්නේ ලොකු පොඩි  අපි කවුරුත් කන්න කැමති කෑමක්. බත් එක්ක පපඩම් කෑල්ලක් තියෙනවා නම් කන්න අකමැති දේවල් එක්ක උනත් බත් කටවල් දෙක තුනක් කන්න අපි බෑ කියන්නෙ නෑනෙ.. එහෙම නේද ?


පපඩම් ගැන කියනකොට එකපාරටම තුශානිගේ මතකෙට එන්නෙ පුංචි කාලේදි අම්මා, හොඳට පිපිච්ච පපඩම් වලට රසට අනපු බත් පුරවලා කන්න දීපු හැටි. බත් පුරෝපු පපඩම් දෙකක් පිඟානේ තියාගෙන හරි බරි ගැහිලා වාඩි වෙලා අම්මා කියලා දුන්න කවියකුත් කිය කියමයි තුශානි ඒක රස කර කර කන්නේ. හි.. හි...
       

හොඳට පිපුණු පපඩමක්

ගැහුවා කරනමක්

අනේ කුඩු වෙල ගියා
ඉතින් නෑ දඟක්...


පපඩම් වලට අප්පාලම්, පොපඩම් කියලාත් කියනවා. පපඩම් වල ආරම්භය සිද්ධ වුනා කියලා විශ්වාස කරන්නෙ නම් ඉන්දියාවේ. උඳු, කඩල, වගේ රනිල බෝග පිටි වර්ග මේ පපඩම් හදන්න යොදා ගන්නවා.

පපඩම් කන්න කැමති උනත් වෙළඳපොලේ තියෙන පපඩම් වල ගුණාත්මක භාවය ගැන සමහර වෙලාවට අපේ හිතට සැකයක් ඇතිවෙන අවස්ථාත් නැතුවම නෙවෙයිනෙ. ඉතින් ඒ නිසාම අද තුශානි හිතුවා ගෙදරදීම පපඩම් හදා ගන්න විදිහ ඔයාලට කියලා දෙන්න.


ඔන්න  එහෙනම් කොළයක් පෑනක් අරගෙන ලියාගන්න මුලින්ම ඕන කරන දේවල්.

උඳු පිටි 500g ( උඳු පිටි වෙනුවට හාල් පිටි , උඳු පිටි මිශ්‍රණයක් හරි කඩල පිටි, හාල් පිටි, උඳු පිටි මිශ්‍රණයක් හරි උනත් යොදා ගන්න පුළුවන් .)
සූදුරු තේ හැදි 1
අසමෝදගම් ඇට තේ හැදි 1
බේකින් සෝඩා තේ හැදි 1/4
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
තෙල් ටිකක්



හරි... දැන් කියන්න යන්නේ හදන හැටි.

භාජනයක් අරගෙන තෙල් ඇර  අනෙක් හැමදේම ඒ භාජනේට දාලා හොඳට මිශ්‍ර කර ගන්න ඕනෙ. ඊට පස්සේ ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.

අනා ගත්ත මිශ්‍රණය  ( පිටි මෝලිය /පිටි ගුලිය) පැය 2ක් විතර පොලිතීන් ඉටි කවරයකින් (Cling film) වහලා තියලා තියන්න ඕනේ.

ඊට පස්සේ පිටි මෝලිය අරගෙන ඒකේ තෙල් ටිකක් ගාලා බරින් වැඩි රෝලින් පින් එකකින් මිටියකින් ගහන  විදිහට ටිකක් මෘදු වෙනකන් පිටි මෝලිය තලා ගන්න.

ඊලඟට පිටි මෝලිය පොඩි බෝල වලට කඩා ගන්න. රෝලින් පින් එක ආදාරයෙන් ඊට පස්සේ ඒවා හීනියට තුනී කර ගන්න.

තුනී කරගත්තට පස්සේත් ඇලෙන සුළු ගතියක්  තියෙනවා නම් රෝලින් පින් එකේ සහ පපඩම් තුනී කර ගැනීමට ගන්නා පෘෂ්ඨයේ මතුපිට තෙල් ස්වල්පයක් තවරා ගන්න ඕනේ.

හදා ගත්ත පපඩම් ටික දවසක් හෝ දෙකක් තද අව්වේ හොඳින් වේලෙන්න තියලා තෙතමනය, සුළං නොවදින්න අසුරා ගන්න. දැන් ඉතිං ඕන උනහම බැදගෙන කන්න තමයි තියෙන්නෙ.

මේ විදියට හදා ගත්ත පපඩම් සති 2 සිට මාසයක් දක්වා වගේ කාලයක් කල් තියා ගන්න පුළුවන්.

කැමති නම් මේකට හොඳින් අඹරා ගත් සුදු ලූණු ටිකක්, වේලලා කුඩු කර ගත් කරපිංචා ටිකක්, කෑලි මිරිස් ටිකක් වගේ තම තමන්ගේ රස අනුව එකතු කර ගන්න පුළුවන්.

හරිනෙ එහෙනම්, මේ සති අන්තේ පපඩම් ගෙදරදිම හදලා හොඳට පිපිච්ච පපඩම් දෙක තුනකට බත් ටිකකුත් පුරෝලා කාලාම කියන්නකෝ කොහොමද කියලා...



~*~







Tuesday, June 27, 2017

123. මොනාද ... ගෙනාවේ...

ඔපීසියෙයි ගෙදර දොරේයි වැඩ රාජකාරී එක්ක පහුගිය ටිකේ නිකම්ම කාලේ ගතවලා ගිය නිසා බ්ලොග් එක පැත්තට වැඩිය එන්නවත් තුශානිට අවස්ථාවක්  ලැබුනෙ නෑ. ඉතින් අදවත් මොනාහරි ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් ගොඩ දවසකින් මුකුත් ලිව්වේ නැති ලියන්න දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තමයි ඔන්න මගේ අලුත් යාළුවා මාව හොයාගෙන දුවගෙන ආවේ... 

" පුංචි... හෙට මට මුකුත් ගේන්න එපා ... "


හවසට ගෙදර ගිහින් ගේට්ටුව අරින සද්දෙට කොහේ හරි ඉඳලා එක පාරට මතුවෙලා " ගෙනාවෙ... මොනාද... මොනාද ... ගෙනාවේ... " කිය කිය තාලෙට අහන එයා ටිකක් බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා.

" ඒ මොකද ඒ ... පුංචිත් එක්ක තරහ වෙලාද ? " 


" නෑ නෑ... තරහ නෑ පුංචී... ඒත් මට හැමදාම මුකුත් එපා... "  

" අහ් ඒක හොඳයි... එහෙනම් හෙට ඉඳලා මොනාවත් ගේන්නේ නෑ.. මටත් ලේසියි. එක එක දේවල් ගන්න කඩවල් වලට යන්න ඕනෙත්. නෑ සල්ලිත් ඉතුරුයි... "


" අයියෝ... මම කිව්වේ මුකුත් ගේන්න එපා කියලා නෙවෙයි... හෑමදාම, ඒ කියන්නේ හැම දවසකම නැතුව... දවසක් දෙකක් මුකුත් ගෙනාවේ නැති උනාට කමක් නෑ කියලා .. "



තුශානිට මේ පුංචි කියන තනතුර ලැබිලා දැන් මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා. මුලින් නම් වැඩි කතා බහක් නැතුව ලැජ්ජාවෙන් හිටිය තුශානිගේ යාළුවා මේ වෙනකොට නම් කතා පෙට්ටියක් වෙලා. ඉතින් හවසට ගෙදර ගෙදරට ගොඩ වෙනකොටම  එයා කොහේ හිටියත් දුවගෙන එන්නේ ගෙනාවේ මොනාද කියලා අහන ගමන් දවස පුරා එකතු කරගෙන හිටිය එයාගේ කතා මල්ල මගෙත් එක්ක හිස් කරගන්න තියෙන උනන්දුවෙන්.


අහ්... කතාවෙන් කතාවෙන් යාළුවගෙ නම කියන්න බැරි උනානේ. එයාගේ නම ඩිනෙල්. ඉගෙන ගන්නේ ඉස්කෝලේ එක වසරේ. කඩල පැකට්, මුරුක්කු පැකට්, චොකලට් බෝල, ස්මාටීස් වගේ කෑමක් හරි, පොඩි කතා පොතක්, චිත්‍ර අදින පොතක්, පැන්සල් , මකන වගේ එයා ආස කරන දෙයක් හරි හැමදාම තුශානි පුරුද්දක් විදිහට අරගෙන ගිහින් ඩිනෙල්ගෙ අතට දෙනකොට එයාගේ මූණට එන හිනාවට, තුශානිගෙ මහන්සිය නිකන්ම නැතිවෙලා යනවා. 


ඒත් ඉතින් මේ ලඟදී දවසක ඉස්කෝලේ ටීච ළමයින්ට කියලා තියෙනවා එහෙම හැමදාම දේවල් ඉල්ලන එක හරිම නරක පුරුද්දක් කියලා. ඒ නිසා තමයි ඩිනෙල් කියලා තියෙන්නේ හැමදාම මුකුත් එපා කියලා..


ඉතින් ඔය කතාව තුශානිගේ ඔපීසියෙ හොඳම යාළුවෙක්ට කිව්වහම එයා ඒ ගැන බොහොම වටින දේවල් ටිකක් තුශානිට කිව්වා.


ඇත්තටම ටිකක් කල්පනා කරලා බැලුවොත් වැඩිහිටි අය විදිහට අපි නොහිතන පැත්තක් මේකෙ තියෙනවා. 

අපි ළමයෙක්ට හැමදාම දෙයක් ගෙනත් දෙන එක පුරුද්දක් විදිහට කරගෙන යනවා කියන්නේ ඒ ළමයා හැමදාම ඒ දේ බලාපොරොත්තු වෙනවා කියන එක. ඒත් හදිස්සියෙ වත් අපිට එක දවසක ඒ දේ කරන්න බැරි උනොත් එදාට ඒ ළමයගෙ හිතට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒකට හේතුව අහලා ඒ දේ ගනන් නොගෙන ඉන්න ළමයෙක් ඉන්න පුළුවන් ඒත් බලාපොරොත්තු කඩ වීමක් සුළුවෙන් හරි නොදැනී තියෙන්නෙ නෑ. 

මේ නිසා පුරුද්දක් විදිහට පුංචි ළමයි සම්බන්ද දේවල් කරද්දී ඉඳලා හිටලා හරි ඒ දේ වෙනසකුත් කරන්න වැඩිහිටි අය විදිහට අපි හිතන එක වැදගත් කියලයි  ඒ ගැන ටිකක් කල්පනා කලහම තුශානිට හිතුනෙ.



අනිත් දේ තමයි කියන කියන දේ කරන, ඉල්ලන ඉල්ලන දේ දෙන එකට වඩා ළමයින්ටත් දාරා ගැනීම , ඉවසීම , බෙදා හදා ගැනීම වගේ දේවල් ටිකක් හුරු කරන්නත් වැඩිහිටියො විදිහට අපි කටයුතු කරන්න ඕනේ කියන එක. මොකද අද රටේ තියෙනෙ ප්‍රශ්ණ දිහා බැලුවහම පුංචි කාලේ මේ දේවල් වලට හුරු නොවීම නිසා ජීවිත වලින් පවා වන්දි ගෙවන අවස්ථා ඕනෑ තරම් තියෙනවනේ..


මතුපිටින් බොහොම සරලව පෙනෙන සිදුවීමක උනත් ගැඹුරු යමක් තියෙන්න පුළුවන් කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ නිසා ළමයි එක්ක වැඩ කරද්දී එයාලගේ හිත් ගැන වැඩිහිටිය අය විදිහට අපිට ටිකක් හිතලා වැඩ කටයුතු කරන්න වෙනවා. හෙට දවස භාර ගන්න ඉන්නේ ඔවුන් නිසා ඔවුන්ට ඊට හුරුවක් පුංචි කාලේම ලබා දෙන එක ගොඩක් වටිනවා කියලයි තුශානි විශ්වාස කරන්නේ...


ඔයාලටත් මේ ගැන කියන්න දේවල් ඇති.. ඒ ගැනත් පහලින් ලියලම යන්නකෝ...

Saturday, April 29, 2017

ඔබට සුබ ගමන් විචාරක මාමේ...




බ්ලොග් ලෝකයේ හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මට බොහොම සුවිශේෂි පුද්ගලයෙක්.

එක් වරක් පමණක් ඔහුව මා සියැසින් දුටුවත් , වචන දහයකට පහලවකට වඩා ඔහු සමග මා කතා නොකර තිබුනත් ඔහුගේ අකුරු අතරින් හරි පුදුමාකාර බැදීමක් අපි අතර ගොඩනැගිලා තිබුනා. 

ඒ නිසා මේ ආරංචිය තුශානිට දැනුනෙ බොහොම සමීපතමයෙකුගේ නික්මයාමක් විදිහට.
 
ඒත් එක්කම සමහර අවස්ථාවලිදි විචාරකතුමා  කියපු දේවල් තුශානිගේ හිට එකින් එක එන්න පටන් ගත්තා.  බ්ලොග් පිටු අතරට ගිහින් ආපහු ඒ දේවල් බලන්න ලොකු ඕන කමත් තුශානිට තිබුනත් ටික වෙලාවකින් නොදැනීම අකුරු ටිකෙන් ටික බොඳ වෙන්න පටන් ගත්තා. 

-----------------------------------------

මේ කතා නම් මීට කලින් අහලා තිබුනේ නෑ. ශෝක් කතා ටික...

  1. විචාරක - WicharakaMay 12, 2015 at 12:34 PM
    දුවනවා යන්ඩ. මෙව්වා කියවලා නරක් වෙන්නේ නැතුව.
----------------------------------------

ලිපිය හුඟක් සංවේදීව දැනුනා. මහේෂා - ගවීශ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.


  1. බොහොම ස්තුතියි දුවේ. ඔබට ජය!

 ----------------------------------------



ටිකක් හොයලා බලන්න. අපිට ඉතින් මෙහෙම කියෙව්වොත් තමයි මේවා කියවන්න ලැබෙන්නේ.


  1. හොයනවා හොයනවා ළමයෝ. හම්බවුනොත් ටක් ගාල දාන්නම්.
 ------------------------------------------
ෂෝක් නේ තුශානී. ඔයා දන්නවද, 'වක්කඩ ළඟ දිය වැටෙන තාලයට' ගීතයේ, 'තිත්ත පැටව් උඩ පැන නැටුවා' කියන කොටස, 1960 දශකයේ පොතක මුද්‍රණය කර තිබුනේ, අකුරු උඩ ගිහින් යටට එන විදිහට.

  1. අහ්.. එහෙමද ...
    බොහොම ස්තූතියි විචාරකතුමා...
------------------------------------------

විචාරක WicharakaMarch 29, 2016 at 11:57 AM
වචනයක් දෙකක් කතාකරන්න නම් බැරිවුනා දරුවෝ. ඒ ගැන දුකයි. ආයෙත් මේ වගේ උත්සවයකදී හමුවෙමු.ඔබට සුබ පැතුම්!

  1. මම තරහයි විචාරක අන්කල් එක්ක..
    මම ඔයාගේ ලඟට ඇවිත් කතා කරලත් මාව මතක නෑනේද... : ( 
--------------------------------------------------------
සාධු, සාධු, සාධු! අවබෝධය ඇත්නම්, පරිත්‍යාගය කියන වචනේ තේරුම දන්නවනම්, 'ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි' කියලා හිතනවානම්, විවාහ ජීවිත කොයිතරම් සාර්ථක වෙයිද දරුවෝ.

  1. ඔව් විචාරකතුමා.. ඒ කතාව නම් හරියටම හරි..



ලියන්න බොහෝදේ තිබුනත් හිතට ශක්තියක් නෑ ඒ දේවල් අකුරු කරන්න්න. ඔබට සුබ ගමන් විචාරක මාමේ ...
 

~*~


Monday, March 27, 2017

121. නෙළුම් යායේ නෙළුම් පොහොට්ටුව ...

ලස්සනට පිපිලා ලෝකයම සුවඳවත් කරන නෙළුම් මල් යායක පුංචි නෙළුම් මල් පොහොට්ටුවක් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, එක කොයි තරම් භාග්‍යයක්ද..

ඉතින් පහුගිය 25 වෙනිදා තුශානිටත් ඒ නෙළුම් යායේ පරිනත නෙළුම් මල් අතරේ පුංචි නෙළුම් කැකුලක් වෙන්න අවස්ථාව උදා වුනා ...

" පුංචි කැකුළු මල්"  එහෙමත් නැත්තම්  " Little Flower Buds " රූපයෙන් නෙළුම් පොහොට්ටුවක් විදිහට අහම්බෙන් බ්ලොග් අවකාශයට ආව තුශානි මේ වගේ ගමනක් එන්න ලැබෙයි කියලා නම් කොහොමටවත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් ආපහු හැරිලා බලනකොට හරිම සතුටුයි. 




හරි අපූරුවට සංවිධානය වුන දැවැන්ත වේදීකාවක පරිනත බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් අතරේ සම්මානයක් ගන්න ලැබීම සැබවින්ම ජීවිතයේ අමරණීය අවස්ථාවක්. 

කාලීන සංවාද අංශය යටතේ තුශානි ලියපු පොත් කියවීම සහ පොත් ඇහීම -  http://littleflowerbuds.blogspot.com/2016/09/115.html  පෝස්ට් එක වෙනුවෙන් තෙවන ස්ථානය ලබා ගන්න නෙළුම් යාය සම්මාන උළෙලෙදී තුශානිට අවස්ථාව උදා වුනා.




ඉතින් ඒ සම්මානයේ කොටස්කරුවො තමයි, පුංචි කැකුළු මල් ගොමුව වෙත ආගිය, අදහස් දීලා අඩු පාඩු පෙන්නපු, දිරිමත් කරපු ඔයාලා හැමෝම. එවැනි අදහස් දිරි ගැන්වීම් නොවන්නට මේ තරම් දුර බ්ලොග් අවකාශයේ තුශානි නොරැදෙන්නට තිබුනා. ඉතින් තුශානිත් එක්ක මේ තාක් දුර ආපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුති කරන්න තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා. බොහොම ස්තූතියි !

ඒ වගේම ලියපු දෙයක් අගය කිරීමකට ලක් කරලා බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් මේ වගේ උත්ප්‍රේරණය කරන්න ලොකු මෙහෙයක් ඉටු කරපු, ඒ වගේම අති උත්කර්ශවත් සම්මාන උළෙලක් සංවිධානය කරපු නෙළුම් යායේ හැමෝටම ප්‍රණාමය පුද කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.   අති සාර්ථක සම්මාන උළෙලේ නිමාව පසු පස ඔවුන්ගේ දැඩි කැපවීම මුසුව තිබූ බව එතැන සිටි හැම කෙනෙක්ම සාක්ෂි දරනු ඇතැයි තුශානි විශ්වාස කරනවා.

බ්ලොග් අවකාශයේ නොදුටු සහෘදයින් රැසක් සියැසින් දැකලා කතා බහ කරන්න ලැබීම ගැනත් තුශානි හරිම සතුටුයි. මුහුණු වල තිබුනු ලෙන්ගතු හිනාවල් සුහද කතා බහ බ්ලොග් අවකාශයේ බැදීම තව තවත් වැඩි කලා කිව්වොත් මම නිවැරදියි. 

සම්මාන ලබපු හැම කෙනෙක්ටමත් , තම සහෘදයින් සම්මාන ලබනවා බලන්න, ඔවුන්න සුබ පතන්න ආපු සියළුම බ්ලොග්කරුවන් කාරිනියන්ටත් තුශානි සුබ පතන්න අමතක කරන්නේ නෑ. 

ඉතින් ලබන වසරේත් අති උත්කර්ශවත් බ්ලොග් සම්මාන උළෙලක් පවත්වන්නට සංවිධායක මණ්ඩලයට අවැසි ශක්තිය ලැබේවා කියලා පතන ගමන් බ්ලොග් අවකාශයේදී තව තවත් අපූර්ව නිර්මාණකරණයේ යෙදෙන්නට සහෘද බ්ලොග් රචකයින්ටත් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 

                                ~* ~


Wednesday, January 4, 2017

120. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ...



" අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... "
 

හපොයි... මේ දවස්වල තුශානිගෙන් වැඩිපුරම කට්ටිය ඉල්ලන්නේ ඩයරි. හරියට තුශානි ඩයරි ප්‍රින්ට් කරලා බෙදනවා වගේ හැමෝම ඉල්ලන්නේ ඩයරියක්. හි.. හි.. කොහොම වුනත් තුශානිට ලැබුනු එක එක විදිහේ එක එක ප්‍රමාණයේ ඩයරි ගොඩක් කට්ටියට අලුත් අවුරුදු තෑගි විදිහට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුන එක සතුටක්.

හැබෑටම කට්ටිය මෙච්චර ඩයරි ඉල්ලුවට ඉල්ලන්නෙ ඩයරි පාවිච්චි කරන්නමද ?

ඒ ගැන හොයලා බැලුවොත් නම් උත්තරය ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ගොඩ දෙනක් ඩයරියක් ලඟ තියාගෙන හිටියට බොහොම අතලොස්සක් දෙනෙක් තමයි ඩයරියක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා ඩයරි පාවිච්චි කරන එක ගැන ඔයාලත් එක්ක තොරතුරු ටිකක් බෙදා ගන්න. 

එදිනෙදා ජීවිතේදී අපි හැම කෙනෙක්ටම වැඩ කටයුතු, වගකීම් ගොඩක් පැවරිලා තියෙනවා ඉටු කරන්න. ඉතින් ඒ පැවරෙන හැම වගකීමක්ම, වැඩ කටයුත්තක්ම හොඳින් සමබරව, අතපසු වීමකින් තොරව කරගෙන යන්න නම් දිනපොතක් එහෙමත් නැත්තම් ඩයරියක් අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. 

එතකොට කොහොමද ඩයරියක් පාවිච්චි කරන්නේ ? 


මේකට උත්තර ගොඩක් තියෙන්න පුලුවන්. මොකද ඩයරි පාවිච්චි කරන විදිහ ඒ කෙනා අනුව තීරණය වෙන දෙයක් නිසා. 

ඩයරියක් පාවිච්චි කරනකොට ඒ ඒ දවසේ කරන්න තියෙන වැඩ වෙලාවල් එක්ක සටහන් කරගෙන තියා ගන්න පුලුවන්. ඒ වගේම ඒවා ඉවර කරගන්න පුළුවන් උනා නම් "හරි" සලකුණක් දාලා සටහන් කරගෙන තියා ගත්තොත් දවස අවසානයේ අපිටම අපේ දවස ගැන තෘප්තියක් ඇතිකර ගන්න පුළුවන්. කරපු දේවල් වලින් අතපසු වෙච්ච දේවල් වෙන් කරගෙන ඊලඟ දවස සැලසුම් කරගන්නත් පුළුවන්.

උපන්දින , සංවත්සර, මගුල් ගෙවල්, දාන , පිංකම් වගේ දේවල් වලට ආරාධනා ලබුනු සැනින් සටහන් කරගෙන තියා ගත්තොත් ඒවා අමතක වෙලා වෙන අකරතැබ්බ වලක්ව න්නත් පුළුවන්. විශේෂයෙන් උපන්දින සංවත්සර අමතක උනොත් වෙන දේ ඉතින් කියන්න ඕනෙ නෑනේ. හි.. හි.. ඒ නිසා විශේෂ දවස්, විශේෂ වැඩ වෙනමම පාටකින් ටිකක් හයිලයිට් කරලා හරි ලියලා තියා ගන්න එක වැදගත්. 

ඒත් එක්කම සෞඛ්‍ය තොරතුරු, පවුලේ අයගෙ තොරතුරු, ලේ වර්ග, අත්‍යාවශ්‍යම දුරකථන අංක කිහිපයක්, බැංකු ගිනුම් විස්තර රහස්‍ය භාවය රැකෙන විදිහට සංඛේත එක්ක සටහන් ඩයරියෙ ලියලා තියා ගැනීමත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා. 

ලයිට් බිල්, වතුර බිල් වගේ වියදම් වෙනමම සටහන් කරගෙන ආදායම් වියදම් පුංචි සටහනක් උනත් පවත්වගෙන යන්න පුළුවන්. 

ඒ වගේම ඉදිරි සැලසුම්, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන මාර්ග, කාලයන් සටහන් කරගෙන තියා ගැනීමෙනුත් ඒ දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුළුවන්. ඒක සැලසුම් සාර්ථක කරගන්න හොඳ උත්තේජනයක් වෙනවා. 

හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් තරමේ පුංචි ඩයරියක් පාවිච්චියට නම් හරිම පහසුයි. කාර්යාලයක ටිකක් වැඩ බහුල කෙනෙකුට කාර්යාලය සඳහා වෙනමම ඩයරියක් පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂනේ දියුණුවත් එක්ක ගොඩ දෙනෙක් අද  ඉලෙක්ට්‍රොනික් ඩයරි භාවිතයට හුරු වෙලා ඉන්න බවක් දකින්න තියෙනවා. කාර්යාල වැඩකටයුතු වලට නම් මේ ඉලෙක්ට්‍රොකිනික ඩයරි භාවිතය ගොඩක් සාර්ථක ක්‍රියාවලියක්. 

මේ කොයි විදිහට හරි තමන්ගෙ වැඩ සැලසුමකට අනුව කරගෙන යන්න පුළුවන් නම් අතපසු වීම් ගොඩක් වලක්වගෙන සාර්ථක දවසක් , මාසයක්, අවුරුද්දක් ගතකරන්න පුළුවන් කියන පණිවිඩය අද තුශානි අවුරුද්දේ ලියන පලවෙනිම පොස්ට් එකෙන් ඔයාලට මතක් කරනවා. 

ඉතින් ඔයාලටත් ඩයරි ලියන එක ගැන කියන්න බොහෝමයක් දේවල්
ඇති. ඒ අදහසුත් එකතු කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට තුශානි නවතිනවා. 


~*~



Related Posts Plugin for WordPress, Blogger...