Tuesday, June 27, 2017

123. මොනාද ... ගෙනාවේ...

ඔපීසියෙයි ගෙදර දොරේයි වැඩ රාජකාරී එක්ක පහුගිය ටිකේ නිකම්ම කාලේ ගතවලා ගිය නිසා බ්ලොග් එක පැත්තට වැඩිය එන්නවත් තුශානිට අවස්ථාවක්  ලැබුනෙ නෑ. ඉතින් අදවත් මොනාහරි ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් ගොඩ දවසකින් මුකුත් ලිව්වේ නැති ලියන්න දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට තමයි ඔන්න මගේ අලුත් යාළුවා මාව හොයාගෙන දුවගෙන ආවේ... 

" පුංචි... හෙට මට මුකුත් ගේන්න එපා ... "


හවසට ගෙදර ගිහින් ගේට්ටුව අරින සද්දෙට කොහේ හරි ඉඳලා එක පාරට මතුවෙලා " ගෙනාවෙ... මොනාද... මොනාද ... ගෙනාවේ... " කිය කිය තාලෙට අහන එයා ටිකක් බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා.

" ඒ මොකද ඒ ... පුංචිත් එක්ක තරහ වෙලාද ? " 


" නෑ නෑ... තරහ නෑ පුංචී... ඒත් මට හැමදාම මුකුත් එපා... "  

" අහ් ඒක හොඳයි... එහෙනම් හෙට ඉඳලා මොනාවත් ගේන්නේ නෑ.. මටත් ලේසියි. එක එක දේවල් ගන්න කඩවල් වලට යන්න ඕනෙත්. නෑ සල්ලිත් ඉතුරුයි... "


" අයියෝ... මම කිව්වේ මුකුත් ගේන්න එපා කියලා නෙවෙයි... හෑමදාම, ඒ කියන්නේ හැම දවසකම නැතුව... දවසක් දෙකක් මුකුත් ගෙනාවේ නැති උනාට කමක් නෑ කියලා .. "



තුශානිට මේ පුංචි කියන තනතුර ලැබිලා දැන් මේ වෙනකොට අවුරුද්දක් විතර වෙනවා. මුලින් නම් වැඩි කතා බහක් නැතුව ලැජ්ජාවෙන් හිටිය තුශානිගේ යාළුවා මේ වෙනකොට නම් කතා පෙට්ටියක් වෙලා. ඉතින් හවසට ගෙදර ගෙදරට ගොඩ වෙනකොටම  එයා කොහේ හිටියත් දුවගෙන එන්නේ ගෙනාවේ මොනාද කියලා අහන ගමන් දවස පුරා එකතු කරගෙන හිටිය එයාගේ කතා මල්ල මගෙත් එක්ක හිස් කරගන්න තියෙන උනන්දුවෙන්.


අහ්... කතාවෙන් කතාවෙන් යාළුවගෙ නම කියන්න බැරි උනානේ. එයාගේ නම ඩිනෙල්. ඉගෙන ගන්නේ ඉස්කෝලේ එක වසරේ. කඩල පැකට්, මුරුක්කු පැකට්, චොකලට් බෝල, ස්මාටීස් වගේ කෑමක් හරි, පොඩි කතා පොතක්, චිත්‍ර අදින පොතක්, පැන්සල් , මකන වගේ එයා ආස කරන දෙයක් හරි හැමදාම තුශානි පුරුද්දක් විදිහට අරගෙන ගිහින් ඩිනෙල්ගෙ අතට දෙනකොට එයාගේ මූණට එන හිනාවට, තුශානිගෙ මහන්සිය නිකන්ම නැතිවෙලා යනවා. 


ඒත් ඉතින් මේ ලඟදී දවසක ඉස්කෝලේ ටීච ළමයින්ට කියලා තියෙනවා එහෙම හැමදාම දේවල් ඉල්ලන එක හරිම නරක පුරුද්දක් කියලා. ඒ නිසා තමයි ඩිනෙල් කියලා තියෙන්නේ හැමදාම මුකුත් එපා කියලා..


ඉතින් ඔය කතාව තුශානිගේ ඔපීසියෙ හොඳම යාළුවෙක්ට කිව්වහම එයා ඒ ගැන බොහොම වටින දේවල් ටිකක් තුශානිට කිව්වා.


ඇත්තටම ටිකක් කල්පනා කරලා බැලුවොත් වැඩිහිටි අය විදිහට අපි නොහිතන පැත්තක් මේකෙ තියෙනවා. 

අපි ළමයෙක්ට හැමදාම දෙයක් ගෙනත් දෙන එක පුරුද්දක් විදිහට කරගෙන යනවා කියන්නේ ඒ ළමයා හැමදාම ඒ දේ බලාපොරොත්තු වෙනවා කියන එක. ඒත් හදිස්සියෙ වත් අපිට එක දවසක ඒ දේ කරන්න බැරි උනොත් එදාට ඒ ළමයගෙ හිතට ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒකට හේතුව අහලා ඒ දේ ගනන් නොගෙන ඉන්න ළමයෙක් ඉන්න පුළුවන් ඒත් බලාපොරොත්තු කඩ වීමක් සුළුවෙන් හරි නොදැනී තියෙන්නෙ නෑ. 

මේ නිසා පුරුද්දක් විදිහට පුංචි ළමයි සම්බන්ද දේවල් කරද්දී ඉඳලා හිටලා හරි ඒ දේ වෙනසකුත් කරන්න වැඩිහිටි අය විදිහට අපි හිතන එක වැදගත් කියලයි  ඒ ගැන ටිකක් කල්පනා කලහම තුශානිට හිතුනෙ.



අනිත් දේ තමයි කියන කියන දේ කරන, ඉල්ලන ඉල්ලන දේ දෙන එකට වඩා ළමයින්ටත් දාරා ගැනීම , ඉවසීම , බෙදා හදා ගැනීම වගේ දේවල් ටිකක් හුරු කරන්නත් වැඩිහිටියො විදිහට අපි කටයුතු කරන්න ඕනේ කියන එක. මොකද අද රටේ තියෙනෙ ප්‍රශ්ණ දිහා බැලුවහම පුංචි කාලේ මේ දේවල් වලට හුරු නොවීම නිසා ජීවිත වලින් පවා වන්දි ගෙවන අවස්ථා ඕනෑ තරම් තියෙනවනේ..


මතුපිටින් බොහොම සරලව පෙනෙන සිදුවීමක උනත් ගැඹුරු යමක් තියෙන්න පුළුවන් කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ නිසා ළමයි එක්ක වැඩ කරද්දී එයාලගේ හිත් ගැන වැඩිහිටිය අය විදිහට අපිට ටිකක් හිතලා වැඩ කටයුතු කරන්න වෙනවා. හෙට දවස භාර ගන්න ඉන්නේ ඔවුන් නිසා ඔවුන්ට ඊට හුරුවක් පුංචි කාලේම ලබා දෙන එක ගොඩක් වටිනවා කියලයි තුශානි විශ්වාස කරන්නේ...


ඔයාලටත් මේ ගැන කියන්න දේවල් ඇති.. ඒ ගැනත් පහලින් ලියලම යන්නකෝ...

16 comments:

  1. කතාවනම් සහතික ඇත්ත එත් වැඩේ බොහෝම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අත්දැකීමෙන්ම දන්නවා ඇතිනේ ...

      Delete
  2. එහෙම පොඩි එකෙක්ට මොනවා හරි දෙයක් ගිහින් දුන්නාම එන හිනාවට කනට ඇහෙන,නැහෙන ගානට කට උල් කරලා "thank you" කියන එක ඇහෙනකොට මහන්සි නිමෙනවා කියන එක ඇත්ත.ඒ වගේම තුෂානි කියලා තියෙන කරණාවත් හරි වැදගත් බව අත්දැකීමේන්ම දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්... අපි ආදරේට ළමයින් වෙනුවෙන් කරන සමහර දේවල් දවසක එයාලගෙම අයහපතට හේතු වෙන නිසා අමාරුවෙන් උනත් සමහර තීරණ ගන්න වෙනවා...

      Delete
  3. තමන්ගෙම කියල පොඩි එකෙකුට නං ඉතිං හැමදාම මොකුත් ගෙනියන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ම්... එතකොටත් ඉතින් දවසක් දෙකක් මුකුත් ගෙනියන්නෙ නැතුව ඉන්න වෙනවා අමාරුවෙන් උනත්... :)

      Delete
  4. රූබික් කැටයක්, චෙස් කට්ටලයක් වගේ දෙයක් ගෙනත් එයා එක්ක සෙල්ලම් කරන්ට පටන් ගන්ට...
    මාර වටිනවා...

    "පුංචි" තනතුරේ හැමදාම ඉන්ට බලාපොරොත්තුවක් එහෙම නෑනේ නේද???

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ අදහසක්.. තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්න නිසා දෙයක් ඉගෙන ගන්නවනේ...

      ඒක නම් හොඳ අදහසක්.. තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්න නිසා දෙයක් ඉගෙන ගන්නවනේ ඒකෙන්...

      හි.. හි... ඔය කියන්නේ වෙන තනතුරක් වෙන්ට ඕනේ..

      Delete
  5. පොඩි දරුවෙක්ට යමක් දීලා 'අපි බලාපොරොත්තු' වෙන සතුට නිසා වෙන්න ඇති අපේ පෙළඹීම එන්නේ. මමත් පොඩි දරුවන්ට අනිවාර්යයෙන් යමක් ගෙනියන්නේ නැහැ. හිතලමයි. නමුත් යමක් දෙන එක නම් අමතක කරන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ලිඛිතා... අපි ඒ සතුට දකින්න තියෙන කැමැත්තට තමයි එහෙම කරන්නේ..

      මමත් දැන් උත්සාහ කරනවා ඒත් ඉතින් ඒක ටිකක් අමාරුයි...

      Delete
  6. මේක නම් ඇත්ත.. මගේ දුවට මං පුරුදු කරලා තියෙන්නේ චූටි කතාවක් කියන්න,පොඩ් ලියුමක් ලියලා දෙන්න.... ඒ නිසා එයා මොන දේ ලැබුනත් නැතත් සතුටින් බාරගන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ විදිහත් හොඳයි තමයි... ඔන්න මත් ඒක කොපි කරනවා... :)

      Delete
    2. අපේ අක්කගේ පුතාල නිවාඩුවට ආවම මමත් එක එක එවා ගෙනත් දෙන්න පුරුදු උනා. දවසක් වැස්ස නිසා මට මොකුත් ගන්න බැරි උනා. එදා එක්කෙනෙක් අඬලා මටත් කෑගැහුවා. ඊට පස්සේ මම හෙමින් හෙමින් ගේන දේවල් අඩු කලා.පුරුද්දට ගිහාම එයාලා හිතනවා අපි ඒවා ගේන්නම ඕනේ කියලා

      Delete
    3. මුලින්ම සෙව්වන්දිව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...

      ඔව් ඔව් .. පුරුද්දට ගියහම එයාලා හිතනවා ඒක අපි අනිවාර්යයෙන් කරන්න ඕනෙ දෙයක් කියලා.. එතකොට අන්තිමට ප්‍රශ්ණයක් තමයි..

      Delete
  7. කතාව සහතික ඇත්ත.. පොඩි ළමයිට දරා ගැනීම හුරු කරවන්න ඕනා.. මං උනත් පොඩි දෙයක් උනත් හිත කලබලයි.. ඒවා පොඩි කාලේම හැදෙන්න ඕනා නැත්තම් සමාජෙට ගියාම ඉන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මටත් එහෙම අත්දැකීම් තියෙනවා...

      අම්මලා තාත්තලා ආදරේ වැඩි කමට කරන සමහර දේවල් පස්සේ කාලේක නරකට හිටිනවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...