Friday, April 17, 2015

76. කිටි කිටි ගවුම

හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. 

ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සන මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. 


ඔන්න එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක් හිරටයි තිබුනේ. 

ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ.  හි..හි...

හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස
වෙනව මහත වෙනවනේ.. නේද ? 

ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා  නැන්දාට අමතක වෙන්න ඇති. 

අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ. 



ටිකක් හිරට වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තනේ... ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහටම නංගිලා දෙන්නයි මල්ලියි එක්ක ගමේ යාළුවන්ට දෙන්න ගෙනිච්ච දේවලුත් අරගෙන උදේ ඉඳලා ගමේ හැමතැනම ඇවිදින්න යනවා. 

තුශානිට ඉන්නේ මල්ලි කෙනෙක් නිසා තුශානිට අඳින්න බැරි ඇඳුම් ගොඩක් වෙලාවට ගමේ ළමයින්ට දෙන්න ගෙනියනවා. සමහර ඇඳුම් මම එක පාරකට වඩා ඇඳපු නැති ඒවා. සපත්තු සෙරප්පු, බෑග් හොඳ තත්වේ තියෙනවා නම් ඒවත් අරගෙන යනවා ටිකක් අගහිඟකම් තියෙන ළමයිට දෙන්න. හුඟක් දවස් වලට ගෙදරින් ගෙනියනකොටම ගෙනාපු දේවල් වලින් ටිකක් අඩුවෙනවා. මොකද අපේ නංගිලා දෙන්නටත්  ඒවා හරියන නිසා එයාලත් ඒවයින් ටිකක් කොහොම හරි ගන්නවා. 

ගමේ ළමයිනුත් ගෙනිච්ච ගමන් ඇඳුම් ඇඳලා අපිටත් පෙන්නනවා කොහොමද කියලා. ඒ වෙලාවට නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. මට හිතෙන්නේ මගේ ඇඳුම් මට වඩා ලස්සනට තියෙනවා වෙන ළමයි ඇන්දහම. අහ්..  අද වගේම ඉස්සරත් තොරොම්බල් ගොඩක් තුශානිට තිබුන නිසා ඇඳුම් වලට හරියන මාල ,වලලු, කොන්ඩ කටු, ටිකකුත් අරගෙන යන්න තුශානි අමතක කරන්නේ නෑ. ඉතින් ඒවත් දාල කොන්ඩේ ලස්සනට පීරලා කටු ගැහුවහම ඇඳුම් වල හැඩ හරි ලස්සනට කැපිලා පේනවා. 



සමහර වෙලාවට මගේ ඇඳුම් ඒ ළමයි ඇඳගෙන අපිත් එක්ක එකට සෙල්ලම් කරනකොට අපේ අම්මටයි තාත්තටයි මාවයි ඒ ළමයින්වයි පැටලෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද එයාලා දැකලා තියෙන්නේ මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්නවනේ.

කොහොමින් කොහොමහරි ගෙනාපු දේවල් දාගත්ත බෑග් ටිකත් අතින් කටින් එල්ලගෙන ගමේ හැමතැනම ගිහින් දවල් කෑම වෙලාවට තමයි ගෙදර එන්නේ.

සාමාන්‍යයෙන් ගමේ ඇවිදින්න ගියාම ගස් වල තියෙන එක එක පලතුරු ජාති කඩාගෙන කාලා, අඳුරන ගෙවල් වලට ගියාම හම්බවෙන එක එක ජාතියේ කෑම ජාති කාලා ආපහු ගෙදර එන්නේ දවල් කෑම කන වෙලාවත් සෑහෙන පහුවෙලා. ඒත් ඉතින් බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයට මිසක් බඩගිනි වෙලා නම් නෙවෙයි.  

තේ, තැඹිලි, බෙලිමල් වගේ දේවල් බොන්නත් මඤ්ඤොක්කා, දන්දින්නල, රාජාල වගේ අල ජාති කන්නත්, කජු පුහුලන්, අන්නාසි, පේර, දොඩම් වගේ පලතුරු ජාති කන්නත් ගමේ ඇවිදිනකොට අපිට හම්බවෙනවා. සමහර වෙලාවට අපි එනවා කියලා දන්න නිසා හැලප, වැලි තලප, ආස්මි වගේ කැවිලි ජාති හරි විශේෂ මොනාහරි හරි හදලා තියෙන වෙලාවලුත් තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි ගෙදර ගේන්නත් ගොඩක් දේවල් ඒ ගෙවල් වලින් ලැබෙනවා. කජු පුහුලන්, කෙසෙල්, අන්නාසි වගේ පලතුරුත්, තේ කොළ පැකට්, කුරුඳු, ගොරකා, ගම්මිරිස් වගේ දේවලුත් අතින් කටින් උස්සගෙන තමයි අන්තිමට ගෙදර එන්නත් සිද්දවෙන්නේ. 

කොහෙන් මොනදේ කාලා බීලා ආවත් ගෙදර ඇවිත් දවල් කෑම කන එක නම් අනිවාර්ය දෙයක්. මහන්සිවෙලා අපිටම කියලා නැන්දගේ අතින්ම හදපු කෑම නොකා හිටියෝත් නැන්දා තරහ වෙයි කියලා කිය කිය තමයි අත්තම්මා අපිට කෑම බෙදන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි ටිකක් කන්නම වෙනවා. කොහොම වුනත් නැන්දගේ කෑම වල නම් තියෙන්නේ පුදුම රසක්. කෑම විතරක් නම් කමක් නෑ. කෑම කාල කිරි පැණි කන්නත් එපායෑ. 

හැබැයි ඔය ඔක්කොටම කලින් අපි හැමෝම නාලා තමයි කෑම මේසේට වාඩි වෙන්න ඕනේ. මොකද උදේ ඉඳලා, තේ ගස් අස්සේ, කුඹුරු වල, කැලෑ වල ගිහින් මඩ ගාගේන, දාඩිල නාලා නේ ඉන්නේ. අපේ අම්මගේ වචන වලින් කියනව නම් හඩ්ඩො ටිකක් වගේ තමයි ගෙදර එන්නේ. හි..හි.. 

ඔන්න එතකොට තමයි වැඩේ පටන් ගත්තේ. කිටි කිටියේ හිරට ගවුම ඇඳගෙන ගියාට කාටද අනේ ඕක ගැන හිතන්නවත් වෙලා තියෙන්නේ. ගමේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න.

ගවුම ගලවන්න තියා හිතන්නවත් බැරි තරමට හිර වෙලා. සිප් එකකුත් නැති නිසා ඔලුවෙන්ම එපැයි ගලවන්නත්. අම්මට ගලවන්න බැරි තැන නැන්දයි අත්තම්මයිත් ඇවිත් දැන් මගේ ගවුම ගලවන්න හදනවා. 

ටිකක් හිතලා බලන්නකෝ කට්ටියම වටවෙලා ගවුම ගලවන්න හදනකොට මට මොනා හිතෙන්න ඇත්ද කියලා. 

දන්නවද...  ඒ වෙලාවේ නම් මට හිතුනේ ගවුම හිර වෙලා මාව මැරෙයි කියලා.  හි..හි... 

මම ඉතින් බයටම හයියෙන් අඬන්න ගත්තා. මම අඬනවා දැකලා නංගිලා දෙන්නයි මල්ලියිත් හොඳටම අඬනවා.

" දූ චුට්ටක් අඬන්නේ නැතුව ඉන්න මම ගවුම පිටිපස්සේන් කපන්නම්" කියලා නැන්දා කතුර අරගෙන ඇවිත් ගවුම කපලා තමයි මාව බේර ගත්තේ. 

ඊට පස්සේ තුශානිට සතුටු හිතෙන්න ඇති කියලා නේද හිතන්නේ.. කොහොම සතුටු වෙන්නද අවුරුදු තෑග්ගට හම්බවුනු ගවුම ඉරිලා තියෙනවා දැක්කහම. 


" මම දූ ට වෙන ගවුමක් මහලා දෙන්නම් දැන ඉක්මනට නාලා එන්නකෝ බත් කන්න."  කියලා නැන්දා කිව්වහම තමයි ඔන්න ටිකක හරි ගියේ.

කොහොම වුනත් එදායින් පස්සේ නම් තුශානි කවමදාකවත් හිරයි වගේ කියලා හිතෙන ඇඳුම් අමාරුවෙන් අඳින්න ගියේ නෑ.  

හෙටත් ගමේ යනකොට නැන්දා ලස්සන අලුත් ගවුමක් මහලා, රසට කෑම උයලා තියයි කියලා හිතුනත් එහෙම වෙන්නේ නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකක්. 

ඒ මීට හරියටම මාස තුනකට කලින් හදිසි අනතුරක් වෙලා නැන්දා අපිව දාලා ගියපු නිසා. හෙට අපි යන්නේ නැන්දගේ තුන් මාසේ දානේට.

ඒ නිසා මේ අවුරුද්දේ වෙනදා වගේ තුශානිට අලුත් ගවුමක් තෑගී ලැබෙන්නේවත් නැන්දාගේ රස කෑම කන්න ලැබෙන්නේ වත් නෑ.  අලුත් ගවුමක් නැතත් මහ ගෙදරට ගොඩවෙනකොට හිනාවෙලා ඉස්සරහට එන නැන්දා ගේ ලස්සන මූණ හෙට දකින්න නොලැබෙනකොට මොනවා හිතෙයිද කොයි විදිහට ඒක දැනෙයිද කියන එක තුශානිට තාමත් හිතා ගන්න බෑ.



Tuesday, April 14, 2015

75. සුබ අලුත් අවුරුද්දක් වේවා !

එරබදු මල් සුවඳ යහ ගුණ සුවඳක් වේවා
රබන් හඬ සිනා හඬකට සම         වේවා
කැවුම් කොකිස් රස දිවියට එක්    වේවා
කිරි ඉතිරෙන ලෙසට සම්පත   ඉතිරේවා



අවුරුදු සිරිය ගව් සිය දුර      විහිදේවා
සාමය සතුට ලොව දස අත පැතිරේවා
ජය පැන් ලබන්නට බාදක දුරු  වේවා
යහපත් පැතුම් පැතු අයුරින් ඉ‍ටු වේවා




හැම සිත් සතන් තුල සැනසුම ඇති    වේවා
එකමුතු කමින් සැමදෙන එක් රොක් වේවා
ආයුෂ වර්ණ සැප බල බෝ අත්        වේවා
ලැබු අවුරුද්ද කිරි පැණියෙන්      ඉතිරේවා









Monday, April 6, 2015

74. අවුරුද්දට කලින් බොහොම වැදගත් අවුරුදු පණිවිඩයක්...

උදාවෙලා තියෙන්නේ අවුරුදු මාසය නිසා හැම කෙනෙක්ම මේ දවස්වල බොහොම උනන්දුවෙන් අවුරුද්දට ලැස්ති වෙනවා ඇති. ඉතින් එහෙම අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලේ අපි හුඟ දෙනෙකුගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා අපේ අතින් සිද් වෙන අපිට හුඟක් හානිදායක දෙයක් ගැන කියන්න තමයි අද තුශානි මේ ලෑස්තිවෙන්නේ.

අවුරුද්දට කැම ජාති හදන්න පටන් අරගෙනද තියෙන්නේ ? 

තාම නෑ...  ඒත් අද හෙටම පටන් ගන්න ඕනේ. එහෙම නේද ? 

හරි... මේ දේ කියන්න ඕනේ වුනේ, කෑම ජාති හදන්න පටන් ගන්න කලින්. අවුරුදු කියලා විශේෂ කලේ අවුරුදු කාලේට ටිකක් වැඩිපුර කෑම ජාති කොයි ගෙදරක වුනත් හැදෙන නිසා. හැබැයි ඉතින් අවූරුදු කෑම හදද්දී විතරක් නෙවෙයි හැමදාටම මේ කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.


කැම ටිකක් වහලා තියන්න, හදන කැවිලි ටිකක තෙල් ටික බේරෙන්න තියලා තියන්න, කෑමක් ඔතලා තියන්න, පිටි ටිකක් හලා ගන්න, මිශ්‍රණයක් දාලා තියෙන්න, කෑමක් කාටහරි ඔතලා දෙන්න, ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ ? 

ම්....  හුඟක් දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ "පත්තර  පි‍ටු " 


ඔන්න අදින් පස්සේ නම් ඔය කෑම සම්බන්ද වැඩ වලට පත්තර පි‍ටු පාවිච්චි කරන්න එපා. හේතුව මෙන්න මේකයි. 

පත්තර පි‍ටු වල අකුරු, රූප මුද්‍රණය කරන්න නොයෙක් වර්ගයේ සායම් පාවිච්චි කරනවා. ඒ මුද්‍රණ කටයුතු වලට ගන්න සායම් වල තියෙන එක එක වර්ගයේ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට හුඟක් හානිදායකයි. පිලිගන්න පුළුවන්ද ඒ රසායනික ද්‍රව්‍ය පිලිකා ඇති කරන්නත් හේතු වෙනවා කියලා ? 

ඔව්... පිලිගන්න ටිකක අකමැති වුනත් මේ රසායන ද්‍රව්‍ය ආමාශය, අන්ත්‍රය, ගලනාලය, සම වගේ තැන් වල පිළිකා ඇති කරන්න හේතු වෙනවා.  පිළිකා විතරක් නෙවෙයි තවත් ලෙඩ ගොඩකට මේ රසායන ද්‍රව්‍ය හේතු වෙනවා.

ඒත් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා. මෙන්න අහගන්නකෝ, පත්තර පි‍ටුවක් උඩ කැමක් තියලා තියෙනකොට හරි, පත්තර පි‍ටුවකින් ඒ කෑම ඔතලා තියෙනකොට හරි ඒ කෑම වලට අර පත්තර පි‍ටුවේ තියෙන වර්ණක උරා ගන්නවා. 

මේ දේ හොඳටම බලා ගන්න පුළුවන් පාන් ගෙඩියක් හරි බනිස් ගෙඩියක් හරි පත්තර පි‍ටුවකින් ඔතලා තිබ්බහම. චුට්ටක් මතක් කරලා බලන්නකෝ  ඒකේ අර පත්තර පි‍ටුවේ තිබුනු තීන්ත ගැවිලා තියෙන විදිහ. ඉතින් ඒ තීන්ත වල තියෙන රසායනික ද්‍රව්‍ය ශරීර ගත වුනාම අපි හීනෙකින් වත් නොහිතන හොයා ගන්න බැරි ලෙඩ අපිට හැදෙන්න පටන් ගන්නවා. 

ඔය මාළු, මස් වර්ග වුනත් අපි මිලදී ගන්න සමහර වෙලාවට ඒවා පත්තර පි‍ටු වල ඔතලා දෙනවා. එතකොට නම් අපිට හිතෙනවා ඔය තීන්ත ගැවුනත් හෝදලා ගන්න නිසා ගැටළුවක් වෙන එකක් නෑ කියලා. ඒත් ඒ නිගමනය වැරදියි. මස් මාළු වල තියෙන තෙත ගතිය නිසා ඒ තීන්ත ඒ මස්, මාළු වලට උරා ගන්නවා හේදුවත් නොයන විදිහට.  

ඉතින් මේ දේවල් දැන දැන ලෙඩ වෙනවට වැඩිය හොඳයි නේද හානියක් වෙනවා කියලා දැනෙන දේවල් නොකර ඉන්න එක? ඒ නිසා කෑම ජාති ගොඩක් හදන්න, ගොඩක් කට්ටියට කෑම ජාති බෙදන්න ඉන්න මේ අවුරුදු කාලේ ඉඳලා වත් ටිකක් ඒ ගැන කල්පනා කලොත් හොඳයි කියලයි  හිතුන නිසයි තුශානි මේ දේවල් කියන්න හිතුවේ.  

එතකොට දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපි මොනවද  පත්තර පි‍ටු වෙනුවට පාවිච්චි කරන්නේ කියලා. මෙන්න ඒකට උත්තරේ.

වර්ණක නොයෙදූ සුදු කොළ හොයා ගන්න පුළුවන් නම් ඒවා පාවිච්චි කලාට කිසිම ප්‍රශ්
යක් වෙන්නේ නෑ. අද වෙනකොට සමහර අය නම් මේ දේට යොමුවෙලා ඉන්නවා. ඒ නිසාම සුදු කොළ වෙළඳපොලේ ගන්නත් තියෙනවා. 

පත්තර පි‍ටු පාවිච්චි කරන සමහර කාර්යයන් වලට අපිට පුළුවන් කෙසෙල් කොළ, තල් කොළ, නෙලුම් කොළ වගේ ස්වභාවික දේවල් පාවිච්චි කරන්න. එහෙමත් නැත්තම් ස්වභාවික දේවල් යොදාගෙන හදන වට්ටි, පෙට්ටි, කූඩ වගේ දේවල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.


ඒ වගේම මැටි මුට්ටි, ඇතිලි වුනත් පාවිච්චි කරන්න පුළුවන්නේ. මැටි මුට්ටි කිව්වහමයි මතක් වුනේ. කැවුම් එහෙම දාලා තියෙන මැටි මුට්ටියක් දෙකක් නම් තුශානිලගේ ගෙදරත් හැම අවුරුද්දකම වරදින්නේ නෑ. 

ප්ලාස්ටික් භාජන වුනත් සමහර දේවල් වලදී පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් පිටි ටික හලා ගන්න, කැවිලි අඩුක්කර ගන්න ප්ලාස්ටික් ට්‍රේ පාවිච්චි කරන්න පුළුවන්. කැවිලි ජාති දාලා තියන්න, කැවිලි ටිකක් කාටහරි යවන්න වුනත් ප්ලාස්ටික් පෙට්ටියක්, ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්.

අවුරුදු දවසේ අහල පහළ ගෙවල් වලට අවුරුදු කෑම ටිකක් ගෙනියනකොට නම් කොළයක ඔතලා මොනාහරි යවන වට වඩා පිඟානක තියලා පිරිසිඳු සර්වියට් එකකින් වහලා වගේ ගෙනියන්න පුළුවන් නම් මට හිතෙන්නේ හුඟක් හොඳයි. 

තුශානිලාගේ ගෙදර ඔය කෑම පිඟන් ගෙනියන වැඩේ නම් හැම අවුරුද්දේම කරන්නේ තුශානියි, මල්ලියි. මොකද හැම ගෙදරකම අවුරුදු කෑම මේසයේ සිරිය නැරඹීමේ විශේෂ වරප්‍රසාදය සහ ඉක්මනින් අවුරුදු තැගි ගොඩක් ලබා ගැනීමේ හැකියාව ඒකෙන් හම්බ වෙනවනේ.. හි..හි..  

ඒ ඇරුනහම ටිකක් ඈත ගෙයක් නම් පන් පෙට්ටියක, කඩදාසි පෙට්ටියක, ප්ලාස්ටික පෙට්ටියක වගේ කෑම දාලා යවන්න පුළුවන්. 



ම්.. ඔය කිව්වේ තුශානිට මේ වෙලාවේ මතක වෙච්චි දේවල් ටිකක්. සමහර විට ඔයාල ගාව මීට වඩා හොඳ අදහස් ඇති. ඒ දේවලුත් පහලින් එකතු කරන්න පුළුවන් නම් අපි හැම කෙනෙක්ටම හුඟක් ප්‍රයෝජනවත් වේවි. 

එහෙනම් අවුරුදු ලබන්න කලින් තුශානි දීපු මේ අවුරුදු තෑග්ග ඔයාලටත් පුළුවන් තවත් කෙනෙක්ත් දීලා තව කෙනෙක්වත් දැනුවත් කරන්න. අවුරුද්දට හැමෝම ලෑස්ති වෙන මේ වෙලේ මේ තෑග්ග හුඟක් වටියි නිරෝගීව, සතුටින් ජීවිතේ ගත කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...