Thursday, July 31, 2014

ආදරයෙන් හමු වෙන්න ඇති...



ජීවි ගමනේ එක්තරා සොඳුරු නවාතැන් පලකදී අපිට අපි හමුවෙන්න ඇති...

පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ
අපි නතර වෙන්න ඇති...

ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන්
අපි බැ‍ඳෙන්නට ඇති... 

නෙත් විඩා දෙන කඳුළු අතරේ දුක සම සමව ගෙන අපි හඬන්නට ඇති..

සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...


පැන නැගුණු රළු බාධා පසුකර අත් වැල් බැඳන් අපි පියමණින්නට ඇති....

ආත්ම ගනක් පෙරුම් පුරාගෙන මේ විදිහට අපි  ආදරයෙන් ලඟ ඉන්න ඇති.. 

මාලිනී ජයරත්නයන්ගි ගී සංකල්පනාවක් අනුව, මහාචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ස්වර තත් රටාවන්ට, ටී. එම්. ජයරත්නයන්ගේ හඬ මුසුවු මේ ගීතය ඔබත් රස විඳලා ඇති...

සොඳුරු අතීතයේ
නිමල පැතුම වී...
මගෙ හදතුළ ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති...

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද...
බවය පුරා ළඟ ඉන්න ඇති...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණන් පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

මේ ගීතය තුශානිත් හුඟක් ආස කරන ගීතයක්.. ඉතින් ගීතය රස විඳිද්දී හිතට ආපු දේවල් ටිකක් තමයි මේ කුරු‍ටු ගාලා තියෙන්නේ...  :)

ගීතය ඇතුලේ කොයි තරම් නම් ලස්සන අදහස් ටිකක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔයාලත් ටිකක් හිතලා බලන්නකෝ...

 

 

Sunday, July 20, 2014

හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලගේ අලුත්ම විස්තර ....

හැමෝම දන්නවනේ  හිම කුමාරිගේ කතාව .. ඔව් ඔව් අර කුමාරයෙක් ඇවිත් නපුරු මන්තරකාරියකගේ ශාපයක් නිසා නිදාගෙන හිටිය කුමාරිකාවට හාද්දක් දීලා ශාපෙන් මුදව ගත්ත කතාව තමයි.. 

කතාවේ හැටියට කුමාරයා එහෙමත් නැත්නම් ප්‍රින්ස් චාර්මින් හිම කුමාරිත් එක්ක බොහොම සතුටින් කල් ගෙව්වලු. ඒත් ඊට පස්සේ අර හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලට මොකද වුනේ කියල කොහේවත් ලියවිලා තිබුනේ නෑනේ. ඉතින් තුශානිට හිතුනා මේ කුරුමිටි මාමලා  ඉන්න ගමට ගිහින් එයාලගේ විස්තර ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. 
පහුගිය ටිකේ තුශානි බ්ලොග් එක පැත්තේ පේන්න හිටියේ නෑ කියල හොය හොය හිටිය අයටත් ඔන්න දැන් උත්තරේ දුන්නා හොඳේ .. :)

ඉතින් හිම කුමාරිගේ වගේ දිගම දිග ගවුමකුත් ඇඳගෙන සින්ඩරෙල්ලාගේ වගේ සෙරප්පු දෙකකුත් දාගෙන ඇලඩින් අයියා දීපු අර මැජික් පාපිස්සේ නැගල ගමට ගියාම කුරුමිටි මාමලා හිතලා තියෙන්නේ මම හිම කුමාරි කියලා .. හි.. හි...  


දන්නවද ... එයාලා තුශානිව හරිම ආදරෙන් පිළිගත්තා. අපේ DOC මාමා ලස්සන කවියක් කියලා තමයි කතාව පටන් ගත්තේ. කොහොමත් එයා ඉස්සර ඉඳලම කවි ලියන්න, කියන්න හරි දක්ෂයිනේ.. 

ඊට එහා පැත්තේ හිටියේ Grumpy මාමා. දන්නවනේ.. එයාගේ හෝස්ස ලඟින් මැස්සෙක්ටවත් යන්න බෑ කියලා. පුංචි දේටත් තරහ යන නිසා තුශානි එයත් එක්ක නම් වැඩි කතාවට ගියේ නෑ. 

තුශානි කෙලින්ම ගියේ Happy මාමා ලඟට. එයාගේ වැඩේ ඉතින් ඉස්සර වගේම තාමත් හැමදේටම හිනා වෙවී ඉන්න එක..  හිනා වෙවී ඉඳලම එයා නම් දැන් ටිකක් මහත් වෙලා.   ඒ වෙලාවෙත් Sneezy මාමට කිඹුහුම් යන එකට හිනා වෙවි තමයි හිටියේ. 

"ගානක් වෙන්න තව කිඹුහුම් දෙකක් ගියා නම් හරි... හි.. හි...  " Happy මාමා හිනා වුනා. 

අනේ පව්.. Sneezy මාමට ඉස්සර වගේම තාමත් හෙම්බිරිස්සාව. එවෙලේත් එක දිගට කිඹුහුම් 8 ගිහින් තමයි ඔය Happy මාමා හිනා වෙවී හිටියේ.. 

හිනා සද්දෙට ඇහැරිච්ච Sleepy මාමා දිග ඈනුමකුත් ඇරලා කතාවට හවුල් වුනාට මොකද මෙන්න ටික වෙලාවකින් ආපහු නිදි. 

Dopey මාමත් ඉස්සර වගේමයි. ඔන්න නම Dopey වුනාට මෙයාගේ  සැර බීම නම් පාවිච්චියක් නෑ හොඳද . හැබැයි හැසිරුනේ බීපු කෙනෙක් වගේ. 

ලැජ්ජාවෙන් පොලව හාර හාර හිටිය Bashful මාම නම් වැඩිය කතා බහ කලේ නෑ. එයා ඉතින් ඉස්සර ඉඳලම හරි ලැජ්ජකාරයනේ .. රසට කෑම හදන්න දන්න නිසා එයා තමයි හැමෝටම දවල් කෑම පිලියල කලේ. 

දවල් කෑමෙන් පස්සේ මාමලා ටික එකතුවලා තුශානිට ගෙදර ගේන්න දෙන්න  එක එක දේවල් ලෑස්ති කලා.


රට කජු ගෙනැල්ලා පොතු ඇරලා ලොකූ... රට කජු ගොට්ටක් හදලා දුන්නා තුශානිට එන ගමන් කකා එන්න. ඔය තියෙන්නෙ ඒකේ පින්තූරයක්.

තව.... එයාලගේ මිදි ඵලදාවෙන් රසම රස මිදි ගෙනැල්ලා මිදි ටිකකුත් ලෑස්ති කරලා දුන්නා ගෙදර ගේන්න මෙන්න මේ වගේ.

අහ්.. ගෙදර ගෙනැත් පැල කරගන්න පැණි කොමඩු ඇට ටිකකුත් දුන්නා මෙන්න මේ විදිහට

තුශානි චීස් කන්න ආසයි කියලා කොහොම දැනගෙනද මන්දා චීස් ටිකකුත් දුන්නානේ ගෙදර ගේන්න. 


අන්තීමේදි ඔක්කොම එකතු වුනාම මැජික් පාපිස්ස පිරෙන තරමටම ගේන්න එක එක ජාති ගොඩයි.. 

හිම කුමාරිත් නැති නිසා එහේ ටික දවසක් නැවතිලා යන්න කියලත් කට්ටියගෙන හරිම කරදරේ..  ඒත් ඉතින් එහෙම ඉන්න බෑනේ.. බැරි වෙලාවත් ප්‍රින්ස් චාමින් කෙනෙක් ආවේ නැත්තම් නේද ... හි.. හි... :D දුකෙන් වුනත් තුශානි එයාලගෙන් සමු අරගෙන අවා. 

 ඔන්න ඔහොමයි කුරුමිටි මාමලගේ අලුත්ම විස්තර. ඉතින් ඔයාලත් ඉඩකඩක් තියෙන වෙලාවක ඒ පැත්තේ ගිහින් එන්න යන්නකෝ..


ප.ලි. - පින්තූර ටික නම් ලැබුනේ ඊමෙල්  එකකින්. පින්තූර දැක්කහම එක පාරටම මතක් වුනේ හිම කුමාරිගේ කතාව නිසා මේ විදිහට කතාවක් ලියන්න හිතුනා .. :)








Tuesday, July 8, 2014

සුබ උපන්දිනයක් අම්මා...



සඳෙහි වු සොමි ගුණය
හද පතුලේ රඳවමින්
තරු එළිය කරන්නට
කිරණ දුන්නේ ඔබයි...

නෙතු පියන් විලස හිඳ
රැකගමින් නිරතුරුව
ආදරෙන් හොඳ නරක
කියාදුන්නේ ඔබයි..


ඔබෙ සුවඳ කිරි සුවඳේ
මුසුව ජීවය දෙමින්
තුරුලේ හිඳ නැළවෙන්න
සෙවන වුයේ ඔබයි...


මුවග පිරි සිනාවත්
සතුට රැඳි දිවි රටාවත්
යෙහෙළියක් ලෙසින් හිඳ
පෙන්වුවේ ඔබයි...


දූ පොඩිත්තක් ලෙසට
මේ භවේ ලෙසින් මතු
උපදිනා හැම භවේ
පතන්නේ ඔබයි...


සුබම සුබ උපන්දිනයක් අම්මා..

Related Posts Plugin for WordPress, Blogger...