Saturday, January 25, 2014

ආදරණීය මර්සි නැන්දා ...



මර්සි එදිරිසිංහ කියන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය එක විදිහට ජයගත් අපේ යුගයේ බොහොම ප්‍රවීණ, හැම කෙනෙක්ම හුඟක් ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. උපතින් ලද කට හඬත් දෝතින් ‍රැගෙන ආ කලා ප්‍රතිභාවෙනුත් ඈ කළ හපන්කම් අපි හැම කෙනෙක්ම අවිවාදයෙන් යුතුව ඉහලින්ම රස වින්දා කිව්වොත් නිවැරදියි.

ඒත් ඇය මේ වන විට ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී තත්වයෙන් ඉන්නව කියන පුවත අහන්න දකින්න ලැබීම තුශානිගේ හිතට ලොකු වේදනාවක් ගෙන එන්න හේතු වුනා. ඒ තුශානිට මීට සුළු කාලයකට කලින් ගුවන් විදුලියේදි ඇයව දැන හඳුන ගන්න ලැබීමත්, ඇයගෙන් ගුරු හරුකම් ලබන්නට වාසනාවන්ත වීමත් නිසා වෙන් වගේම, තුශානි හුඟක් ආදරය කරන ගෞරව කරන තවත් එක් චරිතයක් නිසාවෙන්.

තුශානි ගුවන් විදුලිය තුල ළමා ශිල්පිණියක් විදිහට ගතකල සොඳුරු කාලය බ්ලොග් පි‍ටු අතරට එක් කරන්න නම්  තාම  අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් අද නෙවෙයි, ඉදිරියෙදි ඉඩ කඩ ලැබෙන විදිහට ඒ රසබර අත්දැකීම් හුඟක් ලබාගත්ත, ජීවිතයේ අමරණීය කාලය ගැන  පුංචි සටහන් කීපයක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා..

ඒත් අද තුශානි මේ ලිපිය වෙන් කරන්නේ ආදරණීය මර්සි නැන්දා වෙනුවෙන්. මර්සි නැන්දා කිව්වේ ගුවන් විදුලිය තුල ඇන්ටිලා අන්කල්ලා නැති නිසා. අක්කලා අයියලා හැරුනහම වයසින් මුහුකුරා ගිය හැම වැඩිහිටි කෙනෙක්ම අපිට නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි වුනා. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, හඳමාමා, සමනල ලන්ද, ගුවන් විදුලි නාට්‍ය  වගේ වැඩසටහන් අහපු අපේ බ්ලොග් යාළුවො ඉන්නවනම් ඒ අය දන්නවා ඇති මහින්ද අල්ගම මාමා, ලක්ෂ්මන් කහටපිටිය මාමා, සුමනා ජයතිලක නැන්දා වගේ අය දු‍ටු නොදු‍ටු හැම කෙනෙක්ටම කොච්චර ආදරනීය නැන්දලා මාමලා වුනාද කියලා. ඉතින් ඒ වගේ අපි මර්සි එදිරිසිංහ මහත්මියත් ඇමතුවේ මර්සි නැන්දා කියලා.

මර්සි නැන්දා ඒ වෙනකොටත් හුගක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටිය නිසා ඇය අපිව නොහඳුනනවා වුනත් අපි ඇය ගැන හොඳින් දැන ගෙන හිටියා. ඒ නිසාම එයා කථා කරන , හිනාවෙන, ඇවිදින විදිහ මම හරිම ඕනෑ කමින් හුඟක් ආසාවෙන් බලන් හිටිය විදිහ තාමත් මට මතකයි. බොහොම සැහැල්ලු, සරල, විනෝදකාමී කෙනෙක් වුනු මර්සි නැන්දා  පුංචි ආධුනිකයන් වෙච්චි අපිට ලොකු ශක්තියක් වුනා.

තුශානිටත් ගුවන් විදුලි නට්‍ය සහ හඬ කැවීම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුන නිසා මර්සි නැන්දගේ කට හඬ හැසිරවීම්, කට හඬ පාලන, හඬ වෙනස්කිරීම් වගේ දේවල් වල සජීවී අත්දැකීමුත්, ප්‍රවීණ ගුරුහරුකමුත් ලබන්න හැකියාව ලැබුනා.  

සොඳුරු සිදුවීම් බොහෝමයක් තිබුනත් ඒ අතරිනුත් තුශානිට කිසි දවසක අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ තුශානි නාට්‍ය වලට සම්බන්ද වුනු මුල් කාලයේ එක් අවස්ථාවක තුශානිට ලැබුන නාට්‍ය චරිතයක් කරන්න ලැජ්ජාවෙන් බලන් ඉන්නකොට පිටට තට්ටුවක් දාලා ඒක කරන හැටි කියලා දීපු අවස්ථාව. ලොවි ගෙඩියක් තරමට මූණ රතු කරගෙන එදා මර්සි නැන්දා දිහා තුශානි බලන් හිටිය හැටි ඊට පස්සේත් කටිටිය මතක් කළා.

ඒ මතකයන් එක්ක අද ඇඳක් මත වැතිරිලා ඉන්න මර්සි නැන්දා දකින කොට හිතට එන වේදනාව වචන වලට පෙරලන්න බැරි තරම්. තුශානි විශ්වාස කරන දෙයක් තමයි. මොනාහරි දෙයක් ගැන එක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවට වඩා වැඩි දෙනෙක් ඒ ප්‍රාර්ථනාව කරනව නම් ඒක හුඟක් බල සම්පන්නයි කියන එක. ඉතින් ඒ නිසාම මර්සි නැන්දා වෙනුවෙනුත් තුශානි කරන ප්‍රාර්ථනාවට බ්ලොග් යාළුවනුත් සම්බන් කරගෙන බොහොම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනයක් කරන්න ඕනේ කියලා හිතුවා.

" ආදරණීය මර්සි නැන්දේ ... සිනහවෙන් අප සිනහ ගැන්වු ඔබේ දිවියත් සිනහවෙන්
ගෙවන්නට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ...! "




--------- පින්තූරය : සිළුමිණ සිත්මල්යාය  -----------

Tuesday, January 14, 2014

දුරුතු මහා මංගල්‍යය....


සම්බුදු හිමියන්ගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත්වු කැලණි පුදබිම ලෝවැසි බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩක් බඳු වන්දනීය පූද බිමක්.  නව වසරේ ආරම්භය සනි‍ටුහන් කරන දුරුතු මාසය කැලණි පුද බිමට බොහොම සුවිශේෂි මාසයක්. ඒ දුරුතු මහාමංගල්‍යය හෙවත් දුරුතු පෙරහැර වෙනුවෙන් සියළු කටයුතු සූදානම්වෙන නිසාවෙන්. කිරි පාටට බැබලෙමින් අහසට විහිදුනු කොත් කැ‍රැල්ලත්, සීතල සුළඟට ලෙලදෙන බෝපත් වල අසිරියත්, සුන්දරව ගලා යන කැලණි නදියේ චමත්කාරයත්, සියසින් දකින්න අවස්ථාව තුශානිට ලැබෙන නිසා ඒ ගැන කෙටියෙන් හරි සටහනක් තියන්න ඕනේ කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ.

කැලණි පුදබිම බොහෝ දෙනෙක් වන්දනා මාන කරලා තියෙන තැනක් වුනත් ඒ ගැන ඉතිහාස තොරතුරු දන්නේ හරිම අඩු පිරිසක්. පුරාණ වංශ කතා වලට අනුව රාම - රාවණා යුද්ධයේදී රාමාට පක්ෂව කටයුතු කරපු විභිෂණට කෘ‍තෝපකාරයක් විදිහට රාම විසින් ලංකා රාජ්‍යය පවරාදීමෙන් අනතුරුව විභීෂණයින් කැලණිය සිය රාජධානිය කොට ගෙන පාලනය කළ කියලා රාමායනයේ සඳහන් වෙනවා. ඒ වගේම අදටත් විභීෂණ දෙවියන් ලෙසින් කැලණි පුරවරය ආරක්ෂා කරනවා කියලත් අපේ පැ‍රැණ්නන් අතර ලොකු විශ්වාසයක් තියෙනවා.

විභීෂණ යුගයෙන් පස්සේ කැලණි රාජධානියේ අධිපතීත්වය ගන්නේ මණි අක්ඛික කියන නා රජතුමා. මිණි පළඟක් අරභයා චූලෝදර මහෝදරයන් අතර ඇතිවන්නට ගිය සටන සංසිඳුවීම සඳහා බුදු පියානන් වහන්සේ නාගදීපයට වැඩම කල අවස්ථාවේ මණිඅක්ඛික නා රජුන් කල ආරාධනාවකට අනුව බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් මස පුර පසලොස්වක පොහෝදවසේ රහතන් වහන්සේලා 500 නමක් සමග බුදු පියානන් වහන්සේ කැලණියට වැඩි බව මහාවංශයේ සඳහන් වෙනවා. නා රජතුමා විසින් බුදු පියානන් ධර්මය දේශනා කරපු ස්ථානයේ ස්තූපයක් කරවපු බවත් පස්සේ කාලෙක යටාලතිස්ස රජතුමා ඒ ස්ථූපය සැට රියන් උස් කොට ඉදිකලා කියලත් සඳහන් වෙනවා. මේ විදිහට විවිද අවස්ථාවල ප්‍රතිසංස්කරණය වුනු ස්ථූපය අද ධාන්‍යාකාර හැඩයකින් යුක්තවෙනවා. සැළලිහිණි සන්දේශයේ සැළලිහිනියා ගේ නෙත ගැටෙන්නට මේ කැලණි පුදබිම හේතු වන්නේත් කැලණි ස්ථූපය ගුවනට විහිදුනු ආකාරය නිසාවෙන්.



ඊට අමතරව කැලණිය ගැන සඳහන් වෙන අනිත් ප්‍රධාන අවස්ථාව තමයි කැලණි තිස්ස රජ දවස රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දවා අපවත් කරවූ ශාපයට මුහුද ගොඩ ගලපු අවස්ථාව. දේවි කුමරිය ඒ විපත්තියෙන් රට බේර ගන්න මුහුදට බිලිවීමත්, මුහුදේ පාවෙලා ගියපු දේවි කුමරිය කිරින්දේ වෙරළට ගොඩ බැහැලා කාවන්තිස්ස රජතුමා ඇයව සරණපාව ගත්ත කතාවත් බොහොම ප්‍රසිද්ධ කථා පුවතක්. 

කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහැර අරම්භ වෙන්නේ 1927 වර්ෂයේදියි. පෙරහැර උඩ මළුවේ , දෙවනි මළුවේ හා මහ මළුවේ පෙරහැර විදිහට දින 3 ක් පුරාවට පැවැත්වෙනවා. පෙරහැරේම තවත් එක් අංගයක් විදිහට පෙරහැර දින 3 ට කලින් දවසේ, දේව දූත පෙරහැරක් පවත්වලා පෙරහැරට ආශිර්වාද ලබා ගැනීම සිද්ධ කරනවා.  සියළුම අංගයන් ගෙන් සමන්විත වෙන මේ දේව දූත පෙරහැරෙන් දේව දුතයකු   (පන්සල ඇසුරේ පේවෙමින් සූදානම් වු පිරිමි දරුවෙක්) කැලණි විහාරයට රැගෙන යාමත් දොරකඩ අස්න හා අනුශාසනා පැවැත්වීමත් සාමාන්‍ය සිරිතයි.

හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ දායකත්වයෙන් ආරම්භවෙන කැලණි පෙරහැර අද වෙනවිට දෙවනි වන්නේ මහනුවර ඇසළ පෙරහැරට පමණක් කියලයි මම විශ්වාස කරන්නේ. දෙස් විදෙස් බොහෝ පිරිසක් පෙරහැර නරඹන්න කැලණි පුද බිමට එක්වීම ඊට සාක්ෂි දරනවා. පෙරහැරට උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග ‍රැසකින් සමන්විත වෙන අතරෙම අලි ඇතුන් 50 කඅධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. 



ඉතින් අද ( 14 වෙනිදා ) කැලණි පෙරහැරේ අවසන් මහ පෙරහැර පැවත්වෙන දවස. හැකියාවක් තියෙනවනම් පෙරහැර බලන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම එන්න හැකියාවක් නැත්නම් අන්තරජාලය ඔස්සේ පෙරහැර නරඹන්න අවස්ථාවක් උදාකරගන්න කියලාත් මතක් කරනවා. 

කියන්න තව බොහෝ දේ තිබුනත් අවශ්‍යවුනේ බොහොම කෙටියෙන් මේ සටහන ගෙන එන්න. කැලණි පුර වරුනත් යටගියාව පිලිබඳ තොරතුරුත් බොහෝ සේම "  උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ " කියනව වගේ එක් වරක් හරි කැලණි පුද බිම වන්දනා මාන කරගන්නට ලැබීමත් මහා පින්කමක් වගේම වාසනාවක් කියලයි මම හිතන්නේ..

පින්තූර - ගූගල් ගෙන්

Sunday, January 5, 2014

කඳුළු අතරින් හිනැහෙන පුංචි පැංචෝ...




2014 උදාවෙලා අදට දවස් 5ක් ගතවෙලා. තඹ කම්බියක් දිගේ විදුලිය බොහොම වේගයෙන් ගමන් කරනව වගේ හරිම වේගයෙන් මේ දවස් ටික ගෙවිලා ගියා කියලයි මට හිතෙන්නේ. අද 5 වෙනිදා වුනත් තුශානි තාමත් ඉන්නේ ජනවාරි පළවෙනිදාවේ සුන්දර මතකයන් ගොඩක් එක්ක. ඒ නිසාම ටිකක් පරක්කු වෙලා වුනත් ඒ ගැන පුංචි සටහනක් හා හා පුරා කියලා මේ වසරේ ලියන මුල්ම පෝස්‍ටුවේ ලියන්න ඕනේ කියලා හිතාගෙනයි අද නම් බ්ලොග් එක පැත්තට ආවේ.

2013 ට ආයුබෝවන් කියලා 2014 පිලිගත්ත අපි අනිත් ආයතන වල වගේම ජනවාරි පළවෙනිදාව ආරම්භ කලේ ආගමික වතාවත් වලට මුල් තැන දීලා. ආගමික වතාවත් වලින් පස්සේ සුබ පැතුම් අතරේම කැවිලි පෙවිලි හිනා වෙවි තේ මේස වල හැඩ වෙලා හිටියා .ඉතින් කට්ටියම සුපුරුදු ලෙන්ගතු කමත් එක්ක අවුරුදු තේ මේසෙට එකතුවුනා. මේ හැම දෙයක්ම හැම වසරකම පුරුද්දක් විදිහට අපි කරගෙන ආපු දේවල්. ඉතින් ඒ දේට තවත් සුවිශේෂ යමක් එකතු කරන්න ඕනේ කියලා හිතපු නිසයි මේ අවුරුද්දේ  අපේ කට්ටිය හිතුවේ අලුත් දේකට මුලපුරන්න ඕනේ කියලා.

ගිය වසරේ පොසොන් පෝය වෙනුවෙන් දවසක් වැඩිහිටි නිවාසයක ගතකරලා වයසක අම්මලා තාත්තලට ඕන කරන බොහෝ දේ එක්ක සවස් කාලයේ බැති ගී ප්‍රසංගයක් පවත්වලා ඒ අයට ඒ දවස ජීවිතේ තවත් සුවිශේෂ දවසක් කල අපේ කට්ටිය 1 වෙනිදාව පුංචි යාළුවෝ ගොඩක් එක්ක ගතකරන්න ඕනේ කියලා අදහස් කලේ මීට මාස කීපයකටත් කලින්.  

ඉතින් සූදානම් වෙච්ච විදිහට දහවල් ආහාරයත් තෑගි ගොඩකුත් අරගෙන අපි පුංචි යාළුවෝ බලන්න ගියා. බලපොරොත්තු වුනු තොර‍තෝන්චියක් නැතුව කතා කරන දඟකාර පොඩිත්තන් වෙනුවට කඳුළු පිරිච්ච ඇස් වලින දහසකුත් දේ කියවෙන මුහුණු නිවාසයට ගොඩවුන අපිට දකින්න ලැබුනා.

ළමා නිවාසය පිහිටි ස්ථානය, නම වගේ තොරතුරු ලියන්න අදහසක් නැති වුනත් ඒක  පරිවාසභාරයේ පිහිටි ළමා නිවාසයක් කියන එක සඳහන් කරන්න හිතුවා. අධිකරන හේතු මත අසරණ භාවයට පත් දරුවන්ට එතන නිවහනක් වෙලා තිබුනා. ඔවුන්ගේ කතාවන් බොහෝ වුවත් ඒවා නැවත හාරවුස්සමින් අඳුරු මතකයක් යලි මතක්කරවන්නට අපිට වුවමනාවක් නොතිබුනු නිසා ඒ ගැන නො අසන්නට අපි කවුරුත් වගබලා ගත්තා.

හෝරා කිහිපයක් ඔවුන් සමගින් සතුටින් ගතකරන්නට මැවූ සිහිනය ළමා නිවාසයට ගොඩ වෙන විට දැක්ක මුහුණු නිසා බොඳවෙලා යන්න හැදුවත් අපේ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් හෝර දෙක තුනක් වෙනුවට හෝරා පහක් ඉක්මවු කාලයක් අපිටත් නොදැනීම බොහොම සුන්දරව ගතවෙලා ගියේ නොමැකෙන සොඳුරු සටහනක් අපේ ජීවිත වලටත් එක්කරමින්. 

ගී හඬත් සතු‍ටු සිනා හඬත් එක්ක තාලෙට තැබූ පාසටහන් මුළු නිවාසයම වර්ණවත් කලා. පිනි බිංදු ඉර එළියට වාශ්ප වෙලා යනව වගේ දුක් බර මුහුණු එයාලටත් හොරෙන් යන්න ගිහින් තිබුනා. සින්දු කියන්න නටන්න පොඩිත්තෝ හැම කෙනෙක්ම එක වගේ හැකියාව පෙන්නුවා.

රාජකාරිය දේව කාරිය වගේ සලකපු අපේ කට්ටියත් පාසල් යන පුංචි ළමයි වගේ පොඩිත්තන් එක්ක විනෝද වුනා. ජීවිතේ බොහෝ දේ අහිමිවී ගියත් උපන් හැකියාවන් දෝතින් ‍රැගෙනවිත් තිබුනු නිසා වෙන්දෝ පුංචි යාළුවන්ගේ හපන්කම් අපි හැම කෙනෙකුගෙම ඇහැට කඳුලක් ගෙන ආවා.

තෑගි ගොඩක් එක්ක අවුරුද්ද පුරාවටම වගේම මුළු ජීවිතයටම සතුටත් එයාලට දීලා එන්න ඕනේ කියන අදහස ඇපේ කට්ටිය අතරේ තිබුනා.  1 වෙනිදාව තමන් වෙනුවෙන් ගෙදර අය වෙනුවෙන් කැප කිරීම පසෙක දාලා ඔවුන් මේ පොඩිත්තන්ගේ සතුට වෙනුවෙන් වු සහභාගීත්වය, මහන්සිය සැබවින්ම ප්‍රශංසනීයයි. තුශානිට ඒ ගැන තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්. 

ඒ ආශිර්වාදය අවුරුද්ද පුරාවටම අපේ ජීවිත වලටත් ලැබේවා කියක පැතුම ළමා නිවාසයෙන් නික්මෙන වෙලාවේ පොඩිත්තන්ගේ හිත් වල අපි වෙනුවෙන් තිබුනා...



Related Posts Plugin for WordPress, Blogger...