Wednesday, January 4, 2017

120. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ...



" අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... "
 

හපොයි... මේ දවස්වල තුශානිගෙන් වැඩිපුරම කට්ටිය ඉල්ලන්නේ ඩයරි. හරියට තුශානි ඩයරි ප්‍රින්ට් කරලා බෙදනවා වගේ හැමෝම ඉල්ලන්නේ ඩයරියක්. හි.. හි.. කොහොම වුනත් තුශානිට ලැබුනු එක එක විදිහේ එක එක ප්‍රමාණයේ ඩයරි ගොඩක් කට්ටියට අලුත් අවුරුදු තෑගි විදිහට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුන එක සතුටක්.

හැබෑටම කට්ටිය මෙච්චර ඩයරි ඉල්ලුවට ඉල්ලන්නෙ ඩයරි පාවිච්චි කරන්නමද ?

ඒ ගැන හොයලා බැලුවොත් නම් උත්තරය ලැබෙන්නෙ නෑ කියන එක තමයි. ගොඩ දෙනක් ඩයරියක් ලඟ තියාගෙන හිටියට බොහොම අතලොස්සක් දෙනෙක් තමයි ඩයරියක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා ඩයරි පාවිච්චි කරන එක ගැන ඔයාලත් එක්ක තොරතුරු ටිකක් බෙදා ගන්න. 

එදිනෙදා ජීවිතේදී අපි හැම කෙනෙක්ටම වැඩ කටයුතු, වගකීම් ගොඩක් පැවරිලා තියෙනවා ඉටු කරන්න. ඉතින් ඒ පැවරෙන හැම වගකීමක්ම, වැඩ කටයුත්තක්ම හොඳින් සමබරව, අතපසු වීමකින් තොරව කරගෙන යන්න නම් දිනපොතක් එහෙමත් නැත්තම් ඩයරියක් අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. 

එතකොට කොහොමද ඩයරියක් පාවිච්චි කරන්නේ ? 


මේකට උත්තර ගොඩක් තියෙන්න පුලුවන්. මොකද ඩයරි පාවිච්චි කරන විදිහ ඒ කෙනා අනුව තීරණය වෙන දෙයක් නිසා. 

ඩයරියක් පාවිච්චි කරනකොට ඒ ඒ දවසේ කරන්න තියෙන වැඩ වෙලාවල් එක්ක සටහන් කරගෙන තියා ගන්න පුලුවන්. ඒ වගේම ඒවා ඉවර කරගන්න පුළුවන් උනා නම් "හරි" සලකුණක් දාලා සටහන් කරගෙන තියා ගත්තොත් දවස අවසානයේ අපිටම අපේ දවස ගැන තෘප්තියක් ඇතිකර ගන්න පුළුවන්. කරපු දේවල් වලින් අතපසු වෙච්ච දේවල් වෙන් කරගෙන ඊලඟ දවස සැලසුම් කරගන්නත් පුළුවන්.

උපන්දින , සංවත්සර, මගුල් ගෙවල්, දාන , පිංකම් වගේ දේවල් වලට ආරාධනා ලබුනු සැනින් සටහන් කරගෙන තියා ගත්තොත් ඒවා අමතක වෙලා වෙන අකරතැබ්බ වලක්ව න්නත් පුළුවන්. විශේෂයෙන් උපන්දින සංවත්සර අමතක උනොත් වෙන දේ ඉතින් කියන්න ඕනෙ නෑනේ. හි.. හි.. ඒ නිසා විශේෂ දවස්, විශේෂ වැඩ වෙනමම පාටකින් ටිකක් හයිලයිට් කරලා හරි ලියලා තියා ගන්න එක වැදගත්. 

ඒත් එක්කම සෞඛ්‍ය තොරතුරු, පවුලේ අයගෙ තොරතුරු, ලේ වර්ග, අත්‍යාවශ්‍යම දුරකථන අංක කිහිපයක්, බැංකු ගිනුම් විස්තර රහස්‍ය භාවය රැකෙන විදිහට සංඛේත එක්ක සටහන් ඩයරියෙ ලියලා තියා ගැනීමත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙනවා. 

ලයිට් බිල්, වතුර බිල් වගේ වියදම් වෙනමම සටහන් කරගෙන ආදායම් වියදම් පුංචි සටහනක් උනත් පවත්වගෙන යන්න පුළුවන්. 

ඒ වගේම ඉදිරි සැලසුම්, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන මාර්ග, කාලයන් සටහන් කරගෙන තියා ගැනීමෙනුත් ඒ දේවල් වල ප්‍රගතිය බලා ගන්න පුළුවන්. ඒක සැලසුම් සාර්ථක කරගන්න හොඳ උත්තේජනයක් වෙනවා. 

හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් තරමේ පුංචි ඩයරියක් පාවිච්චියට නම් හරිම පහසුයි. කාර්යාලයක ටිකක් වැඩ බහුල කෙනෙකුට කාර්යාලය සඳහා වෙනමම ඩයරියක් පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂනේ දියුණුවත් එක්ක ගොඩ දෙනෙක් අද  ඉලෙක්ට්‍රොනික් ඩයරි භාවිතයට හුරු වෙලා ඉන්න බවක් දකින්න තියෙනවා. කාර්යාල වැඩකටයුතු වලට නම් මේ ඉලෙක්ට්‍රොකිනික ඩයරි භාවිතය ගොඩක් සාර්ථක ක්‍රියාවලියක්. 

මේ කොයි විදිහට හරි තමන්ගෙ වැඩ සැලසුමකට අනුව කරගෙන යන්න පුළුවන් නම් අතපසු වීම් ගොඩක් වලක්වගෙන සාර්ථක දවසක් , මාසයක්, අවුරුද්දක් ගතකරන්න පුළුවන් කියන පණිවිඩය අද තුශානි අවුරුද්දේ ලියන පලවෙනිම පොස්ට් එකෙන් ඔයාලට මතක් කරනවා. 

ඉතින් ඔයාලටත් ඩයරි ලියන එක ගැන කියන්න බොහෝමයක් දේවල්
ඇති. ඒ අදහසුත් එකතු කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට තුශානි නවතිනවා. 


~*~



Related Posts Plugin for WordPress, Blogger...