Thursday, July 30, 2015

85. ඔපීසියේ රස කතා - (5)

නව නිංගිරාව

කාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරසිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි... 

හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව යනු කියන එකට මේක හොඳම හොඳ උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ ඒක හරියටම ගැලපෙනවා.

තුශානි වැඩ කරන්නේ විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන සාමගමක කියලා කලින් කියලා තියෙනවනේ. ඉතින් පිටරටවල් වලින් අපේ ආයතනයට ඕනේ කරන දේවල් අපි ගෙන්නනවා. මෙහෙම ඒ දේවල් ලංකාවට ගේද්දී භාන්ඩ වර්ග මොනවද, කොච්ච ප්‍රමාණයක් එනවද, කොච්චර මිලක් වෙනවද එහෙම කියලා ලිපි ලේඛන ටිකක් තියෙනවා අපිට හදන්න. ඉතින් එදත් සුපුරුදු විදිහට ඒ ලිපි ලේඛන ටික අපි හදාගෙන යනකොට මෙන්න එක්කෙනෙක් කියනවා ආපු ඉන්වොයිස් එකක් වැරදියි කියලා.

" මේ.. හොඳටම ෂුවර් ද ? "

අපේ අයගේ හැටි දන්න නිසා කෝකටත් කියලා මම ආපහු සැරයක් ඇහුවා.  

"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "

"අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්....   ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්..  

දැන් ඉතින් මොනවා කරන්නද. කාටද අප්පේ ඔය පිටු දහයක් විතර තියෙන ඉන්වොයිස් එක ආපහු චෙක් කර කර ඉන්න පුළුවන් මේ ගෙදර දුවන්න ලෑස්තිවෙලා ඉන්න වෙලේ. ඒ නිසා කොම්පීතරේට ටිකක් එබිලා හරි එක එවන්න කියලා ඊ මේල් එකක් දාලා මාත් ඉතින් ගෙදර ගියා.  

ඊලඟ දවසේ ඉතින් සුපුරුදු විදිහට පිණිබර හිමිදිරියේම ඔපීසියට ඇවිත් වැඩ පටන් අරගෙන විනාඩි කීපයයි ගියේ.. මෙන්න කවුදෝ ඇවිත් මගේ ලඟ ඔළුව නව නව ඉන්නවා මගේ ඇහි පිල්ලමේ කොනේම ඇහි පිහාට්ට අතරින් පේන්න පටන් ගත්තා. 

"ගුඩ් මෝනිං තුශානි.. බ්ලා බ්ලා.. බ්ලා....  " කියලා දෙතුන් සැරයක් නැවිලා ජපන් මහත්තයෙක් විස්තරයක් කියන්න පටන් ගත්තා.  

බැලින්නම් මෙයා අර මම ඉන්වොයිස් එක වැරදියි කියලා යවපු කොම්පැනියෙම එක්කෙනෙක්. වෙන වැඩ වගේකට මේ දවස් වල අපේ කොම්පැනියට ඇවිත් ඉඳලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අර කොම්පැනියෙන් එයාට කතා කරලා කියලා, ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.
  

ඉන්වොයිස් එක ඉතින් වැරදියිනේ මාත් ඉතින් බය නැතුව වාඩි වෙන්න කියලා  ඩොකියුමන්ට්ස් ටික අතට දුන්නා බලන්න කියලා.  

ඉන්වොයිස් එක වැරදියි කියලා දීපු එක්කෙනාටත් මම ඒ අතර තුරේ කෝල් එකක් දීලා වෙච්චි සිද්දිය කියනකොට මෙන්න ඒ පාර එයා කියනවා " බලන්නකෝ හරි වැඩේනේ මට කොළයක් මිස් වෙලා ඒකත් ආවහම නම් ටෝට්ල් එක හරි වගේලු.
  

ඔන්න එතකොට තමයි මටත් තරු එකක් දෙකක් පේන්න පටන් ගත්තේ. මේල් එකක් දැම්මට මම ආපහු චෙක් කලේ නෑනේද කියලා මගේ ටිකිරි මෝලේට කල්පනා වෙන්න පටන් ගත්තා. එතකොටම හීන් දාඩිය දාන්න පටන් අරෙගෙන ඇඳගෙන හිටිය රතු පාට සාරියේ පාට ගෑවිලා වගේ අත පය රතු පාට වෙලා තමයි පේන්න පටන් ගත්තේ.  

තක්කාලි ගෙඩියක් මූණේ හයි කරගෙන වගේ  ඊට පස්සේ මම අර මනුස්සයා දිහා බලනකොට ඒ මනුස්සයා බොහොම සැහැල්ලුවෙන් ඩොකියුමන්ට්ස් ටික චෙක් කරනවා... චුට්ටක් නවත්තනවා... ගෙනත් දීපු තේ එක බොනවා... ආපහු කැල්කියුලේටර් එක අරෙගෙන ටොක් ටොක් ගාලා ඔබනවා ... ලැප්ටොප් එක දිහා ටිකක් බලාගෙන ඉන්නවා... වට පිට බලනවා... බොහොම සැහැල්ලුවෙන් වැඩ. 

දැන් ඉතින් මොකද කරන්නේ... විනාසයි... අනිවාර්යයෙන් බැනුම් කෝටියක් අහන්නම වෙනවා. වක්කඩේ කැඩුවා වගේ එක තප්පරයට එක්දාස් පන්සීයක් විතර දේවල් හිතට එන්න පටන් ගත්තා.  

මොනවා කරන්නද ඉතින් වෙච්චි දේ වුනානේ. එන විදිහට ෆේස් කරනවා කියලා හිත හදාගෙන පුටුවේ වාඩි වෙලා අරකේ තව කොපි එකක් අරගෙන මාත් චෙක් කරන්න පටන් ගත්තා. මොකද මමම චෙක් කරන්නේ නැතුව මට මුකුත් කියන්න බෑනේ.

බැලුවහම ඩොකියුමන්ට්ස් වල වැරැද්දක් නෑ.  

දැන් අපේ බොස් එනවා. ජපන් මහත්තයත් එක්ක කතා කරලා මොකද්ද ප්‍රශ්ණේ අහනවා. ඊට පස්සේ මම බැනුම් අහනවා... ඒ රූප පේලිය මගේ ඉස්සරහ මැවිලා පේනවා වගේ... 

ඒ වෙලාවෙම මට තව වචනයක් මතක් වෙනවා.. ඒ තමයි නව නිංගිරාව.. ඔන්න මට තේරුම් යනවා ඒ වචනේ හරිම තේරුම ඒ වෙලාවෙම... 

ගිරවියෙක් වගේ කියව මම ඒ වෙලේ ඉබ්බියෙක් වගේ ගොළු වෙලා. ආසාවට එක වචනයක් කටට එන්නේ නෑ.. ඉබි කට්ටක් ඇතුලේ හැංගිලා ඉන්නමයි හිතට ආවේ.

මගේ මේ අමුතු හැසිරීම දැකලාද මන්දා ඔන්න ඒ පාර අර මනුස්සයා ඔළුව උස්සලා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා...

" සොරි.... " එක පාරටම මගේ ඔළුවට ආවේ ඒ වචනේ...

ඒත් එක්කම ඔළුව නවලා මමත් ආචාර කරලා අපේ අතින් වෙච්චි වැරැද්ද, වචන ටික අමාරුවෙන් ගැට ගහලා කිව්වා...  


නපුරු මූණක් එක්ක බැණුම් වරුසාවක් බලාපොරෝත්තුවෙන් එයාගේ මූණ දිහා බැලුවට ඒ වෙනුවට ඒ මූණේ තිබුනේ හරිම අහිංසක හිනාවක්.

"ඕ... ඉට්ස් ඔකේ.. ඉට්ස් ඕකේ... නෙවෙර් මයින්ඩ්" 

"හදිස්සියට ඔහොම වෙනවා තමයි... ගනන් ගන්න එපා. ඒකට කමක් නෑ.. අපි හිතුවේ අපි ඩොකියුමන්ට්ස් හදලා එවලා තියෙනවා වැරදි ඇති කියලා. අපේ අතින් වුනත් එහෙම වැරැද්දක් වෙන්න පුළුවන්නේ. " තියුණු කඩු භාෂාවෙන් වුනත් බොහොම කරුණාවන්ත විදිහට ඒ මනුස්සයා කියාගෙන ගියා. 

ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.

ඊට පස්සේ එයා "මම එහෙනම් ගිහින් එන්නම්" කියලා ඔළුව නමලා මටත් ආචාර කරලා එයාගේ බඩු භාණ්ඩ ටිකත් අරගෙන මම කරපු පෙර පිනක් නිසාද කොහෙද බොස් එන්න කලින් යන්න ගියා.

නව නිංගිරාව නිසා වෙච්චි හිතේ අමාරුව මදිවට පනස් පාරක් විතර නැවිලා හැදිච්ච කොන්දේ අමාරුවත් නිසා එහෙම්මම පුටුව උඩට වෙලා මේසේ උඩ තිබුනු වතුර වීදුරුවම එක හුස්මෙට බීලා විනාඩි විස්සක් විතර ඉඳලා තමයි අන්තිමට පුටුවෙන් නැගිට්ටේත්. 

" මේ වැඩේ ශේප් නේද ...අපි බලාගෙන හිටියේ...  " අර ඩොකියුමන්ට් එක වැරදියි කියපු එක්කෙනා හිමීට මගේ ලඟට ඇවිත් අහනවා. 

" මොකක් කිව්වා අපි ???? " මම අහුවා

" ඔව්.. මේ... මේ... මමයි xxxxයි, xxxxxයි, xxxxයි xxxxයි, xxxයි."

අරයා ඔෆිස් එකේ තව කීප දෙනෙක්ටත් විස්තරේ කියලා. එතකොටම මට අර නව නිංගිරාව කියන වචනේ තව තව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා.. 

මොනවා කරන්නද මගේත් වැරැද්දනේ... ඔයින් ගියා මදැයි කියලා මම ඉතින් හිත හදා ගත්තා.  


60 comments:

  1. ඔතන හොඳම සීන් එක තමයි අර බුවා ඇවිල්ල චෙක් කලාට පස්සෙ ආයෙත් වැරැද්දක් අහුවුනොත්?

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි රාජ්... හොඳ වෙලාවට එහෙම වුනේ නෑ හි..හි..

      Delete
    2. අර කිව්වත් වගේ, මට ඔය වගේ වැඩක් උනානේ අම්මප. එක පාරක් වැරදියි කිව්වම, ඔන්න ආව කස්ටමර් කෙනෙක්. එනකොට එහෙම එකක් නැහැ කියල තේරිලා. ඔන්න හිටිය ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ. ඊට පස්සේ වැඩ දාල, දන්නා මායම් ඔක්කොම දාල අරුව ශේප් කරලා එලොගත්ත ගමන්... මෙන්න බොලේ ආයෙත් වැරද්දක් කියාගෙන එකෙක් එනවා! එතකොට තමයි හලෝ කොටි බඩේ බෝම්බ බැඳගෙන යනවා කියන එක සාධාරණයි කියල හිතෙන්නේ!!

      Delete
    3. මටත් ඔය සන්තෑසියම සිද්ද වෙයිද කියන බයටමයි අරයා තේ බීලා, වට පිට බලලා බොහොම නිවී සැනසිල්ලේ ඩොකියුමන්ට් එක චෙක් කරන අතර තුරේයන කෝච්චියට නගින්න මීටර් 100 විතර ඈත ඉඳන් දුවන එක්කෙනෙක්ගේ වේගෙන් මමත් එකේ කොපියක් අරගෙන චෙක් කලේ...

      නැත්තම් නව නිංගිරාවේ පාර්ට් 2 බලන්න තිබුනා. හි.. හි....

      Delete
    4. ඔෆිස් කතාවක් කිව්වොත් උපේක්ෂ එතන..

      Delete
    5. මේකේ තියන කේස් එක දැක්කාම මට හිතෙන්නේ අපේ ජිවනොපායම නවනින්ගිරාවද මන්දා..................

      Delete
    6. ඒ මොකෝ ඩිලාන් එහෙම කිව්වේ ?

      Delete
  2. හත් වලාමයි! මදෑ ඔයින් ගියා..

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ... නව නිංගිරාවයි... :D

      Delete
  3. // " මේ වැඩේ ශේප් නේද ...අපි බලාගෙන හිටියේ...  " //

    අන්න මිනිස්සු :.D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්නකෝ.... තනියමත් නෙවෙයි කට්ටියටත් කියලා කට්ටිය එක්කමයි බලාගෙන ඉඳලා තියෙන්නේ...

      අන්න මිනිස්සු හි.. හි... :D

      Delete
  4. නියමයි තුශානි.............. තවත් සුපිරි කතා ලියමු... ජයවේවා

    ReplyDelete
    Replies
    1. හි.. හි... සුපිරි කතා ලියන්න නම් නව නිංගිරා විඳින්නම වෙයි වගේ...

      තැන්කූ කුරුටු... :)

      Delete
  5. එවෙලේ තුෂානිගේ රතු වෙච්ච මූණයි U අකුර අනිත් අතට හැරුණ වගේ තිබ්බ කටයි දැක්කම ජපන් මාමට දුක හිතිල අඩන්න කලින් පැනල ගියාලු.

    ReplyDelete
    Replies
    1. ෂ්.... කෑගහන්න එපා.....

      ( ඇත්තම කියනවා නම් වුනේ ඒකයි... :D මගේ මූණ දැක්කහම එයාට බනින්න බෑ කියලා හිතෙන්න ඇති... හි.. හි.. )

      Delete
  6. හෛාදම වැඩේ ඒක නෙවීනෙවෙඩේ ගෙඩිය මේසෙ උඩිං තියපු මනුස්සය නෝන ඒක කන්නෙ කෝමද බලන්න ප්‍රේක්ෂකාගාරයක් සෙට් කරං නිවිහැනහිල්ලෙ බලං හිටි එකනෙ. ලොවෙත් නෑ බොසා ආව නං. තුශානි ට බඩේ අමාරුවක් හැදිල තමා නවතින්නෙ. හිහි

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිතාගන්න පුළුවන්නේ කොයිතරම් නව නිංගිරාවක්ද මට වුනේ කියලා...

      බොස් ආවා නම් බඩේ අමාරුව නෙවෙයි උණ සන්නිපාතේම හැදිලයි නවතින්නේ... හි.. හි..

      Delete
  7. තාම කියෙව්වේ නැහැ, කියවල කමෙන්ට් එකක් කොටන්නම්... ;)

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ ලොකු අයියේ...

      Delete
    2. ///ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.///

      ඔබලාගේ ආයතනය ඔවුන්ගේ ගැණුම්කරු. සාමන්‍යයෙන් ගැණුම්කරුවෙකුට සද්දේ දාන අවස්ථා මමනම් දන්නෙම නැති තරම්.
      අපිට කවුරුහරි සද්දේ දැම්මොත් අපි නැවත ඔවුන්ගෙන් මිළදී ගන්නේ නැතුව ඉන්නවා. සද්දේ පමණක් නෙමෙයි අපිට මිළදී ගැනීමෙන් පසු හරිහැටි සේවයක් නොදුන්නත් අපි නැවත ඔවුන්ගෙන් සේවාවක් හෝ භාණ්ඩයක් ලබා ගැනීමට පැකිළෙනවා...
      ඒකට හේතුව භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගන්න තිබෙන්නේ ලෝකෙටම එකම එක සමාගමක් පමණක් නොවෙන නිසා විය හැකියි.

      ///"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "

      "අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්.... ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්.. ///

      ඇයි එයාටම මේල් එක දාන්න බැරි, කවුරු කිව්වත් මමනම් අනුන් වෙනුවෙන් වැඩක් බාර ගන්නේ නැහැ ඒ වගේ හදිස්සි වෙලාවක.
      අනික වැරදි බව කියන කෙනා වැරැද්ද පෙන්නලා දුන්නොත් තමයි ඒක වැරදියි කියල ඔහු හෝ ඇය කියන වචනය මම පිළිගන්නේ.
      එහෙම නැත්නම් මම විසින්ම ඒක හොයල බලලා වැරදියි කියල තහවරු කර ගන්නවා.
      ඒක තමයි මටනම් හොඳම විදිහ... ;)
      ඔය ක්‍රමවේද හරියට ෆලෝ කිරීම ගොඩක් වැදගත්, හදිස්සියේ විශාල දෙයකට අදාළව සිදුවෙන අත්වැරදීම් වලට මිනිස්සු ජීවිතෙන් පවා වන්දි ගෙවනවා.

      මම හොඳට දන්න අපේ සින්නෙක් (සින්නෙක් උනාට දේශපාලන කටයුතු නිසා ඔහු කැම්පස් එකෙන් පිට උනේ අපිටත් ගොඩක් පස්සේ) ඔහුගේ ආයතනය සඳහා විශාල මිළකින් යුතු යම් යන්ත්‍ර සුත්‍ර ප්‍රමාණයක් මිළදී ගැනීම සඳහා නිර්දේශ කරලා තියෙනවා.
      එහිදී ඔහු යැපිලා තිබුනේ ඔහුගේ ඉහල නිලධාරියාගේ දැනුම/අත්දැකීම මත.
      නමුත් එම යන්ත්‍ර සුත්‍ර ලංකාවට පැමිණි පසු ඒවා අදාළ කාර්යයට ඇති කිසියම් නොගැළපීමක් නිසා එහි වරද පැටවුයේ ඔහු පිට.
      අවසානයේ ඔහු සිය බිරිඳ සහ සිඟිත්තකු මෙළොව තනිකර දමා සියදිවි නසාගෙන තිබුනා...
      වගකීම් ඇති අවස්ථාවල අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ...

      Delete
    3. අහ්... ලොකු අයියා සීරුවට කියවලා දිග කමෙන්ට් එකක් කොටලානේ... ඉන්න ඉන්න ප්‍රශ්ණ ටික ඔක්කොම විසඳන්න.

      // ඔබලාගේ ආයතනය ඔවුන්ගේ ගැණුම්කරු. සාමන්‍යයෙන් ගැණුම්කරුවෙකුට සද්දේ දාන අවස්ථා මමනම් දන්නෙම නැති තරම්. //

      මෙතනදි ඔහු අපේ ඔපීසියට එන්නේ ඔහුගේ කාලය මිඩංගු කරමින්, තවත් ඒ වගේම තිබු රාජකාරියක් අතපසු කර. ඉතින් අපේ නොසැලකිලිමත්කම නිසා මේ වගේ දෙයක් වුනාම ඒ පිලිබඳව අපේ ඉහළ නිළධරින්ට කියලා ඔහුගේ කාලය, ශ්‍රමය නාස්ති කිරීම සම්බන්දව යම් චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව තිබුනා. එහෙම නොකල නිසයි මම කිව්වේ ඔහු ඒ අතින් හොඳ කෙනෙක් කියලා.

      ආයතනය මගේ වුනා නම් සද්දේ දාන ගැනුම් කරුවන් ඉවත් කරන්නත්, වෙන තැනකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඒත් මම අපේ ආයතනයේ වැඩ කරන එක පුද්ගලයෙක් විතරයිනේ.... :) මම කිව්වට එයාලාව වෙනස් කරන්නේ නෑ අනේ...

      // ඇයි එයාටම මේල් එක ........... එහෙම නැත්නම් මම විසින්ම ඒක හොයල බලලා වැරදියි කියල තහවරු කර ගන්නවා. //

      අපේ එක ව්‍යාපෘතියක කිහිපදෙනෙක් කටයුතු කරනවා. යන්න තිබුන හදිස්සිය නිසයි ඔහු වෙනුවෙන් මට ඒ දේ කරන්න කිව්වේ. මටත් එක කල් දාලා යන්න තිබුනා. ඒත් හවස ඒ මේල් එක දැම්මහම හෙට අපි වැඩ පටන් ගන්න වෙලාව වෙනකොට ඊට පිලිතුරක් ලැබිලා තියෙන නිසයි ඒ වැඩේ හවසම කරන්න ඕනේ වුනේ.. බලන්නේ නැතුව කරපු එක මගෙත් වැරැද්ද.

      ඇත්තටම විශාල මිල ගනන් සම්බන්ද කටයුතු වලදී නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.. අපේ ඔපීසි ඉතිහාසයේත් ඒ වගේ සිද්ධි ගොඩක් තියෙනවා..

      බොහොම ස්තූතියි හොඳින් පෝස්ට් එක කියවලා ප්‍රශ්ණ තිබුනු තැන් මේ විදිහට ඇහුවට.... ඔන්න පුළුවන් විදිහට මාත් උත්තර දුන්නා... :)

      Delete
  8. මොනා උනත් නියම යාළුවො සෙට් එක... වැඩේ පත්තු වෙනකම් බලන් ඉඳලා වගේ පැත්තකට වෙලා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉඳලා පත්තරේටත් දාලා.... ඒ තරම් හොඳ යාළුවෝ ටිකක් ඉන්නේ... :D

      Delete
  9. අර යාලුවව අන්ෆ්‍රෙන්ඩ් කරන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. :) ඉඳලා හිටලා ඔය වගේ වැඩ කලාට අන්ෆ්‍රෙන්ඩ් කරන්න තරම්ම නරක නෑ හැබැයි...

      Delete
    2. එහෙනම් LIKE කරන්න.:D

      Delete
    3. හි.හි.. ඒකනේ අන්ෆ්‍රෙන්ඩ් කරන්නේ නැතුව ශෙයාර් කලේ

      Delete
  10. බැංකුවල මැනුවල් ලෙජර් තිබුණ කාලෙ...පාලන ගිණුම් තිබුණෙත් මැනුවල්නෙ. ඉස්සර ඔය සේස පිරික්සුම් එහෙම තුලනය නොවෙනකොට අන්තිමේ අපි කියනවා සී.සී. ට පාලන ගිණුම් වල වරදක් ඇති කියලා. ඒ කාලෙ හැටියට පොරවල් වෙච්චි සී.සී. ගොයියලා කියනවා එතකොට...
    “පිස්සුද මල්ලි, කොන්ට්‍රෝල් එකවුන්ට්ස් වරදින්න බෑ කීයටවත්“ කියලා. අනේ සංසාරේ අන්තිමට බැලුවම ඒකෙම තමා බුල ගහලා තියෙන්නෙ.
    ආයි ඉතිං... ඒක කියලා විස්ව කරුමයැ... ඒකත් මැනුවල්නෙ.
    සැලෙන්න එපා... ඕවා නිමේෂ්යන් පමණයි.

    ReplyDelete
    Replies
    1. හි.. හි... ඒක තමයි කීයටවත් වරදින්න බෑ කියන ඒවා තමයි ගොඩක් වෙලාවට වැරදෙන්නේ...

      ඒ වුනාට මිනිස්සුන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන් කියන එක බොස්ලට තේරේන්නේ නැති එකනේ ප්‍රශ්ණේ...

      Delete
  11. යුද හමුදාවේ විවිධ භාණ්ඩ, අවි, පතරොම්, පුපුරණ ද්‍රව්‍ය ඉල්ලීම සහ නිකුත් කිරීම කෙරෙන්නේ, යුද හමුදාවටම සීමාවූ විශේෂ ඉන්වොයිස් ක්‍රමයක් මගින්. එය පිටපත් 9 කින් යුක්තයි. එහිදී යම්කිසිවකු තම වගකීම පැහැර හැර තිබුනොත් භාණ්ඩයේ/භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක් ගෙවන්න වෙනවා.

    වරක්, මම භාරගෙන තිබුණ, T 56 පතරොම් හාරලක්‍ෂයක වැයකිරීම් වාර්තාව අස්ථාන ගතවීමෙන්, මට විශාල ගැටලුවකට මූණ දෙන්න සිදුවුණා. ඒ කාලේ එක පතරොමක් රු 4.35 යි 4.35 තුනෙන් වැඩි කලාම රු 13.05 යි එය 400000 න් වැඩි කලාම රු 522,200,00 යි. කොහොමද ගෙවන්න වුණානම් සනීපේ? අන්තිමට මම බොහොම අමාරුවෙන්, අර වැය වාර්තාව හොයාගෙන බේරුණා.

    ReplyDelete
    Replies
    1. මොකටද 4.35 තුනෙන් වැඩි කරන්නේ,පතරොමක පතරොම් තුනක් තියෙනවද , නැත්තම් මොකක්ද ඒ තුන ??

      Delete
    2. ඇයි අර විචාරක කියලා තියෙන්නේ දඬුවම ගැන!

      /* ...........භාණ්ඩයේ/භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක් ගෙවන්න වෙනවා.......*/

      පසුකාලේ නම් කොහොමටත් කීප ගුණයක් ගෙවලා තමයි බඩු ගත්තේ කියලා දවසක ෆොන්සේකා ටීවී එකේ කියනවා මට ඇහුණා. අන්තිමට වෙන රටකින් ණයට ගත්තා ලු!


      Delete
    3. @ විචාරක - හපොයි ඔව්... වටිනාකමින් වැඩි භාන්ඩ ගෙන්වනකොට නම් තියෙන අවදානම හරිම වැඩියි... ණයවර ලිපි මගින් ගෙවීම් කලත් ඒ භාණ්ඩය ගෙන්වීමට අදාල කෙනා සියළුම වගකීම් වලට බැඳිලා ඉන්නවා... ඒ නිසා සමහර දේවල් ඔඩර් කලාම එනකන් සිහියක් නෑ... මොනාහරි අතපසුවීමක් වුනොත් ඉතින් ඉවරයිනේ...

      Delete
    4. @ ඉවාන් - හොරට කියෙව්වහම ඔහොම වෙනවා හි..හි....

      දැන් තේරෙනවා නේද නව නිංගිරාව කියන එකේ තේරුම :D

      Delete
  12. තව එකක් කියන්න අමතක වුණා. නව නිංගිරාව කියන්නේ මොකක්ද කියලා දන්නවද? පැරණි සිංහල සමාජයේ සම්මතයක් තිබුනා පුද්ගලයකුට නිග්‍රහ කළහැකි ක්‍රම 9 ක් ගැන. ඒකට තමයි නව නිංගිරාව කියන්නේ. ඔක්කොම මට මතක නැහැ. ජන්මය ගැන කියා නිග්‍රහ කිරීම, කුලය ගැන කියා නිග්‍රහ කිරීම, ආදී වශයෙන් තමා ඒ නිග්‍රහ නවය තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ විචාරකතුමා, මතක් කරලා ඉතුරු ටිකත් කියන්නකෝ...

      Delete
  13. ඔව් මමත් එදා ඔතන හැංගිලා බලාගෙන හිටියේ , තුශානි බැනුම් ඇහුවනම් ,ෆොටෝ ගහගෙන ඇවිත් බ්ලොගේ දාන්න , අම්මප ///..... හැක

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔයා ඉතින් කලොත් ඒ වගේ උදව්වක් තමයි... අපි ඉතින් කොහොමහරි පෙර පිනක් තිබ්බ නිසා බේරුනානේ... :D

      Delete
  14. හි හි මටත් ඔපීසියේ නෙමේ උනාට සීයත් එක්ක වැඩ කරද්දී ඔයවගේ සීන් අනන්ත වෙනවා,,, කොහේ තියෙන පිං ද ,,, මන්දා අවුලක් නැතුව ගැලවෙනවා,,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා... බැනුම් අහන්න පෙනි පෙනී තිබිලා බේරෙනකොට හරි පුදුම හිතෙනවා...

      Delete
  15. තුෂානී,
    හැම ප්‍රශ්නයකට පැති දෙකක් ඇත.
    එකක් ඔබේ පැත්ත ය.
    අනික හරි පැත්ත ය.

    ReplyDelete
    Replies
    1. ඔව් පැති දෙකක් තියෙන්න පුළුවන්...

      ඒත් මගේ පැත්ත හරි පැත්ත වෙන්නත් පුළුවන් නේද ...

      Delete
  16. එකා ජපන් මහත්තයෙක් වුණේ හොඳ වෙලාවට ඉන්දියන්කාරයෙක් වුනා නම් කොහොම වේවිද ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් කන් දෙකේ ඇබ දෙකක් තමයි ගහගෙන ඉන්න වෙන්නේ හි..හි...

      Delete
  17. වැරැද්දකට වඩා නොසැලකිල්ල නේද හේතුව. අනිත් කාරනෙ රාජාකාරී කටයුතු වලදි තවත් කෙනෙක්ගෙ තීරණයක් ගැන විතරක් විශ්වාසය තියන්න එපා. බැණුම් ඇහුවෙ නැති වුනත් ඉගෙන ගත්ත පාඩම ජීවිත කාලෙටම අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන්, තව කෙනෙක්ගේ තීරණයක් මත නම් කොහොමත්ම විශ්වාසය තියන්න හොඳ නෑ... බැනුම් ඇහුවේ නැති වුනත් ඒක ජීවිත කාලෙටම අමතක නොකලයුතු පාඩමක්...

      Delete
  18. ඒකෙ වගකීම තුශානි තනි කරටම ගන්න ගිහින්නේ.. ඔහොම වැඩ ඉතින් වෙනව කාටත්.

    ReplyDelete
    Replies
    1. :) මගෙත් ඉතින් වැරැද්දනේ.. හැබැයි ඒක හොඳ පාඩමක්...

      Delete
  19. //තියුණු කඩු භාෂාවෙන් වුනත් // කාලයක්ම ලංකාවේ හිටපු ජපනෙක් වෙන්නැති..
    සාමාන්‍යයෙං මමනං අපේ වෘත්තියේ චීන්නු ජපන්නු කොරියෝ එක්ක බය නැතුව වැඩ කරන්නේ ඉඳල හිටල ඔය වගේ පොඩි භ්‍රන්තයක් කෙළියත් ඕකේ අනිත් පැත්ත පාවිච්චි කරලා (ඌට ටිකක් සැරට කඩුවෙං කොටලා..) බේරෙන්න පුළුවන් නිසා.. හැක්. ඌට ඕනේ දේ කියාගන්න බැරි උනාම මළ පැනලා අතේ තියෙන එකක් පොළොවේ ගහලා යනවා.. මයේ මොකෝ..

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙයා ඒ ජපන් ආයතනයේ ලංකාව වෙනුවෙන් පත් කල නියෝජිතයෙක්. ඒ නිසා කඩු භාෂාව තියුනුයි.. නැත්තම් සාමාන්‍ය ජපන් අය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ජපන් භාෂාව නිසා කඩු භාෂාව දුර්වලයිනේ ...

      හි.. හි.. ඒක නම් හොඳ උපක්‍රමයක්...අතේ තියෙන එකක් පොළොවේ ගහලා යනවා වෙනුවට අතේ තියෙන එකෙන් ගැහුවොත් තමයි ප්‍රශ්නේ... :D

      Delete
  20. හහ් හහ් හා.. අපිට නම් ඔහොම දේවල් අනන්තවත් වෙනවා. අපි චැක්කොලාම හරියට හරි. කස්ටමර් චැක්කොලාම වැරදි. හැබැයි බොසා කවදාවත් බනින්නෙ නෑ. කස්ටමර් බනින්නෙත් නෑ. කොහෙමෙත් තුන් හතර වතාවක් චැක් කොර කොර චැක් කොර කොර හැදුවම තමා කස්ටමා සැටිස්.

    සොෆ්ට්වෙයාර් හදද්දි ඔහොම තමා. නව නිංගිරාව කියනදේ ඇ‍ඟ්‍ෙ ගෑවිලාවත් නෑ. හි හි.

    ReplyDelete
    Replies
    1. හි..හි... හිතා ගන්න පුළුවන් කොයි වගේ ඇතිද කියලා... :D

      Delete
  21. කියෙව්වට කමෙන්ටුවක් ලියන්න අමතක උනානෙ තුශානි.අපට නං මේ වගේ අත්දැකීම් ටිකක් ආගන්තුකයි.

    ReplyDelete
    Replies
    1. :) කියෙව්වා හරි කියලා ලියලා යන්න අමතක කරන්න එපා හැලපතුමා ... මොකද කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ ...

      මේ වගේ අත්දැකීම් නැති එක හොඳයි.. පේනවනේ අපි විඳින නව නිංගිරා හි..හි...

      Delete
    2. ////කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ////

      අැත්ත කතාව තුශානි අක්කො!!

      Delete
    3. @ ගයාන් - :) ඒ සතුට ඔන්න ඔයාටත් දීලයි ආවේ ... දිගටම එන්නම්කෝ ලියන ඒවා කියවන්න.

      Delete
    4. නිතරම නං ලියවෙන්නේ නෑ අක්කේ!! එන්නකො එන්නකො!!

      Delete
  22. "වඳින්න ගිය දේවාලෙට ගොනා අැනලා, ගහෙං වැටිච්ච මිනිහගේ ඔලුවෙ කඩං වැටුණා වගේ" කියලා තමයි මේ වගේ කේස් වලට නං කියන්න වෙන්නෙ!!

    ඔයිං බේරුණා මදැයි ඉතිං!! කෝකටත් අායෙම ඔහොම දෙයක් වෙන්න කලිං, මොන දේටත්, හොඳට කියවලා බලලා රෙස්පොන්ඩ් කරන එක හොඳයි නේද!!!

    ReplyDelete
    Replies
    1. හි..හි... මේ වගේ ඒවට නම් කියන්න වෙන්නේ එහෙම තමයි.. :)

      ඔව් ගයාන්.. ආපහු නම් හොඳට බලලා තමයි ඒ වගේ වැඩ කරන ඕනේ ..

      Delete
    2. ඒකනෙ ඒකනේ!! 
      අායෙ ඔහොම වැඩ කරද්දි පරිස්සමිං ඈ!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...