Thursday, December 25, 2014

මේ අවුරුද්දේ නත්තල් තෑග්ග...


පල්ලියේ ඝන්ටාරේ රෑ දොළහේ කණිසම වදිනවත් එක්කම මුළු පලාතම වහගෙන හිටිය නිහැඬියාව සීතලට තව තව ගුලි වෙලා ඇකිලෙන්න පටන් ගත්තා. ආකාසේ ආධිපත්‍ය පතුරවගෙන දීප්තිමත් වල්ගතරුවක් හරිම ලස්සනට පායලා. කොයිතරම් ලස්සනයිද කියනව නම් ඒ දිහාවෙන් ඇස් වෙන පැත්තකට ගන්න බැරි තරම්. සීතල වැඩි නිසාමද කොහෙදෝ සීතල හුල‍ඟෙන් බේරෙන්න, එක එක ඇඳුම් පෙරව ගෙන වගේ ටික වෙලාවකින් වල්ග තරුව තවත් ලොකුවෙලා පෙනුනා. වල්ග තරුවේ පහළ කෙලවර පොළවේ ගෑවෙන තරමට දික් වෙලා. 

මෙන්න ඊට පස්සේ වල්ග තරුවේ ඇතුලේ ඉඳලා ලස්සනම ලස්සන සැන්ටා කෙනෙක් විදිහට ඇඳපු ටෙඩී කෙනෙක් හරියට අර ලිස්සන බෝට්‍ටු වලින් පහට එනවා වගේ වල්ග තරුව දිගේ පහළට ලිස්සලා ආවා..  

තෑගි මල්ලකුත් කරේ තියාගෙන, එයාට තිබුනු ලස්සන හිනා වෙන ඇස් වලින් මං දිහා බලලා මාත් එක්ක හිනා වෙලා, හිමින් හිමින් අඩි තියලා එයා මං ලඟට ආවා  .


"සුබ නත්තලක් තුශානි ... ඔන්න මම ඔයාට මේ අවුරුද්දෙත් නත්තල් තෑගි අරන් ආවා..

ඒක ඇහුවහම තුශානිට හුඟක් සතු‍ටු හිතුනා..
 


ආ ... ඔයාම තෑග්ග ඇරලා බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා.. සැන්ටා ටෙඩී තුශානිගේ අතට තෑග්ග දීලා කිව්වා.

තුශානි ඉතින් තෑග්ග අතට අරගෙන බොහොම පරිස්සමි ඇරලා බලන්න ගත්තා. ලස්සන රතු පාට ‍රැපින් එකකින් ඔතලා, ටෙඩීලා තුන්දෙනෙක් ... ආ.. නෑ නෑ හතර දෙනෙක් අලවලා, රිබන් මල් පොකුරක් උඩින් ගහලා තමයි තෑග්ග තිබුනේ.


චූටි කාලේකින් හදිස්සියේ ඇන්ද එකක් නිසා එච්චර ලස්සන නෑ කියලා කිව්වට මේ බලන්නකෝ ඒ තෑග්ග කොච්චර ලස්සනයිද කියලා..

තුශානිට හුඟක් සතු‍ටුයි වගේම මේ තෑග්ග තුශානිට හුඟක් වටිනවා.. ඒ හින්දමයි මේ තෑග්ග ඔයාලටත් පෙන්නන ඕනේ කියලා හිතුවේ.
තුශානිට වගේම ඔයාලටත් මේ වෙනකොට නත්තල් තෑගි ලැබිලා ඇති. තෑගි ලැබුනත් තෑගි නොලැබුනත් නත්තලේ සතුට හැමදාටම ජීවිතේ ‍රැඳිලා තියෙන සුබම සුබ නත්තලක් තුශානි බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු සුබම සුබ නත්තලක් වේවා !



Thursday, December 18, 2014

සයොනාරා ...



හිම වැටෙන සීතල රාත්‍රියක

දෙවෙන්දොරා සං වෙත ,

දෙ අත් පටලාගෙන නොවූවත් හිත් තදින් ආලෙන් වෙලී
තෝකියෝව පුරා අපි සැරි සැරූ හැටි
දෙපස වූ වීදී පහන් කණු කියයි
සැබෑ පෙම්වතුන් බව ආදරේ නාමයන්..


මුල් වතාවට අපි එකිනෙකා හමුවුනු මිදෝරිය
මුහුණට මුහුණලා කෝපි රස විඳි අවන්හල්
එකට ඉඳගෙන කබුකි නාට්‍යයයට පෙම් බැඳි රංග ශාලා
අද තනිකමේ සැඩ සුලඟට ගසාගෙන ගිහින්...


යමු නේද ආයෙමත් සකුරා මල් පිපෙන කාලේට
සකුරා මල් බලන්න ඇවිදින්න යන්න
ඔයා ආස කරපු සුෂි, සෂිමි රස බලන්න
කන්ද මුදුනට ගිහින් ලා පූපේ ශාලාවෙන් කෝපි බොන්
...

ඔයා අඳින චිත්‍ර දිහා ආසාවෙන් බලන් ඉන්න
පුංචි පුංචි උදව් ඔයාට කරලා දෙන්න
මට හැමදාම බැරි ඉංගිරීසි ටිකක් ඉගෙන ගන්න
පුළුවන් වේවී නේද අයේමත් දවසක...


මතකද ඔයා මට අරගෙන දීපු අර නපුරු මූණ
ඇයි එතකොට මම අරගෙන දීපු සෞම්‍ය ගෑණු මූණ
ඒක ඔයා මට ආපහු දුන්නත්
නපුරු මූණ තාමත් මං ලඟ...


කන්නොන් දෙවියන් ඉදිරියේ අපි ප්‍රාර්ථනා කලා වගේ
එකතු වෙන්න පුළුවන් වෙයිද අපිට අපේම ලෝකෙක
ඒ දවස එනකන් මං ඇඟිලි ගැන ගැන ඉන්නවා
සකුරා වසන්තය ලංකාවට ගේන්න...


මීට
නොරිකො

Thursday, December 11, 2014

ඔපීසියේ රස කතා - (3)

ඔපීසියේ රස කතා කියන්න ගත්තත් මේ වෙනකන් කියන්න පුළුවන් වුනේ බොහොම කීපයක් විතරයිනේ. ඔය පහලින් තියෙන්නේ කියපු ඒවා..


ඉතින් අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔපීසිය ගැන තව කතාවක් කියන්න ඕනේ කියලා හිතුන නිසයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ...

ඒත් ඉතින් රස කතාවක් කිව්වට රස කෑම ගැන තමයි මේ කියන්න යන්නේ.. ඔව් ඔව්.. මහන්සිවෙලා කෙට්ටු කරගන්න හැදුවට බතල ශරීරයකට උරුමකම් කියන්න හේතු වෙ කෑම ගැන තමයි කියන්න යන්නේ.. හි.. හි... :-)

ඔපීසියේ කෑම කියලා විශේෂයෙන් කිව්වේ උදේ පාන්දර නැගිටලා කෑම එකක් හදාගෙන ඔපීසියට අරගෙන එන්න කරදර වෙන්න අපේ ඔපීසියේ අයට ඕනේ නැති නිසා. උදේට දවල්ට වගේම රෑ වෙනකන් වැඩ කරනව නම් රෑටත් කෑම ඔපීසියෙන්ම අපිට ලැබෙනවා. ඒත් ඉතින් ඒ චාන්ස් එක අපි වගේ අයට ලැබුනට, අපේ පවුල් පන්සල් වෙච්චි ඈයොන්ට නම් ඒ චාන්ස් එක ලැබෙන්නේ නෑ. මොකද ගෙදර ඉන්න අනිත් අයට කන්න බොන්න උදේ පාන්දර නැගිටලා කෑම හදන්න වෙනවනේ. කොහොමින් කොහොම හරි ඒකෙන් අපිට තවත් චාන්ස් එකක් ලැබෙනවා. ඒ තමයි ඒයාලා ගෙදර උයන එක එක ජාතිවල කෑම රස විඳීමේ අවස්ථාව නොමිලේම අපිට උදාවීම.

ඉතින් කුකුළත් අතේ අරගෙන උදේ පාන්දරම ඔපීසියට එන අපේ ඈයොන්ගේ පළවෙනි රාජකාරිය වෙන්නේ අර ඉස්සර රජ්ජුරුවෝ උදේට එක එක වර්ගයේ රාජ භෝජන අනුභව කලා වගේ උදේ කෑම වේල ගන්න එක. බුෆේ එකෙන් ඔපීසියේ කෑම බෙදාගෙන අපිටම වෙන්වූනු කෑම මේසේක තමයි කට්ටිය උදේට මුණ ගැහෙන්නේ. අපිටම වෙන්වුනු කෑම මේසයක් කිව්වේ නොදන්න අලුත් කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක් අපේ මේසේ වාඩි නොවෙන හින්දා. හරියට මේසේ අපිටම ලියලා දීලා වගේ. හි..හි.. 


වෙන අය කවුරුත් එන්නේ නැති නිසා අපේ කට්ටිය කිසිම කරදරයක් නැතුව සුපුරුදු විදිහට ගෙදරින් ගේන කෙසෙල් කොල වල ඔතපු ලොකු ලොකු බත් මුල්, කිරිබත්, අල, බතල, කඩල, කවුපි වගේ දේවල් අතින් කටින් අරගෙන මේසේ වටේට වාඩි වෙනවා. හැබැයි ඉතින් අපේ මේසේ වාඩි නොවුනට අහල පහල මේස වල වාඩි වෙලා ඉන්න අනික් ඩිවිෂන් වල අයගේ උකුසු ඇස් නම් ගේන කෑම වල සුවඳට පැටලිලා අපේ මේසේ පැත්තට එන විදිහ නිකමට හරි වට පිට බැලුවොත් දැක ගන්න පුළුවන් වෙන නිසා වැරදිලාවත් වටපිට බලන්න නම් අපි යන්නේ නෑ..හි..හි..



ඉතින් ඔන්න ඔය විදිහට දවසක් කට්ටියම රජ බොජුන් අනුභව කරලා තම තමන්ගේ රාජකාරී වල යෙදිලා ඉන්නකොට හදිස්සියේම අපේ එක්කෙනෙක්ට හමේ අසාත්මිකතාවයක් ඇති වුනා. තේරෙන  බාසාවෙන් කියනව නම් අතේ ටිකක් ලොකු පළු වගයක් ඇවිත් තිබුනා. ඒක ඉතින් ඒ තරම්ම දෙයක් නෙවෙයි නිසා ඒ ගැන කාගේවත් විශේෂ අවධානයක් තිබුනේ නෑ. අතේ පළු ආපු එකෙනා අයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානෙට ගියා ඒකට මොනාහරි බෙහෙතක් ගන්න. 

"බලන්ඩකෝ හරිම වැඩේ වුනේ..." මෙන්න ටික වෙලාවකින් එයා එනවා හිනා වෙවී. 

"ඇයි මොකද වුනේ ? දොස්තර මොනාද කිව්වේ ? බෙහෙත් ගත්තද ? දොස්තර නැත්ද ? එක එක්කෙනාගෙන් එක එක ප්‍රශ්ණ. 

" හපොයි ප්‍රශ් පත්තරයක් අහන්නේ නැතුව චුට්ටක් ඉන්නකෝ කියන්න. "

" හරි හරි කියන්නකෝ. "

" දොස්තර මගෙ
න් අහුවා උදේට මොනාද කෑවේ කියලා. කාපු ජාති ඔක්කොම දොස්තරට කියන්නයැ.. හි..හි..  මං ඉතින් මොනාද කියන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මෙන්න දොස්තර මට බනිනවා උදේට කාපු දේ වත් මතක නෑ නේද කියලා. 

මං ඉතින් " නෑ ඩොක්ටර්.. මේ.. " කියනකොටම මෙන්න එයා බෙහෙත් ටිකත් ලියලා දීලා මට කියනවා .

" මීට පස්සේ වත් අඩුම තරමේ කන බොන දේවල් ගැනවත් අවදානෙන් ඉන්න කරන කියන වැඩ ගැන කෙසේ වෙතත්. ඔය රෑෂ් එක හුඟක් වෙලාවට කාපු කෑමක් නිසා වෙන්න පුළුවන්. හරියටම කියන්න තිබුනා හේතුවා අඩු තරමේ කාපු කෑමවත් මතක තිබුනා නම් ." කියලා 

මට මාර ලැජ්ජාව. ඩොක්ට මං ගැන මොනා හිතුවද දන්නේ නෑ... මොනා කරන්නද ඉතින් මමත් හිනා වෙලා බෙහෙත් ටිකත් අරගෙන ආවා ...

හෙට ඉඳලා එහෙනම් එක එක කෑම ජාති කන්නේ නැතුව එක ජාතියක් විතරක් කන්න. ඔයාගේ ටික අපිට වුනත් කන්න බැරියැයි නේද ..

"ඔව් ඔව් ඔය හෙට කියන දවස අපු දවසේ ඉඳලා මම එහෙම කරනවා එතකල් ඉන්නකෝ" කියලා එළුවෙක් වගේ කියලා පුරුද්ද නම් අත ඇරියේ නෑ අද වෙනකන්ම.  :-)


Wednesday, December 3, 2014

මාලිගාවට යනවද ? ආපහු එනවද ?


තරු නැති අහස බිමට බැහැලා වගේ 
බලන බලන හැම පැත්තම ඝන අන්දකාරයෙන් වැහිලා...
වැස්සක සේයාවක්වත් නැති වුනත් එකපාරට එන විදුලි එළියෙන් 
මුළු පලාතම දවාලක් වගේ විටින් විට එළිය වුනා...


පේන මානෙක මනුස්ස පරාණයක් තියා 
මනුස්ස වාසයක සේයාවක්වත් නෑ.. 

    එතකොට  
"   මම "
ඔව් මම තනියම

ඔන්න ආයෙමත් විදුලි එළියක්...
ඒ එළියට මගේ ඇස් නිලංකාර වෙලා ටික වෙලාවක් යනකන් මුකුත්ම පේන්නේ නැතුව ගියා...

ඊට පස්සේ ඇලඩින්ගේ පහනෙන් එන දුමාරය වගේ රවුමට කැරකෙන දුම් වලාවක් මගේ ඉස්සරහ කැරකුනා...



ඔරලෝසුවේ තත්පර කට්ට වගේ හද ගැස්ම, වෙද නලාවක් නැතුවම කණට ඇහෙන්න ගත්තා ...

දුමාරය ටිකෙන් ටික අඩු වෙනකොට මං ඉස්සරහ තිබුනේ, පරණ තාලේට හදපු මහ විසාල ගරාවැටුනු ගල් මාලිගාවක් ...

නැවතිල්ලක් නැතුව කෑ ගහන රැහැයියන්ගේ සද්දේ නිසා මුළු පලාතේම තිබුනේ හරිම මූසල පෙනුමක්...


මෙන්න ටික වෙලාවකින් ලොකු හැරමිටියක් ගත්ත වයසක ගෑණු කෙනෙක් මං ඉස්සරහ මගේ දිහා ඇහිපිය ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා..

අවුල් වුනු සුදු පාට දඟර ගැහුනු කොන්ඩේ.. 
ගිරා හොටක් වගේ වකුටු වුනු නහය.. 
බිත්තර ගෙඩි දෙකක් තරමට ලොකු ඇස් දෙක නිසා
මුණේ තිබුනේ බලන්න බැරි තරම් හරිම නපුරු පෙනුමක්.. 

එයාගේ අතේ තිබ්බ හැරමිටියේ කෙළවර තිබුනු මිනී ඔළු කට්ට එහෙට මෙහෙට පැද්දි පැද්දී මොනවද කියන්න හදනවා..

ටික ටික අපි ලං වුනා .. 
 
ඒ කියන්නේ එයා මං ලඟට ඇවිදගෙන ඇවිත්.. 

"   හහ් හහ් හා ... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ මාලිගාවට... "

ඒත් මම හිතුවේ නෑ ඔයා මෙහෙට එයි කියලා... 

කෝ ඔයාගේ හිතේ තිබුණු ශක්තිය ?  
මූණේ තිබුනු හිනාව ?
දඟකාර කතාව ?
ඉවසීම  ?

මගේ මාලිගාවට ඇතුල් වෙන්න නම්, ඒ හැම දෙයක්ම මේ දොරටුව ගාව තියලා තමයි එන්න ඕනේ.. 

සතුට, සැනසීම, නිදහස, ආදරය, නිරෝගීකම 
හැර ඔයාට ඕනේ හැම දේම මාලිගාව ඇතුලේ තියෙනවා. 

තේරුනානේද ඔය ළමයට ?





කම්මුල් දිගේ සීතල කඳුළු කැට 
එකින් එක පහළට වැටෙන්න ගත්තා...

කෑ ගහලා අඬන්න ඕනේ කියලා හිතුනත් 
එහෙම කරන්න ශක්තියක් ඒ වෙලේ තිබුනේ නෑ...
 
 මුළු ඇඟම සීතල අයිස් කුට්ටියක හිර කරලා වගෙයි දැනුනේ..

වචනයක් වත් කතා කරගන්න බැරුව ගොළු වෙලා වගේ දැනුනත්
 අමාරුවෙන් මම වචන ටිකක් ගැට ගහගත්තා

මට ආපහු යන්න ඕනේ.. 
ඒ දේවල් එළියේ තියලා මාලිගාව ඇතුලට යන්න මට ඕනේ නෑ... 

හහ්.. හහ්.. හා... මෝඩ ගෑණු ළමයා.. 

හැමදාම හැම තත්පරයකදිම ජීවිතේ එක එක දේවල් වලින් හිත් රිදව ගත්ත එක එක විදිහේ අය හුඟක් එනවා මේ මාලිගවට ඇතුළු වෙලා 
සතුට, සැනසීම, නිදහස, ආදරය, නිරෝගීකම 
වගේ දේවල් නැති කරගන්න.

ඒ අතරින් සමහර අය මාලිගාවට ඇතුල් වෙනවා.. 
තවත් සමහර අය ආපහු හිත හදාගෙන හිත ශක්තිමත් කරගෙන 
හැරිලා යනවා.

හොඳයි එහෙනම්

මාලිගාව ඇතුලට යන්න හිතුණු දවසක ආපහු මෙහේ එන්න 


අතේ තිබ්බ හැරමිටිය තුන්පාරක් බිම ඇනපු ඒ වයසක ගෑණු කෙනා 
දුමාරය අතරේ  එකපාරටම නොපෙනී ගියා.  

 -------------------------------


දූ ඔයා අද ඔෆිස් යන්නේ නැද්ද ? අසනීපයි වගේ නම් නිවාඩුවක් දාලා ගෙදර ඉන්න. 

නෑ අම්මා ... මට දැන් සනීපයි.. ඉක්මනට ලෑස්තිවෙලා ඔෆිස් යන්න ඕනේ.. 
Related Posts Plugin for WordPress, Blogger...