වෙසක් සතිය කෙමෙන් කෙමෙන් නිමා වුනත් වෙසක් සිරිය නම් තාමත් වට පිටාවෙන් නිමා වෙලා නෑ. ඉතින් වෙසක් හා බැඳුනු තවත් සුවිශේෂී දෙයක් ගැන පුංචි සටහනක් තියලම වෙසක් සතියට සමු දෙන්න තුශානි තීරණය කලා. ඒ හෙට දවසේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළක් වෙනුවෙන් කැකුළු ගොමුවේ ඉඩක් වෙන් කරලා.
සරලව කියනවා නම් පැන්සල් ඉරෙන්, පාට කූරෙන් ලොකු හපන් කමක් කළ පුංචි සිත්තරාවියකගේ අපූරු හැකියාවක් ගැන තොරතුරු ටිකක් කියන්න. ඇය නමින් ඉමාෂා නිමේන්දි. 7 වෙනි ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ.. තුශානිගේ අසල්වැසි නිවසක ඉන්න ඇය අතින් සිතුවම් වූ චිත්‍ර වලින් නිර්මාණය වුනු වෙසක් තොරණ තමයි මේ පහලින් තියෙන්නේ..
සුදු කොළය පුරා ඇඳුනු පැන්සල් ඉරි එකින් එක එකතු වෙලා මිනිස් රූප ගොඩනැගෙන හැටිත් ඒ මිනිස් රූප එක එක පාට කූරු වලින් වර්ණවත් වෙන හැටිත් දවසින් දවස තුශානිට දකින්න ලැබුනා. ඒ දකින හැම වාරයක් පාසාම තුශානිගේ හිතට ලොකු සතුටක් දැනුනා වගේම මෙවැනි විශිෂ්ට නිර්මණයකින් එවා එළි දැක්වෙයි කියන ලොකු විශ්වාසයකුත් තුශානිගේ හිත ඇතුලේ තිබුනා.
විශාල ප්‍රමාණයේ සුදු කඩදාසියේ නිර්මාණය වු සිතුවම් 10 ක එකතුවක් ලෙස මේ අපූරු තොරණ නිර්මාණය වුනේ ඒ බලා පොරොත්තුව මල් ඵල ගන්වමින්. සම්බුදු සිරිතේ විවිධ අවස්ථාවන් තමයි සිතුවම් වල තේමාවන් බවට පත්වෙලා තිබුනේ.ඉතින් මේ අපූරු තොරණ වෙසක් දින කීපය පුරාවටම ගමේ පන්සලේ පන්සල් භූමිය එළිය කරමින් ප්‍රදර්ශනය වුනා.
බ්ලොග් පිටු අතරත් ඉන්නේ නිර්මාණයක් රසවිඳින්න පුළුවන් නිර්මාණශීලී හදවතක් තියෙන පිරිසක් නිසාවෙන්ම මේ පුංචි සිත්තරාවියගේ හපන් කම් බ්ලොග් පිටු අතරට ගෙනැත් ඇයට ශක්තිය, ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා ඇගේ ඉදිරි ගමනට සුබ පතන්න හිතාගෙනයි කෙටියෙන් වුනත් මේ සටහන තිබ්බේ.