අපිට අපේ එදිනෙදා ජීවිතේදී නොයෙක්
ආකාරයේ බොහෝ මිනිසුන් මුණගැහෙනවා, නමුත් ඒ අය අතරින් අපේ මතකයේ රැදෙන
සුවිශේෂ පුද්ගලයින් වන්නෙ බොහොම සුළු පිරිසක්.
එලෙස හමුවු වින්දනීය හදවතක් හා ආත්මීය බැදීමක් සහිතවු අන්ධ යුවලක් ගැන සොඳුරු සටහනක් මුල්ම බ්ලොග් ලිපිය ලෙස
එක් කරන්නට හිතුවා.
දිවුල් ගස් හන්දිය එහෙමත් නැත්නම් ආමර් වීදිය හරහා ගමන් ගන්නෙකු නම් ඔබ, මේ හගුම් බර දසුන නුදුටු කෙනෙකු නොවිය හැකියි.
"
මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුනු
දැක මා හද පතුලේ සැකයකි
උපදින්නේ ....... "
යනුවෙන් විරිදු රබාන වයමින් සිය ආදරනීය බිරිද සමග බත සරි
කරගන්න මුදලක් අයදින මේ අන්ද මිනිසා එම ස්ථානය පසුකර යන කාහටත් හිතන්නට
යමක් ඉතිරි කරනවා.
අවුරුදු තුනකට වැඩි කාලයක් මමද එම ස්ථානය පසුකර
යන්නියක් වු නිසා ඔවුන්ගේ මේ ජීවන සටන පිලිබද ඉතා අල්පවු හෝ දැනීමක්
ලබන්නට මටත් අවස්ථාව උදා වුනා. දෑසම පෙනි පෙනී අත පය සවි ශක්තියෙන් යුතු
අපට, දෑස නොපෙනෙමින් සැදෑ සමය ගතකරනා මේ මහලු යුවල කියා දෙන්නේ බොහොම
ගැඹුරු වු පාඩමක් කියලයි මගේ අදහස.
උදෑසන 6.30 ට පමණ වීදීයට බසින
මොවුන් අව් වැසි නොතකමින් විරිඳු රබාන අතට ගෙන තිබු අතැම් අවස්ථා ඇසට
කඳුලක් ගෙන එන තරම් ශෝචනීයයි. අබලන් වු කුඩය යටට වී හෝ කඩ පිලකට මුවාවී
මුදලක් උපයා ගන්නට උත්සාහ කලත් ජීවිතයේ වු කටුක බව ඔවුන්ගේ මුහුණු තුලින්
දකින්නට නොමැති වීම හරිම පුදුම සහගතයි. ගීතයට ඇති ආදරයත් ඔවුන් දෙදෙනා අතර
වූ අත්මීය බැඳීමත් ජීවිතයේ කටෝර භාවය මකාලීමට හේතු වුවා වන්නට පුලුවන්.
තම නොහැකියාවන් කියා මිනිසුන්ට අතපානවා වෙනුවට තම හැකියාවන් පාමින් මෙලෙස මුදලක් උපයා ගැනීම සැබවින්ම අගය කල යුත්තක්.
ඔවුන්ගේ
අත මුදලක් තබා අප ලබන පිනෙන් ඔවුන්ගේද මතු ආත්මයද මෙලෙසම වින්දනීය හදවතින්
හා අත්මීය බැදීමකින් පිරි යස ඉසුරින් යුතු වුවක් වේවායි ප්‍රාර්ථනා කිරීම
හැර අපට කලහැකි කිසිවක් නොවීම කණගාටුවට ඇති කරුණයි.