අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා. හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද කියලා ඇස් ඇරලා බලනව වගේ.. :-)
ඒත් හේවිසි සද්දේ එක දිගටම ඇහෙනවා... මේ සද්දේ මොකද්ද කියලා දැන ගන්න තියෙන වුවමනාව නිසා කෝකටත් නැගිටලා ගිහින්ම බලනවා කියලා හිතාගෙන ඉතින් තුශානි ඔක්කොම ලයිටුත් දාලා පඩිපෙල දිගේ පල්ලෙහට බැස්සා.. ඔන්න බයෙන් බයෙන් එහෙම නෙවෙයි හරිද.
"පුතේ ඔයාටත් ඇහැරුනාද.. එහා ගමේ පන්සලේ කඨින පෙරහැර මේ සැරේ අපේ පාරෙනුත් යනවා. ඉක්මනට මුණ ටිකක් හෝදගෙන එන්න පඬුරක් පූජා කරන්න. "
සාලේ දොර අරින ගමන් තාත්ත කිව්වහම මාත් ඉතින් ඉක්මනටම ලැස්තිවෙලා පාර ගාවට දුවගෙන ගියා. ඒ වෙනකොටත් පෙරහැරේ මුලින්ම ගිය හේවිසි කන්ඩායම අපේ ගෙවල් පහු කරලා. හරිම විචිත්‍රවත් පෙරහැරකින් කඨින චීවරය පෙරහැරේ වඩම්මගෙන යන විදිහ පැයකට ආසන්න කාලයක් තාත්තත් අම්මත් මමත් මල්ලිත් පාර අයිනට වෙලා බලන් හිටියා.
අපේ ගමේ පන්සලේ කඨින
පෙරහැර නම් පවත්වන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ හවස් වරුවේ කඨින චීවරය මුළු ගම
පුරාම වඩම්මලා ආපහු කඨිනය බාර ගත්ත ගෙදර තැන්පත් කරලා පාන්දර කෙලින්ම ඒ
ගෙදර ඉඳන් පන්සලට චීවරය වඩම්මනවා. කඨින පෙරහැර සංවිධානය කරන්නේ දහම් පාසලේ ළමයි නිසා තුශානිත් පුංචි කාලේ ඉඳලා සෑහෙන වතාවක් ඒ කඨින පෙරහැරේ ගිහින් තියෙනවා.
ඉස්සර දහම් පාසලේදී හාමුදුරුවෝ අපිට කඨින පිංකම් ගැන කියලා දුන්නේ කඨින පිංකම අනික් පිංකම් වලට වඩා බොහොම සුවිශේෂී පිංකමක් කියලා. අර අට මහා කුසල් වලින් පලවෙනිම එක තමයි කඨින චීවර පූජාව. අට මහා කුසල් දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නව නම් මේ තමයි ඒ අට මහා කුසල්.
1. කඨින චීවර පූජාව
2. අට පිරිකර පූජාව
3. ආවාස ගෙවල් පූජාව
4. බුදු පාමොක් මහ සඟරුවනට දන් දීම
5. බුද්ධ ධර්මය ලිවීම, ලියවීම, දහම් පොත් බෙදා දීම
6. කෙත් වතු සඟ සතුකොට පූජා කිරීම
7. බුදු පිලිම, චෛත්‍ය, විහාර ගෙවල් සෑදීම
8. වැසිකිලි තනවා පූජා කිරීම
දන්නවද , කවුරුහරි කෙනෙක් පංචානන්තරීය පාප කර්ම කරලා නැත්නම් මේ අට මහා කුසල් කිරීමෙන් පුලුවන්ලු ඒ අනික් අකුසල විපාක යටපත් කරලා මේ අට මහා කුසල් වල කුසල විපාක ලබා දෙන්න. ඒ නිසාම ලොකු වුනාම කොහොම හරි මේ අට මහා කුසල් වලින් කීපයක් හරි කරන්න ඕනේ කියන සිතිවිල්ල නම් එදා අපේ පන්තියේ හිටිය කාගේත් හිත්වල තිබුනා. :-)
කඨින පිංකම් මේ අනිත් පිංකම් වලින් සුවිශේෂී වෙන්නේ කඨින පිංකමක් කරන්න පුළුවන් එක් විහාරස්ථානයක් අවුරුද්දකට එක වතාවක් විතරක් නිසා . අනිත් පිංකම් නම් අවුරුද්දේ ඕනම කාලේක, ඕනම වෙලාවක, ඕනම තැනක කරන්න පුළුවන්නේ. ඒ වගේම කඨින පිංකමක් කරන්න නම් විශේෂයෙන් උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා ඇසළ පොහොය කිරීම කියන විනය කර්මය කරලා වස් වසන්න සුදුසු ස්ථානයක පෙර වස් සමාදන් වෙන්න ඕනේලු. ඒ විතරක් නෙවෙයි මේ වස් තුන් මාසය පුරාවටම වස් ශික්ෂා පද කඩ කරන්නේ නැතුව භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන්නත් ඕනේ. අවම වශයෙන් කඨින චීවරයක් පූජා කරන්න උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් ඊට සම්බන්ද කරගන්න ඕනේ කියලා තමයි අපිට එදා හාමුදුරුවෝ කියලා දුන්නේ.
කඨින කියන වචනෙට
ස්ථිරසාර බව, නොසැලෙන බව, කම්පා නොවන බව වගේ තේරුම් තියෙනවා. කඨින පිංකමත්
මහ පොළව මෙන් කම්පා නොවෙන, මහමෙර මෙන් සුළගින් නොසෙල්වෙන නොබිඳෙන බල
සම්පන්න පිංකමක් නිසා කඨින කියන වචනේ ව්‍යවහාර කෙරෙනවා කියලා තමයි එදා
කඨිනය කියන වචනේ තේරුම අහපු අපිට හාමුදුරුවෝ කියලා දුන්නේ.
කඨින පූජා පිංකමේ ආනිසංස ගැනත් හාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක් අපිට කියලා දුන්නා. පිරිසිඳු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් හදලා පූජා කරත් ඒ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවර පූජා කිරීමේ කුසලයෙන් දහසයෙන් පංගුවක් වත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම මහමෙර තරම් උසට තුන් සිවුරු පූජා කලත් ඒ කරන පූජාවත් කඨින චීවර පූජාවෙන් දහසයෙන් පංගුවක් තරම් වත් වෙන්නේ නෑලු. කඨින චීවරය මහන්න ගහන එක ඉඳි කටු පාරක් වුනත් සක්විති රජ කම ලබන්න තරම් හේතුවන කුසලයක් කියලත්, මනුස්ස ලෝකේදි නම් උත්තම පුරුෂයෙක් විදිහට උපත ලබන්නත්, උසස් කුලේක ඉපදිලා යස ඉසුරින් පිරිච්ච ජීවිතයක් ගත් කරන්නත්, සමාජයේ කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක් වෙලා තේජස්, කීර්තිය ඇතුව ජීවත් වෙන්නත් මේ පිංකම හේතු වෙනවා කියලත්, එදා අපි ඉගෙන ගත්තා.
කඨින පිංකම් ගැන කිව්වත් කඨින පෙරහැර ගැන නම් මුකුත්ම කියන්න බැරි වුනානේ.. ම්... කමක් නෑ. අපේ ගමේ කඨින පෙරහැර තියෙන්නේනේ ලබන සෙනසුරාදා. ඒ නිසා ඒ කිට්‍ටු වෙලාම තුශානි පුංචි කාලේ දහම් පාසල් යනකොට කඨින පෙරහැරේ ගියපු විස්තරයි වෙනමම පොස්ට් එකකින් කියන්නම්කෝ..