අද මේ මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්නේ අලුත් මාසයක්. ඒ වගේම මාසේ පටන් ගන්නේ ඇසළ පෝයෙන්. ඉතින් අද තුශානි හිතුවා වැදගත්කම් ගොඩක් තියෙන ඇසළ පෝය ගැන විස්තර ටිකක් කියන්න.
පෝය දවසේ වැදගත්කම ගැන අවබෝධයක් ඇතුව පෝය දවස ගත කලොතින් දවසේ වටිනාකම වැඩි වෙනවා වගේම නොදන්න කෙනෙක්ට මේ දේවල් කියලා දෙන්නත් පුළුවන් කමක් ලැබෙන නිසාමයි පෝයට කලින් අද දවසේ මේ විස්තර ටික කියන්නේ.
මතකයිද අපි පුංචි කාලේ අහුවා මහාමායා දේවිය දැක්ක ලස්සන හීනයක් ගැන. ඔව් ඔව්... අර ලස්සන සුදු ඇත් පැටියක් නෙළුම් මලක් හොඬෙන් අරගෙන මහාමායා දේවියගේ සිරි යහන වටා තුන් පාරක් පැදකුණු කරලා, මහාමායා දේවියගේ කුස තුලට ඇතුළු වුනු හීනේ. ඉතින් ඒ ලස්සන හීනේ මහාමායා දේවිය දැක්කෙත්, අප මහා බෝසතානන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගැනීම සිද්ධ වුනෙත් මේ ඇසළ පෝය දවසක.
රාහුල කුමරුගේ උපත
සිදුවීමත් , මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රුවක් කියන සතර පෙර නිමිති දකීමත්, නාටිකාවන්ගේ විරූපී රූප දැකීමත් එක්ක සිදුහත්
කුමරු ගිහි ගෙයින් නික්ම යාමත් සිද්ද වෙන්නෙත් මේ ඇසළ පෝය දවසකමයි.
බුදුන් වහන්සේගේ
බුද්ධත්වයෙන් පස්සේ පස්වග මහණුන් පිරිවරාගෙන බරණැස ඉසිපතන මිගදායේදී මංගල
ධර්ම දේශනාව පවත්වපු හැටි, අපි පුංචි කාලේ දහම් පාසලේදී ඉගෙන ගත්තේ හරිම ලස්සන අවස්ථාවක් විදිහට. මිගදාය කියන්නේ මුවෝ ගොඩක් ඉන්න ආරන්‍යක් වගේ තැනක් කියලත්, බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව පටන් ගන්නකොට ඉසිපතන මිගදායේ හිටිය හැම සතෙක්මත් ඒ දිහාවට කන් යොමාගෙන ධර්ම දේශනාව අහන්න සූදානම් වෙච්ච හැටිත්, දෙවියෝ සාධුකාර දි දී මිගදායට එක් රොක් වෙච්ච හැටිත් හාමුදුරුවෝ අපිට විස්තර කලේ අපි ඒ අවස්ථාව ඇසින් දකිනවා වගේ හරිම අපූරුවට.
ඒ විදිහට බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනාකොට වදාලේත් ඇසළ පෝය දවසකයි.
ඒ විදිහට බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනාකොට වදාලේත් ඇසළ පෝය දවසකයි.
මංගල ධර්ම දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වීමත් ඒක්ක බුදු සසුනේ මුල්ම පැවිදි ශාවකයා ලෙසින් කොණ්ඩඤ්ඤ තවුසා පැවිදි බිමට ඇතුලත් වෙන්නෙත් ඒ ඇසළ පෝය දවසෙමයි.
තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජානන් වහන්සේ ගණ්ධබ්බ රුක් මූලයෙ දී යමාමහ පෙළහර පෑම සිදුවීමත් , අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් පස්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අරිට්ඨ කුමරු ප්‍රමුඛ ශ්‍රී ලාංකික තරුණයින් 56 දෙනෙකු සසුන් ගත කරමින් ප්‍රථම වරට ලක්දිව තුල මහණ උපසම්පදාව සිදු කිරීම ආරම්භ වීමත් සිද්ධවෙලා තියෙන්නේ ඇසළ පෝය දවසකයි.
ඒ වගේම පාත්‍රා ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදු වෙලා තියෙන්නෙත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන මහා සංඝ රත්නය මෙරටට වැඩමවා ලක්දිව උපසම්පදා කර්මය නැවත ඇති කිරීම සිදු වෙලා තියෙන්නෙත් ඇසළ පෝය දවසකයි.
වස් කාලයේ ආරම්භය සනිටුහන් කරමින් භික්ෂූන් වහන්සේලා පෙහෙ වස් සමාදන් වීම සිදු වෙන්නේත් මේ පෝය දවසේදීම තමයි. ඒ කියන්නේ කඨින පිංකම් වලට සුදානම් වෙන්න පටන් ගන්නෙත් මේ පෝයට.
දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු ඓතිහාසික කන්ද උඩරට දළදා පෙරෙහරේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නෙත් මේ ඇසළ පෝය දිනක බව අපේ වංශකතාවල සඳහන් වෙනවා.
මෙහෙම බලනකොට ඇසළ පෝය බොහොම වැදගත් සිද්ධීන් රැසක් ඉතිහාසයට එක් කල පෝය දිනයක්. ඉතින් ඒ වටිනා දවස අපටත් අර්ථවත්ව ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.