උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...
අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන දේවල් හරියටම ඔයා දැනගෙන හිටියා වගේ...
අසනීප වෙලා ඔයා
ඉස්පිරිතාලේ ඉන්නකොට අපි ආවේ වීදුරුවෙන් එබිලා ඔයාගේ කකුල් දෙක දිහා හරි
ටිකක් වෙලා බලාගෙන ඉඳලා යන්න උනත්, අමාරු කම් ඔක්කොම අමතක කරලා ඔයා ඇතුලේ
ඉඳලා ඔළුව උස්සලා අපි දිහා බලලා හිනා උනේ එහෙම නැති වුනොත් අපිට දුක හිතෙන බව හරියට දැනිලා වගේ...
දුවෙක්ට තාත්තා තමයි ඒයාගේ ලෝකේ පලවෙනිම වීරයා. ඉතින් ඒ වගේම ඔයා තමයි මගේ ලෝකෙත් පලවෙනිම වීරයා.. කවදාවත් මම එහෙම කියලා නැති වුනත් හැම දේම තෙරුම් ගන්න ඔයා ඒක කොහොමටවත්ම නොදැන ඉන්න විදිහක් නෑ කියලා කියලා මම හොඳටම දන්නවා...
හැමදාම අපි කරන හැමදේම දැනුන ඔයාට නොදැනෙන්න, ඔන්න අම්මයි, මල්ලියි, මායි අද හවසට ඔයා කැමතිම දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.. අලුත්ම පහන් 60 ක් ඔයා වෙනුවෙන්ම අපි ලෑස්ති කලා ඔයාගේ අතින්ම පත්තු කරන්න. නීරෝගීව අපිත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඒ පහන් ආලෝකයේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අපිට ලැබෙයි.
සුබම සුබ උපන්දියනක් වේවා තාත්තේ !