බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දියන උදා වෙලා දින කිහිපයක් ඒ වෙනකොට ගෙවී ගිහින් තිබුනත්, වෙසක් සඳේ නම් පුංචි වෙනසක්වත් දකින්න තිබුනේ නෑ. ඈත අහසේ කළු වලාකුළු අයින් කරලා ශ්වේත වර්ණ සඳ කිරණින් මුළු කොළොම්තොටම නැහැවෙමිනුයි තිබුනේ.
කුණු දූවිලි වලින් පිරුණු ඝෝෂාකාරි කොළොම් පුරවරය හරියට සිල් අරගෙන වගේ සුදු පිරුවට ඇඳගෙන නිසොල්මනේ වෙසක් සිරිය විඳ ගනිමින් හිටියා.
තැන තැන ඉදිවුනු වර්ණවත් පහන් කූඩු අතරේ ඉදිවුනු මහා තොරණ, බොහොම තේජස් බවකින් ෂඩ් වර්ණ රශ්මි ධාරා විහිදුවමින් හරි අපූරුවට ආලෝකමත් වෙලා තිබුනා.
මුහුද පහුකරගෙන ගොඩ බිමට ඇදුනු සීතල සුලඟ ඇඟේ දැවටෙනකොට හිරිගඩු පිපෙන තරමට සීතල දැනුනත්, ඒ ගැන හිතන්නවත් නිනව්වක් ඒ වෙලාවේ කාටවත් තිබුනේ නෑ.
ඕනේ වුනේ මනමාලියක් වගේ ලස්සනට සැරසිලා ඉන්න මේ කොළොම්පුරවටයම එක දසුනක් විදියට පියවි ඇහින්ම දකින්න තියෙන ආසාව සපුර ගන්න.
ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි 250 ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලටම ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ.
පඩිපෙල් ගොඩක් නැගලා
උඩට යන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නොවුනත්, අන්තිම පඩියට අඩිය තියනවත් එක්කම
ඒ තිබුනු මහන්සිය, මුහුදු හුලඟට එකපාරටම ගහගෙන ගියා වගේ අතුරුදහන් වුනා.
ඒත් එක්කම හුලං පාරට මූණට වැටුනු කෙහෙ රැලි එකින් එක අතින් අයින් කරන්න වත් මතකයක් නැති වෙන තරමටම, දැකපු ඒ මනස්කාන්ත දර්ශනය හිත වශී කරගත්තේ, ඇහිපිය ගහන්නත් පුංචි වෙලාවක් වත් ගන්නේ නැතුවයි.
පාට පාට විදුලු බුබුළු වලින් අලංකාර වුනු ගොඩනැගිලි , මං මාවත් හරියට පාට පාට බ්ල්ඩින් බ්ලොක්ස් ටිකක් තැනින් තැන තියලා වගේ එක එක පාටින් බොහොම පුංචියට හරිම ලස්සනට පෙනුනා.
හඳ එලිය එක්ක හිනාවෙන මුහුදු රළ පේලි, එකින් එක උඩට මතුවලා හඳට ස්තූති කරමිනුයි හිටියේ. ඒත් එක්කම ඈත දියඹට යන මහ විසාල නෞකා හරියට පාවෙන තොරණ වගේ ක්ෂිතිජ රේඛාවේ තැනින් තැන පාට පාටින් හැඩ කරලා තිබුනා හරිම අපූරුවට.
අහසත්, මුහූදත්, ගොඩබිමත් එක පාර, එක අහිපිල්ලමක් යටට ගන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. මධ්‍යම රාත්‍රිය එළඹෙන්න හෝරා කිහිපයකට මත්තෙන්, සීතල රෑක, මුහුදු හුලඟට මුළු ගතම දැවටුනු වෙලාවක ඇස් අදහන්න බැරි මේ වගේ දර්ශනයකින් හිතට ඇතිවෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන එක වචන වලින් විස්තර කරන්න බැරි සුන්දර අත්දැකීමක්.
ඒ දර්ශනයම ඡායාරුපයකට ගන්න අවස්ථාවක් ඒ වෙලාවේ නොතිබිච්ච එක ගැන නම් හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්. පහල තියෙන්නේ ඊට ටිකක සමාන අන්තර් ජාලයෙන් හොයා ගත්ත ඡායා රූපයක්.
මේ තියෙන්නේ තුශානි ගත්ත කොළොම්තොට වෙසක් කලාපයේ පහන් කූඩු වල ඡායාරූප ටිකක්.
මහා තොරණ රාජයා තමයි මේ.
කොළොම්තොට වෙසක් අසිරිය සියසින් නොවිඳි අයට ඒ අසිරිය මේ විදිහට හරි අරගෙන එන්නයි මේ පින්තූර ටික එකතු කලේ.