Tuesday, December 31, 2013

සුබ නව වසරක් වේවා !!!




2103 ගෙවෙන්න තව ඉතිරි වෙලා තියෙන්නේ හෝරා කීපයක් විතරයි.ජයග්‍රහණ, පරාජ, සතුට, දුක,  බාදක කම්කටොළු මැද්දෙන් 2013 ගෙවිල ගියත් 2013 අවසන් වෙන මේ අන්තිම මොහොතේ ඒ දිහා හැරිලා බැලුවහම හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්.  ඒ ජීවිතේ අමරණීය සටහන් ඒ අතරේ බැබලෙමින් තියෙන නිසාවෙන් වෙන්න ඇති.

කොහොමවුනත් ඒ හැම දෙයක්ම අතීත අත්දැකීම් විදිහට මේ වෙනකොට අපේ මතක පොතට එකතුවෙලා හමාරයි. අතීත අත්දැකීම් වල ශක්තියෙන් ආරම්භවෙන 2014 වර්ශය සාර්ථකව ආරම්භ කිරීමයි මේ වෙලාවේ අපේ අරමුණ වෙන්න ඕනේ.. එතකොට තමයි 2014 අවසන් වන අද වගේ 31 වෙනිදාවකත් 2014 දිහා මේ විදිහට සතුටින බලලා සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ...

අහඹු ලෙස වුනත් බ්ලොග් පි‍ටු අතරට එන්න ලැබීම 2013 වසරේ මගේ ජීවිතේ හරිම සුන්දර සුවිශේෂි සන්දිස්ථානයක්..  බ්ලොග් එක ගොඩ නගා ගන්න  ලැබුනු දිරිගැන්වීම, සහයෝගය නොවෙන්න මෙවැනි මතකයක් 2013 වසරට එක් නොවෙන්න තිබුනා... නොදු‍ටු මිතුරු මිතුරියන් ලෙසින් වුනත් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගෙ අත්වැල තුශානිව ශක්තිමත් කලා.  ඉතින් ඒ හැම කෙනෙක්ම බොහොම ආදරයෙක් මතක් කරන මේ  වෙලේ තව සුළු මොහොතකින් උදාවෙන 2014 වර්ශය තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් , සතුට සෞභායය පිරුණු යහපත් ප්‍රාර්ථනාවන් ඉ‍ටු වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

 සුබම සුබ නව වසරක් වේවා !!!

Thursday, December 26, 2013

රුදුරු රළ පෙල බිලි පිදුම් ගෙන නව වසක් නොදැනී ගොසින්...

Add caption


















රිවි කිරණ එක ලෙසින් වූවත්
අඳුරු දිනයක් ඉඟි කලා
අසුබ ලකුණක් දෝත දරමින්
නිමිති එක දෙක මතු වුනා

සුසුඳු පෙන පිඬු විසිරුවා නැගි
සුනිල රළ පෙළ කැලඹුනා
පෙර දිනක් දු‍ටු නොවු විරු ලෙස
රුදුරු වී ඝෝශා කලා

මිල කරන්නට නොහැකි ජීවිත
මිල මුදල් සමගින් අරන්
පෙර දිනක මුහුදට නොගිය රළ පෙල
එදා ගියේ පොදි බැඳ අරන්

අඳුරු සෙවනැලි සෝ සුසුම් මැද
දුක් අඳෝනා මතු වුනා
වාව ගන්නට බැරි දුකක්  දී
නැගුනු රළ මුහුදට ගියා

කාලයේ වැලි තලාවන් ගෙන් 

වැසුනු මුත් දුක් සෝ තැවුල්
රුදුරු රළ පෙළ බිලි පිදුම් ගෙන
නව වසක් නොදැනී ගොසින්

හද රිදුම් දෙන එවැනි විපතක්
යලි කිසිදු දින නොවේවා
සියළු දෙවි ‍රැක වරණ සමගින්
ලක් මවුන් නිති ‍රැකේවා ...

Tuesday, December 24, 2013

නත්තල් තෑග්ග...


සීතල උඳුවප් මාසේ සුවිශේෂිම දවස වන අසිරිමත් නත්තල් දිනය හරියටම 12.00 කණිසමට පල්ලියේ සීනු හඬත් එක්ක උදාවුනා... 

බෙත්ලෙහෙම් පුරේ පායපු දීප්තිමත් වල්ගා තරුවක කිරණ අතරේ හැංගිලා ජුසේතුමාගෙත් මරියතුමියගෙත් පුංචි පුතා විදිහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ එළිය දැක්කෙ සාමයේ පණිවිඩයත් අරගෙනයි... 

ඒ අසිරිමත් නත්තල උදාවුනු මේ මොහොතේ අපේ බ්ලොග් ලියන යාළුවන්ට වගේම සියළුම ලෝක වාසී කිතුනු යාළුවන්ටත් නත්තල් සුබ පැතුම් ගෙන එන්න ඕනේ කියලා තුශානි හිතුවා..

ඉතින් ලැබුවාවු නත්තල " සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා "    කියලා තුශානි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

තුශානිට නත්තල් සීයා තෑගි අරන් ආපු හැටි තමයි පින්තූරේ තියෙන්නේ... පින්තූරෙත් තුශානිට ලැබුනේ නත්තල් තෑග්ගක් විදිහට.. ඒ නිසා තුශානිට හරිම සතුටුයි...

අනිත් සතුටු කාරණය තමයි අද තුශානි ලියන්නේ එයාගේ  20 වෙනි පෝස්ට් එක ...

බ්ලොග් පිටු අතරේ මෙච්චර දුරක් එන්න තුශානි හිතලා වත් තිබුනේ නෑ... ඉතින් ඒකට උදව් කරපු හැම කෙනෙක්ටම හුඟක් ස්තූති කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා ...

තුශානිට ඔයාලා වෙනුවෙන් දෙන්න නත්තල් තෑග්ගක් නම් නෑ.. එත් මේ වෙලාවේ  මගේ හිතට දැනෙන සතුට ඔයාලගෙ ජීවිත වලටත් ලැබෙන්න කියලා නත්තල් තෑග්ගක් විදිහට තිළිණ කරනවා...

Friday, December 20, 2013

නොඑන ගමනක දුක්බර මතකය ....





 එදා O/L  විභාගය ආරම්භවෙලා ගෙවුනු 2 වෙනි දවස. තුශානිගෙයි මල්ලිගෙයි ඉගෙනීමේ කටයුතු ගැනත්, ඊට ඕන කරන අනිකුත් දේ ගැනත් , උපකාරක පන්ති එක්කගෙන යාම් ඒම ගැනත් වගේ ගෙදර හැම කටයුත්තක්ම හොයලා බලලා කලේ සීයා.. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තා. උදෑසනින්ම ‍රැකියාවට පිටත් වෙන තාත්තා ආපහු ගෙදර එනකොට හවස් වෙන නිසා තාත්තගෙන් වෙන්න ඕන හුඟක් දේවල් වුනේ සීයගෙ අතින්. රජයේ සේවයේ නිරතවෙලා ඒ වෙනකොට සීයා විශ්‍රාම අරගෙන හිටිය නිසා ඊට ඕන කරන දැනුම වගේම කාල වේලාවත් සීයට ඕන තරම් තිබුනා.

 ජීවිතේ තවත් එක කඩ ඉමක් වෙච්ච O/L විභාගයට තුශානිත් සූදානම් වුනේ හොඳ ප්‍රතිපලයක් ගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් ...
  
කලින දවස් 2 කේ වගේම එදත් තුශානි ගෙදර ආවේ ඉක්මනට කෑම ටික කාලා ඊලඟ දවසේ තිබුන ගණිතය ප්‍රශ්ණ පත්තරයට සූදානම් වෙන්න. වෙනදා වගේම එදා තිබුනු ප්‍රශ්ණ පත්තරය ගැන සීයත් එක්ක ටිකක් කතා කරලා තුශානි ගණන් හදන්න පටන් ගත්තා. කවදාවත් තනියම වැඩ ටික කරන්න කියලා නැගිටලා නොයන සීයා එදා තුශානි පාඩම් කරන තැනට වෙලා ඉදගෙන පාඩම් කියලා දෙන්නේ නැතුව එකපාරටම එයාගේ කාමරයට ගියා.. එදා එහෙම ගියේ ඇයි කියලා තුශානිට නිකමටවත් හිතුනේ නැති එක ගැන අදටත් තුශානි හුඟක් හිතින් දුක් වෙනවා.

ඊට ටික වෙලාවකට පස්සේ එකපාරටම ආච්චි කෑ ගහපු සද්දෙට හැමෝම කලබල වෙලා සීයගේ කාමරයට ගියහම තමයි දැක්කේ සීයා සිහිය නැතිව ඇදේ නිදාගෙන ඉන්නවා..  මෙච්චර වෙලා හොඳට කතා කරකර හිටිය සීයා එක පාරටම සිහිය නැතිව ඇද උඩ හිටිය විදිහ තාමත් තුශානිට මැවිලා පේනව වගේ..

කොහොමහරි තාත්තත් ලඟ පාත ගෙවල් වල කට්ටියත් එකතුවෙලා සීයව ඉක්මනින්ම ගෙදර ලඟ හිටිය දොස්තර මහත්තය ගාවට ගෙනිච්ච්ත් එයාගේ නියමයේ අන්තිමේ කොළඹ මහ රෝහල වෙ
ත ගෙනියන්න කටයුතු සිද්දවුනා.

එකපාරටම වෙච්චි දේ හිතාගන්න වත් බැරුව ආච්චිත් මාත් ගෙදර තනි වුනා. එදා රෑ වෙලාව ගත වුනේ හරිම හෙමින්. රෝහලට ගිය තාත්තත් අම්මත් අනිත් අයත් ආපහු ගෙදර ආවේ පාන්දරටත් කිට්‍ටු කරලා සීයව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලා කියන පුවතත් අරගෙන.

" සීයට ඉක්මනට හොඳවෙයි ..විභාගේ ඉවර වෙලා මම ඉස්කෝලේ ගාවට එන්නම් සීයා බලන්න එක්කන් යන්න... මගේ  දූ පැටියා අඬන්නේ නැතුව දැන් නිදාගෙන හෙට උදේ විභාගේ ලියන්න යන්න ඕනේ හොඳේ .. "කියලා අම්මා මගේ ඔලුව අතගාල කිව්ව මට මතකයි...

විභාගෙට යන්න හොඳ මානසිකත්වයක් නොතිබුනාත් ඊලඟ දවසේ විභගෙට තුශානි ගියේ විභාගේ ඉවරවෙලා ගණන් ප්‍රශ්ණ පත්තරෙත් අරගෙන සීයා බලන්න යන අදහසින්.. ඒත් විභාගේ ඉවර වෙලා ගේට්‍ටුව ගාව ඉස්පිරිතාලේ යන්න අම්මා එනකන් තුශානි බලන් හිටියත් පොරොන්දු වෙච්චි විදිහට අම්මා ආවේ නෑ. ඒ වෙනුවට නෑදෑ කෙනෙක් වෙන මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි තමයි ඇවිත් හිටියේ.. 

 " අම්මයි තාත්තයි ආච්චිත් එක්ක ඉස්පිරිතාලේ ගියා. අපිට ඔයාව එක්කරගෙන එන්න කිව්වා.. "

" අද මාවත් එක්කන් යනව කිව්වනේ " එතකොට මම කිව්වා.

" හරි අපි දැන් යමුකෝ....." කියලා එයාලගෙ වාහනේට මාව නග්ගගෙන ගෙදර එන්න පිටත් වුනා. 

හිතේ තිබ්බ දුකටම ගෙදර එනකන් කිසිම දෙයක් මම කතා කලේ නෑ කියලා මට මතකයි.

ගෙදර ගේට්‍ටුව ගාවට වාහනේ එනකොට මුළු මිදුලෙම සෙනඟ පිරිලා හිටියා.. ඊට කලින් කිසිම දවසක මරණ ගෙදරක් නොවිච්ච අපේ ගෙදර එදා මරණ ගෙයක් විදිහට තිබුනු විදිහ අදටත් හීනයක් වගේ. ආච්චිගෙත් අම්මගෙත් අඬන සද්දය ඇර එතනින් එහාට සිද්ධවෙච්චි කිසිම දෙයක් මගේ මතකයේ නෑ. මතකයේ තියෙන පුංචි පුංචි තැන් වුනත් වචන වලට පෙරලන එක දරා ගන්න බැරි දුකක්.

අපේ ජීවිත වලට හුඟක් ලගින් ඉදලා ජීවිතයේ ඕනෙම කරන මොහොතක නොහිතපු විදිහට සීයා නොඑන ගමනක් යයි කියලා අපි හීනෙකින් වත් හිතුවෙ නෑ.

හදිසියේම රුධිර කැටියක් මොලයේ නහරයක හිරවීම නිසා නහර කිහිපයක් පුපුරා යාමෙන් ලේ වහනය නිසා සීයා මිය ගිය බවත් රෝහල් ගත්කර පසු දින උදේ  10.00 ට විතර ඔහු අපෙන් සමුගත් බවත් මරණ වාර්තාවේ සඳහන් වුනා..

අදහගන්නවත් බැරි වෙලාවක  මේ වගේ දෙයක් සිද්ධ වුනත් ඒ දුක දරාගෙන තුශානිගේ ගෙදර අයත්, නෑදෑයිනුත්, යාළුවොත්, ගුරුවරුත් තුශානිව විභාගයට යවන්න කටයුතු කලේ කොහොමද කියන එකත්, තුශානි හුඟක් ආදරය කල සීයගෙ නිසල දේහය ගෙදර තියෙද්දි තුශානි විභාගය ලිව්වේ කොහොමද කියන එකත් තාමත් හිතාගන්න බෑ.  කොහොම වුනත් මගේ විභාගය සීයගේ හිතේ තිබුනු ලොකු බලාපොරොත්තුවක්..  

අවුරුදු 9 ක් ගතවෙන අද දවසෙත් ඒ සිදුවීම මතක් වෙන වාරයක් වාරයක් පාසා සිය දහස් වරක් හිතින් අඬන මම එදා ඒ දුක කොහොම දරා ගත්තද කියන් එක ප්‍රශ්ණාර්ථයක්.. සමහර විට ඒ විභාගයට සීයගෙන් ලැබුනු ආශිර්වාදයක් නිසාවෙන් වෙන්න ඇති. A 9 ක් එක්ක තුශානි, සීයාගේ  බලාපොරොත්තුව සීයා හිතපු විදිහටම ඉෂ්ට කලා..

ඒ නිසා උඳුවප් මාසේ 16 වෙනිදාව කියන්නේ තුශානිගේ ජීවිතේ හුඟක් දුක්බර දවසක්. ඒ මීට අවුරුදු 9 කට කලින් තුශානියි, ගෙදර කට්ටියයි දාලා තුශානිගේ සීයා නො එන ගමනක් ගියත්ඒ මතකය තවමත් අපි අතරේම තියෙන නිසාවෙන්. මේ ලෝකේ හිටිය හොඳම සීයා අපිට හුඟක් ලඟින් ඉදලා අපිට ඕනෙම වෙලාවක අපිව දාල ගියා කිව්වොත් හරියටම හරි.

පහුගිය 16 වෙනිදාව පෝය දවසක් වෙච්චි නිසා ගෙදර කට්ටිය, පන්සලේ හාමුදුරුවන්ටයි , සිල් ඇත්තන්ටයි දානය පිලිගන්වලා ඒ පින් සීයට අනුමෝදන් කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ කරයුතු හුඟක් හොඳින් ඉෂ්ට කලා. ඒ උපදින හැම ආත්මයකම සීයා මගේම සීයා වෙලා උපදින්න කියන තුශානිගේ අහිංසක ප්‍රාර්ථනාවත් එක්ක. 


Sunday, December 15, 2013

පොහෝ දින පිලිගන්න හරසරින් සුපුන් සඳ සූදානමින් ...





නේක තරු වැල්  පිරිවරන්
වලා පට තිර පිස      දමන්
සුපිපි සේපාලිකා   සුවඳින්
චන්ද්‍ර මණ්ඩල ‍රැස්   අරන්


සිනහ පිරි මුව මඩල    මෙන්
ශ්වේත වර්ණෙන්  බබලමින්
සිල් සුවඳ සත වෙත්    අරන්
අමා කරුණා ගුණ       දරන් 


සීත ‍රැයේ දැල්වුනු      පහන්
පරදමින් ‍රැස්         විහිදමින්
කිරි දියර නැහැවු    ලෙසින්
බබලමින් සිත් සන්තොසින් 


අමාවක ඝනඳුරු               මකන්
ගුවන් ගැබ කල එළි          කරන්
පොහෝ දින පිලිගන්න හරසරින් 
සුපුන් සඳ                   සූදානමින්

Sunday, December 8, 2013

මාරු සල්ලි ...





කෝ මේ සාරංග... තාම නෑ...7.30 ට ක්ලාස් එකත් පටන් ගන්නවා.. 7.00 වෙනකොට ඇවිත් ඉන්නවා කියපු එක්කෙනා. දැන් 7.15 ත් පහුවෙලා. .. තරිඳු සාරංග එනකන් බලන් හිටියා..

කොහොමහරි ඊට විනාඩි 5 කට විතර පස්සේ ඔන්න සාරංග දාඩියත් දාගෙන හති ඇර ඇර දුවන වේගෙන චූට්ටක් විතර හෙමින් එනවා තරිඳු දැක්කා.

" අයියෝ ... වෙරි සොරි.. වෙරි සොරි.. පැය කාලයි හොඳේ පරකු වුනේ.. බස් එකේ ආවා නම් ඔන් ටයිම්.. ඈත ඉදන්ම සාරංග කියාගෙන ආවා ..


ඇයි බස් එකේ නෙවෙයිද ආවේ ? තරිඳු පුදුම වෙලා සාරංගගෙන් අහුවා.

" බලන්නකෝ මාර වැඩේ වුනේ ... බො‍රැල්ලෙන් බැහැලා මේ ටික එන්න බස් එකට නගින්න සල්ලි ගන්න හදනකොටයි දැක්කේ පර්ස් එකේ මාරු සල්ලි නෑ කියලා... ලඟ පාත කඩයක් වත් ඇරලා තිබුනේ නෑ.. උදේ පාන්දර කොන්දොස්තරට රුපියල් 1000.00 ක් දික්කරහම අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න අහගන්න පුලුවන් හින්දා ඔන්න ඔහේ පයින්ම ආවා .. සාරංග ක්ලාස් එකට එන ගමන් විස්තරේ කිවුවා.. 

හොඳ වැඩේ .. අපරාදේ බස් එකට නැග්ගට පස්සේ සල්ලි ගන්න මතක් වෙන්න තිබුනේ ... තරිඳු හිනාව තදකරගෙන කිව්වා..

කතාවෙන් කතාව දෙන්නම ක්ලාස් එකේ කාඩ් එක ගන්න කවුන්ටරය ගාවට ආවා..  සාරංග පරණ කාඩ් එක එලියට ගන්න වත් එක්කම ඒක අස්සේ තිබිලා රුපියල් 10.00 ක් බිමට වැ‍ටුනා.

" ෂික් .. මේ කොලේ කලින් මට හොයාගන්න බැරි වුනානේ එහෙම වුනානම් දාඩිය දාගෙන මෙහෙම උදේ පාන්දර එක්සයිස්  කරන්න ඕනේ නෑනේ .. දාඩිය පිහිදමින් සාරංග කියද්දී එතන හිටිය ගෑණු ළමයි ටිකත් හැරිලා බැලුවා ...

යමු යමු ... වොක් එක ශරීර සෞඛයයට හොඳයි වගේ මෙතනින් යන එකත් ශරීර සෞඛයයට හොඳයි...
ක්ලාස් එකට පරක්කු වෙලා ගිහින් එලියට වෙලා හිටගෙන ඉන්න වුනොත් අපි දෙන්නම අම්බ්රෙල්ල පවුඩර් තමයි කියලා ගෑණු ළමයි ටිකට අහෙන්නේ නැතිවෙන්න තරිඳු සාරංගගේ කනට කරලා කියලා සාරංගත් ඇදගෙන ක්ලාස් එකට ගියා ... 


ප.ලි - ඔය අම්බ්රෙල්ලා පවුඩර්  කිව්වේ කුඩේ කුඩු කියන එකටලු...



Sunday, December 1, 2013

එදා පටන් අදවනතුරු ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා ...

සීතල උඳුවප් මාසය ආරම්භවුනා ... අපි වගේම සත්තුත් සීත කාලය ගත කරන්න සූදනම් වෙන කාලයක් තමයි මේක. ඒ අතරින් සීත කාලය වෙනුවෙන් හරිම කඩිසරව කෑම එකතු කරන එක්කෙනෙක් තමයි අපේ තුන් ඉරි අප්පු..

ඉතින් තුන් ඉරි අප්පු ගැන ජන වහරේ එන ලස්සන කවි පන්තියක් මේ ලඟදී තුශානිට අහන්න ලැබුනා.. ඒ තුශානිගේ හොඳම යාළුවෙක් ඒක මුමුණ මුමුණ හිටපු වෙලාවක. හරිම ලස්සන කවි පන්තියක්..

තුශානිගේ යාළුවා මීට කලින් Unicode භාවිතා කරලා සිංහල අකුරු ලියල නම් තිබුනේ නෑ. මේ එයාගේ මුල්ම පරිවර්තනය. 

ඔන්න තුශානි යාළුවා වෙනුවෙන් එයා සිංහල අකුරුවලට පරිවර්තනය කරපු කවි පේලිය ඔයාලටත් දැනගන්න බ්ලොග් පි‍ටු අතරට එකතුකලා ..





ළමයිනි ඉස්සර කාලේ
පන්සල් පල්ලිය ඇතුලේ
රිදී සීනු තිබුනෙත් නැහැ
කවුරුත් එය දන්නෙත් නැහැ

එක දවසක් විහාරයක ලොකු උත්සවයක් දවසක
ලේනෙක් ඒ ලඟ උන්නා
ටින් ටින් ගා හඬ දුන්නා
ඒ හඬ සැම තැන පැතිරී මිනිසුන්ගේ සිත් පැහැදී
බුදු දහමත් හොදින් ඉගෙන බුදු බණ ඇසුවා

එහි සිටි කම්මල් කරුවෙක්
එදා රැයේ ගෙදර ගොහින්
රිදී කාසි ටිකක් රැගෙන එකට දමා උනු කෙරුවා
එයින් සීනුවක් තැනුවා
රිදී දිවක් මැද තැබුවා
උදේ විහාරයට ගොහින්
එය හයියෙන් හැඬවූවා

සක් දෙවියෝ හඬ ඇසුවා
ලේනගෙ හඬ බව දුටුවා
පණිවිඩකරු විගස යවා
ලේනා එහි ගෙන්වුවා
ගෙන්වා අත්ලෙහි රඳවා
රිදියෙන් ඉරි තුන ඇන්දා
එදා පටන් අදවනතුරු
ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා
  
ප. ලි. - මතකයෙන් ලියූ කවි පන්තියක් නිසා වචන වල වෙනස්කම් තිබිය හැකි බව සලකන්න.

Friday, November 29, 2013

ආදරය පිරි සිඟිති පැතුම් ...


" අනේ බුදු සාදු ... අපේ කිටී පැටියව ඉක්මනටම සනීප කරලා දෙන්න ... එයාගේ උගුරේ කට්ටක් හිරවෙලා ... "

ඒ පුංචි පොඩිත්තො දෙන්නෙක්ගේ අහිංසක ඉල්ලීමක් වගේම ප්‍රාර්ථනාවක්.

හැමදාම වෙගේම එදත් පාසල් ගිහින් ගෙදර ආපු ගමන් මේ පොඩිත්තො කිටී පැටියව හොයාගෙන ගියේ එයාට බත් කන්න දෙන්න.

" කිටී ... කෝ ඔයා.. ඉක්මනට එන්න බයි කන්න ... "

මේ සද්දෙට උදේ ඉදන් ගෙදරට වෙලා හරි පාළුවෙන් ඉන්න කිටී පැටියා ඔක්කෝම පෙරලගෙන හරි සන්තෝසෙන් දුවගෙන  ආවා.

පොඩිත්තොත් එක්ක සෙල්ලම් කරන්න තියෙන ආසාවට හැමදාම වගේ ඉක්මනටම බත් පිඟාන හිස් කරන්න පටන්ගත්තත් එකපාරටම කෑම නවත්තලා අමාරුවෙන් කෑ ගහ හග කිටී පැටියා බිම පෙරලෙන්න පටන්ගත්තා..

" නංගි,, කිටීට කට්ටක් හිරවෙලා .. " අක්කා දුකෙන් කියද්දී නංගිගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙමින් තිබුනා ..

" නංගි බය වෙන්න එපා .. අපි ඉක්මනට වතුර ටික
ක් දෙමු.. එතකොට හරියයි.. "

පුංචි හිතට ආපු එක එක අදහස් හරියයිද කියලා අත්හදා බලන ගමන් අක්කා නංගිව අස්වැසුවා.

ඒත් ඒ එක දේකින් වත් කිටී පැටියට සහනයක් ලැබුනේ නෑ. ඌ එහෙට මෙහෙට පෙරලි පෙරලි කෑ ගහ ගහ කට්ට ගිල ගන්න උත්සාහ කලා.

මේ දේ බලාගෙන ඉන්න බැරිම තැන අර පුංචි නංගියා හනි හනිකට ගෙට දුවලා හදුන්කූරු ටිකකුයි, ගිනි පෙට්ටියකුයි, මල් වට්ටියකුයි අරගෙන ආවා.

" අක්කා මේ හදුන්කූරු ටික පත්තුකරලා ගහන්න. මම ඉක්මනටම මල් ටිකක් කඩාගෙන එන්නම්.. අපි බුදු සාදුට කියමු අපේ කිටීව ඉක්මනටම සනීපකරලා දෙන්න කියලා .. "

හුරතල් හඬින් කියලා මල් කඩාගෙන  ඇවිත් පූසාට ඉක්මනටම හොඳවෙන්න කියලා දෙන්නත් එක්කම දහම් පාසලේදි ඉගෙන ගත්ත ගාථා ටිකත් කිය කිය බුදු සාදුගෙන් අහිංසක ඉල්ලීමක් එක්ක ප්‍රාර්ථනාවක් කලා..

මල් සුවඳයි හදුන්කූරු සුවඳයි එක්ක පොඩිත්තන්ගේ මේ වැඩේ  දිහා, දැඟලිල්ල නවත්තලා ආදරය පිරුනු ඇස් වලින් කිටී බලාගෙන හිටියා.. 


 

කොහොමින් කොහොමහරි මෙහෙම ටික වෙලාවකින් අහිංසක ප්‍රාර්ථනා ඉ‍ටු කරමින්  කිටී පැටියට හොඳවුනා .. 
ඒ වෙලාවේ පොඩිත්තන්ගේ ඇස් සතු‍ටු කඳුලෙන් පිරෙද්දි .. කිටී පැටියා පුළුන් කොට්ට අත් බිම තියලා සුපුරුදු දඟකාරකම් කරන්න පටන් ගත්තා ..

මේක තුශානිට අත්විඳින්නට ලැබුණු හරිම සංවේදී අත්දැකීමක්. 

තමන් එක්ක ඉන්න හුරතලුන් වෙනුවෙන් පවා සිඟිති හිත් වල ඇතිවෙනේ කොච්චර ආදරනීය ලෙන්ගතු කමක්ද ? පුංචි හිත් වල ඇතිවෙන මෙවැනි ප්‍රාර්ථනා වැඩිහිටියන්ට කොතෙක් දෑ කියා දෙනවද ? සැබවින්ම අපට හිතන්නට යමක් ඉතිරි කරනවා නොවේද ?

කිරි සුවඳින් පිරිච්ච, හුරතල් හිනා හඬ ‍රැව් දෙන, කුරුළු පැටවුන් තරමටම නිදහස්, ආදරය කරුණාව දෝතින් ‍රැගෙන එන සිඟිති හිත්, වචන වලින් කිව නොහැකි බොහෝ දෑ වැඩිහිටියන්ට කියල දෙනවද කියලා  තුශානිට හිතුනා...

ප.ලි. - කතාව අහගෙන හිටිය කෙනෙක්ගේ හීතේ ඇදුනු රූපයක් තමයි පෙන්නලා තියෙන්නේ.. ඉතින් ඒකට ස්තූති කරන්නත් තුශානි අමතක කරන්නේ නෑ..  

Sunday, November 24, 2013

හෙට මම නැතිවෙයි. කට්ටියට කියන්න...


"බලන්නකො අනේ .. හෙට මම නැතිවෙයි. කට්ටියට කියන්න කියලා කවුද මැසේජ් එකක් එවලා"

නදීගෙ මිතුරියක් එයාගේ දුරකථනයට ආපු කෙටි පණිවිඩයක් නදීට පෙන්නන ගමන් කිව්වා.

" දන්නේ නැති නබ්බර් එකක්ද ? " දුරකථනය අතට ගන්න ගමන් නදී අහුවා.

"ඔව්.. මම සේව් කරගෙන තියෙන නම්බර් එකක් නම් නෙවෙයි"

හදිස්සියෙම ලැබුනු නාදුනන කෙටි පණිවිඩය ගැන කලබල වෙච්ච නදීගේ යාළුවා, ඔ‍ෆිස් එකේ දහසකුත් වැඩ අස්සේ නදීව හොයාගෙන ආවා.

" ගනන් ගන්න එපා වෙන කෙනෙක්ට යවපු එකක් වැරදිලා ඇවිත් වෙන්න ඇති. " යාළුවව අස්වසමින් නදී කිව්වත් යාළුවනම් ඒ වෙනකොටත් කෙටි පණිවිඩය ගැන බර කල්පනාවක හිටියේ.

කොහොමින් කොහොමහරි රාජකාරි ගොඩකට යටවෙලා හිටිය මේ දෙන්නට ටික වෙලාවකින් කෙටි පණිවිඩය ගැන හොය හොය ඉන්න එක අමතක වෙලා ගියා.

එදා දවසත් සුපුරුදු විදියටම ගෙවිලා ගිහින් ඊලග දවස උදා වුනා.

" අද නිපුණි ශෝට් ලීව්ද ?මීටින් එකකුත් ශෙඩුල් කරලා තියෙනවා 9.00 ට.  "

නදීගේ තවත් යාළුවෙක් නිපුණි ගැන නදීගෙන් අහද්දි  තමයි නදීට නිපුණි තාමත් ඔ‍ෆිස් ඇවිත් නෑ කියලා දැන ගන්න ලැබුනේ.

හවසට ඔ‍ෆිස් ඉවරවෙලා නදීයි නිපුණියි බස් එකේ ගියත්, නිපුණි උදේ ආවේ නදී එක්ක බස් එකේ නෙවෙයි. ඒ නිසා දවල් කෑම වෙලාවෙයි, හවස බස් එකේදියි හැර නදීට නිපුණිව හම්බවුනේ, නදීගේ සීට් එක ගාවට නිපුණි අවොත් හරි, නදී නිපුණිගේ  සීට් එක ගාවට ගියොත් හරි විතරයි. 

නදී ඉක්මනින්ම නිපුණිට දුරකතන ඇමතුමක් ගත්තත් නිපුණිගේ ෆෝන් එක වැඩ කලේ නෑ.

" කරදරයක් වත්ද දන්නේ නෑ. " නදීට එකපාරටම ඊයේ ආපු කෙටි පණිවිඩයත් මතක් වුනා.

ලොකු දෙයක් නෙවෙයි නම් කවදාවත් මීටින් එකක තියෙන දවසක නෑවිත් ඉන්නේ නෑ. හිතට එන එක එක දේවල ගැන හිත හිත නදී කොරිඩෝව දිගේ පිලිගැනීමේ නිළධාරී කවුන්ටය අසලට එනකොට හතිදාගෙන කලබලෙන ඔ‍ෆිස් එකේ ගේට්‍ටුවෙන් ඇතුළු වෙන නිපුණිව දැක්කා.

" බලන්නකෝ අනේ අද අපේ ඔ‍ෆිස් ස්ටාෆ් වෑන් එක නෑනේ. ඒ මනුස්සයා ගමේ ගිහින් , හෙට මම නෑ කට්ටියට කියන්න කියලා වෑන් එකේ යන හැමෝටම මැසේජ් දාලා තියෙන්නේ එයා..

උදේ වෑන් එක පරක්කු නිසා මම බස් එකේ එනකොට අපේ වෑන් එකේ එන තව එක්කෙනෙක් හම්බවෙලා කිව්වේ..  ගමේ ගියහම සිග්නල් නැතිවෙන නිසා ඊයේ යන්න කලින් තමයි කට්ටියට මැසේජ් කරලා තියෙන්නේ.අනිත් හේතුව, කෝල් කරල කිව්වොත් වෑන් එක නැති එකට කට්ටියගෙන එක එක දෝෂාරෝපන නේ. ඒ නිසා ෂේප් එකේ මැසේජ් එකක එවලලු.

 වෑන් එක පාරක්කු නිසා එහෙට මෙහෙට කෝල් අරගෙන මගේ ෆෝන් එකෙත් බැටරි ලෝ වෙලා. මටමයි අනේ ඔක්කොම වෙන්නේ, කිය කිය වෑන් කාරයට හොඳටෝම දෙහි කප .. අයියෝ අද 9.00 ට මීටිනුත් එක්ක  කියලා ආපු වේගෙට වඩා වැවැඩි වේගෙකින් නිපුණි ඔ‍ෆිස් එකට ඇතුළුවුනා.

හොඳ වෙලාවට නිපුණිට 9.00 ට කලින් එන්න පුලුවන් වුනා. එහෙම නැතුව මීටිමට එන්න බැරුව නිපුණිට පරක්කු වුනා නම්. " හෙට හවසට මම නැතිවෙයි එකට රිප්ලයි එකක් විදිහට , මෙහෙම ගියොත් මාසේ අන්තිමට වෑන් එකට සල්ලි හම්බෙන්නෙත් නැතිවෙයි කියලා අනිවාර්යයෙන්ම නිපුණි රිප්ලයි කරයි කියලා හිත හිත හිනා වෙලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හිටිය නදීත් ආපහු සීට් එකට ගියා.

Saturday, November 23, 2013

සිපිරි ගෙවල් - 2 කොටස

ගෙවුනු සතිය හුඟක් කාර්යබහුල සතියක්. ඉඳහිට බ්ලොග් එක පැත්තේ අවිත් ගියත් පෝස්ට් එකක් ලියන්න තරම් ඉඩකඩක් හොයාගන්න තුශානිට අවස්ථාවක් ලැබුනෙම නෑ.

කලින් ලියපු පෝස්ට් එකෙන් චාල්ස් දයානන්ද මහත්තයගේ  "සිපිරි ගෙයක වසර හයක් " පොත ගැන දුන්න හෝඩුවාවත් එක්ක තුශානි දීපු පොරොන්දුව ඉක්මනටම ඉෂ්ට කරන්න ඕනේ හින්දම කොහොමහරි වෙලාවක් හොයාගෙන පොත ගැන පුංචි විස්තරයක් ලියන්න ඕනේ කියලා හිතුවා




මේ තියෙන්නේ පොතේ පිටකවරේ ඡායාරූපයක් ...

සය වසරක කාලයක් හිර ගෙදර විඳි අත්දැකීම් පාදක කරගෙනයි චාල්ස් දයානන්ද මහත්තය මේ පොත ලියලා තියෙන්නේ. සිර ගතවෙලා හිටපු කාලේ සිදුවෙච්ච සිදුවීම කඩදාසිවල සටහන් කරගැනීම වගේම විශේෂ සිදුවීම් චිත්‍රයට නැගීමේ පුරුද්දත් නිසා පසු කාලීනව ඒ තොරතුරු මේ විදිහට පොතක් වශයෙක් එලිදක්වන්න හේතුපාදක වෙලා තියෙනවා. 

හැම කෙනෙක්ටම පොත හොයාගෙන කියවන්න අවස්ථාව නැති නිසා, පොතේ තිබුන ටිකක් සුවිශේෂි සිදුවීම් කීපයක් ගැන කෙටියෙන් හරි සටහනක් තියනවා. හැබැයි ඒ, පොත කියවපු පාඨකයෙක් විදියට මගේ හිත‍රැදි අවස්ථා. 

හිර ගෙදර පාටි 
උසාවියෙන් වරද කරුවන් ලෙස තීන්දු කරපු අය බරපතල වැඩ සහිත, දීර්ඝ කාලීන, කෙටි කාලීන සිර දඬුවම් නියමවු අය විදිහට වර්ග කෙරෙනවලු. මරණ දඬුවම නියම වෙච්චි අය ( කණ්ඩෙම් කාරයන් ) හැර අනික් අය හැමෝම උදේ 8.00 ඉදන් හවස 4.00 වෙනකන් වැඩ පාටි වල වැඩ කරන්න ඕනෙලු. වඩුපාටිය, ටින්කර්පාටිය, දරපාටිය, කුස්සිපාටිය, ටේලර්පාටිය විදිහට ඒව පාටි විදියට වෙන්වෙලා තිබිලා තියෙනවා. පාටි වල වැඩ ගැනත්, හිරගෙදර සමාජ පසුබිම ගැනත් හුඟක් අපි නොදන්න දේවල් සවිස්තරව සඳහන් වෙනවා.

උම්බලකඩ සෑදීම හා පොල් කිරි ලබා ගැනීම 
හිරගෙදරදි කන්න හම්බවෙන කෑම වේල ගැන බොහොම අපූරු විස්තරයක් පොතේ තියෙනවා. තමන්ට කෑමට ලැබෙන කෑම වේලට අමතරව හිර කුටිවල හදපු විශේෂ කෑම ගැනත් පොතේ සඳහන් වෙනවා.උදේට හම්බවෙන පොල් සම්බෝල එකතුකරගෙන මිරිකලා තමයි ඒවට ඕනකරන පොල් කිරි හොයාගෙන තියෙන්නේ. දවල්ට හම්බවෙන මාලු කෑලි කුඩා කැබලි වලට කුඩු කරලා කෝප්පෙක දාලා හිර කාමරේ බල්බ් එක යට දවස් කීපයක් තියලා තමයි කෑම රසවත් කරගන්න උම්බලකඩ හදාගෙන තියෙන්නේ.

කොරතිකාරයෝ 
සමහර සිරකරුවන් තමන්ගේ දක්ෂතා එක්ක විවිධ නිර්මාණවල නියලිලා තියෙනවා. එහෙම හදපු කලා කෘති වලට කියලා තියෙන්නේ " කොරති " කියලා. ඒවා මුලාදෑනීන්ට විකුණලා කට්ටිය සල්ලි හොයපු හැටිත් පොතේ අපූරුවට විස්තර වෙනවා.

පච්ච
හිර කරුවන්ගේ තිබිච්ච පච්ච ගැන කතා නම් හරිම රසවත්.. 

ම්... ඒ අතරින් එකක් මේ;

එක් පුද්ගලයකුගේ අතේ පච්චයක් ඉවත්කිරීමට ගත්තු කැලලක් ඉතිරි වෙලා තිබිලා තියෙනවා. පැල්ලමට යටින් " සෝමා" කියලත් ලියලා තිබිලා තියෙනවා. ඒ ගැන ඒ පුද්ගලයගෙන් අහුවහම කියලා තියෙන්නේ " පද්මා තරහවූ පසු සෝමා සමග යාලු වු බවත් පත්මා කියන නම සූරා දමා සෝමා කියා කොටා ගත් බවත් සෝමාද තරහවුවහොත් අයෙත් ගෑණුන්ගේ නම් කොටා නොගන්න බවත්ලු.. 

හොඳ හිත, ගැහුවොත් ගහනවා, එකහිත, බුදු සසුන බැබලේවා , වගේ පච්ච කොටාගෙන හිටිය අය ගැනත් පොතේ රසවත්ව විස්තර වෙනවා.

එල්ලුම්ගහ  

එල්ලුම් ගහ ගැනත්, පස් දෙනෙකු එල්ලා මරපු ආකාරය ගැනත් පොතේ සඳහන් වෙනවා. ඒ අයගෙන් පෝරකය වෙත දෙපයි ගොස් ඇත්තේ එක් අයෙක් පමණයි. ඔහුත් සිහිවිකලෙන් හිටපු එක්කෙනෙක්. ඒ අවස්ථාවන් කොච්චර සංවේදීද යන්න චාල්ස් දයානන්ද ශූරීන් ඒ අවස්ථා වචනයට පෙරලා තිබූ අකාරයෙන්ම හැඟුනා කිව්වොත් හරියටම හරි .

එල්ලුම් ගහට නියමවූ අය අතරි
න් මරු සිරා ගැන කතාවත්, හතර පාරක් මරණ දඬුවමෙන් බේරිච්ච සුමතිපාල ගැන කතාවත් මගේ හිතට තදින්ම දැනුනා.

හුඟදෙනෙක් පොතගැන ලියන්න කියලා කරපු ඉල්ලීම නිසා මෙහෙම කෙටියෙන් සඳහනක් කලත් මේක කොහොමටවත්ම ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ හැඟීම. 


ඒ නිසා පොත හොයාගෙන කියවලාම බලන්න කියාලා ඔන්න තුශානි පෝස්ට එක අවසන් කරන ගමනුත් අපහු මතක් කරනවා.

Sunday, November 17, 2013

සිපිරි ගෙවල්...

හුඟක් කාලෙකට පස්සේ නිවාඩු දවසක, දවස පුරාම ගෙදර හිටියා. ඔන්න දවස පුරාම ගෙදර හිටිය නිසා සිපිරි ගෙවල් මතක් වුනා කියල හිතන්න නම් ඔට්‍ටු නෑ හරිද ...

සිපිරි ගෙවල් කිව්වට සිපිරි ගෙයක් කියන්නේ මොකකටද කියලා අපේ සමහර යාළුවො නම් දන්නේ නැතුව ඇති. මොකද මේ වචනේ මීට කලින් මමත් දැනගෙන හිටියේ නෑ.




සිපිරි ගෙවල් කියලා කියන්නේ හිර ගෙවල් කියන එක.  ම්.... ගෙදරක් කිව්වට ගෙදරකින් අපි බලාපොරොත්තුවෙන සතුට, සැනසුම, නිදහස මෙහේ නෑ. ජීවිතයේ එක් මොහොතකදි සිදුවෙච්චි යම් සිදුවීමක් නිසා ඒකට වැරදිකාරයෙක් විදිහට නියමවීමෙන් දඬුවමක් විදිහට තමයි මිනිස්සු සිපිරි ගෙවල් වලට එන්නේ.

ඉතින් හදිස්සියෙම සිපිරි ගෙවල් මතක් වුනේ පහුගිය දවසක මගේ මිතුරෙකුගෙන්, චාල්ස් දයානන්ද මහත්තයගේ " සිපිරි ගෙයක වසර හයක් " කියන පොත මට ලැබුනා. පොත ලැබිලා දින කීපයක් වුනත් රාජකාරි කටයුතු නිසාත් , අධ්‍යාපන කටයුතු නිසාත් පොත කියවන්න වෙලාවක් වෙන් කරගන්න පුලුවන් වුනේ අද දවසේ.  

සිපිරි ගෙයක සත්‍ය ජීවන අද්දැකීම් ලබමින් දයානන්ද මහත්තය ලියපු මේ පොජීවිතය ගැන අපි නොදන්න, නොහිතන ගැඹුරු පැත්තක් ගැන කියලා දෙනව කියලා පොත ටිකක් කියවගෙන යනකොට මට හිතුනා.

පුංචි කාලේදි දවසක් අපි බහිරව කන්දට ගියවෙලාවක, බහිරව කන්දෙ ඉදන් මහනුවර නගරය දිහා බලනකොට දැක්ක ටිකක අමුතු ගොඩනැගිල්ලක් ගැන මම තාත්තගෙන් අහුව මට මතකයි. එදා තාත්තා ඒ ගොඩනැගිල්ල පෙන්නලා මට කිව්වේ. " ඒ තමයි පුතේ බෝගම්බර බන්ධනාගාරය " කියලා. ඒ ප්‍රශ්නෙ මම විතරක් නෙවේ, බහිරව කන්දට යන ඕනම කෙනෙකුට අහන්න හිතෙන ප්‍රශ්න කියලයි මට හිතෙන්නේ. ඒ තරමට බෝගම්බර බන්ධනාගාරය කැපී පේනවා

පාසල් යන කාලේ උදේ හවස වැලිකඩ බන්ධනාගාරය පහුකරගෙන යද්දිත් බන්ධනාගාර ජීවිත මොන වගේද කියලා ටිකක් හොයලා බලන්න හිතුනත් ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. බන්ධනාගාර භූමියට යම් වෙනසක් දෙන්න එහි බිත්තිවල චිත්‍ර අඳිමින්, මල් පැල හිටවමින් ‍රැඳවියන් වැඩකරන ආකාරය සමහරක් දවස් වලට මම ටිකක් ඕනෑ කමින් බැලුවා. පිටත ඔවුන් මවන චමත්කාරය ඇතුලතත්, ඔවුන්ගේ ජීවිත වලත් නැතිබව ඔවුන්ගේ මුහුණු සාක්කි දරන බව නම් බැලු බැල්මටම පෙනුනා.

ඒ නිසාම මම හුඟක් ආසාවෙන් තමයි මේ පොත කියවන්න පටන් ගත්තේ. සිපිරි ගෙවල් වල ජීවිත ගැන පොතේ තියන දේවල් හරිම පුදුම සහගතයි.ඒ නිසා පොත ගැන පුංචි හෝඩුවාවක් මගේ බ්ලොග් යාළුවන්ටත් දෙන්න ඕනේ කියලා හිතලා තමයි මේ සටහන බ්ලොග් පි‍ටු අතරට එක්කලේ.

හැකියාවක් තියනව නම්
පොත හොයාගෙන කියවන්න.

ම්... පි‍ටු තියෙන්නේ 154 යි.

" හාපෝ....  ලොකු පොත් කියවන්න බෑ කියලා වැඩේ අතහැරලා දාන්න නම් බෑ හරිද ... එච්චරම ලොකු පි‍ටු ගානකුත් නෙවේයිනේ.  

ලස්සන චිත්‍ර ටිකකුත් තියනව අන්තිමට. ඒ නිසා කියවන්න උත්සාහයක් ගන්න.

Thursday, November 14, 2013

සසරේ බැඳි මිතුදම්...











 



සිප් කිරෙන් නැහැවෙමින් 
නැණ පහස විඳගනිමින්
එකම විදු මව් තුරුලේ
එක් වුනෙමු මිතු දමින්

හිරු කිරණ සුමුදු මල්
පුබුදුවන හැම වරෙක
සඳ කැලුම් ‍රැස් විලස
තුටින් එක් වුනෙමු නිති

වසත් ගී කොදෙව්වක
ගැයෙන සත්සර විලස
සිනා කිංකිණි අතරේ
එක්ව පියමං කලෙමු

පන්ති කාමර අතරේ
රුවන් සිහි වටන ලෙස
මතකයක් තෙලි තුඩින්
රූ රටා එක් කලෙමු

කඳුළු සිනහා අතරේ
එකට එක්වී බැදී
සොයුරු මිතු දම් මතින්
නොදැනීම කල් ගෙවිමු

දිනන ලොව ජය ගන්න
වැට කඩොළු පසු කරන් 

නේක මං පෙත්  අතර
කඳුළු මත නික්මුනෙමු

දිවි මගේ සොඳුරු කල්
එක්ව ගත කල විලස
මතු භවෙත් එක් වන්න
පතමු හැම මොහොතකම.
..

Monday, November 11, 2013

" කොන්දොස්තර මිසිං.. "


ගම්පහ නගරය කියන්නේ උපකාරක පන්ති කලාවටම වෙන්වුනු තවත් එක නගරයක්. උසස් පෙළ කරන කාලේ මමත් ඔය ගම්පහ නගරේ බොහොම ප්‍රසිද්ධ පන්තියකට සහභාගීවුනා. මම වගේම අපේ පන්තියේ ළමයි වැඩි දෙනෙක් පන්තියට ආවේ ගියේ බස් එකේ. බස් එක පොදු ප්‍රවාහන සේවයක් වුනත් බස් එක පිරෙන්නම වැඩි හරිය හිටියේ අපේ පන්තියෙම ළමයි. ඉතින් මේකත් එහෙම බස් එකේ පන්ති යද්දි සිද්ධවෙච්ච හරි රසවත් සිද්ධියක්.

වෙනදා වගේම එදත් ළමයි පන්තිය ඉවර වෙලා ගම්පහ හොස්පිට්ල් එක ගාව බස් එකක් එනකන් බලන් හිටියා. යන්නෙ එන්නේ එකම වෙලාවක නිසා ඒ වෙලාවට යන බස් ගැනත්, ඩ්‍රයිවර් මහත්තුරු, කොන්දොස්තර මහත්තුරු ගැනත් ටික දවසක් යනකොට ළමයින්ට හොඳ අවබෝධයක් තිබුනා. කොහොමහරි එදා බස් හෝල්ට් එකට ආපු බස් එකේ අපේ සුපුරුදු කොන්දොස්තර අන්කල් කෙනෙක් හිටියේ නෑ. ඒ වෙනුවට හිටියේ ටිකක හැඩකාර පෙනුමට ඇඳගත්ත, අපිට වඩා ඔනෙනම් ටිකක විතර වයස, හරිම කඩිසර කොන්දොස්තර අයිය කෙනෙක්. ගෑණු ළමයි එයා දිහා ටිකක් උනනදුවෙන් බැලුවත් පිරිමි ළමයින්ගෙ නම් වැඩි කැමැත්තක් එයාට තිබුනෙ නෑ.

කොහොමින් කොහොමහරි ගෑණු ළමයින්ට මුල් තැන දීලා පිරිමි ළමයි ටික ෆුට් බෝඩ් එකේ එල්ලුනා. පාන් පෙට්ටියක පාන් ඇහිරුව වගේ බස් එක පිරෙන්නම සෙනඟ. 

" එන්න එන්න නගින්න නගින්න කොළඹ කොළඹ... ඔතනින් ඉස්සරහට යන්න.ෆුට් බෝඩ් යන්න ඔනේ නම් බැහැල පයින් එන්න .." 


හරිම ගාල ගෝට්ටියක්. කොන්දොස්තර අයියා මුළු ගම්පහටම ඇහෙන්න කෑ ගහනවා.

" එක්කෙනෙකුටවත් තව බස් එකට නගින්න ඉඩ නෑ. මේ මනුස්සය තව මිනිස්සු නග්ගගන්න හදනවා" 

ගෑණු ළමයි රවලා කොන්දොස්තර අයියා දිහා බැලුවා. 

පාපුවරුවේ යන්න සහජ දක්ෂතාවයක් තිබ්බ අපේ පිරිමි ළමයි කට්ටියට කොන්දස්තර කොලුවගේ මේ කීම ගැන තිබුනෙ හරි තරහක්. ඊටත් ගෑණු ළමයි ඉස්සරහ බැනුම් අහන්න කොල්ලෝ කොහොමත් කැමති නෑනේ.

ඔක්කොමලම පෙරලගෙන ඉස්සරහටයි පිටිපස්සටයි යන එකටයි, බස් හෝල්ට් වල බැහැලම ගිහින් සෙනග තව එකතු කරන එකටයි, සර්ල වත් බනිනේ නැති විදියට බනින බැනුම් වලටයි අපේ කට්ටිය පන්තියේදි ඉගෙන ගත්ත විද්යාත්මක නම් වලින්ම කොන්දොස්තර අයියට දෙහි කප කප හිටියේ. 

හදිස්සියෙම බස් එක නතර කරපු ඩ්‍රයිවර මහත්තයා බස් එක ඇතුල ටිකක් ඕනෑ කමින් විපරම් කලා. එතකොට තමයි අපිටත් මතක් උනේ මෙච්චර වෙලා කෑ ගහ ගහ හිටිය අපේ කොන්දොස්තර අයියා නෑ කියලා. හැමෝටම ඉක්මනටම එයාව එපා වුන නිසා ටිකවෙලාවක් ගියාට පස්සේ එයාගි වැඩ ගැන අවදනයක් කාටවත් තිබුනේ නෑ.

" කොන්දොස්තර මිසිං.. " ළමයි අතරේ කසු කුසුව ටිකටික වැඩි වෙනවත් එක්කම වේගයෙන් අවිත් බස් එක ඉස්සරහ නවත්තපු බයිසිකලයකින් බැහැගත්ත කොන්දොස්තර අයිය හතිදාගෙන බස් එකට ගොඩවුනා. 

" මුන්ගේ කීමට අයිය බස් එක ඇද්දුවා නේද ?  තරහ දෙගුන තෙගුන කරගෙන කොන්දොස්තර අයිය කෑ ගැහුවා "

එතකොට තමයි වෙච්ච සිද්දිය කට්ටියට තේරුනේ.

කොන්දොස්තර අයියා සෙනඟ එකතු කරන්න බස් එකෙන් බැහැපු වෙලාවක අපේ එක්කෙනේ කොන්දොස්තර වැඩේ කරලා..  අලුත් කොන්දොස්තරගේ කටහඬ එච්චර පුරුදු නැති නිසා ඩ්‍රයිවර් මහත්තයත් බස් එක ඇදලා.

අඬනවද හිනාවෙනවද කියලා හොයාගන්න බැරි තරමටම ළමයි හැමෝම ඇස්වල කඳුලු පුරෝගෙන හිනාවුනා.

ලැජ්ජාවෙන් මූණ රතුකරගත්ත කොන්දොස්තර අයියාගෙන් ඊට පස්සෙනම් වැඩි සද්දයක් තිබුනෙ නෑ.

තැනින් තැනින් බැහැගත්ත අපේ කට්ටිය ගෙවල් වලට ගියේ බස් එක් දිහා තව දෙතුන් වතාවක් බල බල හිනා වෙවී. 

කොහොමවුනත් එදයින් පස්සේ උසස් පෙළ පන්ති ගියපු අවුරුදු 2 පුරාවටම අපිට ආපහු අපේ කොන්දොස්තර අයියව නම් හම්බ වුනේ නෑ. හැබැයි බස් වල යන එන වෙලාවටත්, කට්ටිය එකට එකතු වෙච්ච වෙලාවටත් කොන්දොස්තර අයියව අමතක නොකර ඉන්න අපේ කට්ටිය වගබලා ගත්තා. 

Thursday, November 7, 2013

දඟකාර වස්සානය ...



වස්සාන කාලය ආරම්භ වුනත් එක්ක වැස්ස බොහොම දඟකාර විදිහට අපි අතරට ආවා. ඒ නිසාම මේ දවස් වල අපි හැම කෙනෙක්ම වැස්සේ මේ දඟකාරකම් වලට මුහුන දෙනවා. මේ දැනුත් අපිට හොඳටෝම වැස්ස.  ඉතින් ඒ නිසා වැස්සේ මේ දඟකාරකම ගැන පුංචි හරි සටහනක් බ්ලොග් පි‍ටු අතරට දැම්මොත් හොඳයි කියලා මට හිතුනා..

                           


පුංචි කාලේ නම් වැස්ස කිව්ව ගමන් අපේ මතකයට මුලින්ම එන්නේ කඩදාසි බෝට්‍ටු. එක එක සයිස් එකේ බෝට්‍ටු හදාගෙන වැස්සේ ඒවා පාවෙලා යනහැටි හරිම ආසාවෙන් බලන් හිටියා . කොළයක් දෙකට තුනට නමමින් තත්පර කීපයකින් ඒක බෝට්‍ටුවක් බවට පත්කරන්න අපේ අඟිලි තුඩු සමත් වුනා. 
                             


දේදුන්නකට යන පාර හොය හොය, හබරල කොලයක් ඉහලගෙන කෙහෙල් කොට වලින් හදපු පාරුවක නැගලා මුහුදු කොල්ලකාරයො වෙච්චි හැටි හරිම සුන්දර මතක සටහන්.

වැස්සෙ තෙමෙන්න එළියට බහින්න තහංචි වුන දාට වැහි බින්දුවක් තරමටම  මූණ බෙරි කරගෙන ජනෙල් කවුළු වලින් වැස්ස දිහා බල බල හූල්ල හූල්ල ජනේල් වීදුරුවෙ චිත්‍ර ඇදපු හැටි එදා දඩුවමක් වුනත් අද ලස්සන මතකයක්.





වැස්සේ සීතලටත් ගොරෝ මාමගේ ගෙරවිලි සද්දෙටත් බයවෙලා අම්මගෙ තුරුලේ උණුසුමට ගුලිවෙලා නිදාගත්ත හැටි අදටත් අමතක කරන්න බෑ. 

                                   


ඉස්කෝලේ යන්න අදිමදි කරලා හොරට ගෙදර නැවතුනු හැටිත්, ඊට පස්සේ  ඔළුවෙ ඉදන් පෙරෝගෙන නිදා ගත්ත හැටිත්, වැස්සේ තෙමි තෙමි සෙල්ලම් කරලා උණු උණු කෝපි කෝප්පයකින් ඇඟ උණුසුම් කරගත්ත හැටිත් අපි හැම කෙනෙක්ම වගේ කරපු සොඳුරු වැරදි. 

                            


වැස්ස මේ හැම සොඳුරු මතකයක්ම එදත් අදත් හෙටත් අපි වෙත දඟකාර කමින් ‍රැගෙන එන්නේ අපේ දඟකාරකම් අපිට මතක් කරන්නදෝ කියල මට හිතෙනවා .ඒ නිසාම එදත් අදත් හෙටත් අපි වැස්සට හුඟක් ආදරය කරාවි....

Sunday, November 3, 2013

හොල්මන් කතාවක් කියලා කට්ටියව බය කරනව කියලා එහෙම හිතන්න එපා ......


 













 
ආරම්භ වුනේ නොවැම්බර් මාසය. ම්... එහෙමත් නැත්නම් තවත් විදියකින් කියනව නම් මේ මලවුන්ගේ මාසය.  මලවුන්ගේ මාසය නිසා අපේ කිතුනු යාළුවො නම් මේ මාසය පුරාවටම එයාලගෙ මියගිය කට්ටිය සිහි කරලා එක එක පූජාවන් පවත් වනවා...

ඉතින් මේ දවස් ටිකේ හුඟක් ඒ වගේ දේවල් අහන්න ලැබුනු නිසා අපේ කිරි අම්මා කියපු ටිකක් අමුතු විදියේ කතාවක් ඔයාලටත් දැනගන්න ලියන්න ඕනේ කියලා හිතුවා.  ඔන්න හොල්ම
න් කතාවක් කියලා කට්ටියව බය කරනව කියලා එහෙම හිතන්න එපා හොඳද ...

කිරි අම්ම කියලා කිව්වේ  අපේ අත්තම්මගේ අක්කා. එයා හරිම සුදුයි. ම්.... පිං පාටයි කිව්වොත් හරියටම හරි. ඉතින් ආදරේ වැඩි කමට අපි එයාට කියන්නෙ කිරි අම්මා කියලා.

ආදරේ වැඩි වෙන්න හුඟක්ම හේතු වුනේ අපිව වටකරගෙන ආදරෙන් බත් කවන ගමන්ම ලස්සන කතා ගොඩකුත් අපිට කියලා දුන්න නිසා.

ඉතින් එදා කිරි අම්ම කිවුව කතාවේ හිටියෙ හුගක් වයස ආත්තා කෙනෙකුයි අත්තම්මා කෙනෙකුයි.  මේ අත්තම්මයි ආත්තයි හුඟක් ආදරෙන් එයලාගේ පුතයි ලේලියි එක්ක සමගියෙන් ජීවත් වුනාලු. මේ අත්තම්මා හුඟක් පිනට දහමට ලැදි කෙනෙක්ලු. අත්තම්මා හතර පෝයටම සිල් ගන්න, වන්දනා ගමන්යන කෙනෙක් වුනාට ආත්තා නම් මේ දේවල් වලට සම්බන්ද වුනේ නෑලු. හැබැයි අත්තම්මව පන්සලට එක්කරගෙන යන්න, අපහු එක්කගෙන එන්න වගේම වන්දනා ගමන් ගිහින් රෑ වෙලා එනකොට එක්කරගෙන යන්න එන්න මේ ආත්තා ආවලු.

ඉතින් ඔහොම ඉන්නකොට හදිසියේම මේ ආත්තා අන්තරා වුනාලු . මලගමින් පස්සෙ දාන මාන කටයුතු එහෙම අහවර කරලා මේ අත්තම්මට හිතුනලු අනුරාධපුරේ පැත්තෙ ගිහිල්ලා ජය සිරිමහ බෝධි හාමුදුරුවො වැඳලා මහත්තය වෙනුවෙන් පින් දෙන්න ඕනේ කියලා. කොහොමහරි
ඉතින් එයා වන්දනා නඩේකට එකතුවෙලා වන්දනාවේ ගිහින් හිතේ හැටියට පින් දීලා ඇවිත් තියෙනවා. හැබැයි ගමන ගිහින් අපහු එනකොට ටිකක් රෑ බෝ වෙලා තියෙනවා.

ඉතින් අත්තම්ම නඩේට සමුදීලා බස් එකෙන් බැහැලා පාර අයිනෙ තිබුනු අම්බලමකට වෙලා හිටියලු පුතා එක්කගෙන යන්න එනකන්. අද වගේ ඒ කාලේ පාරවල් පුරාම ලයිට් දාල නෑනෙ. හුළු අතු අරගෙනලු මිනිස්සු ගමන් ගියේ.  ඉතින් ටික වෙලාවකින් අර අත්තම්ම දැක්කලු හුළු අත්තක් අරගෙන කවුරුහරි එනවා. 

" අනේ මගේ රත්තරන් පුතා .. තාත්ත වගේ මේ රෑ දෙගොඩහරියෙ මාව එක්කරගෙන යන්න ආවා නේද ?  "

කියලා අර අත්තම්මා හුළු අතු එළිය පැත්ත ගිහින් ගුරු පාර දිගේ ගෙදර යන්න පිටත් වුනාලු.

අටමස්ථන වැඳපු හැටියි, තාත්තට පින් දීපු හැටියි, ගමනේ විස්තරයි කිය කිය අත්තම්මා හරි සතුටින් ගෙදර වැට කඩුල්ල ලගටම ආවලු.

එච්චර වෙලා අත්තම්මට ඉස්සරහින් මග පෙන්වමින් ආපු එලිය එතනදි නැතිවලා ගිහින් තියෙනවා. මේ අත්තම්ම හිතල තියෙන්න පුතා වත්ත පහල ඉන්න හරක් මඩුව පැත්ත යන්න ඇති කියල.

අත්තම්මා ගේ පිලට ගොඩවලා දොරට තට්‍ටු කරලා ලේලිට කතා කලාලු.

" අම්මා මේ මහ රෑ තනියම ආවේ ඇයි ? මම මේ පාරට එන්න ලෑස්තිවුනා විතරයි "

කියමින් පුතා දොර ඇරියලු. 

මේ අත්තම්මට වෙච්චිදේ අදහ ගන්න බැරිවුනාලු.

"උබලගේ තාත්තා ජීවතුන් අතර නැති වුනත් මන් ලඟ ඉඳන් මාව බලා ගන්නව පුතේ..... " කියල මේ අත්තම්ම වෙච්ච සිද්ධිය කියල තියෙනවා. 

පස්සේ ගමේ අයටත් මේ සිදිධිය දැනගන්න හම්බවුනාලු..  එහෙම තමයි අපේ කිරි අම්මත් මේ කතාව අහලා තියෙන්නේ..


කිරි අම්ම කියපු කතා වලින් මේ කථාව මගේ හිතට හුඟක් තදින් දැනුන කතාවක්. එ නිසාමයි ඔයාලටත් දැනගන්න මේක කියන්න ඕනේ කියලා හිතුවේ. 


ඔන්න බය කරන්න ලිවුව එහෙම නෙවෙයි හොඳද ...

Wednesday, October 30, 2013

නිදි දෙව් දුව ...


















විඩා බර නෙතු අස්වසාලන
සිතට සැනසුම දෝතින් ‍රැගෙන එන
ට සුව දෙන විරාමය ගෙන
පැමිණි දෙව් දුවණිය ඔබයි...

රෑ කුසුම් සුවඳතරෙ සැගවී
තරු පන්ති වල ‍රැගුම් මැද හිඳ
සිහිල් පවනැලි සලු මතින් බැස
පැමිණි දෙව් දුවණිය ඔබයි...

සඳ පහන් වන ඝන ‍රැයේ සිට
ඉර පහන් වන තුරා සරමින් 

සිහින පොදි නෙක අරන් විසිතුරු
පැමිණි දෙව් දුවණිය ඔබයි...

සිහින අතරේ වෙලී හිදිමින්
නෙතු පියන් යුග සිනා කැන්දන
දුක් තැවුල් මග හැරන් සතුටින්
පැමිණි දෙව් දුවණිය ඔබයි...

මෙලොව එලි දු‍ටු දින පටන් හැමදා
නො එන ගමනක් යනතුරාවට
සෙවනැල්ල මෙන් පසු පසින් අප
පැමිණි දෙව් දුවණිය ඔබයි...

Sunday, October 27, 2013

කල එළි බැසි අධිවේගී මග...


2013 ඔක්තෝම්බර් 27 වෙනිදාව ශ්‍රි ලාංකේය ඉතිහාසයේ තවත් අමරනීය දවසක් ලෙසට ඉතිහාස පොතට දැන් එක් වී හමාරයි.ඒ දෙවන නිමකල අධිවේගී මාර්ගය ලෙසට කොළඹ ක‍ටුනායක අධිවේගී මාර්ගය  අද දිනයේ ජනතා අයිතියට පත්වීමත් සමගයි.

ඔන්න දේශපාලනික කෝණයකින් හරි, ආර්ථික, තාක්ෂණික වගේ හර බර කෝණයකින් ලියන ලිපියක් එහෙම නෙවෙයි මේක. 

පතිකුලයට යන මනාලියක් වෙගේ පහුගිය දවස් කීපයේ හැඩ වෙච්ච අධිවේගී මගේ සුන්දරත්වය සියැසින් දු‍ටු කෙනෙක් විදිහට පුංචි සැමරුම් සටහනක් බ්ලොග් පි‍ටු අතරෙ රඳවලා, ලොකේ පුරා විසිරිලා ඉන්න අපේ බ්ලොග් හිතවතුන්ට ඒ ගැන අභිමානයක් ගෙන එන්න දරන උත්සාහයක් කිව්වොත් මේක, හරියටම හරි.

පුංචි  දරුවෙක් ටිකෙන් ටික හැදී වැඩෙමින් ජීවිතයේ විවිධ කඩයිම් පසු කරනව වගේ අධිවේගී මර්ගයේ පෑලියගොඩ කොටසේ මුලික පියවරේ අධියරයන්ගේ සිට අද පැවති අවසන් නිමවුම දක්වා සියසින් දැක බලා ගන්නට, උදේ හවස එම මාර්ගය පසුකර යන්නියක් විදියට මට අවස්ථාව ලැබුනා.

ලොකු ලොකු තාක්ෂණික දැනුමක් මට නැති වුනත් ඉන්ජිනේරුවරුන් පාන මේ විස්කම් ගැන මගේ හිතේ තියන්නෙ හරි පුදුම සහගත් ආඩම්බරයක්. වසර කිහිපයකට කලින් පෑලියගොඩ නගරයට පැමිණි කෙනෙක්ට අද පෑලියගොඩ නගරය, අඳුරගන්න බැරි තරමට අරුමයක් එහි කරන්නට ඔවුන් සමත් වීම එයට හේතුවයි. කිලෝ මීටර් 26.8 දිගකින් නිර්මාණයවු මෙම අධිවේගී මර්ගය ගුවන් පාලම් කිහිපයකින්ද සමන්විතවෙනවා.

රාජකාරී නිවාඩු දිනයක් වුවත් අධ්‍යපනික කටයුත්තක් හා සම්බන්ද දේශනයකට අද දින සහභාගීවීමට මා පෑලියගොඩ නගරය පසුකර ගමන් ගත් නිසා අධිවේගී මර්ගයේ මංගල හෝර කිහිපයත් සියසින් දැක බලා ගන්නට මට අවස්ථාව ලැබුනා.

නේක වර්ණ් ධජ පතාකයන් නිල් ගුවනේ ලෙලදනකොට ජාතික කොඩියෙන් මතුවුනු සිංහ තේජස ශ්‍රි ලාංකේය අභිමානය ලොවට කියා පෑවා. සමනළ සිරි පා ආශිර්වාදය ‍රැගෙන ආ කැලණි ගං කුමරිය මංගල කිංකිණි හඬ නංවමින් ගලා බහිනවා දෝයි මට හිතුනා. පරිසරයේ වු  සුන්දරත්වය  ස්වභාවධර්මයෙන් මේ අවස්ථාව සඳහාම ලැබුනු තු‍ටු පඬුරක් වගෙයි.

ස්වභාවධර්මයේ මේ සුන්දරත්වයත් සමගම ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය මග බලමින් සූදානම් වු නැ‍ටුම් කණ්ඩයම්, පංච තූර්ය වාදකයින් උත්සව භූමිය තව තවත් වර්ණවත් කලා.

මේ සියලු දේ දිහා බලාගෙන පොදිකමින් ‍රැස් වෙලා හිටිය හැම මනුස්සයෙකුගෙන ඇස් වල සතු‍ටු කඳුළු පිරිල තියෙනවා මම දැක්කා.

කොහොම වුනත් ලක් මෑනියන්ගෙ දරුවන් විදිහට රටක් සංවර්ධනයේ කිරුළු දරනව දැකීම අපි හැමෝගෙම ප්‍රාර්තනාවයි. 

අවස්ථාවක් ලද විගසම විවර වූ මං පෙතේ ගමන් කරමින් එහිවූ අසිරියත් විඳගන්නට බලාපොරොත්තුවක් මගේ හිතෙත් තියෙනවා. හැකියවත් තියෙනවනම් ඔබත් මේ අධිවේගී මගේ ගිහින් තොරතුරු මටත් කියන්න. හැබැයි මතක තියාගන්නම ඕන කාරනය තමයි ආරක්ෂාව කියන එක. මොකද " වේගය මරු කැඳවයි " කියල කතාවකුත් තියෙනවනේ.

බය කරනවා නෙවෙයි. කොහොම වුනත් ආරක්ෂාව ගැන නම් දෙපාරක් හිතන්න ඕනේ...
 
ආරක්ෂාකාරී ගමනකට සුබ පතමින්  අද දිනයේ විවර වූ අධිවේගි මග කිසිදු අනතුරකින් තොර ජයග්‍රහනයේම මං පෙතක් වේවයි ප්‍රාර්ථනා කරමින් සොඳුරුවු සමරු සටහනේ නිමාව සනි‍ටුහන් කරනවා...


Related Posts Plugin for WordPress, Blogger...