Monday, March 30, 2015

73.ගෙඹි ඔපරේෂන් ...

ඉස්සර උසස් පෙළට, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව කියලා කොටස් දෙකක් ඉගෙන ගන්න තිබ්බත් අපේ කාලේ වෙනකොට මේ දෙකම එකට එකතුවලා ජීව විද්‍යාව කියලා තනි විශයක් බවට පත් වෙලා තමයි තිබුනේ.  ඉතින් ඒ නිසා සත්ව විද්‍යාවයි ශාක විද්‍යාවයි ගැඹුරින් ඉගෙන ගැනීමේ අවස්ථාව අපිට තිබුනේ නෑ. 

ඒත් අපේ පාසලේ ජීව විද්‍යාව උගන්නන්න එක පන්තියකට ගුරුවරු දෙන්න ගානේ හිටිය නිසා සත්ව විද්‍යාව කොටස් කලින් සත්ව විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ශාක විද්‍යාව කොටස් කලින් ශාක විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න අපිට හැකියාව ලැබුනා. නිසා සිලබස් එකේ තියෙන දේවල් වලට වඩා අමතර දේවල් ටිකක් ඉගෙන ගන්නත් අපිට පුළුවන් වුනා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම මේ කියන්න යන ගෙඹි ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. 

ඔන්න ඉතින් ඒ වෙනකොට අපි ශරීරයේ පද්ධති ගැන ඉගෙන ගන්න පටන් අරගෙන තිබුනේ. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අහාර ජීරණ පද්ධතිය වගේ පිලිවෙලට පද්ධති එකින් එක අපිට ඉගෙන ගන්න තිබුනා. එහෙම පද්ධති ගැන ඉගෙන ගනිද්දී සත්තුන්ගේ මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න වෙනවා. 

" ළමයි,  ඉස්සර නම් අපි ක්ලාස් එකේ කැරපොත්තෙකුයි ගෙම්බෙකුයි කපලා බලනවා. ඒත් දැන් ඒ තරම් ඕනේ නැති නිසා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.  "

" අනේ
මිස්.. අපිත් ක්ලාස් එකේ කැරපොත්තෙකුයි, ගෙම්බෙකුයි කපලා බලමුකෝ.... "


හිතා ගන්න පුළුවන්නේ අපේ කට්ටියගේ හැටි. මිස්ට බෑ කියන්න බැරි තරමට ම කට්ටිය ගෙන හරිම කරදරයක් තිබුනේ ක්ලාස් එකේ සත්තු කපලා බලන්න. ඔය අතරේ අපේ පන්තියේ හිටිය අවිහිංසා වාදී අය නම් කිව්වේ අපිට නම් ඔය පව් වැඩ කරන්න ඕනේ නෑ කියලා. 

" හරි හරි .. සත්තු දෙන්නෙක් හෙට අරගෙන එන්නකෝ. උදේ පීරියඩ්ස් දෙකක් තියෙන නිසා කෙලින්ම ලැබ් එකටම ඇවිත් ඉන්න. මම ඕන කරන දේවල් ටික ලැස්ති කරලා තියන්න කියන්නම්.  " 
  
සත්තු කපන්න ඕනේ කිව්වට කෝ ඉතින් සත්තු ? කවුරුහරි ගේන්න එපැයි කපලා බලන්න. සත්තු කපන්න ආසාව තිබ්බට සතෙක්ව ගේන්න කෙනෙක් නෑ... සතෙක්ව හොයා ගන්න පුළුවන් අයට ගේන්න විදිහක් නෑ. ගේන්න විදිහක් තියෙන අයට සතෙක්ව හොයා ගන්න විදිහක් නෑ. හි..හි..

ඒ දවස් වල තුශානිලගේ ගෙදර ලිඳ ගාව රජ දහන කරගෙන  හිටියා ටිකක් ලොකු ලස්සන ගෙම්බෙක්. තුශානිට එක පාරටම ඌව මතක් වුනත් ඌව මැරෙනවා කියලා දැන දැන ගේන්නේ කොහොමද ? ඒ නිසා ඒ මතක් වෙච්ච එක ටක් ගාල අමතක කරලා හිටියා කවුරුහරි සතෙක්ව ගෙන්න කැමති වෙනකන්.. 




කැරපොත්තෝ ගෙන්න ඕන තරම් කට්ටිය හිටියත් ගෙබ්බෙක් ගේන්න කවුරුවත් කැමති වුනේ නෑ. ඒ නිසා ඉතින් අන්තිමට හිත හදාගෙන අර අමතක කරපු එක ආපහු මතක් කරගෙන "හා එහෙනම් මම ගේන්නම්කෝ... " කියලා වැඩේ බාර ගත්තා.

හා කියලා වැඩේ බාර ගත්තට මොකද ගෙදරින් නම් කීයටවත් කැමති වෙන්නේ නෑ මරණ්න ගෙබ්බෙක් අරගෙන යනවට. කොහොම හරි කැමති කරව ගත්තත් ගෙම්බව අල්ල ගන්නේ කොහොමද ? ඉස්කෝලෙට ඌ ගේන්නේ කොහොමද ? ඔන්න එක එක ප්‍රශ්ණ මගේ ටිකිරි මොලේට එන්න ගත්තා. මොනවා කරන්නද ගේනවා කියලා බාරගත්ත නිසා කොහොමහරි ගෙනියන්නත් එපැයි.

" අම්මේ ... අපේ බයෝ මිස් කව්වා ඉස්සර සුලොජි වලට සත්තුත් කපලා ඉගෙන ගන්නව කියලා " 

"ඔව් ඉතින් උන් ගැන ඉගෙන ගන්නකොට කපලා බලලා ඉගෙන ගන්නවා ඇති. " 

" මේ... අපිටත් කිව්වා සත්තු ගෙනාවොත් ඕනේ කම් කපලා පෙන්නන්න පුළුවන් කියලා. " 

" ඉතින් දැන් ඔයා හා කියලා සතෙක්ව ගේන්න බාරගත්තද ? "  

අපේ අම්මට ටෙලිපති වලින් මම කියන්න යන එක පෙනිලද කොහෙද කෙලින්ම මගෙන් ඇහුවා. ඇයි ඉතින් ඉස්කොලේ මොනාහරි ගේන්න දෙයක් කිව්වොත් හුඟක් වෙලාවට මමනේ බාර ගන්නේ. හි.. හි..

" හොස්ටල් එකේ ඉන්න අයට ගේන්න බෑනේ අම්මේ.. ඈත ඉඳලා බස් වල එන අයටත් ගේන්න බෑනේ.... ඉතින් මම ගේන්නම් කිව්වා. " 

" දැන් මොකෙක්වද ගේනවා කියලා කිව්වේ ? "

" ලොකු සතෙක්ව නෙමෙයි අම්මේ.  මේ..... තරු කැරපොත්තෙක් ගේනවා කිව්වා.. අපේ අර ලිඳ ගාව ඉන්නවා නේද ගෙම්බෙක්. ඉතින් මම කිව්වා මම ඌව ගේන්නම් කියලා.  "

" තාත්තා නම් කීයටවත් කැමති වෙන එකක් නෑ ඔය සත්තු මරණ වැඩේට. මම දන්නෑ තාත්තා ආවහම අහලා බලලා ඕන දෙයක් කරන්න. " 

" ඉතින් අම්මේ අපි ඌව හිතලා මරන්නේ නෑනේ . ප්‍රැක්ටිකල් එකටනේ කරන්නේ. එතකොට පව් සිද්ධවෙන්නේ නැතිවෙයි. අනේ ... අම්මත් කියන්නකෝ තාත්තා අවහම.  " 

ඊට පස්සේ ඉතින් තාත්තා ආවහමත් ප්‍රැක්ටිකල් එකේ වටිනාකම තාත්තට පහදලා දීලා බොහොම අමාරුවෙන් වැඩේට ඇපෘවල් එක ගත්තා. ඔක්කොම හරි වුනත් ගෙම්බව අල්ල ගන්න එක තමයි ඊලඟ ප්‍රශ්ණේ. 

" මේ ... හලෝ...  චූටි වැඩක් කරලා දෙනවද ?  "

" ම්.... ටෝන් එකේ හැටියට නම් ටිකක් බරපතල වැඩක් වගේ. කමක් නෑ. කියන්නකෝ බලන්න. " 

" ඔන්න බෑ කියන්න බෑ....  අර...  ලිඳ ලඟ ඉන්න ගෙම්බාව අල්ලලා මේ පෙට්ටියට දාලා දෙන්නකෝ. අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකකට.  " 

" ඊයා ... මට බෑ.  " 

" අනේ මල්ලී.. මම හෙට ගේනවා කියලා ආවේ. නැත්තම් ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මට කොහොමහරි මේ වැඩේ කරලා දෙන්නකෝ......  " 

ඊට පස්සේ ඉතින් විසි පාරක් විතර කියලා කියලා කොහොම හරි අර ගෙම්බාවා පොඩි පෙට්ටියකට දාලා ඌට හුස්ම ගන්න පුළුවන් වෙන්න පෙට්ටියේ සිදුරු ටිකකුත් හදලා රෑ ලෑස්ති කරලා තිබ්බා උදේට ඉස්කෝලේ අරගෙන යන්න.
 
යාන්තම් නින්ද යන්න ඇහැ පියවුනා විතරයි මෙන්න ඇහෙනවා අර පෙට්ටියේ ඉන්න ගෙම්බා කෑගහනවා මහ හයියෙන්. ඌ පෙට්ටිය ඇතුලේ දඟලන විදිහ හරියට අර හොල්මන් කතන්දර වල තියෙන භූත බලවේග එලියට එන්න හදනකොට තියෙන්නේ අන්න ඒ වගේ. සද්දෙත් එක්ක පෙට්ටිය දිගටම හෙලවෙන්න පටන් අරගෙන එක පාරටම ටික වෙලාවක් නැවතිලා තිබිලා ආයෙමත් හෙලවෙනවා. කට්ට කරුවලේ තනියම ඉන්නකොට එහෙම ඇහුනහම චුට්ටක් වත් බය හිතෙන්නේ නෑනේ නේද ?  හි..හි...

ඒත් එක්කම තුශානිට මතක් වුනා අර ගෙඹි කුමාරයගේ කතාවත්.. .ඔව් ඔව්... අර හාද්දක් නිසා ගෙම්බෙක්  කුමාරයෙක් වෙච්ච කතාව තමයි. හි..හි... මෙයත් නපුරු මන්තරකාරියකගේ ශාපෙකට ගෙම්බෙක් වුනු කෙනෙක්වත්ද ? ඊයා... ගෙම්බෙක්ට හාදුවක් දෙන්න කොහොම හිත හදා ගත්තද මන්දා... හපොයි තුශානිට එක එක ඒවා හිතෙන්න ගත්තා.



පිස්සුද ඒවා බොරු කතා.... කතා නෙවෙයි, මූ හදිස්සියේවත් උදේ වෙනකොට මැරිලා හිටියෝත් ඔක්කොම පව් ටික මටනේ. කොකටත් කමක් නෑ. නැගිටලා ගිහින් බලනවා කියලා හිතලා හිමීට ඇඳෙන් බිමට බැහැලා පෙට්ටිය ගාවට ගියා. 

පුංචි පෙට්ටියක්නේ... ඉතින් පෙට්ටිය ඇතුලේ හිර වෙලා නිසා ඌ කෑ ගහ ගහ හොඳටම දඟලනවා. පෙට්ටිය ඇතුලේ ගෙම්බා කෑ ගහ ගහ දඟලන විදිහ දැක්කහම තුශානිගේ හිත එකපාරට නැවතුනා වගේ වුනා. කොච්චර හිත හදාගෙන ගිහින් නිදා ගන්න හැදුවක් ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. කොච්චර දර දඬු හිතක් තියෙන කෙනෙක්ට වුනත් අනිවාර්යයෙන්ම ඒ විදිහට හිතෙන එක හොඳටම ෂුවර් ඒ සද්දෙයි දඟලන විදිහයි දැක්කහම.

අන්තිමට තුශානිම තීරණය කලා ගෙම්බව ආපහු ලිඳ ගාවට ගිහින් දාන්න. ඔව් .. ඒ වෙලේම.

ඊට පස්සේ අම්මවයි තාත්තවයිත් ඇහැරවලා, පෙට්ටිය ලිඳ ගාවට අරගෙන ගිහින් ඌව නිදහස් කලා. අම්මයි තාත්තයිත් ඒකට මුකුත් නොකියන්න ඇත්තේ එහෙම කරනන් එපා කියලා කියන්න තරම් හිතක් එයාලටත් නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.  

පෙට්ටිය ඇරපු ගමන් ගෙබ්බත් එළියට පැනලා අපහු හැරිලා අපේ දිහා බලලා එයාගේ සුපුරුදු තැනට ගියා හරියට අපි එයාව නිදහස් කරලාට ස්තූති කියනවා වගේ. ඒ වෙලේ හිතට දැනුන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්. " පව් පුතේ.. බලන්න ඌ කොච්ච සතුටෙන් පෙට්ටියෙන් පැනලා ගියාද කියලා" අම්ම මගේ ඔළුව අතගාල කිව්වහම මටත් හිතුනා මම කලේ කොච්චර ලොකු වැරැද්දක්ද කියලා.

මල්ලි නම් උදේ හිනා වුනා අපරාදේ මම ඌව අල්ලලා දුන්නේ කියලා. 

ඉස්කෝලේට යනකොට යාළුවොත් බලාගෙන හිටියා ප්‍රැක්ටිකල් එක කරන්න. කැරපොත්තෙක් ගෙනත් තිබුන නිසා කැරපොත්තව නම් එදා කපලා බලන්න පුළුවන වුනා. ඒත් ෆෝමලින් සුවඳට කැරපොත්තා දඟලපු හැටි දැක්ක අපිට හිතුනේ වෙන සත්තු කපලා බලන්න නම් ඕනේ නෑ කියලා. ඒ නිසා ඊට පස්සේ කිසිම සතෙක් කපලා බලන්න ඕනේ කියලා කවුරුත් බයෝ මිස්ට කරදර කලේ නෑ. 

අපේ අතින් කොයි තරම් සත්තු මැරිලා තිබුනත් දැන දැන සතෙක්ව මරණ එක කොයිතරම් අමාරුද කියන එක අපි හැමෝටම හරියටම තේරුම් ගියේ එදා තමයි.



Sunday, March 22, 2015

72. වාරය එන තුරා...


දෑත දෙපයේ වාරු ගිලිහී
සැදෑ සමයේ කෙලවරේ හිඳ
ගිලන් වු ගත හිතින් තදකර
කෙනෙකු වේ පෙර මං බලා ...

 ගතේ සවි දිය කරන් මුදලට
සවිය නැහැ ජීවිකාවට අද
පොරෝගෙන හිස සිටන් පතුලට
තවත් සහනය සොයනා අයෙක්...

දඟකාර සුරතල් සිනාවන්
හොරෙක් අරෙගෙන ගිහින් වත්දෝ
පුංචි පැටියෙක් ඇඬූ කඳුලින්
තුරුලේ නැලවෙයි වේදනාවෙන්...

ඇඟේ සායම් තවරලා දෝ
රක්ත වර්ණෙන් ගතම තෙත් වී
මිරිකෙමින් වේදනාවෙන් බෝ
තව කෙනෙක් කොනකට වෙලා ...


ඉසිඹුවක් නැති වුවත් හැමටම
ඉවසමින් එය විඳ දරා
පෙළට එක එක්කෙනා ලෙසකට
හිඳියි වාරය එන තුරා ... 






ප.ලි. - පහුගිය දවසක තුශානි හදිස්සියේම අසනීප වෙලා බෙහෙත් ගන්න ගිය වෙලේ හිතුනු දේවල් ටිකක් තමයි මේ. :-)

ඊට කලින් දවසක බෙහෙත් ගන්න ගිහින් වෙච්චි ඇබැද්දියක් මේ ... කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මේකත් ගිහින් බලන්නකෝ... 

 පින්තූරය - අන්තර්ජාලයෙන් ...

Tuesday, March 17, 2015

71. මේ මාත් එක්ක ඉන්න අය ....

ට්‍රීං ට්‍රීං ......  ට්‍රීං ට්‍රීං ......

හලෝ තුශී... ඔයා ඔෆිස් එකේද ?   

නෑ අනේ ...මම Zoo එකේ.

හපොයි... ඔයාව අල්ලගෙන ආවද එහෙනම්. හා.. හා.. මම හවසට එන්නම්කො බලන්න  හි..හි... 

ඕන් නෑ...................... මම තියනවා බායි.. 

 ----------------------------------------------------

බෑ... බෑ.. 

මට නම් මේක කරන්න බෑ.... මට මේක කොච්චර කරත් ඉගෙන ගත්තත් බෑ... බෑ...අනේ කරලා දෙන්නකෝ ප්ලී........ස්  

හෆොයි. මට මේ හුස්ම ගන්නවත් බෑ.. මම කොහොමද ඒ ටිකත් කරන්නේ. 

බෑ... අනේ ... අදට විතරක් මේ ටික කරලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...

හ්ම්... හ්ම්... අදටත් මම කරන්නම්. ඔන්න ආපහු නම් බෑ. 

බෑ බෑ කියන එක නවත්තලා බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඒක කරන්නේ කියලා හරිද.



 ----------------------------------------------------

මේ .. ඔයා හරිද ?

අයියෝ තාම නෑ... 
චුට්ටක් ඉන්න මාත් එනකන්... තව ටිකක් තියෙනවා. මට ඔයාලගේ ස්පීඩ් එකට එන්න බෑනේ.

කෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. මෙහෙම ගියොත් යක්කු ගස් නගින වෙලාවට තමයි ගෙදර යන්න වෙන්නේ.

හරි හරි... මේ ඉතින් මගේ උපරිම වේගේ තමයි. 



----------------------------------------------------

හප්පේ මෙයාට තියෙන කුලප්පුවක්. හෙමින් ගමනක් ඇත්තෙම නෑ.

එහෙම නැතුව මේ සේරම කොහොම කරන්නද..

දුවන්නං වාලේ ඔහොම දුවන එකනම් ඒ තරම් හොඳ නෑ හැබැයි.  

හරි හරී අද කාලේ මෙහෙම නැතුව බෑ.. ලෝකේ යන වේගේට අපිත් යන්න ඕනේ.. 




----------------------------------------------------

පැන පැන යන එක මෙයාට නවත්තන්නම බෑ නේද ? 

හි..හි... දැන් ඒක පුරුද්දට ගිහින්. පැන පැනමයි ‍යන්න හිතෙන්නේ. 

පැන පැන යන එක නවත්තලා දැන් වත් හරියට දෙයක් කරන්න ඉගෙනගන්න.  

බලමුකෝ බලමුකො ට්‍රයි කරලා..



----------------------------------------------------
මේ .... මොනාද ඔය බෙල්ල දික් කර කර  බලන්නේ ? 

ඔයාලට ඉතින් මේවා කොහේ පේනවද ? මම ඉතින් යන්තම් උස වෙලා ඉපදුන හින්දා මේවා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්.
අපි ඉතින් කියන්නේ නෑ ඔය බෙල්ල දිග කමේ වාසි.  
හරි හරි දැන් ඔය කතාව නවත්තලා අහගන්නකෝ මම දැක්ක දේවල්.


----------------------------------------------------

හරිම බඩගිනියි අප්පා...මොනාහරි කෑවා නම් හොඳයි වගේ. 

දැන් නේද දවල්ට කෑම කෑවේ ? 

පිස්සුද... දවල්ට කෑම කාලා දැන් පැයක් විතර වෙනවා. 

ඔහොම කෑම කාලා නම් කෙට්ටු වෙන්න බෑ හැබැයි. 

හරි හරි.... හෙට ඉඳලා වැඩිය කන්නේ නෑ..

ඔය හෙට නම් කවදාවත් එන හෙටක් නෙවෙයි.. හි...හි... 

ම්හ්.. ඔහොම ඉන්නකෝ මම කෙට්ටු වෙලා පෙන්නන්න.
 ----------------------------------------------------
 මම මේ අවසාන වතාවට කියන්නේ. මීට පස්සේ මේ වගේ දෙයක් වෙන්න බෑ. දන්නවනේ මම කවුද කියලා. මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ..

නෑ.. නෑ.. අපහු එහෙම දෙයක් අපේ අතින් වෙන්නේ නෑ. අපිට තව අවස්ථාවක් දෙන්න.

මට නිදහසට කාරණා ඕනේ නෑ. හොඳට මතක තියාගන්න මේ අන්තිම වතාව. වැඩේ කොහොමහරි කෙරෙන්න ඕනේ. 

හොඳයි... අපි ඒ විදිහටම කරන්නම්. .


 ----------------------------------------------------
අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට කණ්ඩායමක් විදිහට එන ඕනම ප්‍රශ්ණේකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ. 

ඔව් .. ඔව් .. ඔයා හරි.

හැමෝගේම අදහස් දෙන්න. ඊට පස්සේ කට්ටිය කතා කරලා හොඳ අදහස් තෝර ගම්මු. ම්... වැඩ ටික බෙදාගෙන තමන්ගේ වැඩේ උපරිමයෙන් කරන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. 

 අපි ලෑස්තියි. අපි මේ දේ  හොඳට කරමු. .  





 හ්ම්.. ඒ ටික දෙනෙක් විතරයි. මේ ඉන්නේ අනිත් කට්ටිය.



අයියෝ... නෑ නෑ... සත්තු වත්තේ කට්ටිය නෙවෙයි... අපේ ඔපීසීයේ කට්ටිය.   

අපහාස කරන්න හිතාගෙන ලිව්ව නෙවෙයි. ඔපීසියේ එක එක අය දැක්කහම තුශානිට ඔය වගේ දේවල් හිතෙනවා. ඉතින් ඇත්තනේ නැද්ද හා ? 

තුශානිවත් අනිත් අයට ඔය වගේ පේනවා ඇති නේද.. හි..හි..
                      
තුශානිට පොඩි කාලේ ඉඳලා තියෙන තාම හොඳ කරගන්න බැරි වෙච්ච දරුණු ලෙඩක් මේ. මොනව කරන්නද... ඒ නිසා ඔන්න ඔහේ පේන දේවල් ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතලා තමයි මේ පොස්ට් එක ලිව්වේ. :-)
 
දැන් කියන්නකෝ බලන්න ඔයාලටත් මෙහෙම දේවල් පේනවද කියලා ?


Wednesday, March 4, 2015

70. මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...

ඔයාට පුළුවන්ද වාහනයක් පදින්න ?  ඔන්න බෑ කියලා නම් හරියන්නේ නෑ. මේ වාහනේ පදින්න ඉගෙන ගන්නම වෙනවා. 

නෑ... නෑ... මේ වාහනේ පදින්න ලයිසන් ඕනේ වෙන්නේ නෑ.

හ්ම්... ඕනේ කරන්නේ හරියට වාහනේ පැදගෙන යන්න ඉගෙන ගන්න එක විතරයි. 

හරිනේ එහෙනම්. දැන් වැඩේ පටන් ගමු.


මුලින්ම වාහනේ ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්නකොටම හයියෙන් යන්න බෑනේ. ඒ නිසා බොහොම හෙමින් ටික ටික තමයි ඉස්සරහට යන්න ඉගෙන ගන්න ඕනේ. 

මෙහෙම ඉස්සරහට යද්දි මූණ දෙන්න වෙන පළවෙනිම ප්‍රශ්ණේ තමයි පාරේ තත්වය. වාහනේ පැදගෙන යන්න හම්බවෙන පාර හොඳට කාපට් කරපු එකක් වගේම, ගල් බොරලු තියෙන අබලන් වෙච්චි පාරක් වෙන්නත් පුළුවන්. ඉතින් පාරේ තත්වය කොහොම වුනත් ඉදිරියටම යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා හිත ටිකක් ශක්තිමත් කරගෙන ගමන යන්නයි තියෙන්නේ.

කෙළින් පාරවල් ලෝකේ කොහේවත් නෑනේ. ඒ වගේ මේ වාහනේ පැදගෙන යන පාරවලුත් කෙලින් පාරවල් නෙවෙයි. ඒ නිසා වමට හරවන්න, දකුණට හරවන්න, රිවස් කරන්න, U ටර්න් ගහන්නත් ඉගෙන ගන්න වෙනවා.  

ඒ වගේම පාරේ යද්දී එක එක මං සලකුනුත් දකින්න ලැබෙනවා. ඒවාට අවනත වෙමින් නොගියොත් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ඒ නිසා මං සලකුනු හඳුනගෙන ඒවා අනුගමනය කරන්නත් ඉගෙන ගන්න වෙනවා. 

ඔහොම ඉස්සරහට යනකොට තව ඔයාලට කඳු , පල්ලම් හම්බවේවි. එතකොට ඉතින් හපොයි බෑ කියලා නැවතිලා ඉන්නේ නැතුව, ටිකක් කල්පනාවෙන් වැඩි බලයක් යොදලා ඒ කඳු තරණය කරන්නත්, පල්ලම් වලදි බොහොම පරිස්සමින් වටපිටාව ගැන අවබෝධයෙන් පහළට එන්නත් පුරුදු වෙන්න ඕනේ. 

වේගෙන යන්න පුළුවන් තැන් වලදී වේගෙන් යන්නත් හෙමින් යන්න ඕනේ තැන් වලදි හෙමින් යන්නත් ටිකක් නැවතිලා ඉන්න ඕනේ තැන් වලදි ටිකක් නැවතිලා ඉන්නත් ඔන්න අමතක කරන්න නම් එපා.

ඒ වගේම පාරේ යන අනික් වාහන ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. සමහර විට ඒ වාහන නිසා අපේ ගමනට බාදා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වාහනේ නිසා අනිත් අයගේ ගමනට බාදා එන්නත් පුළුවන්.   මේ නිසා වැදගත් වෙන්නේ තමන් ගැනත් අනුන් ගැනත් හිතලා කාටවත් කරදරයක් නැති විදිහට තමන්ගේ වාහනේ පැදගෙන යන එක. 

ඔය කිව්වේ පොදුවේ අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන කාරණා ටිකක් විතරයි. ඒත් ඉතින් අපි එක එක්කෙනා එක එක විදිහේ  වාහන වල එක එක විදිහේ පාරවල් වල යන නිසා ගමන ගැන තීන්දු තීරණ බොහෝමයක්ම ගන්න වෙන්නේ තමන්ටම තමයි.



එහෙනම් යමු නේද ... 

ඔව්... ඔව්... ඔයා හිතුවා හරියටම හරි .
  
අපේ මේ ජීවිතෙත් මම කිව්ව අර වාහනේ වගේම තමයි.

වාහනේ අරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ....


ජයග්‍රහණ,  පැසසුම් වගේ හොඳ කාපට් පාරවල වල වගේම බාදක කම්කටොළු, පරාජයන් කියන බොරලු පාරවල් වලත් නවතින්නේ නැතුව ඉස්සරහටම...

ජීවිතෙත් කෙලින් පාරක් නෙවෙයි නිසා වමට, දකුණට, වගේම අපස්සටත් හැරෙන්න වෙයි නොනැවතී යන්න නම්. ටිකක් කල්පනා කරලා, යන්න ඕනේ කොයි පැත්තටද කියලා තීරණය ගන්න වෙන්නේ ඉතින් අපිටම තමයි. 

ඒ සමහර පාරවල් වලදි නම්, පාර හරි නෑ, හරි වැරදියි හරි හිතුනොත් අපිට හැරිලා එන්න පුළුවන් වුනත් හැම පාරකදි නම් අපිට හැරිලා එන්න බැරි බව විතරක් අපි අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕනේ. 

පාරේ යද්දී අපිට මං සලකුණු හම්බ වෙනවා වගේ ජීවිත ගමන යද්දිත් අපිට මගදි හම්බවෙන අයගෙන නොයෙක් විදිහේ උපදෙස්, ඉස්සරහ ගැන අනාවැකි, අනතුරු හැඟවීම් වගේ දේවල් ලැබෙනවා. ඉතින් අපි ඒ ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව ඉස්සරහට යනවා කියන්නේ හරියට අපි අනතුරකට අත වනනවා වගේ වැඩක් නිසා අඩුම තමේ සූදානම් ශරිරෙන් වත් යන්න වගබලා ගන්න ඕනේ. 

කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න පුළුවන් නිසා අමාරුයි අමාරුයි කිය කිය කන්ද පාමුලට වෙලා ඉන්නවට වඩා උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් කඳු නගින්නත් කොහොමහරි හිතට ගන්න ඕනේ.

හැබැයි ඉතින් අනිත් අය යන විදිහ කොපි කරලා ඒ විදිහටම යන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නෑ. මොකද අපි එක එක්කෙනාගේ වාහ , වාහ යන පාරවල් වෙනස් නිසා තමන්ගේ ජීවිතේ ගැන, තමන්ගේ ගමන් මග ගැන, තීන්දු තීරණ අරගෙන සාර්ථක ගමනක් යන්න වෙන්නේ තමන්ටම තමයි.

ඒ නිසා මේ දේවල් ටික හිතට අරගෙන කට්ටියම තම තමන්ගේ වාහන වලට නැගලා ඉස්සරහට යන්න උත්සාහ කරමු නේද ? 

Related Posts Plugin for WordPress, Blogger...