Saturday, January 25, 2014

ආදරණීය මර්සි නැන්දා ...



මර්සි එදිරිසිංහ කියන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය එක විදිහට ජයගත් අපේ යුගයේ බොහොම ප්‍රවීණ, හැම කෙනෙක්ම හුඟක් ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. උපතින් ලද කට හඬත් දෝතින් ‍රැගෙන ආ කලා ප්‍රතිභාවෙනුත් ඈ කළ හපන්කම් අපි හැම කෙනෙක්ම අවිවාදයෙන් යුතුව ඉහලින්ම රස වින්දා කිව්වොත් නිවැරදියි.

ඒත් ඇය මේ වන විට ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී තත්වයෙන් ඉන්නව කියන පුවත අහන්න දකින්න ලැබීම තුශානිගේ හිතට ලොකු වේදනාවක් ගෙන එන්න හේතු වුනා. ඒ තුශානිට මීට සුළු කාලයකට කලින් ගුවන් විදුලියේදි ඇයව දැන හඳුන ගන්න ලැබීමත්, ඇයගෙන් ගුරු හරුකම් ලබන්නට වාසනාවන්ත වීමත් නිසා වෙන් වගේම, තුශානි හුඟක් ආදරය කරන ගෞරව කරන තවත් එක් චරිතයක් නිසාවෙන්.

තුශානි ගුවන් විදුලිය තුල ළමා ශිල්පිණියක් විදිහට ගතකල සොඳුරු කාලය බ්ලොග් පි‍ටු අතරට එක් කරන්න නම්  තාම  අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් අද නෙවෙයි, ඉදිරියෙදි ඉඩ කඩ ලැබෙන විදිහට ඒ රසබර අත්දැකීම් හුඟක් ලබාගත්ත, ජීවිතයේ අමරණීය කාලය ගැන  පුංචි සටහන් කීපයක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා..

ඒත් අද තුශානි මේ ලිපිය වෙන් කරන්නේ ආදරණීය මර්සි නැන්දා වෙනුවෙන්. මර්සි නැන්දා කිව්වේ ගුවන් විදුලිය තුල ඇන්ටිලා අන්කල්ලා නැති නිසා. අක්කලා අයියලා හැරුනහම වයසින් මුහුකුරා ගිය හැම වැඩිහිටි කෙනෙක්ම අපිට නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි වුනා. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, හඳමාමා, සමනල ලන්ද, ගුවන් විදුලි නාට්‍ය  වගේ වැඩසටහන් අහපු අපේ බ්ලොග් යාළුවො ඉන්නවනම් ඒ අය දන්නවා ඇති මහින්ද අල්ගම මාමා, ලක්ෂ්මන් කහටපිටිය මාමා, සුමනා ජයතිලක නැන්දා වගේ අය දු‍ටු නොදු‍ටු හැම කෙනෙක්ටම කොච්චර ආදරනීය නැන්දලා මාමලා වුනාද කියලා. ඉතින් ඒ වගේ අපි මර්සි එදිරිසිංහ මහත්මියත් ඇමතුවේ මර්සි නැන්දා කියලා.

මර්සි නැන්දා ඒ වෙනකොටත් හුගක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටිය නිසා ඇය අපිව නොහඳුනනවා වුනත් අපි ඇය ගැන හොඳින් දැන ගෙන හිටියා. ඒ නිසාම එයා කථා කරන , හිනාවෙන, ඇවිදින විදිහ මම හරිම ඕනෑ කමින් හුඟක් ආසාවෙන් බලන් හිටිය විදිහ තාමත් මට මතකයි. බොහොම සැහැල්ලු, සරල, විනෝදකාමී කෙනෙක් වුනු මර්සි නැන්දා  පුංචි ආධුනිකයන් වෙච්චි අපිට ලොකු ශක්තියක් වුනා.

තුශානිටත් ගුවන් විදුලි නට්‍ය සහ හඬ කැවීම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුන නිසා මර්සි නැන්දගේ කට හඬ හැසිරවීම්, කට හඬ පාලන, හඬ වෙනස්කිරීම් වගේ දේවල් වල සජීවී අත්දැකීමුත්, ප්‍රවීණ ගුරුහරුකමුත් ලබන්න හැකියාව ලැබුනා.  

සොඳුරු සිදුවීම් බොහෝමයක් තිබුනත් ඒ අතරිනුත් තුශානිට කිසි දවසක අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ තුශානි නාට්‍ය වලට සම්බන්ද වුනු මුල් කාලයේ එක් අවස්ථාවක තුශානිට ලැබුන නාට්‍ය චරිතයක් කරන්න ලැජ්ජාවෙන් බලන් ඉන්නකොට පිටට තට්ටුවක් දාලා ඒක කරන හැටි කියලා දීපු අවස්ථාව. ලොවි ගෙඩියක් තරමට මූණ රතු කරගෙන එදා මර්සි නැන්දා දිහා තුශානි බලන් හිටිය හැටි ඊට පස්සේත් කටිටිය මතක් කළා.

ඒ මතකයන් එක්ක අද ඇඳක් මත වැතිරිලා ඉන්න මර්සි නැන්දා දකින කොට හිතට එන වේදනාව වචන වලට පෙරලන්න බැරි තරම්. තුශානි විශ්වාස කරන දෙයක් තමයි. මොනාහරි දෙයක් ගැන එක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවට වඩා වැඩි දෙනෙක් ඒ ප්‍රාර්ථනාව කරනව නම් ඒක හුඟක් බල සම්පන්නයි කියන එක. ඉතින් ඒ නිසාම මර්සි නැන්දා වෙනුවෙනුත් තුශානි කරන ප්‍රාර්ථනාවට බ්ලොග් යාළුවනුත් සම්බන් කරගෙන බොහොම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනයක් කරන්න ඕනේ කියලා හිතුවා.

" ආදරණීය මර්සි නැන්දේ ... සිනහවෙන් අප සිනහ ගැන්වු ඔබේ දිවියත් සිනහවෙන්
ගෙවන්නට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ...! "




--------- පින්තූරය : සිළුමිණ සිත්මල්යාය  -----------

26 comments:

  1. අපිත් එලෙස ම පතමු!

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි, ඉක්මන් සුවය පතනවා ...

      Delete
  2. අපිත් ඒ ප්‍රාර්ථනාවට එකතු වෙනවා තුශානි

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට එක් වුනාට ස්තූතියි...

      Delete
  3. ඇය අසරණයි කියල පත්තර කියන එක තමා ඇයට නොගැලපෙන්නේ. එහෙම උනා නං උනේ තමන් ගැන නොහිතා කලාව වෙනුවෙන් කැපවීමම නිසා වෙන්න ඕන. තමන් ගැන හිතුවා නං කලාව කන එකනේ කරන්නේ. මර්සි කෑගල්ල පැත්තේ රෙස්ටෝ එකක් දාගෙන හිටියා නේද?? දැං ඒක වහලද

    අපි ඇයට ඉක්මන් සුවය පතමු...

    ReplyDelete
    Replies
    1. එක වහලා ගොඩක් කල්...

      Delete

    2. ඔව් ...අසරණයි කියලා කියන එක නම් ගැල පෙන්නේ නෑ තමයි.ඇය කලාව වෙනුවෙන් හුඟක් කැපවීම් කල කෙනෙක්.

      ප්‍රශ්ණෙට උත්තරේ ඉවාන් දීලා තියෙන්නේ...

      ස්තූතියි ප්‍රාර්ථනාවට එක් වුනාට ...

      Delete
  4. ඇයට සුව ප්‍රාර්ථනා කරන්න අපිත් එකතු වෙනවා තුශානි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... අපේ ප්‍රාර්ථනාව ඇයට ලොකු ශක්තියක් වෙයි...

      Delete
  5. සැවොම සිනහගැන්වූ ඇයට ඉක්මන් සුව පතමු.....!!!

    ReplyDelete
    Replies
    1. අපිව සිනහ ගැන්වූ ඇගේ සිනහව ප්‍රාර්ථනයට එක් වුනාට ස්තූතියි...

      Delete
  6. මඩේ ලගින තාරවුන් නාවන්නද මං..." ඉක්මන් සුවය පතමු. වරදාන වලට යට නොවූ කලාකාරිනියක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කලාවටම උපන් කලාකාරිනියක්.. ඒ නිසා කලාවේ නාමයෙන් ඉක්මන් සුවය ලැබේවි.

      Delete
    2. ඇය කළක් අග්‍රාමාත්‍ය කාර්ය මඩුල්ලේ ප්‍රභල ක්‍රියාකාරිණියක්.(රත්නසිරි වික්‍රමණායක අගමැති තුමන්ගේ)

      Delete
  7. ඇය ආපන ශාලාව පවත්වාගන ගියේ කැගලලේ නොව වරකපොළේ යි. එය පවත්වාගන ගියේ නුවර පාර අද්දරට වන්නට පිහිටි ඇගේම නිසසේ කොටසකයි. එය වසා එතරම් කාලයක් නැ. අපි ඒ ඉසව්වෙන් ගියොත් අනිවාර්යෙන්ම වෙනසකටත් එක්ක නතරවන තැනක් එතැන.
    ඇයට නිදුක් නිරෝගී සුවය පතමු.

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මට ඇයවහමුවෙලා තියෙන්නේ ගුවන් විදුලි වැඩසටහන් වලදී. ඒ නිසා පුද්ගලික තොරතුරු කතා කරන්න අවස්ථාව වැඩිය ලැබිලා නෑ. ඔය ආපනශාලාව ගැන තොරතුරු නම් මම හරියටම දන්නේ නෑ.

      නිදුක් නිරෝගී සුවය පතන්න එක් වුනාට නලින් අයියටත් ස්තූතියි..

      Delete
  8. මමත් බොහොම ආශා කරන ශිල්පිනියක්...විනෝද සමය කාලෙ ඉදන්ම ඇගේ රංගනයන් බොහොම තාත්විකයි...ඒ වගේම ආයාසයකින් තොරවයි ඇය රගපාන්නෙ...අද ඉන්න බොහෝ දෙනෙකුට එහෙම හැකියාවක් නෑ. ජීවිතය කියන්නෙ මෙයම තමයි තුශානි....අද රජු හෙට හිගන්නෙක් වෙන්නත් පුලුවන්....අපේ හිත් වලට සතුට ගෙනත් දෙන්න අප වෙනුවෙන් නිර්මාණකරණයේ නියැලුනු ඇය අද ලෙඩ ඇදක වැතිරී සිටින වැහැරුනු රුව දකිනකොට හිතට ගොඩාක් දුකයි. ඇයට ඉක්මනින් පෙර පරිදි අප අතරට පැමිණෙන්න ලැබේවා කියා පතනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියේ . .ඇයට තියෙන්නෙ හරිම දුර්ලභ හැකියාවන් ‍රැසක්. ඒ වගේ අපේම ජීවිත වල වුනත් අද සහ හෙට මොනවගේ වෙයිද කියලත් අපිට කලින් කියන්න බෑ තමයි.

      සියළුම රෝගී තත්වයන් ඉක්මනින්ම සුව වෙලා පුරුදු විදිහට කලා කටයුතුවල නිරත වෙන්න ශක්තිය වාසනාව ලැබේවා කියන එකයි අපි හැම කෙනෙක්ගේම පැතුම.

      Delete
  9. බොහොම කනගාටුයි. ගුවන් විදුලියට, වේදිකාවට, සිනමාවට, රූපවාහිනියට ඇයගෙන්වූ සේවය ඉතාම වටිනවා. මේ හැම ක්ෂේත්‍රයකම ඇය හා සහභාගිවූ බොහෝ දෙනා අද පාලකයින් සමග ලඟින් ඇයි හොඳයි කම් පවත්වනවා. ඇය තනිවෙලා. සිනේ ස්ටාර්, ඔස්කා වගේ සංවිධාන කෝ?

    මම ප්‍රේමදාසවාදියෙක් නෙමේ. නමුත් ඔහු සිටියානම් මර්සී වෙනුවෙන් මීට වඩා යමක් කරනවා.

    ReplyDelete
    Replies
    1. කලාව වෙනුවෙන් මහඟු සේවයක් කරලත් ඇය ගැන අනිත් අය වැඩි අවදානයක් නොදැක්වීම ගැන මටත් හරිම කනගා‍ටුයි..

      Delete
  10. මමත් දැක්කා ඇය අසනීපෙන් කියන විස්තරය.. ඇගේ රංගනයන්ට අපි කොයතරම් නම් හිනා වෙලා ඇත්ද.. කලාව වෙනුවෙන් කැප වුන මේ වගේ කලාකරුවන්ට හරි හමන් සහයෝගයක් නොලැබෙන හැටි මේ රටේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්... හුඟක් අය අද කලාවට වැඩිපුර යොමු නොවෙන්නත් හේතුව ඒක වෙන්න ඇති..

      Delete
  11. මාත් ඔය විස්තරේ දැක්කා අන්තර්ජාලයෙන්ම.. මෙතුමිය කාලයක් රාගම ඉස්පිරිතාලෙත් නැවතිලා උන්නා. ඒ කාලයේදි අපේ මලයා ඉදලා තියෙන්නේ ඒ වාට්ටුවේ.

    මර්සි එදිරිසිංහ, ආදරණීය කලාකාරිනියට නිදුක් නිරෝගී චිර ජීවණය පතමි !!!

    ප.ලි. - ඒ ඔයා රේඩියෝ එකෙත් උන්නද ? මරුනේ හලෝ !

    ReplyDelete
    Replies
    1. නීරෝගී සුවය පතන්න එක් වුනාට ස්තූතියි...

      @ ප.ලි - ම්.. ඔව්.. වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුනා ..

      Delete
  12. ඇයට ඉක්මන් සුවය පතනව..

    ReplyDelete
    Replies
    1. අපෙත් පැතුම ඒකයි.. ස්තූතියි ප්‍රාර්ථනයට එක් වුනාට ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...