Sunday, October 20, 2013

‍යශෝධරා ...





















චන්ද්‍ර මඩලේ සුපුන් සඳ  මෙන්
එකලු කල මා හද           විමන් 
අමාවක බට සඳක්        විලසින්
නොකියා ගියෙ ඇයි හැර විමන්

කුමරු තුරුලේ හිදිනු දැක දැක
අතැර ලා රජ සිරි සුපන්
කෙලෙස නික්මී ගියේ දෝ සිඳ
බැඳුනු බැඳි සසරේ පටන්

වැඩෙන කුමරුන් අසාවී කෝ
කෝ කොහිද මාපිය රජතුමන්
කෙලෙස මා පවසම්ද ඔබේ ගුණ

නොහැක පුරවනු ඔබේ සෙනේ

මුදන්නට නම් ලෝ සතුන් හැම
සසර දුක් මහ සාගරෙන්
පෙරූ පෙරුමන් නිසා වෙන්දෝ 
තිරදිටනක් ගත්තේ මෙවන්

සිඳ දැමූවත් සසර බැඳි බැමි
සතන් වෙත මෙත් දයාවෙන්
අවැසි නැණ බල විරිය පතනෙමි
පසෙක ලා දුක් සෝ සුසුම්...

Wednesday, October 16, 2013

දවසේ පඩිය...

මලී රාජකාරී කටයුතු ඉක්මනින් ඉවර කරලා කාර්යාලයෙන් පිටත් වුනේ පුලුවන් තරම් ඉක්මනින් ගෙදර යන්න. උදේ ඉදන් රාජකාරී ගොඩකට හිරවෙලා හිටපු ඇය, හවස් වෙනකොට දරන්න බැරි වෙහෙසක් කරපින්නගෙනයි හිටියෙ.

ගොම්මන් වෙලාව කිට්‍ටු කරලා තිබුන නිසාත් සිකුරාදා දිනයක් වෙච්ච නිසාත්, එන එන හැම බස් එකේම ඇගිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනග පිරිලා.

" මං කොහොමද අද ගෙදර යන්නෙ ....  යනවා තියා බස් එකකට නැග ගන්න වත් බෑනෙ.."

බස් හෝල්ට් එකට එන බස් දිහා බලාගෙන හිටිය මලීට ඉබේටම කියවුනා. ඒත් එක්කම තව හුගක් දේවල් මලීට හිතෙන්න පටන් ගත්තා.

" බහිනවා බහිනවා,, ඔය බඩු මල්ලත් අරගෙන ඉක්මනට බහිනවා,,  "

කොන්දොස්තර කොළු ගැටයෙක් මනුස්සයෙකුට බනිනවා. ඒ සද්දෙට මලී ආපහු පියවි සිහියට ආවා.

පොලිතින් ලොකු බෑග් එකක තව පොඩි පොඩි බෑග් ගොඩක් පුරව ගත්ත මැදිවිය ඉක්මවු  හෙම්බත් වෙච්ච පෙනුමක් තිබිච්ච මනුස්සයෙක් බස් එකෙන් එලියට තල්ලු වෙනවා මලී දැක්කා.

දෙවෙනි කකුල බිමට තියනවාත් එක්කම සෙනග පුරවපු බස් එක ආපහු විදුලි වේගයෙන් ඉගිල්ලුනා. බඩු මල්ලත් එක්ක බිමට තල්ලු වුනු මනුස්සයා මුකුත් හිතාගන්න බැරුව හිටපු විදියටම විනාඩියක් විතර එහෙම්මම හිටියා.

හදිස්සියේම සිද්දවෙච්ච මේ සිද්දිය දිහා බලාගෙන හිටිය මලී අර මනුස්සයා ඊලගට මොකද කරන්නෙ කියලා ටිකක් ඕනෑ කමින් බලන් හිටියා. 

ගත වුනේ නිමේශයයි. මහ පාර මත තබා තිබූ බඩු මල්ල උස්සනවත් එක්කම චරාස් ගාලා ... පොලිතින් උරේ ඉරිලා මුළු පාර පුරාම හාල් ටික  ඉහිරුනා. පුංචි පුංචි පොලිතින් බෑග් වල දාලා තිබුන පරිප්පු, කිරි පිටි, සීනි, තේ කොළ, අල, ළූනු ගෙඩිටික ඒ මේ අතට විසිවුනා.

ගහෙන් වැ‍ටුන මිනිහට ගොනා ඇන්නා වගේ.. සිද්දවෙච්ච දේ අදහ ගන්න බැරුව ගිය මේ මනුස්සයා එක පාරටම මහ හයියෙන් අඩන්න පටන් ගත්තා.

අනේ දෙවියනේ මං බොහොම අමාරුවෙන් අද කුලියක් හොයා ගත්තෙ,, මේ සතියටම අද තමයි අතට කීයක් හරි හම්බ වුනේ ,, දවස් ගානකින් ළමයින්ට බත් කටක් කන්න දෙන්න මම හම්බ කලා .. " යි තමන්ටම මුමුණමින් මහ පාර පුරා විසිරුනු හාල් ටික අතින් එකතු කරන්න පටන් ගත්තා.

ගැහැණියකගේ කදුලකට වඩා පිරිමියකුගේ කදුලෙහි ඇති බර මලී ඉදිරියේ වු මේ සිදුවීම ඇයට පසක් කලා.

දරා ගන්න බැරි දුකකින් ඇස් දෙකේ කදුලු පුරෝගෙන හිටිය මලීට , විදුලි වේගයෙන් ඒ මේ අත බස් යන මේ මහ පාර මැද විසිරී ගිය බඩු ටික ඇහිදින මේ අසරණ මිනිසා, ජීවිතය ගැන හුගක් ගැ
ඹුරු පාඩමක් කියලා දෙනව කියලා මලීට හිතුනා.

" මං මේ මනුස්සයට කීයක් හරි දෙන්න ඕනේ... " 


බෑග් එක ඇරලා පර්ස් එක අතට ගන්න ගමන් මලී කල්පනා කලා.

ඒත් කදුලු  පිරිච්ච ඇස් දෙකෙන් පර්ස් එක දිහා බලනකොටයි මලී දැක්කේ එයා ගාව දැන් තියෙන්නෙ එක රුපියල් සීයේ නෝට්‍ටුවක් විතරයි කියලා. ඒක දුන්නොත් මලීට බස් එකේ ගෙදර යන්නත් බෑ. පාරේ අසරණ වෙච්ච මේ මනුස්සයා දිහා බල බල මලීට අහක බලාගෙන යන්නත් බෑ. මලී කරපින්නගෙන හිටිය වෙහෙස තව තවත් වැඩි වෙලා ඇස් දෙකේ පුරෝගෙන හිටිය කදුලු එක දෙක බිමට වැ‍ටුනා.

" නගින්න මිස් නගින්න ,, අද බස් අඩුයි... " ඒ මලී උදේ හවස නිතර ගමන් කරන බස් එකක කොන්දොස්තර මහතෙකුගෙ හඩ.

එක පාරටම ඇහිච්ච ඒ හඩ නිසා තීරනයක් ගන්න බැරුව හිටිය මලී තවත් දෙපාරක් හිත්න්නෙ නැතුව රුපියල් සීයෙ නෝට්‍ටුව අර අසරණ මනුස්සයගෙ අතේ තියලා බස් එකට ගොඩ වුනා.

මලී නග්ග ගත්ත බස් එක අනිත් බස් එක්ක හරි හරියටම විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙද්දි, බඩු පොදිය තුරුලු කරගෙන සීයෙ නෝට්‍ටුව දිහා බලා ගෙන හිටිය අසරණ මිනිසා නොපෙනී ගියා...

Sunday, October 13, 2013

වීදියට බට සොඳුරු හදවත් ...

අපිට අපේ එදිනෙදා ජීවිතේදී නොයෙක්  ආකාරයේ බොහෝ මිනිසුන් මුණගැහෙනවා, නමුත් ඒ අය අතරින් අපේ මතකයේ ‍රැදෙන සුවිශේෂ පුද්ගලයින් වන්නෙ බොහොම සුළු පිරිසක්.

එලෙස හමුවු වින්දනීය හදවතක් හා ආත්මීය බැදීමක් සහිතවු අන්ධ යුවලක් ගැන සොඳුරු සටහනක් මුල්ම බ්ලොග් ලිපිය ලෙස එක් කරන්නට හිතුවා.

 දිවුල් ගස් හන්දිය එහෙමත් නැත්නම් ආමර් වීදිය හරහා ගමන් ගන්නෙකු නම් ඔබ, මේ හගුම් බර දසුන නුදු‍ටු කෙනෙකු නොවිය හැකියි.

" මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුනු
                       දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ ....... "

යනුවෙන් විරිදු රබාන වයමින් සිය ආදරනීය බිරිද සමග බත සරි කරගන්න මුදලක් අයදින මේ අන්ද මිනිසා එම ස්ථානය පසුකර යන කාහටත් හිතන්නට යමක් ඉතිරි කරනවා.

අවුරුදු තුනකට වැඩි කාලයක් මමද එම ස්ථානය පසුකර යන්නියක් වු නිසා  ඔවුන්ගේ  මේ ජීවන සටන පිලිබද ඉතා අල්පවු හෝ  දැනීමක් ලබන්නට මටත් අවස්ථාව උදා වුනා. දෑසම පෙනි පෙනී අත පය සවි ශක්තියෙන් යුතු අපට, දෑස නොපෙනෙමින් සැදෑ සමය ගතකරනා මේ මහලු යුවල කියා දෙන්නේ බොහොම ගැඹුරු වු පාඩමක් කියලයි මගේ අදහස.

උදෑසන 6.30 ට පමණ වීදීයට බසින මොවුන් අව් වැසි නොතකමින් විරිඳු රබාන අතට ගෙන තිබු අතැම් අවස්ථා ඇසට කඳුලක් ගෙන එන තරම් ශෝචනීයයි. අබලන් වු කුඩය යටට වී හෝ කඩ පිලකට මුවාවී මුදලක් උපයා ගන්නට උත්සාහ කලත් ජීවිතයේ වු ක‍ටුක බව ඔවුන්ගේ මුහුණු තුලින් දකින්නට නොමැති වීම හරිම පුදුම සහගතයි. ගීතයට ඇති ආදරයත් ඔවුන් දෙදෙනා අතර වූ අත්මීය බැඳීමත් ජීවිතයේ කටෝර භාවය මකාලීමට හේතු වුවා වන්නට පුලුවන්.

තම නොහැකියාවන් කියා මිනිසුන්ට අතපානවා වෙනුවට තම හැකියාවන් පාමින් මෙලෙස මුදලක් උපයා ගැනීම සැබවින්ම අගය කල යුත්තක්.

ඔවුන්ගේ අත මුදලක් තබා අප ලබන පිනෙන් ඔවුන්ගේද මතු ආත්මයද මෙලෙසම වින්දනීය හදවතින් හා අත්මීය බැදීමකින් පිරි යස ඉසුරින් යුතු වුවක් වේවායි ප්‍රාර්ථනා කිරීම හැර අපට කලහැකි කිසිවක් නොවීම කණගා‍ටුවට ඇති කරුණයි.


Wednesday, October 9, 2013

පිපෙන්නට අවසරයි ...

වියතුන් රසවතුන් බෝ සුරු විරු ඇත්තන්
පානා හරඹ දැක බ්ලොග් අවකාශයන් තුල
සුපිපි කුසුම් අත‍රැති කැකුලක් ලෙසට
තු‍ටු සිත් වීය එහි පෑ සිරි නරඹන්න...

වේ නම් කුසුම් පිරි තුරු මල් ගොමු උයනක්
බ්ලොග් අවකාශයද ඒ මැයි වැටහෙයි මනරම්
කුසුමක් නොවෙමි කැකුලකි එහි තව නූපන්
අවසර ලදිමි දැකුමට එහි රසබරකම්...

ලද අත් වැලට තුති මල් දම් පලදවමී
දිරියෙන් ඔවදනින් පන්නරයක් ලදිමී
නොවුවද හපනියක බස් හරඹට මල් මී
උත්සාහයක් ගත්තෙමි සහයද පතමී...




Monday, October 7, 2013

පුංචි කැකුළු මල් - Little Flower Buds


කැකුළු ගොමුවේ සැරිසරන්නට... හොඳ නොහොඳ පෙන්වා දෙන්නට... ආරාධනා.. 



Related Posts Plugin for WordPress, Blogger...