Tuesday, June 30, 2015

82. ඇසළ පෝය හෙටයි ...

අද මේ මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්නේ අලුත් මාසයක්. ඒ වගේම මාසේ පටන් ගන්නේ ඇසළ පෝයෙන්. ඉතින් අද තුශානි හිතුවා වැදගත්කම් ගොඩක් තියෙන ඇසළ පෝය ගැන විස්තර ටිකක් කියන්න. 

පෝය දවසේ  වැදගත්කම ගැන අවබෝධයක් ඇතුව පෝය දවස ගත කලොතින් දවසේ වටිනාකම වැඩි වෙනවා වගේම නොදන්න කෙනෙක්ට මේ දේවල් කියලා දෙන්නත් පුළුවන් කමක් ලැබෙන නිසාමයි පෝයට කලින් අද දවසේ මේ විස්තර ටික කියන්නේ.

මතකයිද අපි පුංචි කාලේ අහුවා මහාමායා දේවිය දැක්ක ලස්සන හීනයක් ගැන. ඔව් ඔව්... අර ලස්සන සුදු ඇත් පැටියක් නෙළුම් මලක් හොඬෙන් අරගෙන  මහාමායා දේවියගේ සිරි යහන වටා තුන් පාරක් පැදකුණු කරලා, මහාමායා දේවියගේ කුස තුලට ඇතුළු වුනු හීනේ. ඉතින් ඒ ලස්සන හීනේ මහාමායා දේවිය දැක්කෙත්, අප මහා බෝසතානන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගැනීම සිද්ධ වුනෙත් මේ ඇසළ පෝය දවසක.


රාහුල කුමරුගේ උපත සිදුවීමත් , මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රුවක් කියන සතර පෙර නිමිති දකීමත්, නාටිකාවන්ගේ විරූපී රූප දැකීමත් එක්ක සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමත් සිද්ද වෙන්නෙත් මේ ඇසළ පෝය දවසකමයි.




බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්සේ පස්වග මහණුන් පිරිවරාගෙන බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනාව පවත්වපු හැටි, අපි පුංචි කාලේ දහම් පාසලේදී ඉගෙන ගත්තේ හරිම ලස්සන අවස්ථාවක් විදිහට. මිගදාය කියන්නේ මුවෝ ගොඩක් ඉන්න ආරන්‍යක් වගේ තැනක් කියලත්, බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව පටන් ගන්නකොට ඉසිපතන මිගදායේ හිටිය හැම සතෙක්මත් ඒ දිහාවට කන් යොමාගෙන ධර්ම දේශනාව අහන්න සූදානම් වෙච්ච හැටිත්, දෙවියෝ සාධුකාර දි දී මිගදායට එක් රොක් වෙච්ච හැටිත් හාමුදුරුවෝ අපිට විස්තර කලේ අපි ඒ අවස්ථාව ඇසින් දකිනවා වගේ හරිම අපූරුවට.

ඒ විදිහට බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනාකොට වදාලේත් ඇසළ පෝය දවසකයි. 

මංගල ධර්ම දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වීමත් ඒක්ක බුදු සසුනේ මුල්ම පැවිදි ශාවකයා ලෙසින් කොණ්ඩඤ්ඤ තවුසා පැවිදි බිමට ඇතුලත් වෙන්නෙත් ඒ ඇසළ පෝය දවසෙමයි.


තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජානන් වහන්සේ  ගණ්ධබ්බ රුක් මූලයෙ දී යමාමහ පෙළහර පෑම සිදුවීමත් , අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් පස්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අරිට්ඨ කුමරු ප්‍රමුඛ ශ්‍රී ලාංකික තරුණයින් 56 දෙනෙකු සසුන් ගත කරමින් ප්‍රථම වරට ලක්දිව තුල මහණ උපසම්පදාව සිදු කිරීම ආරම්භ වීමත් සිද්ධවෙලා තියෙන්නේ ඇසළ පෝය දවසකයි. 



ඒ වගේම පාත්‍රා ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදු වෙලා තියෙන්නෙත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන මහා සංඝ රත්නය මෙරටට වැඩමවා ලක්දිව උපසම්පදා කර්මය නැවත ඇති කිරීම සිදු වෙලා තියෙන්නෙත් ඇසළ පෝය දවසකයි. 

වස් කාලයේ ආරම්භය සනිටුහන් කරමින් භික්ෂූන් වහන්සේලා පෙහෙ වස් සමාදන් වීම සිදු වෙන්නේත් මේ පෝය දවසේදීම තමයි. ඒ කියන්නේ කඨින පිංකම් වලට සුදානම් වෙන්න පටන් ගන්නෙත් මේ පෝයට.

දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු ඓතිහාසික කන්ද උඩරට දළදා පෙරෙහරේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නෙත් මේ ඇසළ පෝය දිනක බව අපේ වංශකතාවල සඳහන් වෙනවා. 



මෙහෙම බලනකොට ඇසළ පෝය  බොහොම වැදගත් සිද්ධීන් රැසක් ඉතිහාසයට එක් කල පෝය දිනයක්. ඉතින් ඒ වටිනා දවස අපටත් අර්ථවත්ව  ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.

Wednesday, June 24, 2015

81. වෙන මොනවද කියන්න පුළුවන් ?



මොන්ටිසෝරි යනකොට, ඉස්කෝලේ යනකොට, පන්ති යනකොට අම්මයි තාත්තයි ඒවට ගෙව්වේ 
ගාස්තු ...  

එතකොට ඒ හැම ඒකකටම යනවට  ළමයින්ට හම්බවෙන්නේ
පොකට් මනී...

ඉගෙන ගෙන ඉවර වුනාම රස්සාවක් කරන්න වුනාම ඔෆිස් එකෙන් ලැබුනේ 
වේතන... 

ලොක්කෙක් වුනාම සේවකයෝ ගන්න වුනාම එයාලට ගෙවන්න වෙන්නේ 
පඩි... 

ලොකු පඩි හම්බවුනාම ආදායම වැඩි වුනාම පඩියෙන් රජයට ගෙවන්න වෙන්නේ 
බදු ...

වාහනයක් ගන්න වුනාම ගෙයක් හදන්න ඕනේ වුනාම බැංකුවෙන් ගන්නේ  
ලෝන්...

වියදම් වැඩි වුනාම අතේ සතේ නැති වුනාම කීයක් හරි ඕනේ වුනාම අතමාරුවකට ගන්න වෙන්නේ 
ණය...

කඩේකට ගියාම, කාටහරි කියලා දෙයක් කරව ගත්තාම එයාට දෙන්න වෙන්නේ 
සන්තෝසමක්... 

එතකොට නීති කැඩුවහම, පොලීසියෙන් අල්ලගත්තහම පොලීසියට ගෙවන්න වෙන්නේ 
දඩ... 

කසාදයක් බඳිනකොට, මනමාලියෙක් යනකොට අරගෙන යන්නේ 
දෑවැද්ද...

කසාදයක් කරගත්තහම ළමා ළපටි හම්බවුනාම හම්බවුනාම ගෙදර දොරේ වැඩ වලට දෙන්නේ
වියදම්... 

එතකොට මංකොල්ලකාරයෙක්ට හරි, හොරෙක්ට හරි අහු වුනොත් නම් ඉතින් ගෙවන්න වෙන්නේ 
කප්පම්...

හැබැයි හොර වැඩක් කරවගන්න හරි, හොරකමක් කරන්න හරි හිතුවොත් නම් ගෙවන්න වෙන්නේ 
අල්ලස්... 

වයසට ගියාම, රස්සාවෙන් අස්වෙන්න වුනාම  ලැබෙන්නේ 
පැන්ෂන්...

මේ ඔක්කොම කරලා  පිනක් දහමක් කරන්න හිතෙනකොට පන්සලකට, පල්ලියකට කෝවිලකට දෙන්න තියෙන්නේ  
පඬුරු...


කොහොමින් කොහොමහරි අන්තිමේදී මේ ඔක්කොටම අපි කියන්න්නේ  
මොනවද දන්නවද 

'
'
'
'
'
'
වෙන මුකුත් නෙවෙයි 

සල්ලි කියලා හි..හි...

 



Wednesday, June 3, 2015

80. ආවොතින් මයේ පුතා ...




කවුළුවට බර වෙලා  
පුතා එයි දෝ  කියා
අදත් උන්නා   බලා
පාරේ යන අය දිහා

තාම ඉස්සර     වගේද
රාජකාරී           වැඩිද
වෙලාවක්     නැතිවාද
ඇවිත් මෙහි යන්න අද

සැඳෑ සමයේ     ගෙවන
මම වගේ අය      හිඳින
තැන් සැප වුනත් ඉන්න
සුවඳ උඹේ නෑ   ගන්න 

උඹ වගේ           පුතාලා
නිතර මෙහෙ    ඇවිල්ලා
වඳින කොට        වැටීලා
පුතා පෙනෙනවා මැවීලා

ඇහෙත් සුද වැඩි වෙලා
හමත් මයේ රැලි වෙලා
පුතේ මට වෙන්  වෙලා
යන කාලේ ලං   වෙලා

ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා
කළු වලා නැති වෙලා
හඳ නැගෙයි හද  පුරා


Wednesday, May 27, 2015

79. කේතකී...


බෝ පතේ සිහිල රැඳි
අමාවක දා රෑක
පින් පිරුණු දෝතකින්
ආමි බුදු පුදට මම...

නැගෙන විට පිය ගැටේ
සාදු නද පැතිරුණේ
පැන් පොදේ සිසිල විඳ  
පෙති විදා හිනැහුණේ...

වෙහෙර පැදකුනු කරන්
බෝ රජුන් නමදිමින්
 නාදරණ පතක් මත
පුද වුනෙමි දෝතින්ම...

නේක මල් සුවඳ මැද
මලසුනේ කෙලවරක
බුදුන් පිදුවා මමත්
සුවඳ දී පින් ගන්න...
 
අපල හැම දුරු වෙන්න
තුටුව සහනය ගන්න
පිපිණු කේතකිය මම
කැලණි වෙහෙරට පිදෙන...





Tuesday, May 19, 2015

78. කරාබු ...

" අම්මා.... බලන්න මේ කරාබු දෙක ලස්සනයිද කියලා... "

අපේ අම්මට මම නිතරම කරන කරදර වලින් එකක් තමයි ඒ. වැරදිලාවත් මල්ලිගෙන් හරි, නැත්තම් ඔෆිස් එකේ එක්කෙනෙක්ගෙන්, එහෙමත් නැත්තම් යාළුවෙක්ගෙන් හරි අහන්නේ නැතුව අම්මගෙන්ම එහෙම අහන්නේ හරිම හරි උත්තරේ මට ගන්න ඕනේ නිසයි. ලස්සන වුනත් මල්ලි කොහොමත් කියන්නේ කැතයි කියලා. එතකොට යාළුවෝ , ඔෆිස් එකේ අය, කැත වුනත් කියන්නේ ලස්සනයි කියලා. ඉතින් එහෙම බෑනේ... ඒ නිසා ඒ අයගෙන් අහලා වැඩක් නෑ. අම්ම තමයි හරියටම කියන්නේ ලස්සනයිද නැද්ද කියලා. කරන කියන දේක වුනත් අඩුපාඩු කියන්නෙත්, හොඳයි නම් හොඳයි කියන්නෙත් ඉතින් අම්මාම තමයි.

මම කලිනුත් කියලා තියෙනවනේ තුශානිට තොරොම්බල් ජාති ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔය මාල, වලලු අතරේ කරාබුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. 

හෝව්... හෝව්... මම දන්නවා දැන් ඕගොල්ලෝ හිතන දේ. " තුශානි ඔය කරාබු ටික කොහේ තියලා තියෙනවා ඇතිද කියලා නේද ? "

හ්ම්... ඉන්නකෝ කියන්න ඒ ටික තියෙන්නේ ඩ්‍රසින් ටේබල් එකේ උඩම ලාච්චුවේ රෝස පාට පෙට්ටියක දාලා.  


හි..හි.. ඔයාලා තියෙන තැන දැනගත්තට වැඩක් නෑ. මොකද ඒවා හුඟක් වටින  රත්තරන් ඒවා නෙවෙයි නිසා. රත්තරන් හරි එහෙමත් නැත්තම් වෙන වටින දේවල් වලින් හදපු කරාබු එහෙම තිබුනා නම් තියෙන තැන මම එහෙමත් කියනවද.  

ඒවා ඔක්කොම සාරි වල , ඇඳුම් වල පාටට හරියන්න ගත්තු එක එක මෝස්තරයට තියෙන, ගල් අල්ලපු, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් වලින් හදපු ඒ තරම් ලොකු වටිනාකමක් නැති කරාබු.  

දන්නවද... තුශානිට මුලින්ම කරාබු දෙකක් ගෙනැත් දීලා තියෙන්නේ තුශානිගේ සීයා. ඒ වෙනකොට තුශානිට කරාබු දාන්න කණ විදලා වත් තිබුනේ නෑලු. කණ විදිනකොට මට රිදිලා හුඟක් අඬයි කියලා අම්මා මාව ඩොක්ට ගාවට ගෙනියන්න බෑ කිය කියලු ඒ දවස් වල ඉඳලා තියෙන්නේ. 

ඉතින් ඊට පස්සේ අම්මයි, තාත්තයි, ආච්චියි, සීයයි හතර දෙනාම ඩොක්ටර් ගාවට ගිහින් ආච්චි මාව උකුල උඩ තියාගෙන හිටිලු ඩොක්ටර් කණ විදලා කරාබු දානකන්. සීයා තමයි මාව අල්ලගෙන ඉඳලා තියෙන්නේ. මම අඬනකොට අම්මත් අඬන නිසා තාත්තා අම්ම ගාවට වෙලා ටිකක් එහායින් කරාබු දාන විදිහ බලාගෙන හිටියලු.  මම අම්මගෙන් කරාබු වල ලස්සන අහනකොට ඕක ආච්චි නිතර කියන කතාවක්. 


කොහොමත් අදටත් මම අඬනවා බලාගෙන ඉන්න අම්මට හුඟක් අමාරුයි. අඩුම තරමේ මම මොනාහරි දේකට ඇඬුවා කියලා කවුරුහරි කියනවා ඇහුනත් එයාගේ ඇස් වලට කඳුළු පිරෙනවා. අම්මලා මහමෙරක් තරමට දුක් කරදර ඉහිලුවත් ළමයින්ගේ සමහර පුංචි පුංචි දේවල් දකිනකොට ඇස් වල කඳුළු පුරව ගන්නේ මුළු හදවතින්ම උතුරලා යන අසීමිත ආදරය නිසා කියලයි මට හිතෙන්නේ. ඒ ආදරය හරිම පුදුමාකාරයි.

ඉතින් එදා දාපු ලස්සන පුංචි කරාබු දෙක අදටත් තුශානි අරන් තියලා තියෙනවා ඒ සොඳුරු මතක ටිකත් එක්කම බොහොම පරිස්සමින්. 

මට රිදෙනවා කියලා දැන දැනත්, මම අඬන බව දැන දැනත් හිත හදාගෙන මගේ කණ විදලා කරාබු දාන්න දීලා තියෙන්නේ, කවදාහරි මම ලොකු වෙලා ලස්සන කරාබු දාලා මේ වගේ හැඩ බලයි කියලා අම්මට එදා හිතුන නිසා කියලා අම්ම සමහර වෙලාවට මට කියනවා. 

ඒ වගේම මට රිදෙයි මම අඬයි කියලා එදා එහෙම නොකර හිටියා නම් මම අද දුක් වෙයි නේද කියලත් මගෙන් අහනවා මාව පුංචි කාලේ ලස්සන කලේ නෑ කියලා.  

අම්ම කියන කතාව හරි.. ඔව්..  පුංචි කාලේ මට හිතෙන්න ඇති මෙයාලා මට ආදරේ නැති නිසාද මට මේ රිද්දලා කරාබු දාන්නේ කියලා. ඒත් ඉතින් එදා ඇඬුවට එහෙම නොකර කණ නොවිද තිබුනා නම් අද මට හුඟක් දුක හිතෙයි පුංචි කාලේ ලස්සන කරාබුදාලා නෑ නේද කියලා.

සමහර වෙලාවට ටිකක් කල්පනා කරනකොට හිතෙනවා එදා අම්මා හිතපු විදිහටම සමහර දේවල් ගැන අපිටත් හිතන්න අවස්ථා එනවා නේද කියලා. 

ඒ කිව්වේ අපිටත් සමහර වෙලාවට තව කෙනෙක්ට හුඟක් දුක හිතෙන දෙයක්, හිත රිදෙන දෙයක් කරන්න වෙනවා පස්සේ කාලේක ඒ කෙනාටම වෙන යහපතක් ගැන හිතලා. හරියටම මේ කරාබු දාන සිද්ධිය වගේම.

ම්... ඇයි එහෙම කරන්නේ කියලා මුලින් දුක හිතුනත් ටික කාලේකට පස්සේ එහෙම කරපු එක හොඳයි නේද කියලා හිතෙන වෙලාවල්. ඔව්.. එහෙම අවස්ථාවල් අපි හැම කෙනෙක්ගේම ජීවිත වල තියෙනවා.

කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද ? 



Monday, May 11, 2015

77. කොළොම්පුර වෙසක් සිරි ...

බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දියන උදා වෙලා දින කිහිපයක් ඒ වෙනකොට ගෙවී ගිහින් තිබුනත්, වෙසක් සඳේ නම් පුංචි වෙනසක්වත් දකින්න තිබුනේ නෑ. ඈත අහසේ කළු වලාකුළු අයින් කරලා ශ්වේත වර්ණ සඳ කිරණින් මුළු කොළොම්තොටම නැහැවෙමිනුයි තිබුනේ. 

කුණු දූවිලි වලින් පිරුණු ඝෝෂාකාරි කොළොම් පුරවරය හරියට සිල් අරගෙන වගේ සුදු පිරුවට ඇඳගෙන නිසොල්මනේ වෙසක් සිරිය විඳ ගනිමින් හිටියා. 

තැන තැන ඉදිවුනු වර්ණවත් පහන් කූඩු අතරේ ඉදිවුනු මහා තොරණ, බොහොම තේජස් බවකින් ෂඩ් වර්ණ රශ්මි ධාරා විහිදුවමින් හරි අපූරුවට ආලෝකමත් වෙලා තිබුනා. 

මුහුද පහුකරගෙන ගොඩ බිමට ඇදුනු සීතල සුලඟ ඇඟේ දැවටෙනකොට හිරිගඩු පිපෙන තරමට සීතල දැනුනත්, ඒ ගැන හිතන්නවත් නිනව්වක් ඒ වෙලාවේ කාටවත් තිබුනේ නෑ. 

ඕනේ වුනේ මනමාලියක් වගේ ලස්සනට සැරසිලා ඉන්න මේ කොළොම්පුරවටයම එක දසුනක් විදියට පියවි ඇහින්ම දකින්න තියෙන ආසාව සපුර ගන්න.

ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි 250 ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලටම ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ.




පඩිපෙල් ගොඩක් නැගලා උඩට යන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නොවුනත්, අන්තිම පඩියට අඩිය තියනවත් එක්කම ඒ තිබුනු මහන්සිය, මුහුදු හුලඟට එකපාරටම ගහගෙන ගියා වගේ අතුරුදහන් වුනා.

ඒත් එක්කම හුලං පාරට මූණට වැටුනු කෙහෙ රැලි එකින් එක අතින් අයින් කරන්න වත් මතකයක් නැති වෙන තරමටම, දැකපු ඒ මනස්කාන්ත දර්ශනය හිත වශී කරගත්තේ, ඇහිපිය ගහන්නත් පුංචි වෙලාවක් වත් ගන්නේ නැතුවයි. 

පාට පාට විදුලු බුබුළු වලින් අලංකාර වුනු ගොඩනැගිලි , මං මාවත් හරියට පාට පාට බ්ල්ඩින් බ්ලොක්ස් ටිකක් තැනින් තැන තියලා වගේ එක එක පාටින් බොහොම පුංචියට හරිම ලස්සනට පෙනුනා. 

හඳ එලිය එක්ක හිනාවෙන මුහුදු රළ පේලි, එකින් එක උඩට මතුවලා හඳට ස්තූති කරමිනුයි හිටියේ. ඒත් එක්කම ඈත දියඹට යන මහ විසාල නෞකා හරියට පාවෙන තොරණ වගේ ක්ෂිතිජ රේඛාවේ තැනින් තැන පාට පාටින් හැඩ කරලා තිබුනා හරිම අපූරුවට.

අහසත්, මුහූදත්, ගොඩබිමත් එක පාර, එක අහිපිල්ලමක් යටට ගන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. මධ්‍යම රාත්‍රිය එළඹෙන්න හෝරා කිහිපයකට මත්තෙන්, සීතල රෑක, මුහුදු හුලඟට මුළු ගතම දැවටුනු වෙලාවක ඇස් අදහන්න බැරි මේ වගේ දර්ශනයකින් හිතට ඇතිවෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන එක වචන වලින් විස්තර කරන්න බැරි සුන්දර අත්දැකීමක්. 

ඒ දර්ශනයම ඡායාරුපයකට ගන්න අවස්ථාවක් ඒ වෙලාවේ නොතිබිච්ච එක ගැන නම් හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්.  පහල තියෙන්නේ ඊට ටිකක සමාන අන්තර් ජාලයෙන් හොයා ගත්ත ඡායා රූපයක්.


මේ තියෙන්නේ තුශානි ගත්ත කොළොම්තොට වෙසක් කලාපයේ පහන් කූඩු වල ඡායාරූප ටිකක්.













මහා තොරණ රාජයා තමයි මේ.


කොළොම්තොට වෙසක් අසිරිය සියසින් නොවිඳි අයට ඒ අසිරිය මේ විදිහට හරි අරගෙන එන්නයි මේ පින්තූර ටික එකතු කලේ.

Friday, April 17, 2015

76. කිටි කිටි ගවුම

හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. 

ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සනට මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. 


ඔන්න එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක් හිරටයි තිබුනේ. 

ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ.  හි..හි...

හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස
වෙනව මහත වෙනවනේ.. නේද ? 

ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා  නැන්දාට අමතක වෙන්න ඇති. 

අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ. 



ටිකක් හිරට වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තනේ... ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහටම නංගිලා දෙන්නයි මල්ලියි එක්ක ගමේ යාළුවන්ට දෙන්න ගෙනිච්ච දේවලුත් අරගෙන උදේ ඉඳලා ගමේ හැමතැනම ඇවිදින්න යනවා. 

තුශානිට ඉන්නේ මල්ලි කෙනෙක් නිසා තුශානිට අඳින්න බැරි ඇඳුම් ගොඩක් වෙලාවට ගමේ ළමයින්ට දෙන්න ගෙනියනවා. සමහර ඇඳුම් මම එක පාරකට වඩා ඇඳපු නැති ඒවා. සපත්තු සෙරප්පු, බෑග් හොඳ තත්වේ තියෙනවා නම් ඒවත් අරගෙන යනවා ටිකක් අගහිඟකම් තියෙන ළමයිට දෙන්න. හුඟක් දවස් වලට ගෙදරින් ගෙනියනකොටම ගෙනාපු දේවල් වලින් ටිකක් අඩුවෙනවා. මොකද අපේ නංගිලා දෙන්නටත්  ඒවා හරියන නිසා එයාලත් ඒවයින් ටිකක් කොහොම හරි ගන්නවා. 

ගමේ ළමයිනුත් ගෙනිච්ච ගමන් ඇඳුම් ඇඳලා අපිටත් පෙන්නනවා කොහොමද කියලා. ඒ වෙලාවට නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. මට හිතෙන්නේ මගේ ඇඳුම් මට වඩා ලස්සනට තියෙනවා වෙන ළමයි ඇන්දහම. අහ්..  අද වගේම ඉස්සරත් තොරොම්බල් ගොඩක් තුශානිට තිබුන නිසා ඇඳුම් වලට හරියන මාල ,වලලු, කොන්ඩ කටු, ටිකකුත් අරගෙන යන්න තුශානි අමතක කරන්නේ නෑ. ඉතින් ඒවත් දාල කොන්ඩේ ලස්සනට පීරලා කටු ගැහුවහම ඇඳුම් වල හැඩ හරි ලස්සනට කැපිලා පේනවා. 



සමහර වෙලාවට මගේ ඇඳුම් ඒ ළමයි ඇඳගෙන අපිත් එක්ක එකට සෙල්ලම් කරනකොට අපේ අම්මටයි තාත්තටයි මාවයි ඒ ළමයින්වයි පැටලෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද එයාලා දැකලා තියෙන්නේ මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්නවනේ.

කොහොමින් කොහොමහරි ගෙනාපු දේවල් දාගත්ත බෑග් ටිකත් අතින් කටින් එල්ලගෙන ගමේ හැමතැනම ගිහින් දවල් කෑම වෙලාවට තමයි ගෙදර එන්නේ.

සාමාන්‍යයෙන් ගමේ ඇවිදින්න ගියාම ගස් වල තියෙන එක එක පලතුරු ජාති කඩාගෙන කාලා, අඳුරන ගෙවල් වලට ගියාම හම්බවෙන එක එක ජාතියේ කෑම ජාති කාලා ආපහු ගෙදර එන්නේ දවල් කෑම කන වෙලාවත් සෑහෙන පහුවෙලා. ඒත් ඉතින් බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයට මිසක් බඩගිනි වෙලා නම් නෙවෙයි.  

තේ, තැඹිලි, බෙලිමල් වගේ දේවල් බොන්නත් මඤ්ඤොක්කා, දන්දින්නල, රාජාල වගේ අල ජාති කන්නත්, කජු පුහුලන්, අන්නාසි, පේර, දොඩම් වගේ පලතුරු ජාති කන්නත් ගමේ ඇවිදිනකොට අපිට හම්බවෙනවා. සමහර වෙලාවට අපි එනවා කියලා දන්න නිසා හැලප, වැලි තලප, ආස්මි වගේ කැවිලි ජාති හරි විශේෂ මොනාහරි හරි හදලා තියෙන වෙලාවලුත් තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි ගෙදර ගේන්නත් ගොඩක් දේවල් ඒ ගෙවල් වලින් ලැබෙනවා. කජු පුහුලන්, කෙසෙල්, අන්නාසි වගේ පලතුරුත්, තේ කොළ පැකට්, කුරුඳු, ගොරකා, ගම්මිරිස් වගේ දේවලුත් අතින් කටින් උස්සගෙන තමයි අන්තිමට ගෙදර එන්නත් සිද්දවෙන්නේ. 

කොහෙන් මොනදේ කාලා බීලා ආවත් ගෙදර ඇවිත් දවල් කෑම කන එක නම් අනිවාර්ය දෙයක්. මහන්සිවෙලා අපිටම කියලා නැන්දගේ අතින්ම හදපු කෑම නොකා හිටියෝත් නැන්දා තරහ වෙයි කියලා කිය කිය තමයි අත්තම්මා අපිට කෑම බෙදන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි ටිකක් කන්නම වෙනවා. කොහොම වුනත් නැන්දගේ කෑම වල නම් තියෙන්නේ පුදුම රසක්. කෑම විතරක් නම් කමක් නෑ. කෑම කාල කිරි පැණි කන්නත් එපායෑ. 

හැබැයි ඔය ඔක්කොටම කලින් අපි හැමෝම නාලා තමයි කෑම මේසේට වාඩි වෙන්න ඕනේ. මොකද උදේ ඉඳලා, තේ ගස් අස්සේ, කුඹුරු වල, කැලෑ වල ගිහින් මඩ ගාගේන, දාඩිල නාලා නේ ඉන්නේ. අපේ අම්මගේ වචන වලින් කියනව නම් හඩ්ඩො ටිකක් වගේ තමයි ගෙදර එන්නේ. හි..හි.. 

ඔන්න එතකොට තමයි වැඩේ පටන් ගත්තේ. කිටි කිටියේ හිරට ගවුම ඇඳගෙන ගියාට කාටද අනේ ඕක ගැන හිතන්නවත් වෙලා තියෙන්නේ. ගමේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න.

ගවුම ගලවන්න තියා හිතන්නවත් බැරි තරමට හිර වෙලා. සිප් එකකුත් නැති නිසා ඔලුවෙන්ම එපැයි ගලවන්නත්. අම්මට ගලවන්න බැරි තැන නැන්දයි අත්තම්මයිත් ඇවිත් දැන් මගේ ගවුම ගලවන්න හදනවා. 

ටිකක් හිතලා බලන්නකෝ කට්ටියම වටවෙලා ගවුම ගලවන්න හදනකොට මට මොනා හිතෙන්න ඇත්ද කියලා. 

දන්නවද...  ඒ වෙලාවේ නම් මට හිතුනේ ගවුම හිර වෙලා මාව මැරෙයි කියලා.  හි..හි... 

මම ඉතින් බයටම හයියෙන් අඬන්න ගත්තා. මම අඬනවා දැකලා නංගිලා දෙන්නයි මල්ලියිත් හොඳටම අඬනවා.

" දූ චුට්ටක් අඬන්නේ නැතුව ඉන්න මම ගවුම පිටිපස්සේන් කපන්නම්" කියලා නැන්දා කතුර අරගෙන ඇවිත් ගවුම කපලා තමයි මාව බේර ගත්තේ. 

ඊට පස්සේ තුශානිට සතුටු හිතෙන්න ඇති කියලා නේද හිතන්නේ.. කොහොම සතුටු වෙන්නද අවුරුදු තෑග්ගට හම්බවුනු ගවුම ඉරිලා තියෙනවා දැක්කහම. 


" මම දූ ට වෙන ගවුමක් මහලා දෙන්නම් දැන ඉක්මනට නාලා එන්නකෝ බත් කන්න."  කියලා නැන්දා කිව්වහම තමයි ඔන්න ටිකක හරි ගියේ.

කොහොම වුනත් එදායින් පස්සේ නම් තුශානි කවමදාකවත් හිරයි වගේ කියලා හිතෙන ඇඳුම් අමාරුවෙන් අඳින්න ගියේ නෑ.  

හෙටත් ගමේ යනකොට නැන්දා ලස්සන අලුත් ගවුමක් මහලා, රසට කෑම උයලා තියයි කියලා හිතුනත් එහෙම වෙන්නේ නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකක්. 

ඒ මීට හරියටම මාස තුනකට කලින් හදිසි අනතුරක් වෙලා නැන්දා අපිව දාලා ගියපු නිසා. හෙට අපි යන්නේ නැන්දගේ තුන් මාසේ දානේට.

ඒ නිසා මේ අවුරුද්දේ වෙනදා වගේ තුශානිට අලුත් ගවුමක් තෑගී ලැබෙන්නේවත් නැන්දාගේ රස කෑම කන්න ලැබෙන්නේ වත් නෑ.  අලුත් ගවුමක් නැතත් මහ ගෙදරට ගොඩවෙනකොට හිනාවෙලා ඉස්සරහට එන නැන්දා ගේ ලස්සන මූණ හෙට දකින්න නොලැබෙනකොට මොනවා හිතෙයිද කොයි විදිහට ඒක දැනෙයිද කියන එක තුශානිට තාමත් හිතා ගන්න බෑ.



Tuesday, April 14, 2015

75. සුබ අලුත් අවුරුද්දක් වේවා !

එරබදු මල් සුවඳ යහ ගුණ සුවඳක් වේවා
රබන් හඬ සිනා හඬකට සම         වේවා
කැවුම් කොකිස් රස දිවියට එක්    වේවා
කිරි ඉතිරෙන ලෙසට සම්පත   ඉතිරේවා



අවුරුදු සිරිය ගව් සිය දුර      විහිදේවා
සාමය සතුට ලොව දස අත පැතිරේවා
ජය පැන් ලබන්නට බාදක දුරු  වේවා
යහපත් පැතුම් පැතු අයුරින් ඉ‍ටු වේවා




හැම සිත් සතන් තුල සැනසුම ඇති    වේවා
එකමුතු කමින් සැමදෙන එක් රොක් වේවා
ආයුෂ වර්ණ සැප බල බෝ අත්        වේවා
ලැබු අවුරුද්ද කිරි පැණියෙන්      ඉතිරේවා









Monday, April 6, 2015

74. අවුරුද්දට කලින් බොහොම වැදගත් අවුරුදු පණිවිඩයක්...

උදාවෙලා තියෙන්නේ අවුරුදු මාසය නිසා හැම කෙනෙක්ම මේ දවස්වල බොහොම උනන්දුවෙන් අවුරුද්දට ලැස්ති වෙනවා ඇති. ඉතින් එහෙම අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලේ අපි හුඟ දෙනෙකුගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා අපේ අතින් සිද්ද වෙන අපිට හුඟක් හානිදායක දෙයක් ගැන කියන්න තමයි අද තුශානි මේ ලෑස්තිවෙන්නේ.

අවුරුද්දට කැම ජාති හදන්න පටන් අරගෙනද තියෙන්නේ ? 

තාම නෑ...  ඒත් අද හෙටම පටන් ගන්න ඕනේ. එහෙම නේද ? 

හරි... මේ දේ කියන්න ඕනේ වුනේ, කෑම ජාති හදන්න පටන් ගන්න කලින්. අවුරුදු කියලා විශේෂ කලේ අවුරුදු කාලේට ටිකක් වැඩිපුර කෑම ජාති කොයි ගෙදරක වුනත් හැදෙන නිසා. හැබැයි ඉතින් අවූරුදු කෑම හදද්දී විතරක් නෙවෙයි හැමදාටම මේ කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.


කැම ටිකක් වහලා තියන්න, හදන කැවිලි ටිකක තෙල් ටික බේරෙන්න තියලා තියන්න, කෑමක් ඔතලා තියන්න, පිටි ටිකක් හලා ගන්න, මිශ්‍රණයක් දාලා තියෙන්න, කෑමක් කාටහරි ඔතලා දෙන්න, ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ ? 

ම්....  හුඟක් දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ "පත්තර  පි‍ටු " 


ඔන්න අදින් පස්සේ නම් ඔය කෑම සම්බන්ද වැඩ වලට පත්තර පි‍ටු පාවිච්චි කරන්න එපා. හේතුව මෙන්න මේකයි. 

පත්තර පි‍ටු වල අකුරු, රූප මුද්‍රණය කරන්න නොයෙක් වර්ගයේ සායම් පාවිච්චි කරනවා. ඒ මුද්‍රණ කටයුතු වලට ගන්න සායම් වල තියෙන එක එක වර්ගයේ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට හුඟක් හානිදායකයි. පිලිගන්න පුළුවන්ද ඒ රසායනික ද්‍රව්‍ය පිලිකා ඇති කරන්නත් හේතු වෙනවා කියලා ? 

ඔව්... පිලිගන්න ටිකක අකමැති වුනත් මේ රසායන ද්‍රව්‍ය ආමාශය, අන්ත්‍රය, ගලනාලය, සම වගේ තැන් වල පිළිකා ඇති කරන්න හේතු වෙනවා.  පිළිකා විතරක් නෙවෙයි තවත් ලෙඩ ගොඩකට මේ රසායන ද්‍රව්‍ය හේතු වෙනවා.

ඒත් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා. මෙන්න අහගන්නකෝ, පත්තර පි‍ටුවක් උඩ කැමක් තියලා තියෙනකොට හරි, පත්තර පි‍ටුවකින් ඒ කෑම ඔතලා තියෙනකොට හරි ඒ කෑම වලට අර පත්තර පි‍ටුවේ තියෙන වර්ණක උරා ගන්නවා. 

මේ දේ හොඳටම බලා ගන්න පුළුවන් පාන් ගෙඩියක් හරි බනිස් ගෙඩියක් හරි පත්තර පි‍ටුවකින් ඔතලා තිබ්බහම. චුට්ටක් මතක් කරලා බලන්නකෝ  ඒකේ අර පත්තර පි‍ටුවේ තිබුනු තීන්ත ගැවිලා තියෙන විදිහ. ඉතින් ඒ තීන්ත වල තියෙන රසායනික ද්‍රව්‍ය ශරීර ගත වුනාම අපි හීනෙකින් වත් නොහිතන හොයා ගන්න බැරි ලෙඩ අපිට හැදෙන්න පටන් ගන්නවා. 

ඔය මාළු, මස් වර්ග වුනත් අපි මිලදී ගන්න සමහර වෙලාවට ඒවා පත්තර පි‍ටු වල ඔතලා දෙනවා. එතකොට නම් අපිට හිතෙනවා ඔය තීන්ත ගැවුනත් හෝදලා ගන්න නිසා ගැටළුවක් වෙන එකක් නෑ කියලා. ඒත් ඒ නිගමනය වැරදියි. මස් මාළු වල තියෙන තෙත ගතිය නිසා ඒ තීන්ත ඒ මස්, මාළු වලට උරා ගන්නවා හේදුවත් නොයන විදිහට.  

ඉතින් මේ දේවල් දැන දැන ලෙඩ වෙනවට වැඩිය හොඳයි නේද හානියක් වෙනවා කියලා දැනෙන දේවල් නොකර ඉන්න එක? ඒ නිසා කෑම ජාති ගොඩක් හදන්න, ගොඩක් කට්ටියට කෑම ජාති බෙදන්න ඉන්න මේ අවුරුදු කාලේ ඉඳලා වත් ටිකක් ඒ ගැන කල්පනා කලොත් හොඳයි කියලයි  හිතුන නිසයි තුශානි මේ දේවල් කියන්න හිතුවේ.  

එතකොට දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපි මොනවද  පත්තර පි‍ටු වෙනුවට පාවිච්චි කරන්නේ කියලා. මෙන්න ඒකට උත්තරේ.

වර්ණක නොයෙදූ සුදු කොළ හොයා ගන්න පුළුවන් නම් ඒවා පාවිච්චි කලාට කිසිම ප්‍රශ්
නයක් වෙන්නේ නෑ. අද වෙනකොට සමහර අය නම් මේ දේට යොමුවෙලා ඉන්නවා. ඒ නිසාම සුදු කොළ වෙළඳපොලේ ගන්නත් තියෙනවා. 

පත්තර පි‍ටු පාවිච්චි කරන සමහර කාර්යයන් වලට අපිට පුළුවන් කෙසෙල් කොළ, තල් කොළ, නෙලුම් කොළ වගේ ස්වභාවික දේවල් පාවිච්චි කරන්න. එහෙමත් නැත්තම් ස්වභාවික දේවල් යොදාගෙන හදන වට්ටි, පෙට්ටි, කූඩ වගේ දේවල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.


ඒ වගේම මැටි මුට්ටි, ඇතිලි වුනත් පාවිච්චි කරන්න පුළුවන්නේ. මැටි මුට්ටි කිව්වහමයි මතක් වුනේ. කැවුම් එහෙම දාලා තියෙන මැටි මුට්ටියක් දෙකක් නම් තුශානිලගේ ගෙදරත් හැම අවුරුද්දකම වරදින්නේ නෑ. 

ප්ලාස්ටික් භාජන වුනත් සමහර දේවල් වලදී පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් පිටි ටික හලා ගන්න, කැවිලි අඩුක්කර ගන්න ප්ලාස්ටික් ට්‍රේ පාවිච්චි කරන්න පුළුවන්. කැවිලි ජාති දාලා තියන්න, කැවිලි ටිකක් කාටහරි යවන්න වුනත් ප්ලාස්ටික් පෙට්ටියක්, ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්.

අවුරුදු දවසේ අහල පහළ ගෙවල් වලට අවුරුදු කෑම ටිකක් ගෙනියනකොට නම් කොළයක ඔතලා මොනාහරි යවන වට වඩා පිඟානක තියලා පිරිසිඳු සර්වියට් එකකින් වහලා වගේ ගෙනියන්න පුළුවන් නම් මට හිතෙන්නේ හුඟක් හොඳයි. 

තුශානිලාගේ ගෙදර ඔය කෑම පිඟන් ගෙනියන වැඩේ නම් හැම අවුරුද්දේම කරන්නේ තුශානියි, මල්ලියි. මොකද හැම ගෙදරකම අවුරුදු කෑම මේසයේ සිරිය නැරඹීමේ විශේෂ වරප්‍රසාදය සහ ඉක්මනින් අවුරුදු තැගි ගොඩක් ලබා ගැනීමේ හැකියාව ඒකෙන් හම්බ වෙනවනේ.. හි..හි..  

ඒ ඇරුනහම ටිකක් ඈත ගෙයක් නම් පන් පෙට්ටියක, කඩදාසි පෙට්ටියක, ප්ලාස්ටික පෙට්ටියක වගේ කෑම දාලා යවන්න පුළුවන්. 



ම්.. ඔය කිව්වේ තුශානිට මේ වෙලාවේ මතක වෙච්චි දේවල් ටිකක්. සමහර විට ඔයාල ගාව මීට වඩා හොඳ අදහස් ඇති. ඒ දේවලුත් පහලින් එකතු කරන්න පුළුවන් නම් අපි හැම කෙනෙක්ටම හුඟක් ප්‍රයෝජනවත් වේවි. 

එහෙනම් අවුරුදු ලබන්න කලින් තුශානි දීපු මේ අවුරුදු තෑග්ග ඔයාලටත් පුළුවන් තවත් කෙනෙක්ටත් දීලා තව කෙනෙක්වත් දැනුවත් කරන්න. අවුරුද්දට හැමෝම ලෑස්ති වෙන මේ වෙලේ මේ තෑග්ග හුඟක් වටියි නිරෝගීව, සතුටින් ජීවිතේ ගත කරන්න.

Monday, March 30, 2015

73.ගෙඹි ඔපරේෂන් ...

ඉස්සර උසස් පෙළට, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව කියලා කොටස් දෙකක් ඉගෙන ගන්න තිබ්බත් අපේ කාලේ වෙනකොට මේ දෙකම එකට එකතුවලා ජීව විද්‍යාව කියලා තනි විශයක් බවට පත් වෙලා තමයි තිබුනේ.  ඉතින් ඒ නිසා සත්ව විද්‍යාවයි ශාක විද්‍යාවයි ගැඹුරින් ඉගෙන ගැනීමේ අවස්ථාව අපිට තිබුනේ නෑ. 

ඒත් අපේ පාසලේ ජීව විද්‍යාව උගන්නන්න එක පන්තියකට ගුරුවරු දෙන්න ගානේ හිටිය නිසා සත්ව විද්‍යාව කොටස් කලින් සත්ව විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ශාක විද්‍යාව කොටස් කලින් ශාක විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න අපිට හැකියාව ලැබුනා. ඒ නිසා සිලබස් එකේ තියෙන දේවල් වලට වඩා අමතර දේවල් ටිකක් ඉගෙන ගන්නත් අපිට පුළුවන් වුනා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම මේ කියන්න යන ගෙඹි ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. 

ඔන්න ඉතින් ඒ වෙනකොට අපි ශරීරයේ පද්ධති ගැන ඉගෙන ගන්න පටන් අරගෙන තිබුනේ. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අහාර ජීරණ පද්ධතිය වගේ පිලිවෙලට පද්ධති එකින් එක අපිට ඉගෙන ගන්න තිබුනා. එහෙම පද්ධති ගැන ඉගෙන ගනිද්දී සත්තුන්ගේ මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න වෙනවා. 

" ළමයි,  ඉස්සර නම් අපි ක්ලාස් එකේ කැරපොත්තෙකුයි ගෙම්බෙකුයි කපලා බලනවා. ඒත් දැන් ඒ තරම් ඕනේ නැති නිසා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.  "

" අනේ
මිස්.. අපිත් ක්ලාස් එකේ කැරපොත්තෙකුයි, ගෙම්බෙකුයි කපලා බලමුකෝ.... "


හිතා ගන්න පුළුවන්නේ අපේ කට්ටියගේ හැටි. මිස්ට බෑ කියන්න බැරි තරමට ම කට්ටිය ගෙන හරිම කරදරයක් තිබුනේ ක්ලාස් එකේ සත්තු කපලා බලන්න. ඔය අතරේ අපේ පන්තියේ හිටිය අවිහිංසා වාදී අය නම් කිව්වේ අපිට නම් ඔය පව් වැඩ කරන්න ඕනේ නෑ කියලා. 

" හරි හරි .. සත්තු දෙන්නෙක් හෙට අරගෙන එන්නකෝ. උදේ පීරියඩ්ස් දෙකක් තියෙන නිසා කෙලින්ම ලැබ් එකටම ඇවිත් ඉන්න. මම ඕන කරන දේවල් ටික ලැස්ති කරලා තියන්න කියන්නම්.  " 
  
සත්තු කපන්න ඕනේ කිව්වට කෝ ඉතින් සත්තු ? කවුරුහරි ගේන්න එපැයි කපලා බලන්න. සත්තු කපන්න ආසාව තිබ්බට සතෙක්ව ගේන්න කෙනෙක් නෑ... සතෙක්ව හොයා ගන්න පුළුවන් අයට ගේන්න විදිහක් නෑ. ගේන්න විදිහක් තියෙන අයට සතෙක්ව හොයා ගන්න විදිහක් නෑ. හි..හි..

ඒ දවස් වල තුශානිලගේ ගෙදර ලිඳ ගාව රජ දහන කරගෙන  හිටියා ටිකක් ලොකු ලස්සන ගෙම්බෙක්. තුශානිට එක පාරටම ඌව මතක් වුනත් ඌව මැරෙනවා කියලා දැන දැන ගේන්නේ කොහොමද ? ඒ නිසා ඒ මතක් වෙච්ච එක ටක් ගාල අමතක කරලා හිටියා කවුරුහරි සතෙක්ව ගෙන්න කැමති වෙනකන්.. 




කැරපොත්තෝ ගෙන්න ඕන තරම් කට්ටිය හිටියත් ගෙබ්බෙක් ගේන්න කවුරුවත් කැමති වුනේ නෑ. ඒ නිසා ඉතින් අන්තිමට හිත හදාගෙන අර අමතක කරපු එක ආපහු මතක් කරගෙන "හා එහෙනම් මම ගේන්නම්කෝ... " කියලා වැඩේ බාර ගත්තා.

හා කියලා වැඩේ බාර ගත්තට මොකද ගෙදරින් නම් කීයටවත් කැමති වෙන්නේ නෑ මරණ්න ගෙබ්බෙක් අරගෙන යනවට. කොහොම හරි කැමති කරව ගත්තත් ගෙම්බව අල්ල ගන්නේ කොහොමද ? ඉස්කෝලෙට ඌ ගේන්නේ කොහොමද ? ඔන්න එක එක ප්‍රශ්ණ මගේ ටිකිරි මොලේට එන්න ගත්තා. මොනවා කරන්නද ගේනවා කියලා බාරගත්ත නිසා කොහොමහරි ගෙනියන්නත් එපැයි.

" අම්මේ ... අපේ බයෝ මිස් කව්වා ඉස්සර සුලොජි වලට සත්තුත් කපලා ඉගෙන ගන්නව කියලා " 

"ඔව් ඉතින් උන් ගැන ඉගෙන ගන්නකොට කපලා බලලා ඉගෙන ගන්නවා ඇති. " 

" මේ... අපිටත් කිව්වා සත්තු ගෙනාවොත් ඕනේ කම් කපලා පෙන්නන්න පුළුවන් කියලා. " 

" ඉතින් දැන් ඔයා හා කියලා සතෙක්ව ගේන්න බාරගත්තද ? "  

අපේ අම්මට ටෙලිපති වලින් මම කියන්න යන එක පෙනිලද කොහෙද කෙලින්ම මගෙන් ඇහුවා. ඇයි ඉතින් ඉස්කොලේ මොනාහරි ගේන්න දෙයක් කිව්වොත් හුඟක් වෙලාවට මමනේ බාර ගන්නේ. හි.. හි..

" හොස්ටල් එකේ ඉන්න අයට ගේන්න බෑනේ අම්මේ.. ඈත ඉඳලා බස් වල එන අයටත් ගේන්න බෑනේ.... ඉතින් මම ගේන්නම් කිව්වා. " 

" දැන් මොකෙක්වද ගේනවා කියලා කිව්වේ ? "

" ලොකු සතෙක්ව නෙමෙයි අම්මේ.  මේ..... තරු කැරපොත්තෙක් ගේනවා කිව්වා.. අපේ අර ලිඳ ගාව ඉන්නවා නේද ගෙම්බෙක්. ඉතින් මම කිව්වා මම ඌව ගේන්නම් කියලා.  "

" තාත්තා නම් කීයටවත් කැමති වෙන එකක් නෑ ඔය සත්තු මරණ වැඩේට. මම දන්නෑ තාත්තා ආවහම අහලා බලලා ඕන දෙයක් කරන්න. " 

" ඉතින් අම්මේ අපි ඌව හිතලා මරන්නේ නෑනේ . ප්‍රැක්ටිකල් එකටනේ කරන්නේ. එතකොට පව් සිද්ධවෙන්නේ නැතිවෙයි. අනේ ... අම්මත් කියන්නකෝ තාත්තා අවහම.  " 

ඊට පස්සේ ඉතින් තාත්තා ආවහමත් ප්‍රැක්ටිකල් එකේ වටිනාකම තාත්තට පහදලා දීලා බොහොම අමාරුවෙන් වැඩේට ඇපෘවල් එක ගත්තා. ඔක්කොම හරි වුනත් ගෙම්බව අල්ල ගන්න එක තමයි ඊලඟ ප්‍රශ්ණේ. 

" මේ ... හලෝ...  චූටි වැඩක් කරලා දෙනවද ?  "

" ම්.... ටෝන් එකේ හැටියට නම් ටිකක් බරපතල වැඩක් වගේ. කමක් නෑ. කියන්නකෝ බලන්න. " 

" ඔන්න බෑ කියන්න බෑ....  අර...  ලිඳ ලඟ ඉන්න ගෙම්බාව අල්ලලා මේ පෙට්ටියට දාලා දෙන්නකෝ. අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකකට.  " 

" ඊයා ... මට බෑ.  " 

" අනේ මල්ලී.. මම හෙට ගේනවා කියලා ආවේ. නැත්තම් ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මට කොහොමහරි මේ වැඩේ කරලා දෙන්නකෝ......  " 

ඊට පස්සේ ඉතින් විසි පාරක් විතර කියලා කියලා කොහොම හරි අර ගෙම්බාවා පොඩි පෙට්ටියකට දාලා ඌට හුස්ම ගන්න පුළුවන් වෙන්න පෙට්ටියේ සිදුරු ටිකකුත් හදලා රෑ ලෑස්ති කරලා තිබ්බා උදේට ඉස්කෝලේ අරගෙන යන්න.
 
යාන්තම් නින්ද යන්න ඇහැ පියවුනා විතරයි මෙන්න ඇහෙනවා අර පෙට්ටියේ ඉන්න ගෙම්බා කෑගහනවා මහ හයියෙන්. ඌ පෙට්ටිය ඇතුලේ දඟලන විදිහ හරියට අර හොල්මන් කතන්දර වල තියෙන භූත බලවේග එලියට එන්න හදනකොට තියෙන්නේ අන්න ඒ වගේ. සද්දෙත් එක්ක පෙට්ටිය දිගටම හෙලවෙන්න පටන් අරගෙන එක පාරටම ටික වෙලාවක් නැවතිලා තිබිලා ආයෙමත් හෙලවෙනවා. කට්ට කරුවලේ තනියම ඉන්නකොට එහෙම ඇහුනහම චුට්ටක් වත් බය හිතෙන්නේ නෑනේ නේද ?  හි..හි...

ඒත් එක්කම තුශානිට මතක් වුනා අර ගෙඹි කුමාරයගේ කතාවත්.. .ඔව් ඔව්... අර හාද්දක් නිසා ගෙම්බෙක්  කුමාරයෙක් වෙච්ච කතාව තමයි. හි..හි... මෙයත් නපුරු මන්තරකාරියකගේ ශාපෙකට ගෙම්බෙක් වුනු කෙනෙක්වත්ද ? ඊයා... ගෙම්බෙක්ට හාදුවක් දෙන්න කොහොම හිත හදා ගත්තද මන්දා... හපොයි තුශානිට එක එක ඒවා හිතෙන්න ගත්තා.



පිස්සුද ඒවා බොරු කතා.... කතා නෙවෙයි, මූ හදිස්සියේවත් උදේ වෙනකොට මැරිලා හිටියෝත් ඔක්කොම පව් ටික මටනේ. කොකටත් කමක් නෑ. නැගිටලා ගිහින් බලනවා කියලා හිතලා හිමීට ඇඳෙන් බිමට බැහැලා පෙට්ටිය ගාවට ගියා. 

පුංචි පෙට්ටියක්නේ... ඉතින් පෙට්ටිය ඇතුලේ හිර වෙලා නිසා ඌ කෑ ගහ ගහ හොඳටම දඟලනවා. පෙට්ටිය ඇතුලේ ගෙම්බා කෑ ගහ ගහ දඟලන විදිහ දැක්කහම තුශානිගේ හිත එකපාරට නැවතුනා වගේ වුනා. කොච්චර හිත හදාගෙන ගිහින් නිදා ගන්න හැදුවක් ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. කොච්චර දර දඬු හිතක් තියෙන කෙනෙක්ට වුනත් අනිවාර්යයෙන්ම ඒ විදිහට හිතෙන එක හොඳටම ෂුවර් ඒ සද්දෙයි දඟලන විදිහයි දැක්කහම.

අන්තිමට තුශානිම තීරණය කලා ගෙම්බව ආපහු ලිඳ ගාවට ගිහින් දාන්න. ඔව් .. ඒ වෙලේම.

ඊට පස්සේ අම්මවයි තාත්තවයිත් ඇහැරවලා, පෙට්ටිය ලිඳ ගාවට අරගෙන ගිහින් ඌව නිදහස් කලා. අම්මයි තාත්තයිත් ඒකට මුකුත් නොකියන්න ඇත්තේ එහෙම කරනන් එපා කියලා කියන්න තරම් හිතක් එයාලටත් නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.  

පෙට්ටිය ඇරපු ගමන් ගෙබ්බත් එළියට පැනලා අපහු හැරිලා අපේ දිහා බලලා එයාගේ සුපුරුදු තැනට ගියා හරියට අපි එයාව නිදහස් කරලාට ස්තූති කියනවා වගේ. ඒ වෙලේ හිතට දැනුන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්. " පව් පුතේ.. බලන්න ඌ කොච්ච සතුටෙන් පෙට්ටියෙන් පැනලා ගියාද කියලා" අම්ම මගේ ඔළුව අතගාල කිව්වහම මටත් හිතුනා මම කලේ කොච්චර ලොකු වැරැද්දක්ද කියලා.

මල්ලි නම් උදේ හිනා වුනා අපරාදේ මම ඌව අල්ලලා දුන්නේ කියලා. 

ඉස්කෝලේට යනකොට යාළුවොත් බලාගෙන හිටියා ප්‍රැක්ටිකල් එක කරන්න. කැරපොත්තෙක් ගෙනත් තිබුන නිසා කැරපොත්තව නම් එදා කපලා බලන්න පුළුවන වුනා. ඒත් ෆෝමලින් සුවඳට කැරපොත්තා දඟලපු හැටි දැක්ක අපිට හිතුනේ වෙන සත්තු කපලා බලන්න නම් ඕනේ නෑ කියලා. ඒ නිසා ඊට පස්සේ කිසිම සතෙක් කපලා බලන්න ඕනේ කියලා කවුරුත් බයෝ මිස්ට කරදර කලේ නෑ. 

අපේ අතින් කොයි තරම් සත්තු මැරිලා තිබුනත් දැන දැන සතෙක්ව මරණ එක කොයිතරම් අමාරුද කියන එක අපි හැමෝටම හරියටම තේරුම් ගියේ එදා තමයි.



Related Posts Plugin for WordPress, Blogger...