Thursday, July 30, 2015

85. ඔපීසියේ රස කතා - (5)

නව නිංගිරාව

කාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරසිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි... 

හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව යනු කියන එකට මේක හොඳම හොඳ උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ ඒක හරියටම ගැලපෙනවා.

තුශානි වැඩ කරන්නේ විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන සාමගමක කියලා කලින් කියලා තියෙනවනේ. ඉතින් පිටරටවල් වලින් අපේ ආයතනයට ඕනේ කරන දේවල් අපි ගෙන්නනවා. මෙහෙම ඒ දේවල් ලංකාවට ගේද්දී භාන්ඩ වර්ග මොනවද, කොච්ච ප්‍රමාණයක් එනවද, කොච්චර මිලක් වෙනවද එහෙම කියලා ලිපි ලේඛන ටිකක් තියෙනවා අපිට හදන්න. ඉතින් එදත් සුපුරුදු විදිහට ඒ ලිපි ලේඛන ටික අපි හදාගෙන යනකොට මෙන්න එක්කෙනෙක් කියනවා ආපු ඉන්වොයිස් එකක් වැරදියි කියලා.

" මේ.. හොඳටම ෂුවර් ද ? "

අපේ අයගේ හැටි දන්න නිසා කෝකටත් කියලා මම ආපහු සැරයක් ඇහුවා.  

"ඔව්.. ඔව්.. මම දෙපාරක් බැලුවා... මේ... ඔයත් මේක පොඩ්ඩක් බලලා යන්න කලින් සප්ලයට මේල් එකක් දාලා යනවද. එතකොට හෙට උදේ වෙනකොට හරි ඉන්වොයිස් එක ඇවිත් තියෙයි. "

"අයියෝ... මමත් දැන් ඔෆ් වෙන්....   ..... " කෝ ඉතින් ඉතුරු ටික කියන්න හම්බවුනේ නෑ. අරයා ෆයිල් එක මගේ ටේබල් එක උඩින් තියලා යන්න ගිහින්..  

දැන් ඉතින් මොනවා කරන්නද. කාටද අප්පේ ඔය පිටු දහයක් විතර තියෙන ඉන්වොයිස් එක ආපහු චෙක් කර කර ඉන්න පුළුවන් මේ ගෙදර දුවන්න ලෑස්තිවෙලා ඉන්න වෙලේ. ඒ නිසා කොම්පීතරේට ටිකක් එබිලා හරි එක එවන්න කියලා ඊ මේල් එකක් දාලා මාත් ඉතින් ගෙදර ගියා.  

ඊලඟ දවසේ ඉතින් සුපුරුදු විදිහට පිණිබර හිමිදිරියේම ඔපීසියට ඇවිත් වැඩ පටන් අරගෙන විනාඩි කීපයයි ගියේ.. මෙන්න කවුදෝ ඇවිත් මගේ ලඟ ඔළුව නව නව ඉන්නවා මගේ ඇහි පිල්ලමේ කොනේම ඇහි පිහාට්ට අතරින් පේන්න පටන් ගත්තා. 

"ගුඩ් මෝනිං තුශානි.. බ්ලා බ්ලා.. බ්ලා....  " කියලා දෙතුන් සැරයක් නැවිලා ජපන් මහත්තයෙක් විස්තරයක් කියන්න පටන් ගත්තා.  

බැලින්නම් මෙයා අර මම ඉන්වොයිස් එක වැරදියි කියලා යවපු කොම්පැනියෙම එක්කෙනෙක්. වෙන වැඩ වගේකට මේ දවස් වල අපේ කොම්පැනියට ඇවිත් ඉඳලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අර කොම්පැනියෙන් එයාට කතා කරලා කියලා, ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.
  

ඉන්වොයිස් එක ඉතින් වැරදියිනේ මාත් ඉතින් බය නැතුව වාඩි වෙන්න කියලා  ඩොකියුමන්ට්ස් ටික අතට දුන්නා බලන්න කියලා.  

ඉන්වොයිස් එක වැරදියි කියලා දීපු එක්කෙනාටත් මම ඒ අතර තුරේ කෝල් එකක් දීලා වෙච්චි සිද්දිය කියනකොට මෙන්න ඒ පාර එයා කියනවා " බලන්නකෝ හරි වැඩේනේ මට කොළයක් මිස් වෙලා ඒකත් ආවහම නම් ටෝට්ල් එක හරි වගේලු.
  

ඔන්න එතකොට තමයි මටත් තරු එකක් දෙකක් පේන්න පටන් ගත්තේ. මේල් එකක් දැම්මට මම ආපහු චෙක් කලේ නෑනේද කියලා මගේ ටිකිරි මෝලේට කල්පනා වෙන්න පටන් ගත්තා. එතකොටම හීන් දාඩිය දාන්න පටන් අරෙගෙන ඇඳගෙන හිටිය රතු පාට සාරියේ පාට ගෑවිලා වගේ අත පය රතු පාට වෙලා තමයි පේන්න පටන් ගත්තේ.  

තක්කාලි ගෙඩියක් මූණේ හයි කරගෙන වගේ  ඊට පස්සේ මම අර මනුස්සයා දිහා බලනකොට ඒ මනුස්සයා බොහොම සැහැල්ලුවෙන් ඩොකියුමන්ට්ස් ටික චෙක් කරනවා... චුට්ටක් නවත්තනවා... ගෙනත් දීපු තේ එක බොනවා... ආපහු කැල්කියුලේටර් එක අරෙගෙන ටොක් ටොක් ගාලා ඔබනවා ... ලැප්ටොප් එක දිහා ටිකක් බලාගෙන ඉන්නවා... වට පිට බලනවා... බොහොම සැහැල්ලුවෙන් වැඩ. 

දැන් ඉතින් මොකද කරන්නේ... විනාසයි... අනිවාර්යයෙන් බැනුම් කෝටියක් අහන්නම වෙනවා. වක්කඩේ කැඩුවා වගේ එක තප්පරයට එක්දාස් පන්සීයක් විතර දේවල් හිතට එන්න පටන් ගත්තා.  

මොනවා කරන්නද ඉතින් වෙච්චි දේ වුනානේ. එන විදිහට ෆේස් කරනවා කියලා හිත හදාගෙන පුටුවේ වාඩි වෙලා අරකේ තව කොපි එකක් අරගෙන මාත් චෙක් කරන්න පටන් ගත්තා. මොකද මමම චෙක් කරන්නේ නැතුව මට මුකුත් කියන්න බෑනේ.

බැලුවහම ඩොකියුමන්ට්ස් වල වැරැද්දක් නෑ.  

දැන් අපේ බොස් එනවා. ජපන් මහත්තයත් එක්ක කතා කරලා මොකද්ද ප්‍රශ්ණේ අහනවා. ඊට පස්සේ මම බැනුම් අහනවා... ඒ රූප පේලිය මගේ ඉස්සරහ මැවිලා පේනවා වගේ... 

ඒ වෙලාවෙම මට තව වචනයක් මතක් වෙනවා.. ඒ තමයි නව නිංගිරාව.. ඔන්න මට තේරුම් යනවා ඒ වචනේ හරිම තේරුම ඒ වෙලාවෙම... 

ගිරවියෙක් වගේ කියව මම ඒ වෙලේ ඉබ්බියෙක් වගේ ගොළු වෙලා. ආසාවට එක වචනයක් කටට එන්නේ නෑ.. ඉබි කට්ටක් ඇතුලේ හැංගිලා ඉන්නමයි හිතට ආවේ.

මගේ මේ අමුතු හැසිරීම දැකලාද මන්දා ඔන්න ඒ පාර අර මනුස්සයා ඔළුව උස්සලා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා...

" සොරි.... " එක පාරටම මගේ ඔළුවට ආවේ ඒ වචනේ...

ඒත් එක්කම ඔළුව නවලා මමත් ආචාර කරලා අපේ අතින් වෙච්චි වැරැද්ද, වචන ටික අමාරුවෙන් ගැට ගහලා කිව්වා...  


නපුරු මූණක් එක්ක බැණුම් වරුසාවක් බලාපොරෝත්තුවෙන් එයාගේ මූණ දිහා බැලුවට ඒ වෙනුවට ඒ මූණේ තිබුනේ හරිම අහිංසක හිනාවක්.

"ඕ... ඉට්ස් ඔකේ.. ඉට්ස් ඕකේ... නෙවෙර් මයින්ඩ්" 

"හදිස්සියට ඔහොම වෙනවා තමයි... ගනන් ගන්න එපා. ඒකට කමක් නෑ.. අපි හිතුවේ අපි ඩොකියුමන්ට්ස් හදලා එවලා තියෙනවා වැරදි ඇති කියලා. අපේ අතින් වුනත් එහෙම වැරැද්දක් වෙන්න පුළුවන්නේ. " තියුණු කඩු භාෂාවෙන් වුනත් බොහොම කරුණාවන්ත විදිහට ඒ මනුස්සයා කියාගෙන ගියා. 

ඒ ටික අහගෙන ඉන්නකොට මට මතක් වුනේ අර සින්දුව... ඔව් ඔව්... අර "වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... "සින්දුව. මොකද වෙන කෙනෙක්ට එහෙම වුනා නම් කෑ ගහලා බැනලා , බොස්ටත් කම්ප්ලේන් කරලා යන්න තිබුනානේ.

ඊට පස්සේ එයා "මම එහෙනම් ගිහින් එන්නම්" කියලා ඔළුව නමලා මටත් ආචාර කරලා එයාගේ බඩු භාණ්ඩ ටිකත් අරගෙන මම කරපු පෙර පිනක් නිසාද කොහෙද බොස් එන්න කලින් යන්න ගියා.

නව නිංගිරාව නිසා වෙච්චි හිතේ අමාරුව මදිවට පනස් පාරක් විතර නැවිලා හැදිච්ච කොන්දේ අමාරුවත් නිසා එහෙම්මම පුටුව උඩට වෙලා මේසේ උඩ තිබුනු වතුර වීදුරුවම එක හුස්මෙට බීලා විනාඩි විස්සක් විතර ඉඳලා තමයි අන්තිමට පුටුවෙන් නැගිට්ටේත්. 

" මේ වැඩේ ශේප් නේද ...අපි බලාගෙන හිටියේ...  " අර ඩොකියුමන්ට් එක වැරදියි කියපු එක්කෙනා හිමීට මගේ ලඟට ඇවිත් අහනවා. 

" මොකක් කිව්වා අපි ???? " මම අහුවා

" ඔව්.. මේ... මේ... මමයි xxxxයි, xxxxxයි, xxxxයි xxxxයි, xxxයි."

අරයා ඔෆිස් එකේ තව කීප දෙනෙක්ටත් විස්තරේ කියලා. එතකොටම මට අර නව නිංගිරාව කියන වචනේ තව තව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තා.. 

මොනවා කරන්නද මගේත් වැරැද්දනේ... ඔයින් ගියා මදැයි කියලා මම ඉතින් හිත හදා ගත්තා.  


Thursday, July 16, 2015

84. එක එක කාලෙට හැදෙන ලෙඩ ...

දන්නවනේ ඉතින්... එක එක කාලෙට අපිට එක එක ලෙඩ හැදනවානේ. ඉතින් මේ දවස් වල තුශානිටත් බොහොම දරුණු ලෙඩක් බෝ වෙලා. 
"අනේ  පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)

මොකද එහෙමත් වටිනා අදහස් මම කියන ඒවා නිසා වෙනස් කර ගන්න එක හොඳ නෑනේ. හි..හි...

ඉතින් මේ දවස්වල පැතිරිලා යන ඉන්ෆ්ලුවෙන්සා A1 H1,  ඩෙංගු,  සාස් වගේ ලෙඩ එක්ක පේපර් ක්වීලිං කියලා ලෙඩකුත් පැතිරිලා තිබුන නිසා ඔන්න තුශානිට එක පාරටම ඒ ලෙඩේ බෝ වුනා. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා නේද. 

හ්ම්... පේපර් කවීලිං තමයි ඒකේ නම. මේ ලෙඩේ සමහර විට ඔයාලටත් මේ වෙනකොට හැදිලා තියෙන්න පුළුවන්. නැත්තම් කලින් හැදිලා තිබිලා මේ වෙනකොට හොඳ වෙලා තියෙන්නත් පුළුවන්. 

රෝග ලක්ෂණ තමයි A4 කොළ හීනි තීරු වලට කපලා රෝල් කරලා එක එක විදිහේ නිර්මාණ කරන්න හිතෙන එක. දන්නවද... මේ ලෙඩේ හැදුනහම පාට පාට A4 කොළ මයි හැම තැනම පේන්න පටන් ගන්නේ.

ම්.... මේ ලෙඩේ තුශානි බෝ වුනේ අපේ පුංචි සිත්තරාවිගෙන්.. එයාලාටත් ඉස්කෝලේ ටීච තමයි කියලා දීලා තිබුනේ. මම ඉතින් ඒ ටීචගෙන් ඉගෙන ගත්ත පුංචි ටීචගෙන් වැඩේ ඉගෙන ගත්තා. කොහොමින් කොහොමහරි ලෙඩේ උග්‍ර තත්වයකට පත්වුනා.  

අන්තිම්දී ඉතින් පාට පාට A4 කොළ ටිකකුයි, කාඩ් බෝඩ්, කතුරු, පැන්සල්, අඩිරූල් ටිකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා.  

ඔන්න එහෙනම් බලන්නකෝ...

































හැබැයි තුශානි තාම ඉන්නේ පේපර් ක්වීලිං වල හෝඩියේ පන්තියේ. ඉගෙන ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. බලමුකෝ.... ඉඩ ලැබෙන විදිහට. තව කරන්න පුළුවන් දේවල් මොනාද කියලත් හොයලා බලන්න ඕනේ. 

අහ්.... වැදගත්මදේ කියන්න අමතක වුනා. මේ ලෙඩේ බෝ වෙනවලු..... සමහර විට මේ වෙනකොට ඔයාලටත් මේ ලෙඩේ ටිකක් බෝ වෙලා තියෙන පුළුවන් මගෙන්.  :O

හෝව් හෝව් කලබල වෙන්න එපා. ලෙඩක් වුනාට මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. කොහොම වුනත් එහෙමෙහෙ දුවන හිත ටිකක් එක තැනක තියා ගන්න, කම්මැලිකමක්, පාළුවක් දැනුන වෙලාවට ඒක නැති කරගන්න, අලුත් අලුත් දේවල් හිතන්න, නිර්මාණයක් කරලා අවසාන කලාම ලැබෙන අමුතුම සතුට අත් විඳින්න මේ නිසා හැකියාව තියෙනවා කියලා නම් කියන්නම ඕනේ.  


කාල වේලාව තියෙනවා නම් ස්වයං රැකියාවක් විදිහට ආදායමක් උපයා ගන්න එක එක විදිහේ නිර්මාණ කරන්නත් පුළුවන්. සුබ පැතුම් පත්, එහෙමත් නැත්තම් බිත්ති සැරසිලි ( වෝල් හැන්ගිංස් ) , එක ඒක රූප වගේ දේවල් කරන්න පුළුවන්.
 

විශේෂ කෙනෙක්ට විශේෂ සුබ පැතුමක් කරන්නත්, පුංචි තෑග්ගක් දෙන්න දෙයක් නිර්මාණය කරගන්නත් පුළුවන්. මොකද කඩෙන් දෙයක් ගන්නවට වඩා තමන්ගේ අතින්ම දෙයක් හදලා දෙන්න පුළුවන්නම් ඒකේ වටිනාකම වැඩියිනේ.  ඒ නිසා ලෙඩේ බෝ වෙලා නම් ඒ ගැන බය හිතන්න එපා.


Tuesday, July 7, 2015

83. සල්ලියි සතුටයි... - Money Vs Happiness

කලින් පෝස්ට් එකකදී සල්ලි ගැන කිව්ව නිසා අද තුශානි හිතුවා සල්ලියි සතුටයි අතර තියෙන සම්බන්දය ගැන කියන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ... 

සල්ලියි සතුටයි අනුලෝමව සමානුපාතිකයිද ? එහෙමත් නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයිද ?

හි..හි... ඒ වචන හර බර වැඩියි නේද ... අපි මෙහෙම කියමුකෝ. සල්ලි වැඩි වෙනකොට සතුට වැඩි වෙනවද ? එහෙමත් නැත්තම් සල්ලි වැඩි වෙනකොට සතුට අඩු වෙනවද ? ඒ ගැන මොනවද හිතෙන්නේ ?  

සල්ලි කියන්නේ ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක් වුනත් ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි කියලා වැඩි දෙනෙක් උත්තර දෙයි.


ඔව්.. ඒ උත්තරය හරියටම හරි. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. සල්ලි ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් මේ කියන්න යන්නේ තමන්ගේ අතට ලැබෙන මුදලයි සතුටයි අතර තියෙන එක සම්බන්දයක් ගැන. සරලව කිව්වොත් පඩියයි සතුටයි අතර එක සම්බන්දයක් ගැන.

ටිකක් හිතලා බලන්නකෝ අපේ වැටුප / පඩිය වැඩි වෙනකොට අපි ඒ වැඩි වෙන කොටස මොන වගේ දේකටද යොදවන්නේ කියලා. ඔව්.. අපේ අවශ්‍යතා, උවමනා ටික සපුර ගන්නම තමයි. සමහර විට කෙනෙක්ට පඩිය වැඩි වෙනකොට තවත් උවමනා ටිකක් වැඩි වෙන්න පුළුවන්. මතකනේ ඉස්කෝලේදී උගන්නනවා අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි කියලා.  

ඉතින් උවමනා අසීමිත නිසා ඒ ගැන කතා කරන්න නම් එක පොස්ට් එකක් කොහොමටවත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ. අද තුශානි කියන්නේ අවශ්‍යතා ගැන විතරයි. 

හැබැයි මේකත් මුලින්ම කියන්න වෙනවා. ඒ මම මේ කියන දේවල් හැම කෙනෙකුටම අදාල නොවෙන්නත් පුළුවන් කියන එක. සමස්ථයක් විදිහට මෙහෙම වෙනවා කියලයි මම කියන්න උත්සාහ කරන්නේ. 

අවශ්‍යතා සීමිතයි නේ. ඒ කියන්නේ මිනිසාට මූලික අවශ්‍යතා 3 ක් තියෙනවා. ඒ තමයි ආහාර, ඇඳුම්, නිවාස. මෙතනදී ආහාර කිව්වේ ජලයත් ඇතුළුව.  


අතට ලැබෙන මුදලත් ඒක්ක අහාර අවශ්‍යතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි මුලින්ම බලමු. මම ඒක උදාහරණයකින්ම විස්තර කරන්නම්. 

අපි කෑම එකක් කනවා කියලා හිතමු. වෙනදට පාර අයිනේ තියෙන ඕනම කඩේ කින් කෑම එකක් අරගෙන කෑවට අතේ සල්ලි තියෙනවා නම් ටිකක් හොඳ තෑනකින්, පිරිසිදුකම, ගුණාත්මක බව, ප්‍රමිතිය වගේ දේවල් ගැන කලින්ට වඩා වැඩිපුර හිතලා කෑම එකක් කන්න ඕනේ කියලා හිතෙනවානේ. එහෙම නේද ?

ම්... මට යාන්තමට වගේ ඇහෙනවා. "නෑ... නෑ.. අපි නම් සල්ලි ටිකක් වැඩිපුර ලැබුනට ඉස්සර විදිහටමයි කන්නේ ... " කියලා කට්ටියක් කියනවා . තවත් කෙනෙක් කියයි සල්ලි තිබුනත් නැතත් අපි කන්නේ එහෙමයි කියලා.  හි..හි... කමක් නෑ.. කොහොම වුනත් බොහෝදෙනෙක් අතට කීයක් හරි වැඩිපුර ලැබෙනකොට තමන්ගේ ආහාර අවශ්‍යතාවයේ පුංචි හරි වෙනසක් ඇති කරගන්නවා. අතට සල්ලි ලැබෙනකොට වෙනස් වෙන්න ඕනේ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. එදා බඩගින්නට කෑම කාලා සතුටු වුන අපි,  විශේෂ කෑමක් නිසා දැන් සතුටු වෙනවා. මුලික අවශ්‍යතාවය වුනත් අපි සපුරාගෙන සතුටු වෙන්නෙ කලින්ට වඩා ටික් වෙනස් විදිහකට.

ඇඳුම් ගැන කතා කලොත්, එදාට වඩා branded ඇඳුම් මිල  දී ගන්න යොමු වෙනවා. සුව පහසුව, සෞඛ්‍යාරක්ෂිත බව, කල් පැවත්ම වගේ දේවල් ගැන කලින්ට වඩා ටිකක් වැඩිපුර අවදානය යොමු කරනවා. ඔයාලම ටිකක් කල්පනා කරලා බලන්නකෝ රැකියාවට ගිය මුල් කාලේ ගත්ත දේවලුයි අද මිල දී ගන්න්න දේවලුයි අතර තියෙන වෙනස ගැන. එදා ඒ දේවල් වලින් සතුටු වුනත් අද වෙනකොට අපි සතුටු වෙන්නේ ඊට එහා ගිය දේකින්.

නිවාස ගැන කිව්වොත් නම්, ගෙයක් නැති කෙකෙන් අලුතෙන් ගෙයක් හදන්නත්, ගෙයක් තියෙන කෙනෙක් ගෙදරට තව පුංචි පුංචි දේවල් එකතු කරන්නත් උත්සාහකරනවා. ඒ වගේම ගෙදර හදන්න හොඳම දේවල් යොදා ගන්නත්, වැඩි ප්‍රමිතියක් ගැන සැලකිලිමත් වෙන්නත් අමතක කරන්නේ නෑ. හිසට වහලකට වඩා වැඩි යමක් කරන්න උත්සාහ ගන්නවා. 

ගොඩක් වෙලාවට මේ දේවල් අපි හිතලා කරන දේවල් නෙවෙයි. ඒත් අපි අපිට ලැබෙන මුදලත් ඒක්ක අපේ ජීවන තත්වයේ වැඩි දියුණු කරගන්න ක්‍රියා කරනවා. ටිකක් නැවතිලා හිතලා බැලුවොත් ඔයාලටත් පැහැදිලිවෙයි. 

හ්ම්... දැන් කියන්න බලන්න මේ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා.



තුශානි ලියපු හර බර කතා

* මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...

* චුට්ටක් නැවතිලා බලමුද ? 

* මාලිගාවට යනවද ? ආපහු එනවද ? 

 


Tuesday, June 30, 2015

82. ඇසළ පෝය හෙටයි ...

අද මේ මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්නේ අලුත් මාසයක්. ඒ වගේම මාසේ පටන් ගන්නේ ඇසළ පෝයෙන්. ඉතින් අද තුශානි හිතුවා වැදගත්කම් ගොඩක් තියෙන ඇසළ පෝය ගැන විස්තර ටිකක් කියන්න. 

පෝය දවසේ  වැදගත්කම ගැන අවබෝධයක් ඇතුව පෝය දවස ගත කලොතින් දවසේ වටිනාකම වැඩි වෙනවා වගේම නොදන්න කෙනෙක්ට මේ දේවල් කියලා දෙන්නත් පුළුවන් කමක් ලැබෙන නිසාමයි පෝයට කලින් අද දවසේ මේ විස්තර ටික කියන්නේ.

මතකයිද අපි පුංචි කාලේ අහුවා මහාමායා දේවිය දැක්ක ලස්සන හීනයක් ගැන. ඔව් ඔව්... අර ලස්සන සුදු ඇත් පැටියක් නෙළුම් මලක් හොඬෙන් අරගෙන  මහාමායා දේවියගේ සිරි යහන වටා තුන් පාරක් පැදකුණු කරලා, මහාමායා දේවියගේ කුස තුලට ඇතුළු වුනු හීනේ. ඉතින් ඒ ලස්සන හීනේ මහාමායා දේවිය දැක්කෙත්, අප මහා බෝසතානන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගැනීම සිද්ධ වුනෙත් මේ ඇසළ පෝය දවසක.


රාහුල කුමරුගේ උපත සිදුවීමත් , මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රුවක් කියන සතර පෙර නිමිති දකීමත්, නාටිකාවන්ගේ විරූපී රූප දැකීමත් එක්ක සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමත් සිද්ද වෙන්නෙත් මේ ඇසළ පෝය දවසකමයි.




බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්සේ පස්වග මහණුන් පිරිවරාගෙන බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනාව පවත්වපු හැටි, අපි පුංචි කාලේ දහම් පාසලේදී ඉගෙන ගත්තේ හරිම ලස්සන අවස්ථාවක් විදිහට. මිගදාය කියන්නේ මුවෝ ගොඩක් ඉන්න ආරන්‍යක් වගේ තැනක් කියලත්, බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව පටන් ගන්නකොට ඉසිපතන මිගදායේ හිටිය හැම සතෙක්මත් ඒ දිහාවට කන් යොමාගෙන ධර්ම දේශනාව අහන්න සූදානම් වෙච්ච හැටිත්, දෙවියෝ සාධුකාර දි දී මිගදායට එක් රොක් වෙච්ච හැටිත් හාමුදුරුවෝ අපිට විස්තර කලේ අපි ඒ අවස්ථාව ඇසින් දකිනවා වගේ හරිම අපූරුවට.

ඒ විදිහට බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනාකොට වදාලේත් ඇසළ පෝය දවසකයි. 

මංගල ධර්ම දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වීමත් ඒක්ක බුදු සසුනේ මුල්ම පැවිදි ශාවකයා ලෙසින් කොණ්ඩඤ්ඤ තවුසා පැවිදි බිමට ඇතුලත් වෙන්නෙත් ඇසළ පෝය දවසෙමයි.


තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජානන් වහන්සේ  ගණ්ධබ්බ රුක් මූලයෙ දී යමාමහ පෙළහර පෑම සිදුවීමත් , අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් පස්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අරිට්ඨ කුමරු ප්‍රමුඛ ශ්‍රී ලාංකික තරුණයින් 56 දෙනෙකු සසුන් ගත කරමින් ප්‍රථම වරට ලක්දිව තුල මහණ උපසම්පදාව සිදු කිරීම ආරම්භ වීමත් සිද්ධවෙලා තියෙන්නේ ඇසළ පෝය දවසකයි. 



ඒ වගේම පාත්‍රා ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදු වෙලා තියෙන්නෙත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන මහා සංඝ රත්නය මෙරටට වැඩමවා ලක්දිව උපසම්පදා කර්මය නැවත ඇති කිරීම සිදු වෙලා තියෙන්නෙත් ඇසළ පෝය දවසකයි. 

වස් කාලයේ ආරම්භය සනිටුහන් කරමින් භික්ෂූන් වහන්සේලා පෙහෙ වස් සමාදන් වීම සිදු වෙන්නේත් මේ පෝය දවසේදීම තමයි. ඒ කියන්නේ කඨින පිංකම් වලට සුදානම් වෙන්න පටන් ගන්නෙත් මේ පෝයට.

දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු ඓතිහාසික කන්ද උඩරට දළදා පෙරෙහරේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නෙත් මේ ඇසළ පෝය දිනක බව අපේ වංශකතාවල සඳහන් වෙනවා. 



මෙහෙම බලනකොට ඇසළ පෝය  බොහොම වැදගත් සිද්ධීන් රැසක් ඉතිහාසයට එක් කල පෝය දිනයක්. ඉතින් ඒ වටිනා දවස අපටත් අර්ථවත්ව  ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.

Wednesday, June 24, 2015

81. වෙන මොනවද කියන්න පුළුවන් ?



මොන්ටිසෝරි යනකොට, ඉස්කෝලේ යනකොට, පන්ති යනකොට අම්මයි තාත්තයි ඒවට ගෙව්වේ 
ගාස්තු ...  

එතකොට ඒ හැම ඒකකටම යනවට  ළමයින්ට හම්බවෙන්නේ
පොකට් මනී...

ඉගෙන ගෙන ඉවර වුනාම රස්සාවක් කරන්න වුනාම ඔෆිස් එකෙන් ලැබුනේ 
වේතන... 

ලොක්කෙක් වුනාම සේවකයෝ ගන්න වුනාම එයාලට ගෙවන්න වෙන්නේ 
පඩි... 

ලොකු පඩි හම්බවුනාම ආදායම වැඩි වුනාම පඩියෙන් රජයට ගෙවන්න වෙන්නේ 
බදු ...

වාහනයක් ගන්න වුනාම ගෙයක් හදන්න ඕනේ වුනාම බැංකුවෙන් ගන්නේ  
ලෝන්...

වියදම් වැඩි වුනාම අතේ සතේ නැති වුනාම කීයක් හරි ඕනේ වුනාම අතමාරුවකට ගන්න වෙන්නේ 
ණය...

කඩේකට ගියාම, කාටහරි කියලා දෙයක් කරව ගත්තාම එයාට දෙන්න වෙන්නේ 
සන්තෝසමක්... 

එතකොට නීති කැඩුවහම, පොලීසියෙන් අල්ලගත්තහම පොලීසියට ගෙවන්න වෙන්නේ 
දඩ... 

කසාදයක් බඳිනකොට, මනමාලියෙක් යනකොට අරගෙන යන්නේ 
දෑවැද්ද...

කසාදයක් කරගත්තහම ළමා ළපටි හම්බවුනාම හම්බවුනාම ගෙදර දොරේ වැඩ වලට දෙන්නේ
වියදම්... 

එතකොට මංකොල්ලකාරයෙක්ට හරි, හොරෙක්ට හරි අහු වුනොත් නම් ඉතින් ගෙවන්න වෙන්නේ 
කප්පම්...

හැබැයි හොර වැඩක් කරවගන්න හරි, හොරකමක් කරන්න හරි හිතුවොත් නම් ගෙවන්න වෙන්නේ 
අල්ලස්... 

වයසට ගියාම, රස්සාවෙන් අස්වෙන්න වුනාම  ලැබෙන්නේ 
පැන්ෂන්...

මේ ඔක්කොම කරලා  පිනක් දහමක් කරන්න හිතෙනකොට පන්සලකට, පල්ලියකට කෝවිලකට දෙන්න තියෙන්නේ  
පඬුරු...


කොහොමින් කොහොමහරි අන්තිමේදී මේ ඔක්කොටම අපි කියන්න්නේ  
මොනවද දන්නවද 

'
'
'
'
'
'
වෙන මුකුත් නෙවෙයි 

සල්ලි කියලා හි..හි...

 



Wednesday, June 3, 2015

80. ආවොතින් මයේ පුතා ...




කවුළුවට බර වෙලා  
පුතා එයි දෝ  කියා
අදත් උන්නා   බලා
පාරේ යන අය දිහා

තාම ඉස්සර     වගේද
රාජකාරී           වැඩිද
වෙලාවක්     නැතිවාද
ඇවිත් මෙහි යන්න අද

සැඳෑ සමයේ     ගෙවන
මම වගේ අය      හිඳින
තැන් සැප වුනත් ඉන්න
සුවඳ උඹේ නෑ   ගන්න 

උඹ වගේ           පුතාලා
නිතර මෙහෙ    ඇවිල්ලා
වඳින කොට        වැටීලා
පුතා පෙනෙනවා මැවීලා

ඇහෙත් සුද වැඩි වෙලා
හමත් මයේ රැලි වෙලා
පුතේ මට වෙන්  වෙලා
යන කාලේ ලං   වෙලා

ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා
කළු වලා නැති වෙලා
හඳ නැගෙයි හද  පුරා


Wednesday, May 27, 2015

79. කේතකී...


බෝ පතේ සිහිල රැඳි
අමාවක දා රෑක
පින් පිරුණු දෝතකින්
ආමි බුදු පුදට මම...

නැගෙන විට පිය ගැටේ
සාදු නද පැතිරුණේ
පැන් පොදේ සිසිල විඳ  
පෙති විදා හිනැහුණේ...

වෙහෙර පැදකුනු කරන්
බෝ රජුන් නමදිමින්
 නාදරණ පතක් මත
පුද වුනෙමි දෝතින්ම...

නේක මල් සුවඳ මැද
මලසුනේ කෙලවරක
බුදුන් පිදුවා මමත්
සුවඳ දී පින් ගන්න...
 
අපල හැම දුරු වෙන්න
තුටුව සහනය ගන්න
පිපිණු කේතකිය මම
කැලණි වෙහෙරට පිදෙන...





Tuesday, May 19, 2015

78. කරාබු ...

" අම්මා.... බලන්න මේ කරාබු දෙක ලස්සනයිද කියලා... "

අපේ අම්මට මම නිතරම කරන කරදර වලින් එකක් තමයි . වැරදිලාවත් මල්ලිගෙන් හරි, නැත්තම් ඔෆිස් එකේ එක්කෙනෙක්ගෙන්, එහෙමත් නැත්තම් යාළුවෙක්ගෙන් හරි අහන්නේ නැතුව අම්මගෙන්ම එහෙම අහන්නේ හරිම හරි උත්තරේ මට ගන්න ඕනේ නිසයි. ලස්සන වුනත් මල්ලි කොහොමත් කියන්නේ කැතයි කියලා. එතකොට යාළුවෝ , ඔෆිස් එකේ අය, කැත වුනත් කියන්නේ ලස්සනයි කියලා. ඉතින් එහෙම බෑනේ... ඒ නිසා ඒ අයගෙන් අහලා වැඩක් නෑ. අම්ම තමයි හරියටම කියන්නේ ලස්සනයිද නැද්ද කියලා. කරන කියන දේක වුනත් අඩුපාඩු කියන්නෙත්, හොඳයි නම් හොඳයි කියන්නෙත් ඉතින් අම්මාම තමයි.

මම කලිනුත් කියලා තියෙනවනේ තුශානිට තොරොම්බල් ජාති ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔය මාල, වලලු අතරේ කරාබුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. 

හෝව්... හෝව්... මම දන්නවා දැන් ඕගොල්ලෝ හිතන දේ. " තුශානි ඔය කරාබු ටික කොහේ තියලා තියෙනවා ඇතිද කියලා නේද ? "

හ්ම්... ඉන්නකෝ කියන්න ඒ ටික තියෙන්නේ ඩ්‍රසින් ටේබල් එකේ උඩම ලාච්චුවේ රෝස පාට පෙට්ටියක දාලා.  


හි..හි.. ඔයාලා තියෙන තැන දැනගත්තට වැඩක් නෑ. මොකද ඒවා හුඟක් වටින  රත්තරන් ඒවා නෙවෙයි නිසා. රත්තරන් හරි එහෙමත් නැත්තම් වෙන වටින දේවල් වලින් හදපු කරාබු එහෙම තිබුනා නම් තියෙන තැන මම එහෙමත් කියනවද.  

ඒවා ඔක්කොම සාරි වල , ඇඳුම් වල පාටට හරියන්න ගත්තු එක එක මෝස්තරයට තියෙන, ගල් අල්ලපු, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් වලින් හදපු ඒ තරම් ලොකු වටිනාකමක් නැති කරාබු.  

දන්නවද... තුශානිට මුලින්ම කරාබු දෙකක් ගෙනැත් දීලා තියෙන්නේ තුශානිගේ සීයා. ඒ වෙනකොට තුශානිට කරාබු දාන්න කණ විදලා වත් තිබුනේ නෑලු. කණ විදිනකොට මට රිදිලා හුඟක් අඬයි කියලා අම්මා මාව ඩොක්ට ගාවට ගෙනියන්න බෑ කිය කියලු ඒ දවස් වල ඉඳලා තියෙන්නේ. 

ඉතින් ඊට පස්සේ අම්මයි, තාත්තයි, ආච්චියි, සීයයි හතර දෙනාම ඩොක්ටර් ගාවට ගිහින් ආච්චි මාව උකුල උඩ තියාගෙන හිටිලු ඩොක්ටර් කණ විදලා කරාබු දානකන්. සීයා තමයි මාව අල්ලගෙන ඉඳලා තියෙන්නේ. මම අඬනකොට අම්මත් අඬන නිසා තාත්තා අම්ම ගාවට වෙලා ටිකක් එහායින් කරාබු දාන විදිහ බලාගෙන හිටියලු.  මම අම්මගෙන් කරාබු වල ලස්සන අහනකොට ඕක ආච්චි නිතර කියන කතාවක්. 


කොහොමත් අදටත් මම අඬනවා බලාගෙන ඉන්න අම්මට හුඟක් අමාරුයි. අඩුම තරමේ මම මොනාහරි දේකට ඇඬුවා කියලා කවුරුහරි කියනවා ඇහුනත් එයාගේ ඇස් වලට කඳුළු පිරෙනවා. අම්මලා මහමෙරක් තරමට දුක් කරදර ඉහිලුවත් ළමයින්ගේ සමහර පුංචි පුංචි දේවල් දකිනකොට ඇස් වල කඳුළු පුරව ගන්නේ මුළු හදවතින්ම උතුරලා යන අසීමිත ආදරය නිසා කියලයි මට හිතෙන්නේ. ඒ ආදරය හරිම පුදුමාකාරයි.

ඉතින් එදා දාපු ලස්සන පුංචි කරාබු දෙක අදටත් තුශානි අරන් තියලා තියෙනවා ඒ සොඳුරු මතක ටිකත් එක්කම බොහොම පරිස්සමින්. 

මට රිදෙනවා කියලා දැන දැනත්, මම අඬන බව දැන දැනත් හිත හදාගෙන මගේ කණ විදලා කරාබු දාන්න දීලා තියෙන්නේ, කවදාහරි මම ලොකු වෙලා ලස්සන කරාබු දාලා මේ වගේ හැඩ බලයි කියලා අම්මට එදා හිතුන නිසා කියලා අම්ම සමහර වෙලාවට මට කියනවා. 

ඒ වගේම මට රිදෙයි මම අඬයි කියලා එදා එහෙම නොකර හිටියා නම් මම අද දුක් වෙයි නේද කියලත් මගෙන් අහනවා මාව පුංචි කාලේ ලස්සන කලේ නෑ කියලා.  

අම්ම කියන කතාව හරි.. ඔව්..  පුංචි කාලේ මට හිතෙන්න ඇති මෙයාලා මට ආදරේ නැති නිසාද මට මේ රිද්දලා කරාබු දාන්නේ කියලා. ඒත් ඉතින් එදා ඇඬුවට එහෙම නොකර කණ නොවිද තිබුනා නම් අද මට හුඟක් දුක හිතෙයි පුංචි කාලේ ලස්සන කරාබුදාලා නෑ නේද කියලා.

සමහර වෙලාවට ටිකක් කල්පනා කරනකොට හිතෙනවා එදා අම්මා හිතපු විදිහටම සමහර දේවල් ගැන අපිටත් හිතන්න අවස්ථා එනවා නේද කියලා. 

ඒ කිව්වේ අපිටත් සමහර වෙලාවට තව කෙනෙක්ට හුඟක් දුක හිතෙන දෙයක්, හිත රිදෙන දෙයක් කරන්න වෙනවා පස්සේ කාලේක ඒ කෙනාටම වෙන යහපතක් ගැන හිතලා. හරියටම මේ කරාබු දාන සිද්ධිය වගේම.

ම්... ඇයි එහෙම කරන්නේ කියලා මුලින් දුක හිතුනත් ටික කාලේකට පස්සේ එහෙම කරපු එක හොඳයි නේද කියලා හිතෙන වෙලාවල්. ඔව්.. එහෙම අවස්ථාවල් අපි හැම කෙනෙක්ගේම ජීවිත වල තියෙනවා.

කියන්න බලන්න මොකද හිතන්නේ ? ඔයාලත් ඒවගේ අවස්ථා වලට මුහුණ දීලා ඇති නේද ? 



Monday, May 11, 2015

77. කොළොම්පුර වෙසක් සිරි ...

බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දියන උදා වෙලා දින කිහිපයක් ඒ වෙනකොට ගෙවී ගිහින් තිබුනත්, වෙසක් සඳේ නම් පුංචි වෙනසක්වත් දකින්න තිබුනේ නෑ. ඈත අහසේ කළු වලාකුළු අයින් කරලා ශ්වේත වර්ණ සඳ කිරණින් මුළු කොළොම්තොටම නැහැවෙමිනුයි තිබුනේ. 

කුණු දූවිලි වලින් පිරුණු ඝෝෂාකාරි කොළොම් පුරවරය හරියට සිල් අරගෙන වගේ සුදු පිරුවට ඇඳගෙන නිසොල්මනේ වෙසක් සිරිය විඳ ගනිමින් හිටියා. 

තැන තැන ඉදිවුනු වර්ණවත් පහන් කූඩු අතරේ ඉදිවුනු මහා තොරණ, බොහොම තේජස් බවකින් ෂඩ් වර්ණ රශ්මි ධාරා විහිදුවමින් හරි අපූරුවට ආලෝකමත් වෙලා තිබුනා. 

මුහුද පහුකරගෙන ගොඩ බිමට ඇදුනු සීතල සුලඟ ඇඟේ දැවටෙනකොට හිරිගඩු පිපෙන තරමට සීතල දැනුනත්, ඒ ගැන හිතන්නවත් නිනව්වක් ඒ වෙලාවේ කාටවත් තිබුනේ නෑ. 

ඕනේ වුනේ මනමාලියක් වගේ ලස්සනට සැරසිලා ඉන්න මේ කොළොම්පුරවටයම එක දසුනක් විදියට පියවි ඇහින්ම දකින්න තියෙන ආසාව සපුර ගන්න.

ඒ නිසාවෙන්මයි, කොළොම්තොටේ අඩි 250 ක් ඉහලින් කිරි පාටට බැබලෙන වරාය බුද්ධ ජයන්ති චෛත්‍ය පිහිටි උඩු මහලට ගිහින් මේ වෙසක් සිරිය නරඹන්න ඕනේ කියලා කල්පනා කලේ.




පඩිපෙල් ගොඩක් නැගලා උඩට යන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නොවුනත්, අන්තිම පඩියට අඩිය තියනවත් එක්කම ඒ තිබුනු මහන්සිය, මුහුදු හුලඟට එකපාරටම ගහගෙන ගියා වගේ අතුරුදහන් වුනා.

ඒත් එක්කම හුලං පාරට මූණට වැටුනු කෙහෙ රැලි එකින් එක අතින් අයින් කරන්න වත් මතකයක් නැති වෙන තරමටම, දැකපු මනස්කාන්ත දර්ශනය හිත වශී කරගත්තේ, ඇහිපිය ගහන්නත් පුංචි වෙලාවක් වත් ගන්නේ නැතුවයි. 

පාට පාට විදුලු බුබුළු වලින් අලංකාර වුනු ගොඩනැගිලි , මං මාවත් හරියට පාට පාට බ්ල්ඩින් බ්ලොක්ස් ටිකක් තැනින් තැන තියලා වගේ එක එක පාටින් බොහොම පුංචියට හරිම ලස්සනට පෙනුනා. 

හඳ එලිය එක්ක හිනාවෙන මුහුදු රළ පේලි, එකින් එක උඩට මතුවලා හඳට ස්තූති කරමිනුයි හිටියේ. ඒත් එක්කම ඈත දියඹට යන මහ විසාල නෞකා හරියට පාවෙන තොරණ වගේ ක්ෂිතිජ රේඛාවේ තැනින් තැන පාට පාටින් හැඩ කරලා තිබුනා හරිම අපූරුවට.

අහසත්, මුහූදත්, ගොඩබිමත් එක පාර, එක අහිපිල්ලමක් යටට ගන්න පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින්. මධ්‍යම රාත්‍රිය එළඹෙන්න හෝරා කිහිපයකට මත්තෙන්, සීතල රෑක, මුහුදු හුලඟට මුළු ගතම දැවටුනු වෙලාවක ඇස් අදහන්න බැරි මේ වගේ දර්ශනයකින් හිතට ඇතිවෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන එක වචන වලින් විස්තර කරන්න බැරි සුන්දර අත්දැකීමක්. 

ඒ දර්ශනයම ඡායාරුපයකට ගන්න අවස්ථාවක් ඒ වෙලාවේ නොතිබිච්ච එක ගැන නම් හිතේ තියෙන්නේ ලොකු කනගාටුවක්.  පහල තියෙන්නේ ඊට ටිකක සමාන අන්තර් ජාලයෙන් හොයා ගත්ත ඡායා රූපයක්.


මේ තියෙන්නේ තුශානි ගත්ත කොළොම්තොට වෙසක් කලාපයේ පහන් කූඩු වල ඡායාරූප ටිකක්.













මහා තොරණ රාජයා තමයි මේ.


කොළොම්තොට වෙසක් අසිරිය සියසින් නොවිඳි අයට ඒ අසිරිය මේ විදිහට හරි අරගෙන එන්නයි මේ පින්තූර ටික එකතු කලේ.

Friday, April 17, 2015

76. කිටි කිටි ගවුම

හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. 

ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සන මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. 


ඔන්න එක අවුරුද්දක තුශානිට නැන්දාගෙන් ලැබුනු අවුරුදු ගවුම තුශානිට ටිකක් හිරටයි තිබුනේ. 

ඔව් අනේ... තුශානි ටිකක් බතල වෙලා හිටියේ.  හි..හි...

හෝව් හෝව්... ඉතින් කලින් අවුරුද්දට වඩා ඊලඟ අවුරුද්ද වෙනකොට ඕනම ළමයෙක් ටිකක් උස
වෙනව මහත වෙනවනේ.. නේද ? 

ඉතින් තුශානිත් ටිකක් උස වෙලා චූට්ටක් විතර මහත් වෙයි කියලා  නැන්දාට අමතක වෙන්න ඇති. 

අයියෝ චුට්ටක් හිර වුනාට මොකද, අවුරුද්දට නැන්දා ලස්සනට මහලා දීපු ගවුම අඳින්නේ නැතුව ඉන්න පුළුවන්යෑ. ඒ නිසා ටිකක් අමාරුවෙන් වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තා. වැඩේ කියන්නේ ගවුම මහලා තිබුනු පැට්න් එකේ හැටියට ඒ ගවුමට සිප් එකක් වත් දාලා තිබුනේ නෑ. ඒ නිසා මුලින්ම අත්දෙක දාලා ගවුම ඔළුවෙන්ම දාලා තමයි ඇඳගන්න වුනේ. ඔන්න ඔය පල්ලේහා රුපේ තියෙන විදිහට තමයි ගවුම තිබුනේ. 



ටිකක් හිරට වුනත් කොහොමහරි ගවුම ඇඳගත්තනේ... ඊට පස්සේ ඉතින් සුපුරුදු විදිහටම නංගිලා දෙන්නයි මල්ලියි එක්ක ගමේ යාළුවන්ට දෙන්න ගෙනිච්ච දේවලුත් අරගෙන උදේ ඉඳලා ගමේ හැමතැනම ඇවිදින්න යනවා. 

තුශානිට ඉන්නේ මල්ලි කෙනෙක් නිසා තුශානිට අඳින්න බැරි ඇඳුම් ගොඩක් වෙලාවට ගමේ ළමයින්ට දෙන්න ගෙනියනවා. සමහර ඇඳුම් මම එක පාරකට වඩා ඇඳපු නැති ඒවා. සපත්තු සෙරප්පු, බෑග් හොඳ තත්වේ තියෙනවා නම් ඒවත් අරගෙන යනවා ටිකක් අගහිඟකම් තියෙන ළමයිට දෙන්න. හුඟක් දවස් වලට ගෙදරින් ගෙනියනකොටම ගෙනාපු දේවල් වලින් ටිකක් අඩුවෙනවා. මොකද අපේ නංගිලා දෙන්නටත්  ඒවා හරියන නිසා එයාලත් ඒවයින් ටිකක් කොහොම හරි ගන්නවා. 

ගමේ ළමයිනුත් ගෙනිච්ච ගමන් ඇඳුම් ඇඳලා අපිටත් පෙන්නනවා කොහොමද කියලා. ඒ වෙලාවට නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. මට හිතෙන්නේ මගේ ඇඳුම් මට වඩා ලස්සනට තියෙනවා වෙන ළමයි ඇන්දහම. අහ්..  අද වගේම ඉස්සරත් තොරොම්බල් ගොඩක් තුශානිට තිබුන නිසා ඇඳුම් වලට හරියන මාල ,වලලු, කොන්ඩ කටු, ටිකකුත් අරගෙන යන්න තුශානි අමතක කරන්නේ නෑ. ඉතින් ඒවත් දාල කොන්ඩේ ලස්සනට පීරලා කටු ගැහුවහම ඇඳුම් වල හැඩ හරි ලස්සනට කැපිලා පේනවා. 



සමහර වෙලාවට මගේ ඇඳුම් ඒ ළමයි ඇඳගෙන අපිත් එක්ක එකට සෙල්ලම් කරනකොට අපේ අම්මටයි තාත්තටයි මාවයි ඒ ළමයින්වයි පැටලෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මොකද එයාලා දැකලා තියෙන්නේ මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්නවනේ.

කොහොමින් කොහොමහරි ගෙනාපු දේවල් දාගත්ත බෑග් ටිකත් අතින් කටින් එල්ලගෙන ගමේ හැමතැනම ගිහින් දවල් කෑම වෙලාවට තමයි ගෙදර එන්නේ.

සාමාන්‍යයෙන් ගමේ ඇවිදින්න ගියාම ගස් වල තියෙන එක එක පලතුරු ජාති කඩාගෙන කාලා, අඳුරන ගෙවල් වලට ගියාම හම්බවෙන එක එක ජාතියේ කෑම ජාති කාලා ආපහු ගෙදර එන්නේ දවල් කෑම කන වෙලාවත් සෑහෙන පහුවෙලා. ඒත් ඉතින් බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයට මිසක් බඩගිනි වෙලා නම් නෙවෙයි.  

තේ, තැඹිලි, බෙලිමල් වගේ දේවල් බොන්නත් මඤ්ඤොක්කා, දන්දින්නල, රාජාල වගේ අල ජාති කන්නත්, කජු පුහුලන්, අන්නාසි, පේර, දොඩම් වගේ පලතුරු ජාති කන්නත් ගමේ ඇවිදිනකොට අපිට හම්බවෙනවා. සමහර වෙලාවට අපි එනවා කියලා දන්න නිසා හැලප, වැලි තලප, ආස්මි වගේ කැවිලි ජාති හරි විශේෂ මොනාහරි හරි හදලා තියෙන වෙලාවලුත් තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි ගෙදර ගේන්නත් ගොඩක් දේවල් ඒ ගෙවල් වලින් ලැබෙනවා. කජු පුහුලන්, කෙසෙල්, අන්නාසි වගේ පලතුරුත්, තේ කොළ පැකට්, කුරුඳු, ගොරකා, ගම්මිරිස් වගේ දේවලුත් අතින් කටින් උස්සගෙන තමයි අන්තිමට ගෙදර එන්නත් සිද්දවෙන්නේ. 

කොහෙන් මොනදේ කාලා බීලා ආවත් ගෙදර ඇවිත් දවල් කෑම කන එක නම් අනිවාර්ය දෙයක්. මහන්සිවෙලා අපිටම කියලා නැන්දගේ අතින්ම හදපු කෑම නොකා හිටියෝත් නැන්දා තරහ වෙයි කියලා කිය කිය තමයි අත්තම්මා අපිට කෑම බෙදන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි ටිකක් කන්නම වෙනවා. කොහොම වුනත් නැන්දගේ කෑම වල නම් තියෙන්නේ පුදුම රසක්. කෑම විතරක් නම් කමක් නෑ. කෑම කාල කිරි පැණි කන්නත් එපායෑ. 

හැබැයි ඔය ඔක්කොටම කලින් අපි හැමෝම නාලා තමයි කෑම මේසේට වාඩි වෙන්න ඕනේ. මොකද උදේ ඉඳලා, තේ ගස් අස්සේ, කුඹුරු වල, කැලෑ වල ගිහින් මඩ ගාගේන, දාඩිල නාලා නේ ඉන්නේ. අපේ අම්මගේ වචන වලින් කියනව නම් හඩ්ඩො ටිකක් වගේ තමයි ගෙදර එන්නේ. හි..හි.. 

ඔන්න එතකොට තමයි වැඩේ පටන් ගත්තේ. කිටි කිටියේ හිරට ගවුම ඇඳගෙන ගියාට කාටද අනේ ඕක ගැන හිතන්නවත් වෙලා තියෙන්නේ. ගමේ කොයි තරම් දේවල් තියෙනවද කරන්න.

ගවුම ගලවන්න තියා හිතන්නවත් බැරි තරමට හිර වෙලා. සිප් එකකුත් නැති නිසා ඔලුවෙන්ම එපැයි ගලවන්නත්. අම්මට ගලවන්න බැරි තැන නැන්දයි අත්තම්මයිත් ඇවිත් දැන් මගේ ගවුම ගලවන්න හදනවා. 

ටිකක් හිතලා බලන්නකෝ කට්ටියම වටවෙලා ගවුම ගලවන්න හදනකොට මට මොනා හිතෙන්න ඇත්ද කියලා. 

දන්නවද...  ඒ වෙලාවේ නම් මට හිතුනේ ගවුම හිර වෙලා මාව මැරෙයි කියලා.  හි..හි... 

මම ඉතින් බයටම හයියෙන් අඬන්න ගත්තා. මම අඬනවා දැකලා නංගිලා දෙන්නයි මල්ලියිත් හොඳටම අඬනවා.

" දූ චුට්ටක් අඬන්නේ නැතුව ඉන්න මම ගවුම පිටිපස්සේන් කපන්නම්" කියලා නැන්දා කතුර අරගෙන ඇවිත් ගවුම කපලා තමයි මාව බේර ගත්තේ. 

ඊට පස්සේ තුශානිට සතුටු හිතෙන්න ඇති කියලා නේද හිතන්නේ.. කොහොම සතුටු වෙන්නද අවුරුදු තෑග්ගට හම්බවුනු ගවුම ඉරිලා තියෙනවා දැක්කහම. 


" මම දූ ට වෙන ගවුමක් මහලා දෙන්නම් දැන ඉක්මනට නාලා එන්නකෝ බත් කන්න."  කියලා නැන්දා කිව්වහම තමයි ඔන්න ටිකක හරි ගියේ.

කොහොම වුනත් එදායින් පස්සේ නම් තුශානි කවමදාකවත් හිරයි වගේ කියලා හිතෙන ඇඳුම් අමාරුවෙන් අඳින්න ගියේ නෑ.  

හෙටත් ගමේ යනකොට නැන්දා ලස්සන අලුත් ගවුමක් මහලා, රසට කෑම උයලා තියයි කියලා හිතුනත් එහෙම වෙන්නේ නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකක්. 

ඒ මීට හරියටම මාස තුනකට කලින් හදිසි අනතුරක් වෙලා නැන්දා අපිව දාලා ගියපු නිසා. හෙට අපි යන්නේ නැන්දගේ තුන් මාසේ දානේට.

ඒ නිසා මේ අවුරුද්දේ වෙනදා වගේ තුශානිට අලුත් ගවුමක් තෑගී ලැබෙන්නේවත් නැන්දාගේ රස කෑම කන්න ලැබෙන්නේ වත් නෑ.  අලුත් ගවුමක් නැතත් මහ ගෙදරට ගොඩවෙනකොට හිනාවෙලා ඉස්සරහට එන නැන්දා ගේ ලස්සන මූණ හෙට දකින්න නොලැබෙනකොට මොනවා හිතෙයිද කොයි විදිහට ඒක දැනෙයිද කියන එක තුශානිට තාමත් හිතා ගන්න බෑ.



Related Posts Plugin for WordPress, Blogger...