Saturday, November 23, 2013

සිපිරි ගෙවල් - 2 කොටස

ගෙවුනු සතිය හුඟක් කාර්යබහුල සතියක්. ඉඳහිට බ්ලොග් එක පැත්තේ අවිත් ගියත් පෝස්ට් එකක් ලියන්න තරම් ඉඩකඩක් හොයාගන්න තුශානිට අවස්ථාවක් ලැබුනෙම නෑ.

කලින් ලියපු පෝස්ට් එකෙන් චාල්ස් දයානන්ද මහත්තයගේ  "සිපිරි ගෙයක වසර හයක් " පොත ගැන දුන්න හෝඩුවාවත් එක්ක තුශානි දීපු පොරොන්දුව ඉක්මනටම ඉෂ්ට කරන්න ඕනේ හින්දම කොහොමහරි වෙලාවක් හොයාගෙන පොත ගැන පුංචි විස්තරයක් ලියන්න ඕනේ කියලා හිතුවා




මේ තියෙන්නේ පොතේ පිටකවරේ ඡායාරූපයක් ...

සය වසරක කාලයක් හිර ගෙදර විඳි අත්දැකීම් පාදක කරගෙනයි චාල්ස් දයානන්ද මහත්තය මේ පොත ලියලා තියෙන්නේ. සිර ගතවෙලා හිටපු කාලේ සිදුවෙච්ච සිදුවීම කඩදාසිවල සටහන් කරගැනීම වගේම විශේෂ සිදුවීම් චිත්‍රයට නැගීමේ පුරුද්දත් නිසා පසු කාලීනව ඒ තොරතුරු මේ විදිහට පොතක් වශයෙක් එලිදක්වන්න හේතුපාදක වෙලා තියෙනවා. 

හැම කෙනෙක්ටම පොත හොයාගෙන කියවන්න අවස්ථාව නැති නිසා, පොතේ තිබුන ටිකක් සුවිශේෂි සිදුවීම් කීපයක් ගැන කෙටියෙන් හරි සටහනක් තියනවා. හැබැයි ඒ, පොත කියවපු පාඨකයෙක් විදියට මගේ හිත‍රැදි අවස්ථා. 

හිර ගෙදර පාටි 
උසාවියෙන් වරද කරුවන් ලෙස තීන්දු කරපු අය බරපතල වැඩ සහිත, දීර්ඝ කාලීන, කෙටි කාලීන සිර දඬුවම් නියමවු අය විදිහට වර්ග කෙරෙනවලු. මරණ දඬුවම නියම වෙච්චි අය ( කණ්ඩෙම් කාරයන් ) හැර අනික් අය හැමෝම උදේ 8.00 ඉදන් හවස 4.00 වෙනකන් වැඩ පාටි වල වැඩ කරන්න ඕනෙලු. වඩුපාටිය, ටින්කර්පාටිය, දරපාටිය, කුස්සිපාටිය, ටේලර්පාටිය විදිහට ඒව පාටි විදියට වෙන්වෙලා තිබිලා තියෙනවා. පාටි වල වැඩ ගැනත්, හිරගෙදර සමාජ පසුබිම ගැනත් හුඟක් අපි නොදන්න දේවල් සවිස්තරව සඳහන් වෙනවා.

උම්බලකඩ සෑදීම හා පොල් කිරි ලබා ගැනීම 
හිරගෙදරදි කන්න හම්බවෙන කෑම වේල ගැන බොහොම අපූරු විස්තරයක් පොතේ තියෙනවා. තමන්ට කෑමට ලැබෙන කෑම වේලට අමතරව හිර කුටිවල හදපු විශේෂ කෑම ගැනත් පොතේ සඳහන් වෙනවා.උදේට හම්බවෙන පොල් සම්බෝල එකතුකරගෙන මිරිකලා තමයි ඒවට ඕනකරන පොල් කිරි හොයාගෙන තියෙන්නේ. දවල්ට හම්බවෙන මාලු කෑලි කුඩා කැබලි වලට කුඩු කරලා කෝප්පෙක දාලා හිර කාමරේ බල්බ් එක යට දවස් කීපයක් තියලා තමයි කෑම රසවත් කරගන්න උම්බලකඩ හදාගෙන තියෙන්නේ.

කොරතිකාරයෝ 
සමහර සිරකරුවන් තමන්ගේ දක්ෂතා එක්ක විවිධ නිර්මාණවල නියලිලා තියෙනවා. එහෙම හදපු කලා කෘති වලට කියලා තියෙන්නේ " කොරති " කියලා. ඒවා මුලාදෑනීන්ට විකුණලා කට්ටිය සල්ලි හොයපු හැටිත් පොතේ අපූරුවට විස්තර වෙනවා.

පච්ච
හිර කරුවන්ගේ තිබිච්ච පච්ච ගැන කතා නම් හරිම රසවත්.. 

ම්... ඒ අතරින් එකක් මේ;

එක් පුද්ගලයකුගේ අතේ පච්චයක් ඉවත්කිරීමට ගත්තු කැලලක් ඉතිරි වෙලා තිබිලා තියෙනවා. පැල්ලමට යටින් " සෝමා" කියලත් ලියලා තිබිලා තියෙනවා. ඒ ගැන ඒ පුද්ගලයගෙන් අහුවහම කියලා තියෙන්නේ " පද්මා තරහවූ පසු සෝමා සමග යාලු වු බවත් පත්මා කියන නම සූරා දමා සෝමා කියා කොටා ගත් බවත් සෝමාද තරහවුවහොත් අයෙත් ගෑණුන්ගේ නම් කොටා නොගන්න බවත්ලු.. 

හොඳ හිත, ගැහුවොත් ගහනවා, එකහිත, බුදු සසුන බැබලේවා , වගේ පච්ච කොටාගෙන හිටිය අය ගැනත් පොතේ රසවත්ව විස්තර වෙනවා.

එල්ලුම්ගහ  

එල්ලුම් ගහ ගැනත්, පස් දෙනෙකු එල්ලා මරපු ආකාරය ගැනත් පොතේ සඳහන් වෙනවා. ඒ අයගෙන් පෝරකය වෙත දෙපයි ගොස් ඇත්තේ එක් අයෙක් පමණයි. ඔහුත් සිහිවිකලෙන් හිටපු එක්කෙනෙක්. ඒ අවස්ථාවන් කොච්චර සංවේදීද යන්න චාල්ස් දයානන්ද ශූරීන් ඒ අවස්ථා වචනයට පෙරලා තිබූ අකාරයෙන්ම හැඟුනා කිව්වොත් හරියටම හරි .

එල්ලුම් ගහට නියමවූ අය අතරි
න් මරු සිරා ගැන කතාවත්, හතර පාරක් මරණ දඬුවමෙන් බේරිච්ච සුමතිපාල ගැන කතාවත් මගේ හිතට තදින්ම දැනුනා.

හුඟදෙනෙක් පොතගැන ලියන්න කියලා කරපු ඉල්ලීම නිසා මෙහෙම කෙටියෙන් සඳහනක් කලත් මේක කොහොමටවත්ම ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ හැඟීම. 


ඒ නිසා පොත හොයාගෙන කියවලාම බලන්න කියාලා ඔන්න තුශානි පෝස්ට එක අවසන් කරන ගමනුත් අපහු මතක් කරනවා.

22 comments:

  1. මේ විස්තරේ කියවන කොට පොත කියවන්න ආස හිතුනා. තදින් ම හිතට දැනුනේ උම්බලකඩ යි, පොල් කිරි හදා ගත්ත විදිය. හ්ම්ම්, ඔය මරු සිරා මැරුණ හැටි කාලයක් පත්තරේ ගියා. ඒ දවස්වල මම නං උනන්දුවෙන් කියෙව්වා ඒ ගැන!

    ReplyDelete
    Replies
    1. ධාරව, තුශානිගේ බ්ලොග් එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා...

      විස්තර ලිව්වේ හරිම කෙටියෙන්... පොත කියවලම බලන්න පුළුවන් නම් හුඟක් හොඳයි...

      Delete
  2. මොනාද කියන්නෙ තුශානි,ඇවිල්ල බැලුවා.

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගියාට හුඟක් ස්තූතියි...

      කට්ටිය පොත ගැන ටිකක් ලියන්න කිව්ව නිසයි ආපහු පොස්ට් එකක් දැම්මේ.

      Delete
  3. පොතට ඕඩරේ ලංකාවට දැම්මා ලගදිම ලැබේ වි....මේ විස්තරෙත් එක්ක පොත කියවිමේ පෙරේත කම තවත් වැඩි උනා.ස්තුති තුශා

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි... ඔන්න පොත කියවලා මොනාද හිතුනෙ කියලා අපහු මට කියන්න ඕනේ හොඳේ...

      Delete
  4. මේ පොතේ ප්‍රකාශකයෝ කවුද ? මාත් පොත හොයාගෙන කියවලා බලන්න ඕන.. ස්තූතියි විස්තරේට !

    ReplyDelete
    Replies
    1. ප්‍රකාශනය කරලා තියෙන්නේ - අගහස් ප්‍රකාශකයෝ

      ඔන්න අපි පොරොන්දු ඉෂ්ට කලා හරිද...

      Delete
    2. හරියෝ... බොහොම ස්තූතියි තුෂානි !

      Delete
  5. මාත් අහලා තියෙනවා ඔය හිර කාරයො කෑම උයා ගන්න එක ගැන.
    ඔය කියලා තියෙන නිර්මාණ ගැන කියනවානම් ඇත්තෙන්ම පුදුමාකාර ලස්සන නිර්මාණ තියෙනවා ඒ ගොල්ලො කරන.

    ReplyDelete
    Replies
    1. හිර ගෙදරදි කරන නිර්මාණ එයාල හඳුන්වලා තියෙන්නේ කොරති කියලා.

      පොල්ක‍ටු, දත් බුරුසු මිටවල් වගේ අපතේ යන දේවල පාවිච්චි කරලා මුදු, මාල, කී ටැග්ස්, මල් වාස්, ලෑම්ප් ශෙඩ්ස්, හදලා ඒවා විකුණලා සල්ලිත් හොයාගන්නවලු.

      Delete
  6. හිරකරුවන්ට ඉස්සර කරන්න තිබුනේ ලණු ඇඹරීම, පාත්ති කෙටීම වගේ බර වැඩ. රුපියලක් තමයි දවසකට ගෙවලා තියෙන්නේ. දැන් කීයක් ගෙවනවාද දන්නේ නැහැ. 2003දී නුවර දානපතියකුගේ මාර්ගයෙන් බෝගම්බර හිරකරුවන්ට වැඩ කිරීම සඳහා මැෂින් 90ක් සහිත ගාමන්ට් ෆැක්ට්‍රි එකක් හදලා තියෙනවා. 150ක් වැඩ කරලා තියෙනවා. රු.3000ක් මාසෙට ගෙවලා තියෙනවා. එතකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් හිටියේ මගේ ඥාතියෙක්. ඒ නිසා මම මේ ගැන දන්නවා. දැන් තත්වය දන්නේ නැහැ. හිර ගෙදර රස කතා බොහොමයයි.

    ReplyDelete
    Replies
    1. පෝස්ට එකට තවත් කරුණු එකතුකලාට හුඟක් ස්තූතියි...

      හිර ගෙදර කතා හරිම රසවත් වුනත් ඒ ජීවිත හරිම අසරණයි..

      කැම්පස් ගිහිල්ල වත් ඉගෙන ගන්න බැරි හුඟක් දේවල් හිරගෙදර ජීවිත වලින් ඉගෙන ගන්න පුලුවන් කියලා කතෘතුමාත් කියලා තිබුනා.

      Delete
    2. ///හිර ගෙදර කතා හරිම රසවත් වුනත් ඒ ජීවිත හරිම අසරණයි.///.

      සිරගෙදර පවා....ඇත්තෝ කති බොති..සහ අනෙකුත් සැප ලබති....ඒක තමයි තිත්ත ඇත්ත තුශානි.

      Delete
  7. මම ලංකාවෙන් එන දවස් වල මේ ලිපි කීපයක් ලංකාදීප පුවත්පතේ පල වුනා. ඒවා නම් මම කියවා තිබෙනවා...හිර ගෙදර තේ එකක් බොන්න වතුර රත් කරන හැටි දන්නවද ? ඔය ප්ලාස්ටික් ලීටර් 1.5 වගේ බීම බෝතල් තියෙන්නෙ...අන්න ඒ බෝතලේකට වතුර පුරවලා පටියකින් උඩ එල්ලනවලු. ඊට පස්සෙ කඩදාසි වලින් යටින් ගින්දර දානවා....ප්ලාස්ටික් බෝතලය උණු නොවී ඇතුලෙ වතුර නටනවලු...කඩදාසි වලින් පමණයිලු ගින්දර ගන්න ඕනෙ...නැත්නම් වැඩේ ජෝන් බාස්ට යනවලු....ඇතුලට ගිහින් ආපු එකෙක් තමයි කිව්වෙ...නැත්තං මම මේවා දැකලා නෑලු...

    ReplyDelete
    Replies
    1. කරුණු එකතුකලාට ඔයාටත් හුඟක් ස්තූතියි...

      සිරා අයියා දන්නවද හිර ගෙදර කට්ටිය ගින්දර හොයාගන්න විදිහ ?

      ගිනි පෙට්ට්, ලයිටර් ලඟ තියාගන්න දෙන්නේ නැති නිසා එයාලා කරන්නේ ටොනික් මූඩියක් හොයාගෙන මැදින් සිදුරු දෙකක විදලා ඒ අස්සෙන් නූලක් ඇදගෙන එක් කෙලවරක් කකුලේ මාපට ඇගිල්ලේ පටලවගෙන අනිත් කෙලවර දකුණු අතේ තියාගෙන රවුම් කීපයක් කරකවලා අදිනවලු. ඊට පස්සේ රෙදි පාන්කඩයක් හරි හදාගත්ත පාන්කඩයක් හරි ඇඟිලි දෙකකින් ගල් කැටයකුත් එක්ක අල්ලලා බඹරේ වදින්න සලස්සනවලු. ටික වෙලාවකින් ගිනි පුළිගු අතිවෙලා ගින්දර අවුලුව ගන්නවලු.

      Delete
    2. තුශානි......දැන් නම් කුඩුත් හිරගෙදර ගංජාත් හිරගෙදර තියෙන නිසා ලයිටරුත් අනිවාර්යෙන් ඇති. නිර්මාණශීලි හිරකරුවන් දැන් ඒවායේ ඇතුලේ නැතිවී ගෙන යන බව අහලා තියෙනවා.

      Delete
    3. ඔව්.. ඒකනම් ඇත්ත තමයි..

      Delete
  8. අර පච්චේ ගැන කියපු විස්තරේ නම් මරු.. පොත ඉතින් කියවන්න ලැබෙයිද ශුවර් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැමෝටම කියවන්න ලැබෙන්නේ නැති නිසයි කෙටියෙන් හරි මෙහෙම ලියන්න ඕනේ කියලා හිතුවේ..

      Delete
  9. ස්තුති යි තුශානි. මමත් මේ පරිසරය ගැන වැඩිය කියවලා නෑ.

    ReplyDelete
    Replies
    1. පොත හොයාගෙන කියවන්න පුළුවන් නම් තව හුඟක් දේවල් දැන ගන්න පුලුවන්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...