Thursday, November 7, 2013

දඟකාර වස්සානය ...



වස්සාන කාලය ආරම්භ වුනත් එක්ක වැස්ස බොහොම දඟකාර විදිහට අපි අතරට ආවා. ඒ නිසාම මේ දවස් වල අපි හැම කෙනෙක්ම වැස්සේ මේ දඟකාරකම් වලට මුහුන දෙනවා. මේ දැනුත් අපිට හොඳටෝම වැස්ස.  ඉතින් ඒ නිසා වැස්සේ මේ දඟකාරකම ගැන පුංචි හරි සටහනක් බ්ලොග් පි‍ටු අතරට දැම්මොත් හොඳයි කියලා මට හිතුනා..

                           


පුංචි කාලේ නම් වැස්ස කිව්ව ගමන් අපේ මතකයට මුලින්ම එන්නේ කඩදාසි බෝට්‍ටු. එක එක සයිස් එකේ බෝට්‍ටු හදාගෙන වැස්සේ ඒවා පාවෙලා යනහැටි හරිම ආසාවෙන් බලන් හිටියා . කොළයක් දෙකට තුනට නමමින් තත්පර කීපයකින් ඒක බෝට්‍ටුවක් බවට පත්කරන්න අපේ අඟිලි තුඩු සමත් වුනා. 
                             


දේදුන්නකට යන පාර හොය හොය, හබරල කොලයක් ඉහලගෙන කෙහෙල් කොට වලින් හදපු පාරුවක නැගලා මුහුදු කොල්ලකාරයො වෙච්චි හැටි හරිම සුන්දර මතක සටහන්.

වැස්සෙ තෙමෙන්න එළියට බහින්න තහංචි වුන දාට වැහි බින්දුවක් තරමටම  මූණ බෙරි කරගෙන ජනෙල් කවුළු වලින් වැස්ස දිහා බල බල හූල්ල හූල්ල ජනේල් වීදුරුවෙ චිත්‍ර ඇදපු හැටි එදා දඩුවමක් වුනත් අද ලස්සන මතකයක්.





වැස්සේ සීතලටත් ගොරෝ මාමගේ ගෙරවිලි සද්දෙටත් බයවෙලා අම්මගෙ තුරුලේ උණුසුමට ගුලිවෙලා නිදාගත්ත හැටි අදටත් අමතක කරන්න බෑ. 

                                   


ඉස්කෝලේ යන්න අදිමදි කරලා හොරට ගෙදර නැවතුනු හැටිත්, ඊට පස්සේ  ඔළුවෙ ඉදන් පෙරෝගෙන නිදා ගත්ත හැටිත්, වැස්සේ තෙමි තෙමි සෙල්ලම් කරලා උණු උණු කෝපි කෝප්පයකින් ඇඟ උණුසුම් කරගත්ත හැටිත් අපි හැම කෙනෙක්ම වගේ කරපු සොඳුරු වැරදි. 

                            


වැස්ස මේ හැම සොඳුරු මතකයක්ම එදත් අදත් හෙටත් අපි වෙත දඟකාර කමින් ‍රැගෙන එන්නේ අපේ දඟකාරකම් අපිට මතක් කරන්නදෝ කියල මට හිතෙනවා .ඒ නිසාම එදත් අදත් හෙටත් අපි වැස්සට හුඟක් ආදරය කරාවි....

18 comments:

  1. නවතින්නෙ නැති වැස්ස නිසා මෙහෙම කතාවක් ලියවුනා නේද,පොඩි කාලෙ වැස්සට ආදරේ කරපු තරම මතක් වෙනකොටත් ආසයි.
    කුඩ රේන්කෝට් පැත්තකට විසිකරලා වැස්සෙ තෙමිච්චි හැටි,මොනතරන් සුන්දරද.

    ReplyDelete
    Replies
    1. ඔව්... නවතින්නේ නැති වැස්ස දැක්කහම, පොඩි ළමයෙක් වගේ එලියට පැනලා වැස්සට තෙමෙන්න බැරි එක ගැන හරියට දුක හිතුනා.

      වැස්සේ තෙමෙන්න මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි...

      Delete
  2. පුංචි කාලේ මතක් උනා අපිත් වැස්සේ තෙමීගෙන බයිසිකල් රිම් එක කෝටුවෙන් පැදගෙන ගාළු පාර දිගේ රවුං ගහපු හැටි මතක් වෙනවා. ඒ යනකොට සාක්කුවේ දාං යන සිලි සිලි බෑග් වලට ඇලවල් වල ඉන්න ගප්පි පුරවගන්න කොච්චර වතුරේ බැහැගෙන හිටියද ඒ කාලය පුරාම රිම් එක කරෙත් එල්ලන් හිටියා මතකයි..

    ReplyDelete
    Replies
    1. සිලි සිලි බෑග් වලට මාළු අල්ලා අම්මලගෙන් බැනුම් අහපු හැටිත් වැස්සේ තෙමිලා ලෙඩවෙලා අඳට වෙලා හිටිය හැටිත් අමතක කරන්නම බෑ නේද..

      Delete
  3. සමහර වෙලාවට වහිනවා වහින ඉවරයක් නැතිවුනාම කොච්චරනම් වැස්සට අපි බනිනවද?ඒත් ඇත්ත කතාවනම් අපි හැමෝම වැස්සට ආදරේ කරනව..මොකද වැස්සත් එක්ක බැදුණු ලස්සන මතක ගොඩක් තියෙන නිසා...

    ReplyDelete
    Replies
    1. එදා අද වගේම හෙටත් අපි වැස්සට හුඟක් ආදරය කරාවි..

      Delete
  4. පුංචිම කාලෙ වත්ත පහල වෙල..ඒ අයිනෙන් පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගොඩාක් වහින දවස් වල ‍රැට වෙල් යායෙම ඉන්න ගෙම්බො එක සීරුවට කෑගහන්න පටන් ගන්නව. එකම විදිහට, නවත්තන්නෙ නැතුවම පැයගානක්ම...එකම ගෝසාවක්.

    වහින සද්දෙයි ගෙම්බන්ගෙ සද්දෙයි සීතලයි එකතු උනාම ඒක අමුතුම හැඟීමක්...ඒ හැඟීමත් එක්ක අම්මටයි තාත්තටයි මැදිවෙලා මට නින්ද යනව.

    දැනුත් මම මහ ගෙදරගිහින් ඉන්න වෙලාවට හෝගාල වහිනකොට හොඳට කන්දීගෙන ඉන්නව... සීතල දැනෙනව...වහින සද්දෙ ඇහෙනව...ගෙම්බන්ගෙ ගෝසාවත් ඈතින් ඇහෙනව වගේ දැනෙනව... ඒත් මම දන්නව පහල වෙල් යායෙ දැන් ඉස්සර වගේ ගෙම්බො නැහැ කියල... උන් වඳ වෙලා ගිහින්... එතකොට මහ මූසල හැඟීමක් හිතට එනව. වැස්ස හැමදාම එකම විදිහට වහීවි...ඒත් අපේ ජීවිත... ගොඩක් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. වැස්ස හැමදාටම එකම විදිහට වහීවි.

      හරිම සුන්දර මතක සටහන් ගොඩක් අපේ ජීවිත වලට එකතුකරලා, අපේ ජීවිතවල වෙනස්කම් බල බල, අපි ආදරය කරපු තරමටම අපිට ආදරය කරමින් වැස්ස හැමදාටම එකම විදිහට වහීවි...

      Delete
  5. ඕනම කෙනෙක් මං හිතන්නෙ පොඩි කාලෙදි පුදුමා කාර විදියට වැස්සට ආදරේ කරනවා. ඒත් ලොකු වෙත්දි පරිසර බලපෑම් එක්ක ඒ ආදරෙ වෙනස් වෙනවා. වැස්ස පමණක් වෙනස් නොවෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි...

      හරියට අම්මා කෙනෙකුගෙ ආදරය වගේ නේද.. ළමයි කොච්චර වෙනස් වුනත් අම්මලගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑනෙ.

      Delete
  6. වැස්සට ආස වෙන්න ලොකු පොඩි අවුලක් නැහැ.. මම තාමත් ආසයි වැස්සේ තෙමෙන්න..

    ReplyDelete
  7. මාත් එහෙමයි.. වැස්සේ තෙමෙන්න ආවට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  8. ලස්සන සටහනක්.....අපි පුංචි කාලේ හිටපු එක ගෙයක වහල තහඩු. වැස්ස වැටෙන කොට එක්කෙනාට එක්කෙනා හයියෙන් කතා කරන්න ඕන සද්දේ නිසා. අපි කෑගහනවා.....අපේ ආච්චි වැස්ස දවස් වලට කියනවා මාළු මිරිසට ගොරෝසුවට උයලා පොල් ගාලා බත් කන්න ඕන කියලා.

    ReplyDelete
    Replies
    1. වැස්ස ගැන කථා කරන්න මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි !

      වැස්ස දවස් වලට ඉස්කෝලේ, ක්ලාස් වල ටීචර්ස්ලා හයියෙන් කෑගහගහ උගන්නපු හැටිත් මතක් වෙනව නේද...

      සමහර දවස් වලට ළමයි බොරුවට ඇහෙන්නෙ නෑ කියලා ටීචර්ස්ලව තව හයියෙන් කෑ ගස්සවනවා. අන්තිමට කොහොමහරි වෙනදට වඩා කලින් පන්තිය නම් ඉවර වෙනවා..

      වැස්ස නැතුව උනත් මාළු මිරිසට උයලා, පොල් එක්ක කන්න මාත් හරිම ආසයි..

      Delete
  9. හිත අතීතයට දුවලා ගියා... අපි ඒ දවස්වල රුවල් බෝට්ටුත් හැදුවා... දන්නවද රුවල් බෝට්ටු හදන්ඩ ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. මටත් කියලා දෙනවද ?

      Delete
    2. අයියෝ වැඩක් නෑ...
      හරි.. එහෙනං පොතක මැද පිටුවක් ගලවගෙන එන්ඩකෝ..

      Delete
    3. ඉතින් දන්නෙ නැති නිසානේ ඇහුවේ..

      කියන්නකෝ බලන්න මැදපිටුවක් හොයගෙන හදන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...