Thursday, July 31, 2014

ආදරයෙන් හමු වෙන්න ඇති...



ජීවි ගමනේ එක්තරා සොඳුරු නවාතැන් පලකදී අපිට අපි හමුවෙන්න ඇති...

පහුකරන් යන දහස් ගණනක් වු නෙත් අතරේ මුණ ගැහුණු, හුරු පුරුදු නෙත් දෙකක් ලඟ
අපි නතර වෙන්න ඇති...

ලෙන්ගතු කමක් එක්කම හැංගිලා තිබුණු ආදරයක් නිසා ස්නේහයෙන්
අපි බැ‍ඳෙන්නට ඇති... 

නෙත් විඩා දෙන කඳුළු අතරේ දුක සම සමව ගෙන අපි හඬන්නට ඇති..

සතුට පිරිපුන් සිනා ගඟුලේ එක්ව කිමිදී හිනැහෙන්න ඇති...


පැන නැගුණු රළු බාධා පසුකර අත් වැල් බැඳන් අපි පියමණින්නට ඇති....

ආත්ම ගනක් පෙරුම් පුරාගෙන මේ විදිහට අපි  ආදරයෙන් ලඟ ඉන්න ඇති.. 

මාලිනී ජයරත්නයන්ගි ගී සංකල්පනාවක් අනුව, මහාචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ස්වර තත් රටාවන්ට, ටී. එම්. ජයරත්නයන්ගේ හඬ මුසුවු මේ ගීතය ඔබත් රස විඳලා ඇති...

සොඳුරු අතීතයේ
නිමල පැතුම වී...
මගෙ හදතුළ ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති...

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද...
බවය පුරා ළඟ ඉන්න ඇති...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණන් පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

මේ ගීතය තුශානිත් හුඟක් ආස කරන ගීතයක්.. ඉතින් ගීතය රස විඳිද්දී හිතට ආපු දේවල් ටිකක් තමයි මේ කුරු‍ටු ගාලා තියෙන්නේ...  :)

ගීතය ඇතුලේ කොයි තරම් නම් ලස්සන අදහස් ටිකක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔයාලත් ටිකක් හිතලා බලන්නකෝ...

 

 

20 comments:

  1. කවදාවත් මතකයෙන් බැහැරකරන්න බැරි අහන හැම මොහොතකම හදවත තෙත් කරන හරි අපූරු ගීයක්. බොහෝම ස්තූතියි තුශානි.

    ලියල තියෙන විදියත් ඉතාම සිත් ගන්නා සුලුයි.

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි... හැබැයි ඔයාට තරම් හොඳට ගීත විචාර ලියන්න නම් මට බෑ..

      Delete
  2. මං කැමතී සිංදු සෑහෙන්න තියේ ටී එම්ගෙ...
    තුශානි අහලත් ඇති
    මේ පුංචි රටේ....
    මං පට්ට ආස සිංදුවක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒ සිංදුවට මාත් කැමතියි..

      Delete
  3. මේ ගීතයත් ලස්සනයි තුශානි.තව "චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා" සිංදුවටත් මම ගොඩක් ආසයි.

    ReplyDelete
    Replies
    1. අපි දන්නවා ඒ සිංදුවට ආස හේතුව...

      පුතා දඟ වැඩ කලාම හැලපතුමා ඒ සිංදුව කියනවා ඇති නේද ... හි..හි..

      Delete
  4. අහන්න අහන්න ආස හිතෙන ගීයක්

    ReplyDelete
    Replies
    1. ඔව්... ඇත්තටම ඒ ගීතය ඇතුලෙ ලස්සන කතාවක් තියෙනවා...

      Delete
  5. ඇත්තට ම හරිම ප්‍රිය කරන ගීතයක්... ටී. එම් ජයරත්න මහතා විසින් මේ ගීතයට භාවයන් එකතු කරනවා. ඒ ගීතය අහනවා විතරක් නෙමෙයි අපිට ඒක දැනෙනවා. අපි අතීත මතකයන් එක්ක ජීවත් වෙනවා. හරිම සුන්දරයි. ගීතයක් කියන්නේ ඒකයි. දැන් තියෙන උඩ පැන පැන නටන හරසුන් ගීත නෙමෙයි..................

    ReplyDelete
    Replies
    1. ගීතයක් පරිපූර්ණ වෙන්න පද වැල වගේම ගායනයත් සංගීතයත් හොඳට සුසංයෝගී වෙලා තියෙන්නෙ ඕනේ .. ඒ අතින් එතුමන් ගේ ගීත හුඟක් ඉදිරියෙන් තියෙනවා .. ඒ සුන්දරත්වය නිසාම එදාටත් අදටත් හෙටටත් ඒ ගීත අමරණීයයි..

      Delete
  6. මමත් ආස කරන ගීතයක් තමා... මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇතී අහල තියනව ද? ඒකත් ආකෘතිය අතින් මේ වගේ ම යි. මම දෙකට ම කැමති යි....

    ReplyDelete
    Replies
    1. ඔව් අහලා තියෙනවා .. මගේත් කැමතිම ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා ...

      Delete
  7. භාවනාවක් වගේ ගීතයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් .. හිත දැහැන් ගතවෙන ගීතයක් ..

      Delete
  8. මේ වගේ ගීත තව කොයි තරම් ඇතිද තුශානියෝ මතකයෙන් බැහැර කරන්න බැරි.කවදාවත් පරණ නොවන,පරණ මතකඅවදි කරවන.
    මේ වාගේ මම අසා කරන තවත් ගීතයක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් ගේ "සෙනෙහසකට අරුතක් පුරවන්නට" කියන ගීතය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්... හුඟක් පරණ ගීත වුනත් එදා අය වගේම අදත් ඒ ගීත රස විඳින්නේ ඒ ගීත වල තියෙන අමරණීයත්වය නිසා වෙන්න ඇති..

      මම කැමති ගීත අතරේ ඒ ගීතයත් තියෙනවා.. පද වැල් කීපයක් අතරේ කොයි තරම් නම් ලොකු ආර්ථයක් හැංගිලා තියෙනවද නේද ...

      Delete
  9. ඇයි නගෝ ටී ඇම් ජයරත්න මහතාම ගායනා කරන මේ ගීතය ඔබට අමතක උනාද ?

    මේ අයුරින් අපි
    සංසාරේ ආදරයෙන්
    හමුවෙන්න ඇති...
    මේ අයුරින් අපි
    දවසක් දා අතරමගදි
    වෙන්වෙන්න ඇති...

    සාලිය මාලා පෙම්බැඳි දා මම
    සිටුකුමරෙකු වී ඉන්න ඇතී...
    ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇතී...

    අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
    පුදසුන මත පරවෙන්න ඇතී...
    සාගර ජලයත් මදි හැඬුවා මම
    ඔබ හින්දා ඔබ දන්නේ නැතී...

    ආත්ම ගණනේ ඔබ පය පාමුල
    මගේ කඳුලින් සේදෙන්න ඇතී...
    එදත් මගේ දුක් ආයාචනයට
    අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අමතක වුනේ නෑ.. දිලිනිත් මේ ගීතය මතක් කරලා තිබුනා..

      මමත් කැමති ගීතයක්..

      Delete
  10. හිතට දැනෙන, මාත් ආස කරන සින්දුවක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් ධනුෂ්... මමත් මේ ගීතයට හුඟක් කැමතියි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...