Tuesday, June 30, 2015

82. ඇසළ පෝය හෙටයි ...

අද මේ මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්නේ අලුත් මාසයක්. ඒ වගේම මාසේ පටන් ගන්නේ ඇසළ පෝයෙන්. ඉතින් අද තුශානි හිතුවා වැදගත්කම් ගොඩක් තියෙන ඇසළ පෝය ගැන විස්තර ටිකක් කියන්න. 

පෝය දවසේ  වැදගත්කම ගැන අවබෝධයක් ඇතුව පෝය දවස ගත කලොතින් දවසේ වටිනාකම වැඩි වෙනවා වගේම නොදන්න කෙනෙක්ට මේ දේවල් කියලා දෙන්නත් පුළුවන් කමක් ලැබෙන නිසාමයි පෝයට කලින් අද දවසේ මේ විස්තර ටික කියන්නේ.

මතකයිද අපි පුංචි කාලේ අහුවා මහාමායා දේවිය දැක්ක ලස්සන හීනයක් ගැන. ඔව් ඔව්... අර ලස්සන සුදු ඇත් පැටියක් නෙළුම් මලක් හොඬෙන් අරගෙන  මහාමායා දේවියගේ සිරි යහන වටා තුන් පාරක් පැදකුණු කරලා, මහාමායා දේවියගේ කුස තුලට ඇතුළු වුනු හීනේ. ඉතින් ඒ ලස්සන හීනේ මහාමායා දේවිය දැක්කෙත්, අප මහා බෝසතානන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගැනීම සිද්ධ වුනෙත් මේ ඇසළ පෝය දවසක.


රාහුල කුමරුගේ උපත සිදුවීමත් , මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රුවක් කියන සතර පෙර නිමිති දකීමත්, නාටිකාවන්ගේ විරූපී රූප දැකීමත් එක්ක සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යාමත් සිද්ද වෙන්නෙත් මේ ඇසළ පෝය දවසකමයි.




බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්සේ පස්වග මහණුන් පිරිවරාගෙන බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනාව පවත්වපු හැටි, අපි පුංචි කාලේ දහම් පාසලේදී ඉගෙන ගත්තේ හරිම ලස්සන අවස්ථාවක් විදිහට. මිගදාය කියන්නේ මුවෝ ගොඩක් ඉන්න ආරන්‍යක් වගේ තැනක් කියලත්, බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව පටන් ගන්නකොට ඉසිපතන මිගදායේ හිටිය හැම සතෙක්මත් ඒ දිහාවට කන් යොමාගෙන ධර්ම දේශනාව අහන්න සූදානම් වෙච්ච හැටිත්, දෙවියෝ සාධුකාර දි දී මිගදායට එක් රොක් වෙච්ච හැටිත් හාමුදුරුවෝ අපිට විස්තර කලේ අපි ඒ අවස්ථාව ඇසින් දකිනවා වගේ හරිම අපූරුවට.

ඒ විදිහට බුදු හාමුදුරුවෝ පස්වග තවුසන්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනාකොට වදාලේත් ඇසළ පෝය දවසකයි. 

මංගල ධර්ම දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වීමත් ඒක්ක බුදු සසුනේ මුල්ම පැවිදි ශාවකයා ලෙසින් කොණ්ඩඤ්ඤ තවුසා පැවිදි බිමට ඇතුලත් වෙන්නෙත් ඇසළ පෝය දවසෙමයි.


තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජානන් වහන්සේ  ගණ්ධබ්බ රුක් මූලයෙ දී යමාමහ පෙළහර පෑම සිදුවීමත් , අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනයෙන් පස්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අරිට්ඨ කුමරු ප්‍රමුඛ ශ්‍රී ලාංකික තරුණයින් 56 දෙනෙකු සසුන් ගත කරමින් ප්‍රථම වරට ලක්දිව තුල මහණ උපසම්පදාව සිදු කිරීම ආරම්භ වීමත් සිද්ධවෙලා තියෙන්නේ ඇසළ පෝය දවසකයි. 



ඒ වගේම පාත්‍රා ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදු වෙලා තියෙන්නෙත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන මහා සංඝ රත්නය මෙරටට වැඩමවා ලක්දිව උපසම්පදා කර්මය නැවත ඇති කිරීම සිදු වෙලා තියෙන්නෙත් ඇසළ පෝය දවසකයි. 

වස් කාලයේ ආරම්භය සනිටුහන් කරමින් භික්ෂූන් වහන්සේලා පෙහෙ වස් සමාදන් වීම සිදු වෙන්නේත් මේ පෝය දවසේදීම තමයි. ඒ කියන්නේ කඨින පිංකම් වලට සුදානම් වෙන්න පටන් ගන්නෙත් මේ පෝයට.

දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු ඓතිහාසික කන්ද උඩරට දළදා පෙරෙහරේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නෙත් මේ ඇසළ පෝය දිනක බව අපේ වංශකතාවල සඳහන් වෙනවා. 



මෙහෙම බලනකොට ඇසළ පෝය  බොහොම වැදගත් සිද්ධීන් රැසක් ඉතිහාසයට එක් කල පෝය දිනයක්. ඉතින් ඒ වටිනා දවස අපටත් අර්ථවත්ව  ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.

22 comments:

  1. අපෙ මිනිස්සුන්ට ඔවා මතක් වෙන්නෙ පෝය දවසට විතරයි. එදාට විතරයි පව් කරන්න හොඳ නෑ කියලා බිත්තරයක්වත් කන්නෙ නැතුව ඉන්නෙ. ඔන්න අපෙ උන්ගෙ බෞද්ධ කම.

    ReplyDelete
  2. මේ ළමයත් අර චාන්දි අක්ක වගේ පෝයට වැඩිපුර පේනවා නේ

    ReplyDelete
    Replies
    1. අහ්... එහෙමද.. :)

      තියෙන වැඩත් එක්ක කොහොමහරි මාසෙකට පොස්ට් 3 ක් වත් ලියන්න උත්සාහ කරනවා දේශකතුමා :)

      Delete
  3. පෝය නෙහ්.වැඩනෙ එදාටත්. කොයිද පංසල් වත් යනිනෙ
    හොද විස්තරයක්.
    මංකී වෙ අමතක වෙලා තියෙන දේවල් මතක් කරලදෙනේකත් හොදයිනෙ නැද්ද
    පිං සිද්ද වෙනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...

      හෙට උදේ ඔපීසියට ගිහින් ඔපීසියේ අයටත් පෝය ගැන කියන්න එතකොට ඔයාටත් පිං සිද්දවෙයි..

      Delete
  4. ඇත්තටම පින් හතේ වැඩක් කරලා තියෙන්නෙ. කාර්යබහුල සමාජයේ බලන්නේ පෝයක් එන්නෙ කවද්ද කියල මිසක්. පෝයේ තියෙන වැදගත්කමක් ගැන හොයන්නවත් මතක් කරන්නවත් නෙමේ.
    මෙහෙම හරි දැනුවත් කරන එක ගොඩක් වටිනවා..

    තුෂානි සිල් ගන්නෙ නැතෙයි... :)

    ReplyDelete
    Replies
    1. ඇසළ පෝයේ වැදගත්කම් ගොඩක් තියෙනවා. ඒ නිසාමයි ඒ ගැන ලියන්න හිතුවේ.. ස්තූතියි කොබෝ අයියේ..

      ම්... බලන්න ඕනේ..

      Delete
  5. හෙට පෝය අපිට නිවාඩුයි..මාසෙ මුලම ඕ ටී ටික කරල අවහර කරගත්තොත් ලේසියි..ඒ නිස අපි හෙටත් වැඩ..

    ReplyDelete
    Replies
    1. එහෙමද ... රාජකාරී වැඩත් කරගන්න ඕනේ නේ...

      Delete
  6. හ්ම්ම් මෙවා පොඩි කාලේ ඉස්කොලේ පාඩ්ම් ගන්නවා ඉස්සර මම නම් බුද්ධ ධර්මයට සැහෙන දුර්වලයි උගන්වන්න හිටියෙත් සැහෙන සැර පරුශ ගුරුවරියක් ,අර කතා වල ඉන්න ගුරුවරියක් වගේ මට නම් මෙක කියවනකොට ඒ පරන සිද්දි මතක් වුනා අපිට මෙවා කියලා දෙන්න්න එයා වුන මහන්සිය ..

    ReplyDelete
    Replies
    1. :) අපිටත් එක් අවුරුද්දක හිටියා සැර ටීචර් කෙනෙක්. දන්නවද ... ඒ පන්තියේදි මම පාඩම අහගෙන ඉන්නවට වඩා සැර වෙනකොට එයාගේ මුණ රතුපාට වෙන විදිහයි බලාගෙන ඉන්නේ හි..හි...

      Delete
  7. මේ මාසේ පෝය දෙකක් තියෙනවා. හෙට (අද) අධි ඇසල පෝය. මාසෙ අගට ඇසල පෝය. (බිත්තියේ එල්ලා ඇති කැලැන්ඩරයේ සාදර අනුග්‍රහයෙනි.)

    ReplyDelete
    Replies
    1. ඩුඩ්ව බොහොම සාදරයෙන් තුශානි කැකුළු ගොමුවට පිලිගන්නවා...

      ඔව් ඔව්... පෝයවල් දෙකක් තියෙනවා. ගොඩක් දෙනෙක් මාසයක් පටන්ගන්නකොට කැලැන්ඩරේ දිහා බලන්නේ නිවාඩු දවස් කීයක් තියෙනවද කියලනේ හි..හි...

      Delete
  8. තුශානිලාගේ දන්සල දෙන්නේ නැද්ද මේ සැරේ

    ReplyDelete
    Replies
    1. හපොයි... ඉවාන්ට නම් පෝය කිව්වහම මතක් වෙන්නේම දන්සල් නේද ....

      Delete
  9. මේ දහම් පණිවිඩය ඔබට තුශානි ගෙන්.

    හැබැයි මේ කියන දේවල් වුනේ මේ "ඇසළ පෝයට"නෙමේනේ තුශානියෝ.
    ඊයේ තිබ්බේ "අධි ඇසළ පෝය"එතන ආගමික වැදගත් කමක් නැහැ.එවැනි වැදගත් කමක් යෙදෙන්නේ මාසේ අවසානේ යෙදෙන "ඇසළ පෝයෙන්" නේද ?

    මට නම් පෝය ගොඩක් විට වැදගත් වෙන්නේ එදා නිවාඩු දවසක් නිසා.

    ReplyDelete
    Replies
    1. මේ මාසේ පෝයවල් 2 ක් තියෙන නිසයි ඊයේ පෝය අධි ඇසළ පෝයක් විදිහට හඳුන්වන්නේ. ආගමික වැදගත්කමක් නෑ කියලා කියන්න නම් බෑ. කොහොම වුනත් ඇසළ පෝයේ වැදගත්කම ගැනයි යමක් කියන්න ඕනේ වුනේ.

      ඔයාට විතරක් නෙවෙයි මනෝජ් ගොඩක් දෙනෙක්ට එහෙම තමයි. :)

      Delete
  10. ඇසළ පෝයෙ වටිනාකම මතක් වෙන්න නියම ලිපියක්.

    ReplyDelete
  11. අධිපෝය කියලා හිතුවේ නෑ, මාත් ඔන්න ඇසල කතාවක් ලිව්වා...
    ඇසල කුමාරයා :)

    http://karuugesithroo.blogspot.com/2015/07/blog-post_1.html

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. අල්තයීර් වත් සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...

      ඇසළ කුමාරයා ගැන දැන ගන්න ඔන්න අපිත් ඒ පැත්තට ගොඩවුනා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...