Monday, September 21, 2015

89. පාර අයිනේ තියෙන වෙල්වට් කඳු..

කවුරුහරි තුශානිගෙන් අහුවොත් වැඩිපුරුම කන්න ආස පලතුරු පහක් කියන්න කියලා ඒ පලතුරු පහ අතර ගල් සියඹලා කියන නමත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තරමට තුශානි ගල් සියඹලා කන්න ආසයි. ඉතින් මේ දවස් වල පාරේ තොටේ යනකොට පාර අයිනේ තියෙන කරත්ත වල, පුංචි පුංචි කඩ වල ගල් සියඹලා කඳු නිතර දකින්න ලැබෙන නිසා කාන්දමකට ඇදෙන යකඩ කෑල්ලක් වගේ ඒ තැන් පහුකරගෙන යනකොට තුශානිත් නිකම්ම එතනට  ඇදිලා යනවා.  කොටින්ම කියනවා නම් ඔපීසියට එන මහ පාන්දර වුනත්, ධාරානිපාත වරුසා වෙලාවක වුනත්, මහ රෑ වුනත් වෙලාව නම් ඒකට කොහෙත්ම බලපාන්නේ නෑ..


ගල් සියඹලා එහෙමත් නැත්නම් Velvet Tamarind වල විද්‍යාත්මක නාමDialium indum

පිට පොත්ත හරියට වෙල්වට් එකක් වගේ නිසා පිට පොත්තෙ තියෙන්න හරි අමුතු ලස්සනක්. හැබැයි ඉතින් පිට පොත්ත හොඳ ලස්සනට තිබුනට ඇතුලේ පණුවෝ එහෙම ඉන්නවද කියලා බලලම තමයි කන්න නම් ගන්න ඕනේ. ගල් සියඹලා සාමන්‍යයෙන් ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් තමයි යුක්තවෙන්නේ. සි‍යඹලා වලට සාපේක්ෂව නම් ටිකක් පැණි රසින් වැඩියි.

ගල් සියඹලා දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැඩිපුර හැදෙන පළතුරු වර්‍ගයක්. ලංකාවේ නම් මොනරාගල දිස්‌ත්‍රික්‌කය තුළ හා නැගෙනහිර පළාතට අයත් හුලන් නුගේ, පානම, ලාහුගල, යන ප්‍රදේශවල ගල් සියඹලා සරු අස්‌වැන්නක්‌ ලැබෙනවා.

මුලින්ම තුශානි ගල් සියඹලා කාපු දවස හරි හැටි මතක නොතිබුනත් අවුරුදු 6 දී විතර ගල් සියඹලා ඉල්ලලා කරපු උපවායක් නම් තාමත් හොඳට මතකයි හි.. හි.. 

ගෙදර අයත් එක්ක අනුරාධපුරේ ගිය වෙලාවක බිම වැටිලා තිබුනු ගල් සියඹලා පොතු ටිකක් දැකලා ගල් සියඹලා අරගෙන දෙනකන්ම එදා කුරු කුරු ගාපු හැටි අම්මා මේ ලඟදී දවසකත් මම ගල් සියඹලා කන වෙලාවක මතක් කලා. සාමාන්‍යයෙන් මම පුංචි කාලේ එක එක දේවල් ඉල්ලලා කරදර කරන කෙනෙක් නොවුනත් එදා එහෙම කලේ ඇයි කියන එක අම්මට තාම හිතා ගන්න බෑලු. 

කොහොමින් කොහොමහරි එදා ඒ අවට කිසිම තැනක ගල් සියඹලා නොතිබුන බවත් තාත්තා හැම තැනම ඇවිදලා සෑහෙන දුරක් ගිහින් අන්තිමට ගල් සියඹලා බෑග් එකක් අරගෙන ඇවිත් මට දීලා මාව උකුල උඩ තියාගෙන ඒවා පොතු ඇරලා, පණුවෝ එහෙම ඉන්නවද කියලා හොඳට බලලා මට කන්න දීපු හැටිත් තාමත් මට අද ඊයේ වගේ මතකයි.  




" ඕවායේ හරියට පණුවෝ ඉන්නවා... හොඳට බලලා දෙන්න.. " ඔය වචන පේලිය රෙකෝඩ් කරපු වාක්‍ය ඛන්ඩයක් වගේ අම්මා සැරින් සැරේ කියන හැටිත්, අන්තිමට අම්මත් ඇවිත් එතනට වෙලා ගල් සියඹලා පොතු ඇරලා දුන්න හැටිත් හරිම සුන්දර මතකයක්. 

අදටත් ඉතින් ගල් සියඹලා බෑග් එකක් ගෙදර අරගෙන ගියාම එයිනුත් වැඩි ප්‍රමාණයක් කන්නේ මමම තමයි. ඒ වගේම මගේ මේ ගල් සියඹලා කෑමේ ලෙඩේ ලඟදී දවසක මාත් එක්ක ඉන්න තවත් කෙනෙක්ටත් බෝ කරලා, පණුවෝ  කිය කිය ගල් සියඹලා නොකා හිටිය කෙනෙක්ට පණුවොත් එක්කම ගල් සියඹලා කවපු සිද්දියකුත් මේ ගල් සියඹලා කතා අතරේ තියෙනවා. 

" මේ ඒවා හරිම කිරි රසයි නේද ? " කියලා එයා කියන කොටම මට මතක් වුනේ අනිවාර්යයෙන්ම මෙයා නම් පණුවොත් එක්ක කන්න ඇති කියලා. මොනව කරන්නද ඉතින් මුකුත් කියන්නත් බැරි නිසා මම කිව්වා " හැබැයි ඇඹුල් රසකුත් තියෙනවා... "  කියලා. හි..හි.. ඇයි ඉතින් දෙනකොටම කියලනේ දුන්නේ පණුවෝ ඇති බලල කන්න කියලා. බලලා කන්න එපැයි. කොහොම වුනත් එයා මගේ ගල් සියඹලා සංගමයේ සාමාජිකත්වය අරගත්ත එක ගැන නම් මට සතුටුයි.



ඉතින් මම වගේම මේ විදිහට ගල් සියඹලා වලට කැමති, අපේ බ්ලොග් ලියන අයත් ඕනෑ තරම් ඇති. දැන් කියන්න බලන්න මෙහෙත් සාමාජිකත්වය ගත්ත කට්ටිය ඉන්නවද කියලා.

37 comments:

  1. අම්මප කියපන් ගල් සියඹලා වල පණුවෝ ඉන්නවයි? යකඩෝ මං කවදාවත් එහෙම හොයල බලල කාල නෑනේ.. කිරි රැසක් නම් දනිලම නෑ.. සමහරවිට අපේ පැතිවල පණුවොත් ඇඹුල් පැණි රස වෙන්න ඇති..

    පහුගිය මාසේ දවසක මයේ හිතේ අවුරුදු විඉසකට විතර පස්සේ දවසක ගල් සියඹලා අහුරක් කෑවා ඇඹිලිපිටියේ වෙදිමකට ගිහින් එද්දී.. මගේ අම්මේ ග්‍රෑම් 250ක් රුපියල් 100ක් ලු.. ඒ දවස්වල උපරිම ගොට්ටක් සත පනහයි.. ආච්චි ගොට්ට ගහල දෙනකම් තව අහුරක් නිකමුත් කනවා.. :) පොස්ට් එකත් ගල් සියඹලා අහුරක් වගේ.. හරි රහයි..

    ReplyDelete
    Replies
    1. හපොයි... දහයක් ගත්තොත් හයක විතර පණුවෝ.. අනිවාර්යයෙන්ම පණුවොත් එක්ක තමයි කාල තියෙන්නෙ එහෙනම් හි.. හි..

      ඔව් ඔව්.. වැඩිය නැති නිසා ගාන නම් ටිකක් වැඩියි. පණුවො ඉන්න ඒවා, හරි නැති ඒවා අයින් කලාම කන්න ගන්න පුළුවන් බොහොම පොඩ්ඩයි..

      :) තැන්කූ කලණ. ඔයත් ගල් සියඹලා සංසදයේ සාමාජිකයෙන් එහෙනම්..

      Delete
  2. වෙලාවකට පොතු අරිද්දි හිමිහිට ඔළුව එලියට දාලා බලන පනුවා දැක්කාම තමයි ඇඟ හිරිවැටෙන්නෙ. ඒත් ඉතින් තියෙන් පෙරේතකම නැති වෙන්නෙ නෑනෙ. එක පාරක් අම්පාරෙ යනකොට පදියතලාවෙඩි කෑව ගල්සියඹලා නම් අමත වෙන්නෙ නෑ. ඒ මාමා අපි කොහෙද අහලා ඒ පැත්තෙ කොහෙද මේ වගේ ඒවා කියලා සල්ලි ගත්තෙත් නෑ අපෙන්. මෙහෙ පාරවල් අයිනෙ තියෙන ඒවා වගෙ නෙවෙයි. ඒවට වඩා ලොකුයි. ඒ වගේම ඇතුලෙ හොඳට පිරිලා තියෙනවා. පැනි රසත් වැඩී.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. මටත් එහෙමයි. පණුවෝ ඉන්න බව දැන දැනත් ගල් සියඹලා කන්න තියෙන ආසාව අඩු වෙන්නේ නැති එකෙනේ පුදුමේ හි.. හි..

      ඔව්.. මෙහේ තියෙන ඒවා නම් ගොඩක් වෙලාවට හොඳ ඒවා නෙවෙයි. ඒත් ඉතින් දකිනකොට අරගන්නමයි හිතෙන්නේ.

      Delete
  3. මම හිතන්නේ ඔය ගල් සියඹලා ගෝනිය මට දුන්නොත් දවස් දෙකකින් වගේ කාලා ඉවරකරන්න පුලුවන් වෙයි. අර දත් හිරිවැටෙන එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. :O දවස් දෙකක් ??? අයියෝ ඩුඩ්... එක දවසින් කන්න පුළුවන්නේ.. හි..හි..

      Delete
  4. ශහ්. ගල් සියඹලා.....
    හැබෑටම ඔවායෙ පනුවො ඉන්නවද කියලා නොබලා කොච්චර කන්නැද්ද? දැන් ඒ ගැන කියලා මොකටද? කවදාවත් පනුවො කිරි රහට කැවිල නෑ මටත්.

    ReplyDelete
    Replies
    1. අහ්.. කසුනුත් ගල් සියඹලා සංසදයේ සාමාජිකයෙක් වගේ..

      පණුවෝ නම් අනිවාර්යයෙනම් ඉන්නවා. ඇඹුල් රසයි පැණි රසයි නිසා කිරි රස දැනිලා නැතුව ඇති.. හි.. හි...

      Delete
  5. මම නම් සමහර වෙලාවට පොත්තත් එක්කම කනවා, එවයිනම් පනුවෝ නෑ ෂුවර් එකටම, සමහරවෙලාවට පොතු ඇරලා කනවා, එවායිනම් ඔන්න ඉඳලා හිටලා එකෙක් දෙන්නක් ඉන්නවා .හැක

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං කොස් ඇටයක් කෑවත් එහෙමනෙ.

      Delete
    2. ඊයා ඉවාන්.. ඔයාට ඉතින් මොනදේ කෑවත් ප්‍රශ්ණයක් නැති නිසා හොඳයි..

      Delete
  6. අප්පා.........ගල් සියඹලා........අපේ පැත්තේ තියනවා මැණික්පාය කියලා කන්දක්. අපි පොඩි කාලේ ගල් සියඹලා තියන කාලෙට ඒ පැත්තේ වැඩකරන මිනිස්සු ගල්සියඹලා ගෝනි ගණන් කඩාගෙන එනවා.... අවුරුද්දට සැරයක් අපේ ගෙදරටත් ගෝනි බාගයක් විතර ලැබෙනවා. අනේ දැන් නම් ඒ ගස් තියනවද දන්නෙත් නෑ....... පොත්ත පිටින් ඇටෙත් එක්ක කද්දී තියනවා පොඩි කික් එකක් අර ඉවාන් කිව්වා වගේ

    ReplyDelete
    Replies
    1. බණ්ඩාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට....

      අනේ අපේ ගෙදරටත් ඔය වගේ අවුරුද්දට සැරයක් ගල් සියඹලා ගෝනි බාගයක් විතර ලැබෙනවා නම් කොයි තරම් දෙයක්ද .... :)

      ඒ වුනාට පණුවෝ ඉන්න බව දැන දැන පොතුත් එක්ක කන්න නම් කොහොම හිත හදා ගන්නද.

      Delete
  7. ආයි බොරු කියන්නෙ මොකටද මටනං ඔය ගල් සියඹලා, රටකජු වගේ ලෙලි ඇරලා කන්න වෙන ඒවා හෙන උළුක්කු. රෙඩි ටු ඊට් වෙලා තියෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. :D එහෙමද... එහෙනම් අර ඉවානුයි , බණ්ඩයි වගේ පොතුත් එක්කම කෑවානම් හරි .

      Delete
  8. විශේෂ ආසාවක් නැතත් කෝච්චියේ යනකොට වෙළෙන්දෙක් ආවොත් මාත් ගන්නවා බොහෝ විට. පණුවන් ගැන නං හිතලවත් නෑ. එපා වෙන්නේ පුස් ඒවා හැපුණාමයි. මොනවා වුණත් ඒ රසය කදිමයි.

    ReplyDelete
    Replies
    1. :O බැලුවහම වැඩි දෙනෙක් පණුවෝ ගැන හිතන්නේ නැති පාටයි. හි..හි..

      Delete
  9. ගල් සියඹලා.... බාගෙට ඉදිච්ච මරු. තාත්ත ඉන්න කාලෙ ගල්සියඹල කාලෙටයි මොර කාලෙටයි ගෝනියක් විතර හම්බුවෙනව. (තාත්තට මැනිං මාරකැට් එකේ බක්කියක් තිබ්බ). මට බාගෙට ඉදිච්ච වෙනම එවනව... හයියෝ.... ඒ කාලෙ මතක් වෙලා දුක හිතුන බොල...

    ReplyDelete
    Replies
    1. මුලින්ම X - Porter ව සාදරෙයෙන් තුශානි කැකුළු ගොමුවට පිලිගන්නවා..

      :( ඒක නේන්නම් දුක හිතෙනවා තමයි.. බාගෙට ඉදිච්ච ඒවායේ නම් පණුවෝ නැතුව ඇති නේද ..

      Delete
  10. මරු මාත් කැමතියි ගල් සියඹලාවලට. එකෙ පොත්තත් සිත් ඇදගන්නා සුලුයි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අහ්.. ඔයත් ගල් සියඹලා සංසදයේ සාමාජිකයෙක් වගේ :)
      ජයවේවා!

      Delete
  11. මමත් ඔය ජාතිය කන්න හරිම මනාපයි.හැබැයි පණුවො ඉන්න කතාවක් තුශානි කියනකල් දන්නෙ නෑ.අවුරුදු තුන හතරකින් කන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. :O වැඩි දෙනෙක් ගල් සියඹලා කන්නේ පණුවොත් එක්කම වගෙයි පේන්නේ...

      ඔන්න මේ කාලේ ලංකාවට ආවා නම් ඕන තරම් ගල් සියඹලා කන්න පුළුවන්.

      Delete
  12. ගල් සියඹලා.. අපරාදේ මම මේ පොස්ට් එක කියෙවුවේ... :(

    ReplyDelete
    Replies
    1. :) සමාවෙන්න සමාවෙන්න.. ඉතාලිය පැත්තේ ගල් සියඹලා හොයා ගන්න නැතුව ඇති නේද...

      Delete
  13. යා යා. මාත් ගිය සතියේ පොඩි උන්ට ගෙනාපු සියඹල ගොට්ටම කෑවා. හැක්

    ReplyDelete
    Replies
    1. :O එතකොට පොඩි අයට ???

      Delete
    2. ඒ හාදයෝ ඕවයේ රහ දන්නෑ තාම..

      Delete
    3. කෝ ඉතින් රහ දැන ගන්න ඒ ළමයින්ට කන්න ඉතුරු කරන්න එපැයි... :)

      Delete
  14. ගල් සියඹලා ගහකට නැගල අතුපිටිං කපල දාල පොර කකා ඒව කඩං ගස් උඩ ගල් උඩ ඉදං කන ඒ ෆන් එක හැක් ලොවෙත් ැ...
    ආයෙ මොනාද කහටයි කහටි කියල බලන්නෑ කහට එන්නෙ අමුවැයි කියල දන්නව නෙ... හැක්
    මරු පෝස්ට් එක ජයවේවා

    ReplyDelete
    Replies
    1. ම්... බැරිද ඔය කඩපු වෙලාවක ගෝනියක් දෙකක් අපේ පැත්තටත් එවන්න.. :)

      තැන්කූ මහේෂ්.. ජය වේවා !

      Delete
  15. ගල් සියඹලා කන්න මගේ නම් ඒ හැටි මනාපයක් නැහැ.හැබැයි අපේ නංගිත් ඔය ගල් සියඹලා කන්න තුශානියා වගේම හරිම කැමතියි.
    කොහොම වෙතත් මම මේ අවස්ථාවේ ඔය ගල් සියඹලා සංසදයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් වැලකි ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔයා කැමති නැත්තම් ඔන්න අපි නංගිව අපේ ගල් සියඹලා සංසදයේ සාමාජිකත්වයට ගන්නවා.. ඔන්න පස්සේ ආපහු ඔයාටත් ඕනේ කියන්න එපා හරිද.. ;)

      Delete
  16. අනේ තුශානියෝ.............. පොඩි කාලේ බඩ පිරෙනකල් මේවා කාපු විදිහ මතක් වෙනවා.. කටට කෙළ උනනවෝ............. මේවා ඔට්ටු නැතෝ...

    ReplyDelete
    Replies
    1. හි.. හි... මෙන්න ඉන්නවා මම වගේම කෙනෙක්... බලන්නකෝ කුරුටු මනොජ් කැමති නෑලුනේ...

      Delete
  17. හුටා...... ගල්සියඹලාවල පණුවො ඉන්නවද? මෙච්චරකල් කෑවට අද තමා දන්නෙ එව්වයි පණුවො ඉන්නවා කියලා............... ආයෙ නකොට බලලා කන්න ඕනි. තැන්කූ............

    ReplyDelete
    Replies
    1. ආර්යන්ව සාදරයෙන් තුශානි කැකුළු ගොමුවට පිලිගන්නවා ...

      හපොයි.... ගොඩක් අය මෙච්චර කල් ගල් සියඹලා කාලා තියෙන්නේ පණුවොත් එක්කද කොහෙද... :O

      Delete

Related Posts Plugin for WordPress, Blogger...