Friday, September 23, 2016

114. බෑ නෙවෙයි කොහොමවත්ම බෑ ...




තුශානි ලියපු උදව්වක් ඕනේ මට, සුළඟ මේ අහනවද ... පොස්ට් එක වෙනුවෙන් ගීත රචනා කරන්න දායක වුනු අය වෙනුවෙනුයි අද මේ පොස්ට් එක විශේෂයෙන්ම ලියන්න තුශානි කල්පනා කලේ... 

ඒ වගේම පොස්ට් එක කියවලා අදහස් දක්වපු, අගය කරපු හැම කෙනෙක්ටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තූතියි.... 

පොස්ට් එක කියවලා අදහස් දක්වපු අය අතරේ ඉයන් බොහොම අපූරු අදහසක් තුශානිට දුන්නා. ඉතින් ඒ අනුව තමයි ගී පද රචනා කිරීමත් කජ්ජක්ද? කියන පෝස්ට් එක හරහා ගීත රචනාවන් රැසක් නිර්මාණය වුනේ.. ඒ නිසා ඉයන්ටත් විශේෂ ස්තූතියක් තුශානි පිරිනමනවා.  

ඉතින් කුළුදුල්ම පද රචනාව ලියවුනේ ශානි ශෂි අතින්.. මේ එයාගේ පද රචනාව 

නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

ආදර අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ....

ඊලඟ පද රචනාව ලියවුනේ අපේ ඉන්දික උපශාන්ත අයියගෙ අතින් මේ තියෙන්නෙ ඒ පද රචනාව ...

ඈත ඉඳන් ආදරයෙන් බලා ඉන්න
අප්පච්චී වගෙ හිනැහෙන සිහිල් සඳේ
මගෙ පණිවුඩය අම්මට කියලා එන්න
ඇගෙ දුක නිවන්නට පසළොස්වක වෙන්න

මගෙ ඇඳ ගාව හිඳ රෙදිවල සුවඳ බලා
අඬනා අම්ම සනසන්නට ලඟට වෙලා
බෝනික්කන්ට කියනවාද ඇයට හොරා
එනතුරු පුතෙක් එක්කන් කිරි සුවඳ පුරා

හවහට වතුර හැමදාකම නොලැබුනට
රෝස ගහේ එපා ඇයට රිද්දන්න
මම එනතුරා කටු අතු දුක් සඟවාන
මල් පිපියන් ඇගෙ තනියට හැමදාම


බෑ බෑ කිව්වට මේ බලන්නකෝ ඉවාන් ලියපු ගී පද ටික... 

මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
ඔබේ කෙහෙරැල් අතර රඳවා සිහිල් කරවන්න
මේඝ දූතිය මෑණියන්ගේ කනට කොඳුරන්න.
ලඟදි දවසක තුරුල් වෙන්නට ඒවි පවසන්න

රෝස පඳුරට හෙමින් කොඳුරා මගෙ සෙනෙහෙ දෙන්න
දොරකඩටවී මග බලන බෝනික්කො නලවන්න
මගෙ කුටිය ලඟ සින්දු කියනා මාල ගිරවුන්ට
තුති කියන්නට ලඟදීම මම එනවමයි ඔන්න

සෙනෙහෙ පිරි නව කැදැල්ලට වී තුටින් හිටියාට
යන්න ආසයි තාත්තගෙ සුලැඟිල්ල අල්ලාන
මේඝ දූතිය මගේ හසුන් පත අරන් යනවාද
ආයෙමත් සුදු දෝණි එනවා කියා කියන්වද

මේ තියෙන්නේ අපේ ඉකොනොමැට්ටාගේ ගී පද රචනාව

සුළඟේ... සුළඟේ...
හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

බෝනික්කෝ අඬනවාද ඇඳ යට හැංගිලා
ටෙඩිය මගේ හීතලෙන්ද කොට්ටෙට ගුලි වෙලා
රෝස කැකුළු ජනේලයෙන් මා කොහිදැයි බලා
එබෙනවනම් සනසවපන් සිහිල් පවන් සලා

හෙමින් හෙමින් හොරෙන්
රිංගලා කවුළු දොරෙන්
අපෙ අම්මව ආදරෙන්
සිහි කලැයි කියා වරෙන්
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

පති කුලයට ගිය දුව ගැන විස්සෝපෙන් හිතේ
මඟුල් දොහේ තිබුණු හිනා අම්මාගේ වතේ
මැකී ගිහින් කඳුළු බිංදු උනා ඇතොත් නෙතේ
ඇහේ වැදී ඇයට දියන් සිහිල මගේ අතේ

සුළඟේ... සුළඟේ...
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...


දුමින්ද අබේසේකරගේ ගී පද රචනාව තමයි මේ තියෙන්නේ...

මල් පෙති දග කරමින්නේ
තුරු දලු පත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝනිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ ඇද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්ත ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩ පිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ



නිර්මාණිගේ නිර්මාණ ගැනත් ඔයාලා දන්නවනේ.. මේ තියෙන්නේ එයාගේ ගී පද නිර්මාණය 

කොඳ කුසුමන් පිපී සුවඳ
බෙදන නිසල රාත්‍රියක
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

කිරි පැණි ඉල්ලන්න නොවේ,
සාවිය ඉල්ලන්න නොවේ
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

මනාලියක් වී පෙර දා
කැදලි තනා ඉගිලුනාට
ඒ නිවසේ උණුසුම මට
සිහි වන වා හැම මොහොතෙම

සිත ඉගිලෙන මුත් නිවසට
යා නො හැකිය හනික එලෙස
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

දුවේ කියා අමතන හඬ
ඇහෙනව මට හැම මොහොතෙම
පුරුද්දකට මෙන් හැමතැන
හොයනවා ඇති මාව තාම

එහි රජයන පාලු ගතිය
මකා දමණු හැකිය නුඹට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
සමන් පිච්ච කඩොපුල් මල්

පිපිලා ඇති මේ වෙනකොට
මා එනතුරු ඉන්නව ඇති
බුදු පාමුල සැනහෙන්නට

ලඟදිම එන බව පවසා
පනිවිඩයක් ගිහින් දෙන්න
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

අම්ම තාත්තාගෙ දෑසෙ
සතුටු සිනා පුබුදුවන්න
සිතේ තියන  පාලු ගතිය
ගිහින් දමණු දුර ඈතක

සෙනෙහස උතුරණ කැදැල්ලෙ
මා සතුටින් බව කියන්න
ඒ ගැන දුක් නො වී තුටින්
ඉදිණු මැනවි කියා දෙන්න

සමන් පිච්ච මල් සුවඳක
මා ඔතනා හාදු පේලි
ගිහින් දෙන්න මා වෙනුවට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
 

ඉතින් එකකට එකක් නොදෙවෙනි මේ පද රචනා ලියන්න දායක වුනු හැම කෙනෙක්ටම තුශානි හද පිරි ප්‍රණාමය පුද කරනවා. බොහොම ස්තූතියි තුශානි වෙනුවෙන් මේ අභියෝගය භාර ගත්තට... 

ඔන්න හැමොටම මම මෙයාගේ අතේ මල් එකක් ගෙදරටම එව්වා..  

හැබැයි ඉයන් කලින් කියලා තිබුන විදිහට මේ පද රචනා වලින් කිහිපයක් තෝරන්න නම් තුශානිට බෑ නෙවෙයි කොහොමත්ම බෑ... තුශානිට මේ හැම එකක්ම හරිම සුවිශේෂියි.. ඉතින් කොහොමද එකක් තෝරන්නේ.

ඒ නිසා මම ඉයන්ටම ආරාධනා කරනවා අපේ මේ ගී පද රචකයින්/ රචිකාවන් එක්ක එකතුවෙලා මේ අපූරු ගීත රචනාවන් ටික මියුරු සංගීතයකට මුසු කරලා ලස්සන කට හඬකින් අපිට ඇහෙන්නත් සලස්වන්න කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා. 

එතකොට බ්ලොග් අවකාශයට විතරක් නෙවෙයි.. මුළු ලෝකයටම අපේ මේ බ්ලොග් හිතවතුගේ හැකියාවන් දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දවස ඉක්මනින්ම උදා වේවා කියලා තුශානි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 


~ * ~


38 comments:

  1. නියමයි.මට අල්ලලාම ගියා ලව්පූස් සහ මැට්ට ගෙ එකටයි.. එළස්

    අයියන්... දැං ඉතිං පටං ගං

    ReplyDelete
    Replies
    1. @ දේශක - ඒක තමයි ... බලන්න්කෝ කට්ටිය බෑ කිව්වට ලියලා තියෙන ගී පද රචනාටික... නියමයි...

      ඔව් ඔව් .. දැන් ඉතින් පටන් ගනන් තියෙන්නේ...

      Delete
    2. @ ඉවාන් - පගාවක් එහෙම දුන්නෙ නෑ නේද ;)

      Delete
  2. තුශානිට සිංදු කියන්නත් පුළුවන් ඇතිනේ. එහෙනම් ඔයාගේ කට හඩින්ම මේ පද රචනා ටික ගීතවත් කරමුද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිළිගන්නවා...

      හපොයි මම මේවා කිව්වොත් මේ ටික ලියපු අයට ලොකු අසාධාරනයක් වෙන්නේ.. මොකද කිසි කෙනෙක් මේ සින්දු අහන එකක් නෑනේ..

      Delete
  3. සෘතිය දෙන්ඩ මාස්ටර් සෘතිය .. ආ ආ ආ ආ !!

    ReplyDelete
    Replies
    1. හි..හි... කෝ මේ මාස්ටර් නෑනේ තාම ...

      Delete
    2. කුණඋ හබ්බ කියන්නෙපා පත්‍තරෙ...

      Delete
  4. හම්මෙ ඉතිං නේ. දැං ඔයාම කියන්න මේක. අපි ෂයිඩ් ෂපෝට්

    ReplyDelete
    Replies
    1. අපොයි ඕක සුළු දෙයක් කියන්න පුළුවන් හැබැයි කවුරුත් අහන් ඉඳියිද කියලා තමයි බය.. අපරාදේ මේ ලස්සනට ලියපු සින්දු ටික...

      ලියපු එකේ එක්කෝ ඔයාම කියන්න. අපි ෂයිඩ් ෂපෝට් ;)

      Delete
    2. තුශානිට හොද මිහිරි කටහඩක් තියෙනවානේ. (නිවේදිකාවක් නිසා මම මේ කියන්නේ.) බොරුවට බෑ බෑ නොකියා කියලා බලමු. කොළොම්පුරෙන් ෆුල් සපොට් එක දෙනවා.

      Delete
    3. මම මේ සින්දු කියන්න ගිහින් හරියට කියවුනේ නැත්තම් ඒක ඒ ගීත රචනා කරපු අයට කරන අසාදාරනයක් නේද ?

      Delete
  5. ඇත්තටම තුශණිට ගායනා කරන්න හැකියාවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ,හොඳටම පුලුවං ..ලැජ්ජාවට කියන්නෙ නැත්තෙ. ඉයන් අපි මේක මෙයාටම කියල කරවමු.

      Delete
    2. @ - ඉයන් - ඇත්තමයි මේ කියන්නේ .. තුශානිට එහෙම ලොකු ගායන හැකියාවක් නෑ. ඒ නිසා මේ ගී පද රචකයින්ගේ ලස්සන ගීත ටිකට අසාධාරනයක් කරන්න තුශානිගේ කැමැත්තක් නෑ..

      ඔන්න දැන් තමයි ඉයන්ගේ උදව් ඕනෙම වෙලාව.. අපිට ලස්සන සින්දු ටිකක් ඉක්මනින්ම අහන්න ලැබෙයි නේද ?

      Delete
    3. @ ඉවාන් - හප්පේ මෙයා මම සින්දු කියනවා අහන් ඉඳලා වගේ මේ කියන්නේ ;)

      Delete
  6. ම්ම්ම්ම් මේ තියෙන්නේ මම ඒත් බැලුවා මොකද මේ පිළිබඳ කිසි සද්දයක් නැත්තේ කියලා.මේ හැමෝම කියලා තියෙන විදියට මට හිතෙන්නේ ඔයාට ලස්සන කටහඬක් තියෙනවා කියලයි. ඉතින් එහෙනම් ඔයාම පටන් ගන්නකෝ වැඩේ.

    ReplyDelete
    Replies
    1. තවත් කවුරුහරි අභියෝගේ භාර ගනීද කියලයි ටිකක් බැලුවේ...

      එහෙම ලොකු හැකියාවක් නෑ ශානි... මගෙන් හරියට ගීතය කියවුනේ නැත්තම් ඒක ඔයාලට ලොකු අසාධාරනයක්.. ඒ නිසා අපි ඉයන්ට කියලා හොඳ කෙනෙක් හොයා ගම්මු..

      Delete
  7. මාත් එකක් ලියනවා....


    ජය..

    ReplyDelete
    Replies
    1. අහ්... හොඳයි හොඳයි... ඉක්මනින්ම එකක් ලියන්න

      ජය වේවා !

      Delete
    2. අම්මප... ඒකේ ලිරිකස් වල තියෙන්නේ “ජයවේවා“ විතරයි වෙන්ටැති.. හැක්

      Delete
  8. කිව්වත් වගේ මේ හැම පද රචනයක්ම හරිම අපුරුයි, තෝරන්නේ කොහොමද එකක්.. කොහොමහරි කවුරුහරි තොරලා ඉක්මනින් සින්දුවක් වෙලා මේ පද රචනයක් ඇහෙන කන් බලන් ඉන්න එක තමයි අමාරු...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොහොම එකක් තෝරන්නද ...

      ඔව්.. මාත් මේ බලාගෙන ඉන්නේ මේ පද රචනාවන් ගීත විදිහට අහන්න ලැබෙනකන්...

      Delete
  9. සුළඟ නුඹ කුමට ?

    පතිකුලයට ගියත් පාවඩ පෝරු පිට
    දණ ගෑ පොලොව අමතක කළ හැකි කෙලෙස
    පියනගනා කලට හිරු යට ඉදිරියට
    පාවඩ වියන් නැති බැව් කිව්වා නොවෙද

    තනිකාමරේ තරමක් ඉඩකඩ වැඩිය
    ටික ටික ගොඩගැසේ ගේකට අඩු වැඩිය
    සිතුවත් දිගට නිදිසුව ලබනා විදිය
    මරුටිය පාර අයිනේ පාකිං නැතිය

    ඇනෙක්සිය හොඳයි ලැබුනේ නෑ යතුරූ
    පෙනේ තව මොණර කොළ සෙව්මට ලකුණු
    ගතත් වතත් වූවත් තරමක් අඳුරූ
    තියන්නට වේය කණකරවත් මහරූ

    ඉල්ලා තිබුණ මුත් පොඩ්ඩී ගුරු පඬුරූ
    දළුලා තිබුණි අප වටකර ණය පඳුරූ
    බැංකු ගත කළෙමි මේ මාසේ කඳුලූ
    කමා කළ මැනවි මා දෙගුරුණි සොඳුරූ

    ඇති සැටියෙන පවසමි පතිකුල පුවත
    ඒ කියනට මට මද පවනක් කුමට
    මහ කව් පබැඳුම නොහැකිය එක දවස
    යනුවෙන් එදා කී දෙගුරුන් ඔබ නොවෙද


    ReplyDelete
    Replies
    1. "පෙනේ තව මොණර කොළ සෙව්මට ලකුණු" යන පද වැලෙහි අවසන් පදය "ලකුණූ" විය යුතුය.

      Delete
    2. හරිම අපූරුයි... මට හිතෙන්නේ ගීතයක් නිර්මාණයට මේ පද පේලි ටිකත් හොඳටම තියෙනවා කියෙලයි.. මොකද හිතන්නේ ?

      Delete
    3. අහ්.. ගී පද රස විඳින්න ගිහින් ඔයාව කැකුළු ගොමුවට පිළිගන්න බැරිවුනානේ... ඔන්න තුශානි සාදරයෙන් ඔයාව කැකුළු ගොමුවට පිළිගන්නවා... බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට...

      Delete
    4. ස්තුතියි. තේරීම "විද්වත් මණ්ඩලයකට" භාර කළොත් හොඳ නැද්ද? ඉයන්, අජිත් පැරකුම්, රසික, විචාරක, සාරස, මාතලන් වගේ අය ඉන්න.

      Delete
    5. ඔව්... ඉයන්ගේ උදව් අපිට ලැබෙනවා..

      Delete
  10. " ආදර අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
    අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
    ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
    සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ...."

    ලියූ ශානි ශෂී කිවිඳිය වෙත ලියවෙන ආදරණීය සටහනකි.

    "කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ
    මකරා පසුම්බිය පඩිදා විදිල්ලේ
    දෙදරා විද්ද විදමන රත්කිහිල්ලේ
    කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ"

    එලිසමයේ "ලේ" සහ "තොටිල්ල" දුටු මට ඉහත කව මතක් විය. ඒ කව සඳහන් කව් පන්තිය ද කවියා ගැනද ඔබ කියවන්නේ නම් මනාය.

    ReplyDelete
    Replies
    1. :) ඔය කියන්නේ කුමාර හෙට්ටිආරච්චි ලියපු කවි පෙළ ගැන වෙන්න ඕනේ...

      Delete
    2. හරියට හරි. ඔය කවි පන්තිය නන්දා මාලනී ගීතයක් විදියට "කිඳුරියගේ විලාපය" හි ගායනා කරනවා.

      තල මලේ කවිය කියවල අහල තියනවද ?

      Delete
    3. මම හිතන්නෙ අහලා නැතුව ඇති.. මතකයක් නම් නෑ...

      සංජීව blog එකක් ලියන්නෙ නැද්ද ? මට හිතෙනවා මේ දේවල් ගැන විස්තර ඇතුව ඔයා ලියනවා නම් ගොඩක් වටියි කියලා..

      Delete
    4. ඇත්තටම එහෙම අදහසක් නම් තියනව. නමුත් කාර්යබහුලකම නිසා අතපසු වෙනව. ආරාධනයට ස්තුතියි.
      https://www.youtube.com/watch?v=yYDSK0-adhw
      ඉහත ලින්ක් එක බලන්න. කවියා ධර්මසිරි රාජපක්ෂ

      Delete
    5. මම හිතන්නෙ මේක පැහැදිලියි.
      https://www.youtube.com/watch?v=s-6-IxUC1g0

      Delete
    6. ඒක පැහැදිලියි.. බොහොම ස්තුතියි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...