Monday, March 24, 2014

හොයලා දුන්නොත් රුපියල් 10,000.00 ක් ...




රෝසි නෝනා කියන්නේ බොහොම ඉහළ පෙළේ පන්තියක ඉංගිරීසි පන්නෙට හැදුන සල්ලිකාර නෝනා කෙනෙක්. ඔය රූපෙ ඉන්නේ රෝසි නෝනා.

 රොබින් කියන්නේ රෝසි නෝනා හුඟක් ආදරය කරන, දුකේදි සැපේදි රෝසි නෝනා ලඟම ඉන්න කෙනෙක්. රොබින් කිව්වේ රෝසි නෝනගේ මහත්තය කියලා ඔන්න පටලව ගන්න එහෙම එපා.. 



රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්. 

 මේ ඉන්නේ රොබින් .....


ඔන්න ඉතින් දවසක් රෝසි නෝනා රොබින් වත් එක්කරගෙන ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න මාර්කට් එකට ගියා. 

එක අතකින් කුඩේත් අනිත් අතින් මාර්කට් ගෙනියන බෑග් එකත් අරගෙන අඩි උස සෙරප්පු දාගෙන රෝසි නෝනා ඇවිදින තාලෙටම රොබිනුත් රෝසි නෝන පස්සෙන් බොහොම උජාරුවෙන් තමයි මාර්කට් ගියේ.

මීට කලින් රෝසි නෝනත් එක්ක මාර්කට් ගිහින් නැති නිසා මාර්කට් ගමන රොබින්ට අලුත් අත්දැකීමක්. ඉතින් පාරේ තියෙන එක එක විදිහෙ දේවල දිහා ටිකක් ඕන කමින් බල බල ගියත් පාරේ හිටිය අනික් බලු රාළලා ලගින් යද්දි නම් රොබින් ටිකක් ආඩම්බර කමින් තමයි ගියේ.

දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවයේ අය බඩු ගන්න ගියාම කොහොමද කියලා. ඉතින් ඒ වගේ රෝසි නෝනත් එයාට උවමනා දේවල් ‍තෝර ‍තෝර  තැනින් තැනට ගියා. 

කොහොමින් කොහොමහරි ටික වෙලාවක් ගිහින් රෝසි නෝනා රොබින්ව හොයන කොට රොබින් පේන්න හිටියේ නෑ..

" රොබීන් ... රොබීබීන්.. වෙයර්ආයු... " 

කිය කිය රෝසි නෝනා හැම තැනම රොබින්ව පැය ගානක් හෙව්වත් හොයාගන්න පුළුවන් වුනේ නැති නිසා අන්තිමට රෝසි නෝනා බොහොම දුකෙන් ගෙදර ගියා.

රෝසි නෝනා රොබින්ට හුඟක් ආදරෙයි කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා සල්ලි ගැන වත් හිතන්නේ නැතුව රොබින් හොයලා දුන්න කෙනෙක්ට රුපියල් 10,000.00 ක් දෙනවා කියලා ලොකු අකුරින් ලියලා පොස්ටර් එකක් ගහලා ටවුම පුරාම අලවන්න කටයුතු කළා.

ඔන්න ඔයාලටත් කොහේදිහරි රොබින්ව දකින්න හම්බුනොත් ඉක්මනින්ම රෝසි නෝනට දැනුම් දීලා සල්ලි ඉල්ල ගන්න. තාම රොබින් හම්බවුනේ නැති නිසා ඉතුරු විස්තරේ කියන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි කියලා මතු සම්බන්ධයි  දැම්මොත් බැනුම් කෝටියක් අහන වෙන හින්දා කතාවේ ඉතුරු ටිකත් අදම ලියන්න හිතුවා. 

රෝසි නෝනව මග ඇරිලා ටවුමේ අතරමං වෙච්ච රොබින් සිරිපාල අහම්බෙන් වගේ දැක්කා.. සිරිපාල රොබින්ව දන්නේ එයා රෝසි නෝනගේ වත්තේ දවස් කීපයක් වැඩ කරන්න ගිහින් තිබුන නිසා. ඉතින් සිරිපාල රොබින් වත් එක්කගෙන රෝසි නෝනගේ ගෙදර ගියා. හැබැයි රොබින් හොයලා දෙන කෙනෙක්ට සල්ලි දෙනවා කියලා රෝසි නෝනා පෝස්ටර් ගහපු බවක් නම් සිරිපාල දැන්ගෙන හිටියේ නෑ.

රොබින්ව දැක්ක ගමන් රෝසි නෝනගේ සතුට ඉහවහ ගියා.. රොබිනුත් දුවලා දුවලා ගිහින් රෝසි නෝනා වටේ කැරකි කැරකි සතුට ප්‍රකාශ කලා. මේ සතුටත් එක්ක තෑග්ග ගැන රෝසි නෝනට අමතක වෙලා ගියා.. ඊටත් සිරිපාල ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ නේ. 


ඉතින් ඊට දවස් කීපයකට පස්සේ සිරිපාලට මේ තෑග්ගේ කතාව දැන ගන්න ලැබිලා අපහු රෝසි නෝනා හොයාගෙන ආවා. රෝසි නෝනා තෑග්ග දෙන්න හිතුවත් එයාගේ මහත්තයා ඒකට කැමති වුනේ නෑ.එයා ඉතින් පෙරකදෝරු මහත්ත්යෙක් නේ.. එයා මේක දිහා බැලුවේ තවත් එක නඩුවක් විදිහට. එයා කිව්වේ සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා එයාල අතර වලංගු ගිවිසුමක් නෑ කියලා. ඒ නිසා තෑග්ග දෙන්න ඕනේ නෑ කියලා.

තෑග්ග ලැබෙන්න නම් දෙපාර්ශවයම අතරේ වලංගු ගිවිසුමක් තියෙන්න ඕනේ..  සරළව කියනව නම් තෑග්ග ගැන සන්නිවේදනය වෙලා තියෙන්න ඕනේ.. නීතියේ හැටියට කියනව නම් වලංගු ගිවිසුමක අර්පණයක් අර්පණලාභියාට මැනවින් සන්නිවේදනය වී තියෙන්න ඕනේ.. පෙරකදෝරුතුමා විස්තර කළා.

කොහොමින් කොහොම හරි සිරිපාලට තෑග්ග නම් හම්බවුනේ නෑ.

ඒ නිසා ඔයාලත් මේ වගේ කාටහරි මොනාහරි හොයලා දීලා තෑග්ගක් ගන්න හිතාගෙන ඉන්නවනම්, තෑග්ගක් දෙනවද කියලා කලින් ටිකක් හොයලා බලලා දැන ගන්න වෙනවා  :):)   නැත්තම් තෑගි නෑ හොඳේ  ...


40 comments:

  1. මහත්තයා පෙරකදෝරුවෙක් උනාම මොකද? අර හැලපේ බැනට් අයියගේ රොබින්ව නිකම්ම හොයල දුන්නේ.. හැක්..

    මං හිතුවේ මේක පරිවර්තනයක් කියලා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. පෙරකදෝරුවෙක් හින්දලුනේ ඔය නීති දන්නේ.. කරපු දේ නම් හරියි කියලා කියන්නේ නෑ. ඒත් ඔයහාසමාන සිදුවීම් සිද්ධවෙලා තියෙනවා ..

      පරිවර්ථනයක් නෙවෙයි.. ස්තූතියි දේශකතුමා...

      Delete
  2. මමත් හිතුවෙ මේ කතාව පරිවර්තනයක් කියලයි.තුශානි නීතිය ඉගෙන ගන්න ළමයෙක් වගෙයි පෙනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙනස් දෙයක් ලියන්න හිතුනා ඒකයි මෙහෙම ලිව්වේ .. ගැඹුරින් නැතත් නීතිය ගැන ටිකක් ඉගෙනගෙන තියෙනවා ...

      Delete
  3. තුෂානි ගිවිසුම් නීතිය ගැනත් දන්නව වගේ. අර්පණ, අර්පණලාභියා වගෙ වචන ක්ෂේත්‍රයෙන් පිට අය භාවිතා කරන්නෙ නැති තරම්.
    රෝසි නෝන දැනගන්න එපායැ. තමන්ට උදව්වක් කරපු කෙනාට සළකන්න. අනික පොරොන්දුව පොරොන්දුවක් විදියට වෙන්න එපායැ. නීතියෙ හැටියට වෙන්න ගියොත් නම් මහ එපාකරපු මෙලෝ රහක් නැති සමාජයක් බිහිවෙන්නෙ. හැම සමාජ සම්බන්ධතාවයක්ම ලෝයර් කෙනෙක් ඉස්සරහ කරන්න වෙන්නෙ. මනුස්සයො දෙන්නෙක් අතරට බැටන්පොල්ලක් දාන යාන්ත්‍රිකත්වයට මම ආසම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ නිසාමයි වචන වල තේරුම් ගැන අදහසක් කතාවෙන්ම ගන්න පුළුවන් වෙන විදිහට ලිව්වේ..

      මේ සිදුවීම නම් හරියි කියලා කියන්නේ නෑ. එත් මේ වගේ සිද්ධි කීපයක්ම නීති පොත් ඇතුලේ තියෙනවා.

      වෙනස් දෙයක් ගැන කට්ටියගේ අවධානය යොමු කරවන්න හිතුන නිසයි මෙහෙම දෙයක් ලිව්වේ.. අදහස් දක්වන්න මේ පැත්තට ගොඩවුනාට හුඟක් ස්තූතියි...

      Delete
  4. ආයෙත් බල්ලව ඉස්සුවා නම් හරි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ අදහස... හැබයි මතක් කරලා සල්ලි ඉල්ලගන්න ඕනේ..

      Delete
  5. ඒකත් එහෙමද ඈ.. මාත් නාවල පැත්තේ බල්ලෙක්ව හොයලා දීලා 10,000ක් ගන්න හිටියේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් කලින්ම කියලා තියෙන්නේ... මතක ඇතුව සල්ලි ඉල්ල ගන්න හොඳේ..

      Delete
  6. අර්පණ, අර්පණලාභියා මෙවෙ තේරුම් මුකාද?

    ReplyDelete
    Replies
    1. හරි මම මෙහෙම කියන්නම්කෝ.. අර්පණයක් කියන්නේ යෝජනාවක්. ඉංග්‍රීසියෙන් කිව්වොත් offer එකක්.

      ගිවිසුමක් ඇතිවෙන්න නම් යෝජනාවක් ඉදිරිපත් කරණ පාර්ශවයක් වගේම යෝජනාව පිලිගන්න පාර්ශවයකුත් ඉන්න ඕනේ..

      තෙරියුම් ආචාර්යතුමා ?

      Delete
    2. ස්තුති දැන් නෙහ් තෙරුනේහ්..

      එතකොට තෙරියුම් කියුවේ මුකාද

      Delete
    3. හපොයි.. ආචාර්යතුමාටත් තියෙන ප්‍රශ්ණ...

      අර්පණ ගැන කියපු ටික තෙරුනේහ්.. ඒ නිසා ඒගැන එච්චර හිතන්න එපා..

      Delete
  7. වෙන්ඩ ලෝයර් කෙනෙක්ද ඔයත්? :D

    ReplyDelete
  8. හැබැයි රෝසි නා්න නං චප්ප චොර... මහත්තය මොකක් කීවත් එයාට පොරොන්දුව ඉස්ත කරන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. හි.. හි... ඒක ඇත්ත ... මොනා වුනත් පොරොන්දු ඉෂ්ට කරන්න තිබුනා...

      Delete
  9. ඒක හොදයි.. මීට පස්සේ අයිතිකාරයා හොයන්න කලින් බලන්න ඕන තෑග්ගක් තියේද කියලා.. නැත්නම් අපරාදෙනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. නැත්තම් තෑගි නෑ හොඳේ ...

      Delete
  10. තුෂී,ඒ වුනාට ඒ අර්පණය ප්‍රසිද්ධ හා විවෘත අර්පණයක් නේද?එතකොට ඒ අර්පණයෙන් අපේක්ෂා කල දෙය,ඒ කියන්නේ බල්ලා සොයා දීම කියන තැනදී ව්‍යංගයෙන් අදාල කෙනා අර්පනය පිළිගෙන තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මෙතනදි සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා අර්පණය මැනවින් සන්නිවේදනය වෙලා නෑ කියන තර්කය තමයි අරගෙන තියෙන්නේ..

      වලංගු ගිවිසුමකදී අර්පණය මැනවින් සන්නිවේදනය වී තිබිය යුතුයි කියලයි නීතිය පිළිගන්නේ..

      හුඟක් ස්තූතියි අදහස් දක්වන්න මේ පැත්තට ගොඩවුනාට ... සාදරයෙන් පිළිගන්නවා .....

      Delete
  11. අප්පෝ නීතියනන්ම්මතක් කරන්න එපා. ඔක් දන්නේ නැතිතරමට හොඳයි , මොකද දන්නේ නෑනේ කියලා හිත හදාගත්ත් හැකි

    ReplyDelete
    Replies
    1. ඔයාට නීතිය හොඳටම එපා වෙලා වගේ.. :)

      Delete
  12. මම කියන්න යන්නේ මේ කථාවෙ ගැන කියවෙන නීතිය ගැන නෙමෙයි. මට කොහොමත් නීතිය කියන්නෙ හරිම කර්කෂ විෂයක්....

    සිරා සූටි එකා කාලෙ අපේ ගෙදර හිටිය දඩෝරියගෙ නම රොබින්. මේකා හරිම හීලෑ එකෙක්...අපේ අම්මා නම් කිව්වෙ මේකා හදන වෙලේ ගොනෙක් හදාගත්තා නම් මීට වඩා හොදයි කියලයි..ගෙදරට අමුත්තෙක් එද්දි රොබින් නැට්ට වනාගෙන ගිහිල්ලා අපිටත් කලින් උගෙ සුහදතාව පෙන්නනවා...කවදාවත් කිසිම දේකට බුරන්නෙ නෑ...වෙන බල්ලො බුරනවා අැහුනත්...ඔලුව උස්සලා බලලා උගෙ පාඩුවෙ ආයෙමත් නිදා ගන්නවා..

    මේ රොබින් බල්ලා අපේ ගෙදරින් වීසා කපා ගත්තෙ ඌට අහුවෙන අහුවෙන ඇදුම හපන්න ගත්තට පස්සෙ....එහා ගෙදර ජෑස් කොල්ලගෙ කලිසම් 3 කම පස්සා පැත්ත රොබිනා කාලා...ඒ මදිවට අපේ ආච්චිගෙ අලුත්ම චීත්ත වගේකටත් මේකා වගකියලා...ඉතිං තාත්තා තීරණය කලා රොබිනව පොල් කඩන්න එන ලාල් අයියට දෙන්න...එදා ලාල් අයියා බයිසිකලයට නැගලා රොබිනාගෙ දම්වැල අල්ලගෙන යම් පුතා කියලා ඉස්සරහට යද්දි අපි දිහා සානුකම්පිත බැල්මක් දාලා රොබිනා බයිසිකලයත් එක්ක දිව්වා...ඒ සතාගෙ ඒ බැල්ම මැරෙනකං මට අමතක වෙන එකක් නෑ....

    මම පුංචි උනාට ඒ සිදුවිම මගේ හිත හරියට රිදෙව්වා...මම තාත්තට ගොඩාක් දොස් කිව්වා...වේලක් දෙකක් නොකා හිටියා...රොබිනව මතක් වෙන්න වැස්සකින් පස්සෙ තෙත පොළවෙ සටහන් වෙලා තිබුන උගෙ පා සටහනක් පිහියකින් කුට්ටියක් විදියට කපලා ගේ ඇතුලෙන් අරන් තිබ්බා.

    මෙහෙම කමෙන්ටුවක් කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති නේද...මට රොබින් නම දැක්ක ගමන් මතක් වුනේ මේ සිදුවීම.

    ReplyDelete
    Replies
    1. ඔව් .. මෙහෙම කමෙන්‍ටුවක් බලාපොරොත්තු නොවුනත් කතාව කියෙව්වහම ඒක හුඟක් සංවේදීව දැනුනා.

      Delete
  13. නීති පොතේ මොනව තිබ්බත් තමන්ට උදව් කරපු කෙනාට ප්‍රති උපකාර නොකරපු එක නම් වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒත් ඔහොම දේවලුත් වෙලා තියෙනවා..

      Delete
  14. බල්ලව ඉස්සර වගේ අර මොකක්ද මන්ද වෑන් එකෙන් ඉස්සුවද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. හි.. හි.. එහෙම ඉස්සුව නම් අපහු සිරිපාලට හම්බ වෙන්නේ නෑ හැබැයි.. :)

      Delete
  15. බලු වැඩක් කරලා තියෙන්නේ සිරිපාලට. බලු වැඩක් කරලා තියෙන්නේ සිරිපාලට. දැන් තියෙන්නේ කට්ටිය දාලා රෝසි නෝනාව උස්සන්න. එතකොට නම් අර ඔෆර් එක එන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ෂ්.......... කැගහන්න එපා..
      රෝසි නෝනට ඇහුනොත් තරහ යයි... :)

      Delete
  16. ලස්සන සරල කතාවක්. හැබැයි කතාවට යටින් ධනපති පංතියට ලංවෙන්න හදන මධ්‍යම පාංතිකයන්ගෙ චරිත ලක්ෂනත් මනාව නිරූපණය වෙනව.

    ඔන්න එහෙනම් මාත් අද ඉඳන් එනව පුංචි කැකුළු මල් නෙලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් වලට .. සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට ..

      Delete
  17. බල්ලා නැතිවෙලා නෑ. ලෝයර් තමයි බල්ලා.

    ReplyDelete
    Replies
    1. හි.. හි.. කරපු වැඩේ හරි නෑනේ...

      Delete
  18. මනුස්සකම් වලට කොහෙද නීති වලංගු වෙන්නේ .....නේද ?

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ... සාදරෙන් පිළිගන්නවා කැකුළු ගොමුවට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...