Monday, February 23, 2015

මහින්ද අල්ගම මාමත් එක්ක අපි ගුවන් විදුලි නාට්‍ය කරපු හැටි...

පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස අනුපමේය සේවයක් කල මහින්ද අල්ගම මාමා අපිට නොකියාම නො එන ගමනක් ගිහින් පහුගිය 15 වෙනිදාවට වසරක් ගත වුනා. රූපයෙන් ඔහු බොහෝ දෙනෙක් නොහදුනන කෙනෙක් වුනත් ඔහුගේ නිර්මාණයන් රස නොවිඳි කෙනෙකු නැති තරම්. මතකයිනේ මම මිට කලින් ඔහු ගැන ලිව්වා. ඒ පොස්ට් එක කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් ඒක කියවලම එන්නකෝ.      

වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ තවත් එක් අංගයක් විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කල, ඔහුගේ ගුරුහරුකම් යටතේ වැඩසටහන් මෙහෙයවූ ළමා ශිල්පී ශිල්පිණියන්ගේ එකමුතුවෙන් ගෝතම තපෝවනය ආශ්‍රිතව පිහිටි කුමාර කාශ්‍යප ළමා නිවාසයේ දානමය පිංකමකුත් පහුගිය දිනක පැවැත්වුනා. මහින්ද මාමා මුළු ජීවිත කාලයම ළමයින් වෙනුවෙන් කැප කල කෙනෙක් නිසා වසරක් පිරෙන මේ මොහොතේදී ළමයින් වෙනුවෙනුත් යමක් කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ කටයුත්ත සංවිධානය වුනේ. 

ඉතින් තුශානිටත් අවස්ථාවක් ලැබුනා මේ කටයුත්තට සහභාගී වෙන්න. එදා පුංචි ළමයි විදිහට මහින්ද මාමා වටා එකතු වුනු අපි, අද  ලොකු මහත් වෙලා සමාජයේ නොයෙක් තැන්වල ඉඳලා එකට එකතු වුනත් අපි පසුපස හිඳිමින් අපිට මගපෙන්වන්න, ගුරුහරුකම් දෙන්න ඔහු අපි අතර අද නොසිටීම නොපිරිමැසිය හැකි අඩුවක් බව ඒ අවස්ථාවට සම්බන්ද වුනු හැම කෙනෙක්ටම බොහොම තදින් දැනුන කරුණක්.

ඇත්තටම ඒ හෝරා කිහිපය, තුශානිවත් අතීත මතක ගොඩකට අරගෙන යන්න සමත් වුනා. ඒ නිසාම අද තුශානි හිතුවා ඒ අතීත මතකය ඔහු වෙනුවෙන් අවදිකරලා ඔහු වෙතින් අපි උගත් දෑ ගැන පුංචි සටහනක් තියන්න. මේ මහින්ද මාමාත් එක්ක අපි ගුවන් විදුලියේ ළමා නට්‍ය කරපු හැටි. 
තුශානිට මහින්ද මාමා මුලින්ම හමුවුනේ ළමා පිටිය වැඩසටහනකට සහභාගී වුන අවස්ථාවක. මහින්ද මාමා ටිකක් සැර කෙනෙක් කියන මතය ඒ වෙනකොට තුශානිගේ හිතේ තිබුන නිසා ඔහු යටතේ නට්‍යකට සම්බන්ද  වෙන්න වැඩි කැමැත්තක් ඒ කාලේ තුශානිට තිබුනේ නෑ. මොකද තුශානි ඉතින් පොඩ්ඩක් වත් බය නැති එක්කෙනානේ. :). ඒත් දවසක් මහින්ද මාමා වෙනත් වැඩසටහනකදී හම්බ වෙලා "එන්න පුළුවන්ද නාට්‍යයකට" කියලා ඇහුවා තුශානිට අද වගේ මතකයි. මොකද බෑ කියන්න බැරිකමටමයි තුශානි එදා හා කිව්වේ. වරදවා හිතන්න එපා. ඇත්තම කිව්වොත් ඒ තරමට තුශානි මහින්ද මාමත් එක්ක වැඩ කරන එක අහියෝගයක් කියලයි හිතාගෙන හිටියේ. දැන් ඒ ගැන හිතෙනකොට ඒ කොයිතරම් නම් වැරදි වැටහිමක්ද කියලා හිතෙනවා. ඇත්තටම ඔහු යටතේ ගුරුහරුකම් ලබන්න තුශානිත් පිං කරලා තිබීම ගැන අද හිතේ නිහතමානී සතුටක් තියෙනවා. මොකද අපි හැම කෙනෙක්ගේම පදනම ඔහු ශක්තිමත් කල නිසා. 

ඉතින් ඔන්න ඔය විදිහට තුශානි ළමා නාට්‍ය වලට සම්බන්ද වුනා. මහින්ද මාමා කියන්නේ හුඟක් හොඳ මතකයක් තිබුන කෙනෙක්. මොකක්හරි වැඩසටහනක් සඳහා දිනයක්, වෙලාවක් වෙන්කර ගත්තොත් ඒ දවසේ ඒ දේ හරියටම කරන කෙනෙක්. තුශානි ගියේ ගුවන් විදුලිය අවට තිබුනු බාලිකා පාසලකට නිසා පාසල නිමා වෙලා බොහොම ඉක්මනින් ගුවන්විදුලියට ඒමේ හැකියාව තුශානිට තිබුනා. මහින්ද මාමත් එක්ක කොහොමත් කලට වෙලාවට වැඩ තියෙන්න ඕනේ නිසා කිසි දවසක පරක්කුවලා දුවගෙන නො එන්න හැම තිස්සෙම තුශානි වගබලා ගත්තා. ඒ දවස්වල තිබුනු ආරක්ෂක හේතු නිසා ගුවන් විදුලිය ඇතුලට යන්න ලේසියෙන් හැකියාව තිබුනේ නෑ. රිසෙප්ශන් එක ගාව අපිට ඉන්න සිද්ද වුනා මහින්ද මාමා ඇවිත් කට්ටියම ඇතුලට එක්කගෙන යනකන්. ඔන්න ඉතින් එන්න කියපු වෙලාවට මහින්ද මාමා පිටපත් ටිකකුයි, තැටි ටිකකුයි උස්සගෙන එනවා දකින්න පුළුවන්. " කට්ටිය කාලාද ඉන්නේ " ඒ මහින්ද මාමාගේ පලවෙනි ප්‍රශ්නය. "නැති කට්ටිය  ඉක්මනට කාලා එන්න අපි රියසල් එකට ලෑස්ති වෙන්කන්" කියලා මහින්ද මාමා රියසල් කරන තැන කියලා ඉතුරු කට්ටියව එතනට එක්කගෙන යනවා. 

මහින්ද මාමා මුල් පිටපත අතේ තියාගෙන අනිත් පිටපත් ටික අපි අතරේ බෙදලා දීලා එක එක් එක්කෙනාට නාට්‍යයේ චරිතත් බෙදලා දෙනවා. රියසල් එක තමයි අපිට ඕන දෙයක් අහගන්න තියෙන එකම අවස්ථාව. පිටපතේ අපැහැදිලි තැන්, වෙනස් කරගන්න ඕනේ තැන්, හඬ උස් පහත් කරන විදි, හඬ වෙනස් කරන විදි වගේ හැම දෙයක්ම ඒ වෙලාවේදී අහගන්න පුළුවන්. පිටපතේ දෙබස් නාට්‍යයේ විදිහට නාට්‍යාකාරයෙන් හසුරවමින් තමයි පුරුදු පුහුණුවීම් සිද්ධවෙන්නේ. එතකොට මහින්ද මාමා පිටපත දිහා බලාගෙන අපේ  වැරදි අඩුපාඩු හදනවා. කට හඬ හැසිරවිය යුතු සියුම් තැන් පවා ඔහු කියාදෙන ආකාරය නවකයින් වුනු අපිට අපේ අඩුපාඩු හදා ගන්න ලොකු පිටිවහලක් වුනා. සිංහල භාෂාව ගැන වුනත් මහින්ද මාමාට තිබුනේ පුළුල් දැනුමක් නිසා ඕනෑම දෙයක් ඔහුගෙන් අහලා දැන ගැනීමේ හැකියාව අපිට තිබුනා. හරියටම කියනව නම් ඔහු ඇවිදින පුස්තකාලයක් වගේ. ඒ කාලේ තුශානිට වගේම හැම කෙනෙක්ටම තිබුනු ලොකු ප්‍රශ්යක් වුනේ කොහොමද මාමා මේ හැම දෙයක්ම දන්නේ කියන එක. ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු ගැන වුනත් මාමා නිතරම අහලා ඒවට උදව් කරපු අවස්ථා බොහෝමයි.

ඊලඟට මහින්ද මාමා කට්ටියම පටිගත කිරීම සිද්ද වෙන මැදිරියට / ස්‍ටුඩියෝ එකට එක්කගෙන යනවා. හුඟක් වෙලාවට නාට්‍යය පටිගත කිරීම සිද්ද වෙන්නේ 10 වෙනි මැදිරියේයි. මහින්ද මාමාගේ නාට්‍ය පටිගත කිරීම් මාමාම සිද්ද කරන නිසා මාමා ඉන්නේ පටිගත කිරීම සිද්දවෙන කොටසේ. මැදිරියේ තියෙන විශාල වීදුරුවකින් තමයි මාමාව එතකොට අපිට පේන්නේ. එතන ඉඳලා මාමා අතින් දෙන සිග්නල් එක්ක තමයි අපි ඉතුරු වැඩ ටික කරන්න ඕනේ. 


අහගන්න තියෙන දෙයක් කලින් අහගන්න ඕනේ මෙන්න මේ හේතුව නිසයි. සාමාන්‍යයෙන් පටිගත කරන කොටසින් අපි ඉන්න පැත්තට නාට්‍ය අතරතුරේදී මාමා එනව නම් එන්නේ මාමගේ ඉවසීමේ සීමාව ටිකක් ඉක්මවා ගියහම කියන එක අපි කවුරුත් දන්න නිසා හැමෝම බොහොම උනන්දුවෙන් නාට්‍යට සම්බන්ද වෙන්න නම් අමතක කරන්නේ නෑ. මොකද එකම වැ‍රැද්ද දිගින් දිගටම කරන එක මාමා අකමැති දෙයක් නිසා. අවධානයෙන්, කරන වැඩේ නිවැරදිව කරන්න මාමා හැම තිස්සේම අපිට උපදෙස් දුන්නා. ඒ නිසාම පුහුණුවෙන අවස්ථාවේදී හොඳ අවධානයකින් පුහුණුවීම් කරන්නත්, පටිගත කිරීම සිද්ධ වෙන අවස්ථාවේදීත් වැරදීම් අවම කරගනිමින් හරියටම කරන්නත් හැම කෙනෙක්ම උත්සාහ ගත්තා.



මෙන්න මේ විදිහට මැදිරියේ තියෙන මයික් එක දෙපැත්තේ කට්ටිය වටේට හිටගෙන නාට්‍යයට හඬ මුසු කිරීම සිද්ද කරනවා. ගුවන් විදුලි නාට්‍යකදී සෑහෙන පිරිසක් ඒකට සහභාගී වෙන නිසා අන්‍යෝන්‍ය සහයෝගීතාවය නාට්‍යයේ සාර්ථකත්වයට එක එල්ලේම බලපානු ලබනවා. අනිත් කාරනාව තමයි දෙබස් එකින් එක දම්වැලක් පුරුක් වගේ බැඳි පවතින නිසා දෙබස් හසුරවනකොට තවත් කෙනෙකුගෙන් ලැබෙන සහය ඉතුරු දෙබස් ගලා යාම වලට හොඳ රුකුලක් සපයනවා.  එකමුතුකම, සහයෝගය එක්ක සාර්ථක නිර්මාණයක් පැය එකහමාරක් වගේ කාලයක් ඇතුලත නිම කරගන්න අන්තිමට හැකියාව ලැබෙනවා. 

මේ විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කරපු නාට්‍ය වලට සම්බන්ද වුනු බොහෝදෙනෙක් එදා ළමා නිවාසයට ඔහු වෙනුවෙන් ඇවිත් හිටියා. ඒත් පිටපත් ටිකත්, පටිගත කරන තැටි ටිකත් අරගෙන මහින්ද මාමා එදා නම් අපි අතරට ආවේ නෑ.  මාමා අපිට, අපේ ජීවිත වලට සාර්ථක අඩිතාලමක් දාලා අපිට නොකියම යන්න ගිහින්.

ඒත් ඔබ ඇසුරෙන් අපි ලැබු බොහෝදේ සමග හැමදාමත් ඔබ අපි අතර අමරණීයව ජීවත් වේවි. 

ආදරණීය මහින්ද මාමේ ඔබට නිවන් සුව ලැබේවා ! 

  
ප.ලි - සියළු ඡයාරූප අන්තර්ජාලයෙන්  


20 comments:

  1. තුශානි මීට කලිනුත් ලිව්ව නේද අල්ගමයන් ගැන එකක්.. සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. ඔව්.. හරියටම මීට අවුරුද්දකට විතර කලින්.

      මහින්ද මාමා ගැන පොස්ට් 100 විතර ලිව්වත් ලියලා ඉවර කරන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ.

      Delete
  2. කලින් ලිපියත් කියෙව්ව
    අපේ හිතට වදින පුද්ගලයන් ගැන කොයිතරං ලීවත් කීවත් මදි කියලමයි දැනෙන්නෙ නැද්ද තුශානි

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ්.. ඔහු මගේ ජීවිතයට හමුවුනු ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතුරෙන් එක්කෙනෙක්.

      මහින්ද මාමා ගැන කියන්න තියෙන දේවල් සාගරයක් කියලා හිතුවොත් මම ලියයලා තියෙන දේ දිය බින්දුවක් තරම් වු සුළු ප්‍රමාණයක්.

      Delete
  3. කලින් ලිපියත් කියෙව්වා.... මුල අමතක නොකර හැමෝම තමන්ට ශක්තියක් වුනු අයව සිහිකරනවනම් මේ ලෝකෙ ගොඩක් හොඳ තැනක් වෙයි...

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමා ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් කටයුතු කරපු කෙනෙක් නෙවෙයි නිසා බොහෝදෙනෙක් ඔහුගේ නිර්මාණ රසවින්දට ඔහු පිළිබඳ දැනගෙන හිටියේ නෑ.

      Delete
  4. ඔහු වැනි මහත්මයෙකු යටතේ ගුරු හරුකම් ලැබීමට ඔබ වාසනාවන්තයි.

    //ගෝතම තපෝවනය // කළපළුවාවේ එකද?

    ලබාගත් ගුරු හරුකම් වලින් දැන් මොනවද ගන්න වැඩ? තවමත් ගුවන් විදුලියත් එක්ක සම්භන්දද?

    ReplyDelete
    Replies
    1. ඔව් ... කළපළුවාවේ එක තමයි.

      රැකියා කටයුතු එක්ක ඒ දේවල් වල නියැලෙන්න කාලය හොයා ගන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්ණය. ඉස්සර තරම් නැති වුනත් ඉඩකඩ තියෙන විදිහට ලබා ගත්ත ගුරුහරුකම් වලින් ප්‍රයෝජන ගන්නවා. :)

      Delete
  5. ඔක්කොටම කලින්, කලින් ලිපිය කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. හා හා .. ඒකත් කියවලාම එන්නකෝ..

      Delete
  6. වැදගත් ලිපියක් .. සාර්ථක මිනිසෙක්.. .. අපේ ජිවිත්වලත් ඉන්නවා මෙහෙම නොමකෙන් සටහන් තැබූ අය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..

      ඔව්.. ඒත් ජීවිතයක නොමැකෙන සටහනක් තියන්න පුළුවන් අය ඉන්නේ බොහොම අතලොස්සක්. ඇසුරු කල හැම කෙනෙක් තුලම නොමැකෙන මතක සටහනක් තැබූ පුද්ගලයෙක් ඔහු .

      Delete
  7. ගු.වි. නාට්‍ය අහලා තියෙනවා යාන්තම් මතකයි. ඒ කාලය හරිම සුන්දර මතකයක්. ස්තුතියි! හපනියක් නේ?

    ReplyDelete
    Replies
    1. :) ම්.... ලොකූ හැකියාවක් නෑ.. චූට්ටක් විතර පුළුවන්. ඒ මතකයට මමත් හුඟක් ආසයි. හරිම සුන්දර කාලයක්..

      Delete
  8. මහින්ද මාමා කිව්වාම මට මතක් වෙන්නෙම වෙන මාමා කෙනෙක්ව තුශානියෝ.:)

    ඔය මහින්ද අල්ගම මාමා ප්‍රවීණ සංගීතඥ ලයනල් අල්ගමයන්ගේ පවුලේම කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. හි..හි.. එහෙමද

      දන්න තරමින් ඔව්..

      Delete
  9. එතුමා ගැන මෙයට කලින් ලියපු ලිපියත් මට මතකයි...ඔබේ ඒ කලා ප්‍රවේශයේ වර්තමාන තත්වය කොහොමද...

    ReplyDelete
    Replies
    1. ම්... තුශානිගේ ලඟ ඉන්න කට්ටියගේ තර්ජන ගර්ජන නිසා මන්දගාමීව වුනත් තවමත් ඒ කටයුතු වලට සම්බන්ද වෙනවා. :)

      Delete
    2. හඬ කැවීම් සඳහාද ? තර්ජන ගර්ජන දාන්නෙ අරයා වෙන්න ඇති...

      Delete
    3. ඔව්... තර්ජන ගර්ජන එන්නේ හොඳම යාළුවගෙන්. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...