Monday, July 25, 2016

109. වෙඩින් කතා - 01

හැලපතුමා කරපු ඉල්ලීමක් කොහොමත්ම අහක දාන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔන්න වෙඩින් කතා ටිකකුත් කියන්න ඕනේ කියලා තුශානි කල්පනා කලා.

ඒත් ඉතින් පටන් ගන්නේ කොහෙන්ද කියන එක තමයි ප්‍රශ්ණේ. හොඳයි අද හෙට බඳින්න ඉන්න අයත් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් මම කියන්නම්.  


විවාහ වෙනවා කියලා කියන්නේ ජීවිතේ බොහොම තීරණාත්මක කඩයිමක්. මොකද විවාහය කියන්නේ, කෙනෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ප්‍රබලම සන්ධිස්ථානයක්නෙ. ඒ නිසා හරිම පරිස්සමින් හිතලා තමයි තිරණයක් ගන්න වෙන්නෙ. ඒ වගේම අපි කවුරුත් හොඳට මතක තියාගන්න ඕනේ ආදරයෙන් අන්ධ නොවී හොඳ තීරණයක් ගන්න. මොකද, කෙනෙක්ට හරි යන්නත් වරදින්නත් ඒ තීරණය හේතු වෙන නිසා. කොහොම වුනත් දෙමව්පිය ආශිර්වාදයත් එක්ක විවාහ ජීවිතයකට ඇතුලත් වෙන්න පුළුවන් නම් තුශානි හිතන විදිහට ඒක තමයි හුඟක්ම හොඳ තීරණය වෙන්නෙ.

ඉතින් ඔන්න වෙඩින් එකට දවස් කීපයකට කලින් තුශානිලගෙ ගෙදර වරු පිරිතක් කියවන්න සූදානම් කරලා තිබුනා. වරු පිරිත අවසානයේ කෙටි ධර්මානුශාසනාවකුත් තියෙනවානේ. අන්න ඒ ධර්මානුශාසනාවෙදි විවාහය ගැන, බුදු දහමෙ කියලා තියෙන බොහොම අපූරු කාරණා ටිකකුත් තුශානිට දැන ගන්න ලැබුනා.

මුලින්ම ඒ ගැන කියන්නම්. හගන්නකෝ බුදු දහමේ විවාහය ගැන කියලා තියෙන දේවල්...

"බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සංවාස කියන සූත්‍රයෙ, විවාහ ජීවිත ගත කරන අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන මෙහෙම කියලා තියෙනවා".  ඔන්න ඉතින් අපේ පන්සලේ නායක හාමුදුරුවො ධර්මානුශාසනාව පටන් ගත්තේ ඒ විදිහට. අපි දෙන්නත් ඉතින් ටිකක් හරි බරි ගැහිලා අහගෙන හිටියා, මොනාද බුදු දහමේ අඹු සැමියන්ගෙ ස්වභාවයන්  ගැන කියලා තියෙන්නෙ කියලා.  

"භාර්යාවක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙව්දුවක් වෙන්නත් පුළුවන්."  ඔන්න එතකොටම තුශානිගෙ දකුණු ඇහේ කොණට පේනවා කෙනෙක් හිනා වෙනවා.  " ඒ වගේම ස්වාමිපුරුෂයෙක් මළමිනියක් වෙන්නත් පුළුවන් දෙවියෙක් වෙන්නත් පුළුවන්" " හි.. හි.. ඇයි අපි විතරද ඔය එයාලටත් තියෙන්නෙ"කියලා තුශානිගෙ හිතටත් පොඩි සතුටක් ආවේ නෑ කියන්නම බෑ ඉතින්. හරි හරි.. අහගන්නකෝ කාරණා ටික.

1. මළ මිනියක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
2. මළ මිනියක් දෙව් දුවක සමඟ වාසය කිරීම.
3. දෙව් පුතෙක් මළ මිනියක් සමඟ වාසය කිරීම.
4. දෙව් පුතෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම.


ඉතින් බුදු දහමේ කියන විදිහට විවාහ ජීවිතේ ගත කරන අඹු සැමියන් දෙව් පුතෙක් එක්ක දෙව්දුවක් ජිවත් වෙන විදිහට ජිවත් වෙන්න කටයුතු කරන්න ඕනෙ කියලා හාමුදුරුවො අපි දෙන්න දිහා බලල කිව්වහම අපිත් ඉතින් බොහොම අමාරුවෙන් හිනා නොවී ඔළුව වැනුව හැටි නම් තුශානිට කවදාවත් අමතක වෙන්නෙ නෑ.  :)

ඒ වගේම තවත් ලස්සන කතාවක් තුශානිට අහන්න ලැබුනා නකුලා මාතා සහ නකුල පිතා ගැන. ඒ ගැන දන්නෙ නැති කෙනෙක් උනත් ඉන්න පුළුවන් නිසා මම ඒ ගැනත් කෙටියෙන් කියන්නම්. නකුල මාතා සහ නකුල පිතා කියන්නේ විවාහ ජීවිතේ බොහොම සාර්ථකව ගත කරපු දෙන්නෙක්ලු. ඉතින් බොහොම ධාර්මිකව, සාර්ථකව ජීවිතේ ගතකරපු මේ දෙන්නව බුදු හාමුදුරුවෝ අගය කරලා, අනිත් අයටත් එයාලව  ආදර්ක් විදිහට ගන්න කියලත් දේශනා කරලා තියෙනවා.

“යම් අඹුසැමි යුවළක් මෙලොවදී මෙන්ම පරලොවදීත් ඔවුනොවුන් දැකීමට කැමැතිවන්නේ නම්, දෙදෙනාම ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා කියන අංගවලින් සමාන වන්නේ නම්, ඒ දෙදෙනා මෙලොවදීත් පරලොවදීත් එකිනෙකා දකිති.”යි කියල
ත් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.

ඒ වගේම සිඟාලෝවාද සූත්‍රයේ එන අඹු සැමි යුතුකම්, සප්ත භාර්යාවන් ගැන එහෙමත් අහන්න ලැබුනා ඒත් තුශානිගේ හිතට වැඩිපුරම කාවැදුනේ ඇයි ස්වාමි පුරුයන් බිරිඳ ගැන විශේෂයෙන් සලකා බලන්න ඕනෙ කියපු කාරණා ටිකට. ඒ කියන්නේ බිරිඳට විශේෂ තැනක් සැමියෙක් දෙන්න ඕනේ ඇයි කියලා. 

ඔන්න අහගන්නකෝ.. බිරින්දෑවරු මේක දැන ගෙන ඉන්නම ඕනෙ කාරණාවක්. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට ස්වාමිපුරුෂයෙක් කාරණා 5 ක් නිසා බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ ලු.

සරලව කියනවා නම් ගැහැණියකට විඳින්න වෙන ඒත් පිරිමියෙක්ට විඳින්න නොවෙන දුක් 5 ක් නිසා ගැහැණිය ගැන මානුෂිකව පිරිමියෙක් බලන්න ඕනේ කියලා තමයි දේශනා කරලා තියෙන්නෙ. 

 මෙන්න ඒ කරුණු 5

1.විවාහයෙන් පසු දෙමාපියන් ඇතහැරලා සැමියෙක් සමග යාමට සිදුවීම.
2.මාස් ශුද්ධිය ඇතිවිම./ ඔසප් චක්‍රයක් පැවතීම.
3.ගැබ් ගැනිම.
4.දරුවන් බිහි කිරිම.
5.සැමියාගේ වැඩ කටයුතු ඉටු කිරීමට සිදුවීම.  

ඉතින් මේ කාරණා 5 ගැහැණියෙක් විසින් දරාගෙන ඉන්න නිසා ඊට ගරු කිරීමක් වශයෙන් ස්වාමි පුරුෂයන් බිරිඳ ගැන මානුෂිකව හිතන්න ඕනෙ කියලා තමයි බුදු දහමේ කියලා තියෙන්නේ.  බලන්න ඒක කොයි තරම් නම් ප්‍රායෝගික කාරණාවක්ද කියලා.

කාන්තාවක් විදිහට ඒ කරුණු පහ ගැන හිතලා බලනවා නම් ඇත්තටම ඒවා දරාගන්න අපහසු ඒත් ඒ අපහසුතාවයන් මැද වුනත් කාන්තාවන් දරාගන්නා කරුණු 5 ක්.  

ඉපදුනු දවසේ ඉඳලා ලඟ හිටිය අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වෙලා අලුත් ගෙදරකට යන එක කවුරු කොහොම කිව්වත් දුකක්. ආපහු එන්න පුළුවන්නෙ, ගිහින් ඉන්නෙ තනියම නෙවෙයිනේ වගේ එක එක දේවල් කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මනමාලියෙක් වෙලා පිට වෙලා යන දුවෙක් දිහා හිනා මූණකින් වුනත් ඇස් වල කඳුළු පුරෝගෙන බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් දිහා ආපහු හැරිලා බලන දුවෙක්ගෙ හිතට ඇතිවෙන වේදනාව ඇත්තටම දරාගන්න හරිම අමාරු වේදනාවක්. ඉතින් ඒ වේදනාව සැමියෙක්ට තේරුම් ගන්න පුළුවන් නම්, ඒ ගැන මානුෂිකව හිතලා බිරිඳක් සනසවන්න පුළුවන්නම් ඇත්තටම ඒක ගොඩක් වටිනවා වගේම දෙන්නා අතර තියෙන ආදරය, බැඳීම තවත් ශක්තිමත් වෙන කාරණාවක්. 

ඔසප් චක්‍රය කියන්නේ නිරෝගී කාන්තාවකගේ දින 28 කට වරක් ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්. සරළව කියනවා නම් දින දෙක තුනක් ශරීරයෙන් රුධිරය පිටවීමක් මෙතනදි සිද් වෙනවා. ඉතින් ඒක පහසු කාරණයක්ද ? නෑ. අපහසු වුනත් බොහෝවිට කාන්තාවන් මේ තත්වය දරාගෙන සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කරයුතු සිද් කරනවා. ඒ නිසා සැමියෙක් විදිහට බිරිඳගේ මේ අපහසුතාවන් ගැන මානුෂිකව හිතලා කටයුතු කරන්න පුළුවන් නම් සාර්ථක පවුල ජීවිතයකට ඒක හුඟක් වටිනවා.

ඒ වගේම ගර්භනී භාවයට පත් වෙන එකත් ඒ දරුවා මාස 10ක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කර එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.  ඒ වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ලඟින් ඉඳලා ඇයට ශක්තියක් වෙන්න , ඇයව තේරුම් ගන්න, පවුල් ජීවිතයකට ඒක ඉතාමත් හොඳ පිටිවහලක් වෙයි වගේම දෙන්නා අතර තියෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙන්නත් අනිවාර්යයෙන්ම හේතු කාරණාවක් වෙයි. 

විවාහයෙන් පස්සේ සෑම කාන්තාවකටම තමන්ගේ වැඩ වලට අමතරව ස්වාමියාගේ වැඩ කටයුතුත් කරන්න සිද්ද වෙනවා. ඉතින් ඒ දේවල් කරනකොට බිරිඳක් අතින් අඩු පාඩු උනත් සිද්දවෙන්න පුළුවන්. සමහර විට සැමියා අපේක්ෂා කරන මට්ටමටම ඒ වැඩේ කෙරිලා නොතිබෙන්නත් පුළුවන්. එහෙම වෙලාවල් වලදී සැමියෙක්ට පුළුවන් නම් බිරිඳ ගැන මානුෂිකව හිතලා හොඳින් ඒ වැරැද්ද පෙන්නලා දෙන්න, බිරිඳ සමග සහයෝගයෙන් ඒ වැඩේ කරන්න, එතකොට ඒ පවුල් ජීවිතය සාර්ථක වෙයි වගේම පවුල් ජීවිතය ලස්සන පවුල් ජීවිතයක් බවටත් අනිවාර්යයෙන්ම පත්වෙයි.

ඉතින් ඔන්න ඔය විදිහට බුදු දහමේ විවාහය ගැන කියලා තියන ගොඩක් දේවල් තුශානිට දැනගන්න ලැබුන නිසා ඒ දේවල් ඔයාලටත් කියන්න හිතාගෙනයි මේ පොස්ට් එක ලිව්වේ..  

වෙඩින් කතා ගොඩක් තියෙනවා කියන්න, එකින් එක කියන්නම්කෝ...




****

25 comments:

  1. ඉල්ලීම ඉටුකරන එක ගැන බොහොම සතුටුයි.කතා ටික ඔක්කොම කියවල බලමුකො.

    ReplyDelete
    Replies
    1. :) ඉතුරු කතා ටිකත් ඉඩ ලැබෙන විදිහට ඉක්මනින්ම ලියන්නම්කෝ...

      Delete
  2. මේව පිළිපදින්න මම පරක්කු වැඩි වුණත් තරුණ කට්ටියට හොඳ උපදෙස් ටිකක්. ලියන කෙනාවත් පිලිපැද්දොත් වාසනාවන්ත ජීවිතයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. නැහැ. මම නම් හිතන්නෙ නෑ පරක්කුයි කියලා... මොකද එදිනෙදා අපේ ජීවිතේ ගත කරද්දි මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා..

      ඔව් ඔව් ... උපරිමයෙන්ම මාත් පිලිපදින්න උත්සාහ කරනවා. :)

      Delete
  3. වෙඩින් කතා 1: බන කතා
    කියල නම වෙනස් කරන්න. හැක්. මේ උපදෙස් දුන්නෙ අපිටයි එහෙනම් ඈ.

    ReplyDelete
    Replies
    1. හි..හි...

      ඔව් ඔව්.. ඔන්න ඔයාලටයි මේ උපදෙස් ටික දුන්නේ ඈ .. ;)

      Delete
  4. ඉතුරු කතා ටිකත් බලාපොරොත්තු වෙනවා....

    කාට කාටත් හොඳ උපදෙස් ටික...

    ReplyDelete
    Replies
    1. ඉඩ කඩ ලැබෙන විදිහට ඉක්මනින්ම ඉතුරු විස්තරත් කියන්නම්කෝ...

      ඔව් නිර්මාණි... මේ සමහර දේවල් මමත් දැන ගත්තේ එදා.. ඉතින් අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි කියන්න ඕනේ කියලා හිතුවේ.. :)

      Delete
  5. ආපහු ආව දවසෙම තුශානියා බණක් කියල.. හම්මේ ඉතිම් නේ...
    මටත් කෙල්ලෙක් හිටිය දවසක මේ පෝස්ට් එක පෙන්නන්න ඕන
    (ඇත්තටම මං එහෙම කරයිද.. ඔව් නේ... )


    සිත නිවන කතා
    සිත නිවන කතා

    ReplyDelete
    Replies
    1. හි..හි... නරක් වෙයි මෙහෙම හරි බණ ටිකක් ඇහුවොත්...

      ඔව් ඔව් ඔන්න අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනෙ හරිද...

      ඕනෙ නම් වෙඩින් එකට කලින් දෙන්නත් එක්කම ඇවිත් මාව හම්බවෙන්නකෝ.. ඔය හාර පන්දාහක වගේ පොඩි ගානක් අය කරගෙන විස්තර ටිකක් කියලා දෙන්න බැරියෑ.. ;)

      Delete
  6. තුෂානි අක්කෙ වෙඩින් කේක් කෑල්ලක් ඉල්ලගන්න මං පරක්කු වැඩිද ? ;) :D

    ReplyDelete
    Replies
    1. දැන්නං ඇත්තේ පුස්කාපුවා.

      Delete
    2. හප්පේ පරක්කුයි නේන්නම්... ඔය විචාරකතුමා කියලා තියෙන්නේ වෙඩින් කේක් කෑලි වල දැන් තත්වේ...

      පුස් කාලද කියලා බලන්නවත් කේක් කෑල්ලක් ඉතුරු උනේ නෑ හංසි ... :(

      Delete
  7. සාධු, සාධු, සාධු! අවබෝධය ඇත්නම්, පරිත්‍යාගය කියන වචනේ තේරුම දන්නවනම්, 'ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි' කියලා හිතනවානම්, විවාහ ජීවිත කොයිතරම් සාර්ථක වෙයිද දරුවෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරකතුමා.. ඒ කතාව නම් හරියටම හරි..

      Delete
  8. වෙඩින් කතා නමින් බණ කතා.. හිහ්..

    ReplyDelete
    Replies
    1. හි..හි... අලුත් වෙනසක්... ;)

      Delete
  9. මෙන්න පදුරු තැලීමක්.....හික් හික්...

    ReplyDelete
    Replies
    1. හැලපතුමාගේ ඉල්ලීමක් නේ ... ;)

      Delete
  10. ෂහ්.... නොමල් එකේ බැලුවට මොකෝ මේක සිරා පොස්ට් එකක්නේ.... අවංකව ම ඈ..... මේවා අනාගතේදි අපිටත් වැදගත් වෙයිනේහ්..... සුපිරි ආ.......

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක හරහා කෙනෙක් ජීවිතයට පුංචි හරි දෙයක් ගත්තා නම් ඒක තුශානිට ලොකු සතුටක්..

      ඔව් ... අනිවාර්යයෙන්ම අනාගතයේදී මේවා වැදගත් වෙයි.. බොහොම ස්තූතියි ආර්යන්...

      Delete
  11. ඇත්තමයි විකාර වගේ...
    මට හිතිච්ච දේ දාන්ට ගියොත් පෝස්ටුවක් තරමට දික් වෙනවා...

    ReplyDelete
    Replies
    1. හි.හි... සමහර අයට කොහොමත් මේවා විකාර වගේ තමයි...

      එක එකෙනා දකින විදි, හිතන පතන විදි වෙනස්නේ වැඩිය හිතන්න යන්න එපා... ;)

      Delete
  12. වෙඩින් කතා ගොඩාරියක් තියෙනවා අපෙත් කියන්න.ඔන්න ඉතින් අපේ වෙඩින් එක දවසේ...
    එක්කෝ ඕනෑත් නැහැ...:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොහෙන් පටන්ගන්නද කියලා හිතා ගන්න බැරි තරමට කතා ගොඩයි..

      ලියමු ලියමු ඒ කතා ටිකත්... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...