Thursday, May 5, 2016

105. ටෙඩී ඩැඩී...

ටෙඩීලා කියන්නේ දුක හිතෙන වැඩ කරන්නේ නැති, කෑ ගහලා බනින්නේ නැති, එයාලාව බලා ගන්න කෙනාට හුඟාක් ආදරේ කරන, සතුටකදී නම් මුක්කන් නහයෙන් එයාව බලාගන්න කෙනාට උම්මා ගොඩක් දීලා එයත් එක්ක සතු සමරණ, එතකොට දුකකදී නම් එයාව බලාගන්න කෙනාව පුළුන් අතින් තුරුල් කරගෙන එයාගේ දුක හිතුන කතාව බොහොම සාවධානව අහගෙන ඉඳලා වැටෙන කඳුළු ටික එයාගේ ඇඟට උරාගෙන නින්ද යනකම්ම තනිකම මකන බොහොම ආදරණීය කට්ටියක්.


ඒ නිසාම මේ එක එක පාටින්, එක එක ප්‍රමාණ වලින් වගේම  එක එක විදිහේ මූණු වලින් ලෝකෙ පුරාම විසිරිලා ඉන්න ටෙඩී බෙයාලට ලොකු, පොඩි, ගැහැණු, පිරිමි බේදයකින් තොරව හැමෝම ආස කරනවා වගේම ආදරය කරනවා.

ඕනම රටක ඕනම පුංචි බබෙක් කොයිම විදිහක හරි ටෙඩී කෙනෙක් එක්ක සෙල්ලම කරලා ඇති කියලා කෙනෙක් කිව්වොත් ඔයාල ඒකට 99% ක්ම එකඟ වෙයි. මොකද කොයිතරම් අගහිඟකම් තියෙන අම්මෙක් තාත්තෙක් වුනත් තමන්ගේ දරුවට පුංචිම පුංචි හරි ටෙඩී කෙනෙක් අතේ මිටේ තියෙන හැටියට අරන් දෙන්න පසු බට වෙන්නේ නෑනේ. 

කොයි හැටි වුනත් විශේෂයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑණු ළමයි ටෙඩීලට ආදරේ කරන්න, ටෙඩී බෙයාලගේ ආදරේ දිනාගන්න සමත් වෙලා තියෙන බව නම් නොරහසක්. මොකද ටෙඩීලා සහ ගෑණු ළමයි අතර සම්බන්දය හරියට ගෑණු ළමයයි රෝස පාටයි අතර සම්බන්දය වගේ නේ... හැබැයි ඉතින් ඔය අතරේ ටෙඩීලාට චුට්ටක්වත් කැමති නැති අයත් නැතුවම නෙවෙයි... 


ඒ කොහොම වුනත් තුශානි සහ ටෙඩීලා අතර සම්බන්දයට නම්, ඈතට අතීතයට දිව යන දිග ඉතිහාසයක් තියෙනවා. පළවෙනි උපන්දිනෙන් ආරම්හ වුනු තුශානිගෙ ටෙඩී හිමිකාරීත්වය මේ වෙනකොට එක එක ප්‍රමාණයේ, එක එක වර්ණවල, එක එක විදිහේ ටෙඩීලා නිසා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා.. හි.. හි...   

" කවුද දන්නේ නෑ මේ ටෙඩීලාව හොයා ගත්තේ... ටිකක් හොයලා බලන්න ඕනේ... " දවසක්, තුශානිට ඉන්න ලොකුම ලොකු ටෙඩී බෙයාගේ බණ්ඩියට හේත්තු වෙලා ඉන්නකොට හොයලා බලන්න අදහසක් හිතට ආවා.. ඉතින් ඔක්කොම වැඩ පැත්තක තියලා එයාවත් වඩාගෙන අන්තර්ජාලේ පැත්තට එබිලා බැලුවා මේ ටෙඩීලා ගැන මොනාද කට්ටිය කියලා තියෙන්නේ කියලා. අන්න එතකොට තමයි මෙන්න මේ අපූරු විස්තර ටික හොයා ගන් පුළුවන් වුනේ...  

ඔන්න අහගන්නකෝ විස්තරේ.. ඇමරිකා එකසත් ජනපදයේ ජනාධිපතිවරයෙක් ඉඳලා තියෙනවා තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් (Theodore Teddy Rousevelt)  කියලා. මේ ඉන්නේ එයා...




එක දවසක් ඒ කියන්නේ 1902 වසරේ දවසක මේ තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමා ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පලාත් ආණ්ඩුකාරතුමාගෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා සත්තු දඩයම් කිරීමේ තරඟයකට සහභාගී වෙන්න. ඉතින් ජනාධිපතිතුමාත් ඒකට සහභාගීවෙලා තියෙනවා. තරගෙදී අනිත් හැම කෙනෙක්ටම වලහෙක් දඩයම් කරගෙන එන්න පුළුවන් වෙලා තිබුනත් ජනාධිපතිතුමාට නම් වලහෙක් දඩයම් කරගෙන එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක දැකපු මාර්ගෝපදේශකතුමා ජනධිපතිවරයව සතුටු කරන අදහසින් දඩයම් බල්ලන්ගේ සහයෝගය ඇතුව වලස් පැටියෙක් හොයාගෙන ඇවිත් විලෝ ගහක ගැට ගහලා ජනාධිපතිතුමාට වෙඩි තියෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් ඉතින් ජනාධිපතිතුමා නම් ඒකට කැමති වෙලා නෑ. ඒක සදාචාර සම්පන්න නෑ කියලා ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 

කොහොම වුනත් අන්තිමට ඇමරිකානු පුවත් පත්වලත් මේ සිද්ධිය වාර්තා වෙලා තියෙනවා. ඒ කාලේ දේශපාලනික කාටුන් චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරපු ‘ක්ලිෆර්ඩ් බෙරීමන්’ නම් දේශපාලනික කාටුන් ශිල්පියා විසින් ‘ද වොෂින්ටන් පෝස්ට්’ වෙත අපූරු කාටූනයක් මගින් මේ පුවත වාර්තා කරලා තිබුනා... මේ තියෙන්න ඒක..


මේ ඉන්නේ ක්ලිෆර්ඩ් බෙරීමන් මහත්තයා...

1902 නොවැම්බර් මාසේ 16 වෙනිදා පලවුන මේ මුල්ම කාටුනයේ ජනාධිපතිතුමා, මාර්ගෝපදේශක සහ වලහා ටිකක් එක ප්‍රමාණයට වගේ ඇඳලා තිබුනත් පස්සේ ඔහු ඔහුගේ වෘත්තිය ජිවිතය පුරාවටම ඇඳපු කාටුන් වල ඒ වලහා ටිකක් පුංචි බයෙන් වෙව්ලන වලස් පැටියෙක් විදිහට ජනාධිපතිතුමා සමග අඳින්න කටයුතු කරලා තියෙනවා. 

මේ තියෙන්න ජනාධිපතිතුමා එක්ක වලස් පැංචා ඉන්නවා ඇඳපු කාටුන්...








මේ කාලේ නිව්යොක් වල රස කැවිලි කඩයක හිමිකරුවෙක් වෙච්ච මොරිස් මිච්ටොම් කියන පුද්ගලයා ක්ලිෆර්ඩ්ගේ කාටුන්වල හිටිය අර පුංචි වලස් පැංචාව දැකලා හරි අපූරු අදහසක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ එයා ඒ අදහස නෝනා මහත්තයටත් කියලා පුළුන් පුරවලා, අර කාටුනයේ විදිහටම පුංචි වලස් පැංචො දෙන්නෙක් හදලා එයාගේ කඩේ විකුනන්න තියලා තියෙනවා. 




ඒවාට හොඳ ඉල්ලුමක් ලැබිලා වැඩේ සාර්ථක වෙන්න පටන් ගත්ත නිසා අන්තිමට එයාලා ජනාධිපතිතුමාගෙනුත් ඒකට අවසරත් අරගෙන වැඩේ ලොකුවටම කරන්න පටන් අරන් තියෙනවා..  ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට තමයි Ideal Novelty and Toy සමාගම ඔහු ආරම්භ කරලා තියෙන්නේ.. 
ඉතින් මේ සෙල්ලම් වලස්සු ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතාගේ වලස්සු එහෙමත් නැත්තම් ටෙඩීස් බෙයාස් විදිහට තමයි කට්ටිය හඳුන්වලා තියෙන්නේ. ඔය ටෙඩීස් බෙයාස් කියන එක තමයි පස්සේ කාලේදී ටෙඩීබෙයා කියලා භාවිතයට ඇවිත් තියෙන්නේ.. 

ඉතින් ටෙඩී බෙයා නිර්මාණය වෙන්න හේතු වුනේ ජනාධිපති තියඩෝර් ටෙඩී රූස්වෙල්ට් මහතා මහත්තයා නිසා ටෙඩීගේ ඩැඩී හෙවත් ටෙඩී පියා වෙන්නේ ඔහුයි. 

දන්නවද ටෙඩීලා ගැන කියන්න නම් විස්තර ගොඩයි. ආපහු දවසක තවත් විස්තර ටිකක් කියන්නම්කෝ..  



42 comments:

  1. අන්න මරු පෝස්ට්..
    පෙරහිදා බුකියේ ඉද්දි තමා මං දැනගත්තේ ක්‍රිකට් ගහනවට අමතරව ක්‍රිකට් කියල සතෙකුත් ඉන්වා කියලා.. ජය

    ReplyDelete
    Replies
    1. තැන්කූ දේශ්...

      ඒක තමයි සමහර වෙලාවට අපි දන්න දේවල් එක්කම බැඳුනු නොදන්න දේවල් ගොඩක් තියෙනවා... :)

      Delete
  2. හොද විස්තරයක් තුශානි. ඔයා හොයාගත්තු විස්තරේ අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ....

      ටෙඩී බෙයා මේ විදිහට නිර්මාණය වුනා කියලා දැන ගත්තම හරිම පුදුම හිතුනා... ඉතින් කට්ටියටම මේ ගැන කියන්න හිතලා තමයි මේ පොස්ට් එක ලිව්වේ...

      අහ්... මේ ... මට ජපානෙන් ආනයනය කරපු ජපන් ටෙඩියෙකුත් ඉන්නවා... :)

      Delete
  3. ඉතාම හොඳ විස්තරයක් තුශානි.ටෙඩි බෙයාගේ උපත ගැන කතාව ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ...

      ඒකනේ... මෙච්චර මේ ටෙඩීලත් එක්ක ජිවත් වෙන මම වත් මේ කතාව කලින් දැනගෙන හිටියේ නෑනේ...

      Delete
  4. හරි ශෝක් තුශානි අක්කේ.. ටෙඩීලට මාත් ගොඩක් කැමති.. ඒත් මේ කතාව දැනන් හිටියෙ නෑ...

    අපූරු විස්තරේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිර්මාණි නම් අනිවාර්යයෙන්ම ටෙඩීලාට ආස කෙනෙක් වෙන්නේ ඕනේ...

      ඒක තමයි අපි මෙච්චර ටෙඩීලත් එක්ක් ඉඳලත් කලින් මේ කතාව දැනගෙන හිටියේ නෑනේ...

      බොහොම ස්තූතියි නංගෝ...

      Delete
  5. මටත් ඉන්නවා ටෙඩී කෙනෙක්.. කොට්ටෙ ළඟින්ම... අර මුලින් කියල තියන කාරණා නම් ඇත්තම ඇත්ත....

    ටෙඩීලා ගැන මේ තරම් විස්තර දැනගන්න ලැබීම සතුටක්... ඉතාම අපූරු උත්පත්ති කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් තරූ අක්කා... ටෙඩී කෙනෙක් කියන්නේ සැපේදී වගේම දුකේදිත් ලගින්ම ඉන්න කෙනෙක්. වචනයක් වත් කතා නොකලාට වචන වලින් කියන්න බැරි දේවල් ගොඩක් ටෙඩී කෙනෙක් නිහඬව ඉඳලා කරනවා..

      කට්ටියම නොදැන හිටිය දෙයක් නිසා සතුටුයි මේ කතාව කියන්න ලැබීමත්...

      Delete
    2. ටෙඩීල නැහැන මට මගේ දුක් ගී ඔක්කොම කියන්නෙ ගෙදර ඉන්න බව්වො දෙන්නට තමා :)

      Delete
    3. දන්නවද හංසි... අපේ ගෙදර ඉන්න බව්වට දුක් ගී කියනවා තියා විනාඩි 5ක් එක තැන තියා ගන්නවත් බෑ එයාගේ සෙල්ලම නිසා... හපොයි...

      Delete
  6. හිහි ටෙඩී..
    මට ඉන්නව හෙන තප්පදෝරුවෙක්.. ඒකා කාල කාල බඩ ආපු තඩිම තඩි කම්මැලි වලස් තඩියෙක්..
    හිහි...
    හැබැයි ටෙඩී ගැන කියල තියෙන ඔය එක තොරතුරක් වත් දැනං හිටියෙ නං නෑ. ස්තූතියි තුශානි. අපි එක්ක බෙදා හදා ගත්තට

    ReplyDelete
    Replies
    1. // මට ඉන්නව හෙන තප්පදෝරුවෙක්.. ඒකා කාල කාල බඩ ආපු තඩිම තඩි කම්මැලි වලස් තඩියෙක්..// මේ මේ ... ටෙඩීලට ඔහොම කියන්නේ නෑ හරිද.. කැමති නැත්තම් මේ මට ගෙනත් දෙන්න එයාව ;) ඔයාලා ඉතින් කොහොමත් ටෙඩීලට වැඩිය කැමති නෑනේ...

      ඒකතමයි බැලුවහම කවුරුත් මේ ගැන දැනගෙන ඉඳලා නෑනේ... :)

      Delete
  7. ටෙඩි ගැන විස්තර ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි විස්තර කියවන්න මේ පැත්තට ආවට ...

      Delete
  8. ටෙඩීලාගේ ඉතිහාසය............... සුපිරියි.....

    වෙඩි තියන්න බැහැ කිව්වේ වදින්නැතිවෙයි කියලා ද දන්නෑ නේද?????

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිතාගන්න වත් බෑ නේද මේ වගේ ඉතිහාසයක් ඇති කියලා...

      හි..හි... ඒක තමයි ගැටගහලා ඉන්න එකාටවත් වෙඩි තියෙන්න බැරුව ගියොත් ඉතින් ලැජ්ජාවනේ...

      Delete
  9. Thanks.. no teddies with me. But hope to present one to my daughter for her next birthday; inspired from this lovely story.

    ReplyDelete
    Replies
    1. Yehh.. that's a good idea. Send me a picture of it okay...

      Thanks Kalana. .

      Delete
  10. සිතූටත් ඉන්නවා ටෙඩීලා ගොඩක්.. ඒ ටෙඩීලගෙ උපත සිදු වුණ විදිය දැනගත්ත එක නම් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සිතූටත් ටෙඩීලා ගොඩක් නැති වෙන්න නම් විදිහක් නෑ..

      බොහොම ස්තූතියි සිතූ... :)

      Delete
  11. ටෙඩීලා එකෙක්වත් මට නැහැනේ.එහෙනම් ටෙඩීලා ඉපදුණේ මෙහෙමයි.

    අපිටත් තිබ්බා තුශානි පහුගිය කාලේ ඔය "ටෙඩීලාගේ"දේශීය නිෂ්පාදනයක් අත්හදා බලන්න කලවැද්දා කියන සත්වයා යොදා ගෙන හැබැයි දැන් නම් ප්‍රමාදයි එකට..:D

    ReplyDelete
    Replies
    1. අපෝ එක ටෙඩී කෙනෙක් වත් නැත්තම් වැඩක් නෑ...

      අන්න නියම අදහස... අපරාදේ දැන් පරක්කු වැඩියිනේ ;)

      Delete
  12. යාලුවෙක් දුන්න පොඩි ටෙඩි keytag එකක් ඇරෙන්න වෙන ටෙඩීල මා ගාව නැහැ අර තඩි ටෙඩී පින්තුරෙ දැක්ක ගමන් මටත් හිතුන ටෙඩීල කොහොමද දන්නේ නැහැ ප්‍රසිද්ධ උනේ කියල පිළිතුර ලිපියෙම තියනවනෙ.මේ විස්තර කලින් දැනන් හිටියෙ නැහැ.දැන් මටත් හිතෙනව ලොකු ටෙඩියෙක් ගන්න :)

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි... ටෙඩී කියන්නේ හොඳ යාළුවෙක්..

      මිනිස්සු ලඟ තියෙන නරක ගති ටෙඩීලට නැති නිසා හිත රිදෙන දෙයක් කවදාකවත් කරන්නේ නෑ. ඕනම දෙයක් කියන්න, දුක නැති වෙනකම්ම තුරුළු වෙලා නිදාගන්න හොඳම හොඳ කෙනෙක් තමයි ටෙඩී කෙනෙක් කියන්නේ... ඒ නිසා ටෙඩී කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා...

      Delete
  13. ෂා, බොහොම වටින අපූරු විස්තරයක්නේ. ස්තූතියි තුෂානි! මගේ යාළුවෙක් ඉන්නවා තාමත් ටෙඩීලා එකතු කරන. එයාට මේක කියවන්න දෙන්න ඕනෙ. :)

    ReplyDelete
    Replies
    1. අහ්.. ටෙඩීලා එකතු කරන එක ගැනත් වෙනමම ලියන්න ඉන්නේ.. බොහොම ස්තූතියි...

      Delete
    2. සිත්තමී....ඔයා මේ මං ගැන නෙවෙයි නේද කිව්වෙ?

      Delete
    3. :) සඳූට ටෙඩීලා ගොඩක් ඉන්නවා වගේ නේද සිත්තමී...

      Delete
  14. තාමත් ළමයින්ට ටෙඩීලා තෑගී දෙන තාත්තා කෙනෙක් වෙච්ච මට මේ පෝස්ට් එක හරි වටිනවා. නියමයි තුෂානි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...

      :) ඔව් ඔව්.. අපි ඒක දන්නවා.. පුංචි පැංචියෝ දෙන්නටත් මේ විස්තර ටික කියන්න ...

      Delete
  15. මට නම් ටෙඩීලා ගැන ලොකු අත්දැකීමක් නෑ.හැබැයි යාලුවෙක් උපන්දිනේකට දුන්න තඩි පූසෙක් නං රාක්කෙ උඩ තියාගන ඉන්නව.ඒ යාලුව මතක් වෙන්න.. පොඩි කාලෙ හම්බවුණ අනික් ටෙඩීල නම් දැන් ලොකු මලු දෙක තුනකට ඔබල කට ගැට ගහල අරන් තියල තියෙන්නෙ..))

    මට මේ පෝස්ට් එක කියවද්දි මරු කතාවක් මතක් වුණා.හාමුදුරු කෙනෙක් ළඟදි බණකට දේශනා කළේ..

    ඉස්සර ළමයි උන්නේ අම්මලට තුරුළු වෙලා.ඉතින් ළමයි මනුස්සයො වගෙ හැදුණා.දැන් තුරුළු වෙලා ඉන්නෙ ටෙඩීලට.ළමයි හැදෙන්නෙ වලස්සු වගේ..))

    බලන් ගියාම ඒ කතාවෙත් ඇත්තක් තියෙනව..))

    ReplyDelete
    Replies
    1. // පොඩි කාලෙ හම්බවුණ අනික් ටෙඩීල නම් දැන් ලොකු මලු දෙක තුනකට ඔබල කට ගැට ගහල අරන් තියල තියෙන්නෙ.// ඇයි අනේ.. මළු වලට ඔබලා තියන්නේ නැතුව ලස්සනට කොහේ හරි තියලා තියන්නකෝ... එහෙම නැත්තම් නරකද පොඩි ළමයි දෙතුන්දෙනෙකුට ඒවා බෙදලා දුන්නොත් ?

      මෙහෙමයි... අම්මෙක්ට තුරුළු වෙලා ඉන්න එක සහ ටෙඩියෙක්ට තුරුළු වෙලා ඉන්න එක කොහොමටවත්ම සමාන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. අම්මක්ට තුරුළුවෙලා නොහිටිය ළමයෙක් ටෙඩියෙක් හිටියත් නැතත් වලහෙක් වගේ තමයි හැදෙන්නේ කියලයි තුශානි විශ්වාස කරන්නේ.

      මෙතනදී මම කිව්වේ ලඟ ඉන්න, දුක සැප බෙදා ගන්න ටෙඩී කෙනෙක් කියන්නේ බොහොම හොඳ හොඳ යාළුවෙක් කියලා... :)

      Delete
    2. හාමුදුරුවෝ කියල තියෙන්නේ නම් 'මරු' කතාවක් තමයි. එහෙම කියන්නේ කොහොමද? බණ කියනවා කියලා එලොවටත් නැති මෙලොවටත් නැති ඔය වගේ පිස්සු කතා කියන එක මොන තරම් අපරාධයක්ද?

      ළමයෙක්ට කතාකරන්න , සංවාදයේ යෙදෙන්න අම්මෙක් තාත්තෙක් විතරක්ම විය යුතුයි කියල හිතන්නේ අමනුස්සයෝ. එක එක්කෙනාට වෙනස් ආකල්ප සහ සමාජ වටපිටාවන් තියෙන්නේ. කොතරම් ඉන්නවද තමන්ගේ සුරතල් සතා ( බලල, පුසා) එක්ක සජීවීව, ඉතාම ලස්සන සංවාද ගෙනියන පොඩි ළමයි. එයාල තමයි පරිකල්පනය කරනකොට නිදහස් වෙන්නේ.

      ටෙඩ්ඩෙක් කියන්නේ එහෙම කෙනෙක්. අපි කියන ගොඩක් දේවල් වලට සවන්දෙන්නෙක්. තව කෙනෙක්ට එහෙම හිටියා කියල හැමෝටම එහෙම වෙන්න ඕනේ නැහැ.

      ටෙඩ්ඩෝ කියන්නේ හදවත් තියෙන ජාතියක්. උන්ට නැත්තේ වචන විතරයි. ටෙඩ්ඩන් ගේ උපත ගැන නම් අහල තියෙනවා. ලස්සනට ලියල.

      Delete
    3. ඔව්... කතා නොකලත් ටෙඩීලා කියන්නේ බොහොම සංවේදී හදවතක් තියෙන කට්ටියක්... මගේ ජීවිතේ මම හුඟක් දේවල් ටෙඩීලට කියලා තියෙනවා. කොයි තරම් ටෙඩීලත් එක්ක කතා බහ කරනවද කියනව නම් හරියට පණ තියෙන කෙනෙක් එක්ක කතා කරනවා වගේ තමයි දැනෙන්නේ.. :)

      බොහොම ස්තූතියි උපේක්ෂා ...

      Delete
  16. ඉස්සර පොඩිකාලේ එකවසරෙදිවගේ හම්බවුන ටිකක් ලොකු ටෙඩියෙක් හිටියා මට.ඒකා 8 වසරට වෙනකම්ම මගේ ඇඳේ හිටියේ.අන්තිම කාලේ උගේ පාට ගිහින් වැරහැල්ලක් වගේ.ඒත් ඌව අයින්කරන්න දීලා නෑ.දවසක් අපේ මාමා කියලා ඌව ගිනිතියනවා කියලා.මම අම්මා ලඟට අඬාගන ගිහින් කියලා ඌව ගිනිතිබ්බොත් මමත් ගිනි තියාගන්නවා කියලා.කොහේහරි ට්‍රිප් එකක් ගියත් මම මූව අරගන යන්නේ.පාට පෙච්චුන එහෙන් මෙහෙන් ඉරුන ටෙඩියෙක් තුරුල්කරගන යන මාත් එක්ක අපේ අක්කා එකට යන්නේ නෑ ලැජ්ජනිසා.මේ ටෙඩියව මගෙන් අයින්කරන්න සෑහෙන්න කට්ටක් කන්නවුනාලු අපේ ගෙදර අයට.

    ටෙඩියෝ ගැන ගොඩක් විස්තර දැනගත්තා මේ ලිපියෙන්.වටින ලිපියක්.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. :) එහෙමද... මම හිතාගෙන හිටියේ පිරිමි ළමයි මේ තරම් ටෙඩීලාට ආදරේ නැතුව ඇති කියලා. ශෝක් නේද...

      මගේ පළවෙනි උපන්දිනේට හම්බුනු ටෙඩීත් තාම මන් ලඟ ඉන්නවා. පොඩි කාලේ ඒ තරම් තේරුමක් නැති නිසා සෙල්ලම් කරලාම එයා හුඟක් පරණ පාට වෙලා. ඒත් ඉතින් අයින් කරන්න හිත හදා ගන්නෙ කොහොමද...

      බොහොම ස්තූතියි කටුසු... ජය වේවා !

      Delete
  17. හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. අදටත් මගෙ ඇදෙ teddyla 3කුයි බෝනිලා 5කුයි ඉන්නවා. එයාලව අයින් කරන්න හිතෙන්නෙම නෑ. මගෙ ඇදේ වෙලාවකට මටම ඉඩ නෑ. ඒත් තවම එයාලව අයින් කරන්න හිත හදාගන්න බෑ. :) :)හරිම ලස්සනයි. ඔන්න අපිත් ආවා.

      Delete
    2. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිළිගන්නවා...

      හරිම ශෝක්නේ... ටෙඩීලායි බෝනිලායි ගොඩක් මැද්දේ නිදා ගන්න එක කොච්චර ශෝක් ද... දන්නවද , මගේ ඇඳ උඩත් ඉන්නවා ලොකු සුදු ටෙඩියෙක්..

      බොහොම ස්තූතියි යාළුවා ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...