Tuesday, January 20, 2015

පෑනේ මිතුරෝ...

පෑනේ මිතුරෝ ගැන එකපාරටම මතක් වුනේ පහුගිය දවසක පොත් රාක්කේ තිබිලා හම්බවුනු ලියූම් ගොන්නක් දැක්කහමයි. ඒ අතරේ තිබ්බ ලස්සන ලස්සන පොස්ට් කාඩ්, මුද්දර, පුංචි සමරු තිලිණ, අතරේ හිරවෙලා තුශානි අවුරුදු කීපයක් ආපස්සට ගියා හරියට කාල තරණ බලයක් ලැබිලා වගේ..


පෑනේ මිතුරෝ කිව්වහම අපේ හිතට එන්නේ ලියුම් ගනුදෙනුවකින් හඳුනගත්ත නොදු‍ටු මිතුරෝ කියන හැඟීම. මේ නොදු‍ටු මිතුරුකම තමන්ගේ රට ඇතුලේ වගේම මුහුදෙන් එහා ඈත රටවල මිතුරු මිතුරියෝ එක්ක වෙන්නත් පුළුවන්. බ්ලොග් අවකාශය තුල වුනත් හුඟක් වෙලාවට අපි එක එක්කෙනා හැබැහින් දැකලා කතාබහ කරලා නැති නිසා ඒ මිතුරුකම වුනත් පෑනේ මිතුරුකමක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

පුංචි කාලේදී නම් තුශානි පෑනේ මිතුරෝ කියලා හිතාගෙන හිටියේ, මුහුදෙන් එහා රටක ජීවත් වෙන, ඉංගීරීසි පන්නෙට හැදුනු, අපිට වඩා වෙනස්ම විදිහකට ජීවත් වෙන කට්ටියක් කියලා. ඒ හිතපු විදිහට පෑනේ මිතුරියක් හොයාගන්න ඕනේ කියන අදහස තුශානි ආවේ  6 පන්තියේ ඉගෙන ගනිද්දී. තුශානිගේ හොඳම යාළුවගෙන් ලැබුනු ලියුමක තිබුනු හෝඩුවාවක් තමයි ඒකට මූල බීජය වුනේ. 5 වසරේ ශිෂ්‍යත්වෙන් පස්සේ තුශානිට කොළඹ ඉස්කෝලේකට යන්න සිද්වුන නිසා එකේ පන්තියේ ඉඳලා ලඟින්ම හිටිය හොඳම යාළුවට නිතර ලියුමක් ලියලා විස්තර අහන්න තුශානි ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. අද වගේ තාක්ෂණය  එදා පුංචි ළමයි විදිහට අපි පාවිච්චි නොකරපු නිසා ලියුම් තමයි තොරතුරු අහන්න තිබුනු එකම මාධ්‍ය වුනේ. 

ඉතින් ඒ විදිහට පෑනේ මිතුරන් හොයලා දෙන ජාත්‍යන්තර ආයතනයක විස්තර තමයි යාළුවගෙන් ලැබුනේ. ඒ විස්තර බලලා තුශානිත් ඒ ආයතනේට ලියුමක් දැම්මා. මාසෙකට විතර පස්සේ මෙන්න ඒ ආයතනයෙන් තුශානිට ලියුමක් ඇවිත් තිබුනා පෑනේ මිතුරියකගේ විස්තරත් එක්ක. සතුට වැඩිකමටම තුශානි එවෙලෙම පෑනේ මිතුරියට ලියුමක් ලියන්න ඕනේ කියලා ලෑස්තිවුනත් කොහොම පටන්ගන්නද, ඉස්සෙල්ලාම මොනව ලියන්නද කියලා හිතාගන්න බැරුව කොළ හත අටක් නාස්ති කරලා අන්තිමේදී යාන්තම් ඉංගිරීසි අකුරු ටිකක් ගැට ගහලා ලියුමක් ලියා ගත්තා. ඒත් ඉතින් මගේ මේ  ඉංගිරීසි ඒ සුදු ළමයට තේරෙයිද දන්නේ  නෑනේ. ඒ නිසා තුශානිගේ සීයාට ලියුම පෙන්නලා අඩුපාඩු ටික හදාගෙන ලියුම තැපැල් කරන්න ගිය හැටි තුශානිට අද වගේ මතකයි.



ඒ ලියුමේ මුලින්ම මම ලිව්වේ මං ගැන. නම, ගම, වයස, ඉස්කෝලේ විනෝදාංශ, ගෙදර විස්තර ලියලා එයාගේ විස්තරත් අහුවා කියලාත් හොඳට මතකයි. මොකද එකම ලියුම දහ පාරක් විතර ලිව්වනේ.. හි..හි..  ඊට පස්සේ ඒ ලියුම රට ලියුම් කවරෙක දාගෙන මල් වට්ටියක් ගෙනියනව වගේ බොහොම පරිස්සමින් අරගෙන සීයාත් එක්ක තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම තැපැල් කලා.

පිට රටකට ලියුමක් ගිහින් ඒකට උත්තරයක් එන්න සෑහෙන කල් යනව කියලා දැන ගෙන හිටියත් ලියුම තැපැල් කරපු දවසට පහුවෙනිදා ඉඳලාම තුශානි ඉස්කෝලේ ඇරිලා ගෙදරට ගොඩවුනේ අම්මගෙන ලියුමක් ආවද කියලා අහගෙනමයි.  එහෙම ඇඟිලි ගැන ගැන දවස් පහුකරලා මාසෙකට විතර පස්සේ මෙන්න තුශානිගේ නමට රට ලියුමක් ඇවිත් තිබුනා. එදා හරියට තුශානිගේ ඉහේ මලක් පිපුනා වගේ. ලියුම කරකව කරකව තුන් හතර සැරයක් බලලා බොහොම පරිස්සමට තමයි ලියුම කඩලා බැලුවේ.

 
මුතු කැට වගේ ඉංගිරීසි අකුරෙන් රෝස පාට කොලේක ලියපු ලියුමක් ඒක ඇතුලේ පොඩියට නවලා පින්තූරයක් එක්ක තිබුන හැටි තුශානිට තාමත් මතකයි.

යුක්රේන රටේ ජීවත් වුන එයාගේ නම ඉරිනා. එයාගේ විස්තර, විනෝදාංශ වගේම රටේ විස්තරත් කෝලේ දෙපැත්තම පිරෙන්න ලියලා, ලංකාව ගැනත් විස්තර ලියලා එවන්න කියලා තමයි ලියුමේ ලියලා තිබුනේ. ම්... කීපාරක් ඒ ලියුම කියෙව්වද කියනව නම් හරියට අර කතාවක් කට පාඩම් කලා වගේ කෝලේ බලන්නේ නැතුව මුළු ලියුමම කතාවක් වගේ කියන්න තුශානිට පුළුවන්කම තිබුනා. හි..හි.. 

ඒ විදිහට පටන් ගත්ත මිතුරුකම අවුරුදු තුනක් විතර බොහොම හොඳින් දෙරටේම තොරතුරු, පෝස්ට් කාඩ්, පුංචි පුංචි සමරු සටහන් හුවමාරු කරගනිමින් අලුත් අත්දැකීමත් තුශානිගේ ජීවිතේට අරගෙන ආවා. ඒ වගේම ඒ මිතුරුකම නිසා තුශානිට හුඟක් දේවල් ඉගෙන ගන්නත් ලැබුනා. යාළුවා ලියලා එවන විස්තර වගේම යාළුවට ලියලා යවන්න අලුත් දේවල් හොයන්නත්, ඒ දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්නත්, ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන, උපමා උපමේයන් ඉගෙන ගන්නත්, හැකියාව ලැබුනා. කොටින්ම කියනව නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව වැඩි වුනේ මේ යාළුකම නිසා.


 ඔය අතරේ තමයි ඉරිනාට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට යන්න සිද්ද වුනේ.  නිවාඩුවක් ලැබිලා යුක්රේනයට ආව කාල වල ඊට පස්සේත් ලියුම් කීපයක් තුශානිට ලැබුනා. ඒත් තුශානිටත් සාමාන්‍ය පෙල විභාගය තිබුන නිසා  ලියුම් හුවමාරුව ටිකක් බිඳ වැටිලා ගියා.  ලංකාවේ තියෙන තරඟකාරී අධ්‍යාපනය එක්ක සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලා හරිම අවිවේකී කාලනේ. තුශානි ඊට අමතරව පාසලේ විෂය බාහිර වැඩ ගොඩකුත් කල නිසා හරිම කාර්යබහුලව තමයි ඒ කාල ගෙවුනේ. දිගටම ලිව්වේ නැති වුනත් ඉඳලා හිටලා හරි කොහොමහරි ලියුමක් එයාට යැව්වා. ඉරිනා ඉතාලියේ නේවාසිකව හිටිය නිසා ගෙදර ආපු වෙලාව තමයි ඒ ලියුම් එයාගේ අතට පත් වුනේ.
 
මේ වෙනකොට ලියුම් ගනුදෙනු නොවුනත් ඒ සොඳුරු මතකය තුශානිගේ හිතේ තාමත් ඒ විදිහටම තියෙනවා.  එදාට වඩා අද සන්නිවේදන ක්ෂේත්‍රයේ තියෙන දියුනුවත් එක්ක ලෝකේ ඕනම තැනක් ඉන්න කෙනෙක් හොයාගන්න ඒ තරම්ම අමාරු නෑනේ. ඉතින් ඒ මිතුරුකම ආපහු පටන් ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නම් තුශානිට තියෙනවා. ඒ නිසාම මුහුණු පොතෙන් හරි ඉරිනාව හොයා ගන්න ටිකක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා තමයි තුශානි හිතාගෙන ඉන්නේ.

ඉතින් මට වගේම ඔයාලටත් පෑනේ මිතුරු මිතුරියේ ගැන මේ වගේ සොඳුරු මතකයන් ඇති. ඒ ගැනත් පුංචි සටහනක් මේකට එකතු කරන්නකෝ එහෙනම්. 



32 comments:

  1. ලියුමක ලියන භාෂාව වෙනස්. දැන් සමාජ ජාල වගේ මාධ්‍යයන් වල භාෂාව කෙටියි... නියම අදහස් ප්‍රකාශවීමක් නෑ. හරිම යාන්ත්‍රිකයි. ලියුමක් ඊට සාපේක්ෂව බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... ලියුමක් ලියලා, ලියුමක් කියවලා ලැබෙන රසය සමාජ ජාල මාධ්‍ය වලින් ලැබෙන්නේ නෑ. ඒ නිසා අද කාලේ ළමයින්ට අපිට තිබුනු ඒ අවස්ථා නෑ.

      Delete
  2. මටත් හිටිය නෙව ගෑල්ලමේක්...
    අම්පාර පැත්තෙ මට අර පෙන්ඩ් සිප් බෑන්ඩ් එක්කුත් එවල තිබ්බ... හිහි
    දැං නං ඒ දැරැවි ට වෙච්ච දෙයක් වත් දන්නෑ...
    අලස කම හන්දම මගෑරුන

    ReplyDelete
    Replies
    1. :) එහෙමද... කම්මැලියි කියලා හිතිලා අපි නොකරන හුඟක් දේවල් වල වටිනාකම අපිට දැනෙන්නේ ඒ දේවල් අපෙන් ඈත්වෙලා ගියාමලුනේ.

      චුට්ටක් හොයලා බැලුවොත් ආයෙමත් ඒ ගෑණු ළමය ගැන තොරතුරක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ.

      Delete
  3. ලියුම් කියන දේවල් දැන් සුන්දර මතක් විතරක් වෙලා, එක අතකට තාක්ෂනය ලෝකේ ලස්සන නැති කලාද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔව්.. මටත් එහෙම හිතෙනවා. තාක්ෂණයත් එක්ක මිනිස්සු මැෂින් බවට පත් වෙලා.

      Delete
  4. ඉරිනා ගේ යාලුකම ඉරිලා යන්න දෙන්නෙ නැතුව මූණු පොත පොඩ්ඩක් සර්ච් කරල බලන්නකෝ.. :v

    මමත් මේ කොම්පියුටර් යුගයේ මිතුරුකම් වල අකමැතිම කොටස තමයි භාශාව කන එක.. මේ ලඟදි දවසක් අපේ නෝනට ආපු උපන්දින සුභ පැතුමක්.. කියවල දෙන්නට දවසම හිනා.. ජය ශ්‍රී!

    mny hP rtns f da dy auntz darl. hv a gr8 tm. ** du :P

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ නෑ වගේ :( බලමුකෝ තව ටිකක් හොයලා.

      හි..හි.. ඇයි තව ඔය කෙටියෙන් ලියන්න ගිහින් ලියන අදහසට වඩා වෙනස් අදහස් සන්නිවේදනය වෙලා කොච්චර අකරතැබ්බ වෙලා තියෙනවද..

      Delete
  5. අැත්තට ම මමත් පොඩිකාලේ ලොකු අාශාවක් තිබුණා ඔය කියන විදිහේ මිතුරෙක්ව හොයාගන්න... ඒත් කවදාවත් ඒ සිහිනය සැබෑ වුනේ නැහැ.... අනේ දුකේ............. දැන් මතක් වෙද්දි මං පවුනේ කියලා හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. පෑනේ මිතුරු සංකල්පය ඒ දවස්වල සෑහෙන දෙනෙක් අතරේ ජනප්‍රිය වෙලා තිබුනනේ..

      පෑනේ මිතුරෙක් නොහිටියට බ්ලොග් අවකාශයේ පෑනේ මිතුරු මිතුරියෝ ගොඩක් ඉන්න නිසා දුක් වෙන්න දෙයක් නෑ.

      Delete
  6. ඉස්සර පත්තරයක් ගත්තහම පෑනේ මිතුරු මිතුරියන් ගැන වෙනමම තීරයක් තියෙනවා. දැන් පෑමේ මිතුරු මිතුරියන් කෙසේ වෙතත් ගෙදෙට්ට ලියුමක් එන්නෙත් එහෙමත් වෙලාවක. ෆෝන්/ඩොංගල් බිලක් ඇරෙන්න ගෙදරට ලියුමක් කියලා එන්නේ ඡන්ද කාඩ් එක විතරද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක ඇත්ත. ඒ කියපුවා ඇර ලියුමක් ආපු කාලයක් මතක නෑ. :(

      Delete
  7. කුරැටු ගේ කෙමෙන්ටුවම තමයි මටත් කොටන්න වෙන්නෙ
    ලියවිල්ල එල ද බ්‍රා අසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. කාලෙකින් නේද මේ පැත්තේ ..

      පෑනේ මිතුරෝ නොහිටියට ඔයාටත් ඉන්නේ බ්ලොග් යාළුවෝ ගොඩක්.. :)

      Delete
  8. මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්.. මාත් මුලින්ම හිතුවේ (ඉස්කෝලේ කාලේ) පෑනේ මිතුරෝ ඉන්න ඕන පිට රටය කියලයි. ඒත් අපේ යාලුවෙක් 5 වසරෙදි වෙන පලාතකට මාරු උනාම මිනිහා මට අවුරුද්දකට තුන් හතර පාරක් ලියුං කරදහියක් එවන්න ගත්තා. ඔන්න එතකොට තමා තේරුනේ පෑනේ මිතුරෝ අපේ රටෙත් ඉන්න ප පුලුවන් විත්තිය. පස්සේ නෙට් වලින් පෙන්පෑල් ඉන්ටර්නැෂනල් වගේ සයිට් වලින් කස්ටිය සෙට් උනා. හොදම යාලුවෝ කීප දෙනෙක් මට ඉන්නවා ඇමරිකාව, ඉන්දුනිසියාව, එංගලන්තය වගේ රට වල් වල. ඒ අය කවදාවත් හැබැහින් නොදැක්කත් ඔය අතරින් දෙන්නෙක් මට මාර විදියට උදව් කලා මිල මුදල් වලින් පවා. තෑගි එව්වා.. ලමයින්ට ඇදුං පැලදුං පොත් පත් එව්වා. මට කියවන්න පොත් එව්වා.. හරිම සුන්දරයි.. කිසිම බැදීමක් නැති ඒ මිත්‍රත්වය..

    ReplyDelete
    Replies
    1. //මටත් තියෙනවා පෑනේ මිතුරු මතකයන්..

      බලාගෙන ගියහම දේශකයාට නැති දෙයක් නෑ නෙ බොල !

      Delete
    2. @ දේශක - :) හරිම ශෝක් පෑනේ මිතුරෝ ටිකක්නේ මෙයාට ඉන්නේ.

      බැදීමක් නැති ඒ මිත්‍රත්වය ඇත්තටම හරිම සුන්දරයි...

      Delete
    3. @ මධුරංග - ඒක තමයි මාත් මේ කල්පනා කලේ .. හි..හි..

      Delete
  9. තුශානියා ගේ බ්ලොග් එක පැත්තේ කලෙකින් ආවේත්.මම නම් ලියුම් ලියලත් තියෙනවා ලැබිලත් තියෙනවා.හැබැයි පැනේ යාළුවවෝ නම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මේ ඇවිත් ඉන්නේ නිවාඩුවක් අරන් ..

      ඒ ලියුම් පෑනේ මිතුරු ලියුම් වලට වඩා වෙනස්ලු නේද .. හි..හි..

      Delete
  10. මටත් හිටියා පැනේ මිතුරියක් හැමදාම හවසට අපේ ගෙවල් පාර ලඟින් යන.... (එයා පැනේ මිතුරිය උනේ අපේ පැත්තේ හිටපු එවුන් එයට පැන් බටේ කියලා නමක් දාල තිබුන නිසා )

    ReplyDelete
    Replies
    1. හි..හි.. පෑනේ මිතුරියෝ කිව්වහම මැලේටත් මතක් වෙලා තියෙන දේවල්.. :D

      Delete
    2. රාළට බැරිවුනා පෑනෙ මිතුරිය බත් තම්බන්න ගෙදර ගේන්න...

      Delete
  11. පෑනේ මිතුරු යුගය අභාවයට යමින් තියෙද්දී ඉපදුණු අවාසනාවන්තයෙක්මි. :(

    ReplyDelete
    Replies
    1. එහෙමද... අවසානභාගේදී හරි ඉපදුණු එක ගැන හිතලා සතුටු වෙන්න. :) මොකද ඉදිරි පරම්පරාවලට ඒ දේවල් අහන්න ලැබෙන අතීත සිදුවීමක් විතරක් වෙයි..

      Delete
  12. keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..
    අපිත් ඉස්සර ඉස්කෝලේ කාලේ එක එකාලට එකිලට පොල්ගෙඩි අකුරෙන් ලියුම් ලියලා යැව්වා. රිප්ලයිත් ආව සමහර ඒවාට. ඉබේම ඒ සියල්ල නැවතුනා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි keyboard මිතුරෝ තමයි දැන් ඉන්නේ..

      පොල්ගෙඩි අකුරු වලට අකමැති අය රිප්ලයි කරන්න නැතුව ඇති.. හි.. හි..

      Delete
  13. මිත්‍රත්වය කියන දේට දේශසීමා ජාති කුල ආගම් භේද නෑ...මටත් ඉන්නවා මැලේසියානු යුවලක් ඉතාම තද මිත්‍රත්වයකින් බැදුන...මම අදත් හවස ඒ ගෙදර ඉදලා ආවෙ...ලංකාවෙ වගේම තමයි ආගන්තුක සත්කාර වල වෙනසකුත් නෑ...මිනිහා වාහනේ එලවන ගමන් පරණ ලව් අරවා මේවා සෑහෙන දේ ගැන කථා කරනවා..ඔයාට තිබුනෙ මේ මිතුදම අඛණ්ඩව පවත්වාගෙන ඇවිත් දවසක හමුවෙන්න...මගෙ මිතුරාට මම දීලා තියෙන ටෝක්ස් වලට ලංකාව දකින්න හරිම ආසාවෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්... මිත්‍රත්වය කියන දේට දේශසීමා, ජාති, කුල, ආගම් භේද නෑ. තිබුනු මිත්‍රත්වය ආපහු ගොඩනගා ගන්න තමයි උත්සාහ කරන්නේ. හම්බවෙන්න පුළුවන් වුනොත් විස්තර කියන්නම්කෝ..

      ලංකාව ගැන, ලංකාවේ දේවල් ගැන අපිට වඩා වටිනාකමක් විදේශිකයන් අතරේ තියෙනවා. ඒ නිසාම පුංචි රටක් වුනත් ලංකාව දකින්න විදේශිකයන් බොහොම ආසාවෙන් ඉන්නවා. යාළුවවත් ලංකාවට එක්කෙගෙන ඇවිත් ලංකාවේ ලස්සන පෙන්නන්න.

      Delete
    2. මැලේසියාව ලංකාව වගේ ගුණයක් විශාලයි...ඒත් ඒගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව ගොඩාක් ලොකු රටක් කියලා...ඒකට හේතුව පුරාණයේ ඉදන් අපේ රටට තියෙන කීර්තිනාමය...බෞද්ධ රටක් විදියට සහ හොදම තේ සපයන රට විදියට...මෙහෙ සුපිරි වෙළදැසල් වලදි නිතරම ඇහෙනවා හොදම තේ මොන රටේද කියලා කවුරුහරි ඇහුවොත් ලංකාවෙ තේ කියලා උත්තර දෙන මැලේසියානුවන්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...