Tuesday, August 30, 2016

112. කෝ බලන්න වම් අත උස්සන්න...

මේ පොස්ට් එක මීට ටික දවසකට කලින් ලියලා ඉවර කරන්න හිතාගෙන හිටියට තුශනිත් සොළොස් මහා ගීත වැස්සට තෙමිලා හිටිය නිසා ලියලා ඉවර කර ගන්න බැරිවුනා. කට්ටියම ගීත වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට තුශානි කොහොම නොතෙමී ඉන්නද නේද හි.. හි... කොහොමින් කොහොමහරි අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් මේ පෝස්ට් එක දාන්න ඕනෙ නිසයි වැඩ ගොඩක් මැද්දේ වුනත් අද පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ...

හොඳයි , අද තුශානි කියන්න යන්නේ මේ මාසේ පහුවුනු වැදගත් දවසක් ගැන. කෝ බලන්න දන්න කෙනෙක් ඉන්නව නම් වම් අත උස්සන්න. 


ඔව්... ඔයාලා හිතුවා හරි.. පහුගිය අගෝස්තු 13 වෙනිදාට යෙදුනු ලෝක වමත් කරුවන්ගේ දවස වෙනුවෙන් තමයි අද පොස්ට් එක වෙන් වෙන්නේ.

තුශානි විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න හිතුවේ තුෂානිත් ඒ පක්ෂෙ කෙනෙක් නිසා. හෝව් හෝව් පක්ෂෙ කිව්වේ දේශපාලනේ පැත්තෙන් නෙවෙයි හරිද. තුශානිත් වමත්කාරිනියක් නිසයි. 

පුංචි කාලේ කෑම කනකොට, පාටකූරු වලින් ලියන්න පටන් ගන්නකොට, එක එක දේවල් න කොට තුශානි වම් අතෙන් තමයි ඒවා කරලා තියෙන්නෙ. ඉතින් ඒ දේවල් වලින් අම්මලා මට හුරු වම් අත කියලා අඳුරගෙන තියෙනවා. පහු වෙන කොට කෑම කන එක නම් දකුණු අතට හුරු කරන්න එයාලා කටයුතු කරලා තිබුනත් අනිත් දේවල් වලට මුකුත් බලපෑමක් කරලා තිබුනෙ නෑ. කොහොමින් කොහොමහරි අද වෙනකොට කෑම කන එක ඇ අනිත් හැම වැඩකටම තුශානිට හුරු වම් අත. 

හැබැයි ඉතින් වමත් කාරියක් වෙච්ච නිසා අකර තැබ්බ වලට මුහුණ දෙන්න වුනු අවස්තාත් නැතුව නෙවෙයි. ඉස්කෝලෙ යන කාලේ ලියන කොට එහා පැත්තේ ඉන්න ළමයගේ  අතේ වදින ප්‍රශ්ණෙ මුහුණ දෙන්න වුනු ප්‍රධාන ගැටලුවක්. ඉතින් තුශානි ගොඩක් වෙලාවට ඩෙස්ක් එකක හරි මේසෙක හරි අයිනක තමයි වාඩි වුනේ.  ඒ නිසා ගුරුවරුගේ උකුසු ඇස් තුශානිගෙ පොතට නිතරම යොමු වෙලා ඇදුනු සුවිප් ටිකට් නම් හිසේ කෙස් ගානට.. හි.. හි... 

කවි , ගාථා වගේ දේවල් පාඩම් දෙන්න, ගණන් බෝඩ් එකේ හදන්න. එක එක දේවල් ඉදිරිපත් කරන්න ඇයි මේ අයිනෙන්ම පටන් ගන්නේ කියන දැවැන්ත ප්‍රශ්නේ ඒකාලේ තුශානිට බොහොම බරපතල විදිහට දැනිලා තිබ්බ ප්‍රශ්යක්. 

හැබැයි අනිත් අය යනකන් ඉන්නෙ නැතුව ඉක්මනින්ම පන්තියෙන් එලියට යන්න, පන්තිය පටන් ගන්න අන්තිම තප්පරෙ හරි ඇවිත් වාඩි වෙන්න වගේ අමතර වාසිත් නොතිබ්බා නෙවෙයි. 

ඇයි නොට් එකක් ලියා ගන්න හරි , දීපු වැඩක් කරගෙන එන්න හරි බැරි වුන වෙලාවක ලන්ට් ටයිම් එකේ කන ගමන් වුනත් නොට් , ගෙදර වැඩ ලියාගන්න පුළුවන් වෙච්චි එකත් පුදුමාකාර වාසියක් වුනා. කෑම කන අතර තුරේ මොකක් හරි දෙයක් හැන්දකින් බෙදා ගන්න, මූඩියක් අරින්න වගේ වෙන වැඩත් කරන්න පුළුවන් වීමත් වාසියක්.

සංගීතය හදාරන්න ගිහිල්ලත් පුංචි පුංචි අකරතැබ්බ වලට මුහුණ දෙන්න තුශානිට සිද්ද වුනා. වයලින් , ගිටාර්, බටනලා, සිතාර් ගහන්න පුරුදු වෙනකොට සංගීත මිස් ගෙන් වෙනමම මට හුරු විදිහට එගෙන ගන්න වෙච්චි එක සමහර වෙලාවට කරදරක් කියල හිතුනු අවස්ථාත් තිබුනා. 

ගොඩක් වෙලාවට පාවිච්චි කරන උපකරණ හදලා තියෙන්න දකුණ හුරු අයටනේ. උදාහරණ විදිහට කියනවා නම් මහණ මැෂිම, හිරමණය, පරිගණක වගේ දේවල් පාව්ච්චි කරනකොට වමත හුරු වුනත් දකුනෙනුත් ඒ දේවල් කරන්න සිද්ද වෙලා තියෙනවා. 

උසස් අධ්‍යාපනය හදාරද්දී දේශන වලට සහභාගීවෙන කොට දේශන ශාලා වල තියෙන පුටු නිසාත් අකරතැබ්බ ගොඩ කට මුහුණ දෙන්න වුනා. වමත් කරුවන් සඳා නිර්මාණය වුනු පුටු තිබුනත් තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක් නිසා ඒ පුටුවක් හොයා ගන්න එක ලේසි පහසු වුනේ නෑ.  


දන්නවද... ලොක ජන ගහනයෙන් 10% ක ප්‍රමාණයක් වමත් කරුවොලු. මේ අතරින් සමහර අය නම් පහු කාලීනව දකුණට හුරු වුනු අය ඉන්නවලු. කොහොමවුනත් ලොව පුරා විසිරිලා ඉන්න වමත් කරුවො එකට එකතු වෙන්න හිතාගෙන තමයි අගෝස්තු 13 වෙනිදා ජාත්‍යන්තර වමත් කරුවෙන්ගේ දවස ලෙස නම් කරලා තියෙන්නෙ. මුලින්ම 1976 තමයි මේ විදිහට දිනයක් වමත් කරුවන් වෙනුවෙන් සමරන්න පටන් අරගෙන තියෙන්නෙ.  ඒ කියන්නේ මීට වසර 40 කට කලින්. 

ලෝකය පුරා විසිරිලා ඉන්න වමත් කරුවො ගැන ටිකක් හොයලා බලනකොට ඒ අයගෙන් බොහොමයක් විවිධ අංශ වලින් ජනප්‍රියත්වයට පත් වෙච්ච අය බව පැහැදිලි වෙනවා. 

මේ බලන්නකෝ...  


* ඇල්බට් අයින්ස්ටයින්


* ඇරිස්ටෝටල්


* මාරි කියුරි 


* ලියනාඩෝ ඩාවින්චි


* නැපොලියන් බොනපාට්


* බිල් ගෙට්ස්


* බැරැක් ඔබාමා


* චාල්ස් කුමරා


* බිල් ක්ලින්ටන්


* ඇන්ජලීනා ජෝලී


* විලියම් කුමරා


* ටොම් කෘස්





ඔය අන්තිම එක හිස් තිබ්බෙ පස්සෙ තුශානිගෙත් ෆොටෝ එකක් අලවගන්න ;) 


එහෙමනම් ඉතින් අගෝස්තු 13 වෙනිදා පහු වුනත් ලෝක වාසී සියලුම වමත් කරුවන්ට සුබ වමත්කරුවන්ගේ දියක් කියලා  ප්‍රර්ථනා කරන්න තුශානි මේක අවස්ථාවක් කර ගන්නවා...

 



26 comments:

  1. ඔන්න අදයි මේ පැත්තට ආවේ. 13 වෙන්දා සමරන්න ගියේ නැද්ද ඉතින්.?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...

      නෑනේ යන්න බැරුව ගියා...

      බොහොම ස්තූතියි.. ජයවේවා!!!

      Delete
  2. ආ එහෙමද නංගී. හොඳයි දැනගත්ත එක. ඒ කියන්නෙ හදිසි ප්‍රහාරයක් එල්ල කලොත් වම් අතෙන් තමා නේ. වාමාංශික තුශානි හෙලා දකිමු. හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අනිවාර්යයෙන්ම .. මොකද හුරු අතනේ.

      දන්නවද... වම් අතින් ගුටිකනවා කියන්නෙ බොහොම දරුණුයි. ඕනෙ නම් කැඩුම් බිදුම් වෙද මහත්තෙයෙක් ගෙන් අහලා බලන්න ;)

      Delete
  3. තුශානි දන්නවද ඇයි වමත්කරුවන් අඩු කියලා ලොකෙ ජනගහනයෙන්. දැනට පර්යේශන වලින් හොයාගෙන තියෙන්නේ සහයෝගිත්වය සහ තඟකාරිත්වය සමතුලිත කරන්න ක්‍රමවේදයක් විදිහට කියලා මම කියවලා තියනවා.. ඔක්කොමලා දකුණත් උනොත් සහයෝගිතවය සාමුහිකත්වය තිබුනට සමාජයක පැවැත්මට තරඟකාරිත්වයත් අවශයම දෙයක්. ඒත් ඇයි දන්නෙ නැ ඒක අනිත් පැත්තට උනේ නැත්තේ. වමත්කරුවන් වැඩි වෙලා දකුණත් කරුවන් අඩු වීමෙන් සමතුලිත වෙන්න මේ සමාජශිලි මිනිස් ජීවින්...

    ReplyDelete
    Replies
    1. එහෙමද ඒ ගැන නම් මම දැනගෙන හිටියෙ නෑ...

      ඔව් මටත් හිතුනෙ ඇයි ඒකෙ අනිත් පැත්ත වුනේ නැත්තේ කියලා..

      බොහොම ස්තූතියි තොරතුරු බෙදා ගත්තට...

      Delete
  4. Lefthander's Slogan: "Everyone is born right-handed. Only the greatest overcome it".

    Congratulations Thushani...:)

    ReplyDelete
  5. හැක්....මමත් වමත් කාරයෙක්.ඔය කියපු හැම අපහසුතාවයකටම මමත් මුහුනදීලා තියනවා.ඔක්කොටම වඩා කලකිරුන දේ තමයි වමත්කාරයෙක් නිසා පාසල් තූර්‍යවාදන කණ්ඩායමට සහබාගීවෙන්න ලැබුනේ නැතිඑක.
    පොඩිකාලේ වමත කැඩිලා මාස 4ට වඩා ප්ලාස්ටර් කරන් හිටියා.අම්මලා, ගුරුවරියෝ සෑහෙන උනන්දුවක් ගත්තා කෑම කන එක දකුනතට හුරුකරන්න. අපි සැලෙයි ඒවට.තාම කන්නේ වමෙන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. අහ් සතුටුයි සතුටුයි තවත් වමත් කාරයෙක් අඳුර ගන්න ලැබීම..

      අපරාදේ තූර්‍යවාදන කණ්ඩායමට සහභාගී වෙන්න බැරි වෙච්ච එක. මමත් තූර්‍යවාදන කණ්ඩායමේ හිටියා. මට නම් ගැටලුවක් වුනේ නෑ.

      අපේ අම්මලා නම් ඒකෙන් දින්නා :D

      Delete
  6. මේ ගැන මීට කලින් ඔය වගේම ලියල තිබුනා මතකයි.. බලමු බ්ලොග් එන්සයිමර් දෙමල නයන්නාගෙන් අහමු..

    ReplyDelete
    Replies
    1. අහ්.. හැලපතුමායි සහෝදරයි වමත් කරුවෝ ගැන ලියලා තියෙනවා..

      බ්ලොග් එන්සයිමර් දෙමල නයන්නා.. :O ඒ කවුද ?

      Delete
  7. වමත් අය කලාවට දක්ෂයි කියනව නේද? වමත් ගැහැණුන්ගේ අමුත් ආකර්ෂණයක් නම් තියෙනවා කියලා අත්දැකීමෙන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. //වමත් ගැහැණුන්ගේ අමුත් ආකර්ෂණයක් නම් තියෙනවා කියලා අත්දැකීමෙන් දන්නවා.//

      මොකක්ද බොලේ ඒ ආකර්ෂනේ.?

      Delete
    2. වමත් ගැහැණුන් ආශ්‍රය නොකල කෙනෙක්ට ඒක විස්තර කරන්න බැහැ බං

      Delete
    3. @ ඉයන් - ඔන්න තුශානිව කොහෙදි හරි හම්බුනාම ඔය කතාව වෙනස් කරන්න බෑ හරිද ... ;)

      Delete
    4. @ මනෝජ් - වයිෆ් වමත් කිව්වා නේද .. දැන් ඔයා මොකද එයාවම බඳින්න හිතුවෙ මෙච්චර ගැණු ළමයි ඉද්දි ? අන්න ඒකලු ආකර්ශනේ කියන්නේ.. ;)

      Delete
    5. මගේ ලොකු දුව වමත්කාරියක්. චිත්‍ර හොඳට පුළුවන්.

      Delete
  8. එහෙනං මගෙ පොටෝ කෑල්ලකුත් ඔතනම අලවන්න. ඒත් අගෝස්තු 13 ගැන මොකුත්ම දන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... හැලපතුමා වමත් ජීවිතේ ගැන කියලා තිබුනා මට මතකයි..

      අගොස්තු 13 තමයි ජත්‍යන්තර වමත් කරුවන්ගේ දවස.. ඔන්න ලබන අවුරුද්දේ නම් සමරන්න අමතක කරන්න එපා...

      Delete
  9. අපේ පවුලගේ ෆොටෝ එකකුත් ඔතනට හරි යනවා.එයත් "කෑම කන" එක ඇරෙන්න අනිත් හැමදේම වමතින්.

    ReplyDelete
    Replies
    1. ශෝක් ශෝක්.. එයත් එහෙනම් තුශානිගෙ ජාතියේ.. අගොස්තු 13 ගැන එයාටත් කියන්න...

      හුඟක් වමත් අය පස්සෙක් කාලෙක හරි දකුනෙන් කෑම කන්න පුරුදු වෙනවා කවුරුත් පුරුදු නොකලත්. මොකද නැත්තම් සමාජයෙ සමහර තැන් වලදී අපහසුතාවන්ට පත්වෙන්න වෙනවනේ...

      Delete
  10. මටත් හිටියා වමතින් ලියන මිතුරියක්.ඌයි මායි හැමදාම රණ්ඩු නෝට්ස් ලියන්න ගියාම..

    ඒ කෝක වෙතත් ඕක සාමාන්‍ය දෙයක්නෙ.හැබැයි මං දන්න අය්යා කෙනෙක් ඉන්නවා මිනිහට අත් දෙකින්ම ලියන්න පුළුවන්.අපේ සීයාත් එහෙමයි.දෙපැත්තේ කොළ දෙකක් තියාගෙන අත් දෙකෙන්ම කවි ලියනවාලු.. ඒකත් මරු වැඩේ නේද..?

    ReplyDelete
    Replies
    1. හි..හි.. එහෙමද ගොඩක් වෙලාවට අයින මටම වෙන් වෙලා තිබුන නිසා ඒ ප්‍රශ්නේ ටිකක් ශේප් වුනා...

      ඒක තමයි අත් දෙකෙන්ම ලියන්න පුළුවන් කියන්නෙ ලේසි පහසු නෑ.. මොලේ කොහොම වැඩ කරන්න ඕනෙද ... :O

      Delete
  11. මේක දුවලට පරිවර්තනය කරලා දෙන්න වෙනවා. පොඩි දුවගේ උපන්දිනේ අගෝස්තු 13. ලොකු දුව වමත්කාරි.

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙනම් දුවලා දෙන්නටම එකතුවෙලා අගොස්තු 13 සමරන්න පුළුවන්... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...